සතුට මැනීම

මිනිසාගේ සතුට මනින මිනුම් දංඩ සොයා ගන්න
කරන මගේ උත්සාහය කලක් යාවි පල දරන්න
හඳුනන්නෝ මුල් කරගෙන මේගැන මට හදාරන්න
වසර කීපයක් දෙනවද සැනසිල්ලේ මෙය කරන්න

මගෙ ජීවිතෙ දෙස බැලුවොත් බොහෝ හේතු සතුටු වන්න
මේවා එක බැගින් ගතොත් ස්ථාවරයක් නෑ දකින්න
මට මෙතැනදි පෙනෙන්නෙ එක දෙයයි ඇත්තෙ ඉටු කරන්න
අවමත් උපරිමත් අතර උචිත තැනක් සොයා ගන්න

මද්දහනට මද සුලඟත්, කුනාටු නොව ගිනිඅවු නොව
සීත කාලෙ ගිනි මැලයත්, වෙවුලුම නොව ගිනිබත් නොව
බඩගින්නට කෑම පතත්, සාගිනි නොව කැක්කුම නොව
පිපාසවූ විට වතුරත්, දිව හෝ ඇඟ ගිලීම නොව

මට උචිතවු “සතුටු මිනුම්” මට පමනයි ගැලපෙන්නේ
ඔබ තුමාල තනි තනියෙම උචිත මිනුම් සොයා ගන්නෙ
වෙනස් වුවත් දුප්පත්කම් ඉගනුම ගතිගුන වැන්නේ
සියලු දනෝ තම තමාගෙ සතුටු මිනුම් සොයා ගන්නෙ

මම කැමතියි පොලොස් ඇඹුල් දවස් දෙකක් පරණ වෙලා
ඔබ කැමතියි එයම කන්න ගත්ත ගමන් ලිපෙන් බාල
ඔබයි මමයි සතුටු වෙන්නෙ අපගෙම මිනුමෙන් මැනලා
එනිසා කිසි කෙනෙකුට බෑ කියන්න හරි වැරදි කියල

පිනට ලැබුන දෙයක් කාල නිදා ගන්න තැන් සොයනව
තෙත නැති අගුවක් ලැබුනොත් ඒකෙන් සැනසුම ලබනව
රස ආහර මැනවින් ගෙන සතුටු සිනා නංවනවා
පුලුන් මෙට්ට මුදු පෙරවන අතරේ නිංදට යනවා

කුඹුරු කොටල හවස් වෙලා ඇලේ නාල සතුටු වෙනව
උනු වතුරයි සුවඳ සබන් නැතිනම් සමහරු අඬනව
මේ දෙදෙනා අතර තිබෙන එකම වෙනස මිනුම වෙනව
තම මිනුමට උඩින් යටින් යථාර්තෙ පිහිටා තිබෙනව

මනසේ ඇඳි මිනුමෙ වෙනස මෙතන දකින වැදගත් දෙය
සතුටු මිනුම අඩු කිරීම මගෙ මීලඟ ගවේෂණය