හැරමිටි
පාලම ලඟ හිටියේ මම බස් එක එනතුරු හිටගෙන
එකතු වෙලා හිටපු ඈයො කියන දේට කන් දී ගෙන
බස් ප්රමාද, රජයෙ වැරදි, ඉහල නගින බඩු මිල ගැන
එකඟ වෙනව සියළුදෙනා මතුකල හැකි වුවද ප්රශ්න
දෙමව් පියෝ එක්ක හිටපු හය හැවිරිදි පොඩි දරුවෙක්
ප්රශ්න ඇහුව වැඩිහිටි මෙන් පෙන්වන්නේ නැතුව බයක්
“අප්පච්චී කියන්ට ඇයි අර මිනිහට කකුල් තුනක්?”
හැරමිටියක් මුල්කරගෙන මතුවූවා නියම බණක්
“ඒ සීයා වයස ගිහින් ඇඟ හොඳටම නාකි වෙලා
ඉස්සර වගෙ දුවන්න බෑ කකුල් එහෙම දුබල වෙලා
හැරමිටියක් අතට ගන්නෙ කකුලට රුකුලක් සොයලා
කකුල් ගාටලා ගියාට සිත තව නෑ අලස වෙලා
සිතයි ගතයි දෙක ගත්තොත් සිතයි නියමුවා වෙන්නේ
සිත කියනා දේ පමණයි ගතටත් කලහැකි වෙන්නේ
එසේ වුවත් ගත ගැන පමනක් හිතන්නො සුලබ වෙන්නෙ
සිතේ දියුණුවක් නැතිනම් ගතත් පිරිහිලා යන්නේ”
“අප්පච්චිගෙ කකුල් එහෙම දැන් ටික ටික වෙවුලනවද?
අර සීයට වගේ යන්න හැරමිටික් ඕන වෙයිද?
ඊට වැඩිය තවත් එකක් සිතටත් හැරමිටි තියෙයිද?
සිත් හැරමිටි කොයි වගේද? ඒව හැදුවෙ මොනවගෙන්ද?”
“නියම ප්රශ්නෙ දුව ඇහුවේ උත්තරෙ අහගන්ට හොඳින්
සිත් හැරමිටි ඕන තරම්, ලෝකෙ පිරිල එවාගෙන්
:
ජාතිය ආගම රට දැය කළු සුදු කුල බේද වලින්
දේශ පාලනේ වගේම නවීන පන්නේ ඇඳුමෙන්
ඒ මදිවට පුද්ගලිකව මත් පැන් දුම් බීම වලින්
හැරමිටි අපි හදා ගන්නෙ තනි තනියෙන්, අපේ මොලෙන්!”
ගැඹුරු දේශනය හොඳින්ම මුල්බැස්සේ මගේ සිතෙයි
ඒ වෙලාවෙ පටන් මෙමට පෙනෙන්නෙ හැරමිටි පමණයි