රෑ කෑම

හාල් මනින්නට ඇත්තේ සේරුයි නැලි හුංඩු තමයි
සමහරවිට මිටක් දෙකක් ගත්තොත් ඒකත් ඇති වෙයි
ගල් අරින්න කොරහෙ දමා නෑබිලියෙන් ගරා ගනියි
මුට්ටියෙ දා ගන්න වතුර ඇඟිලි පුරුක් වලින් මනියි

ලිප මොලවා ගන්න දරත් පොල් ලෙලි පොල් කටු කදිමයි
ගින්නේ සැර පාලනයට පුරුදු අතක් ඕනෑ වෙයි
ඉතිරෙනවත් සමගම වැසු නෑබිලියත් ඉවත් කරයි
ඉන් පසු මද ගින්නෙන් බත බෙරි නොවෙන්න ‘හැතපී’ යයි

ඉවීම දන්නෝ මෙ අතර වැංජන ගැන සිත යොදවයි
ලෙලි ගසලා පොල් ගාන්න පොඩි ඇත්තෝ අල්ල ගනියි
රම්පේ කරපින්චා දෙහි සොයා තවත් එකෙක් යවයි
කැත්තෙන් මැල්ලුම් ලියන්න පොඩි කිසි කෙනෙකුටත් නොදෙයි

පරිප්පු දෙල් එළවලුවට පොල් කිරි නම් අවශ්යයි
ගෑ පොල් මිරිකා ගන්නේ බිම තියලා මඩක්කුවෙයි
ලූනු අමු මිරිස් වාගේ දේ කපන්නෙ කැත්තෙන් මයි
ගලේ ඇඹරු මිරිස් වලින් ගලේම සම්බෝල හදයි

තුනට පටන් ගත්ත වැඩේ පැය හතරෙන් කම්මුතු වෙයි
කොස් පොලොස් වගේ තිබුනොත් තුනට කලින් පටන් ගනියි
මට හිත්න්නෙ එක වේලට මේ තරම්ම මහන්සි ඇයි
දැන් නම් අපෙ ගෙදර කෑම සදා ගන්නෙ මෙහෙම නොවෙයි

හාල් එන්නෙ පැකට් කරල වැලි ගල් කිසිවක් නොමැතියි
රයිස් කුකර් එකේ දාල ස්විච් එකකින් උයා ගනියි
පොල් සහ පොල් කිරි තුනපහ ඇත්තේ පොඩි පැකට් වලයි
හයට පටන්ගන උයන්න හතට කෑම කෑ හැකිවෙයි
අත් වැඩ කාරයෝ නැතත් මහන්සියක් මට නොදැනෙයි
ඒකාලේ කෑම රසයි කියන්නෙ අපි දුක හිතිලයි