රටවල් අල්ලන්නෝ
එංගලන්තයෙන් ඇවිල්ල
සුද්දෝ අපෙ රට අල්ලල
ඉතිහාස ගැලූ වේල්ල
වෙනින් පැත්තකට හරවල
ඩිංගිරාලලා හිටියට
සැරයි උන්ගෙ තුවක්කු බට
තාක්ෂණෙට විද්යාවට
උන් දක්ශයි වැඩිය අපට
අපෙ රජවරු දාල බිමට
ආංඩුත් අරන් අතට
දනගහන්න උනේ අපට
උන්ගෙම රජ පෙලපතකට
ගණනක් ලංකා පඹයන්
උගන්වලා උචිත ලෙසින්
කළු සුදු බෙදු වැට අයිනෙන්
බැන්ද දඩෝරියන් ලෙසින්
තේවතු වැවුවා සුද්දෝ
කැලේ කපනවා අපෙ උන්
මල් වතු හැදුවා සුද්දෝ
බිම හාරනවා අපෙ උන්
නගරෙට පාරක් ලද්දෝ
පාර කපනවා අපෙ උන්
කෝච්චියෙන් තේ ඇද්දෝ
කඩලා පටවති අපෙ උන්
මන්දිර හැදුවා සුද්දෝ
ගල් වැලි අදිනව අපෙ උන්
සම්භාශන දෙයි සුද්දො
කෑම හදනවා අපෙ උන්
යටිතල හෙම දියුනු කරල
ඉස්කෝලත් කොටස් කරල
ඉංගිරිසිම කතා කරල
ක්රිකට් රගර් එහෙම ගහල
පාලක පංතියක් හදල
කල් පැවැත්ම සිකුරු කරල
කොච්චර උන් හට බැන්නත්
උන්ගෙ දක්ශකම් වැදගත්
ඒවාගෙන් ඉගෙන ගතොත්
තේරෙයි අපගේ වැරදිත්
හැට වසරක් රජ කෙරුවත්
අපි කියනව නේ තවමත්:
“මිනිහගෙ වැඩ සුද්ද වගේ”
“සුද්ද වගේ මමත් හිටිය”
“ඇහුනද උගෙ ඉංගිරිසිය”
“ඉංග්ලන්ඩ් වලදීනෙ ගත්තෙ”
“ඉංග්ලිශ් කා එකක් ගන්නෙ”
“පොඩි දෙන්නම යූකෙ ගිහින්”
“මට සිංහල දන්නෙ නෑ”
“ඉංගිරිසියෙ ඒ මොකක්ද”
“හරි ගොඩයෙක්, අතින් කෑවෙ”
:
:
සුද්දන් ගේ දක්ශ කමෙන්
අපි යට කර ඉඳල උඩින්
සේවක වැඩ ගත්ත අපෙන්
පෙන්වා උන් දෙයියො ලෙසින්
ඒ අනුහසයෙන් තව උන්
වැඳුම් ලබනවා අපගෙන්
වටහයි මෙය අපි සැනෙකින්
තවකෙක් රට ඇල්ලු ගමන්