කවියාගේ ලෝකය
කඩුගන්නාවේ මහ වංගුවේදී වෙනදා දකින බතලේගල කඳුවැටි වල ඉඟියක් වත් අද පෙනෙන්න නෑ; සම්පූර්ණෙන්ම මීදුමෙන් වැහිලා.
දවස පුරාම පැවතුන සිරි සිරි වැස්ස තවම අඩුවෙන පාටක් නෑ. වෙලාව හවස තුනට පමණ වුනත් අඳුරු අහසත් වැස්සත් නිසා බොහෝ වාහන දැනටම ලයිට් දමාගෙන, සෙමිනුයි පාරේ ඇදුනේ. වැස්සෙන් තෙත්වුන පාරේ වාහන රෝද වලින් නැගෙන ‘චිරිස් චිරිස්’ හඬ මිනිස් ශබ්ද යටපත් කරන්න සමත්වුනා. කුඩ අටවාගත් කිහිප දෙනෙක් පාරේ දැකගත හැකිවුනත් ඔවුනුත් ලහි ලහියේ ඇවිද්දේ තම ගමන් හැකිතරම් ඉක්මනින් හමාර කරන අටියෙන් වගේ. වෙනදා දකින සිත්කලු දර්ශනය වෙනුවට කඩුගන්නාව බෑවුම අද විදහා පෑවේ නොපුරුදු දුක්බර ගතියක්.
මෙවැනි දවස් මහපාර දෙපස කඩපෙලේ වෙළඳාමට බොහොම අහිතකරයි. කොළඹ පාරේ යන වාහන මෙතන නවත්තලා මගියෝ තැඹිලි බොන්නේ අව්ව සැර දවස්වල. අද වාහනත් අඩුයි, එන වාහනවල ඉන්න මිනිස්සුන්ගෙ පිපාසෙත් අඩුයි වගේ. පසුගිය පැය දෙකක් පුරා විකිනුනේ අව්ව දවසක විනාඩි දහයකින් විකිනෙන තරමක් පමණයි. දවස් කිහිපයක් දිගටම මේ තරම් වැස්සොත් වෙළදාමෙන් සෑහෙන පාඩුවක් වෙනබව කරුනට විශ්වාසයි. කෙටි බංකුවක වාඩිවි තැඹිලි ගන්න කෙනෙක් එනතුරු පාර දිහා බලා සිටි ඈ සුසුමක් හෙලා කියවමින් සිටි පොත නැවත අතට ගත්තා.
“කාර් රෝදෙන් චිරිස් ඇඟපුරා මඩ ඉහෙන…”
කඩේට මීටර් විස්සක් විතර පහලින් පාරේ කොළඹ පැත්තේ ඉඳන් තරුණයෙක් තමාටම වගේ මෙහෙම කවියක් කියාගෙන එනවා. ඇඳ සිටි ඇඳුමක් හැටියට කරුනා දැක්කේ රබර් සෙරෙප්පු දෙක හැර දනිස දක්වා දිග ලාබ ප්ලාස්ටික් වැහි කබායක් විතරයි. වැස්ස ගැන නොතකා මිනිහා පාර දිගේ දුවනා වතුර පහර මැදින් සෙරෙප්පු ඇද ඇද ආවේ පොඩි කොල්ලෙක් වගෙයි.
“ගුනදාසගේ කටින් රට පුරා කවි ඇහෙන…”
වැස්සේ යන තරුණයා කරුනලාගෙ කඩේ ඉස්සරහ නැවතුනා. ඔහු වටපිට බැලුවේ හදිසියේ නින්දෙන් ඇහැරුනෙක් තමා ඉන්නේ කොහෙද යන ප්රශ්නෙට උත්තර සොයනවා වගේ. කීප සැරයක් වටපිට බැලූ තරුණයා වැහිකබාය ඔසවා කොට කලිසමේ සාක්කුවෙන් මුදල් නෝට්ටු කීපයක් එලියට ගත්තා. වැදගත් කටයුත්තක යෙදෙන්නෙක් වගේ ඉතා පරෙස්සමෙන් වැස්සෙන් තෙමෙන මුදල් නෝට්ටු එකින් එක පිරික්සා බැලුවා.
කරුනා දැක්කා තරුණයා සල්ලි ගනිනවා.
“මහත්තයා උනු තේ එකක් බොමුද?”
කිසි කෙනෙක් තමා දෙස බලාසිටි බවක් නොදත් තරුණයා කරුනගෙ කටහඬට ගැස්සුනා. මුදල් නෝට්ටු බිම නොදා බේරාගත්තේ අමාරුවෙන්. හිස හරවා කරුනා දෙස බැලූ ඔහුගේ මුහුන වෙනස්වුනා. එක අතකින් වැහිකබායේ හිස්වැසුම ඉවත්කළ ඔහු කරුනා දිහා බැලුවේ කිසිදාක නොදුටූ දෙයක් දෙස බලන්නෙක් වගේ.
“තෙමෙනවා නේ මහත්තයා… ගොඩවෙන්ට මඩුවට”
තරුණයාගේ මුහුන පුරා අමුතු එළියක් පැතුරුනා.
“අඳුරු වැසි ආකහෙත්; කඳු සැඟවු මීදුමත්; නොවේලෙන තෙතමනෙත්; පලව හරිනා…”
කරුනට හිනා ගියා.
“මහත්තයා කවි කියනවා වගේ”
“හ්ම්…? ආ… මට සමාවෙන්න… නරක පුරුද්දක්!”
ඒ සැරේ කරුනා හිනාවුනේ මේ කඩවසම් තරුණයා ගේ මුහුන දෙස බලාගෙනයි.
“මහත්තයා වඩේ තියෙනවා… ලැවරියා තියෙනවා… කෝපි? තේ?”
“මගෙ නම උදේනී… තේ…වඩේ… මං මේ ඉස්සරහ වාඩිවෙන්නද? සමහරවිට යාළුවෙක් එයි… ඔයාගෙ නම මොකද්ද? මම උදේනී… ආ… එකසැරයක් ඒක කිව්වා නේද? වඩෙයි ප්ලේන්ටියි… කරුණාකරලා”
කරුනා ආයෙත් හිනාවුනා.
“මගේ නම කරුනා - මහත්තයා ‘කරුණාකරලා’ කිව්ව නිසා හිනාගියේ”
“… කරුනා… හ්ම්…”
උදේනී පොඩි බංකුවේ වාඩිවුනේ කඩේ ඉස්සරහප්ලාස්ටික් වියන යට, පාර දිහා බලාගන. සාක්කුවෙන් එලියට ගත්ත පොඩි පොත් පිංචක පැන්සලෙන් ලියන්න පටන්ගත්තේ අවට ලෝකේ අමතකවුනා වගේ. ඉඳ හිට ඔහුගෙන් ආ මුමුණන සද්දේ පාරේ සද්ද වලට එකතුවුනා.
“රෑ අඳුර දුරුකරන පළමු හිරු කිරණ මෙන්;
ඉඩෝරය නිම කරන පළමු වැසි පොදක් මෙන්;
සිතේ කුණු අස් කරන උතුම් ධර්මයක් මෙන්;
සිත මගේ එලි කළේ දෙවඟනක් සුර ලොවින්”! “
… ‘’සුර ලොවින්’’ ද ‘’තේ කඩෙන්’’ ද වඩා හොඳ?”
………………………….
උදේනී කවි ලිවීම වයස දොලහෙදී විතර පටන්ගත්තත් ඒ වෙනුවෙන් සෑහෙන තරම් කාලයත් ශ්රමයත් වැයකළහැකිවුනේ පළමු රස්සාව ලබාගැනීමෙන් පසුවයි.
ඉස්කෝලේ යන කාලේ උදේනිගෙ කවි කියෙව්වේ සිංහල ඉගැන්වූ ගුරුතුමා විතරයි. මිස්ට වික්රමගේ ඒ කවි වලට හොඳ ලකුණු දුන්නා. නමුත් කවි ලිවීම උදේනිට ඔබින අනාගත රැකියාවක් ලෙස ඔහු දුටුවෙ නෑ.
“කවි ලිවීම තමාගේ භාෂාව දියුණු කිරීමට හොඳ ආයුධයක්. ඒ වගේම හොඳ කවියක් ලිවීමෙන් සිතට විශාල සතුටක් දැනෙනවා; වෙන අයගෙ කවි රසවිදීමට රුකුලක් වෙනවා. හැබැයි මතක තියාගන්න වටිනා තව දෙයක් තමා කවි ලිවීමෙන් පමණක් ජීවත්වීමට ආදායමක් ලබාගන්න බෑ”
මිස්ට වික්රමගේ කිවූ දේ උදේනී අමතකකළේ නෑ. පාසැල් අවසානේ විශ්වවිද්යාලයෙන් කලා උපාදියක් ලබාගත් ඔහු කච්චේරියේ ලියන්නෙක් වශයෙන් රැකියාවක් පිළිගත්තේ එයින් ලැබෙන පඩිය චාම්ලෙස ජීවත්වීමට සෑහීමත්, ඒ රැකියාවෙන් තම මොලේ වෙහෙස කිරීමට අවශ්ය නොවීමත් සලකා බලලයි. විශ්වවිද්යාලයේදී තම කවි ලිවීම දියුණුකර ගැනීමට කොයිතරම් බලාපොරොත්තුවුනත්, කොයිතරම් උත්සාහ කලත්, ඔහුගේ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ - පිටස්තර බලපෑම් නිසා. අවට සිද්ධවන සෑම දේටම සහභාගිවීමට ඇති ආශාව නිසා උදේනී නාට්ය, සිනමා, ක්රීඩා, විවාද, දුර පයින් ගමන් - මෙකී නොකී බොහෝ කටයුතු එදිනෙදා ජීවිතේ කොටසක් කරගත්තා. උදේනිට ‘දම්වැල’ යන නම වැටුනෙත් මේ කාලෙදියි.
උදේනිගෙ යාළුවන්ට අනුව, උදේනිත් අතික්‍රියාශ්‍රීලී පොඩි බලු පැටියෙකුගෙ දිග දම්වැල වගේ. බලු පැටියා වගේ උදේනිගෙ මොලේ රට වටා එහාට මෙහාට දිව්වේ කිසිම රටාවක් නැතුව. උගේ දම්වැල උදේනිගෙ ඇඟ වගේ ඌ පස්සේ ඇදෙනවා, යන්නේ ඇයි, යන්නේ කොහෙද නොදැන. ඉඳ හිට දම්වැල කොහෙහරි පැටලිලා හිරවුනොත් ගමන ටිකක් නැවතෙනවා; නමුත් ඒත් පැටලිල්ල නිරවුල් කරනතෙක් පමණයි.
රැකියාව පටන්ගැනීමෙන් පස්සේ උදේනිගෙ කවි ලිවීම කෙමෙන් දියුණු වුනා. ඔහුගේ කවිපංති කීපයක්ම පත්තරවල පලවීම නිසා ලිවීමට ඇති ආශාව තවත් වැඩුනා. දැන් උදේනිගෙ සාක්කුවේ කවි ලිවීමට සුදුසු පොඩි පොත් පිංචකුත් පැන්සලකුත් නොවරදවාම තිබුනා - කොහෙ ගියත්, මොන ඇඳුමෙන් සිටියත්. සෑම නිවාඩු දිනයකම ඇවිදින්න ගියේ ව්යායාමය මෙන්ම කවි ලිවීමේ අවශ්යතාවයන් සපුරන්නයි.
“මහත්තයා වඩේ… තේ ගේනවා මිනිත්තුවෙන්”
“හ්ම්… හා කරුනා නෝනා… නෝනා කරුනා… .අ.. තැන්ක්යූ…”
උදේනී ආපසු කඩේ ඇතුලට යන කරුනා දිහා බැළුවේ සීගිරියේ බිතුසිතුවන් නරඹන්න සිත්තරෙක් වගේ… ඇසිපිය නොහෙලා. මෙතරම් රූමත් කාන්තාවක් මේ පොඩි කඩේ… කුණු ගොඩේ මැනිකක්… මුහුදු බෙලි මස් වැදැල්ලක රැඳුනු මුතු ඇටයක්… අඳුරු අහසේ පුර සඳක්… වැලි කතරේ ක්ෂේම භූමියක්… හිස් පිඟානක වඩේ එකක්… මේවගෙන් ලියන්න වටින්නේ මොනවද?
“වඩේ රස දන්නෝ; ප්ලේන් ටී වල රසත් දන්නෝ…”
“කරුනා කරනා කරනම් හොරනෑ; …?...”
“හොඳ වඩේ මේ කඩේ; වක්කඩේ දැන් මඩේ;… ?...”
උදේනිගෙ අදහස් පැටලෙනවා… අගක් මුලක් පෙනෙන්නෙ නෑ. වචන විතරයි - තේරුමක් නෑ. ඔහු පැන්සල පොත උඩ තියලා මීදුමෙන් පිරුනු කඳු දිහා බලාගෙන හිටියේ එයින් අනුප්‍රාණය ලබාගන්න වගේ.
“මහත්තයා තේ…”
නින්දෙන් හදිසියේ ඇහැරුන කෙනෙක් වගේ උදේනී කරුනා දිහා බැලුවා. අතේ තිබුන වඩේ කෑල්ල දිහත් බැලුවා.
“තැන්ක්යූ… මං හිතුවේ කාල බීලා ඉවරයි කියලා… කරුනා…”
කරුනා හිනා වෙලා කඩේ ඇතුලට ගියා. උදේනී පැන්සල අතට ගත්තා.
……………………
උදේනී කඩේ ඉස්සරහ කවි ලියනවා. හොඳට ඉර පායන මේ දවස්වල වෙළඳාම සරුයි; ඉස්සරට වඩා කෑම බීම වර්ග ප්රද්ර්ශනය වෙලා තියෙනවා. කඩේ ලොකුයි, පිරිසිදුයි.
උදේනිගේ ලඟදී පළකෙරුන කවි පොත් දෙකක පිටපත් වීදුරු පොත් රාක්කියක ප්රදර්ශනය වෙනවා. ඉඳ හිට කඩේට එන කෙනෙක් තැඹිලි, තේ,වඩේ වගේම උදේනිගෙ පොතකුත් මිලදී ගන්නවා. ඒ වෙලාවට උදේනිට ඒ පොත්වල මොකවත් ආමන්ත්රනයක් ලියා අත්සන් කරන්න වෙනවා. සමහරවිට විනාඩි කිහිපයක් කතා කරන්නත් සිද්ධ වෙනවා. ඒක උදේනිට කරදරයක් නෙවෙයි - කවි ලිවීමට තව අදහස් බීජ මේ සාකච්චා වලිනුත් ඉදිරියට එනවා.
කරුනා කඩේ වැඩ කරගන යන්නේ නිතරම සිනා මුහුනින්. කරුනත් කුඩා දුව සොනාලිත් කොයි තරම් ලස්සනද කියා උදේනිට නිතරම හිතෙනවා. පොත් වලින් ලැබෙන ආදායමත් කඩයෙන් ලැබෙන ලාබයත් නිසා ජීවිතේ බොහොම සසිරියි. කරදරෙන් තොරව තමා කැමති, තමාට පාලනය කළහැකි මේ ජීවිතේ කච්චේරියේ රස්සාවට වඩා කොයි තරම් සතුටුදායකද කියලා උදේනිට වැටහෙනවා. ඒ ගැන හිතන හැම වෙලාවෙම ඔහුගේ මුහුනේ සතුටු හිනාවක් පෙන්වනවා.
කරුනා කසාද බැඳගෙන මෙහෙ පදිංචියට එන තීරණය ගන්න උදේනී කොයි තරම් සිතා බැළුවද? ගෙදර අය කැමතිවුනේ නෑ ස්ථිර රැකියාවක් අතහැරලා දානවට. අනික කරුනාගේ පවුල වෙළඳාමෙන් යැපෙන්නෝ හැටියට උදේනිගෙ අම්මයි අප්පච්චියි දෙන්නම වැඩි සතුටක් පෙන්වුයේ නෑ. කරුනගෙ අයියා ත්රීවීල් රතයක් එලවීම ඊටත් වඩා පහත් ලෙසයි ඒ අය දැක්කේ. නමුත් උදේනී හිත වෙනස් කරේම නෑ.
උදේනිගෙ ගත්කරු ජීවිතේ සාර්ථකත්වය මේ තීරණය නිසාම සිද්ධවූවක් බව නිශ්චිතයි.
…………………………..
කඩේ ඉදිරිපිට නවතූ වාහනයක නලා සද්දෙට උදේනී තිගැස්සෙණවා.
“ඕයි දම්වැල… උදේනී… අපිටත් තේ ඕඩර් කරපන් තැඹිලි ගෙඩි ටික ඩිකියට දානකන්…”
උදේනී මෙතෙක් ජීවත්වූ පරිසරය දියවී ගියා - සොනාලී, පොත් රාක්කි සැනෙකින් අතුරුදහන් වුනා. පරණ කඩේ නැවතත් උදේනී වටකරගත්තා..
“මහත්තයා තව තේ කීයක් ඕනද?”
උදේනී කරුනා දිහා බැළුවේ අමුත්තෙක් දිහා බලනවා වගේ… හිනහවේ වෙනසක් නැතිවුනත් මීට සුළු වේලාවකට පෙර තිබුන සබැඳියාව දැන් මැකීයන මතකයක් පමණයි.
“අ… තව තේ දෙකක්… කරුනා… මගෙ යාළුවන්ට… මටත් තව එකක්…”
කරුනා කඩේ ඇතුලට යන්න ඉස්සර උදේනිට තව දෙයක් මතක්වුනා. සාක්කුවේ තිබුන මුදල් නෝට්ටු කීපය එලියට අරගෙන සැලකිල්ලෙන් ඒ දිහා බැළුවා.
“අ… කරුනා… මං ගෙව්වෙ නෑ නේද? මෙතන සල්ලි ඇතිද බලනවද?”