අභිමානය
පේරාදෙනියේ විශ්වවිද්යාලේ අපේ නේවාසික ශාලාවේ ඉන්න නවරත්නට හොඳට සිංදු කියන්න පුළුවන්. මිනිහා සිංදු කිව්වේ අනික් අය පිනවන්නවත් තමාගේ හැකියාව අනික් අයට පෙන්වාදෙන්නත් නොවෙයි. නවරත්න සිංදු කිව්වේ එයාගෙම ඕනෑ කමට. කවුරුත් අහගෙන හිටියත් නැතත් මිනිහට ප්රශ්නයක් නෑ. කිසිම වෙලාවක සිංදුවක් මුල පටන් අගට කීමේ වැදගත් කමක් මිනිහා දැක්කෙ නෑ. “කළු මහ වැලි, කැළණිද, වලවේ… ලා ලල මහ ගංගා..” මහ හඬින් කියා වහාම සාමාන්ය හඬින් “මචං අද ලෙයිතගෙ ලෙක්චර් එකට ගියාද?” කවුරුත් සමග කතාවකට එකතුවීම අමුතු දෙයක් හැටියට නවරත්න දුටුවෙ නෑ. ශාලාවේ ඉන්න අයට මේ කෙටි සිංදු හොඳට පුරුදුයි. රෑ දවල් නොතකා මහ හඬින් විනාඩි බාගෙක සිංදු කෑල්ලක් කියවෙන්නේ පාඩම අමාරු වෙනකොට බව දන්න අනික් සිසුවෝ නවරත්නගෙ සිංදු කීම ඉවසුවා. මට හිතෙන විදිහට එයා සිංදුවක් කියන්න පටන්ගන්නේ හිතලා බලලා නොවෙයි - ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්.
දිනපතා හවස හයට පමණ නාන නවරත්න ටිකක් හරි දිගට සිංදුවක් කිව්වේ නාන කාමරේදී විතරයි. සී ටී ප්රනාන්දුගේ කටහඬ තරම් කනට මිහිරි නොවුනත් ශාලාවේ නාන කාමරේ ධ්වනිකය මිනිහගෙ කටහඬට හරියටම ගැලපෙනවා.
“හෙළ ජාතික අභිමානේ…”
සිංදුවේ රස විඳිමින් නාන අනික් සිසුන්ගේත් නවරත්නගෙත් අවාසනාවට එක නාන කුටියක පියසේන කටින් බෙරගසා සිංදුවට සහය දෙන්න හිතුවා.
“හෙළ ජාතික අභිමානේ (තක දොං!)
“වැඩු විරුවන් සේ පොරණේ (තක දොං!)
පියසේනගෙ කටේ බෙර තාලවේගය / මුහූර්තනය කොයි තරම් හොඳවුනත් කොනේ කුටියේ නාන හසන්ට මේක ඇල්ලුවේ නෑ.
“මචං පියා… අරූට සිංදුව කියන්න දීලා කට වහගනින්! බෙර ගහන්න ඕන නම් පෙරහැර කාලෙට නුවර ඇවිත් ගහපන්…”
“අඩේ මරක්කලයා… උඹ මොනවද බං සිංහල සිංදු ගැන දන්නේ?”
“යකෝ හැම වෙසක් දවසෙම මට නිතරම ඇහෙන්නේ මොහිදීන් බේග් ගෙ සිංදුවක්! උඹ දන්නවද එයා අපේ එකෙක් කියලා? මීට අවුරුදු පනහකට විතර ඉස්සර ලියපු එකක් උඹලගෙ පොරවල් තවම කියනවා, ලවුඩ් ස්පීකර් දාලා!”
“හැබැයි උඹත් පිළිගන්නවා නේද ඒක මහ ලාන්තරස් සිංදුවක් කියලා”
“හ්ම්… ඒක නම් ඇත්ත තමා… “
හසන්ගෙයි පියාගෙයි සංවාදය අතරේ නවරත්න නාන කාමරෙන් පිටවී ගියේ “තොපිට නානකොටවත් ජාති භේද නැතුව බෑ නේද” කියමින්.
…………………………..
මම ඉස්කෝලේ යන කාලේ මුසිලිම් සිසුවෙකුට කවදාවත් “මරක්කලයා” කියලා කතා කරලා නෑ. ඒක අවිනීත ආමන්ත්රණයක් ලෙසයි මම දැක්කේ. ඒ වගේම දෙමළ කෙනෙකුට “දෙමළා” කියලාවත් බර්ගර් සිසුවෙකුට “ලංසියා” කියලාවත් ඇමතුවේ නෑ. සිංහල ළමයෙකුට “සිංහලයා” කියන්න අවශ්යතාවයක් තිබුනෙත් නෑ. බෝඩිමක නොනැවතී ගෙදර ඉඳන් පාසැල් ගිය නිසා අනික් ජාතීන් සමග මගේ ආශ්රය පාසැලට සීමාවුනා. සමහරවිට මේ නිසා වෙන්න ඇති ඒ ආශ්රය ආචාරශීලීව නමුත් ඈතින් පැවතුනේ.
මේ සියල්ල වෙනස්වුනේ විශ්වවිද්යාලෙදි. දිනපතා රෑ දවල් වෙනසක් නැතුව අපි අන් ජාතීන්/ආගමිකයන් ආශ්රය කළා. පළමු සතියේ මට ජ්‍යෙෂ්ඨ සිසුවෙකුගෙන් ලැබුන උපදේශයක් අනුව මම මගේ හැසිරීම හැඩගසා ගන්න උත්සාහ කළා.
“අපි ඕන රිලවෙක් ගැන හිතන විදිහටමයි ඒ රිලවා අපි ගැන හිතන්නේ - මේක හිතේ තියාගත්තොත් වැඩේ ලේසියි. ඒ කතාව වැරදි වෙන්න පුළුවන් - නමුත් එහෙම නොහිතන එක අනතුරුදායක වෙන්න පුළුවන්”
අපේ ශාලාවේ වැඩියම හිටියේ බෞද්ධ සිසුවෝ වුනාට සෑහෙන හින්දු සහ ක්රිස්තියානි සිසුවෝ ප්රමාණයකුත් ඉස්ලාම් ආගමික සිසුවෝ කීප දෙනෙකුත් නැවතිලා හිටියා. පේරාදෙනි සරසවි බිම ඇතුලත මේ සියළු ආගම් වලට අයිති සිද්ධස්ථානත් තිබුන නිසා එකිනෙකාගේ ආගමිකත්ව ඕනෑ එපාකම් සරසවිය තුළින්ම සපුරා ගත්තා. අනික් අතට, මා දන්න තරමට මේ සිද්ධස්ථාන වලට ගියේ සිසුන්ගෙන් අතලොස්සක් පමණයි.
ශාලාව තුල පැවතුන ඕනම ආගමික කටයුත්තකට බොහෝවිට අන්යාගමිකයොත් සහය දුන්නා වගේම සහභාගිවුනා. [කතෝලිකයෙකුවූ මගේ මිත්ර සෝමේ බෞද්ධ සංගමේ කමිටුවට යෝජනාවුනෙත් මේ නිසයි]. දේශනවලට හෝ වෙන ගමනක් යෑමට, ක්රීඩාවකට සහභාගි වීමට, කෑමට බීමට වැනි කිසිම ක්රියාවකට සගයෝ සෙවීමේදී කෙනෙකුගේ ආගම සැලකිල්ලට ලක්වුනේම නෑ. ආගම පිළිපදින්නාගේ පෞද්ගලික දෙයක් හැටියට සලකා අපි සියල්ලෝමවගේ අන්යාගම් අදහන්නන්ටත් ඔවුන්ගේ ආගම් වලටත් ගරුකළා. අඩුමගානේ ප්රසිද්ධියේ ගරුකළා; වැරදි සෙව්වෙ නෑ (ප්රසිද්ධියේ).
…………………….
නවරත්න පොදු කාමරේට ආවේ “පැනි රඹු ටන් ගස් ගා…නේ…” කියාගෙනයි. රෑ කෑමට පස්සේ සිසුවෝ සෑහෙන කොටසක් තම තමාගේ කාමරවලට ගියත් අපි කීපදෙනෙක් පැයක් දෙකක් පොදු කාමරේ නැත්නම් ශාලාව ඉදිරිපිට අඹගහ යට බංකුවේ වාඩිවෙලා කයිවාරු ගැහුවා. පියසේනගෙ විහිළු කතා (බොහෝවිට පවුලේ අය ඉදිරියේ කිව නොහැකි වර්ගයේ ඒවා), සුනිල්ගේ අළුත්ම විද්යා සිතිවිලි (පොතපතේ ලියවී නැති), මහෙන්ද්රනාදන්ගෙ දේශපාලන අදහස්, රොහාන්ගෙ නාට්ය/බයිස්කෝප් විස්තර… මේ වාගේ කී නොකී මාතෘකා සියයක් මෙහිදී සාකච්චාවුනා.
නවරත්න පියසේනගෙන් ප්රශ්නයක් ඇහුවේ අනික් අයගේ කතාවලට බාධා කරමිනුයි.
“ඇයි උඹ හසනයට මරක්කලයා කියලා කතාකරේ?”
“… ඌ මරක්කල නිසා… හසන්මයි මට කිව්වේ මරක්කලයා කියන එක නරක වචනයක් නෙවෙයි කියලා… හරියට මට සිංහලයා කියන එකේ නරකක් නෑ වගේ”
“වචනේ නරකයි කියලා මම කියන්නෙ නෑ… හැබැයි උඹ දන්නවද ඔය වචනේ තේරුම?”
ඉතිහාසය ඉගෙනගන්න ස්ටැන්ලි මේකට උත්තර දුන්නා.
“ඒක එන්නේ ඉංග්රීසියෙන් ‘මුඅර්’ කියන වචනෙන්… ඒ අය ඇවිත් තියෙන්නේ උතුරු අප්රිකවෙන්, මොරොකෝව, මාලි, ලිබියාව, ටුනිසියාව වගේ රටවල් වලින්. ආයෙ මිශ්රවෙලා තියෙනවා පෘතුගීසි, ස්පාඤ්ඤය, අරාබි රටවල් වලිනුත් - සම්පූර්ණ අච්චාරුවක්…”
“ඒ කියන්නේ හසන් වගේ කටුගස්තොටින් නෙවෙයි!”
“සිංහලයෝ ආවේ බෙන්ගාල පැත්තෙන් - උඹෙ ගම කොහෙද - වාරියපොල පැත්තේ නේද? උඹට සිංහලයෙක් වෙන්න පුළුවන් නම් හසන්ට මරක්කලයෙක් වෙන්නත් පුළුවන්!”
“අපි දෙන්නම පිටින් ආපු එවුන් - අඩුගානේ අප් මුතුන් මිත්තෝ. එතකොට උගෙයි මගෙයි වෙනස මොකද්ද?”
“ඌ හයියෙන් සිංදු කියන්නෙ නෑ, උඹ වගේ”
“හසන් උඹට වඩා හැඩයි. නෑ… උඹ තරම් කැත නෑ!”
“ඌට ඉංග්රීසි පුළුවන්”
“ඌ මුස්ලිම් - උඹ බෞද්ධ”
“හසන් බොන්නෙ නෑ”
නවරත්න අනික් අයගෙ කතා ඉවර වෙනතුරු සද්ද නැතුව හිටියා.
“ඉවරද? … රයිට්… ඔය කියපු සේරම හරි වෙන්න පුළුවන්. හැබැයි ඇයි පියා උඹ ඌට කිව්වේ ‘උඹ සිංහල සිංදු ගැන දන්නෙ නෑ’ කියලා? මොකද්ද මරක්කල කමෙයි සිංදුවෙයි සම්බන්ධේ?”
පියා එක සැරේම උත්තරයක් දුන්නෙ නෑ, හරියට ඒක ගැන ටිකක් හිතන්න වටිනවා වගේ.
“මම ඇත්තටම ඒක ගැන ඒ වෙලාවේ හිතුවෙ නෑ… කිව්වේ කටට ආපු එක… හසන් සිංහල මීඩියම් නේද කරන්නේ?”
නවරත්න කතාකරේ හෙමින්.
“මචං කටට ආපු දේ ඔහොම කියන එක හරි නෑ බං. සමහරවිට ඌ අප්සෙට් ගහයි. මං මෙහෙම කියන්නේ හසනයා මෙතන නැති නිසා. හොඳ වෙලාවට ඌ ඕවා ගනන් ගන්නෙ නෑ”
“මං ඌ අප්සෙට් කරවන්න නෙවෙයි බං එහෙම කිව්වේ… හසනයා හොඳ එකා…”
පොඩි නිහඬ තාවයක්.
“මං බලාගෙන හිටියේ උඹ ඒකට ’…තම්බියා වුනාට’ කෑල්ල එකතුකරයි කියලා!”
මහෙන්ද්රා නවරත්නගෙයි පියසේනගෙයි විවාදය අහගෙන හිටියේ හිනා මුහුනින්.
“මොකද උඹලා දෙන්නා ආගියු කරන්නේ හසන්ගෙ සිංදුවට? එදා පියා ‘මාසිලා උන්මෙයි කාදලේ’ කිව්වේ, අර පාරේ දෙමළ කෙල්ලෝ යනකොට…”
“උඹනේ දෙමළ දන්නේ - ඇයි මගෙන් අහන්නේ? හැබැයි එතන මාර ලස්සන එකියක් හිටියා නේද? ”
නවරතනයි ඒකට උත්තර දුන්නේ.
“උඹට ඒක හරියන්නෙ නෑ කොහොමටවත්. එක, කෙල්ල ලස්සනයි - උඹ කැතයි. දෙක, කෙල්ල දෙමළ - උඹ සිංහල. තුන, කෙල්ල හින්දු - උඹ බෞද්ධ. හතර. උඹට සිංදු කියන්න බෑ - අදක්ෂයි, අංතිමයි”
“තැන්ක්යූ!”
“වෙල්කම්! මට දැනගන්න ඕනෑ උඹට ඇයි උඹෙ සිංහල කමයි බෞද්ධ කමයි ඔය තරම්ම වැදගත් කියලා”
“තමංගෙ ජාතිය, ආගම, භාශාව, සංස්කෘතිය වගේ දේ ගැන ආඩම්බර වෙන එක මනුස්ස ගතියක්. උඹට ආගමක් ජාතියක් නැතිවුනාට මට කරන්න දෙයක් නෑ!”
“මට තියෙන ප්රශ්නේ තමාගෙ ආගම ජාතිය වගේ දේ වලට ඇති බැඳීම ගැන නෙවෙයි - ‘ආඩම්බර’ කියන වචනේ තමා මට අල්ලන්නෙ නැත්තේ!”
“මොකද්ද බං ඒ වචනේ වැරැද්ද?”
“ඒකේ තේරුම මම හරියටම දන්නෙ නෑ… ‘ඒකී හරි ආඩම්බරයි!’; ‘උඹ ආඩම්බර වෙන්න ඕන ඔය විදිහට යන්තමට පාඩම් කරලා පාස්වුන එක ගැන’; ‘උඹ අද කරපු දේ ගැන මට ආඩම්බරයි…’; ‘අපි ආඩම්බර වෙන්න ඕනෑ අපෙ ආගමෙන් පැහැදිළි වෙන සූක්ෂ්ම දෘෂ්ටිය…’ උඹට තේරෙනවා නේද මේ හැඟීම් සේරම එකම නෙවෙයි කියලා?”
“හැබැයි එක තේමාවක් තියෙනවා නේද? සාමාන්ය ලෙවල් එකට ටිකක් හරි උඩින් සිටීම?”
“උඩින් සිටීමද උඩින් ඉන්නවා කියලා සිතීමද? අර ආඩම්බර එකී අනික් කෙල්ලන්ට වඩා ඇත්තටම උඩින්ද ඉන්නේ? නැත්නම් ඒක ඒකිගෙ හිතේ තියෙන දෙයක්ද? එහෙමත් නැත්නම් ඒකී පිටට පෙන්වන සලකුණු අපි වැරදියට තේරුම් අරගෙනද එහෙම පෙනෙන්නේ?”
“පොයින්ට් එක හොඳයි. හැබැයි යන්තම් පාඩම් කරලා පාස් වෙන එකේ ආඩම්බරේට තේරුම් ගොඩක් නෑ - ඒක ගැනත් උඹට ප්රශ්න තියෙනවද?”
“… නෑ… පාඩම් නොකර පාස් වෙන එක වටිනා වැඩක්නම්, ඒක තමාගෙම උත්සාහයෙන් ඉටු කරගත්ත දෙයක්නම් ආඩම්බර වෙන එකේ වැරැද්දක් මට පේන්නෙ නෑ”
“උඹ කියන්නේ තමංගෙ උත්සාහෙන් හරි දෙයක් කරගන්න එක ආඩම්බර වෙන්න වටින දෙයක් කියලා?”
“හරියටම හරි! උදාහරනයක්… උඹ අහුවෙන්නෙ නැතුව හොරෙන් කුරුම්බා කැඩුවානම් උඹට පුළුවන් ඒක ගැන ආඩම්බර වෙන්න… මොකද හොරපොල් කඩන එක නරක දෙයක් කියලා උඹට තවම තේරෙන්න නැති නිසා!”
“උඹටත් පුළුවන් මගේ ක්රියාව ගැන ආඩම්බර වෙන්න - නොමිලේ කුරුම්බා ලැබෙන නිසා!”
“ආන්න ඒක ගැන තමා අපි එකඟ නොවෙන්නේ! මම කියන්නේ, වෙන කවුරුවත් කරන දෙයක් ගැන මට ආඩම්බර වෙන්න බෑ - ඒකයි මගේ මූලික මතය ඔය ආඩම්බර කතාව ගැන”
පියසේන ටිකක් කල්පනා කළා.
“උඹ කියන්නේ අපෙ මුරලිදරන් විකට් අටසීයක් ගත්තා කියලා අපි ආඩම්බර වෙන්න බෑ? ලංකාව ලෝක කුසලාන දිනුවා කියලා අපිට ආඩම්බර වෙන්න බෑ!”
“උඹ මුරලිට උදව් කරාද විකට් ගන්න? අනූ හයේ ටීම් එක පුහුණු කරාද? නැත්තං ආඩම්බර වෙන්න බෑ… සන්තෝස වෙන්න පුළුවන් - ආඩම්බර වෙන්නේ මොකක් කරා කියලද?”
ස්ටැන්ලි ආයෙත් කතාවට එක්වුනා, නවරත්න/පියසේන ද්වන්ද යුද්දෙට අවහිර කරගෙන..
“මචං මහේන්ද්රා… උඹට දෙමළ කියලා ආඩම්බර වෙන්න බෑ - හැබැයි ඒ ගැන සන්තෝස වෙන්න පුළුවන්!”
“මම නවේගෙ සයිඩ් එකේ… මම දෙමළ, ඉපදුනේ තිරිකුනාමලේ. ඒ මම කරපු දෙයක් නෙවෙයි - ඕනනම් අම්මටයි තාත්තටයි බැනපං. නවේ කිව්වා වගේ ආඩම්බර වෙන්න දෙයක් මම කරලා නෑ. හැබැයි මම තිරිකුනාමලේ දෙමළ කොල්ලෙක් - වෙන තැනක වෙන ජාතියක කෙනෙක් වෙන්න ආසාවක් නෑ!”
නවරත්නට සන්තෝසයි ලැබුන සහයෝගෙට.
“අන්න මොලේ තියෙන එකෙක්!
“මොලේ නැත්තං කොහොමද බං මහේන්ද්රා පේරාදෙනියේ එන්නේ? … හැබැයි ඒ තර්කය උඹට නම් අදාල නෑ නවේ - උඹ කොහොම පේරාදෙනියේ ආවද මං දන්නෙ නෑ! මහෙන්ද්රා කියන්නේ ඌට වෙන ජාතියක කෙනෙක් වෙන්න ආසාවක් නෑ කියලා. ඒ ගැන කාරණා දෙකක් තියෙනවා - එකක්, වෙන ජාතියකට අයිතිවෙන්න ඕන නෑ කියන්නේ ඉන්න ජාතිය ඌට හොඳයි කියලා. ඒක ආඩම්බරයක් නෙවෙයිද? තියෙන එක මට හොඳයි අනික් ඒවට වැඩිය කියන්නේ ආඩම්බරයක ලකුණක්. දෙවෙනි පොයින්ට් එක - පේරාදෙනියේ ආවේ අළුත් දේ ඉගෙනගෙන, අළුත් අත්දැකීම් ලබාගන්න. මෙහෙ අවුරුදු හතරකට පස්සේ මහෙන්ද්රා තවම ‘තිරිකුනාමලේ දෙමළෙක්’ කියනවානම් ලෙක්චර් වලින් ඉගෙනගන්න දේ වලට වඩා වටිනා දෙයක්, ඊට වඩා ගැඹුරින් මුල් බැස්ස දෙයක් නෙවෙයිද ‘තිරිකුනාමලේ දෙමළ කොල්ලා’ කියන එක? ඒ කියන්නේ කෙනෙකුගේ ජාතිය පාප්ප ගාලා ඇඟේ පිටින් අලවපු දෙයක් නෙවෙයි - ඒක එයාගෙ නෛසර්ගික, ස්වභාවයෙන් පිහිටි, දෙයක්!... මං හිතන්නේ එක අතකින් ආගමත් ඒ වගේ… ටිකක්”
“හ්ම්… මට හරි සතුටුයි උඹට තර්කානුකූලව වචන කීපයක් ගැටගහගන්න පුළුවන්වීම ගැන… ඒක කලාතුරකින් වෙන දෙයක්! ජාතිය උප්පත්තියෙන්ම ලැබෙන නිසා ඒක වෙනස් කරන්න බෑ. ඒ ගැන විවාදයක් නෑ”
නවරත්න දේශනයක් පටන්ගත්තා.
“නමුත් බාසාවයි ආගමයි එහෙම නෑ. උපන්දා පටන් ඇලී ගැලී ඉන්න නිසා වගේම වෙන බාසාවකට ආගමකට සම්බන්ධයක් නැති නිසා තම අපි බාසාවයි ආගමයි උප්පත්තියෙන් ලැබුනා කියන්නේ. ඇත්තටම කියනවානම් ඒ දෙමව්පියන්ගෙ බාසාවයි ආගමයි මිස තමාගෙම දෙයක් නෙවෙයි - ඒවා තමාටම වෙනස් කරගන්න පුළුවන් නිසා. ඒ මගෙ පලවෙනි පොයින්ට් එක. දෙවෙනි පොයින්ට් එක තමා අපෙ ජීවිතේ එකම එක බාසාවකට හරි එකම එක ආගමකට හරි සීමා කරන්න අවශ්ය නැති වීම… මම දන්නවා සිංහල, දෙමළ, ඉංග්රීසි බාසා තුනෙන් දෙකක් එක තරමටම හරනය කරන්න පුළුවන් අය. උන්ගෙ බාසාව මොකද්ද? දෙමව්පියන්ගෙ බාසාව විතරද? පිටරට ජීවත්වෙන සමහරු තමාගෙ දෙමව්පියන්ගෙ බාසාව දන්නෙම නෑ. ඒ අයගෙ බාසාව මොකද්ද?... ආගමත් එහෙමයි. අපි දෙමව්පියන්ගෙන් ලැබුන ආගම වෙනස් කරොත් මොකද වෙන්නේ? ඊටත් වැඩිය වැදගත්… ඇයි අපි ඕනම ආගමකට ‘මගේ ආගම’ කියලා කියන්නේ? එක ඇදහීම්/විශ්වාස පද්දතියකට අපි කැපවෙන්න ඕනද? මං කතා කරන්නේ ආචාරධර්මය වත් සීලාචාර හැසිරීම ගැනවත් නෙවෙයි - ඒවා ආගමක් නැතුවත් පිළිපදින්න පුළුවන්… අපිට ‘අපේ’ කියලා ආගමක් ඕනද කියන එකයි මගෙ ප්රශ්නේ”
පියසේන ටිකක් කල්පනා කරා මොකවත් කියන්න ඉස්සර. නවරත්නගෙ කතාවේ වැදගත් අදහස් ගැබ්වී තියෙන බව පියාට තේරුනා. කෙළින්ම විරුද්ධ තර්කයක් ඉදිරිපත් නොකර වෙන ක්රමයක් යොදාගන්න ඉදිරිපත්වුනේ ඒ නිසයි.
“උඹේ ප්රශ්නේ ජාතිය බාසාව ආගම මොනවද කියන එක නෙවෙයි - උඹට හිතට අමාරු ඒ ගැන ආඩම්බර වෙන එක ගැන නේද? වෙන බාසාවක් පාවිච්චි කරන කෙනෙක්, වෙන ආගමකට ගිය කෙනෙක් … මේ අයට ආඩම්බර වෙන්න පුළුවන් ඒ තමාම කරගත්ත දේ නිසා. උඹගෙම අර්ථ දැක්වීම අනුව. ඒකට විරුද්ධ වෙන්න උඹට කොහෙත්ම බෑ. උඹේම නීතිය අනුව, තමංගෙ රට අතහැරලා වෙන රටකට යන මිනිහටත් එ ගැන ආඩම්බර වෙන්න පුළුවන් - තමාම කරගත්ත දෙයක් නිසා”
පියා ලොකු හුස්මක් ගත්තා අංතිම වචන කටින් පිට කරන්න ඉස්සර.
“එතකොට අපිට ආඩම්බර වෙන්න බැරි උපන් රට, ජාතිය, බාසාව, ආගම ගැන විතරයි… උඹට මොලේ පොඩි ලෙඩක් තියෙනවා බං!”
නවරත්න කතාවක් නැතුව තමාගේ ඔළුව පමනක් හරවමින් අපි හැමෝගෙම මුහුනු එකින් එක පරීක්ෂාකරේ උද්යාන වවන්නෙක් දලඹුවෝ සොයන ඉරියව්වෙන්.
“උඹලගෙ මූනු දකිනකොට මොකද්ද දන්නවද මට මතක්වෙන්නේ? අර ඉරිදා පත්තරේ තියෙන චිත්ර දෙකක වෙනස්කම් දහයක් සොයන පොඩිවුන්ගේ තරඟයක් … උඹලා දන්නවා නේ එක වගේ පින්තූර දෙකක සැඟවී තියෙන පොඩී වෙනස්කම් සොයන තරඟ? මචං… අපි පොඩි කාලේ ඉඳන් පුරුදුවෙන්නේ දකින දේවල වෙනස්කම් සොයන්න මිස සමානකම් දකින්නවත් දකින දේක ලස්සන අගය කරන්න වත් නෙවෙයි… පුදුමයක් නෙවෙයි රටේ තියෙන එක එක ගොං බේද… දැන් කයිවාරු ගැහුවා ඇති - නිදිමතයි!”
නවරත්න පියසේනගෙ කරට උඩින් අත දමාගෙන පොදු කාමරෙන් එලියට ගියේ සිංදුවකුයි බෙර පදේකුයි එක්ක.
“එමවිට පවසන මුවින් ඔ-දන්කුඩ දන්කුඩ - බුද්ධං සරනන් ගච්චාමී”