අපෙයි මගෙයි

“මොකද්ද මේ අප්පච්චී ඉන්දියාවේ ගිහින් කියන කතාව?”

ගේ පිටිපස්සේ කොස්ගහ ඉන්දියාවේ ගියා කියලා ආරංචිවූ කෙනෙකුගෙ වගෙයි තලතගෙ කටහඬ. කාලෙකට පස්සේ එයාගෙ ලෝකේ සසලකරන ආරංචියක් නැතුව නංගී තමංට කතා නොකරන බව තිලක් දන්නවා. තිලක් පුදුමවුනේ අප්පච්චී ඉන්දියාවේ ගියබව තලතා කොහොම දැනගත්තද කියලා.

“කවුද නංගිට කිව්වේ?”

“ඇත්තද කතාව? මට ආරංචිය ආවේ අර අබේකෝන් මහත්තයගෙ දුවගෙන් - එයා මෙහෙ වැඩ කරන්නේ. මට ඉඳලා හිටලා හම්බු වෙනවා”

“මට ආරංචිය දඹදිව වන්දනාවේ ගියා කියලා…. ගමේ කට්ටියකුත් එක්ක. පංසලේ හාමුදුරුවොලු නඩේ ගුරා”

“අයියා දැනගෙන හිටියද අප්පච්චී ඔහොම ගොං ගමනක් යන්න හිතාගෙන ඉන්නවා කියලා? නවත්තන්න බැලුවෙ නැද්ද?”

තිලක්ට ටිකක තරහ ගියා. ඇයි එයාගෙ පිටින් දාන්නේ අප්පච්චිගෙ මෝඩ වැඩ.

“ඇයි ඔයා බැලුවෙ නැද්ද ගමන නවත්තන්න?”

“මට ඔය ආරංචිය ආවෙත් අද උදේ! මගෙ පිටින් දාන්න හදන්න එපා!”

“එතකොට මගෙද වැරැද්ද?”

දෙන්නටම ටිකක් තරහ ගිහින්. ඒක අළුත් දෙයක් නෙවෙයි - අයියයි නංගියි වැඩි කිට්ටුවක් නෑ, දැන් හුඟක් කල් ඉඳන්.

“දැන් එක එක්කෙනාගෙ වැරදි හොයලා වැඩක් නෑ…. අයියට පුළුවන්ද හොයලා බලන්න?”

තිලක්ගෙ තරහ තවම අඩු වෙලා නෑ.

“මට පුළුවන් දෙයක් මම කරනවා… ඔය කිව්වට නංගී අංතිමට අප්පච්චී දැක්කේ කොයි කාලෙද? දැන් අවුරුදු දෙකකට වැඩී නේද? හ්ම්?”

තලතගෙ කටහඬ ටෙලිෆෝනෙන් ආවේ හිමින්.

“අයියා දන්නෙ නෑ මට තියෙන කරදර? රස්සාවෙයි…. ගෙදරයි…. අනික සනත් එක්ක එනවට අප්පච්චී කැමැති නැතිබව මම දන්නවා….”

“කරදර නැත්තේ කාටද? හැබැයි මං හිතන්නේ සනත් අප්පච්චිට කරා වගේ කැත වැඩක් අප්පච්චී සනත්ට කරන එකක් නෑ”

තලතා ටෙලිෆෝනේ විසන්ධි කල වේගෙට තිලක් ගැස්සිලා ගියා. තලතට තාමත් තේරිලා නෑ සනත් උසාවි අඩවියේ කරපු තකතීරු වැඩකින් අප්පච්චිගෙ රස්සාව නැතිවෙන්න යෙදුන හැටිත් එයින් අප්පච්චිට දැනුන සිත්වේදනාවේ අතිවිශාලකමත්. ඒ නිසාමයි නංගී අප්පච්චිත් එක්ක කිසිම සබැඳියාවක් නැත්තේ.

තමමුත් අප්පච්චිත් එක්ක වැඩි සබැඳියාවක් නැති බව තිලක් පිලිගත්තා. නමුත් මස්සිනාගේ හැසිරීම නිසා නංගිත් මස්සිනත් සමග සුහද බාවයක් ඔවුන්ගේ විවාහයෙන් පසු ඇතිකරගන්නෙ දෙපැත්තෙන් එක්කෙනෙක් වත් තැත්කලේ නෑ. තිලක්ට දැනෙනවා තමාට “පවුලක්” කියලා දෙයක් නැතිබව - ඉන්නේ අහම්බෙන් වගේ නෑ කමෙන් සම්බන්දවූ තනිතනි පුද්ගලයෝ කීපදෙනෙක් පමනයි.

තමාට ඇත්තටම “පවුලක්” ඇතිබව දැනුනේ රෝහිනී පුතාගේ අත අල්ලාගෙන කන්තෝරු කාමරේට ඇවිත් “තේ එකක් ඕනද?” කියලා ඇහුවමයි.

……………………..

“මොකද නංගී කියන්නේ?”

“දන්නවනේ එයාගෙ හැටි…. අප්පච්චී ඉන්දියාවේ ගියා කියලා ආරංචි වෙලා මටයි බනින්නේ මට ගමන නවත්තගන්න බැරිවුනා කියලා! එයාගෙ මිනිහත් එක්ක ගිහින් අප්පච්චී බලන්න බෑ …. හැබැයි අනික් අය බැලුවෙ නැත්තං ලෙඩ! මට එපා වෙලා තියෙන්නේ එයාගෙ ‘මං සුදනා’ කතා!”

රෝහිනී ටිකක් හිතලා බලලා කතාව වෙන අතකට හැරෙව්වා.

“අපරාදේ හැබැයි අයියටයි නංගිටයි හොඳට ඉන්න බැරිඑක… ආයෙ පවුලේ ගොඩක් හිටියා වගේයෑ….”

රෝහිනීගෙ පවුලේ දරුවෝ අටදෙනයි - ඒ දරුවොයි දෙමව්පියොඋයි තිලක්ගෙ පවුලට වඩා සම්පූර්නෙන් වෙනස්. සහෝදර සහෝදරියෝ නිතරම වගේ එක් එක්කෙනාගෙ ගෙවල්වලට යනවා එනවා - නිතරම ටෙලිෆෝන් එකෙන් කතා කරනවා. ඒ පවුලේ සේරම එක් වෙන්නේ අවුරුද්දට, නැත්නම් දානයක් වගේ දවසක විතරයි. එදාට සැනකෙලි. පවුල හැසිරෙන්නේ එක පංතියේ ඉන්න යාළුවෝ වගේ. ඒ නිසාද කොහෙද තිලක්ගෙ පවුල ගැන රෝහිනීට දුක හිතෙන්නේ.

“රෝහිනී….. අපි පොඩිකාලේ මේ තරම් නරක නෑ. ටිකක් වයසට යනකොටයි දැනුනේ අප්පච්චිට අපෙ ඕනෑ එපාකම් තේරුනෙත් නෑ, ඒවා ගැන හිතුවෙත් නෑ කියලා. ගෙදර ලොක්කා අප්පච්චී. අපි ඉගෙන ගන්න දේ පවා අප්පච්චිට ඕන විදිහටයි කෙරුනේ. මම බැංකුවක වැඩ කරන්නෙයි නංගී ගුරුවරියක් වුනෙයි අප්පච්චිගෙ වචනේ අනුව මිස අපිට ඕන නිසා නෙවෙයි…”

තිලක්ට මේවා මතක්වෙනකොටත් තරහ යන බව රෝහිනී දන්නවා.

“හැබැයි ඔය දෙන්නට අඩුවක් වෙන්න දුන්නෙ නෑ නේ? හොඳ ඉස්කෝල වලට දාලා ඉගැන්නුවා, ඕනෑ එපාකම් බැලුවා… මේ සේරම තනියමනේ කලේ, නැන්දම්මා නැතිවුනාට පස්සේ…”

“ඒ අතින් අඩුවක් නැතිවුනාට මිනිස්සුන්ට කෑම බීම ඇරුනම තව ඕනෑ එපාකම් තියෙනවා රෝහිනී… මං හිතන්නේ අම්මා නැතිවුනැන් පස්සේ තමයි අපි දෙන්නම අප්පච්චිත් එක්ක රන්ඩුවෙන්න පටන්ගත්තේ…”

රෝහිනී තිලක් දිහා බලාගෙන හිටියේ දුකෙන්. පවුලක් ඇතුලත මෙහෙම දේ වෙනවා කියලා හිතන එකත් අමාරුයි රෝහිනීගෙ පවුලේ හැදුන වැඩුන කෙනෙකුට.

“මට හිතෙන්නේ ඔයා මාස දෙක තුනකට සැරයක්වත් මාමා බලන්න යන එක හොඳයි… ඕනනම් මාත් එන්නම්…. පව් තනියම අර ගෙදර ඉන්නේ…. ආයෙ ලඟ පහල තව ගෙදරක්වත් තියෙන එකකයෑ, හදිස්සියකටවත්”

“හැබෑට මටත් ආසයි ගමේ ඉඩමේ ගෙදරක් හදාගන්න… අපි වයසට ගිහාම ඉන්න පුළුවන්…. හැබැයි ඉඩම් ලියලා නෑ නේ - නංගී එයාගෙ කොටසට මොනවා කරයිද කවුද දන්නේ? කාට හරි එකෙකුට විකුනයි - ඒකත් එයාගෙ මිනිහා කියන විදිහට….”

“මං කැමැති නෑ තිලක්, ඔයා ඔය ඉඩම් අයිතිකරකම් කතා කරනවට - ඒක මාමට ඕන විදිහට වෙයි. අපිට පුළුවන් අපේ ඕනකම් පිරිමහගන්න…. පොඩි එකාටත් එක්ක. ….”

රෝහිනීගෙ කටහඬ ටිකක් තදයි.

තිලක්ට තේරුනා වැරදි මාතෘකාවක් ඇද ගත්තේ කියලා.

“අප්පච්චී දඹදිව ගිහින් ආවම මම ගිහින් එන්නම්කෝ…”

………………….

“අද වැඩ නෑ?”

තිලක ආවා කියලා සමරකෝන් මහත්තයගෙ මුහුණේ ස්වභාවය වෙනස් වුනේ නෑ. උදාසීන ගතියක් මිස සතුටක්, දුකක් හෝ තරහක් මුහුණෙන්වත් වචනෙන්වත් පෙන්වුවේ නෑ.

“නෑ අප්පච්චී - බැංකු නිවාඩු”

“හා… පෝච්චියේ තේ තියෙනවා…. ”

ගේ ඇතුලට ගොස් තව තේ කෝප්පයක් ගෙනත් පුතා අතට දීලයි සමරකෝන් මහතා වාඩිවෙලා පුතා දිහා බැලුවේ.

“රෝහිනියි පොඩි එකයි කොහොමද?”

“හොඳයි… කොහොමද වන්දනාව?”

“නරක නෑ.”

මේ දෙන්නට සතුටු සාමීචිය ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ප්රශ්නත් උත්තරත් නාට්යක් වගේ නෙවෙයි - පොතක ලියා තිබෙන වචන මෙන් හැඟීම් වලින් තොරයි. සමහරවිට කඩේ මුදලාලියි ගනුදෙනුකාරයයි මීට වැඩිය බන්ධනයක් පෙන්වනවා.

“ඇයි අප්පච්චී දඹදිව යන්න හිතුවේ?”

“….. පිං අතේ වැඩක් කරන්න කියලා කිව්වට උඹ විස්වාස කරන්නෙ නෑ…. මං ගියේ මට යන්න හිතුන නිසා…. ඒක තමා ඇත්තම කාරනේ. ආයෙ යන්න හම්බවෙයිද දන්නෙනෑනේ….”

“අප්පච්චිට තවම හැට දෙකයි නේද?”

ඒකට ලැබුන උත්තරේ අනික් ප්රශ්න වලට ලැබුන උත්තර වලට වෙනස්.

“වයස අවුරුදු වලින් මනින එක නැවැතුනේ උඹලා ගෙදරින් ගියාට පස්සේ. දැන් උඹෙ නංගී කොහෙද?”

“තාම රත්නපුරේ…. දැන් අවුරුදු හයයි මං හිතන්නේ”

“ළමයි නෑ?”

“නෑ”

එතනින් කතාව සම්පූර්නෙන්ම නැවතුනා. දෙන්නා නිශ්ශබ්දව තේ බිව්වා. තිලක්ට දැනුනා අප්පච්චී නංගිත් එක්ක කිසිම පණිවිඩ ගනුදෙනුවක් නැතිබව. තිලක්නම් ගිය අළුත් අවුරුද්දට අප්පච්චී බලන්න ආවා. ඒ මාස අටකට ඉස්සර. එදත් රැයක් නැවතුනේවත් පවුලත් පුතත් එක්ක ආවෙත් නෑ. ඒ ගැන අප්පච්චී මොනවා හිතුවද කියලා තිලක් දන්නෙ නෑ. ඒ ගැන කිසිදෙයක් වචන වලින් කියවුනේ නෑ. නිශ්ශබ්දතාවය බිඳවැටුනේ ටෙලිෆෝන් වදින සංගීතෙකිනුයි.

සමරකෝන් මහතා ගෙට ගොස් ටෙලිෆෝන් එකට “හලෝ” කියාගෙන ඇවිත් පුටුවේ නැවතත් වාඩිවුනා”

“හා… සෙනරත් පුතා….. කොහොමද අපෙ වැඩේ? … හ්ම්ම්…. අද නම් බෑ…. හෙට?.... රයිට්… දහයෙන් පස්සේ…. හා හොඳයි …. බුදු සරණයි!”

“අප්පච්චී දැන් කොච්චර කල්ද සෙල්ෆෝන් එකක් ඇරගෙන?”

“හ්ම්?... අවුරුදු දෙක තුනක් ඇති”

“ඉතින් මට නොම්බරේ දුන්නෙ නැත්තේ?”

“උඹ ඉල්ලුවානම් දෙන්න තිබුනා”

“ඉතින් මම දන්නෙ නෑ නේ අප්පච්චී එකක් ගත්තා කියලා”

ඒ ප්රශ්නෙට උත්තරයක් ඕන නැතිබව දෙන්නටම තේරුනා.

“කාටද සෙනරත් පුතා කියලා කතාකරේ?”

“මෙහෙ ඉස්කෝලේ මහත්තයෙක්…. ඇයි?”

ඒකටත් උත්තරයක් ඕන නෑ - මේ ප්රශ්න සාමීචියේ මායිම් ලකුනු කිරීමක් මිස සිදුවීම් සෝදිසි කිරීමක් නොවන බව තිලක්ට පැහැදිලියි.

“නංගී ඇහුවා අප්පච්චී ගැන….”

“ඒ මොකද?”

“නෑ…. අර දඹදිව ගමන ගැන ආරංච්වෙලා”

“ඉතින් මගෙන් අහන්න තිබුනානේ…. මම නේ දඹදිව ගියේ!”

“අප්පච්චිගෙ ෆෝන් නොම්බරේ නැතුව ඇතිනේ. ඒක වෙන්න ඇති මට ෆෝන්කලේ”

“මගෙ ඇඩ්රස් එක වෙනස්වෙලා නෑ. මෙහාට තවම ලියුම් එනවා. උඹලා දෙන්නවත් නිතර කතා කරනවද?”

“නෑ…. කාලෙකට සැරයක් විතරයි”

“හ්ම්…”

කාලෙකට පස්සේ අප්පච්චිට නංගී මතක්වෙලා! දෙන්නා අංතිමට කතා කරලා අවුරුදු දෙකකට වැඩී නමුත් දෙන්නගෙන් එක්කෙනෙකුටවත් ඒක ප්රශ්නයක් නෙවෙයි වගේ. ඇත්තටම කිව්වොත් තිලක්ටත් අප්පච්චිගෙමුයි නංගිගෙමුයි වෙන්වෙලා කියලා කිසිම අඩුපාඩුවක් දැනෙන්නේ නෑ, රෝහිනීටයි පොඩි එකාටයි පින්සිද්ද වෙන්න. නංගිත් අර සනත් එක්ක රත්නපුරේට වෙලා ඉන්නේ වෙන පවුලක් නෑ වගේ. නමුත් අප්පච්චිට එහෙම කිට්ටුයි කියන්න කෙනෙක් නෑ නේද කියලා තිලක්ට හිතුනා.

තිලක්ලා හැදුන වැඩුන ගෙදර වැඩි වෙනසක් පේන්න නෑ. දැන් වාඩිවෙලා ඉන්න සාලේ පිරිසිදුයි, බඩුමුට්ටු එක පිලිවෙලක්. මිදුලත් ගෙදර වත්තත් කැලේ වැවිලා නෑ. මල් පාත්තිත් එලවලු කොරටුත් පලදාරියි. අප්පච්චිගෙ ඇදුමෙත් කිසි වැරැද්දක් කියන්න බෑ - ඇත්තටම කවුරුහරි උදව්කාරයෙක්/කාරියක් ඉන්නවද කියලා තිලක්ට සැකයක් ඇතිවුනා. දැන් දරුවෝ ගෙදරින් පිටවෙලා අවුරුදු දහයකට කිට්ටුයි - සමහරවිට ගමේ කවුරුහරි එක්ක මිත්ර කමක්, සම්බන්ධයක් ඇතිකරගනද කුතුහලයක් තිලක්ට ඇතිවුනා.

“අප්පච්චිට දැන් හොඳට උයන්න එහෙම පුළුවන් ඇති….”

සමරකෝන් මහත්තයට තේරෙනවා මේක කෑම ගැන අහපු ප්රශ්නයක් නෙවෙයි කියලා. තමාට උදව්වට කෙනෙක්, ඒක කෙලවරටම ගෙන ගියොත් අඹුවක්, ඇති නැති බව දැනගන්න ඕන නම් කෙලින්ම අහන්න ඕන. එහෙම බැරිනම් නොඅහපු ප්රශ්න වලට උත්තර දෙන්න හේතුවක් මහත්තයා දැක්කෙ නෑ.

“කෑමට ඇබ්බැහි උනාම උයන්නෙ නැතුව බෑ”

ඒ පොට හරි ගියෙ නැති නිසා තිලක් ඉඩම ගැන ඇහුවා.

“එළවළු, මල් එහෙම ජයට හැදිලා තියෙන්නේ. කවුද මේ තරම් මහංසිවෙලා වැඩ කරන්නේ? අප්පච්චිට මේ සේරම කරන්න බැරිබව මම දන්නවා”

“මේ මල්, එළවළු, පලතුරු සේරම වවන්නේ ඉස්කෝලේ ළමයි. අර කතා කරපු සෙනරත් තමා මැනේජ් කරන්නේ. ලැබෙන ආදායමෙන් හතරෙන් තුනක් ඉස්කෝලෙට - කාලක් මට”

“ඩීල් එක නරක නෑ ඉස්කෝලෙට! අප්පච්චිට තමා පාඩු”

“උඹමනේ කිව්වේ මට මේවා සේරම කරන්න බෑ කියලා…. ඕනම ආදායමක කාලක් මට වටිනවා බිංදුවේ ආදායමක සම්පූර්න අයිතියට වැඩිය!”

“හැමදාම ඉස්කෝලේ ළමයි ලව්වා වැඩ කරගන්නද අදහස? ළමයි, ගුරුවරු අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා නේද?”

“වෙන ක්රමයක් උඹ දන්නවද?”

තිලක් තමා කැපූ වලේම වැටෙන්න යන බව දැනිලා කතාව වෙන අතකට හැරෙව්වා.

“අප්පච්චිට කිසි ලෙඩ රෝගයක් එහෙම නෑ නේ?”

“තිබුනා කියලා මොනවා කරන්නද ඉතින්!”

සමරකෝන් මහත්තයා සද්ද නැතුව මිදුල දිහා බලාගෙන හිටියා.

“…. හැබැයි වෙලාවක උඹයි නංගියි එක්ක කතා කරගන්න කාරනයක් නම් තියෙනවා…ම්… වෙලාවක එන්න පුළුවන් වෙයිද? රෝහිනී කෙල්ල එහෙමත් එක්ක ආවොත් හොඳයි… සනත් එහෙමත්…”

තමා බලාපොරොත්තුවූ පැත්තට කතාව හැරෙන බවක් තිලක්ට දැනුනා. අප්පච්චී අනාගතේ ගැන කියන්න යන්නේ තව කසාදයක් ගැනද එහෙමත් නැත්නම් ඉඩම් බෙදාදීමක්ද කියලා හිතාගන්න බෑ. නමුත් ඒක කෙලින්ම අහන්න තිලක්ට හිත දෙන්නෙ නෑ.

“මං නංගිට කතා කරලා බලන්නම්… අප්පච්චිගෙ නොම්බරේ දුන්නොත් මම කෝල් එකක් දෙන්නම් එන්න පුළුවන් දවසක් කියලා”

……………………

“අනේ කොච්චර හොඳද? ඕන වෙලාවක මං ලෑස්තියි”

ඒ රෝහිනීගෙ ප්රතිචාරය, හිනාබර මුහුණින්.

“මොනවා! කවුරුහරි නැට්ටුක්කාරියෙක් හොයාගෙනද? අපෙ පවුලටම නින්දාවක්!”

ඒ තලතා ගේ වචන, ටෙලිෆෝනය දෙදරවන විදිහට.

නමුත් පවුල් දෙක ගමේ යන වෙලාවේ නැට්ටුක්ක්කාරියක් පෙන්නෙන්න හිටියෙ නෑ. ඒ වෙනුවට පිරිසිදු කෝප්ප පීරිසත් තේ පෝච්චියකුත් මේසෙට ගෙනාවේ සමරකෝන් මහත්තයමයි. කඩෙන් ගෙනා කවුම් කොකිස් කෙසෙල්ගෙඩි වට්ටියකින් වසා මේසේ උඩ.

“මං වක්කරන්නම් මාමා”

රෝහිනී තේ පෝච්චිය අතට ගත්තේ උදව්වට වගේම කතාව පටන්ගන්න ඇරයුමක් ලෙසයි.

“මොකද මේ අපිට කතා කරන්න ඕන කිව්වේ?”

තලතට ඉවසුමක් නෑ වැදගත් කියපු ආරංචිය දැනගන්නකම්.

“තේ බීලා බැරියෑ”

සමරකෝන් මහත්තයා තේ කෝප්පෙකුත් කොකිස් එකකුත් ඇරගෙන එලියට ගියා. අනික් අය ඔහු පස්සේ යනවද නැද්ද තීරණය කරන්න බැරුව මේසේ වටේ නැවතුනා. ආ ගිය තොරතුරු අලලා වචන කීපයක් හැරුනුවිට වෙන කිසි කිසිදෙයක් කියවුනේ නෑ සමරකෝන් මහත්තයා ආපහු කාමරේට එනකම්. මේ විරාමය හිතා මතා සැලසුම් කල එකක් හැටියට රෝහිනීට තේරුනා.

සමරකෝන් මහත්තයා කතාව පටන්ගත්තේ බැරෑරුම් කටහඬකින්.

“උඹලා කවුරුවත් මගෙ දෙමව්පියෝ දැක්කෙ නෑ - ඒ දෙන්නා නැතිවුනේ මම කසාදයක් බඳින්නත් ඉස්සර. නමුත් මට දෙන්නා තවම මතක්වෙනවා; කිට්ටුවක ඉඳන් දිනපතාම වගේ….. මට සහෝදරයෙකුත් ඉන්නබව මම කවදාවත් උඹලට කියලා නෑ…. මගෙ මල්ලී නරක යාළුවෝ කංඩායමක ආශ්රයට වැටුනේ ඉස්කෝලේ යන කාලෙමයි…. ඒකෙන් අංතිමට මල්ලිට අවුරුදු දෙකක් හිරේ ලගින්නත් වුනා….”

පවුලේ අය ගල්ගැහී කතාව අහගෙ හිටියේ තව මොන මොන මෙතෙක්කල් හැංගී තිබූ රහස් එලිවෙයිද කියලයි. සමරකෝන් මහත්තයා සභාවේ දැඩි අවධානය වැදගත් ලෙස සලකූබවක් පෙන්වුවේ නෑ.

“පස්සේ මිනිහා පැවිදිවුනා …. දැන් වැඩිපුරම කැලේ ආරාමෙක භාවනාවෙන් ඉන්නේ…. මල්ලිගෙ කරදර නිසා තමා මම උඹලා දෙන්නට වැඩි බුරුලක් නොදුන්නේ ඉගෙනගන්න කාලේ. සමහරවිට ඒක වැරදි වෙන්න ඇති…. මට දැන් හිතෙන්නේ මම ගිය මාර්ගය හරි එකක් නෙවෙයි කියලා…. නමුත් ඒකට උඹලගෙන් සමාව ඉල්ලන්න මගෙ අදහසක් නෑ - කරපු දේ කරේ හරි කියලා හිතාගෙන… පස්සේ මොනවා හිතුනත්. අපි කරන් හුඟක් දේ එහෙම නේද? කරන වෙලාවට හරි නමුත් පස්සෙ විඳින්න වෙයි. නමුත් අනාගතේ වැරද්දක් වෙයි කියලා යමක් නොකර ඉන්න මිනිහා කවදාවත් කිසිම දෙයක් කරන්නෙ නෑ!..... දැන් මම කරන්න යන දේත් හරි කියලා හිතාගෙනයි මම කරන්නේ”

තිලක් තලතා දිහා බැලුවේ හුස්ම ගන්නත් අමතකවෙලා වගේ. තලතා ඇස්පිය නොගහ අප්පච්චී දිහා බලාගෙන ඉන්නේ. සනත් බිම බලාගෙන; රෝහිනීගෙ ඇස්වලින් කඳුලු ගලනවා. නමුත් කවුරුත් මොකුත් කියන්නෙ නෑ.

“මට හොඳටම විශ්වාසයි මේ අපි හම්බවෙන අංතිම අවස්තාව කියලා…”

වහාම මේසේ වටෙන් ආ මවිතයත් අප්රසාදයත් පිරි කටහඬවල් නිශ්ෂබ්ද කරන්න සමරකෝන් මහත්තයා අත උස්සලා “ඒ ඇති!” කියලා හයියෙන් කිව්වා.

“ඔවු…. මීට පස්සේ අපි හම්බවෙන්නෙ නෑ. මම මගෙ මල්ලී ඉන්න කුටියට යනවා තව සතියකින් විතර - ආයෙ ආපහු එන්නෙ නෑ. දැන්මාස දෙකකට ඉස්සර මම මල්ලී හමුවෙන්න ගලේවෙල ගියා. උන්නාන්සේ කිව්වේ මම මහන වෙන්න ඕන නැති බවයි. ගිහියෙක් හැටියට බාවනාව ඉගෙන ගන්නයි මගෙ අදහස…. මම දඹදිව ගියේ කාලයක් කරන්න ආසාවෙන් පෙරුම්පුරාගෙන හිටි දෙයක් කරලා දාන්න, ගලේවෙල යන්න ඉස්සර”

“එතකොට මේවා?”

තිලක් මෙහෙම ඇහුවේ දකුනු අතින් කාමරේ වටා දක්වමිනුයි.

“ඒවා ගැන උඹලා කරදරවෙන්න අවශ්ය නෑ”

“අප්පච්චී එහෙම කියන්නේ ඇයි? මේ අපි උපන් ගෙදර නේ”

තලතට දැනගන්න ඕනෑ ගේ සහ ඉඩම් කොහොම කොහොම බෙදෙයිද කියලා. සමරකෝන් මහත්තයා වහාම ඒකට උත්තරයක් දුන්නෙ නෑ. මේසේ වටේ අයගෙ මුහුණු එකින් එක දිහා බැලුවා. යන්තම්වත් හිනාවක් පෙන්වුවේ රෝහිනීට පමනයි.

“මම අක්කර දෙකේ හපුකොටේ ඉඩම වික්කා… ගමන් වියදමට එහෙම සල්ලි ඕන නිසා…. මේ ගෙදරයි අනික් ඉඩමුයි සේරම සින්නක්කරේට ඉස්කෝලෙට ලිව්වා!”

පලවෙනි විනාඩි දෙකේ මේසේ වටෙන් ඇහුනේ සභාව සාමූහිකව හුස්ම ඉහලට අදින සද්දේ පමනයි. වචනෙන් කන්දොස්කිරියාවක් බිහිවෙන්න ඉස්සර සමරකෝන් මහත්තයා ආයෙත් කතා කරන්න පටන්ගත්තා.

“නීති මාර්ගෙන් උඹලට කිසිම දෙයක් කරන්න බෑ - ඒකට මම වග බලාගත්තා. මගෙ පරන රස්සාවෙන් ඉගෙනගත්ත දේ සම්පූර්නෙන්ම අමතකවෙලා නෑ….. මේ ගෙදර මගෙ භාවිතයට තව මාස දෙකක් තියලයි මම ඔප්පු ලියවාගත්තේ. ඒ කාලේ ඉවරවෙන්නත් ඉස්සර මම ගලේවෙල යනවා…. මොකද අඩු ගානේමාස තුනක්වත් භාවනාව ඉගෙන ගන්න එපැයි!”

රෝහිනීට විතරයි වගේ මෙතන නොකියපු කතාව තේරෙන්නේ.

“එතකොට ඊට පස්සේ?”

සමරකෝන් මහත්තයා හිනාවුනා.

“දුවට විතරයි තේරෙන්නේ. මගෙ දොස්තරලා කියන විදිහට හැට තුන්වෙනි උපන්දිනේ දකින්න හම්බවෙන්න නෑ…. ඒ කියන්නේ තවමාස හතරයි”