හයෙන් හැටට

වයස හයේ පොඩි එවුන්ගෙ කිරි දත් ටික ටික වැටෙනව
ඒවා වැටිලා හෙමිහිට නියම දත් ටිකක් වැවෙනව
හැට පැනලා ඉන්න අයගෙ මුලු දත් සෙට් එක වැටෙනව
දත් දොස්තරයා ඇවිල්ල අලුත් සෙට් එකක් දානවා
දත් විතරක් නෙවෙයි තවත් සමානකම් හුඟ තියෙනව
හයක් උනත් හැට පැන්නත් අනිකො වෙනස් කම් කරනව

ඩයබිටිස් ද දත් පනුවොද සීනි එහෙම කන්න එපා
ප්‍රෙශර් ද වෙන මොකක් වුනත් ළුණු වැඩියෙන් ගන්න එපා
තුනපහ කුඩු මිරිස් වගේ සැරට කෑම කන්න එපා
දත් වෙනුවට දිව නැත්තන් අපිත් කනව මේව හපා

යන්තම් උණ ගැනුන ගමන් දොස්තර හොයලා යනවා
හයද හැටද ගානක් නෑ බෙහෙත් බලෙන් පොවුවනවා
“ඇඳෙන් බැහැල යන්න එපා ඔහොම ඉන්න තේ ගේනව”
කිවුවට නෑ තේ එන්නේ ඔවුන් පාටියක් දමනව

පිනිබානව කියල අපිව ගේ ඇතුලට ඇද ගන්නව
“කරදරෙ අපටයි ලෙඩ හදාගතොත්” යයි කියනව
පඩි පෙල බැස්සොත් හයියෙන් “හෙමින් හෙමින්” කෑ ගහනව
අපේ ඇඟත් අපිට නෑනෙ අනිකෝ භුක්තිය විඳිනව

හයේ වයසෙ මුනුබුරු මිනිබිරි කට්ටිය එකතු වෙලා
හැටේ ආච්චිල සීයල එක්ක අත්වැලක් බැඳලා
පීඩිත පන්තිය හැටියට වර්ජනයක් දියත් කලා
තිහේ හතලි හේ පනහේ පාලකයෝ කොන් කරලා

සහොයුරු සොහොයුරි එක්වී ඉල්ලුම් ලියලා දෙනවා
උදේට චොකලට් ඕනෑ හවස බීර ඉල්ලනවා
නිදියන්නයි නැගිටින්නයි වෙලා අපිම හදා දෙනව
මේව නොලැබුනොත් අපි සාධාරණ ලෙස වර්ජන කරනව

අපිට ඕන ගමන් මිසක් ඔබේ ගමන් අපිට එපා
පලකයගෙ ගමන් වලට වලිගෙ වීම අපිට එපා
අපි මෝඩයො කියල හිතා බොරු බේගල් කියන්නෙපා
සමසම ලෙස සලකන තුරු ඔබගේ අවවාද එපා

අපගේ ඉල්ලීම් වලට විසඳුම් දැන් අවශ්යයි
නොලැබුනහොත් අපි ගන්නා ක්‍රියාවලිය මේලෙසටයි

බොරුවට ලෙඩ කියලා අපි අඳේ වැටිල ඔහෙ ඉන්නව
ඉඳල හිටල කිසිම හේතුවකුත් නතුවත් අපි හඬනව
අමුත්තෝ අවිත් හිටියොත් කැත වචනෙන් කෑගහනව
අල්ලපු ගෙදරට ඇහෙන්ට කෑම ඉල්ලලා හඬනව
කාරෙකෙ ඇතුලේ හැමතැන හිතලා වමනය කරනව
අවට අයට කියනව ඔබ පගා ගන්නවා කියලා

අපි පොඩි අය ගොන්නු නෙවෙයි ඔබලත් මෙහෙමයි උන්නේ
අපි නාකියි ගොන්නු නෙවෙයි ඔබත් මෙහෙට මයි එවෙන්නෙ
වචනෙන් සහ ක්‍රියාවෙනුත් උචිත ලෙසින් හැසිරෙන්නේ
මොක කිව්වත් අපිත් ඔබත් එක වල්ලේ පොල් නිසානෙ