සූදු කාරයා

ශනිදා ලොතරැයිය අරන්
ලක්ශ ගනන් දිනා ගන්න
හතර වරම් දෙවි පිහිටෙන්
ආර්ථිකය නගා ගන්න
මේ අදහස හිතට අරන්
මමත් ගියා ටිකට් ගන්න
අතේ තිබුන තුට්ටු දෙකෙන්
ලොතරැයි බාරයක් වෙන්න

මම දන්නා අවංකයෙක්
ලඟදි අංගොඩින් ඇවිල්ල
දුන්නා මට දේශනයක්
ආජීවය මුල් කරලා

“මිනිස්සු අපෙ කෝටි ගනන්
ජීවිතෙ අඩකට වැඩියෙන්
සිතේ ඇඟේ වෙර යොදමින්
ඇඟ දහඩිය පිස දමමින්
අව් වැසි අමතක කරමින්
කුසගිනි වතුරෙන් නිවමින්
තමාගෙ දියුණුව තකමින්
ශ්රමය මුදල් කර ගන්නෝ”

“වෙනස් වෙලා මේ අයගෙන්
ඉන්නව අය දහස් ගනන්
වැඩට පිරිය නොමැති බැවින්
යැපෙන්නෙ අනිකුන්ගෙ දැයෙන්:
වංචාවෙන් දිවි ගෙවන්නො
අනුන්ගෙ දේ හොරෙන් ගන්නො
බලෙන්ම කප්පමුත් ගන්නො
හොර අත්සන් ගසා දෙන්නො
වැඩක් ගන්න පගා දෙන්නො
හැකි තැනකින් පගා ගන්නො
කැමති නීති සදා ගන්නො
තියෙන නීති බිඳ දමන්නො
මේ ලෙස සෙල්ලම් කරන්නො
ජීවිතෙ සූදුව කරන්නො”

“අනිකුන් උපයන මුදලෙන්
තම බඩ වඩවා ගන්නන්
අතරට එක් කල හැකි උන්
ලොතරැයි මිලදී ගන්නන්
මිනිස්සු අපෙ ලක්ෂ ගනන්
දී රුපියල් විස්ස බැගින්
දිනන බලා පොරොත්තුවෙන්
ලොතරැයියෝ තර කරමින්
ලොතරැයියොත් සල්ලි අරන්
ඉන් කොටසක් ඉනේ ගසන්
ඉතුරුව දෙයි හට දිනුවන්
අතලොස්සක් පිනවා ඉන්”

“අහස දකින කැස්බෑවන්
සේ දිනන්නො දුලබ බැවින්
අනන්ත කැස්බෑ මිනිසුන්
ගිලෙනව දිනුමක් සොයමින්”