රුකුල්
පතෝල කරවිල වවනා ඕනැ කෙනෙක් මෙය දන්නව
වැට බැඳලා මැසි ගහලා ඒවට උන් රුකුල් දෙනව
පොහොර වතුර හෙම දැම්මම ඒවා සාරෙට වැවෙනව
එසේ කරන්නෝ නිතැනින් හොඳ අස්වැන්නක් ලබනව
ගස් වැල් නොවවා හිටියත් අනිකොත් මේ දේ කරනව
අනිකුන්හට රුකුල් දීම මිනිස් කමක් ලෙස දකිනව
දෙමවු පියෝ දරුවන්ගේ වර්ධනයට රුකුල් දෙනව
නොවැටී ඇවිදින්න මෙන්ම අනාගතය ගැන බලනව
ළමුන්ගෙ ඉගෙනීම අතින් ගුරුවරු කැල මුල් වෙනවා
ආගම භක්තිය ඇදහිලි සදාචාරෙ පෙන්වනවා
ගුරු දෙගුරුන් දුන් උපදෙස් සමහරු අමතක කරනව
ඊලඟ පරපුරට, රටට රුකුල් දීම අත හරිනව
දරුවනි ඔබෙ මොලය යොදා හොඳ හැටි මෙය හිතට ගන්න
ඔබත් ලොවට රුකුල් දෙන්න මේ ලෙස ජීවිතෙ ගෙවන්න
මිනිස් ලෝකෙ සියලු දෙනා තමා වගේ යයි සිතන්න
අනිකුන්ගේ රට ජාතිය අඩු වැඩි ලෙස බෑ දකින්න
රට ජාතිය ආගම තම දස්කම් ලෙස බෑ ගනින්න
ලෝකෙ සියල්ලෝ ලබනව මෙවැනිම ගුණාංග ගොන්න
තමන් රටට රුකුල් දෙන්න ඡන්දෙ දීල අයින් වෙන්න
ඕනැ කමක් නෑනෙ අපිට පැති අරගෙන රණ්ඩු වෙන්න
සියල්ලන්ට නීති අනුව දිවි ගෙවන්න රුකුල් දෙන්න
නරක නීති කොකඩ ඒව වෙනස් කරන ක්රම සොයන්න
ජාතිය ලොකු කරන ලොවක ඇති උනුසුම අඩු කරන්න
තම ජාතියෙ නම රකින්න අනික් අයට රුකුල් දෙන්න
ආගමකට රුකුල් දෙන්න එයට අනුව දිවි ගෙවන්න
අන් ආගම් විවේචනෙන් බැ තම ආගම වඩන්න
---
දරුවනි හැදිලා වැඩිලා පතෝල කරිවිල නොවන්න
දෙමව් පියෝ වගේ ඔබත් මැස්සක් හෝ වැටක් වෙන්න