අනික් පැත්ත

උදේ පහමාරට ඇඳෙන් නැගිටපු මට අද දවසේ කරන්න තියෙන පලවෙනි රාජකාරිය තේ හදන එකයි. වතුර ඉතිරෙනකම් උදේ කෑමට ඕන හාල්, පරිප්පු, ලූනු මිරිස් වගේ දේ කුස්සියේ මේසේ උඩට ගත්තට මම තේ එකක් බොනකම් වැඩ පටන්ගන්නෙ නෑ. උදේ තේ එකක් නැතුව මට කිසි දෙයක් කරන්න බෑ.- ඒක පොඩි කාලේ ඉඳන් ආපු පුරුද්දක්. ඒ දවස්වල නම් අම්මා තේ එහෙම හදලා ඉවරවෙලයි අපිට ඇහැරෙව්වේ. හැබැයි අද ගෙදර අනික් අයටත් එක්ක තේ හැදීම වෙන්නේ මං අතිනුයි.

ගෑස් ලිපේ වතුර උනුවෙන්න ඒ තරම් වෙලා යන්නෙ නෑ. විනාඩි දහයක් යනකොට අලුත හදපු තේ වලින් උනුවතුර බෝතලේ පුරවලා, මගෙ කෝප්පෙටත් තේ එකක් දාගෙන ඉවරයි. මගෙ තේ කෝප්පෙත් අරගෙන කුස්සිය පිටිපස්සේ පඩි පෙලේ වාඩිවුනේ ඊ ලඟ විනාඩි පහ පාන්දර අඳුරත් අවට නිහඬතාවයත් සමග තේ එකේ රස විඳින්නයි. සමහරවිට අද දවසටම නිදහසේ ඉන්න ලැබෙන එකම වෙලාව මේකයි. මෙහෙම මගෙ නිදහස නැතිවීම ගැන දැන් වෙන කාටවත් බැනලා වැඩක් නෑ - ඒක මගේම මෝඩ කමකින් සිද්ධ වුන දෙයක්.

උදේ කෑම ලෑස්ති කරලා මේසෙටත් ඇරියට පස්සේ තමා මම ළමයින්ගෙ කෑම පාර්සල් බඳින්න පටන්ගත්තේ. එතකොට මම මගෙ දෙවනි තේ එකත් බීලා ඉවරයි. රේඩියෝ එක වැඩිය සද්ද නොවෙන්න දාලා මම පිඟන් කෝප්පත් මේසේ උඩ තියලා ‘ලන්ච් පේපර්’ මේසේ එලනකොටයි මගෙ පවුල නැගිටලා ආවේ.

“බෝතලේ තේ තියෙනවා”

“හ්ම්”

කෝප්පෙට තේ වක්කරගෙන අනුලා ගිහින් ටෙලිවිශන් එක දැම්මා. ඒකේ මොකද්දෝ බලන ගමන් මට කතා කරේ මා දිහා නොබලා.

“පොඩ්ඩෝ තව නිදිද?”

“ලන්ච් හදලා කතා කරන්නම්”

“හ්ම්”

පොඩි දෙන්නා උදේට කන්නේ පාන්. ඒ අයට උදේ කෑම ගැන ඒ තරම් සැලකීමක් නෑ. බිත්තරයක් බැදලා දුන්නොත් කනවා, ඉල්ලුවේ නැති උනාට. මම අනුලා දිහා බැලුවේ බිත්තර එලියට ගන්න වෙලාවේ.

“අනුලටත් බිත්තරයක් බදින්නද?”

“හ්ම්….? නෑ…අද එපා…”

දුවයි පුතයි කනකොට වැඩි කතාවක් නෑ. නිතරම හදිස්සියෙන් කන්නේ බස් එක බැරිවෙයි කියලා. කොච්චර කිව්වත් ටිකක් උදෙන් නැගිටින්නෙ නෑ. මගෙ පවුලත් උදේට වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි - දරුවොත් ඒවගේ වෙන්න ඇති හැදෙන්නේ.

“අද රෙදි සෝදනවද?”

“වැඩට යන්න ඉස්සර එක ලෝඩ් එකක් දාන්නයි හිතුවේ”

“අර මගෙ පාට ඇඳුම් සුදු එව්වත් එක්ක එකට දාන්න එපා…මගෙ සුදු හැට්ටෙක නිල් පාට පැල්ලමක් වගේ තිබුනා…”

“අද සුදු එව්ව විතරක් දාන්නම්”

පොඩ්ඩො දෙන්නා පොත් මලුත් අරගෙන පාරට බැස්සේ වචනයක්වත් අපිට නොකියා බොහොම හදිස්සියෙන්. ඉස්කෝලේ බස් එක ඈතින් එනවා දකින්න ඇති සමහරවිට. ඊට විනාඩි දහයකට පස්සේ අනුලා ගෙදරින් එලියට බැස්සේ මිසිස් ජයනෙත්තිගෙ කාර් එක එනකම් මිදුලේ ඉන්න වගේ. පඩිපෙල බහින්න ඉස්සර එක සැරයක් මා දිහා බලලා හිනාවුනා.

“තව දවස් කීයද?”

“අද අංතිම දවස” මමත් හිනාවුනා.

“මම ගෙදර එනකොට ටිකක් රෑවෙයි…අද ස්ටාෆ් ෆෙයාවෙල් එකක් තියෙනවා…රෑට ඉඳිආප්ප කමු”

මම ගේ ඇතුලට ගියේ කුස්සිය අස්පස් කරලා රෙදිත් සේදෙන්න වොශින් මැශින් එකට දාලා වැඩට යන්න ලෑස්ති වෙන්නයි.

………………

අනුලගෙ ඉස්කෝලේ වගේ නෙවෙයි මං උගන්නන ඉස්කෝලේ තියෙන්නේ ගෙදර ඉඳන් පයින් යන දුර. ඒ නිසා මට පුලුවන් ටිකක් වෙලා ගිහින් උනත් ගෙදරින් පිටත් වෙලා හරි වෙලාවට එතෙන්ට යන්න. අඳින අඳුම චාම් නිසත් දවල් කෑමට ගෙදර එන නිසත් මට ලෑස්ති වෙන එක වෙලා යන දෙයක් නෙවෙයි.

හයේ හතේ අටේ පංති වලට ගනිතය, විද්යාව සහ බුද්ධාගම ඉගැන්වීම මට ඒ තරම් අමාරුවුනේ නෑ. මගේ විද්යාවට හා ගනිතයට තිබෙන කැපවීමයි ආගම ගැන ඇති කුතුහලයයි ඉගැන්වීමට බොහොම උදව්වුනා. දැනට මගෙන් ඉගෙනගන්න ළමයි අතරෙන් අඩුම ගානේ තුන් හතර දෙනෙක්වත් අනාගතේ විද්යාඥයෝ වන බව මට හොදටම විශ්වාසයි. ඒ වගේම සියයට දහයක්වත් උසස් අධ්යාපනට තේරුනොත් ඒ ගැන මම පුදුම වෙන්නෙ නෑ. අනික් අතට එකෙක් දෙන්නෙක් පල් හොරු වෙන්නත් සියයට දහයක් ලෝකෙට කිසිම වටිනාකමක් නැති ‘නිකමෝ’ වෙන්නත් බොහොම ඉඩ ඇති බව මට පෙනෙන්න තිබුනා. ඒ නිසාමද කොහෙද මම හොඳ ගුරුවරයෙක් වෙන්නත් අනික් ගුරුවරුන් හොඳ ගුරුවරුන් කරන්නත් නිතරම උත්සාහකලේ.

“මචං උඹට පුළුවන්ද මගෙ පංතිය ගන්න ඊලඟ පීරියඩ් එකේ? උඹට ආයෙ අද ක්ලාස් නෑ කියලා ගල්බනිස් කිව්වා”

මම අබේසේකර දිහා බැලුවේ පුදුමෙන්.

“මං කොහොමද බං ඉතිහාසේ උගන්නන්නේ? ඒක හරියට උඹ මගෙ උන්ට ගනිතය ඉගැන්නුවා වගේ තියෙයි”

අබේ දවසක් මගෙ පංතියට වැරදිලා ඇවිත් විනාඩි දහයක් සිංහල භාශාව ඉගැන්නුවලු. ඒ වෙලාවේ ඒ පංතියට තිබුනේ ගනිතය කියලා එක ළමයෙක්වත් කිව්වෙ නැතිලු. මම අළුත් ගුරුවරයෙක් එක්ක වෙලා ගිහින් පංතියට එනකොට අබේ තවම ‘කවි රස විඳීම’ ගැන කතා කරනවා.

“මට පොඩි ලෙඩක් වැටිලා තියෙනවා…බයිසිකලේ හදන්න දාලා ආවේ…දැන් බාසා කතා කරලා කිව්වා අද හවස හදිස්සියකට කොළඹ යනවා කියලා ගැරෙජ් එක වහලා…බයිසිකලේ නැතුව මට දුව ඉස්කෝලෙන් ගන්න හම්බුවෙන්නෙ නෑ….අනේ මචං…උඹට බැරිද ‘විද්යාවේ ඉතිහාසය’ කියලා මොනවාහරි බම්බුවක් උගන්නන්න?”

“හ්ම්…කරන්නම්…හැබැයි උඹ මට නයයි!”

“තැන්ක්යු….හෙට හම්බුවෙමු….” අබේ ඉක්මනටම ගුරුකාමරෙන් එලියට බැහැලා ආයෙත් හැරිලා බැලුවා.

“මට අහන්න අමතක උනා…තව දවස් කීයක් තියෙනවද?”

“අද අංතිම දවස!”

“සංතෝස ඇති නේද?”

විද්යාවේ ඉතිහාසය ගැන කියාදෙනවට වැඩිය ලේසියි මෑත ඉතිහාසය විද්යාව නිසා හැඩගැසුන හැටි ගැන කතා කරන එක. මම ළමයින්ට හිතන්න කිව්වේ ‘මීට අවුරුදු පන්සීයකට ඉස්සර ජීවත්වූ කෙනෙක් දැන් අපෙ ගෙදර ආවොත් එයා අද තාක්ශනය ගැන කියන්නේ මොනවද?’ යන අදහසයි. ඒ වගේම අපි ඒ අය ජීවත්වූ තැනකට ගියොත් ඒ අයගේ තාක්ශනය ගැන අපි මොකද කියන්නේ? මට පෙන්වන්න ඕනැවුනේ ඉතිහාසය කියන්නේ රාජධානි, යුද්ධ, රජ පැලැන්ති වගේ දේ ගැන පමනක්ම නොවෙයි කියලයි.

ළමයි මේ අදහස් සාකච්චා කරනකොට මට මතක් උනා මමත් අපෙ ගෙදර තාක්ශන එක්ක කොයි තරම් කිට්ටුවෙන් ඉන්නවද කියලා. වොශින් මැශින්, ගෑස් උදුන්, ටැප් වතුර, ලයිට්, සබන් වර්ග, රයිස් කුකර්….ඉස්සර මම අල්ලලාවත් නැති තාක්ශන දැන් මම හොඳට පාවිච්චි කරනවා. මම මේ තත්වෙට පත්වුනේ කොහොමද කියලා මම හිතුවෙ නෑ - ඒ වේදනාව නැවතත් විඳින්න මට ආසාවක් නෑ.

මගේ ඉතිහාස පංතිය සාර්ථකයි කියලා මට හිතුනේ ළමයින්ගෙ අදහස් වලට කන්දීලයි. පංතියේ අවසානේ සීනුව වදිනකොට මට කිසිම සැකයක් නෑ අපි සේරම යම් යම් දේ ගැන අළුත් විදිහට හිතන්නවත් පටන්ගත්ත බව. ඒ පංතියේ ළමයි පමනක් නොවෙයි - මමත් ඒකට අයිතියි.

ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියාට මට කන්න බඩගින්නක් තිබුනේ නෑ. වෙන කවුරුත් ගෙදර ඒ වෙලාවට හිටියෙ නැතිනිසා මම වැලේ වේලුන රෙදි ගෙට ගෙනත් තව රෙදි ටිකක් සේදෙන්න දැම්මා. වේලුන රෙදි නමලා එකඑක්කෙනාගෙ ඇඳවල් උඩම තියලා මම ගෙදර අතුගෑවා, උදෙත් ඒක නොකරපු නිසා. තේ එකකුත් බීලා මම කඩමංඩිය පැත්තේ ගියේ තව කෑමට ඕන අඩුවැඩි ටිකක් ගන්නත් රෑට ඉඳිආප්ප ඕඩරේ දෙන්නත් හිතාගෙන. එතෙන්දී මම ඉස්සරවෙලාම දැක්කේ අනුලගෙ මල්ලී අනුර.

“අයියා වැඩ වගේ…තව දවස් කීයද?”

“අද අංතිම දවස මලයා…යං ගෙදර තේ එකක් බොන්න”

“මං කොන්ඩේ කපාගෙන එන්නං…ගෙදර බීර තියෙනවද?”

“නෑ….අරක්කු ටිකක් ඇති”

“හ්ම්…මං එනංකෝ…”

මගේ වැඩ ටික කරගෙන ගෙදර එනකොට පොඩ්ඩෝ දෙන්නත් ඇවිත්. මම ගත්ත රෝස්පාන් මේසේ උඩ තියලා කිරි දාල තේ හැදුවා ඒ දෙන්නට.

රෝස්පාන් කෑල්ලක් හපන ගමන් දුව මගෙ දිහා බලාගෙන හිටියා කතා නොකර.

“මොකද කෙල්ලේ?”

“අද පරිප්පු කිසි රසක් නෑ…ඇයි අප්පච්චී දැන් ගෙදර වැඩ කරන්නේ? ඇයි අම්මට ලෙඩක් එහෙමද?”

“නෑ කේමී…කිසි ලෙඩක් නෑ…ඇයි මගෙ කෑම හරි නැද්ද?”

“නෑ…” හෙමින් මෙහෙම කියලා දුව එයාගෙ රෝස්පාන් කෑල්ලත් අරගෙන බිම බලාගෙන එයාගෙ කාමරේ පැත්තට ගියා.

“අප්පච්චී ඇයි කේමටයි මටයි කියන්නෙ නැත්තේ මොකද වෙන්නේ කියලා? ඇයි අප්පච්චිම දැන් ගෙදර වැඩ සේරම කරන්නේ? තරහක්ද? ලෙඩක්ද? කවද්ද කියන්නේ? නොකියා ඉන්න එක වැරදියි කියලා හිතෙන්නෙ නැද්ද?” දිමුත් පුතාට ටිකක් තරහ ගිහින් වගේ.

“ඉවසන්න තව ටිකක් - සමහරවිට අද රෑ කතාකරලා බලමු…කාලා ඉවරවෙලා…”

අනුර ආවේ මම රෑට ඉඳිආප්ප මොනවා එක්ක කනවද කියලා හිත හිතා ඉන්නකොට. උදේ පරිප්පු වලට පොල්කිරි දාලා ඒක හොද්දක් කලොත්, පොඩි සම්බලේකුයි ඉතුරුවෙලා තියෙන අනික් කරිවලිනුයි අපිට රෑකෑම පිරිමහ ගන්න පුලුවන් වෙයි කියලා අනුරයි මායි දෙන්නම හිතුවේ. ඒකෙන් අපිට වාඩිවෙලා පොඩි අරක්කු වීදුරුවකුත් ගන්න වෙලාව ඉතුරු උනා. උනුවතුර බෝතලේට තේ පුරවලා තිබුන නිසා ආයෙ තේ හදන්නත් ඕනකමක් නෑ, අනුලා එන වෙලාවට.

…….

රෑ කෑමෙන් පස්සේ මම මේසේ අස්කරලා ඉතුරු කෑම ෆ්රිජ් එකට දාලා පිඟන් සේදුවා. කේමා සේදූ පිඟන් පිසදාලා වේලුවේ මා දිහා නොබලා. මම කවදාවත් දැකලා තිබුනෙ නෑ මගෙ දුව කුස්සියේ උදව් කරනවා. පුතයි අනුලයි ටෙලිවිශන් එක දිහා බලාගෙන හිටියට හිත සම්පූර්නෙන්ම ඒකට යොමුවෙලා තිබුන බවක් පෙනුනෙ නෑ.

“කාටද තේ ඕනෑ?” කුස්සියේ වැඩ ඉවරවෙලා මම එහෙම ඇහුවේ කවුරුත් තේ ඕනැ කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි. අංතිමට මම විතරක් බෝතලෙන් තේ එකක් දාගෙන ඇවිත් වාඩි උනා අනික් අයත් එක්ක, කේමා ඇවිත් මං ලඟම වාඩි උනා.

“අපෙ ගෙදර හතර දෙනාම දැන් මෙතන…මම මේ කියන්න යන දේ අපි හතරදෙනාටම වැදගත්. එහෙම නේද අනුලා?”

“ඔව්…සමහරවිට මේකේ වැදගත්කම තේරෙන්න ටිකක් කල් යන්නත් ඉඩ තියෙනවා”

“ඒක පටන්ගන්න…කියන්න පුලුවන්ද ගිය සතියේ ගෙදර මේ දෙන්නා දැකපු ලොකුම වෙනස මොකද්ද?”

“කෑම රස නෑ …” ඒ කේමා.

“අප්පච්චී රෙදි සෝදනවා…මම ඉස්සරවෙලාම දැක්කේ” දිමුත්ගෙ වචන.

“ඇයි කෑම හදනවා….?”

“පිගන් සෝදනවා?”

“ගෙදර අතු ගානවා”

“කෑම පාසල් හදනවා”

“හරි…බොහොම දේවල් කෙරෙනවා…මේවා සාමාන්යෙන් කොහොමද කෙරුනේ”

“අම්මනේ ඒවා කෙරුවේ?”

“එතකොට මම මොකද කරේ?”

“අප්පච්චී රස්සාවට ගියා ….”

“අම්මත් රස්සාවට ගියානේ”

“…ඔවු…හැබැයි අම්මට හොඳට සම්බල් හදන්නත් පුලුවන්…”

අපි එක් එක්කෙනා දිහා බැලුවේ මේ කතාව කොහෙ යනවද කියලා හිතන්න අමාරුයි වගේ. මම ටිකක් වෙලා නිශ්ශබ්දව හිටියා අදහස් ටික හරියට ගොනුකරගන්න.

“මෙන්න මේකයි උනේ…දවසක් අම්මයි මමයි කතාවුනා කොහොමද ගෙදර වැඩ කිරීමේ බර සම්පූර්නෙන්ම වාගේ අම්මට පැටවෙන්නේ කියලා. බලාගෙන යනකොට ඒක වෙන්නේ මට සම්බල් හදන්න බැරි නිසාවත් අම්මට කාර් සෝදන්න බැරි නිසාවත් නෙවෙයි කියලා අපිට තේරුනා. ඉස්සර කාලේ මිනිස්සු දඩයමෙන් ජීවත් වෙන කාලේ ඇඟේ ශක්තිය අනුව තමයි එක එක්කෙනා කරන දේ බෙදා හදා ගත්තේ. ඒ නිසාමයි පිරිමි දඩමටත් ගැහැනු ගෙදරත් ළමයිමුත් බලාගන්න සිදුවුනේ…හැබැයි ලෝකේ දැන් හුඟක් වෙනස්. පිරිමියි ගෑනුයි සේරම රස්සා කරනවා - ඒක තමයි ඉස්සර කාලේ කරපු දඩයමට දැන් තියෙන කිට්ටුම දේ….”

“අපි ඔව්වා සේරම දන්නවා අප්පච්චී….සමාජ අධ්යයන පංතියේ ඔයවගේ දේ තමයි කියන්නේ!”

“එහෙනම් ඇයි අපි ගෙදර වැඩත් දෙකට බෙදාගන්නෙ නැත්තේ?”

“ඒක සමාජයේ හැටි….අපෙ සංස්කෘතිය එහෙමයි…අපි පුරුදුවෙලා ඉන්නේ එහෙමයි…” පුතා කතා කරන ගමන්ම ප්රශ්නෙට උත්තර හොයනවා.

“වෙනසක් කරන්න ඕනැනම් අප්පච්චියි අම්මටයි තිබුනනෙ කතා කරලා වැඩ බෙදා ගන්න” දුව මෙතන දැක්කේ ප්රශ්නයක් නෙවෙයි - දෑක්කේ පැහැදිලිම උත්තරයක් විතරයි.

අනුලා හිනා වෙන්න පටන් ගත්තා.

“අපිත් එහෙම තමා හිතුවේ…නමුත් එකඟවෙන්න බැරිඋනා කොහොමද වැඩ බෙදාගන්නේ කියලා…”

අනුලගෙ හිනාවට මමත් එකතු උනා.

“අංතිමට අම්මා කිව්වා අපි දෙන්නා ගෙදර කරන වැඩ සම්පූර්නෙන්ම කනපිට හරවමු කියලා…අම්ම කරපු වැඩ මම කරනවා, මම කරපු වැඩ අම්මා කරනවා…නමුත් ඒකට මම කැමතිඋනේම නෑ…මං හිතුවේ එක එක්කෙනා තමංගෙ හැකියා අනුව කරන වැඩ තෝරගන්නවා කියලා. මං හිතුවේ එතකොට හැම වැඩේම උපරීම ලෙස වෙයි කියලා…”

“ඉතින් කොහොමද කරන්නේ මොකද්ද කියලා තෝරගත්තේ?” පුතාට ඕන ප්රතිපල දැනගැනීමට විතරයි.

එතකොට මමයි අනුලයි දෙන්නටම හිනහ ගියා.

“අපි ඔට්ටුවක් ඇල්ලුවා…” මට මගෙ හිනහව නවත්තාගන්නම බෑ. “…ලංකාව ඊලඟ ටෙස්ට් තරඟය දිනුවොත්, මම කියපු හැටියට හැකියා අනුව කරන වැඩ බෙදාගන්නවා…නමුත් මගෙ අවාසනාවට ලංකාව පැරදුනා…අම්ම දිනුවා…මම මුලු සතියක්ම ගෙදර වැඩ සේරම කරනවා. එකත් හොරෙන් නෙවෙයි…ගෙදර අය ඇරුනුකොට අනික් දන්න හඳුනන සේරටම කියන්න ඕනෑ මගෙ ඔට්ටුව ගැන…මං යන යන තැන අහනවා ‘රෙදි සෝදන්න හොඳ සබන් මොනවද?’...’පරිප්පු වලට අබ එහෙමත් දානවද?’ මේ වගේ ප්රශ්න ගිය මුලු සතියෙම මගෙන් මිනිස්සු ඇහුවා!...මට තියෙන එකම සැනසුම අදින් ඒ වැඩ ඉවරයි කියන එකයි”

ඊලඟට අනුලා කතාකලේ පොඩ්ඩන්ගේ හිතා හදන්න කියලයි මට හිතුනේ.

“පුතයි දුවයි හිතට ගන්න අප්පච්චියි මමයි අතරේ කිසි ගෝරියක්, කරදරයක්, ලෙඩක් එහෙම නෑ. අපි බැලුවේ අපි දෙන්නගෙන් එක්කෙනෙකුට ගෙදර සේරම වැඩ කටයුතු කරගෙන ඉන්න පුලුවන්වෙයිද කියලා, යම් දවසක එහෙම ඕනකමක් උනොත්…අපි නිතරම බලන්නේ ඔයදෙන්නගෙයි අපෙයි ජීවිත කරදරයක් නැතුව ගෙවන ක්රමයි…ඒක සොයාගන්න කොහෙ හරි තියෙන ගොන් ක්රිකට් මැච් එකක් පාවිච්චිකලත්, අපිට ඕන දේ ඒකෙන් සොයාගත්තා…හෙට ඉඳන් ආයෙත් පරන විදිහට දුවන්න පුලුවන්”

විනාඩියක විතර නිශ්ෂබ්දයක් තිබුනා, පොඩ්ඩෝ මේ දේශනය හිතට ගන්නකම්.

“අම්මා ආයෙත් හෙට ඉඳන් ගෙදර වැඩ සේරම කරනවද?” කේමට ඒ කොටස හිතට ඇල්ලුවෙ නෑ වගේ. ඒකට මට උත්තරක් නොදී ඉන්න බැ.

“නෑ දුව…මට තේරෙනවා කොයි තරම් වැඩ අම්මා තනියම කෙරුවද කියලා…මං හිතන්නේ මීට ප්පස්සේ අපි දෙන්නම ගෙදර වැඩ බෙදාගන්නවා…අපි දෙන්නා විතරක් නෙවෙයි, ඔය දෙන්නටත් සමහර වැඩ නොදුන්නොත් අලුත් ක්රමය වැඩකරන්නෙ නෑ….

ළමයි දෙන්නා ඒකටනම් වැඩි කැමැත්තක් දැක්ක්වුවේ නෑ. “ඒක හරි වැඩක්නේ!…අප්පච්චියි අම්මයි එක්ස්පෙරිමන්ට් කරනවා…මේ කොනක හිටපු අපිට වැඩ වැඩිවෙනවා…ඒක සාධාරණ නෑ!”

“අම්මා සේරම කරන එක සාධාරණද? අම්මයි මායි සේරම කරන එක සාධාරණද?...අපි සේරම ටික ටික කරලා බලමු කොහොමද කියලා…අම්මයි මමයි හරි විදිහට වැඩකරොත් විතරයි අපෙ දරුවන්ගෙන් අපිට හරි දේ බලාපොරොත්තුවෙන්න පුලුවන්….”

සභාව එතැනින් අවසන් උනා. අනුලයි මමයි හිනා මුහුනෙන් බලාගෙන හිටියා පුතයි දුවයි නිදන්න යන දිහා. සාර්ථක සභාවකින් ලැබෙන සතුට තවත් හොඳින් අපිට විඳින්න හැකිවෙනවා අපෙ දරුවෝ දෙන්නා නිදන්න යන ගමං කියු කතා අපිට නොඇසුනානම්.

“ක්රිකට් මැච් එකකට ඔට්ටු අල්ලලා අනාගතේ ගැන තීරන ගන්නේ! අප්පච්චියි අම්මයි දෙන්නම පිස්සු පොරවල් කියලා මටනම් හිතෙන්නේ”

“ඔය වගේ පිස්සු ආරෙට යනවනම් අපි දෙන්නත් ඉවරයි!”