ඉතිහාසය වෙනස්කරන්නෝ

2017 ජනවාරි 7දා මගෙ ජීවිතේ ඉතාම වැදගත් දිනයක්. ලෝකයේ කිසිම කෙනෙක් මීට පෙර නොකල, ඒ වගේම කිසිසේත් කල නොහැකියි ලොව පිළිගත් කර්තව්යක් මම එදා ඉටුකලා. ඒ සෙනසුරාදා රෑ මැද, ඉතා නිවැරදිව කිව්වොත් 8 වෙනි ඉරිදා පාන්දර, මීට අවුරුදු 1500කට පෙර ජීවත්වූ කෙනෙක් සමග සම්මුඛ සාකච්චා කීපයක් පවත්වන්න මට අවස්ථාව ලැබුනා. මම එදා කල දේ අනාගතේ ලියවෙන කිසිම පුවත්පතක හෝ ඉතිහාස පොතක අන්ත්ර්ගත නොවෙන බව මට හොඳටම විශ්වාසයි. එදා රෑ මා කල ක්රියාවේ යම්කිසි වැදගත්කමක් ඇතිද නැද්ද කියා විනිශ්චය කිරීම මම මේ සටහන කියවන ඔබට භාර කරනවා.

………………………..

පාසැල් කාලේ පටන් විද්යාව දෙසට සිත ඇදීගිය මට ඉතිහාසය ගැන කිසිම ආසාවක් හෝ හැඟීමක් තිබුනෙ නෑ. අතීතයේ සිදුවූ සිද්ධීන් අද දිනටවත් අනාගතේටවත් වැදගත්යයි නොසිතූ මම ඉතිහාසය ගැන සිතීමත් කාලය නාස්ති කිරීමක් ලෙසයි දැක්කේ. මගේ ගුරුවරු ඉතිහාසයෙන් ගතහැකි වැදගත් පාඩම් ගැන කොයි තරම් දේශනා කලත් අපේ අනාගතය සකසා ගැනීමට හැක්කේ විද්යාවෙනුත් තාක්ශනයෙමුත් පමනක් බවයි මගේ ස්ථාවරය වූයේ.

මේ නිසාම වෙන්න ඇති මට ඉතිහාසය සමග ගැටෙන්න සිදුවුනේ තාක්ශනය හරහා වීම මහා විහිළුවක් ලෙස පෙනුනේ.

මම පුරාන තාක්ශන හැදෑරුවේ ඉතිහාසයට ඇති ඇල්මක් නිසා නොවෙයි. මගේ අධ්යයන ක්ෂේත්රය වූයේ සීගිරි පුරවරයේ පස්වෙනි ශතවර්ෂයට හිමි අයිතිහාසික ඉදිකිරීමුයි. ඒවා තනිකර ඉන්ජිනේරු ප්රශ්න ලෙස පමනක් දුටු මට එකල රජ පැලැන්තිය හෝ ඔවුන්ගේ එදිනෙදා ජීවිත ගැන කිසිම හැඟීමක් හෝ අද්යන කිරීමේ ආශාවක් නොවීය. සීගිරිය ගොඩනැගූ තාක්ශන ගොනුව මිස එය කලවුන් ගැන මගේ කිසිම කුතුහලයක් තිබුනෙ නෑ. එකම වෙනස වූයේ සීගිරි නගරය ඉදිකිරීමට මූලිකවූ කාශ්යප කුමරුගේ ජීවිතය ගැන යම් යම් දේ පසුබිම් දත්ත ලෙස සොයාබැලීම මට අවශ්ය වීමයි.

කාශ්යප කුමරු/රජතුමා ගැන මූලාශ්ර බොහොමයකින් තොරතුරු සොයාගැනීමට මට පුලුවන් උනා. ප්රශ්නය වූයේ ලියවී ඇති විශාල දත්ත එකතුවෙන් මට අවශ්ය සාරය වෙන්කර ගැනීමයි. මහාවංශ පරිවර්තනයේ පරිච්චේද තිස්අටේ සිටත්, මහාචාර්ය සෙනරත් පරනවිතානගේ පොත්වල වැදගත් කොටසුත්, කුරුටු ගී සටහනුත් මෙන්ම මහාචාර්ය ගනනාථ ඔබේසේකර සීගිරි ගැමියන්ගෙන් එකතුකල ජන කතාත් මගේ අවධානයට ලක් උනා. මේවායෙන් එකතුවූ තොරතුරු මගේ පර්යේෂන වලට කොතරම් ප්රයෝජන වියහැකි වුවත් මම මාස කීපයක්ම තාක්ශන අමතක කර ඉතිහාසය හදාරන්න යෙදුනේ වැඩි සතුටකින් නොවෙයි.

මේ අද්යයනයේදී මගේ හොඳම මිත්රයා වූයේ අංතර්ජාලයයි. මීට අවුරුදු දහ පහලවකට ඉස්සර මේ වැනි විෂයයන් ගැන සත්ය තොරතුරු සොයාගැනීමට හැකිවූයේ විශාල පුස්ථකාල වලින් පමනයි. නමුත් දැන් ඒ තොරතුරුම ගෙදරින් පිට නොගොස් අංතර්ජාලයෙන් ලබාගැනීමට හැකිවීම මගේ වාසනාවක් ලෙසයි මම දුටුවේ. අංතර්ජාල තාක්ශනය නොතිබුනේනම් බොහෝවිට මගේ පර්යේෂණ එතැනින්ම නවතිනබවට කිසිම සැකයක් නෑ.

සීගිරිය හැදෑරූ උගතුන්ගේ අදහස් උදහස් එක් රැස් කිරීමට පමනක් නොව මෙවැනිම ක්ෂේත්රවල නිරතවී සිටින අනික් අයත් සමග අදහස් හුවමාරු කරගැනීමටත් මම අංතර්ජාලය නිතරම පාවිච්චි කලා. මෙවැනි අදහස් හුවමාරුවට වඩාම පිහිටාධාර වූයේ මගේ “කරුංකා” නමින් සෑදූ “ෆේස්බුක්” පිටුවයි. ෆේස්බුක් පාවිච්චිය සම්පූර්නයෙන්ම නොමිලේ වීමත්, මගේ අධ්යයනයට සහය දීමට හැකි සියලුදෙනාම ෆේස්බුක් නිතර පාවිච්චි කරන්නෝ වීමත් නිසයි මම මේ මාධ්ය තෝරා ගැනීමට තීරනයකලේ. කරුංකා ෆේස්බුක් පිටුව සෑදීමේදී මම “සීගිරි” යන වචනයට ප්ර්මුඛ තැනක් දුන්නේ හැකි තරම් “ෆේස්බුක් මිත්රයෝ” ඇදගැනීමටයි. මේ නිසා මගේ පිටුවට අදහස් සැපයූවන් අතර මගේ ක්ෂේත්රයේ නිරතවී ඉන්නන් හැරුනුකොට ඉතිහාසඥයෝ, ඉන්ජිනේරුවෝ මෙන්ම සංචාරකයෝ සහ හෝටල් අයිතිකාරයෝද විය

මේ “මිත්රයෝ” කැලට අමතරව මා විසින්ම එකතුකල ව්යාජ මිත්රයෝ කිහිප දෙනෙක්ද ෆේස්බුක් පිටුවට ඈඳී සිටියා. දැන් කාලේ තම බල්ලන්ගේ නමිනුත් විහිළුවටමෙන් ෆේස්බුක් පිටු සෑදීම සාමාන්ය දෙයක් වුවත් මම ව්යාජ මිතුරන් ලෙස “කාශ්යප”, “මොග්ගල්ලාන” සහ “මිගාර” එකතුකලේ මගේ අදහස් උදහස් ඓතිහාසික චරිතයන්ලවා පනගැනිවීමට බලාපොරොත්තුවෙන් මිස විහිළුවක් ලෙස නොවෙයි. මා තෝරාගත් ක්ෂේත්රය විහිළු කිරීමට ගැළපෙන එකක් නොවන බව මම මුල පටන්ම දැන සිටියා. මගේ තොරතුරු ගොනුකිරීම මම කලේ ඉතා ක්රමානුකූලවයි. ඒ අනුව මගේ ෆේස්බුක් පිටුවේ දස දෙසින් ලියවී එන අදහස් තෝරා බේරා මට අදාල දත්ත වෙන්කරගැනීම සෑම දිනම දවසේ අංතිම රාජකාරිය ලෙසයි මම සැලකුවේ.

2017 ජනවාරි හත්වෙනිදාත් රාත්රි ආහාරයෙන් පසු මම කංතෝරු කාමරේට ගියේ ඒ රාජකාරිය සඳහයි.

……………………………..

දවසේ සොයාගත් තොරතුරු ෆෙස්බුක් පිටුවේ ලියලා ඉවර කිරීමෙන් පසුවයි මම “මෙසෙන්ජර්” දෙස බැලුවේ. මගේ පිළිගත් ක්රියාමර්ගය වූයේ මම ප්රසිද්ධ කරන තොරතුරු “පොස්ට්” හැටිටත් ප්රශ්න සහ ඒවාට ලැබෙන උත්තර “මෙසෙන්ජර්” හරහාත් බෙදා හදා ගැනීමයි. එදා රෑ තිබුනු සිංහලෙනුත් ඉංග්රීසියෙනුත් ලියවුනු “මෙසේජ්” වෙනදාට වඩා වැඩි වෙනසක් පෙන්වූයේ නෑ.

“දෙවෙනි පරිච්චේදය ඉවර නිසා තුන්වෙනි එක ලියන්න පටන්ගන්න ලෑස්තිද?” මහාචාර්ය මුනවීර ගෙන්.

“පුරාන උදලු වගේ කෘෂිකාර්මික ආයුද මොනවත් හම්බවෙලා තියෙනවද?” විශ්වවිද්යාල සිසුවෙක්.

“ඒ කාලේ මොන වගේ වී ජාතිද තිබුනේ දන්නවද?”

“හෙට මම කොළඹ යනවා…එනවද?”

“ගඩොල් වලට ගත්ත මැටි ආවේ ඒ අවටින්මද?”

“දැනට තියෙන බිතු සිතුවම් වගේ තව ඒවා හම්බවෙයිද? නියමයි හම්බවුනොත්!”

“මම ගිය සතියේ පොකුනු ගැන අහපු ප්රශ්නෙට උත්තරයක් තවම නැද්ද?”

“අර මම කියපු පොත ලේක්හවුස් එකේ තියෙනවා. උඹටත් කොපියක් ගන්නද?”

“ඔය වැව ආටිෆිශල්ද?”

මේ වගේ එක එක මාදිලියේ ප්රශ්න වලට උත්තර ලියමින් ඉන්න වෙලාවෙයි තව පනිවිඩයක් ආවේ.
“අඩේ කරුංකා… අද මොනවද ෆේස්බුක් එකේ පෝස්ට් කරේ උඹ?” කාශ්යප ගෙන්.

ව්යාජ මිත්රයෙක් මගෙන් ප්රශ්න අහනවා? කාශ්යප කියන මගේ ෆේස්බුක් මිත්රයා ඇත්තෙන්ම මනුෂ්යයෙක් නොවන බව මම දන්නවා. මම මගේ වැඩට උදව්වට හදාගත්ත ව්යාජ මිත්රයෙක් දැන් මගෙන් ප්රශ්නත් අහනවා! ඒක හරියට මම ඇඳපු පින්තූරයක් මට කතා කරනවා වගේ.

මම වැඩ නවත්තලා ටිකක් කොම්පුටරේ දිහා බලාගෙන හිටියා තව මොනවත් ලියවෙයිද කියලා. මේක යාළුවේක් කරන විහිළුවක් කියලයි මම ඉස්සරවෙලාම හිතුවේ …. ඒත් මම කාටවත් කාශ්යපගෙ ෆේස්බුක් ගිණුමේ විස්තර දීලා නෑ. සමහරවිට කවුරුහරි මගෙ ෆේස්බුක් පිටුවට අනවසරයෙන් ඇතුල්වෙලා ඇතිද කියලත් හිතුනා. එහෙමනම් මීට වැඩිය විනාශකාරී වැඩයි වෙන්නේ. වයිරසයක් වෙන්නත් බැරි නෑ…. මොකද අහපු ප්රශ්නේ ඕනෑම කෙනෙකුගෙන් අහන්න පුලුවන් එකක් - මගෙ පිටුවටවත් මගෙ ක්ෂේත්රයටවත් සීමාවූ එකක් නොවෙයි. ඒ නිසා මම වහාම උත්තරයක් ලියන්න කල්පනා කලා, ඒකට ලැබෙන ප්රතිචාරය අනුව ලියන්නා ගැන යමක් සොයාගන්න..

“මගෙ රිසර්ච් ප්රොජෙක්ට් එක වැඩ තමා කාශ් - ලියන්නේ උඹලගෙ ඉතිහාසේ. උඹලා ගැන මං ලියපු දේ මටම විස්වාස කරන්න බෑ - උඹෙ නංගී මිගාරයා කසාද බැඳගෙන! හැබැයි නැංදයි ලේලියි වැඩිය හොඳ නැතිලු”

මට හිනා ගියා මගේම වචන වලට. මේකට කොම්පියුටර් වයිරසයක්, නැත්නම් හොරෙන් කොම්පියුටරය ආක්රමනය කල කෙනෙක්, ඒත් නැත්නම් මගේම යාළුවෙක් දෙන උත්තර මට යන්තමට හිතාගන්න පුලුවන්. උත්තරේ අනුව කාශ්යප වෙනුවෙන් ලියන්නේ කවුද කියලා දැනගන්නත් පුළුවන්වෙයි කියලා මට හිතුනා. නමුත් ලැබුන උත්තරේ මම බලාපොරොත්තු නොවූ එකක්.

“පුදුමයක් නෙවෙයි - අපෙ නංගිත් එක්ක ඉන්න කාටද පුලුවන් බං! මට පව් හිතෙන්නේ මිගාරයා ගැන”

මේ වගේ උත්තරයක් දීමට මනුෂ්ය බලපෑමක් අත්යාවශ්ය බව මට පැහැදිලියි. ඒ අනුව මෙය වයිරසයක් විය නොහැකියි. හොරෙන් කොම්පියුටරේ ආක්රමනය කල කෙනෙකුටත් මේ වගේ උත්තරයක් හදිස්සියේ නිර්මාණය කර ගැනීම පහසු නැති ලෙසයි මම දුටුවේ. කොම්පියුටර් ශාස්ත්රය ඉතා හොඳින් හැදෑරූ මෙවැනි අයගෙ භාශා විලාශයත් සීගිරි ගැන දැනුමත් මෙතරම් ඉහල තත්වයේ ඇතැයි මට විශ්වාස කල නොහැකියි. මේක මගේම මිත්රයෙක් කල දෙයක් ලෙසයි මම දුටුවේ.

මේ මිත්රයා හඳුනාගැනීමේ අරමුණින් මම තවත් ප්රශ්නයක් ලියන්න පටන් ගත්තා.

“ඊටත් වැඩිය…”
මේ වචන දෙක ලියවුනු වහාම කාශ්යප මෙසෙන්ජර් එකෙන් ඉවත්ව ගියා. මට පෙනුනේ එයා ෆේස්බුක් පිටුවත් වසා දැමූ බවයි. මම තව ටික වේලාවක් කිසිවක් නොකර කොම්පියුටරය දිහා බලාගෙන හිටියා. කාශ්යප නැවත නොඑන බව හැඟුන වහාම මම අතපසුවී තිබූ අනික් ප්රශන වලට නැවතත් උත්තර ලියන්න පටන් ගත්තා.

…………………

මට හොඳටම පැහැදිලියි මෙතන කාශ්යප හැටියට කතාකරන්නේ මගේම යාළුවෙක්ම නම් වැඩි වෙලාවක් යන්න ඉස්සර එයා වැරැද්දක් කරන බව - නිවැරැදිලෙස රජ කුමරෙක් අනුගමණය කිරීම ඒ තරම පහසු නැති නිසා. වාක්ය කීපයක් පාවිච්චිකොට රජ කුමරෙක් ලෙස කොයි තරම් දක්ෂ ලෙස රඟපෑවත් දිග සංවාදයකදී නියම රජ කුමරෙකුත් මගෙ මිත්රයෙකුත් අතර වෙනස මට සොයාගනීමට හැකිවේයයි මම විශ්වාස කලා. ඒ නිසා මම ඊලඟ ප්රශ්නය ගැන ගැඹුරට සිතුවා.

විනාඩි දහයක් යන්නටත් ඉස්සර මම කාශ්යප නැවතත් කැට් කාමරට පිවිසූ බව දුටුවා. ඒ වහාම මම ලෑස්ති කරගෙන තිබූ ප්රශ්නය ඉදිරිපත්කලා.

“තොපෙ මහ එකා මාර කෙලියක්නේ කරල තියෙන්නේ!”
මගේ මිත්රයන්ට මගේ භාශාව වැටහෙනවා. මේ වගේ ප්රශ්නයකට උත්තර දෙන්නත් ඒ අය දන්නවා - ප්රශ්නය විහිළුවකට හරවාගෙන. නමුත් මට ලැබුන උත්තරේ බොහෝම වෙනස්.

“අපෙ පියරජතුමාට ඔහොම කතා කරන එක හරිනෑ නේද, උඹ මගෙ හීනේ ඉන්න කෙනෙක් උනත්?”
මේ උත්තරෙන් කාරනා කිහිපයක් පැහැදිලි වෙනවා. එකක්, මේ ලියන මිනිහට කිසි තේරුමක් නැ කොහොම මේ සාකච්චාව වෙනවද කියලා - මේක හීනයක් කියලයි එයා හිතන්නේ. අනික, එයා කතා කරන්නේ ඇත්තම රජ කුමරෙක් වගේ - කාශ්යප කුමාරයා වගේ. මේ කරුනු දෙකම සිහියේ තියාගෙනයි මම ඊලඟ ප්රශ්නය ඇහුවේ.

“ඇයි උඹ මට මොනවා කරන්නද? …. අනික, මම අපහාසෙට නෙවෙයි එහෙම කිව්වේ….”
කාශ්යප මා කී දේ හිතට ගත බවක් මට දැනුනෙ නෑ. ඒ වෙනුවට මම ඊට ඉස්සර කී දේ සම්බන්දවයි ඊලඟ ප්රශ්නය මා වෙත යොමුවූයේ.

“මොකද පියරජතුමා කරලා තියෙන්නේ….අ….කරන්න යන්නේ?”
මට ඒ වෙලාවෙයි මගෙ යටි හිතේ පාවෙමින් තිබූ අදහසක් සම්පූර්නෙන් තහවුරු වූයේ - මේ පස්වෙනි ශත වර්ෂයේ ජීවත්වූ කාශ්යප කුමාරයාමයි මා සමග මෙසෙන්ජර් කාමරේ ඉන්නේ. මටත් ඉස්සර එයා පිලිගෙන තියෙනවා අපි කාල පරිච්චේද දෙකකින් එන බව. ඒකයි “කරන්න යන්නෙ?” කියලා අනාගතේ සිදුවෙන දෙයක් ගැන ප්රශ්නකලේ.

අපේ සාකච්චාවේ ඉතිරි කොටස ගෙනගියේ සාමාන්ය පුද්ගලයින් දෙදෙනෙක් එකම කාමරයේ කල සාකච්චාවක් ලෙසයි.

“මතකද මම කිව්වා මිගාර උඹෙ නංගී බැන්දා කියලා? නැංදයි ලේලියි වැඩිය හොඳ නෑ කියලා කිව්වේ?”

“ඔවු….ඒ උන් දෙන්නා කසාද බැන්දොත් නේ….”

“උන් බැන්දා! තොපෙ රජ්ජුරුවෝ එයාගෙ දුවට, ඒ කියන්නේ උඹෙ නංගිට, වෙනස්කම් කරනවා කියලා නැන්දට මරන දඬුවම දෙන්න තීරනේ කරලා!”

“මොනවා…!”
නැවතත් කාශ්යප හදිසියේම චැට් කාමරෙන් පිටවී ගිය බවයි මම දැක්කේ. නමුත් මේ සැරේ මම වෙන වැඩක් පටන්ගන්න සිතුවෙ නෑ, කාශ්යප නැවතත් චැට් කාමරේට එයි යන බලාපොරොත්තුවෙන්.

අපේ සාකච්චාව පටන්ගත් වෙලාවේ තිබුන කුතුහලය වෙනුවට මට ඒ වෙලාවේ දැනුනේ අපේ පනිවිඩ හුවමාරුව වෙන්නේ කෙසේද කියා තේරුම් ගැනීමේ මහත් ආශාවයි. මට පැහැදිලිවම පෙනුනේ කාශ්යපගෙත් මගෙත් කාලයන් ගමන්කලේ එකම වේගයෙන් නොවන බවයි. කාශ්යප මෙසෙන්ජර් කාමරයෙන් ඉවත්වී සිටියේ විනාඩි පහක් යයි මට දැනුනට සමහරවිට කාශ්යපගෙ වෙලාවෙන් පැය හෝ දවස් හෝ අවුරුදු ගනනාවක් ගතවී ගියා විය හැකියි.

කාශ්යපගේ මීලඟ වචන ආවේ අපේ සාකච්චාව තව දුරට ගෙනයන ලෙසයි.

“ඇත්තටම අපෙ පිය රජතුමා තමාගෙ සහෝදරී, මිගාරගෙ අම්මා, තම දුවගේ නැන්දා, මරා දමනවද?”

“මං හිතන්නේ ඒක රජවරුන්ගෙ හැටියක්!”

“නමුත් අපේම පවුලේ අය….?”

“….මේක කොහොමද මං කියන්නේ….රජවරු විතරක් නෙවෙයි කුමාරයොත් එහෙමයි…”

“මොකද්ද ඔය කරුංකා කියන්න හදන්නේ?”

“මං කිව්වත් නැතත් වෙනදේ වෙනවා….ඒවා වෙනකන් ඉන්න එක හොඳයි කියලා මට හිතෙන්නේ…”

“මම මිගාර එක්ක රංඩු වෙනවද?”

“අපෝ නෑ….මිගාර තමාගෙ හොඳම මිත්රයෙක්.…”

“මම මොග්ගල්ලාන එක්ක ගහගන්නවද?”

“ඔවු… කීප සැරයක්”

“මම මොග්ගල්ලාන මරනවද?”

“නෑ….ඒක වෙන්නෙ නෑ”

“මට බය හිතුනා මම එහෙම දෙයක් කරයි කියල, කුමාරයොත් එහෙම කරනවා කිව්වම! මට කිසි කෙනෙක් එක්ක තරහ යන්න හේතුවක් නෑ - හැබැයි පිය රජතුමානම් කැමැතියි මම වැව් හදනවානම් - මට ඒකට කිසි ආසාවක් නෑ”

“මං එකක් කියන්නම්. කශ් වැව් හදන්නෙ නැති උනාට බොහෝම කල් පවතින ඉතාම චමත්කාර නගරයක් හදනවා….ඒ දැනගත්තම ඇති. මට තව වැඩ තියෙනවා. එහෙනම් ජයවේවා!”

“ජයවේවා කරුංකා යාලුවා…යම් දවසක මම උඹ කවුද කියලා හොයාගන්නවා”

…………………………………

මෙහෙම කිව්වත් කාශ්යපට මා කවුද කියා සොයාගන්න බැරිවුනා. අවුරුදු 1500කට වැඩි කාලයක් තිස්සේ සිදුවූ වෙනස්කම් කාශ්යපට තේරුම් ගැනීමට නොහැකිවීම පුදුමයක් නොවෙයි. මට හිතුන විදිහට එතුමා මා අමුතු ලෝකෙකින් ආ කෙනෙක් ලෙස සලකන්නේ. තමාට තේරුම් ගත නොහැකි දෙයක් ගැන ගැඹුරට සිතා කාලය නාස්ති කරනවා වෙනුවට කාශ්යප කලේ තමාට නැගී එන ප්රශ්න මා වෙත ඉදිරිපත්කොට උත්තර ලබාගැනීමයි. නියම කුමාරයෙක් මෙන්ම රජතුමෙක් වශයෙනුත් එතුමා මා දුටුවේ අමැති මඩුල්ලට පිටින් සිටි සහායකයෙකු ලෙසයි. වර්තමානේ මිනිස්සු දෙවි දේවතාවන් මෙන්ම කට්ටඬියන් වැනි අයගෙන් උදව් ඉල්ලන්නා සේයි කාශ්යප මගෙන් උදව් ඉල්ලුවේ. එකම වෙනස වූයේ දෙවි දේවතාවන් මෙන් නොව මම එතුමාගේ ප්රශ්න වලට උත්තර දැනසිටීමයි.

එදා රෑ මම කාශ්යප සමග කිහිප වරක් සාකච්චා පැවැත්වුවා. මට පැය තුනක් පමන ගතවූ මේ සාකච්චා වැලට කාශ්යප කුමරුට අවුරුදු විස්සක් පමන ගතවී ගියා. මගෙන් රජතුමාට ලැබූ උපදෙස් බොහොමයක් සීගිරි නගරය ඉදිකිරීමට සම්බන්දයි. මේ ගැන පස්වෙනි ශතවර්ෂයේ කිසි කෙනෙකුට නොමැති දැනුමක් සහ අවබෝධයක් මට තිබුනා. සීගිරි පුරවරය ගොඩනැගීමෙන් පසු එහි ලක්ෂණ මම හොඳින් දැන සිටියා. ඒ වගේම එකල පාවිච්චිවූ “නව” තාක්ශන මගේ විශේෂ ක්ශේත්රය වීම මගේ අවවාද වලට ශක්තිමත් අඩිතාලමක් වූවා.

මීටත් වැඩිය මට උදව් වූයේ වර්තමාන ඉතිහාස පොත් කිසිවක සඳහන්වී නැති “දුනුකාර” නැමැති අති දක්ශ නිර්මාණ ෂිල්පියෙක් එකල ජීවත් වූ බව දැන සිටීමයි. ඔහු ගැන මටත් ආරංචිවූයේ අහම්බෙනි.

සීගිරියට අදාල පුරාන පුස්කොලපොත් කිහිපයක් දිගාමඩුල්ලේ වෙදමහත්තයාගේ ගෙදර ඇති බව මට ආරංචි වූයේ කැලෑ දෙපාර්තමේන්තුවේ මිත්රයෙකුගෙනුයි. ඔහු මේ වෙදමහත්තයා පුරාන පිදුරංගල විහාරයේ අබිත්තකම් කල පුද්ගලයෙකුගෙන් පැවතෙන්නෙකුවූ බවත් මේ පුස්කොලපොත්වල ඇති පුරාන සිංහල කියවා තේරුම් ගැනීමට ඔහුට හැකි බවත් මට කිව්වේ මම පලාතේ ඉතිහාසය ගැන සොයා බලන බව දන්න නිසයි. වෙදමහත්තයා කිව්ව පරිදි “දුනුකාර” පවුල අනුරාදපුරේ වාසය කල බවත් සීගිරි නගරය නිර්මාණයේදීත් ගොඩනැගීමේදීත් වැඩිමල් දුනුකාර මුල් තැනක් ගත් බවත් සඳහන්වී තිබුනා. ඔහුගේ දක්ශතා සෑහෙන්න වර්නනාකල මේ පුස්කොලපොත ඔහු හොඳින් දන්න කෙනෙක් ලියූ බව පැහැදිලියි. නමුත් මේ ඇත්තා පරදේෂී භාශා පවා දැනගෙන සිටි බව ලියවී තිබුනත් මම එවැනි කතා විශ්වාසකලේ නෑ.

වර්තමානයේ මම දන්නා දැකුම්කලු සීගිරි පුරවරය පස්වෙනි ශතවර්ෂයේ කැලෑවක් මැද නිර්මාණය කොට ගොඩනැගීමට “දුනුකාර” වැනි දක්ශයෙක් නැතුව කිසිසේත් කල නොහැකියි මම සිතූ නිසයි ඔහු සීගිරි නගර නිර්මාණයට යොදවාගන්න ලෙස කාශ්යප රජතුමාට තදින්ම බලකර සිටියේ.

කෙසේ වුවත්, කාශ්යප රජතුමාට “දුනුකාර” ගැන කියා ඔහු සීගිරිය ගොඩනැගීමට ඈඳා ගැනීමට මා කල උත්සාහයෙන් යම් විදිහකට මම ඉතිහාසය වෙනස් කලාදැයි ඇතිවෙන සැකය සිතෙන් ඉවත්කරගැනීමට මට තවම නොහැකියි.