ලස්සන
කාලයකට පස්සේ මට යන්න හිතිල මගේ ගමට
බස් එකකින් ගිහින් බැස්ස ගෙදරට යන පාර ලඟට
විනාඩියක් නැවතුන මම පරිසරෙ නරඹන්න අවට
කඳු වැටි දෙක අතර තිබෙන මිටියාවත පෙනුන හොඳට
උඳුවප් වැස්සෙන් නෑවී ගස්කොල හැම දිලිසෙනවා
උදේ නිසා කුඹුරු යාය මීදුමෙන් තවත් වැසෙනව
පලමු අවුව එහා කන්දෙ තේ වතු එළිමන් කරනව
ඇල අද්දර පොල් අරඹේ අමුතු රටාවක් පෙනෙනව
වැස්ස නැතත් තෙතමනයක් හමනා සුලඟින් දැනෙනව
කුකුලන් හඬලන සද්දෙන් ගමම හෙමින් අවදි වෙනව
ගමෙන් පිට වෙලා හිටියත් මට ගම අමතක නොවෙනව
මෙවැනි ගමක ඉපදුන මම පිට ගියෙ ඇයි දැයි සිතෙනව
මහ පාරෙන් අඩිපාරට බැස්සා මම පුරුදු ලෙසින්
අඩි දහ දොලහකට පස්සෙ වැටුනා මම ලිස්ස ගිහින්
පාරේ තෙත් මැටි ලිස්සන බව කොන්වීලා මතකින්
පරෙස්සමින් අඩි තැබුවා ලඟම තිබුන වල් ගොල්ලෙන්
කූඩැල්ලෝ ගැනත් මෙමට අමතකවී තිබුන බැවින්
දනිසෙන් පහලට එල්ලිල බෝල බෝල බැලුන් ලෙසින්
තෙත තුත්තිරි ගස් වල ඇට බදාගත්ත මා ඇල්මෙන්
ඉත්තෑවෙක් මෙන් දැනනව තුත්තිරි ඇත ඒ තරමින්
නියර උඩින් යන වෙලාවෙ ගොම පෑගී දකුනු පයින්
වම් කකුලත් එරුන වෙලේ දනහිසතෙක් වැසුන මඩෙන්
ලෝකේ බොහො දේ තියෙනව දුටුවම ඈතින් කදිමයි
නමුත් ලඟට එන්න එන්න තව වැඩි විස්තර දක්වයි
රට තොටටම සීමා නැත මිනිසාටත් අදාල වෙයි
රටෙත් සත්ව ජාතින්ගෙත් දුරත් ලඟත් එකම නොවෙයි
සමාජයේ ජීවත් අපි මෙයත් සිතට ගත යුතුමයි
මිනිසෙක් යයි අපි කියන්නෙ දුර ලඟ දෙක එක් කරලයි