රට ගිය අත්තෝ

රැකියාවක් කරන්න පිට රට ගිය අපෙ නෑදෑයෙක්
අවුරුදු ගානකට පස්සෙ ඇවිත් අරන් නිවාඩුවක්
හම්බවෙලා අපි දෙන්නා ටවුමෙ බිවුව බීර දෙකක්
එයා කියපු කතන්දරේ අහලා ලිව්වා කවියක්

“අතේ සතේ නැතුව ඉඳල සෞදියෙ රස්සාව ලැබිල
මගෙ යාලුවො එකතු වෙලා මාව එහෙට පිටත් කරල
එහේ ගිහින් සල්ලි හොයල කාගෙද ලොරියක් එලවල
එහෙන් පැන්න ඉතාලියට එක එකාට පගා දීල
රෑ දවල් කියා නොබලා එහෙ රස්සා දෙකක් කරල
මම වැඩකල පොඩි හෝටලෙ බද්දට අරගෙන දාලා
ලංකාවේ කෑම ජාති මමම උයල අලෙවි කරල
කසාදෙකුත් බැඳගත්තා ඒ ගමේම නැවතීලා
අවුරුදු විස්සකට පස්සෙ ලංකාවට එන්න හිතිල
මාසේකට මම ආවා පවුල දරුවො නතර කරල”

බීර බීමෙ නෑ අඩුවක් කතාව නැවතී තිබුනත්
හිස ගසලා කඳුළු පිහල පටන් ගන්නවා නැවතත්

“යාලුවො දෙන්නෙක් මැරිලා
අනික් එවුන් නාකි වෙලා
ඉවසන්නට අමාරු මට
මා ගැන අමතක වීලා”

දැන් ඇහෙන්නෙ එකම දෙයයි එයා බීර බොන සද්දෙයි
ඊට පස්සෙ කියන ඒව කඳුලෙන් ලියු ලියුම් වගෙයි

“යාළුවො ටික එකතුවෙලා
මගෙ කරදර ගැන හිතලා
තමාල ගැන නොහිතාලා
තිබුනු තුට්ටු දෙක ගෙවලා
අලුත් ඇඳුම් ගෙන දීලා
පොඩි පාටියකුත් දාලා
මාව රටින් පිටත් කළා”

“මම ගිහිල්ල හම්බ කළා
යාළුවො අමතක කරලා
ඒ අයගේ වාස දේස
නෑ නේ බැලුවේ සොයලා”

“මොන රස්සා කරනවාද
අම්ම තාත්තා කොහොමද
යුද්දෙන් කරදර උනාද
කසාද බැඳලාද නැද්ද
දරුවො එහෙම ඉන්නවාද
බඩු මිල ඉහලට ගිහින්ද
මම ලිපියක් නොඑව්වාට
ඔබලා හොඳටම තරහද”

මේකා කොච්චර හැඬුවත් හිතන්නෙ තව ඌ ගැනමයි
ඌ අඬන්නෙ යාළුවො ටික තරහ වෙලාදැයි හිතලයි
ඕනෑ නම් අඬාපුවැයි පවු හිතෙන්නෙ යාළු ගැනයි
මම නැගිට්ට ගෙදර යන්න බිලත් ඌම ගෙවාපුවැයි