රෑ වෙනවිට
තනියෙම ගං ඉවුරෙ ඉන්න මට අදහස් ගලා එනවා
ඇසට එළිය අඩු වෙනකොට මොලේ ක්රියා වැඩිවෙනවා
සමහර විට හිතන දෙයක අගයක් ඇති යයි හිතෙනව
“අගය” මනින උපකරණය මම තව සොයමින් ඉන්නව
දිය කාවෝ රංචු පිටින් හවසට ගඟ අයිති කරන්
හරිම ශාන්තයි ගමනත් දිය මතුපිට හෙමින් හෙමින්
ජලතලයට උඩින් පෙනෙන උන්ගෙ ගමන හරි සන්සුන්
යටින් කකුල් වැඩකරනව මෝලෙට කපු තැබුවා මෙන්
ගඟෙන් එහා මහ පාරේ බසයක් ඇදෙනවා හෙමින්
බස් ගාලේ සුවය සොයා විදුලි එලිය පතුරවමින්
අන්තිම මගියන් වාගේ බසය වුවද මහන්සියෙන්
ඇන්ජිම යට රෝද ෆෑන් පිස්ටන් වැඩ සරිජ්ජනෙන්
ගෙදර වටා අඳුර ඇවිත් කහට ගහ නොපෙනෙන තරමින්
නොසැලි තිබේ පිළිමය සේ අහසේ පසු තලය මතින්
කලා මැදිරි ගස බබලයි විදුලි රැහැන් ඇදි විලසින්
ගස දනීද කඩිසරකම කලා මැදිරියෝ ගෙනදුන්
ඇඟත් මොළෙත් අතර තියෙන ඈඳීමත් මේලෙසටයි
ඇඟ හෙමිහිට ගාටනකොට මොලේ ගමන් ගොස් ඉවරයි
දිය කාවොත් බස් රතයත් එක අතකින් සමානවෙයි
ඇති අංගෝපාංග උන් එක අරමුණකට යොදවයි
ගහේ ඉන්න කලා මැදිරි ඔළුවේ අදහස් මෙන් වෙයි
විසංයුක්ත වුවත් තමන් දීප්තිමත් ලෙස දිලිසෙයි
බැබලෙන ගිනි පුපුරු ලේසින් සුලු කාලෙන් නිවිලා යයි
කලා මැදිරි එක්වූවොත් ගස ගිනි තැබුමට හැකිවෙයි
මොළේ ඉන්න කලා මැදිරි එකතු කරල උගන්වලා
එකම දෙයක් නාභිගතව ඒගැන පමණක් හිතලා
හිතත් ඇඟත් පරිසරයත් සපිරිව එකමුතු කරලා
ගිනි තියමුද මුලු ලෝකෙට හොඳැවින් නැකැතක් බලලා