ඊලඟ පරපුර
“අද හවස එහෙනං කෝරලේ මහත්තයලෑ ගෙදර ගිහින් එමු”
“අ…ඇයි ඒ මොකටද?”
“උඹ රට යනවා කියලා නිලමෙලාට කිව්වොත් හොඳයි - නැත්තං හරි නෑ නේද?”
“මට තේරෙන්නෙ නෑ ඇයි මම රට යන බව එහාට කියන්ට ඕනෑ කියලා” ජයසේන කෝරලේ මහත්තයලෑ ගෙදර යන්ට කැමති නැති බව පැහැදිලියි.
“උඹලට තේරෙන්නෙ නෑ මෙව්වා…”
‘ඒක ඇත්ත…අපිට තේරෙන්නෙ නෑ තමයි. ඕනැනම් අප්පච්චී ගිහින් එන්ට - මට තව අරගෙනයන ඇඳුම් එහෙමත් අහුරාගන්ට තියෙනවා” ජයසේන මේක කිව්වේ රෙදි වැලේ තිබුන කමිසේ ගන්න ගමන්.
මුදලිහාමී පුතයි දුවයි දිහා බැලුවේ දුක්බර මූනකින්. පවුල බංඩාරමැනිකා කට ඇරලා මොකක්වත් කියන්ට කැමති නෑ දරුවන්ට විරුද්ධව. ඒ උනත් බංඩාරිට තේරෙනවා මුදලිහාමිගෙ දෙගිඩියාව. එක අතකින් ජයසේන රට යන්නේ එයාගෙම දක්ශකමෙන්. ඒක තමංගෙ පවුලටම විතරක් නෙවෙයි ගමටම ලොකු දෙයක්. මීට ඉස්සර මේ ගමෙන් රට ගිහින් තියෙන්නේ ඉස්කෝලේ ලොකුමහත්තයගෙ ලොකු පුතා විතරයි. එයත් සල්ලි ගෙවලලු යැව්වේ. ජයසේනට ආංඩුවෙන්මයි ගෙවන්නේ - යන්නෙත් එංගලන්තෙට; ඉස්කෝලේ පොඩි මහත්තයා වගේ ඉන්දියාවට නෙවෙයි. අනික් අතට බලනකොට ගමේ වැදගත් අයට නොකියා ඉන්නේ කොහොමද මේ වගේ විශේෂ සිදුවීමක්? පරම්පරා කීපයක් කෝරලේ මහත්තයලගෙ ඉඩම්වල වැඩකරපු මුදලිහාමිලා ළමයි ඉගෙනගත්තා කියලා අතීතේ අමතක කරන්ටද? ජයසේන මධ්ය මහා විද්යාලෙට දාන්නත් කෝරලේ නිලමේ නේද අනුබල දුන්නේ?
“මුදලිහාමී ඔය පොඩි එකා පහේ විබහගේ පාස් උනාම නරකද වෙන ඉස්කෝලෙකට දැම්මොත්? ලොකු මහත්තයා කිව්වේ කොල්ලා දක්සයි කියලා ඉස්කෝලේ වැඩට…”
“අපි කොහොමද නිලමේ ඔව්වා කරන්නේ…ලොකු කෙල්ල කියනවා ජේෂ්ටේ වෙනකන් ඉස්කෝලේ ඉන්ට ඕනෑ කියලා…මගෙ කඩේ බලාගන්නත් ඕනෑ…”
“උඹටයි බංඩාරිටයි කඩේ බලාගන්න එක බැරිවෙයියෑ? ගිහින් ඉස්කෝලේ වීරකෝන් මහත්තයා හම්බුවෙලා කතාකරලා බලාපංකෝ…”
මුදලිහාමී මිදුල අයිනේ බංකුවේ වාඩිවෙලා බුලත් විටක් හැපුවේ වත්ත දිහා බලාගෙන. ඇස්දෙකේ කඳුලු පවුලටවත් දරුවන්ටවත් පෙනෙනවට උන්දෑ කැමතිඋනේ නෑ. දැන් කමලා ජේෂ්ටේ පාස් වෙලා විතරක් නෙවෙයි ගුරු පුහුනුවත් ඉවර කරලා ගුරුපත්වීමකුත් ලැබිලා. පුතා උපාදියකුත් ඇරගෙන කොළඹ රස්සාව. කෝරලේ නිලමෙගෙ වචනෙන් නේද මේකට හිත දුන්නේ කියලා මුදලිහාමිට අමතක වෙලා නෑ. නමුත් මේවා කවදාවත් ළමයි එක්ක කියලා නෑ.
කමලා ඇඳුම් ලෑස්ති කරගන්න උදවට කියලා කාමරේට ආවේ කතාවට මිස උදව්වටම නෙවෙයි කියලා ජයසේනට දැනුනා. ආයෙත් අවුරුදු දෙක තුනකට දැකගන්ට නොලැබෙන නිසාමයි දවස් තුනක්ම නිවාඩු දාලා ගෙදර ආවෙත්.
“මල්ලී හෙට කීයටද පිටත් වෙන්නේ?”
“මං හිතුවේ උදේ දහයේ බස් එකේ මෙහෙන් ගියොත් දෙකට තුනට කොළඹ යන්ට පුලුවන්. එතනින් මොකවත් කාලා බීලා බෝඩිමේ ගාමිනිත් එක්ක කටුනායක යන්ටයි අදහස”
“කීයටද ෆ්ලයිට් එක?”
“පාන්දර තුනයි කාලට…නිදන්ට නං හම්බුවෙන්නෙ නෑ…රෑ දොලහට විතර කටුනායක ඉන්ටවෙයි”
“එහාට යන්ට කොච්චර වෙලා යනවද?”
“ඩුබායි වලට පැය හතරකට පොඩ්ඩක් වැඩී…එතන පැය දෙකක් ඉන්ට තියෙනවා…ලංඩන් වලට එතන ඉඳන් පැය හතකට පොඩ්ඩක් වැඩියි”
“හොඳටම මහන්සි තියෙයි එහාට යනකොට”
“හොඳ වෙලාවට ලංඩන් යනකොට දවල් - මාත් එක්ක ඉගෙනගත්ත වීරමංත්රී එයාපෝට් එනවා කියලා තියෙනවා. මිනිහත් එක්ක දවසක් දෙකක් ඉඳලා තමයි මැන්චෙස්ටර් යන්නේ”
“ඒක හොඳයි…මටත් හැබෑට හරී ආසයි කවදාහරි කොහෙවත් පිටරටකට ගිහින් එන්ට…”
ජයසේනට ඒකට කියන්ට දෙයක් නෑ. අක්කා ඉස්කෝලේ ගුරුවරියෙක් හැටියට කොච්චර දක්ශ උනත් ඒ දෙපාර්තමේන්තුවෙන් ශිෂ්යත්ව ලැබෙන්නෙ නෑ. අනික, අක්ක බඳින්න ඉන්න සෙනරතුත් ගුරුවරයෙක් නිසා තමංගෙ සල්ලි වලින් කොහෙ හරි ගියොත් මිසක් වෙන රට යන ක්රමයක් හිතාගන්ට අමාරුයි. හැබැයි ඉස්සරට වැඩිය මිනිස්සු පිටරට යන බවනම් ජයසේන දන්නවා. අක්කගෙ හිත නොරිදවෙන උත්තරයක් සොයසොයා හිතනකොට ඒ කරදරෙන් කමලම ජයසේනව ගලවා ගත්තා කතාව වෙන පැත්තකට හරවලා.
“අම්මලා කටුනායක එන්ට ඕනැ කිව්වෙ නැද්ද?”
“නෑ…අම්මා මොනවත් කිව්වෙ නෑ….අප්පච්චිට නම් ආසා වගේ….මගෙ ටිකට් එහෙමත් ඉල්ලාගෙන බැලුවා”
“පව් හැබැයි. ආයෙ කවදාවත් නොවෙන දෙයක්නේ. එකම පුතා පලවෙනි සැරේට රට යනවා…”
“එක ඇත්ත අක්කා හැබැයි කරදරේ? අපි මෙහෙන් කාර් එකක් අරගෙන ගියත් හෙට හවස හතට අටට වත් පිටත් වෙන්ට ඕනෑ. ආපහු ගෙදර එනකොට පාන්දර හතර පහ වෙයි. ඔය ලෙඩ ගනනේ…කොයි තරම් මහන්සියක්ද?”
කමලා ටිකක් වෙලා බිත්තිය දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ කතා කරේ ජයසේන දිහා නොබලා.
“මල්ලී පිටත් කරන්න කවුරුවත් එනවද?”
“ගාමිනිත් එක්ක යන්නේ…”
“මං කියන්නේ යාලු කෙල්ලෙක් එහෙම? අම්මලා අප්පච්චිලාට කියලා නැති?” ජයසේනත් ඇඳේ වාඩි උනා අක්කා ලඟම.
“එහෙම එකක් නෑ අක්කා…අක්කා හිතුවද මම ගෙදරට හොරෙන් මොකක් හරි කරගෙන ඇති කියලා?”
“නෑ මං නිකමට ඇහුවේ…අපි දෙන්නත් දැන් නිතරම හම්බුවෙන එකක් යැයි තොරතුරු දැනගන්ට”
ආයෙත් විනාඩි කීපයක් කතා නෑ. ජයසේන අක්ක එක්ක විතරක් නෙවෙයි ගෙදර එක්කවත් නිතරම තොරතුරු හුවමාරු කරගන්න කෙනෙක් නෙවෙයි. මාසෙකට දෙකකට සැරයක් ගෙදර ආපු වෙලාවක කියපු දෙයක් තමයි ගෙදර අය දන්නේ. අක්කා නම් මාසෙකට සැරයක් දෙසැරයක් ගෙදර ඇවිත් යනබව ජයසේන දන්නවා. ජයසේන එන බව දැනගත්තොත් අක්කත් උත්සාහ කරනවා ඒ දවස් වලට ගෙදර එන්ට.
ජයසේනට හිතුනේ තමා තමංගෙ ගමෙන්… ගෙදරින්….පවුලෙනුත් හොඳටම ඈත්වෙලාද ඉන්න බවයි. හෙටින් පස්සේ තවත් ඈත් වෙනවා නේද? එහෙම හිතලයි ජයසේන තීරනේ කරේ හවස අප්පච්චිත් එක්ක කොරලේ මහත්තයාලගෙ ගෙදර යන්න. ඒ කෝරලේ මහත්තයා දකින ආසාවකට නෙවෙයි - මුදලිහාමිට ඒකෙන් සහනයක් ලැබෙයි කියලා විතරයි. ඉස්කෝලේ යන කාලේ ගියාට පස්සේ ජයසේන කෝරලේ ගෙදර යන්නේ මේ පලවෙනි සැරේට.
තීරනේ ගැන කමලා සන්තෝසේ පෙන්නුවේ ජයසේනගෙ කර උඩ අත තියලයි.
“ඕන නම් මාත් එන්නං…ඒ මැනිකෙට පත්තරේවත් කියවලා එන්ට…දැන් ඇස් පෙනෙනවා අඩුයි…”
…….
ජයසේන පුංචි දවස්වල කෝරලේ ගෙදර දැක්කේ විසාල වලව්වක් වගේ. දැන් ඒක ඉස්සරට වැඩිය පොඩියටයි පෙනෙන්නේ. මිදුලත් පොඩියි - සමහරවිට ඉස්සර තිබුන මල් පාත්තිවල දැන් වල් වැවිලා තිබුන නිසා වෙන්ට ඇති එහෙම පෙනුනේ. සාලේ හාංසිපුටුවේ හිටි කෝරලේ මහත්තයගෙත් ඉස්සර තිබුන ගාම්බීර පෙනුම වෙනුවට දැන් තියෙන්නේ වයසක උපාසකයෙකුගෙ පෙනුමයි. ගානට කපපු උඩුරැවුල වෙනුවට දැන් මූන පුරාම දිග සුදු රැවුලක්. ඉස්සර බුරාගෙන ඉස්සරහට එන ලොකු ඇල්සේශන් බල්ලා වෙනුවට අද හිටියේ හාංසිපුටුව යට නිදාගත්ත බලු කැහැට්ටෙක් පමනයි. ජයසේන මේ සේරම අවශෝෂනය කරේ කෝරලේ මහත්තයා මිදුලේ හිටි අමුත්තෝ දකින්නත් ඉස්සරයි.
මුදලිහාමී උගුර පාදලා “නිලමේ?” කියලා කිව්වැයින් පස්සෙයි කොරලේ මහත්තයා එක අතකින් දාගෙන හිටපු කන්නාඩිය උස්සලා කට්ටිය දිහා බැලුවේ.
“හා මුදලිහාමී…කාලෙකින්…මේ කමලාවතී ඉස්කෝලේ හාමිනෙත් ඉන්නේ…හැබෑට මේ ජයසේන නේද…ගමෙන් ගියාට පස්සේ අදයි දැක්කේ…අවුරුදු කීයක්ද දැන්” කෝරලේ මහත්තයා ඒක ප්රශ්නයක් හැටියට නෙවෙයි ඇහුවේ කියලා අනික් අයට තේරුනා.
තුන් දෙනාම කොන්ඳ නමලා කෝරලේ මහත්තයට වැන්ඳා, සිරිතට අනුව.
“ඉතින් හිටගෙන ඉන්නේ?...කමලාවතී…මැනිකේ මැද සාලේ ඇති…බලනවද? අර විජේ කොල්ලා හිටියොත් කේතලේ ලිපේ තියයි”
කමලා ගෙදරින් ගෙනා කෙහෙල් ඇවරි දෙකත් ඇරගෙන ගේ ඇතුලට ගියේ කිසි දෙයක් කියන්නේ නැතුව. ජයසේනට හිතුනේ “අපි තවමත් මේ අයගෙ වැඩකාරයොද?” කියලයි. අප්පච්චියි පුතයි සද්ද නැතුව කෝරලේ මහත්තයගෙ හාන්සිපුටුව ඉස්සරහ තිබුන බංකුවේ වාඩි උනා.
“මොකොදෑ හදිස්සියේ, දරුවො බරුවොත් එක්ක?”
“නිලමේ…මේ කොල්ලා… මේ රට යන්ට කියලා… කංතෝරුවේ…” අප්පච්චිට වචන ඉවරවෙනකොට ජයසේන කතා කරා.
“මට ශිෂ්යත්වෙයක් ලැබුනා, එංගලන්තෙට අවුරුදු තුනකට…හෙට යනවා”
කෝරලේ මහත්තයා අමාරුවෙන්, බොහෝම හෙමින් ඇඟ කෙලින් කරලා ජයසේන දිහා බැලුවා. උන්දැගෙ ඇස් දෙකෙන් පටන්ගත්ත හිනව ටික ටික ලොකුවෙලා මූන පුරාම පැතුරුනා. මෙතෙක් වෙලා නොතිබුන, මීට ඉස්සර නොදැකපු, සිරියාවක් මූනේ ඇඳිලා තිබුනා. කට හඬත් ශක්තිමත් වෙලා වගේ.
“ශඃ…කාලෙකින් අහපු හොඳම ප්රවුර්තිය! මැනිකේ! මැනිකේ!..හ්ම්…දැනටමත් කමලා කියන්ට ඇති නේද? විජේ!...විජේ! කොල්ලෝ කෝ අර තේ? ගෙදර මොකවත් හපන්ටවත් තියෙනවද මංදා…බංඩාරී නං කැවුම් එහෙමත් හදලා ඇති…”
“මොකටද නිලමේ? අපි මේ නිකන් නිලමෙලාට නොකියා යන්ට හොඳනැති හින්දයි ආවේ…”අප්පච්චිට බය හිතිලා වගේ කෝරලේ මහත්තයා නහරයක් වත් පුපුරා ගනීද කියල - ඒ තරමට කලබලේ.
“උඹ මේ මොනවා කියනවද? මේ අපෙ කෝරලේ වසමේ ඉස්සරවෙලාම එංගලන්තේ යන්නේ අපේම එකෙක් කියන එක පොඩි දෙයක්ද?...කෝ මේ මැනිකේ? විජේ?”
ජයසේනට පුදුමයි කෝරලේ මහත්තයගෙ හැසිරීම ගැන. බලාපොරොත්තු උනේ ගාම්බීර “හොඳින් ඉන්ට ඕනෑ දරුවා…පවුලට අවනම්බුවක් නොවෙන්ට වගබලාගන්ට ඕනෑ” වගේ පොඩි අවවාදෙයක්, සමහරවිට රුපියල් සීයක් විතර තෑග්ගකුත් එක්ක. හැබැයි දැක්කේ ඇත්තටම සන්තෝස වෙන වයසක මනුස්සයෙක්! මුදලිහාමිගෙ ඇස්වල විතරක් නෙවෙයි කෝරලේ මහත්තයගෙ ඇස්වලත් කඳුලු වගේ දිලිසීමක් දැකලා ජයසේන අහක බලාගත්තා.
“දැන් කවද්ද යන්ට තියෙන්නේ?”
“හෙට යනවා නිලමේ…හෙට රෑ…”
“ඔච්චර හදිස්සියට…?”
ආයෙත් කෝරලේ මහත්තයා පුටුවේ හෙමිහිට හාංසි උනා. මැනිකේ කමලත් එක්ක තේ එලියට ගෙනත් අල්ලනකම් කල්පනාවෙන් හිටියා මිස කතා කරේ නෑ.
“මේ කඩේ විස්කෝතු ඇරුනුකොට වෙන මොකවත් නැද්ද? මේ වගේ දේ නම් ජයසේනට නිතරම ලැබෙයි රට ගියහම….මෙහෙදී අපි දෙන්ට ඕනෑ….අර…අර…ලැවරියා….අන්න හරි….ලැවරියා….අයෙ එතකොට වෙල්ලවැහුන්….ඇයි පුස්නාම්බු?...හැබෑටම ජයසේන, ඇත්තම කිව්වොත් උඹට දෙනවා තියා අපි වත් ඒවගෙ දේ කාලෙකින් කෑවෙ නෑ….අනෙ අප්පේ අපිට ගිය කල!”
කෝරලේ මහත්තයා මේ විදිහට කතා කරනවා ජයසේන කවදාවත් අහලා තිබුනෙ නෑ. ඉස්සර ගමේ අයට අණදුන්නේ ඔහොම නෙවෙයි…”ටිකිරිබංඩා…උඹ කෙලින්ම වෙද මහත්තයගෙ ගෙදර ගිහින් පනිවිඩේ දීපන්. යනගමන් සේතුවට කියපන් මෙහෙ එන්ට කියලා වහාම…දෙනිය පාරෙන් පලයන් - ඒක ඉක්මන්…උඹ මග දිගට රස්තියාදි උනොත් මම දැනගන්නවා…හ්ම්”. අද කතාකරන්නේ සාමාන්ය ගමේ කෙනෙක් වගේ. නිලමෙගෙ කතාව එතැනින් ඉවර නැති බව තේරුනේ ආයෙත් කතාව පටන්ගත්තැන් පස්සෙයි.
“මැනිකෙට මතකද කිතුල් තලප? මතකද මුදලිහාමී? උදේ වරුවක් මහන්සිවෙලා කිතුල් ගහේ කඳ පලලා, මදේ තලලා වතුරේ දාපුවම පිටි යටට බහිනවා. මතක හැටියට පිටි වෙන්වෙන්ට පැයක් විතර යනවා. වතුර අස් කරලා ඉවරවෙලා ඒ පිටි….හැබෑට ඒ පිටි වේලුවද මට මතක නෑ….කොහොම හරි පැය ගානක් මහන්සිවෙලා මුට්ටියක හැඳි ගානවා….හැඳි නොගා ඉන්නත් බෑ….හැඳි නොගෑවොත් මොනවා වෙනවද මං දන්නෙ නෑ…කොහොම හරි පොඩි දවස්වල අපි කෙල හල හලයි බලාගෙන ඉන්නේ තලප හැදෙනකන්….හදපු වෙලාවෙම කනවද? නෑ මොන පිස්සුද? ඊට පස්සේ ඒවා කන්ට හොද්දක් හදනවා ගම්මිරිස්, පොල්කිරි, පැනි එහෙම දාලා…විස්වාස කරපන් ජයසේන…කිතුල් තලප මේ හොද්දත් එක්ක කනකොට…ඒක හරියටම අර අඹගහමුල වෙලේ මඩ කනවා වගේ, චප්ප කරපු කඳ පනුවොත් එක්ක…කාලේ නාස්ති කරන්ට හොඳම කෑමක්! සිංහල ජාතියට බැරිවුනා ඊට පස්සේ ඒ වගේ ගොන් කෑමක් හදන්ට …මතවෙනකොට දැනුත් වමනෙට එනවා!”
කෝරලේ මහත්තයා හයියෙන් හිනා උනා. ජයසේනටත් හිනා ගියා. කෝරලේ මහත්තයගෙ කවදාවත් නොදැකපු පැත්තකුයි අද පෙනෙන්නේ. මුදලිහාමිටත් කෝරලේ මහත්තයගෙ ලෙඩේ බෝවෙලා වගේ හෙමින් හිනාවෙන්ට පටන්ගත්තා.
“නිලමෙට මතකද අර ඒජන්ත උන්නාන්සේ දවල් කෑමට මෙහෙ ආවා මැනිකේ නැති දවසක?”
“උඹට මගෙ සුදු කමිසයක් අංඳලා ‘අප්පු’ කියලා කතා කරපු දවසද?”
දෙන්නට කතා කරගන්ට ඉඩ දීලා ජයසේන අක්කත් එක්ක මිදුලට බැස්සේ කෝරලේ මැනිකේ හෙමින්ම ගේ ඇතුලට ගියාට පස්සෙයි.
“මල්ලිට දැන් තේරෙනවද අප්පච්චී මෙහෙ එන්ට ඕනෑ කියන්නේ ඇයි කියලා? කෝරලේ මහත්තයටයි අප්පච්චිටයි තියෙන්නේ එකම ප්රශ්නේ - ඉස්සර කරපු දේ ගැන කතා කර කර ඉන්ට කෙනෙක් නෑ….”
“මං හිතුවේ කෝරලේ මහත්තයා අප්පච්චිට වැඩකාරයෙකුට වගේ සලැකුවේ කියලා…අඩු ගානේ ඒ දවස්වල”
“නෑ මල්ලී…දෙන්නා ඒ දවස්වල යාලුවෝ වගේලු….අපෙ ලොකුඅත්තා කොරලේ මහත්තයගෙ අප්පච්චිගෙ ගොඩ මඩ ඉඩම් වල වැඩ කරාට”
“ඒ දවස්වල මම කෝරලේ මහත්තයට පුදුම බයක් තිබුනේ…අර උඩුරැවුලයි අතේ තිබුන බස්තමයි එක්ක!”
“ඒක කෝරලේ වැඩේට ඔබින ඇඳුම…ආරච්චි මහත්තුරුන්ට එහෙම ඒ කාලේ හරි සැරයිලු. හැබැයි ගෙදරටයි ගමේ අයටයි එහෙම නෑ….වැරැද්දක් නොකරොත්!”
“මෙහෙ මොනවද අක්කා කෙරෙන වැරැදි? ලොකුම දේ කවුරුහරි වෙන කාගෙවත් කෙහෙල්කැනක් හොරෙන් කපන එක විතරයි. ඒක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි”
“ඒක ඇත්ත….හැබැයි ඊට වැඩිය ලොකු වැරැදි නොකෙරුනේ සමහරවිට කෝරලේ මහත්තයා වගේ අය ඒ අයගෙ රස්සා හරියට කරපු නිසා වෙනටත් පුලුවන් නේද?”
“හ්ම්…වෙන්ට පුලුවන්…හැබැයි කතා කරකර ඉන්ට ඉස්සර හිටපු ආරච්චි මහත්තුරු, වෙල් විදානෙලා එහෙම නැද්ද? ඒ අයත් එක්ක නේ ඒ දවස්වල වැඩ කරේ”
“ඒ අය ඉන්නේ මේ කිට්ටුව නෙවෙයි නේ…කෝරලේ මහත්තයා වගේම ඒ අයත් වැඩිය එහෙ මෙහෙ ගමන් යන්නෙ නෑ…සමහරු මැරිලත් එක්ක….ඔය ඉඳලා හිටලා අප්පච්චිත් එක්ක පරන කතා මතක් කරන එක තමයි තියෙන එකම විනෝදේ”
කමලා ආයෙත් කතාව පටන්ගත්තේ බිම බලාගෙන.
“මල්ලී හිතුවෙ නැතිඋනාට අපෙ අප්පච්චිට අම්මටත් දැන් නිලමෙට වගේම වයස ගිහින්… ඉස්සර ඒ දෙන්නනෙ කඩේ වැඩ සේරම කරේ. අර ටිකිරිබංඩට කඩේ බාරදුන්නට පස්සේ අප්පච්චී දැන් ඒ පැත්තේ යන්නේ කලාතුරකින්. අම්මා යන්නෙම නෑ. ඉතින් දවසේ පැය විසිහතරක් තිස්සේ කරන්නේ මොනවද, කතාවටවත් කවුරුවත් නැත්තම්?”
“දෙන්නම පංසලේ හොඳ දායකයෝ නේද? ආයෙ එලවලු එහෙමත් වවනවා නේද ගේ පිටිපස්සේ?”
“මල්ලී මාත් හිතුවේ එහෙම තමයි…හැබැයි දවස් කීපයක් මෙහෙ ඉන්නකොට තමා තේරෙන්නේ දෙන්නගෙ කරදර…එකක් ඉස්සර වගේ දැන් ජීවිතේ පිලිවෙලක් නෑ - කඩේ අරින වහන වලාවල්, හවසට අය වැය බලන වෙලාව, බඩු ගේන දවස්, බැංකු යන දවස්, පඩි ගෙවන දවස්….මේ වගේ කාල සටහනට කරපු බොහෝම දේ දැන් නෑ. අනික, දෙන්නට කොහොමටත් පුරුදු නෑ දෙන්නා විතරක් වාඩිවෙලා ‘සතුටු සාමීචියේ’ යෙදෙන්ට…කතා කරන්ට දෙයක් නෑ වගේ….ඒ නිසා දෙන්නා දවසේ වැඩි හරියක් තමංගෙ හිත් ඇතුලෙමයි ජීවත්වෙන්නේ. මේක හිතටත් ඇඟටත් දෙකටම හරි නෑ. ලොකු ලෙඩක් තවම නැති උනාට දෙන්නගෙම ඇඟ දුරුවල වෙනවා…මට පෙනෙන හැටියට දෙන්නටම ඉස්සරට වැඩිය තරහ යනවා…ඒකත් ඒ දෙන්නා අතරේ විතරයි; පිට අයට එහෙම නෑ….මේවා හොඳ ලකුනු නෙවෙයි මල්ලී…”
ගෙදරින් පිට උනාට පස්සේ දෙමව්පියන්ගෙ ජීවිත ගැන ජයසේන වැඩිය හිත යොමුකරේ නෑ. පොඩිකාලේ පටන් ‘ප්රශ්න විසඳන්නෝ’ හැටියට මිස ‘ප්රශ්න ඇත්තෝ’ හැටියට ඔහු කවදාවත් දෙමව්පියෝ දැක්කෙ නෑ. නමුත් අක්කා කියන හැටියට දැන් අම්මටයි අප්පච්චිටයිත් ඒ අයගෙම ප්රශ්න තියෙනවා.
“අක්කා කියන්නේ මොකද්ද අපිට කරන්ට පුලුවන්? ඇත්තටම මම ගෙදර වැඩිය ආපු නැති නිසා මේවා දැක්කෙ නෑ…”
“ඒක පුදුමයක් නෙවෙයි…මමත් ඉස්කෝලේ නිවාඩුකට ඇවිත් සුමාන දෙකක් ඉන්නකොටයි මේවා දැක්කේ…අම්මානම් ගෙදර වැඩ ටිකවත් කරගෙන ඉන්නවා. අප්පච්චිටත් කරන්ට මොකවත් තියෙනවනම් දෙන්නටම හොඳයි”
“ඇයි ඉතින් අප්පච්චී නිතරම කෝරලේ ගෙදර යන්නෙ නැත්තේ? එතකොට නිතරම කයිවාරු ගහ ගහ ඉන්ට පුලුවන්… මේ දැන් වෙනවා වගේ”
මෙහෙම කියලා ජයසේන ඉස්තෝප්පුවට එබිලා බැලුවා. දෙන්නා තවම හරි වැදගත් දෙයක් ගැන කතා කරනවා වගේ…පත්තර කෑල්ලකුත් බල බලා.
“ඒක කරන්ට අප්පච්චී කැමැති නෑ - කරදරයක් වෙයි කියලා. නමුත් මං හිතන්නේ එහෙම නොයන්නේ ඒක එක විදිහක ණයගැති කමක් කියලා හිතලා. අප්පච්චිට ණය කියන වචනෙත් අරහං - පරන කඩ කාරයෙක් නිසා!”කමලා මෙහෙම කියලා හයියෙන් හිනා උනා.
“මොකද්ද විහිලුව?” කියාගෙන කෝරලේ නිලමේ එලියට බැස්සා බොහොම පරිස්සමෙන්. මුදලිහාමි ඒ පිටිපස්සෙන්ම ආවා.
“නෑ මොකුත් නෑ නිලමේ….අප්පච්චී - දැන් අපි ගියොත් හොඳයි නේද?”
සමු ගැනීම්වලට ඒ තරම් වෙලාවක් ගියෙ නෑ.
“ජයසේන අපිටත් ඉඳලා හිටලා ලියුමක් එව්වට කමක් නෑ, වැඩ කටයුතු වලට බාදාවක් නොවෙන විදිහට”
“හොඳයි නිලමේ…අපි ගිහින් එන්නම්”
……….
ආපහු ගෙදර එන අතරමගදී ජයසේනට ආයෙත් තම පවුලේ කඩේ දැකගන්න ආසාවක් ඇති උනා. කමලත් එක්ක කතා කරගන්න අදහස් කීපෙකුත් හිතේ තිබුන නිසා මුදලිහාමී නැතුවයි යන්න ඕනැ උනේ.
“අක්කා අපි සිරා හම්බුවෙලා එමුද? මගෙ හොඳම යාලුවානේ ඒ දවස්වල”
ජයසේන දන්නවා මුදලිහාමී සිරිවර්දනට වැඩිය කැමැති නැති බවත් ඒ නිසා ගමනට එක් නොවන බවත්.
“එහෙනං රෑ වෙනකං ඉන්ට එපා” කියලා මුදලිහාමී ගෙදර පැත්තට හැරුනා.
“මොකද මල්ලී හදිස්සියේ සිරා හම්බුවෙන්ට ඕනෑ? මං හිතුවේ දැන් සිරත් එක්ක වැඩිය යාලු නෑ කියලා”
“මට එහෙ යන්ට ඕනැකමක් නෑ…අක්කත් එක්ක කතාකර ගන්ට දේවල් තියෙන නිසයි එහෙම කිව්වේ - එතකොට අප්පච්චී එන්නෙ නැති බව දන්නවා!”
දෙන්නා හිනා වෙවී පාර දිගේ පාර හංදිය පැත්තට ගියා.
“මං හිතුවේ අක්කා හංදියෙන් කාරෙකක් කතාකරගන හෙට උදේ පිටත් වෙන්ට, ඔය තුන්දෙනත් එක්ක. අක්කා අකමැති නෑ නේ එන්ට? අප්පච්චිලා කැමති කරගන්ට පුලුවන්වෙයි නේද?”
කමලා මල්ලිගෙ පිටට පාරක් ගහලා හයියෙන් හිනා උනා.
“හොර ගෙඩියා! කොච්චර දවස්ද ඔය තීරනේ අරන්? අපිට කවද්ද කියන්ට හිටියේ? මට ගෙදර එන්ට බැරි උනානම්? අනික, ඇයි උදේ යන්නේ ෆ්ලයිට් එක රෑ නම්?”
“එක සැරේට එක ප්රශ්නයයි, හොඳද?...මම මේක තීරනේ කරේ කොරලේ ගෙදර මිදුලේ, අක්ක කියපු දේ අහලා. මම බෝඩිමට ඇවිල්ලා යනවා වගේ නැතුව මුලු පවුලම කටුනායක ගමන ගියොත් හොඳයි කියලා එතකොටයි හිතුනේ…ආයෙ කවදා ලැබෙයිද මෙහෙම ගමනක් යන්ට? ආයෙ මෙහෙම අවස්තාවක් නොඑන්ටත් ඉඩ තියෙනවා…අනික් ප්රශ්නේ…අපි උදේ යන්නේ…මම හිතුවේ කෙලින්ම අපෙ බෝඩිමට ගිහින්, දවල්ට මොකවත් කාලා, කොළඹ වටේ පොඩි රවුමකුත් ගහලා, අප්පච්චිටයි අම්මටයි ටිකක් හාංසිවෙන්ටත් ඉඩ දීලා රෑ කටුනායක යන්ට. මං දොලහට එතෙන්ට ගියහම ඔයගොල්ලට පුලුවන් තුන හතර වෙනකොට ගෙදර එන්ට…”
කමලා ජයසේනගෙ අත අල්ලලා ටිකක් මිරිකුවා. මල්ලී දිහා බලනකොට ඇගෙ ඇස් දෙකේ කඳුලු තිබුනා.
“ඒක හරිම හොඳයි මල්ලී…මං අම්මයි අප්පච්චියි කැමති කරවා ගන්නම්…බෝඩිමේ ඉඩ ඇතිද අපි සේරටම පැය කීපයක් ඉන්ට?”
“බෝඩිම ගැන බයවෙන්ට එපා…ගාමිනීලට කිව්වොත් උන් හවසට කොහෙවත් යයි අපිට ගෙදර දීලා”
“අම්මල අප්පච්චිලා කොළඹ ගිහින් නැතුව ඇති දැන් අවුරුදු ගානකින්…අනික මල්ලිගෙ බෝඩිම දකින එකත් ලොකු දෙයක්…අපි අර නිමල්ගෙ කාරෙක කතා කර ගත්තොත් පිට කෙනෙක් එක්ක යනවා වගේ දැනෙන්නෙත් නෑ…මේක නියමයි මල්ලී…පින් ඈ?”
“මම තව එකක් හිතුවා අක්කා…අප්පච්චිට කෝරලේ ගෙදර යන්ට එක්ස්කියුස් එකක්…”
“කොහොමද මල්ලිගෙ තොරතුරු කියන්ටද?” ඒක ඒ තරම් හොඳ අදහසක් කියලා කමලා හිතුවෙ නෑ.
“නෑ…මතකද කෝරලේ මහත්තයා කිව්වා වෙලා තිබුනොත් ලියුමක් එහෙම එයාටත් එවන්ට කියලා…මං හිතුවේ අප්පච්චිට ලියන හැම ලියුමෙම තව පිටුවක් ලියන්ට කෝරලේ මහත්තයට දෙන්ට කියලා….එතකොට ඒක අරගෙන යන්ට එපැයි”
කමලට තවම විස්වාස නෑ වැඩේ ගැන.
“මටවත් නොලියන මල්ලී සුමාන පතා කොරලේ මහත්තයට තියා ගෙදෙරටවත් ලියන එකක් නෑ….පලවෙනි මාසේ කරයි හැබැයි ඊට පස්සේ අපෝවෙයි”
“අක්කගෙ කතාව ඇත්ත…නමුත් මගෙ ක්රමය ඊට වඩා කට්ටයි! මම මාස දෙක තුනකට සැරයක් ලියුම් මිටියක් ලියනවා ගෙදරට - එදිනෙදා වෙනදේ නෙවෙයි සාමන්ය ප්රවුර්ති - මැන්චෙස්ටර් ගැනයි, විශ්වවිද්යාලේ ගැනයි, රට ගැනයි, බාසාව, කෑම වගේ දේ ගැනයි - දන්නැද්ද මිනිස්සු අහන්ට කැමති දේ…ඒවා පිලිවෙලට තියලා මම අක්කට පර්සල් කරලා එවන්නම්. අක්කා මිටියේ උඩින් පටන්ගෙන එකක් සතියකට දෙකකට සැරයක් අප්පච්චිට යැව්වොත් අනික් ටික නිකම්ම වෙයි… අ….අප්පච්චිගෙ එව්වා අක්කට එන්නේ ඇයි? මම අක්කට ලියන ලියුම ඇතුලේ දාලා තමයි සේරටම ලියුම් එවන්නේ තැපැල් ගාස්තු අඩුකරගන්ට!...හොඳද ක්රමය?”
“මල්ලී උඹෙ ක්රමයත් උඹ වගේමයි…හරිම කට්ටයි! ඒකද කොහෙද උඹ මට වඩා ඉගෙනගත්තෙත්! නමුත් වැඩ කරන්ට ඉඩ තියෙනවා…අඩු ගානේ මටත් ලියුම් එනවානේ”
අක්කයි මල්ලියි වැඩ ඉවරකරගෙන ගෙදර ආවේ අප්පච්චිටයි අම්මටයි අලුත් ප්රවුර්ති දෙන්න නොඉවසිල්ලෙනුයි.
කාලෙකට පස්සේ එදා රෑ මුදියන්සෙලාගෙ ගෙදර සද්ද බද්ද වලින් පිරුනා. මුදියන්සෙයි බංඩාරමැනිකෙයි කතා කරන සද්දේ, කමලයි ජයසේනයි කෑ ගහන/හිනාවෙන සද්දේ, පිඟන් කෝප්ප වල සද්දේ - වෙනදා මේ වෙලාවට සද්ද සපයන රැහැයියොත් අද අයින් වෙලා වගෙයි දැනුනේ. පහුවදා ගමනට ගෙදර අය ලෑස්ති උනේ බලාපොරොත්තු නොවූ තරම් සන්තෝසෙකිනුයි.