සාර විට

දාගැබක් සමග සැසඳූවොත් නුවර
එහි කොත් රජා වන්නේ ඇසල පෙරහැර

දවුල් තම් මැටම්ද හොරණෑ
ශබ්දයෙන් කන් දෙදර වන විට
ඇත් පැටවු නම් සසලවී නෑ
උන් හෙමින් පා තබා යනවිට
නටන්නෝ සහ වයන්නෝ එයි
ප්රාණවත් ලෙස බෙරේ තාලෙට
නිලමෙලා ඇඳගත්ත රජ සළු
නොසැලවේ පා තියන වේගෙට

එකම පෙරහැර වේග දෙකකට
යන්නෙ උන්ගේ අනුව තනතුර
නිලමෙලත් වන්නමක් නැටුවොත්
ඇත් පැටවු ගහනවද ගැට බෙර

ගමින් නගරින් ලඟින් ඈතින්
බලන්නට ආ සියලු අයටත්
මෙ වගේ පොඩි රාජකාරින්
ලැබී තියෙනව ලියා නැතුවත්

සමහරුන් අලි ගනන් කරනව
අනික් අය කරඬුවට වඳිනව
තවත් ඈයෝ සාදු කියනව
ඉන්න පොඩිවුන් කරට ගන්නව
නලා විකුනන අයත් ඉන්නව
බැලුම් ඉල්ලා ළමයි අඬනව
තෙරපි තෙරපී වඩේ කනවා
බෝතලෙන් පොඩි උන්ට පොවනව

බුද්ධි මත් අය මෙහි දකින්නේ
සංස්කෘතියෙත් ආගමෙත් ගුන
මගේ මොලයට මතක් වෙන්නේ
රත්නෙ අයියගෙ සාර විට ගැන

පෙරහැරක් ලොකු පොඩි නොවෙන්නේ
අලියො නැට්ටුවො නෑ ගනින්නේ
සාරවිට කාරයා ආවොත්
පෙරහැරක් සම්පුර්න වෙන්නේ