සිරිත් විරිත්

අපි පොඩි කාලේ ගමේදි අවුරුදු නම් බොහොම සරුයි
කෙසෙල් කැන් පිටින් ඉදවා මුළු ගෙදරම සුවඳ කරයි
කැවුම් කොකිස් අළුවා අග්ගලා සමග තරඟ කරයි
රසකැවිලියි කෙසෙල් ගෙඩියි තේ වතුරත් සමග අගෙයි
බොහෝ ගමේ නෑයෝ අවුරුද්දට අපෙ ගෙදරට එයි
කැවිලි කෙසෙල් තේත් එක්ක සංග්රහ නිතැනින්ම ලබයි
සිරිත් පරිදි බාල ඈයො වැඩිහිටි බුහුමන් පෙන්වයි
එක අවුරුද්දක් ගෙවිලා අළුත් එකක් පිළිගන්නයි

අවුරුදු චාරිත්ර අනුව මමත් ගියා නෑ ගමනක්
කැවුම් කෙසෙල් නැතුව ගෙදර ගියා හොයාගෙන කඩයක්
කඩෙන් ගත්ත කියල කෑම නෑනේ රසේ කිසි අඩුවක්
දැනගත්තොත් පමණයි කවුරුත් දකින්නෙ එහි වරදක්

කඩේ තෑගි දක්කාගෙන ගොඩ උන මම නෑ ගෙදරට
වැඳලා වැඩිහිටි සැමටම වාඩි වුනා තේ බොන්නට
මේසෙ වහල කැවිලි පිරිල ආස හිතෙනවා කන්නට
මගෙ කඩෙන්ම ආපු කෑම ගැන මට දැනෙනවා සතුට

මගෙ නෑයා කියනව මට “මේව කඩෙන් ගත්ත තමයි
මට බෑ ඔව්වා කොරන්න දැන් ඉස්සර වගේ නොවෙයි
අපතේ යන වෙලාව වියදම සමගම මහන්සියයි
එකතු කරල බලපුවාම කඩෙන් ගන්න එක ලාබයි”

අවංකකම විදහාපෑ ඇගෙ කතාව ඉතා අගෙයි
තමන්ට හැකි දේ කරන්නෙ තමන්ම හිතලා බලලයි
ලෝකෙ පුරා සිරිත් විරිත් දවසින් දවසට පෙරළෙයි
අනිකුන් හට බාර නොදී අපිටම මෙය කල හැකිවෙයි

පලමුවෙන්ම අවුරුද්දේ සිරිත් විරිත් වෙනස් කරමු
නැකත් ඕනැයයි හිතුනොත් අපිම වෙලා තෝරා ගමු
ලිපගිනි මොලවා ගෙන අපි ගෑස් ලිපෙන් කිරි උතුරමු
ඕනෑ නම් තේ කොල ටිකකුත් එකට දාලා ගමු
හතට කන්න ඕනෑනම් නැකත හය හමාර කරමු
ඊයෙ කෑම තියෙනවනම් ඒකත් රත් කරලා ගමු
එක එකාට කැමති ලෙසට ඕනැ දෙයක් කන්න කියමු
හන්ඳියේ කඩෙන් ගෙනල්ල අවුරුදු ඉඳි ආප්ප කමු
කිසිකෙනෙකුට අවුරුද්දට තෑගි බෑගි නොදී ඉඳිමු
වැඩිහිටි ගෞරව පෙන්වා ‘ගුඩ් මෝනින්’ කියා කියමු
වෙනදා මෙන් වැඩට යන්න කැමති උනොත් එහෙම කරමු
කම්මැලි නම් මුලළු දවසම ඇඳේ ඉඳන් පොත් කියවමු

අවුරුද්දක් දෙකක් මෙහෙම කෙරුවොත් මොනවා වෙනවද
නව වසරක් උදා වෙන්නෙ අදද හෙටද මොන මාසෙද
අවුරුදු සිරිතට වැදගත් දේ තීරණ කෙරුවෙ කවුද
ලිත කියන්නෙ මාලු ඔතන පාට පාට කොලය වෙයිද
අවුරුද්දෙන් පටන් ගත්ත විප්ලවෙ කෙළවරක් ඇද්ද
කුල මල දෑවැදි සියල්ල එක දවසින් ඉවර වෙයිද
කසාද බඳිනා සිරිතත් මෙතනින් කෙළවර දකියිද
ආගම හිත ඇතුලෙ දෙයක් සිද්ධස්ථානත් ඉවරද

මේසැරෙ අවුරුද්දට නම් අන්තර්ජාලෙන් බලලා
කැවුම් කොකිස් ගෙදර බදිනවා මහන්සි නොතකාලා