උදව්වට කෙනෙක්

කාශ්යප රජ තුමා තම රාජධානිය පිදුරංගල පලාතට ගෙනෙන්න තීරනය කලේ සහෝදර මුගලන් කුමාරයට ඇති බයක් නිසාම නොවෙයි. කාශ්යපට ඕනෑ උනේ තම පියාගේ මතකයෙන් සහ පවුලේ අනික් අයගෙන් ඈත්වී අලුත් අගනුවරක් ඇතිකරගන්නයි.

තම නැන්දාගේ පුත්ර මිගාර කුමාරයා ධාතුසේනයන්ගේ හමුදා අදිපති වුවත් ඔහු තමාගේ පැත්ත ගැනීමෙන් පසු කාශ්යපට පැහැදිලිවූයේ එයින් මුගලන් කුමාරයාගේ බලය බොහෝ දුරට හීනවී ගිය බවයි. ධාතුසේන මහරජතුමාගේ රාජධානිය ඔටුන්න හිමි මුගලන් කුමාරයාට අහිමිකොට කාශ්යපට බලෙන් උදුරාගන්න හැකිවුනේ මිගාරගේ සහය නිසයි. ධාතුසේනයන්ගේ අභාවෙන් පසුව මුගලන් පලාතෙන් පැනලා ගියේ කොහෙන් හරි තව හමුදාවක් රැස්කරගෙන එන සිතිවිල්ලෙන් බව කාශ්යප දැනගෙන හිටියා. මුගලන්ගෙන් ආක්රමනයක් යම් දවසක සිදුවිය හැකි බවත්, එයින් ගැලවීමට යම් යම් උපක්රම අවශ්ය බවත් ඔහු දැන සිටියා. නමුත් තමාගේ ඕනෑ එපාකම් වලට වැඩිය අලුත් රාජධානිය පිහිටවීම එතුමාට වැදගත්යයි හිතුනා.

අළුත් රජමාලිගයක් සෑදීමට සුදුසු ප්රදේශයක් සොයාගැනීමේ සිතුවිල්ලෙන් කාශ්යප රජතුමා පිදුරංගල පලාතට ආවේ මිගාර මහ සෙනවිතුමා ඇතුලු කුඩා බලකායක් සමගයි. කැලෑව මැද පිහිටි රියන් 400කට වැඩිය උස පිට්ටු ගෙඩියක් වැනි පර්වතය එතුමාගේ සිහියට නැගුනේ ආරක්ශා සහිත තැනක් ලෙසටයි. පර්වතය මත මාලිගාවක් තැනීමට තරම් තැනිතලා කොටස් ඇති බව දැන සිටි රජ තුමා පර්වතය අවට තැනිතලා බිමින් ගඩොලක් සේ අහසට ඇදුන පවතයයේ සිරස්වූ පැති දුටුවේ තමාගේම ආරක්ශාවට ඇතිවූ දේ ලෙසයි.

පොඩි කාලේ මේ පලාතට දඩයමේ ඇවිත් තිබුන කාශ්යප මහ කැලේ මැද පිහිටි පර්වතය ගැන දැන හිටියා. මුව දඩයමේ ගිය එක ගමනකදී ඔහු මිගාරගෙන් මේ ගැන ප්රශ්න කලා.

“මිගාරට පුලුවන්ද හිතන්න මේ පර්වතේ උඩට යන හැටියක්”

“ම්….අර නුග ගස්වල මුල්වල එල්ලිලා පුලුව්න් වෙයි…මම ගිහින් බලන්නද?”

“නෑ අපි පුංචා යවමු….ඌට බිත්තියක උනත් නගින්න පුලුවන්…”

පුංචාට දුන් උපදේශ බොහොමයි….වපසරිය මනින්නත්, තියෙන ගස් වැල්, ඉන්න සත්තු, සර්පයෝ, කුරුල්ලෝ මොකුන්ද බලාගන්නත්, වැහි වතුර එකතුවෙන තැනුත් ඒ අතරින් වැදගත් උනේ. පුංචගෙ සොයාගැනීම් වලින් කාශ්යප වඩාම වැදගත්යයි හිතුවේ පර්වතේ මුදුනේ සෑහෙන වපසරියකින් යුතු තැනිතලා බිමක් තිබීමත්, එහි සිට සිට හතරවටේ විහිදී ඇති තැනිතලා පොලව බොහොම දුරක් යනතුරු පැහැදිලිව පෙනීමත්ය. මෙය ඇසූ කාශ්යපට ඇතිවූයේ පර්වතේ මුදුනේ දවස් කිහිපයක් ගතකිරීමේ විශාල ආශාවකි.

කාශ්යප කුමරු මෙන් නොව කාශ්යප රජතුමා පර්වතය මුදුනේ කාලය ගතකිරීම දුටුවේ සිත පිනවීමේ කාර්යක් ලෙස නොව ගත ආරක්ශා කිරීමේ උපක්කරමයක් ලෙසයි.

රජතුමා වශයෙන් තම රාජධානියේ කේන්ද්රය ලෙස පර්වතය මුදුනේ මාලිගාවක් ඉදිකිරීමේ අදහස මිගාර ඇතුලු ඇමැති මංඩලයට පුදුමාකාර දෙයක් හැටියට දැනුනෙ නෑ. මහරජතුමාට එය ඕනෑ වන්නේ කුමන හේතුවක් නිසාද කියා ප්රශනයක් මතුවූවෙත් නෑ. එතුමාට ඕනෑනම් එය එලෙසම වියයුතු බව ඔවුන් දැන හිටියා. නැගුන පලවෙනි ප්රශ්නය වූයේ මේ අදහස ඉශ්ඨ කල හැක්කේ කෙසේද යන්නයි. නමුත් රජතුමාගේ අණයක් නැතුව ඔවුන්ට හැකිවූයේ ඒ පිලිබඳ සිතා බැලීම පමනයි.

මේ බැරෑරුම් කාර්ය පිලිබඳ අදහස් උදහස් ලබාගන්න මැති ඇමැති වරු රටේ සිටි දක්ශම කාර්මික ෂිල්පීන් වෙත පනිවිඩ යැව්වා. ඔවුන්ගේ අදහස වූයේ සැලසුම් අධියරයේ සිට ඉදිකිරීමේ කටයුතු දක්වා මනාලෙස කාර්ය සම්පූර්න කිරීමට ෂිල්පීන් සුලු ගනනකින් කල නොහැකි බවයි. විශේෂ කාර්මික නිපුනතාවන් ඇති දක්ශයෝ රටේ සෑම දිසාවකින්ම ගෙන්වීමට ඔවුන් ලකලෑස්ති වූයේ ඒ නිසයි. නමුත් මහරජතුමා ගත්තේ මීට සම්පූර්නයෙන්ම වෙනස් මාර්ගයක්. කාශ්යප තම කුටියට ගොස් ඇඳේ වැතිරී ගත්තේ ප්රශ්නයට යම් උත්තරක් කරුංකා ගෙන් ලැබෙන බව සහතික ලෙස දැනගෙනයි.

කාශ්යප කුමාරයා වයස එකොලහක් පමණ කාලයේ සිදුවූ අනතුරකින් ඔහුගේ ජීවිතයට විශාල වෙනසක් සිදුවුනා. රන්මසු උයනේ පිහිනනවිට ඔලුව ගලක වැදී හිසේ අමාරුවකින් ඇඳේ වැතිරී සිටින කුමාරයාට අමුතු කටහඬක් අසෙන්න පටන් ගත්තා. ඒ කටහඬේ අයිතිකරු තමාගේ නම ‘කරුංකා’ බවත්, අනාගතේ වෙනදේ ගැන තමා යමක් දන්නා බවත් කුමාරයාට කියා සිටියා. කරුංකා කාශ්යප කුමාරයාට කතාකලේ අමුතු විදිහකට - රජ වාසලකට ඔබින ගරු හරු කම් සම්පූර්නයෙන් අමතකකොට සම තත්වයේ කෙනෙකු ආමන්ත්රනය කරන ලෙසයි කරුංකා කතාකලේ. එමෙන්ම කරුංකා පාවිච්චිකල සමහර වචන කුමාරයා දැනහිටියේ නෑ. තමාට වැටහෙන හැටියට කරුංකා හිටියේ ‘පෝස්ට්’ කියලා භාශාවක් කතා කරන ‘ෆේස්බුක්’ නම් රටක.

පලමු හමුවීම් වලදී ඔහුගේ භාශාව තේරුම් ගැනීමත් ඉතා අපහසු වුවත් පසුගිය වසර පහලවේ කුමාරයාට කරුංකාගෙ බසගැන හොඳ දැනුම ලබාගැනීමට හැකිවුනා. ඒ පමනක් නොව අවශ්ය ලෙස කරුංකා කැඳවා ගැනීමේ හැකියාවත් ටිකින් ටික දියුනු කරගනයි තිබුනේ. අද කාශ්යප කරුංකා කැඳවාගත්තේ තම මාලිගාව ගොඩනැගීමගැන අදහස් ලබා ගන්නයි.

“මොකද කාශ් රජකම් කරලා ඇඟට අමාරුද ඇඳේ වැටිලා ඉන්නේ?”

“මම කරුංකා එක්ක කතා කරන්න හැකිවෙයි කියන බලාපොරොත්තුවෙන් ඇඳට ආවේ…නමුත් රජකමෙන් ඇඟට අමාරු කතාවත් ඇත්ත. ඉස්සර වගේ සෙල්ලමෙන් කල් ගෙවන්න බෑ…මිගාර එක්ක විතරයි සාමාන්ය විදිහට කතාකරන්නවත් පුලුවන්. අනික් සේරම බිම දනගහලා, ඔලුව බිම තියලා මං කියන ඕනෑ දේකට එකඟ වෙනවා…මම අහස කොලපාටයි කිව්වොත් දැන් ඉන්න සමහර ඇමැතියෝ වහාම වියන් බඳින්න කොලපාට රෙදි සොයන්න මිනිස්සු යවනවා…උදේ නැගිටපු වෙලාවේ පටන් මහ රෑ නින්දට යනකම් ඇමතියෝ, සොල්දාදුවෝ, මාලිගාවේ සේවකයෝ, රට පුරා ඉන්න නිලදාරියෝ වගේම ගොවියෝ වගේ අයත් හිතන්නේ ඕනෑම ප්රශ්නෙකට මංලඟ උත්තර තියෙනවා කියලා…බැඳගත්ත බෙරේ තමා ඉතින්…”

“ඉතින් ඇයි රජකම අතෑරලා දාන්නෙ නැත්තෙ?”

“හඃ…මුගලන්ට රට දෙන්න? මළත් ඒකනම් කරන්නේ නෑ!”

“…අ….ඒක හොඳයි…අනුරාධපුරේම ඉන්නද අදහස නැත්තම් අළුත් මාලිගාවක් ගැන හිතුවද?”

“ඒක ගැන තමා මට කතාකරගන්න ඕනෑ…කරුංකා දන්නවද පිදුරංගලට කිට්ටුව තියෙන පර්වතයක්? කෙසෙල් කොලයක් උඩ පිට්ටු ගෙඩියක් තියලා වගේ අවට තැනිතලා බිමෙන් කෙලින්ම ඉහලට නගින්නෙ?..”

“ඔවු මං ඒක හොඳට දන්නවා…මොකද්දෝ ’…ගිරිය’ කියල නේද ඒකට කියන්නේ?”

“මං දන්න තරමින් ඒකට නමක් නෑ…සමහරු ‘මහගල’ කියලා කියනවලු…මම ඒක දැක්කේ කාලෙකට ඉස්සර මෙහෙ දඩයමේ ආපු දවසක. මම මනුස්සයෙක් ගල උඩට යවලා ඒක ගැන හුඟක්දේ සොයාගත්තා…මම කැමතියි ඒ ගල උඩ මගෙ මාලිගාව හදාගන්න….මොකද කියන්නේ? මේක හීනයක්ද හැබෑකරගන්න පුලුවන් දෙයක්ද? මං හිතන්නේ කරුංකා මේ ගැන දන්නවා…”

“…ඔය සිහිනේ හැබෑ කරගන්න කාශ්යපට පුලුවන් බව මම හොදින්ම දන්නවා…මට මතක හැටියට මං එකසැරයක් කියලත් තියෙනවා කාශ් වැදගත් නගරයක් ඉදිකරන බව…ඒක වෙන්නේ ඔය ගල් පර්වතේ කේංද්රය කරගෙන තමයි….”

“පර්වතේ අවට වැඩ ඒ තරම්ම අම්මරු වෙන්නෙ නෑ…නමුත් ඒක උඩ….?”

“ලොල්!”

“මොනවටද ලොල්? මට තේරුනේ නෑ…”

“ලොල් කිව්වේ ඒක හයියෙන් හිනා වෙන්න වටින දෙයක් නිසා…අපෙ භාශාවෙන්…රජකෙනෙකුට තියෙන්නේ අණ දෙන එක විතරයි…අනික් අය වැඩ කරයි කොහොම හරි…”

“ජලය පාලනේ වගේ දේ ගැන මගෙ ආසාවක් නැතත් මේ ඉදිකිරීම මමම බලාගන්න ඕනෑ….මට ඕනෑ විදිහට කරන්න් පුලුවන් වැඩකාරයෝ ඕනෑ…මගෙ සමහර ඇමැතියන්ට මේක බාර දුන්නොත් මට ගහක් යට තමා ඉන්න වෙන්නේ… අ…ඒකත් ‘ලොල්’’ ද?”

“’ලොලේ ලොල්’ – හොඳටම හිනහ වෙන්න වටිනවා. මම දන්න තරමට කාර්මික ෂිල්පියෝ මෙහෙ අඩුවක් නෑ….හැබැයි හොඳම පෙලේ කලමණාකාරයෙක් ඕනැ වෙනවා, කාර්මිකයෝ, කලා කාරයෝ, වඩුවෝ, කම්කරුවෝ වගේ සියලුදෙනාගෙම වැඩ වෙලාවට වගේම හරියට කෙරෙනවද බලන්න….කිව්වට තරහවෙන්න එපා…මේක කාශ්ටවත්, මිගාරටවත්, වෙන හමුදා නිලදාරියෙකුටවත් ඇමතියෙකුටවත් කරන්න බෑ….අලුත්ම පන්නේ කෙනෙක් ඕනෑ….”

“ඔය කියන්නේ කරුංකම මේ වැඩේ බාරගන්නවා කියලද…ඒක කොහොමද කරන්නේ කරුංකා කියලා කෙනෙක් මම දැකලාවත් නැති එකේ?….හීනෙන් උපදෙස් දීලා කරන්න පුලුවන් දේ නෙවෙයි මේ…මගෙ කාලේ නාස්තිවෙනවා විතරයි….කරුංකා මාත් එක්ක විහිලු කරනවද?” කාශ්යප මහරජතුමාට ටිකක් තරහ ගිහින්. නමුත් කරුංකා ඒකට බය බවක් වචනෙන් දැනෙන්නෙ නෑ.

“විහිලුවක් නෙවෙයි…මේ රාජධානියේම කෙනෙක් ඉන්නවා ඒ වැඩේට”

“මෙහෙ? මිනිහා මොන තනතුරකද දැන් ඉන්නේ? වහාම මෙහාට කැඳවා ගන්න කටයුතු කරනවා ඔය කියන තරම් හොඳනම්!”

“…පොඩ්ඩක් ඉවසන්න….මිනිහා කිසිම තනතුරක නෑ…ගොවියෙක්…නමුත් හැම ශාස්ත්රයක්ම හදාරලා තියෙනවා…මගෙන් අහන්න එපා කොහොමද කියලා…”

“දැන්මම රජපුරුශයෝ යවන්න පුලුවන් ගොවියා මෙහාට ගෙනෙන්න…”

“මිනිහගෙන් බලෙන් වැඩගන්න බෑ රජකෙනෙකුටත්…නමුත් මධ්යම පෙලේ නිලදාරියෙක්, මිනිහත් එක්ක හරි විදිහට කතා කලොත් මේ වගේ වැඩක් අතාරින එකක් නෑ. නමුත්රාජ අණක් කියලා දැනුනොත් ආයෙ මෙහෙ ඉන්නෙ නෑ….”

“කවුද මේ අමුතු මිනිහා?”

“නම ‘දුනුකාර’ – මුහුදුබඩ පැත්තෙන් ඇවිත් තියෙන්නේ. මහ පංසලෙන් දැනගන්න පුලුවන් ඉන්නෙ කොහෙද කියලා…මිනිහගෙ සහෝදරයා හාමුදුරු කෙනෙක්…සහෝදරියකුත් ඉන්නවලු…”


මේ සාකච්චාවෙන් පස්සේ කාශ්යප මහරජතුමා මිගාර සෙනෙවියත් සමග දුනුකාරගෙ සහය ලබාගන්න හැටි ගැන සෑහෙන වෙලාවක් අදහස් හුවමාරු කරගත්තා. මිගාර පෙර සිට කරුංකා ගැනත්, ඔහු ගෙනෙන ප්රවුර්ති ගැනත් දැනගන සිටි නිසා ‘දුනුකාර’ නැමති කෙනෙක් මාලිගාව ඉදිකිරීමේ කාර්ය බාර කිරීමට තෝරාගැනීම ගැන අමුතු පැහැදිලිකිරීම් අව්ශ්ය උනේ නෑ. නමුත් මෙවැනි දක්ශතා ඇති කෙනෙක් දැනටම රාජ සේවයට නොබැඳී සිටීම ගැන ඔහු පුදුම උනා. සාමන්ය ගොවියෙකුට මේ කාර්ය කල හැකිද යයි සැකයකුත් ඇතිඋනත් එය මහරජතුමාට දැක්වූවේ නෑ.

“මහරජතුමනි, හොරොව්වේ අදිකාරමගේ වැඩිමල් පුත්ර දුනුකේ බංඩාර මේ දුනුකාර කියන මනුස්සයා හමුවෙන්න යවන්න සුදුසුයි මම හිතනවා. එයට හේතු කීපයක් තියෙනවා. පලමුවෙන්ම හොරොව්වේ අදිකාරම් බෝහෝ කාලයක් ඔබතුමාට පක්ශපාතව ක්රියා කලා, තමාගේ ජීවිතය පවා බිලිදෙන්න කැමැත්තෙන්, දෙවෙනියට, දුනුකේ බංඩාරගෙ බාල සහෝදරයා මහ පංසලේ පැවිදි වෙලා ඉන්නේ - ඒ නිසා දුනුකාරගෙ පැවිදි සහෝදරයා හමුවීම අමාරු වෙන්නෙ නෑ. තුන්වෙනියට, දුනුකේ බංඩාර පෙනුමෙන් අහිංසක වුවත් තියුනු මොලයක හිමිකාරයෙක්. ඒ වගේම ඔහු දුනුකාර මෙන් සම වයසේ. මේ සියල්ල වැදගත් කියලා මට හිතෙනවා, මහරජතුමනි”

“මිගාර කියනදේ ඇත්ත…මම කැමතියි මිගාර කෙලින්ම දුනුකේ බංඩාරටත් ඔහුගේ පියාටත් කතා කලොත්. නමුත් වැඩිය යමක් කියන්න ඕනැ නෑ - මේක රහසක් ලෙස තියාගතයුතු බව හොඳින් හිතට කාවදින ලෙස ඔවුන්ට හඟවන්න”

………………………….

“දුනුකේ බංඩාරට මගෙ අයියා හමුවෙන්න ඕනෑ කිව්වේ?”

“එහෙයි හාමුදුන්නේ…”

“ඔබ තුමාටද, නැත්තම් ඔබතුමාගේ පියාටද, එහෙමත් නැත්තම් රජවාසලේ කෙනෙකුටද මේ හමුවීම ඕනෑ කියන්නේ….හ්ම්…?”

බොරුවකින් මේ ප්රශ්නයෙන් ගැලවිය නොහැකි බව දුනුකේ බංඩාරට වැටහුනා. එමෙන්ම මෙතැනදී කියයුතු වචනත් සිහියට නැගුනා.

“ඇරයුම ඇත්තටම ආවේ රජවාසලෙන්…නැගී තිබෙන යම්කිසි ප්රශ්නයකට දුනුකාරයන්ගේ අදහස් විමසන්නයි….මා දන්නා තරමින් අලුත් නගරයක් ඉදිකිරීම සම්බන්දෙන්…”

ස්වාමීන්වහන්සේ දුනුකේ බංඩාර දිහා බලාගෙන හිටියේ කටින් නොකියවූදේ ඔලුවෙන් කෙලින්ම ඇදගන්න වගේ තියුනු ඇස් දෙකකින්. ගිහියා බිම බලාගත්තේ පැවිද්දගෙ ඇස්දෙකේ සැර ඉවසන්න බැරිවූවිටයි.

“මම අයියට කියන්නම්”

“හාමුදුන්නේ මට පුලුවන් දුනුකාර හමුවෙන්න එයා කැමති තැනකදී…කොහෙද කියලා කිව්වොත්…?”

“අයියා සොයාගනී ඔබතුමාලා ඉන්නා තැන…හමුවෙන්න තීරනේ කලොත්….”

“රාජ අභිමතය….?”

“…ගැන අපි කතාකලේ නෑ. ඔබ තුමාටයි අයියා හමුවෙන්න ඕනෑ. අයියටත් ඕනැනම් හමුවෙන්න එයා ඒක ගැන බලාගනී”

ස්වාමීන්වහන්සේ සාකච්චාව අවසන් බව පෙන්නුම්කර අසුනෙන් නැගිට්ටා. දුනුකේ බංඩාරත් වහාම “අපිට අවසර, අපෙ හාමුදුන්නේ” කියා බනමඩුවෙන් ඉවත්ව ගියා.

දුනුකාර පවුලේ අය මීට පෙර රජවාසලත් සමග කිසිම සම්බන්දතාවයක් නොතිබුන නිසා මේ හදිසි කැඳවීම ගැන කුතුහලයක් ස්වාමින්වහන්සෙට ඇතිවුනා. තම සහෝදරයත් සහෝදරියත් සමග වහාම සාකච්චා කලයුතු දෙයක් ලෙසයි උන්වහන්සේ මෙය දුටුවේ. මේ තීරනයෙන් පසු උන්වහන්සේ කෙලින්ම ගියේ තම භාවනා කුටියටයි. එයට හේතු උනේ රට පුරා නොඇවිද පවුලේ අය හමුවීමට පහසු ක්රමයක් උන්වහන්සේ දැනගෙන හිටි නිසයි.

දුනුකාර පවුලේ දෙමව්පියෝ අනතුරකින් මියයනවිට පිරිමි දරුවන් දෙදෙනා වයස 12 සහ 10 සිටි අතර ගැහැනු දරුවා අට වසරේ විය. සෝමාවතිය අසල හේන් ගොවිතැනින් ජීවත්වූ ඔවුන් තම හේනට වල් අලි පැනීමෙන් මරනයට පත්වීමෙන් පසු දරුවන් තිදෙනා වෙන වෙනමයි වැඩුනේ. පන්සලේ වැඩුනු දෙවැනි දරුවා පැවිදි ජීවිතයටත්, වැඩිමලා ගොවි සහ කාර්මික ෂිල්පී වැඩ වලටත්, බාල කෙලී වෙද හෙද කමටත් බරව ජීවිත හැඩගසා ගත්තේ තමා බලාගත් අයගේ නැබුරුවන් අනුවයි. සෝමාවතියෙත් ඉන් පසු අනුරාදපුරයෙත් තමතමන්ගේ නානාප්රකාර ජීවිත ගෙව්වත් තිදෙනා අතර තද බැඳීමක් සහ ආදරයක් කුඩාකල පටන් තිබුනා. මෙයට එක හේතුවක් වූයේ තිදෙනාගේ තිබුන විශේෂ හැකියාවක්වූ ‘මොලෙන් බැලීමයි’.

පලමුවෙන්ම ‘මොලෙන් බැලීම’ සිදුවූයේ අහම්බෙන්. දරුවන් තිදෙනා වෙන්වූ අලුත දිනක් වැඩිමලා, තම මල්ලී හා නංගී නැති පාලුව නිසා, තනියම ඇල වේල්ලක් ලඟ වාඩිවී නංගී ගැන හිතුවා. ඔහුගේ හිතේ හිබුනේ දෙමව්පියෝ නැති නංගීට ඉන්න ගෙදර අය වෙනස්කම් කරයිද කියලා. ටික වේලාවකින් ඔහු වේල්ලේ වතුර මත නංගිගේ චායාවක් දුටුවා. පෙනුනේ නංගී මිදුල අතුගානවා. අයියට කඳුලු ආවේ නංගී මියගිය නිසාද මෙහෙම පෙනෙන්නේ කියලා. නමුත් නංගිත් කෙලින්ම අයිය බැලුවා, හරියට ඉස්සරහ ඉන්න කෙනෙක් දිහා බලනවා වගේ. ඒ වෙලාවෙම දෙන්නා හිතෙන් ප්රශ්න උත්තර හුවමාරුකරගන්නත් හැකි බව දැනගත්තා.

දරුවන් තිදෙනාටම මේ හැකියාව ඇතිබව සනාථ කිරීමෙන් පසුව ඔවුන් ‘මොලෙන් බැලීම’ තව දුරටත් දියුනු කලා. තිදෙනා කතා කිරීමත් එක එක්කෙනා ඉන්නා තැන් බැලීමෙන් අනතුරුව මීට පෙර නොදන්න පලාත් බැලීමත් ඒවායේ ශබ්ද වලට කන්දීමටත් පුරුදු උනා. මේ අනුවමයි ඔවුන් තිදෙනා අනුරාදපුරේ එන්න තීරනයකලේ. ‘මොලෙන් බැලීමේ’ හැකියාව වෙන කිසි කෙනෙකුට නොකිව්වත් ඔවුන් එය තමාගේ දියුනුවට මගක් ලෙස පාවිච්චි කලා. අනාගතේ සහ අතීතේ දැකීමත් ඈත රටවලට පවා ‘මොලෙන් යෑමේ’ හැකියාවෙනුත් ඔවුන් තමා තෝරගත් ක්ශේත්රයේ දැනුම ටිකින් ටික මුවාත් කරගත්තා. එදින තිබූ තාක්ශන අනුව කලහැකි බොහෝදේ ඔවුන් හැදෑරුවා. උතුරු ඉන්දියාවෙන් භාවනා ක්රම, ඉන්දියාවෙන් සහ බොහෝ ඈත රටවලින් වෙද හෙද කම් මෙන්ම නව ගොවි සහ කාර්මික නිපුණතාව තිදෙනා ලබා ගත්තා. කොතරම් නව දැනුම සහ නිපුණතාවන් ලැබුවත් එකල සාමාන්ය ජනයා අතර තිබූ නිපුණතා පහත්කොට නොසලකා ඔවුන් තමාගේ ජීවිත ගෙව්වේ සාමන්ය ජනයා ලෙසමයි. එනිසාම ඔවුන් රජවාසල සමග සම්බන්දකම් පැවැත්වීමට අව්ශ්යතාවයක් දුටුවේ නෑ.

………………..

“අයියට හිතාගන්න පුලුවන්ද ඇයි රජවාසලට අයියා දකින්න ඕනෑ කියන්නේ කියලා?”

“නෑ නංගී…මම මාලිගාවේ වැඩ කරන කිසි කෙනෙක් දන්නෙත් නෑ…”

“නමුත් කවුරුහරි අයිය ගැන දන්නවා…තව මොන මොනවා ඒ අය දන්නවද අපි ගැන?”

“දැට්ස් වට් වොරීස් මී”

දුනුකාර පවුලට වෙන කරදරයක හෝ අනතුරක ලකුනු දුටුවොත් වැඩිමහල් දුනුකාර කැලැඹෙන බව අනික් දෙන්නා දන්නවා. කැලඹීමේ පලවෙනි ලකුන වෙන බාසාවකින් කතා කිරීමයි. මේ තිදෙනාම ඒ බාසාව ඉගෙනගත්තේ ලොව වටා ‘මොලෙන් ගමනෙන්’. නමුත් කිසි දිනක ඒ බාසාව ප්රසිද්දියේ පාවිච්චි නොකරන්න ඔවුන් පරෙස්සම් උනා.

“අයියා හිත ටිකක් එකලස් කරගත්තොත් හොඳයි මේක ගැන තීරනයක් ගන්න ඉස්සරවෙලා…” ස්වාමීන්වහන්සෙගෙ වචනෙන් කවුරුත් කතාව නවත්වලා කලයුත්තේ මොකක්ද කියලා හිතුවා.

“මම දන්න විදිහට රජවාසලේ නෙවෙයි වෙන කොහෙවත් කෙනෙක් අපෙ ‘මොලෙන් බලන’ එක ගැන දන්නෙ නෑ….ඒක අමතක කෙරුවොත් වෙන මොනවද හේතු තියෙන්නේ මට කතාකරන්න ඕනැ වෙන්න? මම දන්න තරමින් මම කාටවත් වැඩි වැරැද්දක් කරලා නෑ…එහෙම කරත් එහෙනම් මාව හොයාගෙන එන්නේ සොල්දාදුවෝ…දුනුකේ බංඩාරලා නෙවෙයි….මම කුඹුරෙයි හේනෙයි කරලා තියෙන වැඩ කොච්චර හොඳ උනත් නගරයක් හදන්න උපදෙස් ගන්න එතන මොනවත් මම කරලා නෑ…”

“සමහරවිට බැම්මක් බඳින්න වගේ සුලු වැඩකටද දන්නෙ නෑ….”

“එහෙනම් එවන්නේ සෙබලෙක් නැත්තම් වඩුවෙක් - වැදගත් පවුලක කොල්ලෙක් නෙවෙයි”

“මට තේරෙන්නේ අයියා දැනටම හිතාගෙන ඉවරයි ගිහින් ඒ මිනිස්සු හම්බුවෙන්න. මං කියන්නේ එකයි…පරෙස්සම් වෙන්න…වැඩිය මොනවත් කියන්න එපා. කරදරයක්නම් වහාම අපිට මොලෙන් කතාකරන්න…”

………..

දැන් ඒ දුනුකාර පවුලේ සාකච්චාව තිබී පෝය තුනක් ගෙවී ගිහින්. දුනුකාර දුනුකේ බංඩාරත් සමග පිදුරංගල පලාතේ පදිංචියට ආවේ පවුලේ සාකච්චාවට දවස් කීපෙකට පස්සෙයි. කාර්යයක් බාරගැනීමට පෙර ඒ පිලිබඳ සවිස්තර සමීක්ෂණයක් අවශ්ය බව දුනුකාර හොඳින් දැන සිටියා. රජවාසලෙන්ම සපයාදුන් සේවකයෝ සහ සොල්දාදුවොත්, දක්ශ කාර්මික ශිල්පියෝ කිහිපදෙනෙකුත් සමග පිදුරංගල අසල වැව් කන්ඩියේ කූඩාරම් වල ජීවිතයට ආවේ සමීක්ෂණය මසකින් කල හැකිවේයයි සිතලයි.

රජවාසලෙන් නගරය ඉදිකිරීමේ කාර්යට කැපවී සිටි අය දුටුවේ දුනුකේ බංඩාර කෙලින්ම රාජ අණෙන් කාර්ය කළමනාකරනය භාරගෙන ඇති බවයි. ඔහුගේ සහයට දුනුකාර නමින් යුත් කෙනෙක් සිටින බව කාර්යේ නිරත සියල්ලෝ දැනගත්තත් සහකාරයාගේ හැකියාවන් හෝ සේවාව ගැන කිසිවෙක් නොදත්හ. දුනුකාරටත් එය එලෙසම තියෙන ලෙස දවසේ වැඩ කටයුතු ගෙනගියා.

දුනුකාර තමාගේ කාර්ය දුටුවේ පර්වතයක් උඩ මාලිගයක් ඉදිකිරීම ලෙස නොව පර්වතය කේන්ද්ර කොට අගනුවරක් බිහිකිරීමක් ලෙසටයි. මේ අනුව ඔහු දුනුකේ බංඩාරට කියා සිටියේ තමා මාලිගාවත් ඇතුලු මුලු අගනුවරම ඉදිකිරීමට අවශ්ය සැලසුම් පමනක් නොව කාර්යක්ෂම ලෙස ඉදිකිරීමේ ක්රමද පෙන්වාදෙන බවයි. එයට තමා සම්පූර්න වගකීම බාර ගන්න බවත් ඔහු කියා සිටියා. කෘතෝපාකාර ලෙස තමා බලාපොරොත්තුවෙන්නේ තමාගේ දැනුම සහ කාර්මික විසඳුම් ගැන කිසිම ප්රශ්නයක් නොඇසීමත් තමාගේ තීරණ අකුරටම පිලිපැදීමත්ය. සාමන්ය ගොවියෙක් මෙසේ කොන්දේසි ඉදිරිපත් කරන්න තැත් කරානම් ඔහු දැනටම දුනුකේ බංඩාරගේ උදහසට ලක්වී දඬුවම් ලබනවාට සැකයක් නෑ. නමුත් දුනුකාර හැසිරුනෙත් කතාකලෙත් වෙනත් ලෝකෙකින් ආ කෙනෙක් වගෙයි. වැඩිය කතාවට ලැදිකමක් නොපෙන්වුවත් කතාකරන වෙලාවේ ඔහු හැම වචනයක්ම පරෙස්සමෙන් තෝරාගෙනයි පාවිච්චිකලේ. මේ නිසා ඔහුගේ කතාව අසන්නෙකුට දැනුනේ දුනුකාර කියන දෙයක් ඉතාම ඕනෑකමින් මෙන්ම ඉතසිතින් විශ්වාසෙට ගතහැකි ලෙස කියන බවයි.

“මට දවස් තුනක් හතරක් පර්වතේ උඩ නවතින්න ඕනෑ….සොල්දාදුවෝ කීපදෙනෙකුත් දක්ශ ගල්, උලු ගඩොල්, ලී සහ ලෝහ වඩුවෝ කිහිපදෙනෙකුත් ගමනට අවශ්යයි. මගපෙන්වන්නෙක් හිටියොත් වැඩියම හොඳයි. දුනුකේ බංඩාරත් එන්න වෙනවා කළමනාකරනය වෙනුවෙන්…”

“ඉස්සරවෙලා පර්වතේ අවට බිම හතර දිසාවට ගව්වක් විතර දුරට යනකම් බැලුවොත් නරකද?”

දුනුකාර දුනුකේ බංඩාර දිහා බැලුවේ කෝපයෙන් නොව කනගාටුවෙනුයි.

“මාලිගාවක් නැති නගරයක්….? මම මෙහෙම කිව්වට තරහවෙන්න එපා…මේක සැලසුම් කරන්නේ මම. සැලසුම ක්රියාත්මක කරන්නේ ඔබතුමා, මගේ ක්රම සහ විදි පාවිච්චි කරලා. නමුත් අපි දෙන්නා අනික් සියල්ලෝම ඉදිරියේ එකමුතු බවක් පෙන්නුවේ නැත්තම් මේ වැඩේ අපිට කවමදාවත් කරගන්න බෑ. ඒ නිසා, මට අධාර දෙන්න ඉදිකිරීමේ වැඩ පටන්ගන්නකම් - ඉන් පස්සේ මම ඔබතුමාට අධාර දෙන්නම් ඔනෑ විදිහකට….”

පර්වතේ උඩ නැවතුන දවස් හතේදී දුනුකාර දුනුකේ බංඩාර සමග කතා කරේ කලාතුරකිනි. පහල කඳවුරෙන් ගෙනා කඹවල සමදුරින් නූල් ගැට ගසා, ගෙනා කෙවිටි වල කට්ටා කපා දිග මනින උපකරන සදා ගැනීමට ඔහු පලවෙනි දින වරුවක් ගතකලා. මේ කාර්යට ඔහු සේවකයෝ තිදෙනෙක් පමනයි උදව්වට ගත්තේ. තම මල්ලෙන් එලියට ගත් හීන් උන පුරුකකින් සැදූ ජල මට්ටම බැලීමේ උපකරනයේ පාවිච්චිය දුනුකාර පෙන්වූවෙත් මේ සේවකයන් තිදෙනාට පමනයි. රියන් දෙකක් පමන සුදු රෙදි කිහිපයක් ඔහු මල්ලෙන් එලියට ගත්තේ අඟුරු කැට කීපයකුත් සමගයි - “මනින දේ ඇඳගන්න, ලියාගන්න…” ඔහුගේ කටින් පිට උනේ සේවකයන්ගේ ප්රශනවලට උත්තර වශයෙනුයි.

දිනපතා උදේ තම සේවකයන් සමග පිටත්වූ දුනුකාර නැවත ඔවුන්ගේ තාවකාලික කඳවුරට ආවේ කෑමටත් නිදාගැනිමටත් පමනයි. දුනුකේ බංඩාරත් සොල්දාදුවෝ කීපදෙනෙකුත් ඔවුන් පසුපස කීපවරක් ගියත් දුනුකාර ඔවුන් සිටිබවත් සම්පූර්නයෙන්ම නොසලකා තමාගේ වැඩකටයුතුවල යෙදුනා. හතරවෙනි දින දුනුකාර සියල්ලෝටම පෙනෙන, නමුත් නොඇසෙන, ලෙස දුනුකේ බංඩාරට සිතියම විස්තර කර දුන්නා.

“ඉර පායන්නේ මේ පැත්තෙන්…මෙතන මාලිගාවේ ඇතුළු කොටස ඉදිකලොත් අපිට පුලුවන් අවට ගොඩනැගිලිත් මළුවත් මේ ස්වභාවික විෂමතා අනුව ගොඩනගන්න. ඒ වගේම පොකුනු උද්යාන වැනි දේ මෙන්න මේ විදිහට සකස්කරන්න පුලුවන්. වැහි ජලය එකතු කිරීම සහ කසළ අපහරනය ගැන තව හිතන්න ඕනෑ...මාලිගාවට පෙනෙන විදිහට පර්වතේ පාමුල උද්යාන සෑහෙන දුරකට ඇදී යන්න ඕනෑ - ඒවා මම පසුව ලකුනු කරන්නම්. නමුත් මේ උද්යාන වලට වටෙන් දිය අගලක් ඉදි කරන්න ඕනෑ….”

“ඒ ආරක්ශාව සඳහාද?”

“ආරක්ශාව එක හේතුවක්…නමුත් අනික් හේතුව වන්නේ අගනුවරේ රාජකීය භාගයේ කෙලවර ලකුනු කිරීමයි. රටවැසියෝ තමාගේ ගෙවල්, කුඹුරු, හේන් සාදා ගන්නේ එයින් පිට….ආරක්ශාවට පර්වතය මත අපිට පුලුවන් මුර පොලවල් ඉදිකරන්න ඕනෑම පැත්තකින් එන තර්ජනයක් කල් තියා දැකගන්න හැකි විදිහට….”

“දුනුකාර පර්වතේ පාමුල ඉඩම් ගැනත් හිතලා වගේ…මැති ඇමති වරුත් හමුදා බලකායේ කඳවුරුත් ඇරුනුකොට වෙන මොනවද දිය අගලට ඇතුලෙන් ඉදිවෙන්නේ?”

“…මං හිතුවේ ඒ කිසිකෙනෙක් ඇතුලේ තියා නොගන්න…මුලු පලාතම උද්යාන කරන්න…පොලවේ ස්වභාවික පිහිටීම, ගල්ගෙඩි විසිරීම, ජල පහරවල් වැනිදේ අනුව එක එක තාලේ උද්යාන ගොන්නක් ඉදිකරන්න පුලුවන් කල් පවතින ලෙසට…”

“ඒවා කරන්න ඉස්සර මේ පර්වතේ උඩ වැඩ කරන්නේ කොහොමද කියලා හිතුවද? ඔය කියන විදිහට ගල් ගඩොල් උඩට ගෙනෙන්නේ නුග ගස් වල එල්ලිලද? මහරජතුමත් එන්නේ එහෙමද?” දුනුකේ බංඩාරගෙ හිනාවට දුනුකාරගෙන් හිනාවක් ලැබුනේ නෑ.

“ගොඩ නැගිලි ඉදිකරන කාලේ ගල්, පස් පුරවලා පාරක් හදනවා මුදුනට. බඩු ගෙනෙන්න සුදුසු බෑවුමක් ඇතිවෙන්න පුරවන පාරේ දිග අඩුම ගනනේ පර්වතේ උස තරම්ම තියෙන්න ඕනෑ. පලල අඩුම ගනනේ කරත්ත දෙක තුනක පලලට ඕනෑ….මං දන්නවා මේක හදන්න කාලයක් යන බව. නමුත් ඒ කාලේ අපේ වඩුවන්ට පුලුවන් ගල් කැඩීම, උලු ගඩොල් පිච්චීම, දොර ජනෙල් සෑදීම වැනි දහසක් දේ කරන්න…මේක කාල විනාසයක් නොවෙයි - පාර ඉදිකරන්නේ සාමාන්ය කම්කරුවෝ, කාර්මික ශිල්පියෝ නෙවෙයි”

“මේ පාර මාලිගාවේ ආරක්ශාවට හානියක් නේද?”

“මාලිගා අඩවිය, ඒ කියන්නේ පර්වතේ උඩ ඉදිකිරීම, සම්පූර්න වූ වහාම පාර ඉවත් කරනවා. ඒ වෙනුවට රජකෙනෙකුටත් ඔබින පඩිපෙලක් ඉදි කරනවා…පලමුවෙන් මාලිගාවේ වැඩ ඉවර කිරීමේ තව වාසියක් මහරජතුමාට තම මාලිගාවේම සිට උද්යාන ඉදිකිරීම දැකගත හැකියි”

දුනුකේ බංඩාරටත් ටිකින් ටික වැටහෙන්න පටන්ගත්තා දුනුකාරගෙ මොලය වැඩ කරන හැටි.

…….

“මම කිව්වා නේද දුනුකාර පොර නියමයි කියලා වැඩේට?”

“පොරයක් තිබුනෙ නෑ…මාලිගාවත් අවට උද්යානත් දිව්යලෝකයක් වගේ…පඩිපෙල ලඟ සිංහ රූපය මම දැකපු ලොකුම පිලිරුව…ඒ නිසාම මම අගනුවරට ‘සිංහගිරි’ එහෙම නැත්නම් ‘සීගිරි’ කියලා නම තියනවා…කරුංකා කොහොමද මේ දුනුකාර කියන මිනිහාගැන දැන ගත්තේ? අනික කොහොමද මේ තරම්ම දක්ශයෙක් වෙන්න මේ ශිල්ප ඉගෙනගත්තේ?”

“සමාවෙන්න කාශ්…ඒවා මට කියන්න බෑ…කොහෙද දැන් මිනිහා? රාජ අණකින් ඇස් එහෙම අන්ධ කරලා දැම්මද?...මං දන්නවානේ රජවරු ගැන!”

“මං දන්න තරමින් අර අලුත් ඇමති දුනුකේ බංඩාරට වැඩ බාරදීලා මිනිහා කොහෙද කුඹුරක් කොටනවලු! දුනුකේ හොඳ ඉඩමක් දුන්නලු ගෙදරක් හදාගන්න එහෙම…දැන් කසාදෙකුත් බැඳල නිසා”

“ඒක හොඳයි…දුනුකාර මුලු රටටම වටිනවා….කිසි දෙයක් වෙන්න ඉඩ අරින්න එපා”

“නෑ…කරුංකා කිව්වා වගේම චමත්කාර අගනුවරක් ඉදිඋනා…මට හරිම සන්තෝසයි….අ…ලොල්!”

“ලොලේ ලොල් …ජයවේවා කාශ්යප මහරජතුමානනි…ටටා.