සැබෑ වන සිහින

“සිහින සැබෑ වේව” කියල
ඔබ පැතුවා හද පුරවල

අනාගතය මෙනෙහි කරල
පැතුම් දෙන්න ඉස්සර වෙල
බැලුවොත් නරකද ඔයාල
සිහිනේ හොඳ නරක සොයල

පොඩි ළමයින් බය ගන්වන
මා දකිනා අමුතු සිහින
සැබෑ වුනොත් මටත් යන්න
වෙනවා අංගොඩ ලගින්න
:
ගං වතුරෙන් යට වෙනවා
බොර වතුරත් කළු වෙනවා
දැන පීනන්නට බැරි බව
වතුර වේගයෙන් ගලනව

සත්තු මාව එලවනවා
දුවන්න බෑ ගාටනවා

සෙනග පිරීලා ඉන්නව
මගේ ඇඳුම් නැති වෙනවා

ගමන් යන්න සැරසෙනවා
සපත්තු දෙක නැති වෙනවා
ඒ වෙනුවට ගෙම්බො එනව
මගේ කකුල් දෙක හපනව

කූඩාරමෙ මම ඉන්නව
න්යෂ්ටික ආයුධ දිලෙනව
එලියට මම විසි කරනව
එය එතකොට පියාඹනව

අහස් යාන බැබලෙනවා
විදුලි බුබුලු දැල්වෙනවා
පොල් ගස් අතරින් එනවා
ලෝක යුද්ද ඇරඹෙනවා

කාපු දේ කටේ තියෙනව
එලියට ඇදලා ගන්නව
යාර ගනන් ඇදී එනව
කොහු ලනුවක් සේ දැනෙනව

මමත් ටිකක් පියාඹනව
ගස් මුදුනෙන් බිම බලනව
ඒ ගමනම බිම ඉන්නව
ඉදුන කොකෝ ගෙඩි කනවා

පහල ඇලේ මම නානව
ලස්සන මාලුවො ඉන්නව
ඇල්ලූවොත් උන් හපනව
එවුන් කබර ගොයි වෙනවා

ආදරෙ කල අය දකිනව
බලා ඉද්දි වෙනස් වෙනව
සමහරු දැන් දන ගානව
අනික් එවුන් මට බුරනව

:

කරුනාකර මගේ සිහින
නින්දට සීමා කරන්න
පටන් ගතොත් සැබෑ වෙන්න
දෙමි නොමිලේ, ඔබම ගන්න