රෝසපාට කන්නාඩි

ඉංගිරීසි බසින් කියන දෙයක් මගේ හිතට එනව
“රෝස පාට කන්නඩියෙන් ලොව දකිනව” යයි කියනව
මගෙ කන්නාඩිය අරගෙන පොඩි පහෙ වෙනසක් කරනව
උඩින් රෝස පාට තියල යටබාගේ කළු ගානව

රෝස පාට වීදුරුවෙන් හොඳ දේ පමනක් පෙනෙනව
දැක්මට අකැමැති දේවල නරක කොටස් අස් කරනව
කිසිම හොඳක් නැති දේ කළු බාගෙන් සඟවා දමනව
අවට ලෝකෙ හරිම හොඳයි කන්නඩියට පින් දෙනවා

කන්නාඩිය දාගෙන මම වීදි දිගේ ඇවිදිනවා
මා වගේම අනික් අයත් කන්නඩි දාගෙන ඉන්නව
පාට හැඩය වෙනස් උනත් ක්රියාව එක දෙයක් වෙනව
ඇස හිත ඉදිරියෙ ඇති දේ ගරලා මොලයට ගන්නව

බාග දෙකේ වපසරියන් හිතල වෙනස් කර ගන්නව
පෙනෙනා හොඳ නරක දෙකේ අනුපාතය වෙනස් වෙනව
සමහරු ලෝකේ බලලා බොහොම දේ හොඳයි කියනව
අනිකුන් හොඳ දේ පමනක් දැකලා උන් සතුටු වෙනව

රෝස පාට වෙනුවට රතු පාට ගාන අය ඉන්නව
පාට වගේ පෙනෙන දෙයත් මුලුමනින්ම වෙනස් වෙනව
උන් දකින්නෙ ඕනැ දෙයක වැරදි පැත්ත පමණ වෙනව
රතු පාටෙන් හොඳ දේවල් ගරල අයින් කර දානව
කළු වෙනුවට සුදු ගාලා හොඳ දේ හංගා ගන්නව
මුලු ලෝකේ නරක දැකල ඒ අය සන්තෝස වෙනව

මම රජ වුන දවසක කන්නාඩි පාට නැති කරනව
ලොව බලන්න අවර්ණ කන්නාඩිත් නොමිලේ දෙනවා
පළමුව මැති ඇමතින්ටත් ලොක්කන්ටත් අංඳනවා
මාධ්ය හමුදා ආගම් වලටත් මම අණ දෙනවා
තව වෙද ගුරු ගොවි කම්කරු සැමටම කන්නාඩි දෙනව
කන්නාඩිය නැතුව යෑම නීති විරෝධී කරනව

මුලුලොව ඇතිසේ දකින්න කන්නාඩිය නැතුව හැකිද
බුදුහාමුදුරුවො මොනවගෙ කන්නාඩිය ඇඳ හිටියද