හැඳි මිටි

“ගහැණු මොලේ හැඳි මිටේ දිගයි” - පුරාණ උගතෙක් කියූ වගයි.

අපෙ පවුලේ ගැහැණු අය දිහා බැලුවම මට හිතෙන්නෙ
මේ උගතා කියපු දෙයින් ඒ අය නින්දා ලබන්නෙ
සහෝදරියො නැන්දල ලේලිල මිටියක් මට සිටින්නෙ
මගෙ පවුලත් දුවත් මිනිබිරිත් ඒකට එකතු වෙන්නෙ
නෑනේ කිසි අඩුවක් ඒ අයගෙ මොලේ මට පෙනෙන්නෙ
ඒ කියන්නෙ උගතාටද මොලේ අඩුව අයිති වන්නෙ

නමුත් මොලේ මංද කෙනෙක් කිව්වානම් එවැනි දෙයක්
නෑ එය කල් පවතින්නේ නොමැති නිසා කිසි හරයක්
ගැහැණු මොලේ ගැන කතාව කිව්වේ වෙන්නැති උගතෙක්
එනිසා මට සිතෙනව එහි ඇති සැඟවී ගැඹුරු දෙයක්

ගැහැනු මොලේ හොඳ නරකක් ගැන එතුමා නිශ්ශබ්දයි
මිනුම් දංඩ තෝරාගෙන ඇත්තේ වෙන දේ හිතලයි
කන් හැඳි, තේ හැඳි, පොල්කටු පිත්තල වැනි හැඳි බොහොමයි
හැඳි මිටෙ දිග දක්වන්නේ හැම මොලේම වෙනස් බවයි
මෙවැනි වෙනස් පිරිමින්ටත් අදාල වන බව නිසැකයි
ගැහැණුන් පමනක් ගත්තේ පර්යේෂණයක් ලෙසටයි

“ගැහැණු මොලේ හැඳිමිටෙ දිග” සමහර පිරිමින් හිනැහෙයි
උජාරුවෙන් ඒ කියන්නෙ තම මොලයේ උසස් බවයි
නමුත් එයින් පෙන්වන්නේ යටි අදහස නොදැනී මයි
සමහරවිට ඒ අයගේ මොල කන්හැඳි තරම් දිගයි

තල් පත මත ලියා ඇත්තෙ අකුරු හා වචන පමණයි
ගැබ්වී ඇති අර්ථය එහි අකුරු වගේ නොව ගැඹුරුයි