උන්හාපිගේ අමුතු දර්ශනය
අසේලයි මමයි මැච් එක බලලා හවස අපෙ ගෙදරට එනකොට හයත් පහුවෙලා.
එයාගෙ ගෙදර ටිකක් නගරෙන් ඈත නිසා අද රෑ අපෙ ගෙදර නැවතිලා හෙටත් මැච් බලලා හවස ගමේ යන්න මිනිහා ගෙදරින් අවසර අරගෙනයි ඇවිත් තිබුනේ. අපෙ ගෙදර පිට්ටෙනියෙන් ඒ තරම් ඈත නැති නිසා මගෙ පංතියේ ලමයි මීට ඉස්සරත් අපෙ ගෙදර රෑ නැවතිලා තියෙනවා. උසස්පෙල විභාගේ එකම විශයන් ඉගෙන ගන්න අපි දෙන්නා සමහරවිට පාඩම් ගැනත් ටිකක් හරි සාකච්චා කරයි කියලා අපෙ දෙමව්පියෝ සිතන්න ඇති. ඒ අතින් බලනකොට දෙමව්පියෝ තමංගෙ ළමයි ගැන දන්නේ බොහෝම ටිකයි කියලා ඕනෑ කෙනෙකුට තේරෙනවා.
සාමාන්යෙන් අපේ ගෙදර මේවෙලාවට තේ බොනවා. හැබැයි හවස තේ එක්ක කන්න යමක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. අද මුං කැවුමුයි කෙසෙල් ගෙඩියි මේසේ උඩ.
“කොහෙන්ද අම්මා මේවා?”
“ඔපිසර නිලමේ ගෙනල්ලා…”
“කෝ එයා?”
“ඔන්න තාත්තත් එක්ක ටවුම පැත්තේ ගියා. රෑ වෙනකොට එයි”
“හා….අම්මට මතකයි නේද මේ අසේල? මීට ඉස්සර මෙහෙ ඇවිත් තියෙනවා. අද රෑ හිටියට කමක් නැද්ද?”
“ඒකට මොකද?”
අම්ම අසේල එක්ක හිනා උනා. “කොහොමද ආයෙත් මැච් පැරදෙනවා බලන්නද ආවේ?”
“නෑ ඇන්ටි…මේ සැරේ පැරදෙන එකක් නෑ…හැබැයි දිනයි කියලා හිතන්නත් අමාරුයි”
“අම්මා ඔපිසර නිලමෙත් රෑ ඉඳියිද?”
“ඔවු…දැනටම එලියේ කාමරේ ලෑස්තිකරලා තියෙන්නේ…පුතාම මේ පුතාටත් නිදන්න හදලා දෙන්න…ඔපිසර නිලමේ හිටියා කියලා කාටවත් කරදරයක් නෑ”
ඔපිසර නිලමේ කියන්නේ අපෙ අම්මගෙ මාමා කෙනෙක්. ඒ කියන්නේ අපෙ සීය කෙනෙක්. නමුත් එයාට කවුරුවත් නෑකමක් කියලා කතා කරනවා මට ඇහිලා නෑ. අඩුම ගානේ වයස හැත්තෑ පහක්වත් ඇති උනාට මිනිහා තවම හැසිරෙන්නේ කොල්ලෙක් වගේ. නිතරම විහිලු කරනවා, අමුතු ජාතියේ තර්ක දාලා විවාද දිනනවා, ඉඳලා හිටලා හයියෙන් සිංදු කියනවා - අමුතු ජාතියක පිස්සෙක්.
මගෙ කාමරේට ගියාට පස්සේ මම අසේලටත් කිව්වා ඔපිසර නිලමෙ ගැන.
“මචං නියමයි ඔපිසර නිලමේ ඉන්න එක. මාර පිස්සු පොර. හැබැයි කතාකරලා බේරෙන්න බෑ”
“කවුද මෑන්? උඹෙ නෑයෙක්ද?”
“ඔවු බං අම්මගෙ මාමා. හැබැයි සේරම මිනිහට කතාකරන්නේ ඔපිසර නිලමේ කියලා…එයාගෙ ළමයිත් එහෙමද කොහෙදෝ!”
“අලි කෙලියනේ…ඇයි ඒ?”
“එයා කියන්නේ එතකොට කිසි අවුලක් නෑ කියලා - සේරම දන්න නිසා කවුරු ගැනද කතා කරන්නේ කියලා…ඒකෙන්ම උඹට හිතාගන්න පුලුවන් පොරගෙ ඔලුව වැඩකරන හැටි!”
………
අපෙ ගෙදර සිරිතක් තියෙනවා රෑ කෑමට ඉස්සර පැයක් දෙකක් ඉස්තෝප්පුවේ වාඩිවෙලා කතා කර කර ඉන්න. රෑ කෑම කවදාවත් නමය හමාරට ඉස්සර හම්බුවෙන්නෙ නෑ. ඒ නිසාමද කොහෙද හයට හයට හමාරට විතර අපි තේ බොන්නේ. පිට කෙනෙක් ඇවිත් හිටියොත් සමහරවිට හපන්න මොනවත් ලැබෙනවා තේ එක්ක. තාත්තගෙ යාලුවෙක් හරි ඔපිසර නිලමේ වගේ කෙනෙක් හිටියොත් තාත්තා ඒ අයත් එක්ක බීම වීදුරුවකුත් ගන්නවා. නමුත් වෙනස් වෙන්නෙ නැති එක දෙයක් තමා අපෙ හවස ‘සමිතිය’. දවසේ සිදුවූ දේ පමනක් නෙවෙයි දේශපාලන ප්රවුර්ති, අලුත අහපු විහිලු වැනි ඕනෑම දෙයක් මේ වෙලාවේ කතා වෙන්න පුලුවන්. එකම නීතිය තමා කියනදේ ඉස්තෝප්පුවේ ඉන්න සියලු දෙනාටම යන්තම් හරි ගෑවෙන්න ඕනෑ. මේ නීතියේ එක හොඳක් තමා පාසැල් වැඩ ගැන වැඩිය කතා නොවෙන එක. අද සභාවේ මුල්තැන ගත්තේ ඔපිසර නිලමෙයි.
“මේ ළමයත් උපුල්ගෙ පංතියෙද?”
“ඔවු…අ…අ…ඔවු”
“මට සේරම කියන්නේ ඔපිසර නිලමේ කියලා. මේ ළමයත් එහෙම කිව්වට කමක් නෑ. නම මොකද්ද?”
“අසේල…ඔපිසර නිලමේ”
මට හිනා ගියා අසේල නුපුරුදු ආමන්ත්රනයක් පාවිච්චි කරනකොට. තාත්තා මා දිහා බලලා හෙමින් ඔලුව හෙල්ලුවා එහාට මෙහාට, මං කලදේ වැරැදි බව පෙන්වන්න. ඒ නිසාම වෙන්න ඇති තාත්තා කතාකලේ.
“මේ අසේල මෙහෙ ඇවිත් තියෙනවා මීට ඉස්සර. ගෙවල් හතරලියද්දේ නිසා අද මෙහෙ නැවතිලා හෙටත් මැච් බලලා යන්නයි ඇවිත් ඉන්නේ”
මට පුදුමයි තාත්තා මේවා දැනිම්ම ගැන.
“මේ ළමයි දෙන්න හිතලා තියෙනවද මැච් එකක් ගහන වෙලාවේ සිය ගනන් නරඹන්නෝ හරියට පැති දෙකකට බෙදෙන හැටි….මං කියන්නේ, වෙනදා පංතියේ කා කොටා ගන්නා අයත් මැච් එක වෙලාවේ සාමූහිකව තමාගේ කංඩායම පිටිපස්සෙන් ඉන්නවා, ඕනැ නම් අනික් පැත්තට රුකුල් දෙන්නොත් එක්ක ගුටි කෙලගන්න උනත්…හ්ම්…?”
මම මේ ප්රශ්නේ මීට ඉස්සර අහලා තිබුනා.
“ඒ වෙලාවට තෝරාගන්න පුලුවන් වෙන්නේ සෙල්ලම් කරන පැති දෙකකින් එකයි - මුලු සෙනගම දෙකට බෙදුවාම එක පැත්තක වෙනදා ගහගන්න අය උනත් ඉන්න එක පුදුමයක් නෙවෙයි”
“ඇත්ත…නමුත් අපි එක කංඩායමක් තෝරගන්නේ කොහොමද?”
“අපෙ ඉස්කෝලේ කංඩායම නිසා…අපෙ ඉස්කෝලේ සෙල්ලම් කරන්නේ නැත්තම් හොඳ යාලුවෝ ඉන්න ඉස්කෝලේ…ලංකාව ගහන මැච් එකක් නම් ලංකා කංඩායමට, ලාංකිකයෝ හැටියට…”
“එංගලන්තෙයි ඔස්ට්රේලියාවයි ගහන මැච් එකක”
“මම ඔස්ට්රේලියාවට…සාමන්යෙන්”
“මම ඒ දෙකෙන් එක පැත්තකටවත් නෑ” ඒ අසේලගෙ උත්තරේ.
“අසේල හරි….උපුල්ට ඇයි පැත්තක් අල්ල ගන්න ඕනෑ ඒ මැච් එකේ?”
“…පැත්තක් ඇල්ලුවාම මැච් එක වැඩිය ඉන්ටරස්ටිං…ඇයි කියලා දන්නෙ නෑ”
මෙතෙන්දී අම්මා ප්රශ්නයක් ඇහුවා තාත්තගෙන්.
“ඔයා චංදේ දෙනකොට පක්ෂ තෝරනවා වගේද මේ අය ක්රිකට් කංඩායම් තෝරගන්නෙත්?”
“අපෙ පවුල ඔය කියන්නේ මම හැමදාම පැරදෙන පැත්ත අල්ලන නිසා!” තාත්තා හිනාඋනා.
“ඔයා පක්ෂේ තෝරන්නේ පැරදෙන්න හිතාගෙන නෙවෙයි…මිනිස්සු අනික් පැත්තට චංදේ දේන්නේ ඔයා ඒ පක්ෂේ තෝරගත්ත නිසා නෙවෙයි”
“අමිතගෙ කතාව හරි… පැති වලට බෙදෙන්න හේතු ගොඩාක් තියෙනවා…නමුත් අපි එක පැත්තකට බැඳුන නිසාම යමක් වෙනවා කියලා කියන්න බෑ”
“එහෙම වෙනසක් කරන්න බැරිනම් ඇයි අපි පැති වලට බෙදෙන්නේ?” මට පුදුම හිතුනා අසේල ප්රශ්නයකුත් අහපු එක ගැන.
ඔපිසර නිලමේ ටිකක් වෙලා කතා නැතුව හිටියා. ආයෙත් කතාව පටන් ගත්තේ බීම උගුරකුත් බීලයි.
“අපි යම් කිසි අවස්තාවක එක පැත්තක් ගන්නේ, ඒ කියන්නේ වෙන පැත්තකට හරි පැති කිහිපයකට විරුද්ද වෙන්නේ, අපි ගන්න පැත්තේ දිනීම බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. අපේ පුද්ගලික දිනීමයි අපි වැඩියම බලාපොරොත්තුවෙන්නේ. අපෙ පැත්තත් දිනුවොත් වඩා හොඳයි නමුත් තමා දිනන එකයි වඩා වැදගත්”
මේකට තාත්තයි අම්මයි දෙන්නම විරුද්දව කතා කරා. ඒ දෙන්නා හිතුවේ මිනිස්සු ඒ තරම් ආත්මාර්තකාමී නෑ කියලයි.
“ඔපිසර නිලමේ ලෝකේ සේරම කුහකයෝ වගේද සලකන්නේ? හොඳ හිතෙන් වැඩ කරන අය නැද්ද ලෝකේ?”
“ඉන්නවා…ඇත්ත වශයෙන්ම ඉන්නවා…නමුත් මම කතා කරන්නේ සාමන්ය මිනිස්සු ගැන මිසක් ඒවගේ සාන්තුවරයෝ ගැන නෙවෙයි. සාන්තුවරයෝ ලෝකේ ඇත්තේ සියයට දසම බිංදුවයි එකක් විතර. අනූනමයයි දසම නමයයි නමයක් අපි වගේ බයියලා - පැති බදාගෙන බඩ වඩාගන්නෝ”
ඒ වචන ටික ටිකක් සැරයි වගේ දැනුන නිසාද කොහෙද ඔපිසර නිලමේ ඊලඟට කතා කරේ බොහොම හිමින්.
“මේක මගේම අදහසක් නෙවෙයි…’උන්හාපි’ කියන දර්ශනවාදියා මේවා ලස්සනට පෙන්වාදීලා තියෙනවා…මම පොඩි පරීක්ෂනයකින් මේක පෙන්වන්නද?”
“පරීක්ෂනයක් කියන්නේ විභාගයක්ද?” මගෙ හිතේ තියෙන්නේ අවුරුද්ද අන්තිමේ විභාගේමයි.
“නෑ…බලන්න මේ වීදුරුව දිහා…”
ඔපිසර නිලමේ තමාගේ බාගෙට පිරුනු වීදුරුව උස්සලා අපිට පෙන්නුවා. හරහට ඉරි වැටිලා තිබුන වීදුරුවේ එක ඉරක් බීම මට්ටමටම තිබුනා.
“මේක අපිට ‘උන්හාපි මානයක්’ හැටියට පාවිච්චි කරන්න පුලුවන්. දැන් හිතාගන්න මේ ඉරෙන් උඩ කොටස ‘අපි’ කියලත් ඉරෙන් යට කොටස ‘උන්’ කියලත්. ආයෙ හිතාගන්න මේ වීදුරුවේ තියෙන බීමෙන් පෙන්වන්නේ ජනගහනයේ සාම්පලයක් කියලා….”
අපි සේරම බලාගෙන හිටියා වීදුරුවේ පරීක්ෂනය දිහා.
“දැනට ‘අපි’ කියන හරියේ බීම නෑ, වීදුරුව කෙලින් තියෙන නිසා. මේක හරියට අපි කවදාවත් අහලා නැති කංඩායම් දෙක අතරේ මැච් එකක් බලන්න යනකොට වගේ…’අපි’ කියලා කවුරුත් නෑ….අපිට මැච් එක වෙලාවේ හමුවෙනවා යාලුවෝ කීප දෙනෙක්…ඒ වගේම අපෙ පලාතේ එක්කෙනෙක් එක කංඩායමකට සෙල්ලම් කරනවා….”
මෙහෙම කියනවා එක්කම ඔපිසර නිලමේ වීදුරුව ටික ටික ඇල කලා.
“එන්න එන්න ‘අපි’ පැත්තේ ඉන්න ජන ප්රමානය වැඩි වෙනවා. ප්රතිශතයක් වශයෙන් ‘උන්’ පැත්ත අඩු වෙනවා….”
අපිට ටික ටික තේරෙනවා ඔපිසර නිලමේ කියන දේ.
“එක එක පැත්තට සහය දෙන ජනයා අඩු වැඩි වෙනවා කියලා මැච් එකට වෙනසක් වෙන්නෙ නෑනේ!” අම්මා හිතුවේ මේක නියම තර්කයක් කියලා.
“ඇත්තටම ඇත්ත. ඒකයි මම කිව්වේ පැත්ත දිනන එකට වඩා වැදගත් තමා දිනන එක කියලා”
“සහයට මිනිස්සු හිටිය එක තමාට දිනුමක් වෙන්නේ කොහොමද?”
ඔපිසර නිලමේ හිනා උනා.
“අපි ගල් වැද්දෝ කාලේ තමා මේක ඉගනගත්තේ….වලහෙක් අපි පස්සේ එලවාගෙන එනකොට සහයට කීපදෙනෙක් හිටිය මිනිහා විතරයි බේරුනේ. ඒ දවස්වල මේක සෑහෙන්න ලේ ගලන පාඩමක්. ඒහෙම ඉගෙනගත්ත පාඩම ලේසියෙන් අමතක කරන්න අපිට බෑ”
තාත්තට හිනහව නවත්තගන්න අමාරුයි වගේ.
“ඔය උන්හාපි කියන මිනිහා ඕක විතරද කිව්වේ?”
“අපෝ නෑ…උන්හාපි දර්ශනයෙන් තව බොහොම දේ පෙන්වා දෙනවා…මම මේ විදුර ඇල කරන ‘උන්හාපි මානයෙන්’ පෙන්වුවේ මැච් එකක් බලන්න යන කෙනෙක් සහකරුවන් අල්ලන හැටි…මේකට අපි කියන්නේ ‘උන්හාපි කේන්ද්රය’ කියලා. මේ පරීක්ෂනයේ ‘උන්හාපි කේන්ද්රය’ තමා ‘මැච් එකක් බලන කෙනෙක් සහය කරුවන් හඳුනා ගන්න හැටි’…ඔවු…ඔවු…මට තේරෙනවා ඒක හරිම පටු කේන්ද්රයක් කියලා. නමුත් පුළුල් කේන්ද්ර බලන්න ඉස්සර අපි බලන්න වටිනවා කේන්ද්රය හඳුනා ගත්තැන් පස්සේ අපේ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද කියලා….”
“ඒක බලන්න ඉස්සර මොකවත් කාලා හිටියොත් නරකද?” ඒ අම්මගෙ සිතුවිල්ල.
“හොඳ අදහස…හැබැයි අමිතා මට එක දෙයක් කියන්න ඉඩ දෙනවද? මම දන්නවා කෑම මේසෙට මෙතන කතා ගෙනෙන යන එකට දුව කැමති නැති බව…”
“කමක් නෑ…වැඩි වෙලාවක් යන්නෙ නැත්නම්…කෑම සීතල වෙයි”
“වෙලා යන්නෙ නෑ…මට කියන්න ඕන මේකයි - අපි මොකක් හරි පැත්තක් ගත්තැන් පස්සේ අපි කරන කියන දේ වෙනස් වෙනවා. මැච් එකේදී හෙමින් අත්පුඩි ගහන එකෙන් පටන්ගෙන, ‘ජයවේවා!’ කියලා කෑගැසීම හරහා ගුටි කෙලි වලටත් යන්න පුලුවන්…මේ හැසිරීම් වෙනස් වෙන එකයි ‘උන්හාපි මානයේ’ ඇලවීමයි අතර කිට්ටු සම්බන්දයක් තියෙනවා…ඒකයි මට කියන්න ඕනැ උනේ…”
“ඔපිසර නිලමේ කියන්නේ එක පැත්තක ඉන්න කට්ටිය වැඩි වෙන්න වෙන්න ඒ අයගේ හැසිරීම පිරිහෙනවා කියලද?” තාත්තා ඔපිසර නිලමෙගෙ කතාව විශ්වාසකලේ නෑ වගෙයි”
“නෑ…නෑ…පිරිහෙනවා නෙවෙයි…උත්සන්න වෙනවා…දැන් එහෙනම් මොනවත් හපමුද?”
…….
කෑමෙන් පස්සේ අසේලට ඉවසුමක් නෑ ඔපිසර නිලමෙගෙ කතාවේ ඊලඟ කොටස අහන්න. අම්මයි තාත්තයි දෙන්නම ඔපිසර නිලමෙගෙ කතා බොහෝමයක් අහලා තිබුනට උන්හාපි දර්ශනය ටිකක් අලුත් වගෙයි පෙනුනේ. මට නම් ඕනෑ උනේ නිදා ගන්න විතරයි. ඒ නිසාමයි මම කතාව පටන් ගත්තේ.
“උන්හාපි දර්ශනය කියන්නේ මිනිස්සු කොටස් වලට බෙදෙන හැටියි බෙදුනැයින් පස්සේ කරන දේ තේරුම් කරන විදිහයි වගේ මට පෙනෙන්නේ”
“එහෙම පෙනෙන්නේ ඇයි කියලා දන්නවද?”
“…ඒක…හරි නිසා….?”
ඒකට සේරම හිනා උනා.
“හරියටම හරි. උන්හාපි දර්ශනය කියන්නේ ඒක තමා - මිනිස් හැසිරීම් තේරුම් කරදෙන්න මාර්ගයක්”
මට සන්තෝස හිතුනා වැඩිය හිත නොයොදවා හරි උත්තරයක් දෙන්න හැකිවීම ගැන. ඒක මගෙ නිතරම තියෙන විභාග ගැන අවධානය නිසා වෙන්න ඇති.
“මැච් එකක් බලන්න යන එක ගැන ඔය තරම් දර්ශනයක් මොකටද? ගියා, ටිකක් කෑ ගැහුවා, පැරදිලා ගෙදර ආවා! මම ඉස්කෝලේ යන කාලෙනම් ඕක තමා කරේ”
තවම තාත්තා උන්හාපිය ඒ තරම් වැදගත් කියලා හිතන්නෙ නෑ වගේ.
“එහෙනම් දේශපාලන පක්ෂයකට බැඳුනොත් උන්හාපි දර්ශනය ඊට වඩා වැදගත් වෙනවද?” ඔපිසර නිලමේ තාත්තගෙන් කෙලින්ම ඇහුවේ තාත්තගෙ දේශපාලනේට තියෙන ඇල්ම ගැන දැනගෙනයි.
“ආංඩුවක් තෝරන එක ලොකු වගකීමක්…ඒ නිසා…මැච් එකකට වැඩිය දේශපාලනේ වැදගත් බව ඇත්ත. නමුත් ඔපිසර නිලමෙම කිව්වා උන්හාපි දර්ශනය අනුව පෙන්වන්නේ තමාගේ පුද්ගලික දියුනුවටයි පැත්තක් අල්ලන්නේ කියලා. එහෙනම් ඒ දර්ශනයෙන් දේශපාලනේට වැඩක් නෑ,, මට හිතෙන්නේ”
“සෙනරත් කියන්නේ ඒක උන්හාපි දර්ශනයේ වැරැද්දක්ද දේශපාලනයේ වැරැද්දක්ද?”
“කාගෙවත් වැරැද්දක් නෙවෙයි…ඒ දර්ශනය අනවශ්යයි කියලයි මම කියන්නේ”
ඔපිසර නිලමේ කට කොනකින් හිනා උනා.
“මැච් එකයි චංදෙයි උදාහරන වල එක සමාන වැදගත් කමක් තියෙනවා. ඒ දෙකේදිම අපි උන්හාපි කේන්ද්රය තෝරගන්නේ අපිට ඕනැ විදිහට…ඕනැනම් එක පැත්තකින් අනික් පැත්තට පනින එකත් අමාරු නෑ…උදාහරනයක් වශයෙන් ගත්තොත්. ඇමැති කමක් ලබාගන්න පක්ෂෙ මාරු කරන අය උන්හාපි මානය සම්පූර්නෙන් අනික් පැත්ත හරවනවා. ඒ කිව්වේ මානය ඇල කරලා නෙවෙයි…ඒකේ ලේබල් වෙනස් කරලා! ඉස්සර ‘උන්’ කියපු කොටසට දැන් ‘අපි’ කියලා දාගන්නවා…. එතකොට ඒ අය හිටියා වගේම උන්හාපි දර්ශනයට භාජන වෙනවා…ඒ අයගේ හැසිරීම් අලුත් විදිහට හැඩ ගැහෙනවා…යාලු මිත්රයෝ වෙනස් වෙනවා….පරන සගයන්ට හූ කියනවා….මේවා උන්හාපි දර්ශනයේ වැරදි නෙවෙයි…මිනිස්සුන්ගෙ වෙනස්වීම් විතරයි. උන්හාපියට පුලුවන් මේ හැසිරීම් තේරුම් කර දෙන්න”
ඒ ටිකක් දිග කතාවෙන් පස්සේ පොඩි නිහඬ තාවයක් පැතිරුනා. අංතිමට අසේල ප්රශ්නයක් ඇහුවා, වැඩිහිටියන්ට ඉස්සර.
“උන්හාපි කතා කරන්නේ පැති දෙකක් ගැන විතරයි. නමුත් අපිට දේශපාලන පක්ෂ ගොඩක් තියෙනවා. ඒකට හරියන උන්හාපි මානයක් තියෙනවද?”
“හොඳ ප්රශ්නේ…හුඟක් අය ඔය ප්රශ්නේ මගෙන් අහනවා…වැඩිපුරම ඒගැන නොහිතපු අය”
අසේල බිම බලාගත්තා මගෙ හිනා මූන දැකලා.
“නමුත් අසේල අහපු ප්රශ්නේ උන්හාපියට මූලිකයි. හේතුව මේකයි…උන්හාපි දර්ශනයට අනුව ‘උන්’ සහ ‘අපි’ කියන ලේබල් යොදන්නේ ඒ ඒ අවස්තාවේ හැටියටයි…හිතන්න අපි හංදියේ තේ කඩයක් දාන්න හිතනවා කියලා. එහෙම අවස්තාවකදී ‘උන්’ කියලා අපි කියන්නේ දැනටමත් එතන තේ කඩ දාලා තියෙන අයයි. පලතුරු කඩෙන් අපිට තරඟයක් නෑ. ‘උන්' කියන්නේ ලෝකේ අනික් හැමදෙනාම නෙවෙයි - ඒ වෙලාවේ ‘අපි’ හිතන/කියන/කරන දේවලට අවහිරයක් වෙන අය….චංදයක් දිනන්නේ අනික් පක්ෂ සේරම විරුද්ද කාරයෝ කියලා හිතලා නෙවෙයි - අපිට වඩාම තරඟයක් දෙන පක්ෂය ‘උන්’ කරලා…තේරුනාද?”
අසේලට ටිකක් සන්තෝසයි ඒ උත්තරේට.
මට මතක් උනා තව එකක්.
“ඔපිසර නිලමේ කිව්වා මැච්, චංද වගේ දේ වල සමානකම ඒවා අපිම තෝරාගන්න නිසා කියලා. අපි තෝරාගන්නෙ නැති දේ තියෙනවද?”
“අන්න උන්හාපි දර්ශනයේ වැදගත්ම කොටස! ඔතෙන්ට එන බලාපොරොත්තුවෙනුයි මම මේ මාතෘකාව පටන් ගත්තේ…”
ඔපිසර නිලමේ ලොකු හුස්මක් ගත්තා.
“අපෙ රට, ජාතිය, ආගම, කුලය, මවු භාශාව, හමේ පාට, පොහොසත්/දුප්පත් බව, උස මහත වැනි මෙකී නොකී දේ දාහක් උන්හාපි කේන්ද්ර හැටියට ගන්න පුලුවන්….මේවගෙන් ආගම වගේ සමහර දේ මාරු කරන්න පුලුවන්…නමුත් අනික් දේ උප්පත්තියෙන්ම ලැබෙනවා….”
මේ ලොකු දහස හිතට කාවදිනකම් කතා නැවතුනා. ඔපිසර නිලමේ ඊලඟට කතාව පටන්ගත්තේ බොහොම මහන්සියෙන් වගේ පෙනුනේ.
“ලෝකේ සිද්දවෙන කුහක, කෲර, නැහැදිච්චි වැඩ බොහොමයක් වෙන්නේ මේ වගේ උන්හාපි කේන්ද්ර කරට ගන්න නිසා. ‘උන්’ ‘අපි’ට වඩා යම් විදිහකින් අඩුයි කියන එකෙන් තමා අපි වැඩපොලේ කාට හරි බනින්නෙත් ලෝක යුද්ද පටන්ගන්නෙත්…ලෙඩේ සුලු හෝ භයානක වෙන්න පුලුවන් නමුත් විෂබීජය එකයි…මට නිදි මතයි…ගුඩ් නයිට්!”
අනික අයගේ නිහඬ තාව අතරේ ඔපිසර නිලමේ නැගිටලා හෙමින් හෙමින් එයාගෙ කාමරේ පැත්තට ගියා. අම්මයි තාත්තයිත් ඒ වගේම සද්දයක් නැතුව ගේ ඇතුලට ගියා.
……………..
මට නින්ද යාගෙන එනකොටයි අසේලගෙ කටහඬ ඇහුනේ.
“මචං…උඹ නිදිද?”
“…හ්ම්ම්…?”
“ඔය උන්හාපි කෙලියේ පැති දෙකයි නම් තියෙන්නේ, අපිට බැරිද ‘උන්හාපි දර්ශනය පිලිගන්න අය’ කියලා උන්හාපි කේන්ද්රයක් දාන්න? එතකොට අපිට පුලුවන් දර්ශනය පිලිගන්නෙ නැති අයට ‘අපි’ කියන ලේබලේ දාලා, උන්හාපි කාරයන්ට ‘උන්’ කියලා, ඒ කාන්ඩේ පරද්දලා දාන්න…හැබැයි එහෙම කරොත් ඒ ක්රමය පාවිච්චි කරන්න බෑ, මොකද උන්හාපි කියලා දර්ශනයක් නැති නිසා ....ඒ කියන්නේ උන්හාපි වැරදි කියලා ඔප්පු කරන්න පුලුවන් වෙන්නේ උන්හාපි හරි නම් විතරයි….අනික් අතට….”
“අනේ කට වහගෙන නිදාගනින් බං”