කාලයාගේ ඇවෑමෙන්
එදා අපි අකුරැස්සේ තානායමට එනකොට හවස හයත් පහුවෙලා. කෑගල්ලේ ඉඳන් දිගටම කාරෙක එලවාගෙන ආපු මට ටිකක් මහන්සියි. අක්කටයි අම්මටයි ඒ දෙන්නගෙ කාමරේ පෙන්නලා මම වේටර්ට කතා කරලා රෑට කෑම හත හමාරට ලෑස්ති කරන්න උපදෙස් දුන්නා. මමත් මූන කට සෝදාගෙන ඉස්තෝප්පුවේ වාඩිවෙලා තේ එකක් බිව්වා මහංසි අරින්නත් එක්ක. ටික ටික අඳුරුවේගන එන මේ වෙලාවේ තානායම අවට නිසංසලයි. නගරෙන් ටිකක් ඈත නිසා සද්ද බද්දත් අඩුයි. අපි මෙහෙ ආපු හේතුව නිසාද කොහෙද මට ඒ වෙලාවේ ලොකු පාලුවක් දැනුනා. අක්කත් ඇවිත් මං ලඟ පුටුවේ වාඩි උනේ දුක්බර මුහුනකින්.
“අම්මා කොහොමද?”
“පොඩ්ඩක් ඇඟ සෝදගන ටිකක් ඇලවෙනවා කිව්වා - මහංසියි වගේ”
“හත හමාරට කෑම ලෑස්ති වෙනවා. තව ටිකක් පරක්කු කරන්නද?”
“නෑ….අම්මා වැඩිය කන එකක් නෑ….”
“ඇයි දන්නෙ නෑ තාත්තා අද එන්න බෑ කිව්වේ”
“තාත්තා කියන්නේ ගියදේ ගැන හිතලා වැඩක් නෑ කියලා…හැබෑට ඒකෙත් ඇත්තක් තියෙනවා…”
මම අක්කට තේ එකකුත් මට බීර බෝතලයකුත් ගෙනෙන්න වේටර්ට කිව්වා.
“මල්ලී දන්නවද හෙට යන්න ඕන තැන?”
“ඔවු…මාරඹ වැවේ එහා කොනේ…කුරුඳු වත්තේ…”
“ඉඩම අයිතිකාරයට කතාකරා නේද?”
“ඔවු…වත්ත බලාගන්න ජයනේරිස් එනවා කිව්වා උදේ අට නමය වෙනකොට මෙහාට…මිනිහත් දාගෙන යන්න පුලුවන්”
අපි දෙන්නම නිශබ්දව හෙට කලයුතු වැඩ ගැන හිතුවා. විනාඩි කීපයක් අපි කතාකලේ නෑ. මම බීර වීදුරුව කට ලඟට ගන්න ගමන් අක්කා දිහා බැලුවා. ඒ මොහොතේ අක්කගෙ මුහුන දැකලා මම ගැස්සිලා ගියා - හොල්මනක් දැකලා බය උන කෙනෙකුගේ මුහුනක් අක්කට තිබුනේ. අක්කා මා පිටිපස්සේ තිබුන යම්කිසි භයානක දෙයක් දැකලා වගේ - අතේ තේ කෝප්පේ වෙවුලනවා, හුස්ම හිරවෙලා වගේ ඇස් දල්වාගෙන හිටියේ.
“මොකද අක්කා?” එහෙම අහන ගමන් මම හැරිලා බැලුවා මොන හොල්මනක්ද දැක්කෙ කියලා. හොල්මනක් එතන නෑ - කවුද කොන්ඩෙයි රැවුලයි වවාගත්ත මිනිහෙක් අපිට පිටුපස හරවලා ඈත මේසෙක වාඩිවෙලා හිටියා.
“කවුද අක්කා? අඳුරන කෙනෙක්ද?”
“…සිංහයියා…?” ඒක වචනයක් නෙවෙයි මැතිරීමක්.
මම පුටුවත් හරවලා ඒ මිනිහා දිහා බලනකොටම මිනිහත් අපෙ පැත්තට හැරුනා. අපි දැකපු ගමන් එයා ගල් ගැහුනා. තප්පර දෙකක් යන්න ඉස්සර මිනිහා පුටුවෙන් නැගිටලා තානායම ඇතුලට ගියා.
“අක්කට හොඳටම ශුවර්ද ඒ සිංහයියා කියලා”
අක්කා මොකවත් කිව්වෙ නෑ. මම නැගිටලා තානායම ඇතුලට යනකොට ඒ මිනිහා වෙන දොරකින් එලියට ගියා. තව විනාඩියකින් මොටෝසයිකලයක් සද්ද දාගෙන ගේට්ටුවෙන් එලියට ගියා. මම බාර් එක ලඟ හිටපු මනුස්සයට කතා කලා.
“ඒ දැන් ගිය මහත්තයා කවුද දන්නවද?”
“ඔවු සර්, පත්තරේට ලියන එක්කෙනෙක්”
“නම දන්නවද?”
“අපොයි ඔවු සර්…හැම අවුරුද්දෙම ඇවිත් දවස් කීපයක් මෙහෙ ඉන්නවා…අපි කියන්නේ මිස්ට වීරසිංහ කියලා…වැඩිය කතා නොකරට හරි හොඳ මහත්තයා - ඇයි සර් අඳුරනවද?”
එහෙනම් මේ අපෙ සිංහයියම තමා! හැබැයි අක්කට මූන දෙන්න බෑ වගේ. ඒ දවස්වල අක්කගෙ ලොකු බලාපොරොත්තු තිබුනා සිංහයියා ගැන. දැන් අවුරුදු දහයක් විතර අක්කත් එක්ක කිසිම කතා බහක් තියා ආරංචියක් වත් නැතුව ඉඳලා එක සැරේම මිනිහා දකින එක අක්කට ලොකු වේදනාවක් බව පැහැදිලියි. කිසිම මංගල යෝජනාවකට අක්කා අකැමැති උනෙත් සිංහයියා නිසා බව මම දන්නවා. මම දන්න හොඳම නම්බුකාර නිහතමානී මිනිහෙක් කියලා හිතපු සිංහයියා මේ වගේ බොහොම පහත් නීච විදිහට හැසිරීම ගැන මට දැනුනේ කෝපයක්. නමුත් ඒක අක්කට පෙන්වන්න මම කැමැති උනේ නෑ.
මම ආපහු මගෙ බීර එක තිබුන මේසෙට එනකොට අක්කා ආපහු කාමරේට ගිහින්. රෑ කෑමටත් එලියට ආවෙ නෑ. අම්මයි මමයි කන වෙලාවේ අම්මා කියපුදෙයින් මට තේරුනේ අම්මා අක්කගෙ කතාව හොඳින් දන්න බවයි.
“ඔය වීරසිංහ පුතයි ලොක්කියි යාලු බව තාත්තයි මමයි දන්නවා…අපි බොහොම කැමැත්තෙනුයි හිටියේ කසාදයක් වෙනවට…අපෙ ලොක්කා නැතිඋන කාලේ ඉඳන් ආයෙ වචනයක්වත් නෑ එයාගෙන්…සමහරවිට ඒ අයගෙ ගෙදරින් විරුද්ද වෙන්න ඇති…නැත්තම් වෙන මොනවාහරි කරදරාක් වෙන්න ඇති…නැත්තං ලොක්කගෙ හොඳම යාලුවෙක් අපෙ ලොක්කිට ඔහොම සලකයි කියලා හිතන්න බෑ…අනේ මංදා…මං නං කැමතියි ඒ පුතාට දවසක කතාකරලා බලන්න…”
“අම්මා ඒවා අපි පස්සේ කතාකරගමු…හෙට වැඩේ කෙරුනැයින් පස්සේ”
අවුරුදු දහයකට ඉස්සර ජාතික විමුක්ති පෙරමුනේ හිටපු අපෙ අයියා වෙඩිතබා මරාදැමූ තැන කුඩා සලකුණක් ඉදිකරන්න මෙහෙ ඉඩම්හිමියෝ අපිට අවසර දී තිබුනා. අඩියක් පමන උස කලු ගලක “පුතා, සහෝදරයා, මිත්රයා - ඔබට නිවන් සැප ලැබේවා” යන්න කොටා එතන සවි කිරීමට අවශ්ය කටයුතු සියල්ල ලෑස්තිකලේ ඉඩම බලාගන්න ජයනේරිස්ගෙ උදව්වෙනුයි. අපෙ පවුලේ කිසි කෙනෙකු මීට පෙර මෙතෙන්ට ඇවිත් නැතිනිසා ජයනේරිස් නැතුව මේක කොහොමටත් කල නොහැකි ලෙසයි අපි දුටුවේ. ගල් කනුවේ අයියාගේ නම ඇතුලත් නොකිරීම අපෙ පවුලේ ඒකමතික තීරනයයි.
මට හිතුනේ හෙට දවස අපෙ අයියා වෙනුවෙන් පමනක් වියයුතු බවයි. හෙටින් පසු, යම් විදිහකින්, සිංහයියා සොයා ගැනීමටත් මම අධිශ්ටාන කරගත්තා. ඒක, අක්කයි අම්මයි වෙනුවෙන් මගෙන් වෙන්න ඕනැම දෙයක් ලෙසයි මම දුටුවේ.
……
අයියගෙ කොළඹ ඉන්න හොඳම යාලුවෝ දෙන්නෙක් ඒ දවස්වල අපෙ ගෙදර එනවා අයියත් එක්ක සෙනසුරදා ඉරිදට. මං හිතන්නේ හොඳට මොනවත් කාලා බීලා යන්න මිසක් ගෙදර අපි බලන්න නොවෙයි ඒ අය ආවේ. බෝඩිමේ හදාගෙන කාපු කෑම ගැන තුන්දෙනාම නිතරම විහිලු කරා. ඒ විහිලු වලට අපෙ අම්මයි තාත්තයි විතරක් නෙවෙයි මායි අක්කයිත් එකතු උනා. අඹ ඇඹුල් හදන්න ගිහින් තෙල් වෙනුවට සබන් වතුර දාපු හැටිත්, රොටී හදලා ඒවා බිම රෝල් කරලා ඔට්ටුවට සෙල්ලමක් පටන්ගත්ත හැටිත් අපි අහගෙන හිටියේ මහත් ආසාවෙන්. ඉස්කෝලේ යන අක්කටයි මටයි විශ්වවිද්යාල ගැන හරිම ආසාවක් ඇතිවුනේ ඒ දවස්වලමයි.
එකට බෝඩිමේ හිටපු අයියගෙ යාලුවෝ දෙන්නගෙ නම් වීරතුංගයි වීරසිංහයි නිසා අයියා ඒ දෙන්නට කතාකලේ “තුංගයි” “සිංහයි” කියලා. ඒ දෙන්නා අයියට කතා කලේ “සේකර” නැත්තම් “සේකර පිල්ලේ” කියලයි. ඒ අපෙ නම ජයසේකර නිසා - පිල්ලේ කෑල්ල කොහෙන් ආවද මම දන්නෙ නෑ; මම හිතන්නේ තුංගයි සිංහයි දෙමල නම් වගේ නිසා සේකරත් දෙමල වගේ කරන්න වෙන්න ඇති එහෙම කලේ. අම්මයි තාත්තයි මේ යාලුවෝ දෙන්නට පුතාලා කියලා කතාකලේ හරියට පවුලේ අයට වගේ. අක්කයි මමයි දෙන්නට “තුංගයියයි” “සිංහයියා” කියලා කතාකලේ - අපි දෙන්නා ඒ දෙන්නගෙ නංගියි මල්ලියි උනා.
අයියා කොළඹ විශ්වවිද්යාලේ කලා උපාදියට ඉගෙනගත්තේ - තුංගයි සිංහයි ඉගෙන ගත්තේ විද්යා උපාදියට. තුන් දෙනාම අවසාන වසරේ හිටපු නිසා වැඩි කාලයක් යන්න ඉස්සර තුන් දෙනා වෙන්වන බවත් අපෙ ගෙදර ඒම අඩුවෙන හෝ සම්පූර්නෙන්ම නැතිවෙන බව අපි දැනගෙන හිටියා.
අපි හිතපු විදියටම තුංගයියා ගුරු පත්වීමක් ලැබිලා මාතරට ගියා. සිංහයියා පොලිසියට බැඳුනා කියලා ආරංචියක් ආවත් වෙන කිසි දෙයක් අයියාවත් අපිට කිව්වෙ නෑ, පොලිසියට බැඳෙන එක ගැන බැන්නා මිස. අපෙ අයියා මාස ගානක් රස්සාවක් නැතුව ඉඳලා අංතිමට බදුල්ලේ පුද්ගලික ඉස්කෝලෙක ගුරු පත්වීමක් හදාගෙන එහෙ ගියා. ඊට පස්සේ ආයෙ සෙනසුරාදා ඉරිදා වල අපෙ ගෙදර අම්මයි තාත්තයි අක්කයි මමයි අරුනුකොට වෙන කෙනෙක් හිටියේ බොහොම කලාතුරකින්. ජීවිතේ එක පරිච්චේදයක් එතනින් ඉවරයි කියලා මට හිතුනේ.
අයියලා රස්සා වලට ගිහින් අවුරුදු විතර පහකට පස්සේ තමා ආයෙත් අපි අයියගෙ යාලුවෙක් දැක්කේ. ඒ තුංගයියා කසාද බැඳපු කාලේ. මාතර ඉස්කෝලෙක අවුරුදු හතරක් වැඩ කරලා කෑගල්ලට කිට්ටු බුලත්කොහුපිටියේ ඉස්කෝලේකට මාරුවක් ඉල්ලාගෙන ඒ අයියා ආවේ ඒ ඉස්කෝලේ ගුරුවරියක් බඳින්නයි. විභාග උත්තර පත්තර ලකුණුකරන දවසක කොළඹදීලු අයියා එයා ඉස්සරවෙලාම දැක්කේ. අවුරුද්දක් යන්න ඉස්සර අයියා බඳින්නත් තීරනේ කරලා මාරුවකුත් ඉල්ලාගෙන ඉවරයි. අපේ ගෙවල් කෑගල්ලට කිට්ටු නිසා අයියා අපෙ ගෙදර තමා නැවතිලා හිටියේ දෙන්නට ඉන්න ගෙදරක් සොයා ගන්නකම්.
තුංගයියා අපිත් එක්ක හිටපු මාස දෙකේ අපෙ අයියත් දෙවරක් ගෙදර ආවා. ඒත් අර පරන යාලුකම් ඒ විදිහටම තිබුන බවක් පෙනුනෙ නෑ. අපෙ අයියා ඉස්සර වගේ විහිලු කරන එකත් හිනාවෙන එකත් අඩුකරලා බවයි අපිට දැනුනේ. ඒ දවස්වල අක්කත් මමත් දෙන්නම විශ්වවිද්යාලේ හිටපු නිසා අපිට වැඩියම මේක ගැන කිව්වේ අම්මා. අම්මා බලාපොරොත්තු උනේ අපෙ අයියත් තුංගයියා වගේ කසාදයක් බැඳගෙන ටිකක් තැන්පත්වෙයි කියලා. තාත්තා කිව්වේ අයියා ඕනෑවට වැඩිය දේශපාලනේට බහින පාටක් තියෙන බවයි.
තුංගයියගෙන්වත් සිංහයියා ගැන වැඩි ආරංචියක් ලැබුනෙ නෑ. ආංඩුවයි ජනතා විමුක්ති පෙරමුනයි අසූ හතේ ආයෙත් පටන්ගත්ත යුද්දෙන් පොලිසියේ නිලධාරි රටේ එක එක තැන පත්වීම් ලැබීම මේකට හේතු වෙන්න ඇති.
අපෙ අයියා ජනතා විමුක්ති පෙරමුනට කිට්ටුවෙන්ම ඉන්න බව මට ආරංචිඋනේ අක්කගෙන්. අක්කා එයාගෙ අවසාන විභාගෙට පාඩම් කරන දවස්වල ඒතරම් ගෙදර ගියේ නෑ. මම දවසක් සති අංතයේ ගෙදරින් ගෙනා කෑම පොදියකුත් බැඳගෙන අක්කගෙ නවාතැනට ගියේ ගෙදර තොරතුරුත් කතා කරගන්නයි. ගෙදර අනික් ළමයි පාඩමට පුස්ථකාලෙට ගිහින් තිබුන නිසා අපිට නිදහසේ පැයක් විතර කතා කර කර ඉන්න ලැබුනා.
“අම්මට තාත්තට ලෙඩ අමාරුවක් එහෙම නෑ?”
“පෙනෙන්න් නෑ…දෙන්නගෙම හිතට නම් ටිකක් හරි නෑ අයියා ගෙදර නොඑන එක ගැන”
“මල්ලිට අයියා ගැන ආරංචියක් නැද්ද?”
“කිසි දෙයක් නෑ…ජේ වී පී එකට අහුවෙලාද දන්නෙ නෑ!”
මගෙ විහිලුව අක්කගෙ හිතට ඇල්ලුවෙ නෑ.
“ඔහොම කතා කරන්න එපා…” අක්කගෙ මුහුනෙන් පෙන්නුවේ පොඩි බයක් කියලා මට හිතුනා.
“ඇයි අක්කට මොනවත් ආරංච් තියෙනවද?”
අක්කා සද්ද නැතුව හිටියා ටිකක්.
“අයියා කල්ලියට බැඳිලා හුඟක් කල් කියලා සිංහයියා ලියලා එවලා තිබුනා!”
“මොනවා? අයියා මොකටද ඔය වගේ ගොන්පාට් වලට ගෑවෙන්නේ? දේශපාලනේ කරපු එක ඇත්ත හැබැයි ජේ වී පී?...මට හිතාගන්න පුලුවන් අර හැත්තෑ එකේ තිබුන ජේ වී පී එකේ අයියා ඉන්න එක - ආයුද වලට වැඩිය වචනෙන් යුද්ද කරපු කාලේ…අනික සිංහයියා කොහොමද දන්නේ…ඇයි සිංහයියා අක්කට ලියුම් ලියන්නේ…අපි නොදන්න දේ තව කොච්චර තියෙනවද?..”
අක්කා බිම බලාගෙන ඊලඟට කතාකලේ.
“සිංහයියා දැන් අවුරුදු දෙක තුනක් ලියනවා…මමත් ලියනවා…අපෙ…බලාපොරොත්තු තියෙනවා….”
“හෙර කෙල්ල! …..අපි කාටත් හොරෙන්! ….හැබැයි…මොකෙක් හරි එක්ක යාලු වෙනවනම් සිංහයියට වඩා හොඳ එකෙක් මං දන්නෙ නෑ…අම්මල තාත්තලත් දන්නවද?”
“නෑ…අපි කාටවත් කියලා නෑ…සිංහයියා වෙන රස්සාවක් හොයනවා…දැන් පොලිසිය එපා වෙලා. බයක් නිසා නෙවෙයි, ඒකෙ වෙන දේ බලාගෙන ඉන්න අමාරුයි කියලා…”
“අපෙ අයියා ගැන ආරංචි උනේ කොහොමද කියලා කිව්වද? සිංහයියා ඉන්නෙත් බදුල්ල පැත්තෙද?”
“මං හිතන්නෙ නෑ…කොහෙ ඉන්නවද කියලා හරියට දන්නෙ නෑ…අයියා ගැන ආරංචි උනේ කොහොමද කියලා කියන්න බැරිලු”
“ලියන්න බැරිනම් ඇවිල්ල හම්බුවෙන්න තිබුනනෙ”
“සිංහයියා කැමැති නෑ ඒකට…අම්මල තාත්තල එක්ක කතා කරන්න ඕනැ නිසාම නෙවෙයි…ඒකෙන් මල්ලිටයි මටයි කරදරවෙයි කියලා මෙහෙදී…පොලිසිය එහෙම මෙහෙ ළමයි ගැන සෝදිසියෙන් ඉන්න බවයි මට ඒකෙන් තේරුනේ…”
“හොඳ මනුස්සයා…හැබැයි ගොනා!”
අක්කත් එක්ක මේ හමුවීමෙන් මාස දෙකක් යන්නත් ඉස්සරයි අපිට අපෙ අයියගෙ මරනය ගැන ආරංචි උනේ.
……
“ඕන්න මහත්තයා ඔය කංඩිය ලඟින් එහාට කරලා නවත්තාගන්න”
ජයනේරිස් මෙහෙම කිව්වේ මාරඹ වැව පහුවෙන්න කිට්ටුවයි.
“මෙතනින් යාර පනහක් ඇති ඕනැ නම්…පරෙස්සමෙන් හැබැයි මේ ගල්ගෙඩි ලිස්සනවා, ඊයේ වැස්සට පස්සේ…”
අපි තුන්දෙනා කතාවක් නැතුව ජයනේරිස් පස්සේ ගියා. තව මිනිස්සු දෙන්නෙක් පූජා භාංඩ උස්සගෙන අපිට පස්සෙන් ආවා.
කුරුඳු පඳුරු ගොල්ලක් අතර තිරුවනාවේ අපිට පෙනුනේ බලාපොරොත්තු හැටියට තණකොල ගොල්ලක් නොව දම්වැල් වැටකින් වටකල වර්ග මීටරයක කොටුවකි.
“මේක කාගෙද ජයනේරිස්?”
“ඈ? මේ ඒ මහත්තයගෙ තමයි!” ජයනේරිස්ට වැරදිලාද නැත්තම් මෙතන මොකද්ද වංචාවක්ද වෙන්නේ කියලා මට තේරුම් ගන්න බැරිඋනා.
“නෑ… නෑ…. අපි මේ වගේ මොකවත් කෙරුවෙන් නෑ….මේක වෙන කාගෙදෝ. මං හිතුවේ ජයනේරිස් හරියට තැන දන්නවා කියලා!”
“හා…නෑ නෑ. අනික් මහත්තයා තමා මේවා කෙරුවේ…”
“කවුද?”
“අර වීරසිංහ මහත්තයා…”
අක්කා කෙඳිරි ගාගෙන බිම වැටුනේ හරියට එක සැරේම කකුල් දියවෙලා ගියා වගේ. අම්මා අක්කා ලඟ වාඩි උනේ හිටගෙන ඉන්න බැරි කෙනෙක් වගෙයි.
“වතුර! ජයනේරිස්…වතුර!”
කලබලය විනාඩි දහයක් විතර පැවතුනා. වැවෙන් වතුරත් කඩෙන් බනිසුත් බීම බෝතලුත් ජයනේරිස්ගෙ ගෙදරින් බංකු දෙකකුත් කුඩ කීපයකුත් එතෙන්ට එක් උනා. ඒවා ගෙනා කම්කරුවෝ දෙන්නත් ජයනේරිස්ගෙ පවුලත් දරුවෝ තුන්දෙනත් නිසා නිසංසල සොහොන් බිම කාලගෝට්ටියක් බවට පත් උනා. නිසංසලතාවය නැවත පැතුරුනේ බනිස් සහ බීම වැඩකරන අයටත් ජයනේරිස් පවුලටත් බෙදාදීමෙන් පසුවයි.
අම්මයි අක්කයි බංකුවක කිට්ටුවෙන් වාඩිවී අත් අල්ලාගෙන නිශ්ශබ්දව කඳුලු හෙලුවා. මම ජයනේරිස් පැත්තකට එක්ක ගිහින් කතාව අහගත්තා.
“දැන් අවුරුදු ගානක් ඒ මහත්තයා මෙහෙ එන්නේ…මං හිතුවේ පවුලේ කෙනෙක් කියලා…ඊයෙත් ඇවිත් මෙතන වාඩිවෙලා පැය බාගයක් විතර හිටියා…සමහරවිට හෙමින් මොනවදෝ කියනවා. මං හිතුවේ ගාතාවක් වෙන්න ඇති කියලා. මට කියලා තියෙන්නේ කාටවත් ඒ වෙලාවට එහාට එන්න දෙන්න එපා කියලා…ඒ පවුලේ කෙනෙක් නෙවෙයිද මහත්තයා?”
“පවුලේ තමයි…කාලෙකින් දැක්කෙ නෑ…”
මම අම්මයි අක්කයි තව දවසක් අකුරැස්සේ නවත්තා ගත්තා. අපෙ වැඩ කටයුතු ඉවර කරන්න ඒ තරම් වෙලා ගියෙ නෑ. නමුත් අම්මටයි අක්කටයි කෑගල්ලේ ගමනට තවම හිත හරි නැති බවයි මට දැනුනේ. අපි ලෙනම පංසලටත් ගිහින් මොරවකට යනකම් රට තොට බලන්න ගියා. මට ඕනැ උනේ ගෙදර යන්න ඉස්සර අම්මටයි අක්කටයි හිතහදාගන්නත් මට මාරඹ ගමේ කීපදෙනෙක් එක්ක කතාකරන්නත් කාලය හදාගන්නයි.
කෙසේ උනත් අපෙ ආපහු ගමන අපි ගෙව්වේ වැඩි පුරම නිශ්ශබ්ද ලෙසයි.
…………..
අපි ගෙදර එනකොට හවස පහට විතර ඇති. ගාල්ලේ කොටුව පැත්තෙත් ගිහින් මගදී දවල්ටත් කාලා එහෙම අපි ආවේ හදිස්සියක් නැතුව ගමන විනෝදයක් වෙන විදිහටයි. තාත්තා කියවමින් හිටිය පත්තරේ බිම තියලා හිනාවෙලා පුටුවෙන් නැගිට්ටා.
“කොහොමද, ගමන සාර්ථකද?”
“ඔවු” ඒ කෙටි උත්තරෙන් පස්සේ අක්කා ගේ ඇතුලට ගියා. අම්මත් තාත්තත් එක්ක හිනාවෙලා අක්කා පස්සේ ඇතුලට ගියා. මම කාරෙකෙන් මලු එලියට ගන්නකොට තාත්තා එතෙන්ට ආවා.
“මහංසිද?”
“නෑ. අපි හිමින් හිමින් ආවේ…”
“අපි පොඩි ගමනක් යමුද?”
“කොහෙද මේ රෑ වෙන එකේ?”
“ඒක කොහෙ උනාම මොකද? අම්මගෙන් අහගන එනවද ටවුමෙන් මොනවත් ඕනැද කියලා?”
තාත්තට අරක්කු ඉවර වෙලා වෙන්න ඇති. කවදාවත් තාත්තා මට අරක්කු ගේන්න කියන්නෙ නෑ. තාත්තට ගිහින් ගන්න බැරිනම් නොබී ඉන්නවා.
කාරෙක එලියට ගත්තැන් පස්සෙයි තාත්තා කතාකලේ.
“අපි බුලත්කොහුපිටියට දුවලා එමුද?”
“ඇයි…තුංගයියලාට කරදරයක්ද?”
“කරදරයක් නෑ හැබැයි එහෙ තමයි යන්නේ”
තව කිලෝමීටර් කීපෙකට පස්සේ මට හිතුනා සිංහයියා දැකපු එක ගැන කියන්න.
“අපි අකුරැස්ස රෙස්ට් හවුස් එකේ ඉන්න්කොට කවුද දන්නවද දැක්කේ?”
“වීරසිංහ දරුවා නේද?”
“තාත්තා කොහොමද දන්නේ?”
“වීරතුංග ළමයා අද උදේ ආවා. කිව්වා වීරසිංහට මාත් එක්ක කතාකරගන්න දෙයක් තියෙනවා කියලා…එයා දැන් එහෙ…ඊයෙ රෑ මැද ආවලු බයිසිකලේ”
“එහෙනම් කෙලින්ම එන්න ඇති අකුරැස්සේ ඉඳන්…”
ආයෙත් තුංගයියලාගෙ ගෙදරට යනකම් අපි කතාකලේ නෑ. නමුත් මගෙ මොලේනම් දිගටම වැඩ කලා.
………….
“අංකල්…මට…කවදාහරි අංකල්ට මේ ටික කියන්න වෙනබව දැනගෙන හිටියා…සොනාලී දැක්කට පස්සේ ආයෙ ඒක කල්දාන්න බෑ කියලා හිතුනා….සේකර…සෙනානි නැතිඋන එකට මමයි වගකියන්න ඕනෑ….මම එදා මොරවක නැවතිලා හිටියානම් සමහරවිට අංකල්ගෙ පුතා තවම අපි අතරේ ඉන්නවා…”
අපි තුංගයියගෙ සාලේ වාඩිවෙලා හිටියේ. සිංහයියා කිව්වා ලයිට් දාන්න ඕනැ නෑ කියලා - කරුවල එයාට පුරුදු බවයි පෙනුනේ.
“මට එස්කෝට් එකක් දුන්නා මාතර යන්න. අපි දැනගෙන හිටියා මාරඹ හරියේ කල්ලිය ඉන්නවා කියලා. නමුත් බලාපොරොත්තු උනේ නෑ කරදරයක් වෙයි කියලා…ඒ අයට ආරංචි වෙලා තිබුනලු මමයි මගෙ ලොක්කයි ජීප් දෙකකින් එනවා කියලා….ඒ අයට හොඳ ආයුදවත් තිබුනෙ නෑ අංකල්…කොච්චර හිත තිබුනත් රයිෆල් එක්ක හැප්පෙන්න බෑ…”
සිංහයියා බිම බලාගත්තා. තාත්තා ඉස්සරහ බිත්තිය දිහා බලාගෙන හිටියා, කිසි දෙයක් නොකියා.
“මම අඳුරාගත්තා සේකර දුවන හැටියෙන්….වැඩිය දුර දිව්වෙ නෑ….මගෙ අනෙන් තමයි වෙඩි පත්තු උනේ”
සිංහයියා අත් දෙකෙන් මූන වහගත්තා. තුංගයියා නැගිටලා මිදුලට බැස්සා. මමත් ඒ පස්සේ ගියා. තාත්තා නැගිටලා සිංහයියා ලඟට ගිහින් ඔලුවට අත තිබ්බා.
“පුතා…උඹ වැඩකරේ පොලිසියේ…උඹ කරේ උඹෙ රස්සාව…මගෙ පුතා කරේ එයා දුටු විදිහට එයාගෙ රස්සාව….එක ජීවිතයක් නැතිඋනා කියලා ජීවිත කීපයක් නැතිකරන්න ඕනැ කමක් නෑ…”
“අංකල්ට තේරෙන්නෙ නෑ මං හිතන්නේ…මගෙ ජීවිතේට මොක උනත් කමක් නෑ…මම රස්සාවෙන් අස්වෙලා පත්තරවලට ලියන්න පටන්ගත්තේ ජීවිතේ වෙනස් කරගන්න…ඒ විදිහට මම ජීවත්වෙනවා…නමුත් මම සොනාලිට කරපු වැරදි ඊට වැඩියි…මට සොනාලිට කියන්න තිබුනා එදා මාරඹ උන දේ…නමුත් මම කිසි දෙයක් කෙරුවෙ නෑ. අම්මලා තාත්තලාට කතා නොකර කිසිදෙයක් කරන්න මම කැමැති උනේ නෑ….මගේම අම්මල තාත්තල වගේ හිටපු අංකල්ටයි ආන්ටිටයි මම කොහොමද සේකර ගැන කියන්නේ? මල්ලිටයි සොනාලිටයි මම මොකෙක් වගේද පෙනෙන්නේ?”
සිංහයියා ආයෙත් මූන වසාගත්තා. අපෙ තාත්තගෙ කටහඬ ඊලඟට මට ඇහුනේ නඩු කාරයෙක් හොරෙකුට කතාකරන විදිහටයි.
“පුතා…උඹ හිතුවද ලෝකේ සෑම අතින්ම හොඳ තැනක් කියලා? කිසි වැරැද්දක් නොකරපු එකෙක්වත් උඹට හම්බුවෙලා තියෙනවද? කවදාවත්? උඹ හිතුවද මම තුවක්කුවක් අරගෙන උඹ හොයාගෙන එයි කියලා? උඹ හිතුවද මගෙ පවුල උඹට වසදෙයි කියලා අපෙ ගෙදර ආවනම්? හ්ම්? මං කවදාවත් හිතුවෙ නෑ උඹ තමං ගැන විතරක් හිතන බූරුවෙක් කියලා….හිතලා බලපන් දැන් මොකද්ද කරන්න ඕනෑ කියලා…හ්ම්?”
සිංහයියා හෙමින් හෙමින් කොංද කෙලින් කරා. ඊට පස්සේ පුටුවෙන් නැගිටලා, අපෙ තාත්තගෙ මූනට මූන කිට්ටුකරලා හිටගත්තා. මමයි තුංගයියයි හෙමින් ආයෙත් සාලේ පැත්තට ආවා.
“ඔච්චර දක්ශනම් අංකල් කියන්න මම ඉස්සරවෙලාම කරන්න ඕනෑ මොකද්ද කියලා” සිංහයියගෙ කටහඬ ආයෙත් ඉස්සරකාලේ තිබුන විදිහට ගාම්බීරයි - අද දවසේ පලවෙනිසැරේට.
තාත්තා හිනා උනා.
“ඉස්සරවෙලාම අංකල් වෙනුවට මාමා කියන්න පුරුදු උනොත් නරකද? මාමංඩී උනත් කමක් නෑ”
අපිට අදහාගන්න බැරිඋනා තාත්තගෙ වචනේ. සිංහයියා තමා ඉස්සරවෙලාම කතාකලේ.
“ආන්ටී මොනවා කියයිද”
“…අ…බෑනා කියයි”
සේරගෙම හිනහව මැද්දේ තව ප්රශ්නයක්.
“එතකොට සොනාලී?”
“පුතා උඹට ඒක ගැන බලාගන්න බැරිනම් මට කරන්න දෙයක් නෑ!”
මට එතකොටයි හිතුනේ අයියා නැතිඋනාට පස්සේ අද තමා තාත්තයි මමයි ඇත්ත සන්තෝසෙන් හිනාඋනේ කාලෙකට පස්සේ කියලා. ගෙදර ගිහින් අම්මටයි අක්කටයි මේ තොරතුරු කියලා සතුට තව උත්සන්න කරගන්න හැකිවෙන බවට මට කිසිම සැකයක් නෑ.