ඊලඟ කවිය

“සර් හෙට මොකවත් වැඩක් දාගෙන තියෙනවද? හවසට?”

“… තිලකරත්න මගෙන් කවදාවත් අහපු නැති ප්රශ්නයක්! දැන් අවුරුදු කීයද මෙහෙ? හතරක්? මම හවසට මොනවා කරනවද කියලා දැනගන්න දැන් ඇති ආසාව මොකද්ද?”

“නෑ සර්… මාලා ඇහුවා ඇයි ලොක්කට රෑ කෑමකට කතා කරන්නෙ නැත්තේ කියලා”

“ඉතින් මොකොද තිලකරත්න කිව්වේ?”

මට ඒකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. ඉස්සරවෙලාම ‘වැවේ කවියා’ හැටියටත්, ඊට පස්සේ ඉන්ජිනේරුවෙක් හැටියටත් මගෙ ලොක්කා හැටියටත් හඳුනාගත්තට තවම මට ලොක්කා යාළු මිත්රයෙක් හැටියට සලකන්න අමාරුයි. ඒ කිව්වේ, එක මට්ටමේ ඉන්න යාළුවෙක් හැටියට. දැනුමෙනුත් පළපුරුද්දෙනුත් මට වඩා ඉහලින් ඉන්න කෙනෙක් එක්ක යාළුවෙලා මට පුරුද්දක් නෑ.

“කිව්වට මොකද සර්… මොකක් කියන්නද කියලා මටම හිතාගන්න අමාරුවුනා… රස්සා පටන්ගත්ත කාලේ ඉඳන් අප්පච්චී අපිට කිව්වේ රස්සාවේ ලොක්කෙක් කවදාවත් තමංගෙ ගෙදරට ආරාධනා කරන්න එපා කියලා… ඒක තමංටත් ලොක්කටත් කරන අසාධාරණයක් කියලා… ඇයි කියලා මට හරියටම තේරුමක් නෑ”

“මං කියලා දෙන්නද?”

මම කිසි දෙයක් නොකියා හිටියේ ලොක්කගෙ හැටි දන්න නිසා - මම මොක කිව්වත් නැතත් පාඩම් වලින් අඩුවක් නෑ.

“තිලකරත්නගෙ අප්පච්චී සෑහෙන්න කාරණා තේරෙන කෙනෙක්. මං කියලා තියෙනවා නේද රස්සාවක් කියන්නේ ස්වාමියයි සේවකයයි අතර කොන්තරක්කුවක් කියලා? මේ වගේ කොන්තරක්කුවක් යාළුවෝ දෙන්නෙක් අතර හරි විදිහට වැඩ කරන්නෙ නෑ - වැඩ කරන්න බෑ… තම තමංගෙ යුතුකම් ඉෂ්ට කරන්න නම් ස්වාමියෙකුට සේවකයෙක් රස්සාවෙන් අස් කරන්න වුනත් පුළුවන් වෙන්න ඕනෑ; සේවකයෙකුට ස්වාමියට විරුද්ධව වැඩ වර්ජනය කරන්න වුනත් පුළුවන් වෙන්න ඕන. මේවා යාළුවන් අතරේ වෙන දේ නෙවෙයි… අනික් අතට තිලකරත්න එහෙම හිතුවෙ නෑ නේද?”

“… ඇත්තටම නෑ සර්… මං දන්නවා සර්ට මාව මේ කන්තෝරුවෙන් අස්කරන්න පුළුවන් කියලා… මුළු දෙපාර්තමේන්තුවෙන්ම අස්කරන්න අමාරු වුනත්… ඒ වගේම මං දන්නවා ස්ට්ර්යික් කරන්න මට ඕන නැති බව - මේ කන්තෝරුවේදී මම දිනපතා අළුතෙන් ඉගෙනගන්න දේවල් නිසා… අස්කරන ස්ට්ර්යික් කරන කතා මාලගෙ ආරාධනේට සබන්ධ නෑ කියලා මම හිතන්නේ…”

“ඒ ඇයි කියලා දන්නවද?”

“… අ… නෑ සර්…”

“ඒ තිලකරත්න හැදිච්චි මිනිහෙක් නිසා. තමුසෙට පුළුවන් ගෙදරයි රස්සාවයි වෙන් කරලා හඳුනාගන්න… එහෙ වෙනදේ මෙහාට සම්බන්ධ නෑ, මෙහෙ වෙනදේ එහාට සම්බන්ධ නෑ - ගෙදරයි කන්තෝරුවයි දුවන්නේ පාරවල් දෙකක, යන්නේ ගමන් දෙකක්. ඔය සිම්පල් අදහස අපෙ ලොකු ලොක්කන්ගෙ මොළ වල පිහිටලා තිබුනානම් අපෙ දෙපාර්තමේන්තුව විතරක් නෙවෙයි මේ රටත් මීට වඩා කොයි තරම් හොඳ වෙයිද?... ඉතින් කීයටද මම එන්නේ?”

”සර්?”

“… මගෙ දේශනේට ඉස්සර මට තිලකරත්නගෙන් ලැබුනේ රෑ කෑමට ආරාධනයක්ද නැද්ද?”

මට ඇත්තටම සතුටක් දැනුනා ලොක්කා අපෙ ගෙදර එන්න කැමතිවීම ගැන. අපෙ අප්පච්චී මොනවා කිව්වත් ලොක්කා අපෙ ගෙදර එන්නේ කන්තෝරුවේ ලොක්කෙක් හැටියට නෙවෙයි. මගෙ ‘යාළුවෙක්’ නෙවෙයි නම් අඩුම ගානේ බුද්ධිතෙක් මෙන්ම කතාවට දක්ශ, හිතවත්, මගේ ගෞරවය ලබන ආගන්තුකයෙක් හැටියටයි. මෙවැනි කෙනෙක් ගෙදරට ගෙන්වා ගැනීමේ වැරැද්දක් මම දැක්කෙ නෑ. දේශන නැතුවත් අපිට කතා කරන්න දේ බොහොමයි.

මටත් මාලටත් වඩාම ඕනවෙලා තිබුනේ තව මාස හයකින් ලොව දකින්න ඉන්න අපේ කුළුදුල් දරුවා ගැන ලොක්කට පළමුවෙන්ම දනුම් දීමයි.

…………………………………..

අවුරුදු හතරක් කොයිතරම් කිට්ටුවෙන් එකට වැඩ කරත් මම මගෙ ලොක්කා ගැන දන්නේ බොහොම ටිකයි. ලොක්කගෙ නම සෙනරත් සමරසිංහ බව මම දැනගෙන හිටියත් ඒක පාවිච්චි කරලා තියෙන්නේ කීප සැරයයි - ඒත් ලියකියවිලි වල මිස කතාවෙන් නෙවෙයි. කාට කතාකළත් මම එයා හැඳුන්වූයේ ‘මගෙ ලොක්කා’ ලෙසටයි. ලොක්කගෙ ගම ගැනවත් පවුල ගැනවත් මම කිසිම දෙයක් දන්නෙ නෑ. බිරිඳක් ඉන්නවද/හිටියද නැද්ද කියලා දන්නෙත් නෑ. මේවා මගේ වැඩට සම්බන්ධ නැති දේ.

අපේ පළමු මුනගැසීමේ පටන් මේ දක්වා අපෙ ආශ්රය අපේ වැඩ කටයුතු වලට සීමාවුනා. මේ හේතුවෙන් පසුගිය අවුරුදු හතරේදී වාරිමාර්ග සහ පරිසරය තාක්ෂණ මෙන්ම ව්යාපෘති සහ තොරතුරු පරිපාලනය පිළිබඳ මගේ දැනුම දිනෙන් දින, නොකඩවා දියුණුවුනා. ඒ වෙනුවෙන් මම ලොක්කට පින් දෙන්න ඕන - ඔහුගේ වචනෙත් ක්රියාවෙත් ස්ථිරත්වයයි මෙයට හේතුව වුනේ. කාලයත් සමග වෙනස් නොවන කෙනෙක් හැටියටයි මම ලොක්කා දැක්කේ.

පසුගිය අවුරුදු හතරේ ලොක්කාගේ මා හඳුනාගත් එකම වෙනස මුල් දිනවලට වැඩිය දැන් ‘දේශන’ පැවැත්වීමට කැමැත්තක් පෙන්වීමයි. බොහෝවිට මේ දේශනවල කියවුනු වචනෙට වඩා ගැඹුරු අදහස් ගැබ්වී තුබුනා, සාමාන්ය සාකච්චාවල නොතිබූ විදිහට. ‘වැවේ කවියා’ කාලේ කවි ලිවීමෙන් වැඩි දියුණුවූ හැකියාවක් හැටියටයි මම මෙය දුටුවේ.

“අයියුබොවන් සර් … එන්න එන්න ඇතුලට… මාලා… මාලා! කොහොමද ආවේ? අපරාදේ මට ඇවිත් බයිසිකලේ එක්ක එන්න තිබුනා… ඒක අමතකවුනා! මාලා මේ මගෙ ලොක්කා- මගුල් ගෙදර දැක්කට පස්සේ නේද?... හැබෑට බැරිවුනා…බයිසිකල්…”

“කුලසේකර!”

“සර්?”

“ටිකක් අපිටත් කතා කරන්න ඉඩක් දෙනවද? … ආයුබොවන් මිසිස් තිලකරත්න!”

මාලා හිනාවුනා.

“ආයුබෝවන් මිස්ට සමරසිංහ… වාඩිවෙන්න”

“ආන් දැක්කා නේද වචන වලින් හරි ප්රයෝජන ගන්න හැටි!”

ලොක්කා වාඩිවුන වහාම මම ආයෙත් කතා කළා.

“සර් තේ එකක් බොනවද… බීර එකක්?.... අරක්කු ටිකක්?”

“කහට කෝප්පයක් ලැබුනොත් නියමයි! හැබැයි ඊට ඉස්සර තව එක දෙයක්. මේක වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තැනක් නෙවෙයි. මේක තිලකරත්න මාලිගාව. ඒ කියන්නේ මෙතන ‘සර්’ කෙනෙක් නෑ. මගෙ නම සමරසිංහ… සෙනරත් බන්ඩා සමරසිංහ… ඔය දෙන්නා අකැමැති නැත්නම් මම ‘බුද්ධි’යි ‘මාලා’යි පාවිච්චි කරන්න කැමතියි - හැබැයි මට සෙනරත් කියලා කතා කරනවානම්. ‘මිස්ට සමරසිංහ’ත් යාන්තම් ඉවසන්ට පුළුවන්… හැබැයි ‘සර්’ ගොන්පාට් බෑ!... බුද්ධි දන්නවා මම තේ බොන්නේ කොහොමද කියලා… මාලා උපන්නෙත් අනුරාධපුරේමද?”

…………………………

බීර වීදුරුවකුත් බීලා අපි කෑමට වාඩිවෙනකොට නමයට කිට්ටුයි. අපෙ පොඩි සාලේ කොනේම තිබුන මේසේ ඇරලා තිබුන කෑම සරලයි නමුත් රසයි. කෑමෙන් පස්සෙත් අපි එතනම වාඩි වෙලා කතා කර කර හිටියා. රස්සා වලට සම්බන්ධ කිසිම දෙයක් අපේ කතාවට එක්වුනේ නෑ. විද්යාව, දේශපාලනය, නියගය, ක්රිකට් ක්රීඩාව…. මේ සියල්ලම ගැන අපි කතාවුනේ උද්‍යෝගවත් ආධුනිකයෝ ලෙසටයි - එක්කෙනෙක්වත් ප්රවීණයෝ නොවුන නිසා කතාව සතුටුදායකව ඇදී ගියා. වාතාවරණය ටිකක් වෙනස්වුනේ අපේ බලාපොරොත්තුවන කුළුඳුල් දරුවා ගැන සඳහන් වීමෙන් පසුවයි.

මිස්ට සමරසිංහට වහාම පුටුවෙන් නැගිට ඇවිත් අපි දෙන්නගෙ ඔළු උඩ අත් තබා අපිට සුබපැතුවේ අපේම දෙමව්පියෙක් වගෙයි.

“එහෙනම් ආයෙ මාස පහයි! ශඃ - අවුරුද්දෙම මම අහපු හොඳම ප්රවුර්තිය! දැන් අම්මලා තාත්තලාට කිව්වද?”

“මාලගෙ අම්මා දන්නවා… මම හෙට අනිද්දම අපෙ ගෙදරටත් කියනවා”

“බුද්ධි… බුද්ධි… බුද්ධි! අම්මලා අප්පච්චිලටත් නොකියද මට කිව්වේ? මම ඒක ලොකු ගෞරවයක් හැටියට පිළිගන්නවා… තැන්ක්යූ… නමුත් ගෙදරටත් කිව්වොත් හොඳයි නේද?”

කවදාවත් නැතුව ලොක්කගෙ ඇස්වල කඳුළු පිරෙන බව දැකලා මම ගොළුවුනා. මාලා මට වඩා හොඳින් දන්නවා මේ වගේ අවස්ථාවලදී හැසිරෙන හැටි. මලා කතාකළේ මා දිහා නොබලා, බොහොම හෙමින්.

“බඩීගෙ අප්පච්චී නැතිවෙලා හුඟක් කල්… නමුත් ඒ වගේ කෙනෙකුට අපේ ප්රවුර්තිය කියන ආසාව අඩුවෙලා නෑ…”

මිස්ට සමරසිංහට මාලා කියනදේ වැටහෙන්න විනාඩියක් ගියා. ඇස්වල එකතුවෙමින් තිබුන කඳුළු බින්දුවක් කම්මුල දිගේ ගලාගෙන ආවා. ඒක පිසදාගන්න ලොක්කා උත්සාහකළේ නෑ. උගුරු ඇටය කීප සැරයක් ඉහල පහල ගියේ වචනයක් එලියට දාගන්න තැත් කරන බව පෙන්වමිනුයි.

“මම… මට දරුවෝ නෑ… මට කාගෙවත් අප්පච්චී වෙන්න සුදුසුකම් නෑ…”

මගෙත් ඇස් කඳුළින් පිරීගියා.

“නෑ සර්… මිස්ට සමරසිංහ... මම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ මිස්ට සමරසිංහගෙන්… මට… මට ඕනවුනේ වැඩිහිටි පිරිමියෙකුට කතා කරන්න විතරයි… මට අයියලා නෑ, ඉන්න මාමලාට කිට්ටු නෑ… හිටපු එකම කුඩප්පච්චී දැකපු කාලයක් මතක නෑ… මට සමාවෙන්න මගෙන් වැරැද්දක් වුනානම්…”

“බුද්ධි… මාලා… මට කවදාවත් නොලැබුන ගෞරවයක් ඔය දෙන්නා කළේ… කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක්… ස්තුතියි… අපි තව තේ එකක් දාගමුද?”

………………………………

අපි තේ බිව්වෙත් කෑම මේසෙමයි. මම තේ හදන වෙලාවේ මාලා මේසේ අස්කරලා තේ වලට ලෑස්තිකරා. මිස්ට සමරසිංහ මිදුලට ගියා සිගරට් එකක් බොන්න. ටිකක් ඇත්වෙලා ඉන්න එක හොඳයි කියලා මට හිතුනා, කඳුළු වේලෙනකම්. අද රෑ ආයෙ දරුවෝ ගැනවත් අප්පච්චිලා ගැනවත් කතා නොවෙන බව මට හොඳටම විස්වාසයි.

“මමත් බුද්ධි වගේ වාරිමාර්ගේ තමයි පලවෙනි රස්සාව - හැබැයි මං පටන්ගත්තේ බුද්ධි ඉපදෙන්නත් ඉස්සර”

මිස්ට සමරසිංහ වෙන කිසිමදාක කතා නොකල මාතෘකාවක් පටන්ගත්තේ කිසිම පිටස්තර අනුබලයක් නැතුව.

“මම ලංකාවේ බොහෝම තැන්වල වැඩ කරලා තියෙනවා, දුෂ්කර පලාත්වලත් ලොකු/පොඩි නගරවලත්. ඉතා දක්ෂ වගේම ඉතා මෝඩ ලොක්කොත් යටතෙත්. යුද කරදර කාලවලත් වසංගත කාලවලත්. ලී මිට තාක්ෂණ පටන් ලැප්ටොප්/ඉන්ටනෙට් තාක්ෂණ පාවිච්චි කරලත්… මේ වගේ වෙනස්කම් බලාපොරොත්තු වෙන්න ඕන දිග කාලයක් වැඩ කරනකොට. ...නමුත් එක දෙයක් වෙනස්වුනේ නෑ. ඒ තමා අපි කරන වැඩ රාජකාරිවල වටිනාකම - මුළු රටටම”

“මං එහෙම කියන්නේ ‘මම මාරයි’ කියන්න නෙවෙයි. වාරිමාර්ග දෙපාර්ත්මේන්තුව හරියට වැඩ කෙරුවොත් ඒකට පුළුවන් වෙන්න ඕනෑ දේශපාලන මෝඩකම් වලට ඉහලින් පියාඹන්න. බුද්ධි දන්නවා දේශපාලන පොරවල් බලාපොරොත්තුවෙන කෙටි කාලීන ප්රතිපල. නමුත් ඒවගෙන් දෙපාර්තමේන්තුව මනින එක වැරදියි… මම දෙපාර්තමේන්තු ඉතිහාසේ කියන්න නෙවෙයි කතාව පටන්ගත්තේ…”

තේ උගුරකින් පස්සේ ආයෙත් කතාව පටන්ගත්තා.

“මම මගේ රස්සාවේ වැඩ ඇරුනුකොට විනෝදාංශ දෙකක් තිබුනා. එකක් බයිස්කෝප්, අනික කවි. මගෙ අහිකුණ්ටික ජීවිතෙයි, විනෝදාංශයි නිසා කිසිම සීරියස් පෙම් බැඳීමකට වෙලාවක් තිබුනෙ නෑ. මම සාන්තුවරයෙක් කියනවා නෙවෙයි - මගේ තිබුන ජීවිතේට වඩා කිසි දෙයක් මම සොයාගියේ නෑ. සොරි… නෑ… ඒක බොරු… මගෙ එකම කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා, රස්සාව පටන්ගත්ත කාලේ… මාස හයක් විතර මමත් මාර රෝමියෝ වෙලා හිටියා… ඒකී තව කවුද ලොන්ත යකෙක් බැඳගන්නකම්… මම තව මාස හයක් ඒ ගැන දුක්වුනා … ඊට පස්සේ අවුරුද්දක් විතර තරහෙන් හිටියා… අවුරුද්දක් විතර බිව්වා…”

තව තේ උගුරක්.

“අංතිමට මට අල්ලලා ගියේ රස්සාවයි විනෝදාංශයි. මගෙ බයිස්කෝප් බුද්ධි දැකලා තියෙනවා. අඩුගානේ මගෙ එක බයිස්කෝප් එකක්. කවි, කතා එහෙම ලියන එව්වා තවම පොතක අච්චුගහලා නෑ. ඒ ටික එකතැන් කරගෙන පොත් වලට හරවන්න අවුරුදු දෙක තුනක වැඩ ඕන වෙයි. ඒ කියන්නේ, රස්සාවට වැඩිය ඒකටයි මම කාලේ පාවිච්චි කරන්න … නාස්ති කරන්නද … ඕන”

මිස්ට සමරසිංහ කතාව නැවැත්තුවේ මහංසියෙන් වගේ. එයාගෙ අංතිම වාක්ය ගැන ප්රශ්නයක් අහන්න මට ඒක අවස්ථාවක්.

“රස්සාවට වැඩිය කවි වලට වෙලාව දෙනවා කියන්නේ සතියට දවසක් දෙකක් කවි ලියන්න හරි එඩිට් කරන්න හරි කැප කරන්නද?”

“ඊට වැඩිය යමක් කරන්න වෙයි, මේ පොත් මැරෙන්න ඉස්සර එලියට දාගන්න!”

“ඒවට මාර එඩිටර්ලා ඉන්නවානේ! එතකොට වැඩත් වෙනවා, පොතුත් ලියවෙනවා!”

මාලා මිස්ට සමරසිංහ දිහා බලාගෙන හිටි විදිහට මට හිතුනා එයාට මට නොතේරෙන යමක් තේරෙනවා කියලා. මාල ප්රශ්නයක් ඇහුවේ මිස්ට සමරසිංහගෙ මුහුන දිහා කෙලින්ම බලාගෙන.

“මම කවදාවත් කවි කතා මොනවත් ලියලා නෑ. කොයි වගේ තැනක්ද ඕන ඔය ලියන වැඩේට?”

මිස්ට සමරසිංහ හිනාවුනා.

“හ්ම්… ගමේ අපෙ ගෙදරක් තියෙනවා… ඒකේ ඉන්නේ බලාගෙන ඉන්න කොලුවා විතරයි… හරිම නිස්කලංක තැන… වාහන සද්ද බද්ද මොනවත් නෑ….”

“මේ පැත්තේ නෙවෙයිද ගම?”

මටත් යාන්තම් තේරීගෙන එනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා.

“නෑ… නුවරට කිට්ටුයි”

“එතකොට මෙහෙ රස්සාව?”

මිස්ට සමරසිංහ මා දිහා බලාගෙන හිටියා විනාඩියක් විතර. ඒ සැරේ කඳුළු තිබුනේ මාලගෙ ඇස්වල.

“මට ඇති කියලා හිතෙනවා බුද්ධි මේ රස්සා වැඩේ… දැන් අවුරුදු කීයක්ද? ඒකට මට පෙන්නන්න තියෙන්නේ මොනවද? පවුලක් නෑ, දරුවෙක් නෑ, ලඟ නෑදෑයෙක් කියන්න එකෙක් නෑ… ලප්ටොප් එකේ තියෙන බයිස්කෝප් කීපෙකුයි කවි කතා ගොන්නකුයි විතරයි… ඒකත් නැතිවෙලා යනවා මොකවත් නොකෙරුවොත්…”

“ඉතින් මිස්ට සමරසිංහ රස්සාවෙන් කොයි තරම් තෘප්තියක් ලැබුවද? කොයි තරම් වටිනා වැඩ කන්දරාවක් කරාද? ඒවා ආයෙ වෙනස් කරන්න කාටවත් බෑ!”

මාලා මගෙ යටිබාහුව උඩ ඇගේ අත තියලා ටිකක් තෙරපුවා. ඒ මට කට වහගන්න සලකුන වෙන්න ඇති.

“මේකයි බුද්ධි වෙන්නේ… තව මාසෙකින් මම මගෙ කඩේ වහලා ගමේ යනවා. තව හිත හිතා හිටියොත් යැවෙන්නෙ නෑ. මගෙ ජීවිතේ එක වැඩ කොටසක් ඉවරයි - අනික් එක පටන්ගන්න වෙලාව කියලා මම හිතන්නේ”

කෝප්පේ ඉතුරුවෙලා තිබුන අන්තිම තේ උගුරත් බීලා ආයෙත් කතා කළා.

“මම ලොක්කන්ට කතා කරලා තියෙන්නේ… මම අස්වෙලා යන දවසේ පටන් බුද්ධි කන්තෝරුවේ ලොක්කා… ඒක දැනටමත් පිළියෙල වෙලා තියෙන්නේ. මේ අවුරුද්දේ පිටවුන කොල්ලෙක් එනවා ඇසිස්ටන්ට් හැටියට - මිනිහව හදලා ගන්න වෙන්නේ බුද්ධිටමයි”

“ලොකු ඔෆිස් එකේ අය කැමතියි බුද්ධි වැඩේ බාරගන්නවට - ඉන්ජිනේරුවා… ජයරත්න බංඩා, මංත්රියා එහෙම සපෝට්… අනික පියෙක් වෙන්න ඉන්න කෙනෙකුට පඩි වැඩි කිරීම පිං අතේ වැඩක්!”

“මම කැමතියි අද කෑම විතරක් නෙවෙයි, හැම අතින්ම අද රෑ විශේෂ එකක් කරාට මගේ මිත්ර බුද්ධිටයි මාලටයි හද පතුලෙන් ස්තුති කරන්න… මගේ වාරිමාර්ග වැඩ කොටස එතනින් ඉවරයි කියලා හිතා ගත්තොත් හොඳයි!”

“එතකොට සර් ඊට පස්සේ?”

මට අමතකවුනා සර් නොකියා ඉන්නත්.

“බුද්ධි… දැන් මගෙ ඊලඟ කවිය ලියන්න කාලේ”