හෙවනැල්ල පාගන්නෝ
හතර පංතියේ ඉද්දී
කහඹේ ජයතිලක කිව්ව
“ඉගිලී යන කුරුල්ලෙකුගෙ
හෙවණැල්ලක් පෑගුවහොත්
ඌ එතනම මැරෙනවාලු
මැරිල බිමට වැටෙනවාලු”
මේක අහල මට පුදුමයි
කරල බලන්ටත් ලේසියි
මම දන්නැති දේ බොහොමයි
ජයතිලකගෙ දැනුම හොඳයි
ජයතිලකට ලකුණ ලැබෙයි
මට ලැබුනේ බිංදුවමයි
ජයතිලකගෙ ඒ කතාව
තේරෙන්නට කලක් ගියා
හෙවනැල්ලක් පාගනු බෑ
කකුල උඩට වැටෙන නිසා
[මම මෙය කරලත් බැලුවා
ගෙදර මයින කූඩු යොදා]
මා ගොනාට අන්දවන්ට
ජයතිලකට හැකිවු නිසා
ජයතිලකට ලකුණු දෙකයි
මට තාමත් බිංදුවමයි
අවුරුදු ගානකට පස්සෙ
හොයල බැලුව තවසැරෙයක්
හෙවනැලි පෑගීම අස්සෙ
ඇතිද කියා තවත් යමක්
ජයතිලකගෙ පරකාසේ
කොහෙත්ම කල නොහැකි දෙයක්
ඒක අසාදාරනයක්
මට ලැබෙයිද ඉන් ලකුණක්
ජයතිලකගෙ වග බැලුවොත්
ඌ කිව්වේ “පෑගුවහොත්”
හැකිද නැද්ද වගේ ප්රශ්න
ගැන එයාට නෑනෙ වැඩක්
ජයතිලකට ලකුණු තුනයි
මගෙ බිංදුව තව එහෙමයි