අවුරුදු හොරු

“නිවාඩු දුන්නට පස්සේ තවම අඹ ගෙඩිය කෑවෙ නෑ!”

“මේ සැරේ අඹ නෑ පොඩි මහත්තයා”

“එක ගහකවත්?”

“අර කමත ලඟ පැපොල් අඹ ගහේ තියෙනවා ටිකක්…. ආයෙ වෙල පාමුල ගිරාඹ ගහෙත් මං දැක්කා…”

“ඉදිච්ච ගිරාඹ තියෙයිද?”

“ගහට නැගලා කඩලා තමා බලන්ට වෙන්නේ. ගහ යට වැටිලා තිබුනෙ නෑ එකක්වත්”

“ගුනපාල අර අන්නාසි ගොල්ලේ ගෙඩි ඇතිද?”

“පිස්සුද පොඩි මහත්තයා - අන්නාසි නෙවෙයි සර්පයෝ නම් ඇතී ඒකේ!”

“…. එහෙනං අපි පිටිය පැත්තට ගිහින් කිතුල් බොඩයක් කමු… කුස්සියෙන් පිහියක් ඉල්ලගෙන වරෙන්කෝ”

අවුරුදු කාලෙට ගුනපාලටත් පොඩි මහත්තයා එක්ක සෙල්ලම් කරන්ට වෙලා තියෙනවා, ඉස්කෝලේ කාලේ වගේ නෙවෙයි. දවල් කාලා නිලමෙයි මැනිකෙයි ටිකක් හාන්සි වෙනවා. ලොකු බේබියි පොඩි බේබියි දෙන්නා කාමරේට ගිහින් පත්තරයක් හරි පොතක් හරි කියවනවා. ලොකු බේබී බෝඩිමේ ඉඳන් මේ දවස්වල නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්න නිසා නංගිත් එක්ක කතාකරන්ට දේ බොහොමයි. පොඩි බේබිත් ඒ ඉස්කෝලේ බෝඩිමටම එන අවුරුද්දේ යනවළු. ඒ නිසාද කොහෙදෝ පොඩි බේබිත් අක්කා කියනදේ ආසාවෙන් අහගෙන හිටියා. නාලක පොඩි මහත්තයා නුවර ඉස්කෝලෙට යන්නේ ගෙදර ඉඳන්. ගමේ ඉස්කෝලේ ඉන්න කාලේ ගුනපාලත් හිටියේ නාලක පොඩි මහත්තයගෙ පංතියේමයි. දෙන්නා ඉස්කෝලේ ආවේ ගියේ එකට. පංතියේදීවත් පාරේදීවත් ගුනපාල නාලකට ‘පොඩි මහත්තයා’ කියලා කතාකළේ නෑ - ඒක ගෙදරට විතරක් සීමාවුනා. ගමේ ඉස්කෝලේදී යාළුවෝ - ගෙදරට වැඩකාරයයි පොඩි මහත්තයයි. නමුත් පහේ පංතියෙන් පස්සේ ගුනපාල ඉස්කෝලේ යෑම නැවතුනා වගේම නාලක නුවර ඉස්කෝලෙට ගියා. ඊට පස්සේ දිගටම ‘පොඩි මහත්තයා’ ආමන්ත්රනය පාවිච්චිවුනා.

“කොහෙද බං හොඳ කිතුල් පැල තියෙන්නේ?”

“මං දැක්කා අර පිටියට එහා කෑල්ලේ තියෙනවා හොඳ ගාන පැල ටිකක්”

“ඒක අපෙ වත්තේ කෑල්ලක්ද?”

“…. ඒක අල්ලපු වත්තේ උනාට ඒකේ අයිති මනුස්සයා නිතරම ගෙදර නෑ…”

“ඒක අර සින්නදුරේ කියන දෙමල මනුස්සයගෙද?”

“ඔවු … හැබැයි ඌ දැක්කත් පොඩි මහත්තයට මොකවත් කියන එකක් නෑ”

නාලක කැමතියි කිතුල් බොඩයක් තලාගන කන්ට - හැබැයි හොරෙන් තලාගන්ට ගිහින් අප්පච්චිට ආරංචි වුනොත් මොනවා වෙයිද කියන්ට බෑ.

දෙන්නා ඉඩමේ මායිම් ඇලෙන් එගොඩට ගියේ වැඩිය සද්ද නොකර. කෙලින්ම කිතුල් පැල ලැහැබට නොගිහින් දෙන්නා ගල් වැටිය උඩ වාඩිවුනේ සාන්තුවරයෝ වගේ - ‘දෙමලා බලාගෙන හිටියොත්’ කියලා. ‘කිසිම අස්වාභාවික හැසිරීමක් මෙතන නෑ’ කියලා පෙන්නුම් කරන්ට වගේ දෙන්නා කතා කරන්ට පටන් ගත්තා.

“පොඩි මහත්තයත් බෝඩිමකට යනවද, ලොකු බෙබී වගේ?”

“පිස්සුද බං…. මම ගෙදර ඉඳන් ඉස්කෝලේ යන්නේ”

“ඒක හොඳයි… නැත්තං මෙහෙ මට පාළුම පාළුයි”

“නුවර යන එක අමාරු නෑ - අක්කා වගේ මාතලේ ඉස්කෝලෙකට ගියානං මටත් බෝඩිං තමයි!”

“පොඩි බේබිත් මාතලේ යනවා නේද?”

“අක්කගෙ ඉස්කෝලෙටම යනවා එන අවුරුද්දේ - අම්මටයි අප්පච්චිටයි ටිකක් පාළුව දැනෙයි එතකොට”

ගුනපාල නාලක දිහා නොබලා කට කොනකින් කතා කරා.

“මං බැහැලා බලන්ටද, අර කොනේ තියෙන පොඩි පැලේ?”

“යකෝ අහුවුනොත්?”

“මං කියන්නං - පොඩි මහත්තයා ඇලෙන් එහා පැත්තේ ඉන්ට… මං ටක් ගාලා පැලේ කොටාගෙන ඇදගෙන එන්නං!”

ගුනපාල කොයි තරම් නිර්භීතද කියලා නාලකට හිතුනා. කොයි තරම් බය හිතුනත් ගුනපාල දාලා තමංගෙ වත්තට පනින්ට නාලකට හිත නෑ.

“උඹ පලයන් - මං ඉන්නවා මෙතනම”

…………………..

ගුනපාල කිතුල් පැලේට කොටන සද්දේ මුළු ගමටම ඇහෙයි කියලා නාලකට හිතුනා. පිහියෙන් ගහට වදින හැම පාරම නාලකගෙ පපුවට වදිනවා වගේ දැනුනේ. පැලේ වැටෙන්ට ඔන්න මෙන්න කියලා තමා වෙන සද්දයක් ඇහුනේ.

“කවුද අඩෝ ඔතන අරඹේ? හිටපියව් මම තුවක්කුව අරන් එනකං”

කිතුල් ලන්ද දෙදරාගෙන ආපු සද්දෙට ගුනපාල අතේ තිබුන පිහිය බිම වැටුනා. ගල් වැටෙන් හදිස්සියට පනින්ට ගිය නාලක බිම පෙරලුනා.

“දුවන්ට….” කියාගෙන ගුනපාල නාලක දිහාට දුවන්ට බැලුවේ ගහල වැලක පැටලිලා තිබුන පිහිය මිටෙන් අදිමිනුයි. නාලක සම්පූර්නෙන්ම නැගිට ගන්ටත් ඉස්සර ගුනපාල එතෙන්ට ඇවිත් නාලකගේ අතින් ඇදගෙන දුවන්ටත් ලෑස්තියි. පිහියයි ගහල වැල් කැරැල්ලකුයි කිතුල් අතු කෑල්ලකුයි එක අතකින් ඇදගෙන අනික් අතින් නාලකත් අල්ලාගෙන මායිම් ඇලෙන් පැන්නේ ඇඟේ හයියට වැඩිය හිතේ හයියෙන් කියලා නාලකට පස්සේ හිතුනා. දෙන්නම දන්නවා දුවනකොට පස්ස බලන එක මෝඩ කමක් කියලා - කවුරුවත් එලවාගෙන ආවත් එයා දැක්කා කියලා දැනට වඩා හයියෙන් දුවන්ටත් බෑ; ආපහු හැරිලා බලනකොට පය පැකිළිලා වැටෙන්ටත් ඉඩ තියෙනවා. නාලකට දැනුනේ ඉස්කෝලේ මීටර් සීයේ ඉසව්වෙදිත් මේ තරම් හයියෙන් දිව්වෙ නෑ කියලා.

දෙන්නා දුවගෙන ගිහින් නැවතුනේ ගෙදරට කිට්ටුව තිබුන එළවලු කොරටුව ලගදියි. කවුරුත් තමං පස්සේ එලවාගෙන ආවෙ නැතිනිසා කොරටුව අයිනේ කොස් කොටේ උඩ වාඩිවෙලා හති අරින්ට පටන්ගත්තා.

“තව පොඩ්ඩෙන්…”

“නෑ පොඩි මහත්තයා…. දෙමලා අපි එලවන්නෙ නෑ”

“දැන් අහුවුනේ නැතිවුනත් පස්සේ අප්පච්චිට කිව්වොත්?”

“පිස්සුද? අපි කියලා දන්නේ කොහොමද?”

ගුනපාලට මේක ප්රශ්නයක් වගේ පෙනුනෙ නැතුවට නාලක හිතුවේ දැනටම දෙන්නම ලොකූ කරදරේක වැටිලා ඉන්නේ කියලා.

“පොඩි මහත්තයා කියන්ට අපි ඒ පැත්ත පලාතට ගියෙ නෑ කියලා. එතකොට ඉවරයි!”

“මං කොහොමද එහෙම කියන්නේ මිනිහා අපි දැක්කානං?”

“අපි කියමු අර ඉහල ගෙදර ළමයි දෙන්නා ඒ පැත්තට ගියා දැක්කා කියලා”

“ඉහල ගෙදරින් ඇහුවොත්?”

“ඉහල ගෙදර අය මිනිහත් එක්ක වැඩිය හොඳ නෑ අර මායිම් හුට පටයක් හින්දා… මිනිහට බැනලා එලවාගනී ඒ ළමයි හොරු කියලා කිව්වොත්!”

නාලකට පොඩ්ඩක් හිනා ගියා.

“උඹ මේවා කරලා තියෙනවා නේද මීට ඉස්සර?”

“අපෝ නෑ…. හැබැයි ඔය දෙමලගෙ කුරුම්බා කාලා තියෙනවා!”

“තනියම ගිහින්?”

“නෑ…. අර ඉහල ගෙදර ජයෙත් එක්ක”

නාලක ටිකක් කල්පනා කරා ගුනපාල ගැන - තමා ගුනපාල ගැන දන්නේ බොහෝම ටිකයි කියලා නාලකට තේරුනා. එක ගෙදර ජීවත්වුනත්, එක පංතියේ කාලයක් ඉගෙනගත්තත් දෙන්නා ඉන්නේ වෙනස් ලෝක දෙකක වගේ නාලකට පෙනුනේ. ගුනපාලගෙ උපන් ගම බිබිල පැත්තේ. හැබැයි ඒ පවුල ගැන කිසිම දෙයක් නාලක දන්නෙ නෑ. පොඩි කාලේ නාලකලගෙ ගෙදර වැඩට ආවට ගුනපාලගෙ පවුලේ කිසි කෙනෙක් ගුනපාල බලන්ට එනවා නාලක දැකලා නෑ; ගුනපාලත් කවදාවත් ගෙදර යන්ට ඕනෑ කියනවා නාලකට මතක නෑ.

“උඹෙ අම්මලා අප්පච්චිලා තවම බිබිලෙද?”

“අම්මා නැතිවෙලා කාලයක් …. තාත්තා ඉන්නවා….”

“තව අයියලා අක්කලා එහෙම ඉන්නවද?”

“අක්කා බදුල්ලේ ගෙදරක වැඩ…. මල්ලී තාත්තත් එක්ක ගෙදර…”

“කොහොමද තොරතුරු දන්නේ?”

“අක්කා ඉඳලා හිටලා ලියුමක් එවනවා …. මමත් ලියනවා…”

ගුනපාලටත් තමංගෙ පවුලක් තියෙනවා කියලා නාලක මීට ඉස්සර හිතලා නෑ. දැනුත් ඒක ගැන හිතන්නේ ගුනපාල නාලක ආරක්ෂාකරන්ට උත්සාහ කරපු නිසා වෙන්ට ඇති. කිතුල් පැලේ කපන්ට ඉස්සරවෙලා මට මායිමෙන් පැනලා අපෙ වත්ත ඇතුලට එන්ට කිව්වේ මගෙ ආරක්ෂාවට නේද කියලා නාලකට හිතුනා. තමා බේරෙන්ට දුවන්නෙ නැතුව නාලකත් ඇදගෙන මායිම පැන්නේ පක්ෂපාතකමක් නිසාද මිත්රකමක් නිසාද කියලා හිතාගන්න නාලකට අමාරුයි. නාලක කවදාවත් ගුනපාල තමංගේ මිත්රයෙක් විදිහට දැක්කෙ නෑ. එක පංතියේ හිටියත් ගුනපාල ‘ගෙදර වැඩකරන කොල්ලා’ කියලා පංතියේ සමහර ළමයිත් ගුරුවරුත් දැනගෙන හිටියා. නාලකට ඒක ප්රශ්නයක් වුනේ නෑ - ගුනපාලට ඒක ප්රශ්නයක් වුනාද නැද්ද කියලා නාලක කවදාවත් හිතුවෙත් නෑ.

“පොඩි මහත්තයා ගෙදර දැන් යනවද නැත්තං එගොඩවත්ත පැත්තේ ගිහින් කුරුම්බා ගෙඩියක් බොමුද?”

ගුනපාල මෙහෙම ඇහුවේ පොඩි හිනාවකුත් එක්ක.

එගොඩවත්ත කිතුල් පැල කපාපු ඉඩමට ඈත නිසා වෙන්ට ඇති ගුනපාල ඒ ඉඩම තෝරගත්තේ කුරුම්බා කඩන්ට. දෙමල මිනිහා ආවත් ඒ පැත්තට එවෙන්නෙම නෑ - වැඩිම වුනොත් ගෙදර ලඟට එයි. කෝකටත් ගෙදර නොයා ඉන්න එක හොඳයි කියලා දෙන්නටම හිතුනා.

කුරුම්බා කැඩුවේ ගුනපාල. කෙලින්ම බිම නොදා කුරුම්බා ගෙඩි දෙකක් එකට ඈඳලා ඒකත් උස්සාගෙන ගහෙන් බහින්ට තරම් ගුනපාල දක්ශයි. කුරුම්බා බොන්ට කපලා දීලා මද කන්ට ඒවා පලලා දුන්නෙත් ගුනපාලයි. එකට ගමේ ඉස්කෝලේ ගියාට දෙන්නට කරන්ට පුළුවන් දේවල් බොහෝම වෙනස් බව නාලකට තේරුනා.

කුරුම්බා බීලා, වත්ත පැත්තේ එහෙ මෙහෙ ඇවිදලා ගෙදර එනකොට හවස පහට විතර ඇති. ගෙදර කිට්ටුවෙනකොටයි නාලකයි ගුනපාලයි දැක්කේ අප්පච්චියි අම්මයි ගේ මිදුලේ සින්නදුරේගෙන් සමුගන්නවා. ගුනපාල කෙලින්ම කුස්සියටත් නාලක තමාගේ කාමරයටත් රිංගුවේ විශාල කරදරයක් ලඟ ලඟ එන බව දැනගෙනයි.

……………………….

අප්පච්චී නාලකට ඉස්සරහ ඉස්තෝප්පුවට කතා කරනකොට හවස පහත් පහුවෙලා. අම්මයි අප්පච්චියි දෙන්නම දිග පුටුවේ වාඩිවෙලා - ඒ පුටුව ලඟම කපාපු කිතුල් පැලයක්! ගුනපාල කපාපු කිතුල් පැලෙත් අරගෙනයි දෙමල මනුස්සයා පැමිණිල්ල කරන්ට ඇවිත් තියෙන්නේ. නාලක අම්මයි අප්පච්චියි ඉස්සර හිටගත්තේ අනිවාර්යෙන්ම ලැබෙන දඬුවම මොකද්ද කියලා හිතමින්. ඉස්සරවෙලාම කතා කළේ අප්පච්චී.

“දන්නවා නේද අපි කතා කරේ ඇයි කියලා?”

“…ඔවු…”

“ඇහෙන්ට උත්තර දුන්නොත්?”

“ඔවු!”

“අද දවල් මොකද්ද කරේ කියලා කියනවද එහෙනං?”

“අපි ගිහින් අර දෙමල මනුස්සයගෙ කිතුල් පැලයක් කැපුවා”

“මිස්ටර් සින්නදොරේ! එයාගෙ ජාතිය මම ඇහුවෙ නෑ! – ආයෙත් කියනවද, හරියට?”

අප්පච්චිගෙ කට හඬ ගැඹුරුයි, සැරයි.

“… අපි …. මිස්ටර් සින්නදොරේගෙ කිතුල් පැලයක් කැපුවා….”

“හොරෙන් කැපුවා!”

අම්මගෙ කට හඬත් ටිකක් සැරයි.

“… ඔවු… මිස්ටර් සින්නදොරේගෙ කිතුල් පැලයක් හොරෙන් කැපුවා…”

“ඇයි අපෙ වත්තේ කිතුල් බොඩ රස නැද්ද - අනුන්ගෙ එව්වා හොරකම් කරන්නේ?”

නාලකට මතකයි කිතුල් පැල කපන්නේ කොහෙන්ද කියලා සින්නදුරේගෙ වත්ත යෝජනා කරේ ගුනපාල. නමුත් ඒක මෙතෙන්දී කියන එකෙන් ගුනපාලට තවත් ලෙඩ වැටෙයි කියලා හිතුනා.

“…. අපි පිටිය පැත්තේ ගියා… යනකොට කිතුල් පැල දැක්කා…. කපනකොට කාගෙද කියලා හිතුවෙ නෑ….”

“ඇයි හිතුවෙ නැත්තේ?”

ඒකට උත්තරයක් නෑ. උත්තරයක් බලාපොරොත්තුවෙන් වගේ ටික වෙලාවක් නාලක දිහා බලාගෙන ඉඳලා අප්පච්චී තවත් අමාරු ප්රශ්නයක් ඇහුවා.

“කවුද කිතුල් පැලේ කැපුවේ?”

“…. ගුනපාලයි මමයි…. මාරුවෙන් මාරුවට…”

පලවෙනි සැරේට අම්මයි අප්පච්චියි මුහුනෙන් මුහුන බලලා යාන්තමට හිනාවුනා.

“දන්නවද අපි ගුනපාලට කතා කරා කියලා…. ගුනපාල කිව්වේ කිතුල් පැලේ කැපුවේ ගුනපාල කියලා - නාලක ඉඩමේ මායිමෙන් එහාට ගියෙත් නෑ කිව්වා”

“බොරු…. ගුනපාල ඔය බොරු කියන්නේ…

අම්මයි අප්පච්චියි ආයෙත් යන්තම් හිනාවුනා.

“තේරෙනවා නේද වැරැද්දක් කරපුවාම දඬුවමක් තියෙනවා කියලා? … හ්ම්?”

“…ඔවු…”

“අපි දඬුවම ගැන ටිකක් සාකච්චා කරා, මිස්ටර් සින්නදොරේ එක්කත්. හෙට උදේ එහෙ ගිහින් එයාට කියලා මොකද වුනේ කියලා, මේ කිතුල් කඳත් එයාට දීලා, සමාව ඉල්ලන්ට ඕනෑ. එයත් දඬුවමක් දුන්නොත් අපිට කරන්ට දෙයක් නෑ…. හොඳද?”

“ගුනපාලත් එක්ක යන්ට ඕනද?”

අප්පච්චී ඒ සැරේ නාලක් දිහා කෙලින්ම බැළුවා. කතාකළේ වචන පරෙස්සමෙන් තෝරාගෙන වගේ.

“ගුනපාල අපෙ ගෙදර වැඩට ඉන්නේ. ඒ කියන්නේ නාලකටයි මෙතන පාලන බලය තියෙන්නේ. නාලකගෙ ඕනෑ කමට ගුනපාල යමක් කළොත් ඒකේ වගකීම කෙලින්ම නාලක අතේ. නාලක පැහැදිලිව ගුනපාලට අනක් දුන්නත් නොදුන්නත්, යමක් කෙරෙන්නේ නාලකගෙ ඕනෑ කමක් නිසා නම්, ඒකේ සම්පූර්න වගකීම නාලක අතේ…. මේක මං ඉගෙනගත්තේ මගෙ අප්පච්චිගෙන්…. මට කිව්වේ මගෙ පලවෙනි රස්සාවට ගිය දවසේ…. තමං යටතේ වැඩකරන අය ආවරණය කරලා රැකගැනීමයි තමාගේ යුතුකම; යුද්ධ කරනවානම් කරන්නේ ලොක්කොත් එක්ක විතරයි….”

අප්පච්චියි අම්මයි ආයෙත් හිනා වුනා.

“ඒ පාඩම දැනටම ටිකක් තේරෙනවා වගේ!”