ඈත බැලීම

මගෙ ගෙදර මහ පාරෙන් වෙන් කරන්නේ මහවැලි ගඟයි. මීටර් සියයකින් වෙන්වී තිබුනත් ගඟ නිසා ඒ පාරේ යන වාහන මගෙ ගෙදර ආලින්දයට හොඳින් පෙනෙනවා, ඇහෙනවා. උදේ පහේ බස් එකෙන් පටන්ගන්න වාහන පෙරහැර නවතින්නේ රෑ අට නමය වෙනකොට. පාසැල් සහ කන්තෝරු වෙලාවන් නිසා උදේ නමය වෙනතුරුත් දවල් එකෙන් පසුවත් වාහන තදබදය වැඩියි. ඒ වෙලාවට පාරේ ඇවිදින එකත් අමාරුයි - දූවිලියි, දහඩියයි, පිච්චෙන ඉන්ධන දුමයි ඇඟට අල්ලන්නෙම නෑ. නමුත් සවස්කාලේ ගලා එන අඳුරත් එක්ක වාහන ගමනත් ටිකෙන් ටික අඩුවෙනවා - දැන් හදිස්සියක් නෑ, පරිසරය ටිකක් තැන්පත්, වාහන කරදරෙන් නිදහස්; සම්පූර්න නිසල බව ඒ තරම් ඈත නෙවෙයි - හරියට මගේ ජීවිතේ වගේ.

හැත්තෑව පැනපු මම ලෝකේ දකින්නේ ඉස්සර වගේ නෙවෙයි. ඒ දවස්වල ‘දැවෙන ප්රශ්න’ දැන් මගෙ දේශපාලන උෂ්ණත්වමානයට දැනෙන්නෙත් නෑ. එදා ප්රතිගාමී / ප්රගතිශීලී දේශපාලන ලෙස පැහැදිලිව වෙන්කර දුටු පක්ෂ අතර දැන් කිසි වෙනසක් පෙනෙන්නෙ නෑ. ධනවාදයත් සමාජවාදයත් ලඟදී විවාහ වෙලා, මට හිතෙන්නේ. දේශපාලනේ නිරතවෙන අයත් අපි වගේම සාමාන්ය බයියෝ මිස සමාජේ දක්ෂ නියමුවෝ කියලා හිතන්න අමාරුයි. අපි සේරමත් අර ලෝකෙට පෙනි පෙනී ගඟේ පාවෙන ප්ලාස්ටික් බෝතල් වගේ හිස් භාජන විතරයි. දැන් තියෙන ලොකුම ප්රශ්න මොනවද? බිල් ටික ගෙවාගන්න සල්ලි තියෙනවද? ඇඟේ සීනි, කොලෙස්ට්රෝල්, ප්රෙශර් වැඩිද, අඩුද, ආයෙ මනින්න ඕනද? මැන්නා කියලා මොනවා කරන්නද?

ඊටත් වැඩිය වටිනා ප්රශ්න මාලා - දෙල් කෑවට කමක් නැද්ද? කඩේ දෙල් තියෙයිද? ගේන්නේ කවුද? තම්බනවද කිරට හදනවද? ඒක මට කරගන්න පුළුවන්ද? ලුණු වැඩිවෙයිද? මේක කාලා මොකවත් වෙයිද? ඇඟේ සීනි, කොලෙස්ට්රෝල්, ප්රෙශර් වැඩිද, අඩුද, ආයෙ මනින්න ඕනද? මැන්නා කියලා මොනවා කරන්නද?

දැන් මගෙ මුළු ජීවිතේම ගෙවන්නේ මෙහෙමයි කියලා මට හිතෙනවා - කනුවේ බැඳපු ගොනා වගේ කොච්චර ඇවිද්දත් යැවෙන ගමනක් නෑ.

මම තවමත් උදේ නැගිටලා පොඩ්ඩක් ඇවිදින්න යනවා. ඉස්සර තරම් දුර යන්නෙ නෑ දැන් - හැබැයි ඉස්සර ගිය වෙලාවම යනවා ගමනට. මෙහෙ විතරක් නෙවෙයි මම පිට රටවලත් ඒ දවස්වල ඇවිද්දා - දාඩිය දාගෙනත් සීතලේ වෙවුල වෙවුලත්, අව්වෙත් වැස්සෙත්, උදෙත් හවසත්, කැලේ අඩි පාරවල්වලත් ටවුමේ මහ පාරෙත් - දැන් හැමදාම එකම පාරේ, එකම වෙලාවට; එකම ගමන - වෙනසක් තියෙන්නේ හිතේ විතරයි. ගෙදර ඇවිත් උදේට කාල බීලා මූන කට සෝදාගත්තැන් පස්සෙයි දවසේ ඉස්සරවෙලාම තීරණයක් ගන්න තියෙන්නේ - ‘ඊලඟට කරන්නේ මොකද්ද?’ කියලා. ගෙදර වටේ තණකොල අද කපනවද? පාත්ති ටිකක් සුද්ද කරලා දානවද? ඉස්සරවෙලාම ගේ අතුගාලා සුද්ද කරගත්තොත් නරකද? අද රෙදි සෝදනවද? ඇඳ ඇතිරිලි ලෝන්ඩ්රි දාන්න තව දවස් කීයද? ගෙදෙට්ට කෑමට මොනවත් කඩෙන් ගන්නවද? නුවර යනවද ලඟ කඩෙන් ගන්න පුළුවන්ද? දෙල්?

හුඟක් දවස්වල මම මේ ප්රශ්න සේරම අමතක කරලා ලැප්ටොප් එක ඉස්සරහ වාඩිවෙන්නේ යමක් ලියන බලාපොරොත්තුවෙන්. ගත වෙහෙසලා වැඩිය මොනවත් කරන්න බැරිවුනත් ඔළුව තවම වැඩ කරනවා. කොපමන අදහස් - හොඳ අදහස් - හිතට ආවත් ඒවා ලියන්න තරම් මගේ භාෂාව හොඳ මදි. නමුත් හැකි තරමින් යමක් ලියන්නේ අන්තර්ජාලේ ඉංග්රීසි-සිංහල ශබ්දකෝෂයට පිං සිද්ධ වෙන්නයි. පසුගිය හැත්තෑ වසරේ මගේ අත්දැකීම් වගේම මා ඉගෙනගත් නොයෙක් විෂයන් වල සාරයත් මගෙ රචනා වලට එකතුයි (සමහරවිට මගෙ ලිවීමවලට ඉගෙන නොගත් දේත් ඇතුලත්).

ඉස්කෝලේ යන කාලේ මට තිබුන ලොකුම වුවමනාව අනික් සිසුවෝ මා ඔවුන්ගෙන් එකෙක් කියලා පිළිගැනීමයි. ඉස්කෝලේ ගමේද නගරෙද, සිසු නඩය මොන වගේද කියලා ඒක වෙනස්වුනේ නෑ - මට ඕනවුනේ ඒ අය මාව සම තත්වේ කෙනෙක් කියලා පිළිගැනීම විතරයි. මේ ඕනෑකම සපුරාගන්නට අනුන් අනුගමනය කිරීමේ හැකියාවත් නොපැකිලී බොරු කීමේ හැකියාවත් මට බෙහෙවින් සහයවුනා. මගේ මේ උපායමාර්ග පාවිච්චිය කොතරම් සුලබ වුනත් මම එසේ කළබව ඒ දිනවල පිළිගත්තෙ නෑ. මගේ සෑම බොරුවක්ම ඇත්තයි කියා දිවුරුම් දෙන්න මම ලෑස්තිවී හිටියා. ඒ වගේම ඉඳ හිට කටේ කොනකින් කතාකළේ අපෙ පංතියේ ළමයෙක් එහෙම කළ නිසා බව කවදාවත් පිළිගත්තෙ නෑ. මගේ මේ හැසිරීම් ඇත්ත ඇති ලෙස පිළිගත්තේ මගේ දරුවොත්, පසුව මුනුබුරොත් මේ ලෙස හැසිරෙනවා දකීමෙන් පසුවයි.

මම අනුන්ගේ ඉරියව්, හැසිරීම්, භාෂා විලාස දැකුම්කලුයි/ආකර්ෂණීයයි යන වැරදි හැඟීමෙන් ඒවා අනුකරණය කළ බව පිළිගැනීමෙන් පසු මට අනිකුන්ගේ හැසිරීම තේරුම් ගැනීම වඩා පහසුවුනා. පොඩි දරුවෙක් පමනක් නොව වැඩිහිටියෙක් වුවත් කියන කරන දේ වලින් ඔවුන් වචනෙන් නොකී දේ මට හිතාගන්න පුළුවන් වෙන්නේ මගේම හිසේ එකතුවී තිබෙන කසළ සමග සසඳා බලලයි. මගේ නෑදෑයන් සහ මිතුරන්ගේ හැසිරීමෙන් සහ වචනෙන් ඔවුන්ගේ යටි හිතේ ඇති අදහස් පවා මට සමහරවිට පැහැදිළිව පෙනෙනවා. නමුත් ඒවායේ ඇත්ත නැත්ත නිසැකව නොදත් නිසා ඒ අනුව මගේ හැසිරීම්/වචන වෙනස් කිරීමට මම තවම පෙළඹිලා නෑ. එසේ කිරීම නෑදෑ හිතවතුන් නැතිකරගැනීමෙ පළමු පියවර වියහැකි බව මට වැටහෙනවා.

මට දැනුයි තේරෙන්නේ ඒ දවස්වල මම ගෙදරදී කිව්ව බොරු - අම්මයි අප්පච්චියි මොකුත් ඒ වෙලාවේ නොකිව්වත් - ඒ දෙන්නම දැනගෙන හිටියා මම කිව්වේ බොරු කියලා.

පොඩිකාලේ කියන බොරුවල සීමාවක් නෑ. ‘අපෙ ගෙදර කාර් තුනක් තියෙනවා’ කියන එක ලේසියි. රොබර්ට් නොක්ස් කිව්වා වගේ, ‘ලාංකිකයෝ අහුවෙන බව දැන දැනත් බොරු කියනවා’ – මිනිහගෙ කතාව ඇත්ත වෙන්න ඇති; පොඩ්ඩෝ ගැන නෙවෙයි මිනිහා ලිව්වේ. අපි වයසින් මෝරනකොට කියන බොරුත් මෝරනවා. ‘මෝරපු’ බොරු ලේසියෙන් සනාථ කරන්න බෑ - ‘ලොක්කා එදා ඔන්න මීගමුවේ රෙස්ට් හවුස් එකේ!’, නැත්තම් ‘අද පවුලගෙ අක්කා එනවා මචං, ඉක්මනට යන්න ඕනෑ’. මේවා සනාථ කරන්න අමාරුවුනත් (ලොක්කාගෙන්වත් යාළුවගෙ පවුලෙන්වත් අහන්න නොයන නිසා) හුඟක් වෙලාවට මිනිස්සු මේ කතා විශ්වාස කරන්නෙ නෑ. විහිළුවකින් ඒවා ඉවත දාන්න හැමෝටම පුළුවන් - ඒවගෙන් වැඩි අලාභයක් නොවන නිසා. නෑදෑ හිතවතුන් වගේම නාඳුනන්ටත් දැඩි අලාභ කරන බොරු වලට වඩාම දක්ෂ දේශපාලකයොත් විශාල වෙලඳ ආයතනත් බව හිතාගන්න අමාරු නෑ.

දැන් මම බොරු කියන්නෙ නෑ - ලියනවා විතරයි.

හිතට එන අදහස් මම ලැප්ටොප් එකේ ලියන්නේ කිසි පිළිවෙලක් නැතුව. අදහස් එන එන විදිහට එවා ලයිස්තුවකට එකතු කරන්නේ කෙටි සටහනකුත් එක්ක. මම මෙහෙම ලයිස්තු හදන්නේ හොඳ හේතුවක් ඇතුව - හිතුන ගමන් නොලිවොත් අමතක වෙන නිසා. ඇඳේ වැතිරිලා ඉන්න වෙලාවට, සාමාන්යෙන් පාන්දර තුනට විතර, මගෙ ඔළුවට අදහස් නොනැවතී ගලාගෙන එනවා. ඒවගෙන් සමහර අදහස් කවියක/කතාවක පසුබිම නැත්නම් සමාප්තිය වශයෙන් ගන්න ඉතා සුදුසු බව පැහැදිලියි. නමුත් එකම බාධකයක් නිසා හුඟක් අදහස් පාවිච්චි වෙන්නෙ නෑ - උදේ වෙනකොට ඒවා මතක නැති නිසා.

දැන් ලැප්ටොප් එකේ ‘අදහස් ලයිස්තුව’ සෑහෙන්න දිගයි - කෙටි සටහන් සමග අදහස් තිහකට වැඩියි. ලැයිස්තුව මෙතරම් දික්වෙන්න හේතු දෙකක් තියෙනවා. එක - මට ඕන තරම් කවි/කතා අදහස් තියෙනවා; දෙක - මම ඒවා තවම කවි/කතා වලට හරවලා ලයිස්තුවෙන් ඉවත් කරලා නෑ. මමත් අර පුටුවක වාඩිවෙලා වත්තේ වැඩකරන මිනිහට එළවලු වගාව ගැන කියලා දෙන කෙනෙක් වගේ - කියනවා විතරයි; කරන්නෙ නෑ.

මම පොඩිකාලේ ඉඳන් අහස් මාලිගා හැදුවෙත් මෙහෙමයි කියලා දැන් හිතෙනවා. මම දක්ෂ ලෙස ක්රිකට් ගැහුවේ, හයියෙන් ස්පෝට්ස් කාර් එලෙව්වෙත් හිතෙන් විතරයි. ඒ දවස්වල මගේ ඇත්ත හැකියාවන් - ගනිතයට දක්ශ වීම, හොඳ යාළුවෝ ඉඳීම - මගේ ආශා ලැයිස්තුවේ පතුලේ ජීවත්වුනේ. මම කවදාවත් දක්ෂ ලෙස ක්රිකට් නොගැහුවත්, කවදාවත් ස්පෝට්ස් කාර් එකක අයිතිකාරයා නොවුනත් මගෙ ජීවිතේ ඒ තරම් නරක නෑ. සමහරවිට අහස් මාලිගා උදව් වෙනවා ඇති ගඩොල් ගෙවල් යථාදර්ශනයෙන් පෙන්වන්න.

මගෙ ගඩොල් ගෙදර මට දැන් හොඳටම ඇති. දරු මුනුබුරෝ සේරම පිටරට. පවුලත් දැන් වැඩි හරියක් ජීවත්වෙන්නේ දුවගෙයි පුතාගෙයි ගෙවල්වල - අපෙ නුවර ගෙදර ඉන්නේ අවුරුද්දට මාස දෙක තුනක් විතරයි. සමහරවිට මමත් මාසයක් විතර දරු මුනුබුරෝ බලන්න ගියත් එක දිගට මාසෙකට වැඩිය එහෙ ඉන්න හිත දෙන්නෙ නෑ. මගෙ ජීවිතේ වැඩිපුර ගෙවෙන්නේ ගඟ ලඟ ගඩොල් මාලිගාවේ - තනියම.

දවල් කෑම ගැන මම ඒ තරම් මහන්සිවෙන්නෙ නෑ - වැඩිය ඒ ගැන හිතන්නෙත් නෑ. ෆ්රිජ් එකේ ඊයේ පෙරේදා කාපු දේක ඉතිරි යමක් තියෙනවානම් ඒකෙන් ටිකක් කෑවම ඇති. පරණ පොල් සම්බලයක් එක්ක රෝස් පාන් කාලා තේ බීලා මට හොඳට පුරුදුයි. ‘චූන් පාන්’ වාහනේ ආවොත් දවල් කෑම ඒකෙන් හරි. දවල් කෑමේ වටිනාකම තියෙන්නේ ගඟ පැත්තේ ආලින්දේ වාඩිවෙලා පොතක් කියවමින් කෑමයි - කන්නේ මොනවද, රසද නැද්ද, ඇඟට හොඳද නැද්ද - මේවා දවල් කෑමට අදාළ ප්රශ්න නෙවෙයි. මේ කෑමට ගතවන වෙලාව මනින්නේ කියවෙන පිටු ගනනින් මිස ඔර්ලෝසුවෙන් නෙවෙයි.

දවල් දෙකෙන් වගේ පස්සේ බටහිරින් තියෙන ගඟ අද්දර ආලින්දයට අව්ව වැටෙනවා - වාඩිවෙලා ඉන්න බැරි තරමට රස්නෙයි. ආයෙත් හතර පහ වෙනතුරු ගේ ඇතුලේවත් එලියේවත් ඇඟ මහන්සි වෙන වැඩක් කරන්න අමාරුයි. ඒ වගේම මොලේ වෙහෙසෙන යමක් කරන්නත් බෑ - ඉක්මනින් නිදිමත දැනෙනවා. උදේ වරුවේ කොම්පියුටරේ කවි කතා ලියලා තිබුනත් නැතත් දවල් කැමෙන් පස්සේ පොතක් අරගෙන අව්වෙන් රත් නොවෙන ඇඳකට යන එක තමා කාලයෙන් හොඳම ප්රයෝජනය ගන්න ක්රමය. පොත කියවන අතරේ විනාඩි පහලවක් විස්සක් නින්ද ගියත් ඒකෙන් හොඳක් මිස නරකක් වෙන්නෙ නෑ.

මට මතකයි මං පොඩිකාලේ අප්පච්චියි අම්මයි දෙන්නම දවල්ට ටිකක් නිදාගත්තා. මම කවදාවත් දවල් නිදාගත්තෙ නෑ - ඉර එලිය තියෙන වෙලාව සෙල්ලමටත් රෑ කාලේ නින්දටත් ස්වභාව ධර්මය විසින්ම වෙන්කර ඇති ලෙසයි මට දැනුනේ. [‘අපරාදේ…. ඉර පායන්න තිබුනේ රෑටනේ - එලිය ඕනෑ වෙලාවට - දවල්ට ඔය ඕන තරම් එලිය තියෙන්නේ!’ වගේ විහිළු මම ඇහුවේ මේ ලඟදී]. අම්මලා අප්පච්චිලත් පොඩිකාලේ එහෙම හිතන්න ඇති ඒ ගොල්ලන්ගෙ දෙමව්පියන්ගෙ දවල් නින්ද ගැන. මගෙ දරුවෝ මොනවා හිතනවද මම දන්නෙ නෑ - ඒ අය දැන් මෙහෙ නෑ.

පවුලත් දරු මුනුබුරොත් නැති පාළුව දැනෙන්නේ උදේටවත්, දවල්ටවත්, රෑටවත් නෙවෙයි - හවසටයි. ඒ නිසා හිතට නිදහස දීලා ගතෙන් වැඩ කරන්න මේ වෙලාව ඉතාම සුදුසුයි. ඒ නිසා ගේ ඇතුලෙත් අවටත් කළයුතු, කවදාවත් ඉවර නොවන, වැඩ වලට පැයක් පමන යෙදීමට හැකිවීම සතුටක්. පාත්ති සුද්ධ කිරීම, වතුර දැමීම, වල් ගැලවීම, වියලි කොල රේක්කෙන් ඇද දැමීම - මේවා අමාරු රාජකාරි නොවුනත් මට ඒවට වෙලා යනවා. සෝදා වේලූ රෙදි නමා අඩුක් කිරීම, රෑ කෑමට යමක් ලෑස්ති කිරීම… මෙකී නොකී වැඩ කටයුතු කරලා ඇඟ සෝදා නාන්නේ දවසේ වැඩ ඉවරකළ ගොවියෙක් වගෙයි.

මම සරමක් ඇඳගෙන තේ කෝපයක් හෝ බීම වීදුරුවක් අරගෙන ඇවිත් ආලින්දයේ වාඩිවෙන්නේ කොම්පියුටරයෙන් පිටවෙන සිංදුවක හෝ කඳුකර සේවයේ ප්රචාරයක පසුබිම සමගයි. ගඟ දෙසින් එන සුලඟත් ගලායන අඳුරත් නිසාදෝ දවසේ මේ වෙලාව මගේ මොලේ වඩාම කාර්යක්ෂම ලෙස වැඩකරන අවස්ථාවයි. අත ලඟ ඇති ඕනෑම දෙයක්/කෙනෙක් සිහියෙන් ඈත්කරගැනීමේ හැකියාව මේ වෙලාවේ විශේෂ ලක්ෂණයක්. ඒ වෙනුවට නැගී එන සිතුවිලි වල තේමා අද, මෙතැනට කාලයෙන් සහ දුරින් ඈතින් පිහිටා තිබීම සාමාන්ය දෙයක්.

දැනට ජීවතුන් අතර ඉන්න සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ, දරු මුනුබුරෝ සහ මිත්රයෝ දුරකතනයෙන් සම්බන්ද කරගැනීම ඉතාම පහසුයි. නමුත් මෙය සිදුවන්නේ කලාතුරකින් - මේ සිතුවිලි රජකරන වෙලාවේ කතාවට වැඩිය ඔවුන් ගැන සිතීමෙන් සතුටක්/දුකක් විදීම මගේ සාමාන්ය පුරුද්දයි. අපගෙන් සදාවට සමුගත්තන් ගැන සිතීමෙන් ලැබෙන සතුටත්/දුකත් මෙයට සමානයි. පංචේන්ද්රිය අමතක කොට සිතෙන් පමනක් ලොව බැලුවොත් ජීවී/අජීවී වෙනස බොහොම පොඩියි.

දැන් මගෙ සිතුවිලි දුවන්නේ අමුතු මාර්ග වල කියලා මට සමහරවිට හිතෙනවා. විශ්රාම ලබන්න ඉස්සර මම මෙහෙම හිතුවෙ නෑ - රස්සාව, දරු පවුල්, ආර්ථික ප්රශ්න වැනි දහසක් දෙසට හිත ඇදී ගියා. නමුත් මුළු ජීවිත කාලයම සලකා බැලුවොත් මේවා ජීවිතයක ඇත්ත හරයට දායක වන්නේ කුඩා ප්රතිශතයකින් කියලයි දැන් හිතෙන්නේ. ඕනෑම කෙනෙකුට ඕනෑම ‘දැන්’ කියන අවස්ථාවේ තියෙන ප්රශ්න /විසඳීම් /සතුට /දුක පෙනෙන්නේ විශාල ලෙසයි. නමුත් ‘දැන්’ ඉදිරියට ඇදෙනවා සමග ප්රශ්න /විසඳීම් /සතුට /දුක නිරතරයෙන් වෙනස්වන්නේ චිත්රපටිය ලෙස ටිකින් ටිකටයි. මේ චිත්රපටියේ රඟපාන අපි එයින් එලියට එන්න තැත් නොකිරීම අපේ ලොකුම වැරැද්ද /මෝඩ කම කියලා මට හිතෙනවා.

මේ අදහස් එකතු කරලා යමක් ලියන්නේ අවට ගෙවල්වල පහන් නිමී පලාතම අඳුරුවූ පසුයි. අද දවසත් මගෙ ජීවිතේ වගේ - දවසේ වැඩකටයුතු ඒකට සාක්කි කියනවා. උදේ වැඩ පුරුද්දට කරන්නේ පොඩි එකෙක් වගේ; දවල් වරුවේ වැඩ වෙන්නේ අවශ්යතාව අනුව නමුත් තීරන ගන්නේ මම, පාසැලේ /රස්සාවේ වගේ; හවස සිතුවිලි විශ්රාමිකයෙකුගේ. ඒ සිතිවිලි ලියවෙන්නේ අනිකුන්ට දෙන දායදයක්, සමහරවිට අවසාන දායාදය, ලෙසයි.

එකම වෙනස - ඒ දායදය මටත් කියවන්න හැකි වෙයි කියන බලාපොරොත්තුව යටි හිතේ තියෙනවා - මම හෙට උදෙත් ඇහැරින්න ආසයි.