කලකට පස්සේ

සමහර මිනිස්සු කියනවා කාලෙකට පස්සේ ගමේ එනකොට ගමයි ගෙදරයි සේරම හොඳටම වෙනස්වෙලා තියෙයි කියලා. බස් එකේ එනකොට මටනම් පාරේවත් ගමේවත් ඒහැටි වෙනසක් පෙනුනෙ නෑ. ගෙදර නම් තිබුනට වඩා පරනයි, පොඩියි වගේ පෙනුනේ. අවුරුදු අටක් පිට රට ඉඳලා ඊයේ රෑ කටුනායකට ඇවිත් අද උදේම පිටත්වෙලා ආවේ අම්මයි අප්පච්චියි බලන්ට. මම නංගිට විතරයි කියලා තිබුනේ එනවා කියලා. නංගිත් හෙට ගෙදර එනවා කිව්වා. මම හිතාගෙන ඉන්නේ සතියක් වත් ගෙදර ඉඳලා යන්න ආයෙත් කොලඹ වැඩ පටන්ගන්ට ඉස්සර.

මම ගෙදර එනකොට අප්පච්චි වත්ත පැත්තේ ඇවිදින්ට ගිහින්. අම්මයි ගෙදර වැඩට ඉන්න බංඩයි විතරයි හිටියේ. මං දැකපු ගමන් අම්ම අතේ තිබුන බුලත් තට්ටුව බිම වැටුනා, හරියට ගන්ටාරේ ගැහුවා වගේ සද්ද කරගෙන. අම්මා හෙල්ලුනෙවත් නෑ, පිලිමෙයක් වගේ මං දිහා බලාගෙන හිටියා. මම අම්මට වැඳලා ඉවර උනාම තමයි අපි වචනයක්වත් කතා කරේ. කඳුලු අතරෙන් අම්ම “ලොක්කී, මගෙ ලොක්කී” මුමුන මුමුනා මාව බදාගන හිටියා හුඟාක් වෙලා.

පටන්ගත්තා වගේම හදිස්සියට ඇඬීමයි තුරුලුකරගැනීමයි නැවතුනා. අපේ අම්මා ලේසියට සසලවෙන කෙනෙක් නෙවෙයි. ලොකේ පෙරලුනත් ආයෙ ඒක කෙලින් කරන්ට ඉන්නේ අපෙ අම්මා වගේ අය. අම්මා වහාම බංඩට කතා කරා.

“ඉක්මනට ගිහින් නිලමෙට කියාපං ලොකු බේබී ආවා කියලා. ඊට පස්සේ එහෙම්ම හන්දියේ කඩෙන් හොඳ කෙහෙල් ඇවරියකුයි රතු ලූනු පන්සීයකුත් අරන් වරෙන් - පොතට දාලා. යන්ට ඉස්සර කේතලේ ලිපේ තියාපං”

මේ ඔක්කොම කිව්වේ මගෙ අත තදින්ම අල්ලාගෙන.

“අනේ කෙල්ලගෙ ලස්සන…” කියලා අම්ම ඔසරියෙන් කදුලු පිහදාගත්තා. “කවද්ද ආවේ?”

“ඊයෙ රෑ කටුනායකට එනකොට. මං ඊට පස්සේ ඒ ලඟම හෝටලේක රෑ ඉඳලා උදේ පාන්දරම පිටත්වෙලා ආවේ”

“තනියෙම?”

“අම්මා පිටරට ගිහින් එන්ට පුලුවන් නම් මේ ටික මොකද්ද”

“හ්ම්.., ඇත්ත තමයි..”

අම්ම ඉස්සරට වඩා ටිකක් කෙට්ටුයි හැබැයි අසනීප ගතියක් පෙනෙන්ට නෑ. පරන කඩිසර කම එහෙමම තියෙනවා.

“අප්පච්චී එහෙම කොහොමද?”

“ආයෙ මොනවද හිටිය වගේම තමයි. වත්තේ ඇවිදිනවා. හොරු ඇවිල්ලා පොල් එහෙම කඩාගෙන යනවා කියලා කෝරලේ මහත්තයට පැමිනිලි කරනවා. මුවොයි ඌරොයි ඇවිත් වැටවල් කඩල මොකොවත් වවාගන්ට දෙන්නෙ නෑ කියලා කෑ ගහනව….කිව්ව වගේ වැඩි වෙනසක් නෑ” අම්ම හිනහ වෙනවා.

“නංගී හෙට එනවා කිව්වා”

“ලොක්කී කතා කරාද?”

“මං එන්ට ඉස්සර එහෙ ඉඳන් ටෙලිෆෝන් කරා”

අම්මා ජනේලෙන් එලිය බලාගෙන හිටියා ඇස්වල කඳුලු පුරවාගෙන. අයියා මතක්වෙලා වෙන්ට ඇති. හෙට අයියත් හිටියනම් පවුලේ ඔක්කොම ගෙදර, අපි පොඩි කාලේ වගේ.

අපෙ අයියා, පවුලේ එකම පිරිමි දරුවා හිටියේ නාවික හමුදාවේ ඉන්ජිනේරුවෙක් හැටියට. උතුරේ යුද්දේ කාලේ අයියා විනෝදෙට පැදපු බෝට්ටුවක් ගිලිලා අයියයි යාලුවෝ කීපදෙනෙකුයි නැති උනා. දැන් අවුරුදු පහක් වෙනවා. මට නංගී ආරංචිය දෙනකොට කියපු තව දෙයක් තමයි අප්පච්චියි අම්මයි තවම පිලිගෙන නෑ අයියා නැතිවෙලා කියලා.

“කොම්ප්ලීට් ඩිනායල් - මම කීපසැරයක් කතා කරන්ට බැලුවා - ගෙටින් නෝවෙයා”.

“පවුලේ වෙන කාටවත් බැරිද - දෙනියෙ මාමා වගේ කෙනෙකුට?”

“බෑ ලොක්ස් - අම්මයි අප්පච්චියි චීන මහා ප්රාකාරය බැඳගෙන ඉන්නෙ අයියා වටේ. මම තනියම ගිහින් දානයක් එහෙම දුන්නා. ඔයා ආපුවම බලමු ආයෙත් කතා කරලා. දිස් ඉස් නොට් ගුඩ්”

නංගී මෙහෙම කිව්වේ අයියා නැති උන දවස් වලමයි. ඊට පස්සෙ හුඟ සැරයක් අපි ටෙලිෆෝන් එකෙන් කතා කෙරුවට මේකට උත්තරයක් ලැබුනෙ නෑ. හෙට නංගී ආපුවාම මේක ඉවරක් කරලා දාන්ට ඕනෑ.

එතකොටම අප්පච්චී මිදුලට ගොඩ උනා.

“මං බැලුවේ මොකද්ද මේ ගඳ කියලා…මේ ලොකු එකීනේ” අප්පච්චි මගෙ ඔලුව අත ගෑවා. මම දනගහල අප්පච්චිට වැංදා”

“ඕක ආරෙට එන ගඳක්”

අපි ඉස්සර ඉඳන් කතා කරේ එහෙමයි.

“කවද්ද කෙල්ල ආවේ?”

“ඊයෙ රෑ - ඇත්තටම අද පාන්දර”

“ආයෙත් කොළඹ වැඩ කරන්ටද අදහස?”

“තවම දන්නෙ නෑ හරියට. පේරාදෙනියෙත් තියෙනවා තැනක් - ඒක ගැනත් හිත හිතා ඉන්නේ”

අපෙ සතුටු සාමීචිය මේ විදිහටම ගියා උදේ තේ බීලා ඉවර වෙනකන්. කියපු දේකුත් නෑ නොකියපු දේකුත් නෑ. අයියා ගැන වචනයක්වත් කියවුනේ නෑ හවස් වෙනකම්ම.

මම මගේ පරන කාමරේට ගිහින් ගෙනාපු මලු ඇරලා එක එක්කනාට ගෙනා තෑගි ඇඳ උඩ තිබ්බා. ගමනට ඇඳපු ඇඳුමුත් මාරුකරලා අම්මත් එක්ක කුස්සිය පැත්තේ කතා කර කර හිටියා දවල් කෑම ඉවර වෙනකන්.

“ලොක්කී ටිකක් හාන්සි උනොත් හොඳයි කාල”

“ඔවු අම්ම දැන් ටික ටික මහන්සිය දැනෙනවා”

මම නින්දෙන් ඇහැරෙනකොට වටින් පිටින් කරුවල වේගෙන එනවා. ඇඳ ලඟ නිවිලා ගිය තේ එක දැකපුවම මට හිතුනේ නැගිට්ටොත් හොඳයි කියලා. අම්මයි අප්පච්චියි එලියේ සාලේ වාඩි වෙලා තේ බොනවා. මමත් බන්ඩගෙන් තේ එකක් ඉල්ලගෙන ගිහින් සාලෙ පොඩි පුටුවක වාඩි උනා.

“මං හිතුවේ ආපහු රට ගියා කියලා”

“ඒ තරම් පිස්සුවක් තවම මට නෑ”

කතාව ටිකෙන් ටික ගෙදර වත්ත පැත්තට හැරුනා. අම්මා උදේ කිව්වා වගේ පොල් හොරෙන් කඩන මිනිස්සුයි, කෙහෙල්කැන් කපාගෙන ගිහින් ඒවා අපිටම විකුන මිනිස්සුයි පොලව හාරන බෝග වනසන ඌරොයි මුවොයි ගැනයි දිග දේශනයක් අප්පච්චිගෙන් ලැබුනා. අම්මයි මමයි කට කොනකින් හිනහ වෙවී අහගෙන හිටියා.

අප්පච්චි ඊලඟට කියපු දෙයින් හිටපුගමන්ම වාතාවරණය වෙනස් උනා.

“ලොකු එකා ආපු ගමන් මෙව්වා හදා ගන්ට බැරිවෙන්නෙ නෑ”

දැන් කාගෙවත් නෑ හිනා මුහුනක්. මට හිතුනා හදිස්සියෙම සාලේ සීතලවෙලා ගියා කියලා.

අම්මත් ඈත බලාගෙන හූමිටි දෙනවා.

“ලොකු පුතාට නිවාඩු නැතුව ඇති. යුද්දෙ ඉවර උනාට වැඩ ඉවර නෑ නොවෑ”

“ගමේ එවුන් ලොක්කට කැමතියි. එයා කිව්වොත් ආයෙ හොරු නෙවෙයි ඌරොවත් එන එකක් නෑ”

ඒ පොඩි විහිලුවෙන් කතාව ආයෙත් වෙන අතකට හැරුනා. ආයෙත් අයියා ගැන මොකොවත් කිව්වෙ නෑ.

නංගිට වගේ නෙවෙයි මටනම් මේක අතාරින්ට බෑ. ඉස්සරත් මම වැඩිය නහයට අහන්නෙ නැති කෙනෙක්.

රෑ කාලා අප්පච්චි නිදා ගත්තට පස්සේ අම්මයි මමයි මගෙ කාමරේ ඇඳේ ඉඳගෙන කතා කරකර ඉන්නකොට මට හිතුනා අයියා ගැන මතක් කරන්ට.

“අම්මා…?”

“ඇයි ලොක්කී”

“අයියා…?”

අම්මා මා දිහා බලාගෙන හිටියා ඇස්පිල්ලන් නොගහ. එක සැරේම ඉස්කෝලේ නෝනා උනා.

“අම්මා…මට නංගී කිව්වා අයියා හිටිය බෝට්ටුවක් පෙරලුනා කියලා”

අම්මා මගෙ අත අල්ලාගත්තා තදින්ම. ඇස්දෙක තවම මගෙ ඇස්දෙක දිහා කෙලින් බලාගෙන ඉන්නවා. තොල යාන්තන් වෙවුලනවා.

අම්ම කතා කරනට පටන්ගන්නකොට කට හඬ වෙනස්. සද්දේ අඩුයි. පොඩි ලමයෙකුට කතා කරනවා වගෙයි.

“ලොකු පුතා හිටිය බෝට්ටුව පෙරලුනා. කිසිම කෙනෙක් බේරුනේ නෑ ලොක්කී. ආයෙ උඹට අයියා කෙනෙක් නෑ”

මම හෙල්ලිලා ගියා. මේක දැනගෙනත් අද හවස කතා කරපු හැටි!

“අප්පච්චි ලොකු පුතාට බොහොම කිට්ටුවෙන් හිටියේ. මට බය හිතුනා පුතා නැතිඋනා කිව්වොත් අප්පච්චිට මොනවා වෙයිද කියලා. ඔය විහිලු කරකර හිටියට ඇඟ ටිකක් දුර්වලයි. ඉතින් මමත් අප්පච්චී කියන දේවලට හූමිටි තියනවා මිසක් ආයෙ අලුතෙන් මොකොවත් කියන්නෙ නෑ….මං කරන දේ වැරදිද ලොක්කී?”

අම්ම තනියම අයියා නැතිඋන දුක විඳිනවා විතරක් නෙවෙයි අප්පච්චී ගැන හිතලා ඒවා සම්පූර්නෙම්ම යටපත් කරගෙන ඉඳලා තියෙන්නේ. හිතට කොච්චර අමාරු වෙන්න ඇද්ද. අම්මයි ම්මයි සද්ද නැතුව ඇඬුවා. වක්කඩේ කැඩුවා වගේ හිතේ යටකරලා තිබුන සේරම එක සැරේම එලියට දාලා අපි දෙන්නම ඉකි ගැහුවා පැය කාලක් විතර.

“මං අප්පච්චිත් එක්ක හෙට කතා කරනවා - සමහරවිට නංගී එන්ටත් ඉස්සර. දැන් අපි දෙන්නම ටිකක් නිදා ගන්ට ඕනෑ”

“ලොක්කී මගෙ හිතට ලොකු පහසුවක් උඹ ආපු එක. හෙට කොහොම වෙයිද කියලා බලමු. තෙරුවන් සරනයි”

උදේ කෑමෙන් පස්සේ මම අප්පච්චිත් එක්ක වත්තේ ඇවිදින්ට ගියා. මේක අපි ඉස්සරත් කරපු දෙයක්. වත්තේ ඇවිදින එක බෙහෙතක් වගේ. අපි වැඩිය කතා නොකර වට පිට බල බල ඇවිද්දා. මට පෙනෙන්නේ ඉස්සරට වැඩිය වල් වැවිලා තියෙනවා. ඇලේ වතුර ඉස්සරට වැඩිය අඩුයි. අපි නාන තැන ගල් පොත්තත් ඉස්සරට වඩා පොඩී වගේ පෙනෙන්නේ.

ඊයේ රෑ කතාවලට අදාල වචනයක් මතු උනේ කැඩුන වැටක් ලඟදී.

“අර අප්පුහාමී ගෙන්නල මේක හදල දාන්ට ඕනෑ ඌරෝ තියෙන එකත් විනාස කරන්ට ඉස්සර”

අයිය ගැන කතාවක් නෑ. මම හිතුවා මේක හොඳ වෙලාව් කියලා ඊයේ කතාව ඇදල ගන්ට.

“අප්පච්චි ඊයේ කිව්වෙ අයිය ඇවිත් හදල දෙයි කියලා….”

ඇවිද ඇවිද හිටිය අප්පච්චි එහෙමම නැවතුනා. හෙමීන් පාත්වෙලා ගල් ගෙඩියක් උඩ වාඩි වෙලා ඒ ලඟින් තට්ටු කරා මටත් වාඩිවෙන්ට කියලා. අප්පච්චී ලොකූ හුස්මක් ගත්තා. ඊට පස්සේ මං දිහා නොබලා කතා කරන්ට පටන් ගත්තා.

“උඹටයි නංගිටයි තේරෙනවා ඇති ආයෙ අයියා මෙහෙ එන පාටක් නැති බව. දැන් අවුරුදු පහක් වෙනවා අන්තිමට මෙහෙ ඇවිල්ලා…”

නිහැඩියාව මට ඉවසන්ට බෑ.

“අප්පච්චී දන්නවද අයියගෙ බෝට්ටුව පෙරලුනා කියලා?”

“ලොක්කී මං මේ කියනදේ අම්මට එහෙම කියන්ට එපා. බෝට්ටුවේ කතාවයි, ලොක්කා නැතිඋන එකයි හමුදාවෙන් මට ලියලා එවලා තිබුනා…”

“අප්ප්ච්චී කියන්නේ ඒක එහෙම නෙවෙයිද උනේ”

ආයෙත් නිහැඩියාව. ඇලේ වතුරේ සද්දේ විතරයි.

“ඒවා ඔක්කොම ඇත්තයි ලොකු දුව. පුතාගෙ ජීවිතේ නැතිඋනා කියලා එයාගෙ යාලුවෝ කීපදෙනෙක් මට කිව්වා ටවුමේ හම්බුවෙලා. අම්මට දුක දරාගන්ට බැරිවෙයි කියලා මම කිසි දෙයක් ගෙදර ඇවිත් කිව්වෙ නෑ. හමුදාවෙන් ආපු ලියකියවිලි හැංගුවා. දැන් වෙලා තියෙන්නේ පටන්ගත්ත බොරුව දිගටම කරගන යන්ට. උඹ ගෙදර හිටියනං මං කොහොමහරි උඹටයි නංගිටයි ඇත්ත කියලා හෙමින් හෙමින් අම්මටත් කියනවා. උඹ ගෙදර නෑ, නංගී වැඩ දුර පලාතක. අපි දෙන්නා බොරු ගොඩකට යටවෙලා හුස්ම ගන්ට අම්මරුවෙන් ඔහේ ඉන්නවා”

ඒ අප්පච්චි කාලෙකින් කරපු දිගම කතාව. ඒක අහලා මට දුකත් එක්ක හිනහවකුත් ආවා. එතකොට මම අප්පච්චිට කිව්වා ඊයෙ රෑ අම්මා කියාපු දේ. අප්පච්චි එහෙම්මම නැගිට්ටා.

“මම ගෙදර යනවා” මං දිහා නොබලා බොහොම ඉක්මනින් ගෙදර පැත්තට ගියා.

“අප්පච්චී බ්ංඩ එවන්ට කුරුම්බ ගෙඩියක් කඩවා ගන්ට…”

අප්පච්චී පස්ස නොබලා අත උස්සලා පෙන්නුවා මං කියපුදේ ඇහුනා කියලා.

මම බංඩට කියල කුරුම්බ ගෙඩියකුත් කඩවාගෙන බිව්වා ගල උඩ වාඩිවෙලා. මට ඕනෑවෙලා තිබුනේ අප්පච්චිටයි අම්මටයි කතාකරගන්ට ටිකක් ඉඩ දෙන්න. බංඩගෙ ප්රස්න සේරටම උත්තර දෙනවානම් ඒ දෙන්නට වෙලා ඇති ඕනැ නම් පිරිතක් කියන්ටත්.

“ඒ රටේ කුරුම්බා තියෙනවද? පොල් කඩන්නේ කවුද? ඌරෝ එහෙමත් ඉන්නවද? පොඩි බේබිටත් කුරුම්බ ගෙඩියක් අරන් යනවද?”

“නංගී ආවද?”

“නමයේ බස් එකේ ආවේ - මං එනකොට තේ බොනවා”

මම ගෙදර එනකොට අප්පච්චියි අම්මයි කෑම මේසේ ලඟ ඉඳගෙන. අප්පච්චි අම්මගෙ අත අල්ලාගෙන. අම්මගෙ ඇස්වල කඳුලු පිරිලා හැබැයි හිනහ වෙනවා. නංගී තේ කෝප්පේ උඩට ඉස්සුව.

“දවසෙන් වැඩේ කරා නේද ලොක්ස්?”

අප්පච්චි නැගිටල නංගී මාවයි ඇදල ගත්තා ලඟට.

“උඹලා දෙන්න ඉන්නකොට මොනවද අඩු? අම්මයි මමයි හිතුවා අපි ලොක්ක වෙනුවෙන් පිරිතක් කියලා දානෙ පොඩ්ඩක් දෙමු කියලා. මොකොද කියන්නෙ?”

නංගී මං දිහා බැලුවා.

“තව කියන්ට දේ තියෙනවා නේද?”

“මොකද්ද ලොක්කී?”

“අක්ක කොල්ලෙක් හොයාගෙන කියන්නේ” මගෙ මූන රතු උනා.

අම්මගෙ මූන මලක් වගේ පිපුනා. අප්පච්චිත් හිනහ උනා.

“කවුද? චීනෙක්ද? සුද්දෙක්ද? දෙමලෙක්ද? තම්බියෙක්ද? මොකා උනත් කමක් නෑ වැටක් හදන්ට පුලුවන් එකෙක්ද?

අවුරුදු අටකට පස්සේ මට දැනුනා ගෙදර ආවා වගේ. අපි හතරදෙනා කතා කරකර මේසේ වටේ හිටියා පැය ගානක්. සමහරවිට අයියත් ඉන්ට ඇති අපි දැක්කෙ නැති උනාට.