අවස්ථාවාදියා

මේ දවස්වල ගෙදර මම ඉන්නේ තනියම. පවුල එයාගෙ ගමේ ගිහින්; තව මාසයක්වත් යයි ආපහු එන්න. ඒකත් එයාගෙ තාත්තට ලෙඩ හොඳටම සනීප උනාට පස්සේ. ලමයි දෙන්නම දැන් රස්සා කරන නිසා මෙහෙ එන්නේ මාස කීපේකට සැරයක්. ඒ අයටත් තමංගෙම ගෙවල් තියෙනකොට ඊට වැඩිය බලාපොරොත්තු වෙන්න බෑ.

මට තනියම ඉඳලා පුරුදුයි. ඒක වැඩි බරක් හැටියට දැනෙන්නේ නෑ. නමුත් තව කවුරුත් ඉන්නකොට ගෙවන ජීවිතෙයි තනියම ඉන්නකොට ගෙවන ජීවිතෙයි අතර ලොකු වෙනස්කම් තියෙනවා. තමංගෙ ලමයි ඉගෙනගන්න හරි රස්සා කරන්න හරි පිට පලාත් වලට යනවානම් ගිහින් ටික කාලයක් යනකම් පාලුවක් දැනෙන එක වලක්වන්න බෑ. නමුත් තුන් හතර දෙනෙක් හිටපු ගෙදරක් දෙන්නෙක් විතරක් ඉන්න ගෙදරක් වෙනකොට ඇතිවෙන වෙනස්වීම් වගේ දහ ගුනයකින් වැඩියි දෙන්නෙක් ඉන්න ගෙදරක් තනියම කෙනෙක් ඉන්න ගෙදරක් වෙනකොට. මේක නිසා වෙන්න වයසක ජෝඩුවකින් එක්කෙනෙක් මියගියාම අනිකා වැඩි කාලයක් ගෙවෙන්න පෙර ඒ පාරෙම යන්නේ, දරු මුනුබුරෝ ඒ ගැන යමක් නොකලොත්.

වාසනාවකට වගේ ඒ ප්රශ්නේ මට නෑ. එකක් මගෙ පවුල එලොව ගිහින් නෑ. අනික තනියම ඉන්නකොට මට ඕනැ දෙයක් කරගන්න පුලුවන් කිසිම බාධාවක් නැතුව. ඇඳෙන් නැගිටින, නිදාගන්න වෙලා විතරක් නෙවෙයි කන කෑම, බොන බීම, අහන සින්දු, හමුවෙන යාලුවෝ වගේ එකී නොකී සියයක් දේ මට ඕනෑ විදිහට, කැමති වෙලාවට කරන්න පුලුවන්. මේක කලහැක්කේ ළදරුවෙකුටයි මේදවස්වලදී මටයි විතරයි කියලා මට හිතෙනවා.

ඊයේ උදේ දහයට විතර මගෙ ටෙලිෆෝන් එක ඒකේ සිංදුව කියනකොට මම තවම ඇඳේ. රෑ එක දෙක වෙනකම් ඇහැරලා හිටි නිසා මම හිතුවේ එකොලහට විතර නැගිටලා උදේටයි දවල්ටයි එක වේලක් ගත්තොත් ඒ ඇතිවෙයි කියලා.

“හලෝ?” මගෙ කට හඬෙන් නිදිමත ගතිය නැති කරන්න මම කිසිම උත්සාහයක් ගත්තෙ නෑ.

“හලෝ…මේ මීස්ට සිල්වා ඉන්නවද? සරත් සිල්වා?”

“ඔවු… මම සරත් සිල්වා…මේ කවුද?”

“මම ලක්ශ්මන් අබේකෝන්…අපි එක පංතියේ හිටියා දැන් අවුරුදු පනහකට ඉස්සර…මතකද මංදා…”

“ලකී? අර මිස්ට ගුනරත්න ගහන්න එලවනකොට ජනේලෙන් පැන්න ලකියා? ටොම්බා?” දැන් මට හොඳටම ඇහැරිල. ‘ටොම්බා’ ඒ දවස්වල මගෙ හොදම යාලුවා. “උඹ කොහෙ ඉඳන්ද කතා කරන්නේ? කොහෙන්ද මේ නොම්බරේ හොයාගත්තේ?”

“හරි හරි. එහෙනම් උඹ ‘සරා ගොයියාම’ තමයි. දැන් එකෙක්වත් මට ටොම්බා කියන්නෙ නෑ - බයයි මම ආමි එකට ගියාට පස්සේ! ඊයේ මට ජලීල් හම්බ උනා උන්ගෙ කඩේ. ඌ ලඟ තිබුනා උඹෙ නොම්බරේ”

“ජලීලයගෙන් මම බඩු වගයක් ගත්තා…ඒකයි ඌ ලඟ නොම්බරේ තිබුනේ…අපි මොකටද මේ ජලීල් ගැන කතා කරන්නේ? උඹ කොහෙද ඉන්නේ? අපි කොහොමද හම්බුවෙන්නෙ?”

“මචං මම ඊලඟ දවස් දෙක මේ පලාතේ. ඉන්න හිතාගෙන හිටියේ රෙස්ට් හවුස් එකේ…”

“රෙස්ට් හවුස් එකට බම්බු ගහගන්න කියල වරෙන් අපෙ ගෙදර. මම තනියම ඉන්නේ මේ දවස්වල, පවුල ගමේ ගිහින්”

“ඇඩ්රස් එක කිව්වොත් එන්න බැරිවෙන එකක් නෑ…මොනවත් ගේන්න ඕනැද?”

“නියමයි…මොනවත් ගේන්න එපා…තනියමද එන්නේ? කෑමේ විශේෂ ඕනෑකම් තියෙනවද? දන්නෙ නැද්ද මේ දවස්වල, කොලෙස්ට්රෝල් කියයි, ග්ලූටන් කියයි, පොටෑසියම් කියයි - අන්තිමට කෙමිස්ට්රි පොතකුත් ඕනැ වෙනවා කෝකියෙකුට”

“නෑ. කිසී එහෙම දෙයක් නෑ…මම හයට විතර එන්න බලන්නම්”

දවස් කීපෙකින් ගෙදර තනියම හිටපු මට ඉස්කෝලෙ කාලේ යාලුවෙක් එන එක හරියට ලොතැරැයියක් දිනුව වගේ. එකක්, හවසට කතා කරන්න කෙනෙක් ඉඳීම - සිංදු අහ අහ කොම්පියුටරේ කුරුටු ගගා ඉන්න එකෙන් ඉඳලා හිටලා වත් විවේකයක් ඕනෑ. අනික, අලුත් යාලුවෝ වගේ නෙවෙයි ලකියත් එක්ක කතා කරන්න දේ බොහොමයි. පරන ඉස්කෝලේ කතා වලටම පැය ගානක් යයි. මම රෑ කෑම පිලිවෙල කරන්න ලෑස්ති උනේ මේවා ගැන හිතමිනුයි.

……..

ලක්ශ්මන්ට දොර අරිනකොට තමා මම දැක්කේ මගෙ හිතේ තිබුන මිනිහගෙත් දොර ලඟ ඉන්න මිනිහගෙත් වෙනස. ලකීගෙ මැදපු කලිසම් කමිස, ඔප දාපු සපත්තු එහෙම ඇරුනුකොට මිනිහගෙ කොටට කපා පීරූ කොන්ඩෙත් සිනිදුලෙස රැවුලබෑ මුහුනත් ලඟදී කඩෙන් ගත්ත දේ වගෙයි මට පෙනුනේ. මාව ලකීට සංසංදනය කරලා බැලුවොත්, මගෙ කොට කලිසමයි සෙරෙප්පු නැති කකුල් දෙකයි දිග කොන්ඩෙයි රැවුලයි හරියට “ලක්ශ්මන් අබේකෝන්ට කී ලෙසකින් වෙනස්විය හැකිද?” විදහා දක්වන පින්තූරයක් වගේ වෙයි කියලා මට හිතුනා.

“වරෙන් වරෙන්…උඹ දැකපු කල්!...ඇතතටම උඹ පාරේ දැක්කනම් මම අඳුනාගන්නෙම නෑ…අ..අ..මේ ලක්ශ්මන් අබේකෝන් නේද? අලි කෙලිය වෙන කවුරුවත්නම්”

“සරත් සිල්වා! උඹ නම් හිටියා වගේමයි…රවුලයි කොන්ඩෙයි…මූනයි…ඇඳුමයි ඇරුනුකොට!”

අපි දෙන්නටම හයියෙන් හිනා ගියා.

“තේ එකක් බොනවද නැත්තම් සැර මොකවත්?”

“හිටපන් මචං මගෙ මල්ල ගේනකම්…කාරෙක ගේ ඉස්සරහ පාරේ තිබුනට කමක් නැද්ද?”

“ප්ර්ශ්නයක් නෑ…හෙට උදේට අලුත් රෝද හතරක් දාගන්න බැරියෑ! නෑ…නෑ නෝ ප්රොබ්ලම්…අන්න අර කාමරේ උඹගෙ…මල්ල එහෙ දාලා කුස්සිය ලඟ බැලකනියට වරෙන්…මං බලන්නම් බොන්න මොනවත් හොයාගන්න දැන් හයත් පහුවෙලා හින්දා”

ලකීට විනාඩි දහායක් විතර ගියා ගේ පිටිපස්සට එන්න. ඒ අතරතුරේ මම බැල්කනියට බීමට ඕනෑ ආම්පන්න ගෙනත් ලෑස්තිඋනා. කඩෙන් ගෙනාපු වඩේ ඇරුනුකොට අද දවල් ගෙදර තම්බපු කඩල ටිකකුත් හපන්න ගෙනාවා. වතුරත් වීදුරුත් එලියට ගන්නකොට මැදපු කොට කලිසමකුත් කමිසෙකුත් සෙරෙප්පුත් දාගත් ලකී ආවේ විස්කි බෝතලේකුත් අරගෙනයි.

අපි දෙවැනි වීදුරුවත් අතට අරගෙනයි අපෙ අතීතේ සමරන්න පටන්ගත්තේ.

“ඉතින් කියපන්කෝ උඹෙ ගිය අවුරුදු පනහ ගැන…”

“…හ්ම්…කෙටියෙන් කිව්වොත්…අවුරුදු දහයක් ප්ලයිවුඩ් කෝපරේශන් එකේ, ඊලඟ අවුරුදු විස්ස ආමි එකේ, යුද්ද කාලෙත් එක්ක…එකසැරයයි තුවාල උනේ…ඒකෙන් අස්වෙලා ප්රයිවට් කොන්සල්ටන්සි කරනවා සිකියුරිටි ෆීල්ඩ් එකේ… බැඳලා අවුරුදු විසිහයක් වෙනවා…පුතා ආමි එන්ජිනියර්ස්…එක දුවක් ටීචර් කෙනෙක් බාලයා තවම යුනිවසිටි…වයිෆ් රිටයඩ් ටීචර්…ඉන්නේ මාලඹේ…එච්චර තමා…උඹෙ ජීවිතේ?”

“එහෙම බෑ - ඊට වැඩිය විස්තර ඕනෑ. ආමි එකට ගියේ ඇයි? යාපනේ පැත්තෙද වැඩියම හිටියේ? මිනිස්සුත් මැරුවද? බැන්දේ කවුද? ඇයි? මේවගෙන් බාගයක්වත් නොකියා මගෙන් මොකවත් අහන්න එපා!”

“ගෙදර අයිතිකාරයා නිසාද නීති දාන්නේ?....මම….මම ඇත්තටම ආමි එකට බැඳුනේ ඇයි කියලා මම වත් දන්නෙ නෑ සරත්. අම්මා එහෙම කැමති උනේම නෑ. නමුත් මට මතකයි ජේ වී පී කාලේ උන දේ. උඹ දන්නවානේ මගෙ මාමා කෙනෙක් මලා උන්ගෙ වැඩ නිසා. මගෙ හිතේ තිබුනේ ජාතිය මොක උනත් ත්රස්තවාදියන්ට ඔලුව උස්සන්න දුන්නොත් අපි හැමදාම වහල්ලු කියලා…අඩු ගානේ ඒක තමා මම සේරටම කිව්වේ - තවමත් කියන්නේ…නමුත් මං හිතන්නේ යටිහිතේ තිබුනේ වැඩිවෙන පඩියයි ඒකෙන් අනෝමා බැඳගන්න එකයි”

ලකී මේක කියලා හිනාවුනත් මුහුනෙන් පෙන්නුවේ යම්කිසි වේදනාවක්.

“අනෝමගෙ තාත්තා ආමි එකේ මේජර් කෙනෙක් ඒ දවස්වල. පස්සේ තව ඉහලට නැග්ගා. එයා මට බොහොම උදව් කෙරුවා. රස්සාවයි පවුලයි දෙකම එක ගෙදරින් ගන්නවා කියලා අම්මයි නංගිලයි විහිලු කරාට ඒ අයගෙ හිතේ සෑහෙන බයක් තිබුනා යුද්දෙන් මට මොකක් වෙයිද කියලා…ප්ලයිවුඩ් හිටපු පරන යාලුවෝ කිව්වේ මම අවස්ථාවාදියෙක් කියලා….සමහරවිට ඒකෙත් ඇත්තක් තියෙනවා. නමුත් අද වෙනකම් මගෙ ඒ තීරනේ ගැන මම සන්තෝස වෙනවා. නෝ රිග්රෙට්ස්…මම යුද්දේ පුලුවන් තරමින් අමතක කරන්නයි බලන්නේ. දැන් සිකියුරිටි බිස්නස් එක නරක නෑ - මගෙ පවුල ඇරුනුකොට අම්මලා එහෙමත් බලාගන්න මට දැන් පුලුවන්”

ලකී වඩේ කෑල්ලක් හපලා වතුර බෝතලේ කට තියලා උගුරු කීපයක් බිව්වා ආයෙ මොනවත් කියන්න ඉස්සර.

“මම එන අවස්ථාවලින් ප්රයෝජන ගන්න ඇති මචං…නමුත් කවදාවත් හිතට විරුද්ද දෙයක් මම කරේ නෑ….කාටවත් හානියක් අතවරයක් වෙන දෙයක් කරෙත් නෑ….උඹ සමහරවිට හිතනවා ඇති ඒක මගෙ හිත එකලස් කරගන්න කියන එකක් වෙන්න ඇති කියලා නමුත් මම දන්න ඇත්ත ඒකයි”

ලකී ආයෙත් වතුර උගුරක් බිව්වා.

“උඹට විස්කි එපාවෙලාද වතුර විතරක් බොන්නේ… අවස්ථාවාදියෙක් හැටියට තියෙන දේ බොන්න ඕනෑ.…මොකොද බලාගෙන යනකොට අවස්ථාවාදී නැත්තේ කවුද බං?”

“තෑන්ක්යු…ඇයි දන්නෙ නැ මම මේවා ගැන කතා කරේ…වෙන කාටවත් කියලා නෑ මීට ඉස්සර. මගෙ හිතට ලොකු නිදහසක් ඒක…මම තව ඩ්රින්ක් එකක් දාගන්නවා - උඹ උඹෙ කතාව කියපන්”

“ඒක සෑහෙන්න බොන්න ඕන කතාවක්!...මම රෑට කන්න බතල තම්බලා පොල් සම්බල් හදලා තියෙන්නේ. ඒක කාලා, මදිනම් බිත්තරයක් වත් දාගෙන කමු”

දෙන්නටම බතල අල්ලලා ගියා. ලකී හොස්ටල් එකේ ඉන්න කාලේ දවසක් අපි ඉස්කෝලේ පිටිපස්සේ මානා කැලේ බතල තම්බලා කෑවා අපෙ ගෙදරින් හොරෙන් ගෙනාපු පොල් සම්බලේකුත් එක්ක. ෆ්රිජ් එකේ තිබුනු පරන පරිප්පු කරියකුයි ආප්ප දෙක තුනකුයි රත්කරලා ගත්තැන් පස්සේ රෑ කෑම නියමයි. ආයෙත් කතාව පටන් ගත්තේ අපි කෝපි කෝප්පෙකුත් හදාගෙනයි.

මම ලකී දිහා බලලා “චියර්ස්” කිව්වා කෝපි කෝප්පෙ උඩට උස්සලා.

“උඹ දන්නවානේ මම ඉස්කෝලේ ඉන්නකාලෙ ඉඳන් ෆිසික්ස් කරන්නනේ ඕනෑ කම තිබුනේ. යුනිවසිටි ගිහින් අවුරුදු කීපෙකට පස්සේ තමා මට තේරුනේ මම ඒ වැඩ වලට දක්ශ මදි කියලා…යංතම් විබහග පාස්වෙලා ගුරුවරයෙක් හැටියට පත්වීමක් ගත්තට මට ඕනෑ උනේ කලාවට කිට්ටු දෙයක් කරන්න. ෆිසික්ස් ඇරුනුකොට මට ආසාව තිබුනේ ඒකට විතරයි. නාට්ය, සාහිත්ය සංගම් වගේ දේවලට මම එක්වුනේ ඒ අඩුව පිරිමහගන්නයි”

“දවල් ළමයින්ට ගුරුත්වාකර්ශනය ගැන උගන්වලා හවසට ඒ ගැන කවි ලියන්න මම පුරුදු උනා. උඹ පුදුමවෙයි ගුරුත්වාකර්ශනය කවියට කොයි තරම් ගැලපෙනවද කියලා - ඒකෙන් ගැලවෙන්න බෑ, ඒක දැනෙනවා මිසක් පෙනෙන්නෙ නෑ, කොච්චර තියරි තිබුනත් ඒක අනික් බල වලට සම්බංද කරගන්න සයන්ටිස්ට්ලට තවම බැ….කොහොම හරි මම විද්යාවෙන් ටික ටික ඈත් වෙලා කවි කතා ලියන පැත්තට ගියා”

“වැඩේ තියෙන්නේ…මට ඕනෑ දේ ගැන ලියන එක මට කොයි තරම් සතුටක් උනත් ඒකෙන් කන්න බොන්න, කුලී ගෙවන්න එහෙම බෑ කියලා මට තේරුනා…මොකද, සල්ලි ගෙවලා මගෙ ගොන්පාට් කියවන්න ඇති තරම් ගොන්නු ළංකාවේ නෑ! ඊට පස්සේ තමා මම පත්තරවලට ලියන්න පටන්ගත්තේ, ගානක් හොයාගන්න ෆ්රී ලාන්ස් ආටිකල් ලියලා…මොක උනත් මම ටීචින් අතෑරියේ මගෙ පලවෙනි කෙටිකතා එකතුව පලවීමෙන් පස්සේ…ඒකට අවුරුදු දහයක් ගියා!”

“ඒ කියන්නේ මම ආමි එකට ගිය කාලේ විතර?”

“වෙන්න ඇති මචං…ඒ දවස්වල මම හිටියේ මානසිකව ඒ තරම් හොඳ තැනක නෙවෙයි. පලවෙනි පොත ටිකක් හොඳට විකුණෙනකොට මට ඇඩ්වාන්ස් එකක් හම්බුනා ඊලඟ පොත ලියන්න. මං හිතන්නේ මේක මගෙ ඔලුවට ගියා ‘අඩේ මමත් මාර කතෘ කෙනෙක්’ කියලා. මම රස්සාවෙන් අස් උනා, කසාදයක් බැඳගත්තා, මේ ගෙදරට පලවෙනි ගෙවීම කරා….මේවා කරන වෙලාවේ මගෙ මොලේ නැවතුනා”

“ලෙඩ හැදුනා?”

“නෑ බං ලියන්න අදහස් නෑ. අර ඉන්ගිරිසියෙන් ‘රයිටර්ස් බ්ලොක්’ කියන්නේ. මට ආවේ නියම විදිහට…වෙන එකක් තියා කතාවකට අදහසක්වත් එන්නෙ නෑ. පවුලගෙ පඩියෙන් ගැටගහගත්තා. මම ටියුශන් පංතියකත් ටිකක් කල් ඉගැන්නුවා. නැත්තම් මේ ගෙදරත් නෑ අපිට….”

“අලි කෙලිය නේ බං. කොච්චර කාලයක් ඕක තිබුනද? කොහොමද ඒකෙන් ගොඩ ආවේ?”

මට හිතුනා තව විස්කි එකක් බොන්න නමුත් ලකියා බීම ඉවර කරලා නිසා මම නැගිටලා ගිහින් තව කෝපි දෙකක් හදාගෙන ආවා.

“අවුරුද්දක් විතර මම එක එක දේ ට්රයි කරලා බැලුවා ලියන්න. උදේ පාන්දර පටන්ගන්න, රෑ මැද ලියන්න, ඇඳේ ඉඳන් ලියන්න, ටවුමේ බංකුවක වාඩිවෙන්න, නෙසෑහෙන්න ඇඟ මහංසිකරන්න - මේ කිසි එකක් වැඩ කරේ නෑ. පත්තරේට කවි පංති කීපයකුයි එක කෙටි කතාවකුයි ඇරුනුකොට වෙන කිසි දෙයක් නෑ. ඒ ලියපු ඒවත් ඒ තරම්ම හොඳ නෑ…අංතිමට කේමා, මගෙ පවුල, තමා මට අදහසක් දුන්නේ මේකට බෙහෙතක්”

කටට ගත්ත කෝපි ටික ගිලින්න බැරුව උගුරේ හිරවුනා වගේ දැනුනා. මගෙ ඇහට කඳුලු ආවා.

“ඒක උනේ මෙහෙමයි. දවසක් කේමයි මායි දැන් මේ අපි ඉන්න බැලකනියේ වාඩි වෙලා තේ බොනකොට තමා එයා මේක ගැන කතා කරේ. සමහරවිට මේක ගැන බොහෝම හිතන්න ඇති මට ඒ ගැන කතා කරන්න ඉස්සර.
“හැබෑට ඔයාගෙ කතා වල ඉන්න මිනිස්සු ඇත්ත අයද?”

“එහෙමම නෑ ….මගෙ හිතට එනවා එක එක්කෙනා - මට ඕනෑ විදිහට, කතාවේ හැටියට ඒ චරිත හැඩගහගන්නවා”

“චරිත ගොඩනගන එකයි කතා තේමාවයි වෙන වෙනමද හිතන්නේ?”

“තේමාවේ හැටියට ඕන චරිත ගැන ලියනවා…තේමා නැති එක තමා දැන් තියෙන ප්රශ්නේ, මට හිතෙන්නේ”

“ඇත්ත මිනිස්සු, ඒ කියන්නේ අපි වගේ අය, ගැන හිතුවනම් වැඩේ ලේසි නැද්ද?”

“ඒ කියන්නේ?”

“කතාවක් හදලා ඒකට මිනිස්සු දාන එක හරියට සපත්තු අරගෙන ඒවට හරියන කකුල් හොයනවා වගේ නේද? ඊට වැඩිය නරකද අඳුරන මිනිස්සු ගැන හිතලා, ඒ අය කියනදේ ගැන හිතලා කතාවක් ගොතන එක. මං කියන්නේ, හැම කතාවෙම රජ කුමරුවොයි රොඩී කෙල්ලොයි ඉන්න ඕන නෑ නේ?

මම කිසිදෙයක් නොකියා අහගෙන හිටියා.

“අපිටත් සමහරවිට රසවත් දේ වෙනවානේ….බලන්න අපෙ සුනිල් මල්ලී…එයා කතා කරනවා අහගෙන හිටියොත් හිතෙන්නේ ටිකක් මෝඩ පහේ කියලා. හැබැයි ඇත්තටම මිනිහා කියන කතාවල ගැඹුරු ඇත්තත් තියෙනවා බොහොම අයට නොපේනෙන”

“කරලා බලන්න වටිනවා සරත් … දැන් අපි පොඩි එකෙකුත් හදන්න හිතන කාලේ නේද?” කේමා බිම බලාගෙන ඇහුවා.
“මචං මගෙ ඊලඟ කෙටි කතා හතර සති තුනකින් ඉවර කරා. ‘කලකට පස්සේ, ‘දේව සාප’ වගේ කතා මං හොදින් දන්න අයට කිට්ටුයි. ලියපු කවි බොහොමයක්, ‘මිනිබිරී’, ‘මහවැලිය’, ‘අපෙද නැද්ද?’ වගේ කවි එක්කෝ දන්නා අය ගැන නැත්ත්නම් දන්න අය කීප දෙනෙක් මිශ්ර කරලා. රයිටර්ස් බ්ලොක් එක එතනින්ම ඉවරයි…ලොක්කා ඉපදුනේ ඊට අවුරුද්දකට විතර පස්සේ!”

අපි දෙන්නම ඒකට හයියෙන් හිනා උනා. බැල්කනිය පුරා පැතිරී තිබුන හිතේ අඳුර සම්පූර්නෙන් නැතිවෙලා ගියා.

“මචං උඹ ඒ ක්රමයමද තවම පාවිච්චි කරන්නේ?”

“වෙනස් කරන්න කිසිම ඕන කමක් නෑ බං…වැඩ කරන එන්ජිම හදන්න යන එක මෝඩ වැඩක්”

“එතකොට ලියන්න කේන්ද්ර වෙන මිනිස්සු ඉවර වෙන්නෙ නැද්ද?”

“පිස්සුද? නිතරම අලුත් අය මුන ගැහෙනවා, ඒ අය ගැන දැන ගන්නවා”

“උඹ කියන්නේ මමත් උඹෙ කතාවක් සබ්ජෙක්ට් වෙන්න ඉඩ තියෙනවද?”

“අනිවාර්යෙන්!”

“අනේ එපා මචං…මගෙ දැනට තියෙන ජීවිතේ නැතිකරගන්න මට ඕන නෑ, පරන ඉතිහාසේ ඇදලා!”

“මේක මගෙ රස්සාව මචං…නොකර බෑ….බය වෙන්න එපා. කාටවත් උඹව හඳුනාගන්න විදිහට ලියන්නෙ නෑ….අ…දැන් නිදා ගත්තොත් නරකද? දොලහත් පහුවෙලා…මට තව වැඩ ටිකකුත් තියෙනවා”

“හෙට උදේ හතට මං යන්න ඕනෑ…උඹ එතකොට නැගිටලාද?”

“මම කීයට නිදා ගනියිද කියන්න බෑ….මම නැගිටලා නැත්තම් තේ එහම හදා ගනින්. කුස්සියේ හොයා ගන්න පුලුවන් දෙයක් කාපන්…”

“නෝ ප්රොබ්ලම්….ගුඩ් නයිට් සරත්!”

“ගුඩ් නයිට් ලකී…සී යූ ටුමෝරෝ!”

………….

කොම්පියුටර් එක වාඩි වෙලා විනාඩි කීපෙකට පස්සෙයි මට තේරුනේ අපි දෙන්නගෙන් ලොකුම අවස්ථාවාදියා මම බව.