සිහින

දරුවන් ඉස්කෝලෙ ඇරිල ගෙදර බලා යන වෙලාවෙ
මම හිටියා බස් නැවතුමෙ වාඩිවි සෙවනටම මුවාවෙ
මද්දහනේ අව්වෙන් හෙම්බත්වී මම නිදි කිරුවේ
පොඩිඋන්ගේ කාලගෝට්ටිය නම් නෑ අඩුවූවේ

කෑගහලා තල්ලු කරල ආ බස් වල ගොඩවූවෝ
ගුරුවරයා ආ වෙලාවෙ වහාම සන්සුන් වූවෝ
එතුමාහට සියලු ළමෝ නිසි ගරුතර පෙන්වූවෝ
ඔහුගෙ ඇඳුම සිනා මුහුන හැකියා විදහා පෑවෝ
හිතුව මමත් අත් දකින්න ඒලෙස ගුරුකම් ලැබුවෝ
නින්දෙන් මට ගුරු පදවිය එතෙන්දීම අත්වූවෝ
:
බසයෙන් බැහලා එනකොට නැගෙනව තව සිතිවිල්ලක්
දෙමවු පියෝ ගැසු පෙත්සම් නිසා වෙයිද කරදරයක්
සිල්ව මහත්තයට ලැබිල යාපනයට පත්වීමක්
මටත් එහෙම උනොත් වෙනව බලා ගන්න වෙන පැත්තක්

කුඩයයි පොත් මිටියයි දාලා එලියේ කාමරයට
සරමට බැහැලා කාලා වැටුනා හරහට පුටුවට
ලමයින්ගේ පොත් බැරියැයි පස්සෙ ලකුණු කර ගන්නට
කොහොමද මම රුකුල් දෙන්නෙ ලමයින්ගේ ඉගෙනීමට
ඇමතියන්ට වගේ අයට තේරෙනවද උගනනන්ට
ඇස් පියවී එනවිට මට හිතුනා ඇමතියෙක් වෙන්ට
:
රෑ එකොලහ පහුවීලා තවම පාරෙ ගෙදර යනව
ආරක්ශක වාහනයෙන් ගමනත් ඉක්මන් වෙනවා
මාත් එක්ක එන තුන්දෙන හෙට මීටිම ගැන කියනව
මට හැකිනම් ගෙදර ගිහින් මේවා අමතක කරනව

දහසක් දේ ගැන හිතන්න ඔනෑ දිනපතාම මට
එයින් එකක් වැරදි උනොත් මට වෙනවා කන්නට බැට
මුලු රටෙ ඉස්කෝලවලට උසස් අද්දියාපන යට
එක මිනිහෙක් නොවේද මම සියල්ලටම වග කීමට
උපදේශක පිරිස අදිනවා මාව හැම පැත්තට
උන්ගෙ හිතේ මට පුලුවන් මේ සේරම එලවන්නට

මමත් කැමති නමයෙ ඉඳන් පහ දක්වා වැඩ කරන්න
ඉඳල හිටල වත් දවසක් දවල් කාල නිදා ගන්න
පවුල ළමයි එක්ක දිනක් හවසට පන්සලට යන්න
බෑ නේ මට එහෙම කරල ලොක්කන්ගෙන් බේරි ඉන්න
:
වාහනෙ කානුවක වැටුන ගැස්සිල මට ඇහැර වෙනව
මීටිම ගැන කියපු ඈයො හෙමින්ම දියවෙලා යනව
නිදා ගත්ත පුටුව උඩට ඇවිල්ල පූසෙක් පනිනව
ගුරු ගෙදරත් මැකී යනව බස් නැවතුම මතු වෙනවා
කොල්ලෙකුගේ පොත් මල්ලක් මගේ කකුල උඩ වැටෙනව
ලමයි කාල ගෝට්ටියෙන් මාගේ ඇස් දෙක ඇරෙනව
:
හිඟාකමින් ජීවත් වෙන මට තියෙනව හරි කරදර
ගුරුවරුන්ට ඇමතියන්ට එහෙමත් ඇති හරි ජරමර