සමාව අයදිමි

මගේ හොඳම මිතුරා දැන් එලොව යන්න ලෑස්තියෙන්
ඇවිදින්නත් බෑ හරියට හුස්ම ගන්නෙ අමාරුවෙන්
ඔහුට කරපු වැරදි වලට සමාව ඉල්ලන්නෙ දුකින්
සමාව දුන්නත් නැතුවත් මමත් මැරෙයි ඒ සමගින්

මාගේ මේ පාප කර්ම ලෝකෙන් සැඟවී තියෙනව
අධිකරණය හා පොලිසිය උන්ගේ ඇස් වහගන්නව
ලඟම නෑයො හා මිත්‍රයො මේවා අමතක කරනව
දෙවියෝ වත් හොයල බලයි එතකොට නම් මම මැරෙනව

පොඩි කාලේ ඉඳන් මමයි ඔහු වරදට හැරවූවේ
ඕනෑවට වැඩිය කෑම ඔහුටයි මම වැක්කෙරුවේ
දුවල පැනල ගස් නැගලා යන්නයි ඔහු ඉල්ලූවේ
මෙමා දීපු අවවාදය - නිදාගනින් දැන් යාළුවෙ

අනික් යාළුවෝ නිතරම එලියේ ක්‍රීඩා කරනව
පාපන්දුයි ක්‍රිකට් එක්ක දුවන්න හෙම පුරුදු වෙනව
මානම් මගෙ යාළුවාට වඩෙයි තේයි අරන් දෙනව
ඒව කාල බඩ පුම්බා එයා හාන්සිය දානව

කාලය පසුවී යනකොට දුම් බොන්නත් පුරුදු කරා
පොඩ්ඩ පොඩ්ඩ දුන්නා මං එක එක වර්ගයේ සුරා
ශරීරයේ හොඳ පැවැත්ම ගැන හිතුනොත් එහෙම හොරා
ඒවෙනකොට මම කිව්වේ තව අඩියක් ගහපන් රා

ඒ මදිවට මම එයාට එලවන්නත් ඉගැන්නුවා
හිමින් ගින් වැඩකුත් නෑ යටටම දැන් පාගනවා
‘ඉස්සර කරපන් ඔවුන්ට!’, කියලා උපදෙස් දෙනවා
වාහනයට නගින්නවත් පණ නෑ දැන් වෙවුලනවා

මට නිතරම තරහ ගියා කොහෙදෝ යන එවුන් එක්ක
කාත් එක්ක රන්න්ඩු වුනත් යාළුවමයි කෑවෙ ටොක්ක
වේදනාව ඇති වෙනකොට ලෙඩට බෙහෙත් ඉල්ලනකොට
මම කිවුවේ 'ඔහෙ හිටපන් - ලෙඩ හොඳවෙයි කල් යනකොට'

යාළුවාට පුළුවන් නම් තනියම තීරණ ගන්නට
මා ඉගැන්නු දේ අරගෙන දායි වද්ද බල්ලන්හට
නමුත් එයා මගෙ වචනය නිශ්ශබ්දව පිළිගත්තට
මම කවදාවත් නෑ එයාගෙ අදහස් නම් ගත්තෙ හිතට

මාගේ පවු ගෙවාගන්න දැන් කරන්නෙ භාවනාව
යන්තම් පුළුවන් තව එය මනස ටිකක් වැඩ කරනව
නමුත් මගේ ශරීරයට කරපු පාප සහ ගහනව
ඊලඟ එන ආත්මයෙ වත් ඔහු හට සලකනවා