කැලේ දේවාලේ

ඒ දේවාලෙට නමක් නෑ, මං දන්න විදිහට. ඒක ගැන කොතරම් කතා අහලා තිබුනත් කිසිකෙනෙක් ඒකට නමක් පාවිච්චිකරනවා මට මතක නෑ. මට පොඩිකාලේ ඉඳන් ‘දේවාලේ’ කියන වචනේ ඇහුවොත් මත වෙන්නේ මේ නම නැති දේවාලේ. මම ඉස්සරවෙලාම දේවාලේ ගැන ඇහුවේ පුංචි අයියගෙන්.

“ඒකට යන්න පාරක් නෑ. මහා කැලේ මැද තියෙන්නේ”

ඒක වෙන්න ඇති කවුරුත් දේවාලෙට නම දුන්නෙ නැත්තේ. කැලේ මැද තියෙනවානම් කවුරුත් වැඩිය යන්නෙ නැතුව ඇති.

“ඒකේ මහ දොරට යතුරු හතක් තියෙනවා”

“ඒ මොකටද?”

“කාටවත් අරින්න බැරිවෙන්න. නැත්තං හොරු එහෙම ආවොත්”

කැලේ මැද හදලා ලොකු දොරක් දාලා වහලා තියෙන දේවාලේ මොනවද හොරුංට ගන්න තියෙන්නේ කියලා මට හිතුනා.

“රත්තරං, මැනික් වලින් එහෙම හදපු පිලිම තියෙනවා. ඇතුලේ දිග… සුදු නයෙකුත් ඉන්නවා ඒවා බලාගන්න”

“ඇයි එතන මිනිස්සු නැද්ද බලා ගන්න?”

“කපුරාල විතරයි. ඒත් පූජා එහෙම කරන්න”

මට කපුරාල ගැන පව් හිතුනේ එයා කැලේ මැද තනියම නයෙක් එක්ක ඉන්න එක ගැන. නමුත් අනික් අතට, තනියම ඉන්න එක ඒ තරම් නරක දෙයක් නෙවෙයි. ඕනෑ වෙලාවට කන්න, බොන්න, නිදාගන්න, නැගිටින්න පුලුවන් කිසි කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව. ඕනෑ දෙයක් කන්නත් පුලුවන් ඇති.

“එතකොට කෑම කොහෙන්ද? කපුරාල කන්නේ මොනවද?”

“කැලෙන් පලතුරු, අල ජාති එහෙම හොයා ගන්නවා ඇති. සමහරවිට හාවෝ එහෙමත් දඩයම් කරගෙන කනවා ඇති….කුස්සියෙන් මට වතුර එකක් ගෙනත් දෙනවද?”

පුංචි අයියා මොනවාහරි මට වැඩක් දෙන්නේ කතාව නවත්තන්න ඕන උනාම.

අපෙ පංතියේ සුනිල්ගෙනුත් මම දේවාලේ ගැන ඇහුවා. එයා ගමේ කඩේ මුදලාලිගෙ පුතා. කඩේට එන අය කතාකරන දේ අහගෙන හිටියම ලෝකේ ගැන ඕනෑ දෙයක් දනගන්න පුලුවන් කියලා මුදලාලී කියලා තියෙනවා.

“සුනිල්ගෙ තාත්තා ගිහින් තියෙනවද කැලේ දේවාලෙට?”

“අප්පෝ නෑ! එහෙ කාටවත් යන්න බෑ….යන්න පුලුවන් උනත් ගිය කෙනෙක් කවදාවත් ආපහු ආවෙ නෑ කියලා එගොඩහෙදර අත්තා කියනවා මං අහගෙන. අර කොරනේලිස් බාප්පා මොකද්දෝ බාරයක් වෙන්න එහෙ යනවා කියලා පිටත්වෙලා දැන් අවුරුදු තුනකටත් වැඩී. ආයෙ සද්දයක් වත් නෑ.”

“උන්ඳෑ පිටත් වෙලා ගියේ මොන පාරෙන්ද?”

“අර අරංගල ගල පාමුලින් තියෙන අඩි පාරදිගේලු පිටත් උනේ. හැබැයි වැවතැන්න පැත්තෙන් ආවෙ නැතිලු. මගදී කැලේට යන්න ඇති”

“අපි ගිහින් බලමුද දවසක් ඒ පාර දිහා….?”

“අනේ මට බෑ මැරෙන්න - අනික තාත්තා මං අල්ලල හම ගහයි එහෙ යනවා කියලා හිතුවත්!”

කොච්චිවත්තේ මාමා ඔය දේවාලේ ගැන හොඳට දන්නවා. උන්ඳෑ තමා කපුරාල ගැන හුඟක් දේ මට කියල දුන්නේ.

“දරුවා…දේවාලේ කපුරාල ඒ වැඩේට ගියහම කවුරුත් ආයෙ ගම පැත්තේ එන්නෙ නෑ. ගියා ගියාමයි. එයා මැරෙනකම් කපුරාල. හැබැයි මැරිලා දවස් හතෙන් අලුත් කපුරාල කෙනෙක් තේරෙනවා”

“මාමා… කවුරුවත් දේවාලෙට යන්නෙ එන්නෙ නැත්තං කොහොමද අලුත් කපුරාල දන්නේ පරන එක්කෙනා මැරිලා කියලා?”

“දේවාලේ කියන්නේ දෙයියංගෙ තැනක්. උඹ කියන්නේ දෙවියන්නාන්සේ කෙනෙකුට බෑ කියලද පනිවිඩයක් යවන්න? හ්ම්…? “

“අප්පේ නෑ…..මං ඇහුවේ ලියුමක් එවනවද….නැත්තං දෙයියෝ වෙස් වලාගෙන….?”

“නෑ දරුවා….තේරුන කපුරාලට හීනෙං දෙයියෝ කියනවා යන්න ඕන දවසයි, පාරයි වගේ දේ. හීනේ දැකලා දවස් තුනක් ඇතුලත මනුස්සයා ඉඩං කඩං වැඩ ඔක්කම එක විදිහක් කරලා පිටත් වෙනවා … ආයෙ නොඑන්නම”

“ගියෙ නැත්තං”

“දේව කෝපේ කියන එක බොහොම සැරයි. දවස් තුන ඇතුලත පිටත් නොවුනොත්, මිනිහා විතරක් නෙවෙයි පවුලේ සේරම දවස් හතක් ඇතුලත මැරෙනවා - ආයෙ ඒකේ දෙකක් නෑ!”

“මාමා දන්න කෙනෙක් කපුරාල වෙලා ගිහින් තියෙනවද?”

“එහෙනං! අර මහලියද්ද ගෙදර ජයනේරිස් මගේම වයස. මට හොඳට මතකයි දවසක් මිනිහා උදේම අපේ ගෙදර ආවා, මං හිතන්නේ දැන් අවුරුදු විස්සකට විතර ඉස්සර. එතකොට මම උඹෙ නැන්දම්මා කැන්දන් ඇවිත් අවුරුද්දක් වත් නෑ. ජයනේරිසත් ගෑනියක් ගේන්න ලෑස්තියෙන් හිටියේ….. එදා මිනිහා ලොකූ හිතේ අමාරුවකින් හිටියේ, අඬන්න කිට්ටුවෙන් වගේ. තේ එකක් එහෙම බිව්වට පස්සේ තමා මිනිහා හීනේ ගැන කිව්වේ….”

“මොකද්ද මාමා එයා දැක්කේ?”

“ඒකයි වැඩේ…මොකක්වත් දැක්කෙ නැතිලු. හරි ගාම්භීර කට හඬක් මිනිහට ‘කපුරාල’ කියලා කතා කරාලු හීනෙන්. කරන්න ඕනැ දේයි ඒවා කර ක්‍රමයි කිව්වට පස්සේලු ඇහැරුනේ. එයාගෙ ඉඩ කඩං ගැන කතාකරගන්න තමා මං හම්බුවෙන්න ආවේ. මොක උනත් දවස් දෙකකට පස්සේ කාටත් නොකියා මනුස්සයා ගිහින්…”

……

පොඩි කාලේ මේ අහපු කතා මගෙ හිතේ තදින්ම ඇඳිලා තිබුනා. ඉඳලා හිටලා දේවාලේ හීනෙමුත් දැක්කා. දෙවිකෙනෙක් හීනෙන් මට ‘කපුරාල’ කියලා කතා කරයි කියලා පොඩිකාලේ තිබුන බය දැන් අහෝසි වෙලා. දැන්, ඒ කියන්නේ වයස තිහත් පැනපු, මට පෙනෙන්නේ ඝන කැලෑවක මැද ගස්කොල වලින් බාගෙට වැසී තිබෙන පුරාන ගල් දේවාලයක්. සමහරවිට මම පොතපතේ දැකලා තියෙන පිංතූර වලින් මගෙ හීනත් ඔපවෙනවා ඇති. මගේ හීනවල කිසි දවසක මම කපුරාල කෙනෙක් දැකලා නෑ. නමුත් සුදු නයෙක් ඉඳ හිට දකිනවා. සමහරවිට මට ලොකු යතුරු කැරැල්ලකුත් හම්බු වෙනවා නමුත් එක යතුරක් වත් දොරකට ගැලපෙන්නෙ නෑ. වැඩිපුරම දොරේ යතුරු කව්ලුත් පෙනෙන්න නෑ. මගේ දේවාල සිහින, වෙන කිසි දේකට බැරිවුන ලෙසට, මාව පොඩිකාලෙත් එක්ක සම්බන්ද කලා. මට මගේ පොඩි කාලෙයි දේවාලෙයි ගිය සතියේ මතකේ උඩටම ආවා. ඒ මගේ ගමේ යාලුවා සුනිල්ගෙන් ලැබුන ටෙලිෆෝන් පනිවිඩයක් නිසා.

“ලකීද?...මේ සුනිල්, සුනිල් වැලිවල…මතක..”

“හාලෝ…සුනිල් කොහොමද? දැන් අවුරුදු කීයකට පස්සෙද? කොහෙද දැන්?”

අපෙ කතාවෙන් ආරංචි ගොඩාක් ලැබුනා. ඒවගෙන් හුඟක් මට අලුත් - දැන් මම අවුරුදු පහලොවකින් ගමේ ගිහින් නැති නිසා. සුනිල් දැන් වැඩ කරන්නේ පොලිසියේ; ඉස්කෝලේ ඉවර උන දවස්වලම තමා බැඳුනේ. දවසක් අපෙ පුංචි අයියා හම්බුවෙලා මගෙ ටෙලිෆෝන් නොම්බරේ ඉල්ලාගෙන තියෙන්නේ. සුනිල්ගෙ තාත්තා නැතිවෙලා මීට අවුරුද්දකට ඉස්සර. දැන් එයාගෙ අම්මයි මල්ලියි කඩේ කරගෙන යන්නේ. මට වගේ නෙවෙයි සුනිල්ට ගමේ තවම ගෙදරක් පවුලක් තියෙන නිසා නිතරම එහෙ යැවෙනවලු. එන සතියේ මටත් ගමේ යන්න තමා කතා කලේ.

“මේකයි ලකී. මම හිතගෙන ඉන්නවා අර අපෙ පරන දේවාලේ කැලේ පැත්තේ ඇවිදලා එන්න. මං දන්නව ලකී ඒ දවස්වල මේකට ආසාවෙන් හිටියා කියලා. අපි ගිහින් බලමුද?”

“සුනිල් මේක පොලිස් රාජකාරි වැඩක්ද නැත්තං විනෝදෙටද කරන්නේ?”

“…. මොකටද බොරු කියන්නේ…ඒ දෙකම අල්ලලා තමා යන්න හිතාගෙන ඉන්නේ…”

“ආපහු එන්න බලාපොරොත්තුවෙන් නේද යන්නේ?” මම ඇහුවේ විහිලුවට වගේ.

“එහෙනං මම සෙනසුරාදා ඔහාට එන්නං - අපි හතට විතර පිටත් වෙමු.

සුනිල් ඉස්සර වගේ නෙවෙයි හොඳ උස මහතයි. පොලිසියේ කෙනෙකුට බොහොම උචිත පොඩි උඩු රැවුලකුත් තියෙනවා. මගෙ කෙට්ටු ඇඟයි සුදු වේගන යන කොංඩෙයි එක්ක බලපුවම අපි දෙන්නා ඇඟෙන් බොහොම වෙනස්. නමුත් වාසනාවකට වගේ අපෙ අදහස් බොහොම කිට්ටුවෙන් තිබුන බව පෙනුනා.

“මම දන්නෙ නෑනේ සුනිල්ලගෙ තාත්තා ගැන….” මේහෙම පටන්ගත්ත කතාව අපි ගමට යනකන්ම දිගටම කෙරුනා. අපෙ පවුල් ගැනයි, ගමයි පරන යාලුවොයි ගැන හුඟක් දේ කියවුනා. එතකොට තමා මට කොච්චිවත්තේ මාමත් නැතිඋන බව ආරංචි වුනේ.

“ඒ මාමට ඒහැටි වයසක් නෑනේ. එයා තමා මට දේවාලේ ගැනත් බොහොමදේ කියලා දුන්නේ…”

“….හ්ම්….ඒ උන්දැට එක එක කරදර තිබුනා…”

“එහෙත් ගිහින් ආවොත් හොඳයි ගමටත් ආපු එක”

“ලකී අපි ඉස්සරවෙලා අපෙ ගෙදර ගිහින් තේ එකක් බීලා, දේවාලේ වැඩේ කරගන්න බලමු. හොඳටම කල් ගියොත් රෑ ඉන්න පුලුවන් නේද?”

“ඒක ප්‍රශ්නයක් නෑ …. හවස හරි හෙට හරි කොච්චිවත්තේ ගියොත් ඇති. එතකොට අපෙ පරන ඉඩමයි ගෙදරයි තිබුන තැනුත් බලගන්න පුලුවන්”

දේවාලේ ගමනට සුනිල්ගෙ මල්ලී, සරතුත් ආවා. ඒ දෙන්නම කිසි බයක් සැකයක් නැතුව ගමනට ලෑස්ති උනේ, හරියට ඇලට නාන්න යනවා වගේ.

පලවෙනි පැය බාගේ ඇවිදින්න හොඳ අඩිපාරක් තිබුනා. ඊට පස්සේ පාර ටික ටික කැලේට ගියා. නමුත් මම හීනෙන් දැකපු කැලේ තරම් ඝන විදිහට හැදිලා නෑ. තව පැයකට විතර පස්සේ අපි නැවතිලා ගලක් උඩ වාඩි වෙලා වතුර ටිකක් බිව්වා. සරත් සිගරැට් එකකුත් පත්තු කලා. සුනිල් අපට ඉතිරි ගමන ගැන කිව්වා.

“මට මතක හැටියට තව විනාඩි හතලිස් පහකට වැඩිය නෑ. අර ගල්ගෙඩි ගොඩෙන් එහා පැත්තට බැස්සම එතනින් දිගටම බෑවුම. හැබැයි වේවැල් කටු එහෙම පිරිලා, පරෙස්සමෙන් අඩිය තියන්නේ”

“සුනිල් මතක හැටියට කිව්වේ මීට ඉස්සර මෙහෙ ඇවිත් තියෙනවද?” සුනිල් සරත් දිහා බලලා හිනා උනා.

“මල්ලියි මමයි මෙහෙ ආවේ මම පොලිසියට බැඳෙන්නත් ඉස්සර. ලකී ගමෙන් ගිහින් අවුරුදු කීපෙකට පස්සේ…”

“…මෙතන මොකද්දෝ මට නොතේරෙන රහසක් තියෙනවා වගේ….” ආයෙත් සුනිලුයි සරතුයි හිනා උනා. සුනිල් කතා කරන්න පටන් ගත්තා.

“ලකී හිතන විදිහේ දේවාලයක් මෙහෙ නෑ….ඒක පෙන්නලාම කියන දේ කියන්න ඕන කියලා අපිට හිතුනේ ඒ දවස්වල ලකීට මේක ගැන හරි ආසාවක් තිබුන නිසා. ඒ දවස්වල තිබුන කතා හුඟාක් ගොතපුවා!”

“…ඒ කියන්නේ පුංචි අයියත් මට බොරුද කිව්වේ?...” මම කවදාවත් හිතුවෙ නෑ පුංචි අයියා මට එහෙම බොරු ගොඩක් කියයි කියලා.

“නෑ… දැනගෙන කියපු බොරු නෙවෙයි…එයත් අහුවෙලා හිටියේ ගොතපු කතාවකට”

“එතකොට කොච්චිවත්තේ මාමා?”

“උන්දෑ ගැන පස්සේ බලමු…ආයෙ කොහෙන්ද ආරංච් උනේ දේවාලේ ගැන?”

“සුනිල්ලගෙ කඩේ ඇහුන කතා තමා”

“ඒවා හොඳට හිතලා මතලා පතුරපු කතා!”

“ඔයදෙන්නා ඔය කියන්නේ ඇත්තමනම්, මේවගේ කතාවක් ගොතන්න මෙතන හේතුවක් තියෙන්න ඕනෑ නේද?”

“සල්ලි!”

“මිනිස්සු ගොනාට අංඳනවට සල්ලි දෙන්නේ කවුද? දුන්නොත් දුන්නේ කාටද?”

සහෝදරයෝ දෙන්නා සද්ද නැතුව හිටියා ටික වෙලාවක්. මං හිතන්නේ කියන්න තියන දේ හරි විදිහට සකස් කරගන්න වෙන්න ඇති. අංතිමට සුනිල්ම උගුර පාදලා කතාව පටන් ගත්තා.

“මට සරත් මල්ලී තමා මේකේ මුල හොයන්න උදව් උනේ. දවසක් අපි දෙන්නා කඩේ ඉස්සරහ ඉන්නකොට කවුදෝ කිව්වා දේවාලේ ගැන මොනවාදෝ. මල්ලී මං දිහා බලලා කිව්වා ‘ඕන ඔට්ටුවක් ඔතන දේවාලයක් නෑ’ කියලා. ඇත්තටම හිතලා බලනකොට දේවාලේ තියෙන්නේ අපිට ඇහෙන කතාවල විතරයි. එදා අපි දෙන්නා හිතා ගත්තා දේවාලේ හොයලා බලන්න”

“ඊට මාසෙකට විතර පස්සේ දවසක් අපි දෙන්නා රෝස්පාන්, කෙහෙල්ගෙඩි එහෙම ටිකක් බැඳගෙන පිටත් උනා දේවාලේ හොයන්න. අපි ඒ දවස්වල කෑම ඇරුනුකොට වෙන මොනවත් ගැන වැඩිය හිතුවෙ නෑ” සුනිල් ඒ මතකෙට හිනාඋනා.

“අපි මේ ගල උඩදී තමා ගෙනාපු කෑම කෑවේ. මතක තියාගන්න, ඒ වෙනකොට අපි දේවාලයක් තියෙනවද නැද්ද කියලා තවම දන්නෙ නෑ. අපි හිතා ගත්තා තව පැය එක හමාරකට වැඩිය යන්නෙ නෑ කියලා ඒක හොයාගෙන. මොකද, ආපහු යන්නත් ඕන නිසා. හැබැයි තව පැයක් ගියෙත් නෑ අපිට දේවාලේ දකින්න.”

“ඒක පොඩී ගල් වලින් බැඳපු කාමරයක් - තව ටිකකින් ඒක බලන්න පුලුවන්. නමුත් අපි දැකපු ඊට වැඩිය වැදගත් දේ තමයි දේවාලේ වටේටම තිබුන විසාල ගංජා හේන”

“දේවාලේ වටේ ගංජා! කපුරාල හිටියද? මිනිහගෙද ගංජා?”

“එතන කිසි කපුරාලයෙක් නෑ. පොඩි පැලක් තිබුනා හේන කොටන මිනිස්සු ඉඳලා හිටලා ඉන්න තැනක් වගේ. නමුත් පෙනෙන විදිහට එතන නිතරම කවුරුත් නෑ. හරියටම කිව්වොත් අපි ගිය වෙලාවේ එතන කවුරුත් නෑ. මල්ලියි මායි හොඳ වෙලාවට ගංජා කියන්නේ මොනවද කියලා දැනගෙන හිටියා. අපි කල්පනාකරේ මේක වවන මනුස්සයා අල්ලලා පොලිසියට බාර දෙන්න. අපිට තෑගි එහෙමත් ලැබෙයි කියලා අපි හිතුවා!”

“ඉතින් මොකද කරේ?”

“අපිට බය හිතුනා මේක කරන මනුස්සයා දැනගත්තොත් අපිට කරදර වෙයි කියලා. ඊට පස්සේ තමයි මම පොලිසියට බැඳෙන්නත් මල්ලී ගමේම ඉඳලා දේවාල කතා එකතු කරන්නත් අපි තීරනේ කරේ….මම පොලිසියේ දැන් අවුරුදු ගානක්….මල්ලී ලඟ දැන් පොතක් ලියන්න තරම් ‘දේවාල කතා’ තියෙනවා - එක එක මිනිස්සු කියන දේ”

“ඉතින් ගංජා ලොක්කා අහු උනාද?”

“ඒක කියන්න ඉස්සර ලකී කියන්න බලන්න දේවාල කතාවේ වැදගත්ම දේ මොනවද කියලා….”

“මට මතක හැටියට….ඒක කැලේ තියෙන්නේ…ඒකට යන්නත් ඇතුල්වෙන්නත් බොහොම අමාරුයි කැලෙයි, නයි, යතුරු දාපු දොරවල් එහෙම නිසා… ඒකට යන කෙනෙක් ආපහු ආවෙ නෑ…..”

“ඒ කියන්නේ කවුරුත් ඒක තියෙන තැන දන්නෙත් නෑ, යන්නත් බයයි. ඒක ඇහෙන් දැකපු කෙනෙක් අපි දන්නෙත් නෑ, ගමේ ඇත්තෙත් නෑ. අපි දන්නේ එක එක එක්කෙනාගෙ කට කතා විතරයි….. ඊට පස්සේ මට හිතුනා, කපුරාලලා ගැන. කොහොමද මනුස්සයෙක් ජීවිතේටම කැලේ යවන්නේ ගෝරියක් නැතුව? මට හීනෙන් මොකවත් කිව්වනම් මම හීනෙට බංබු ගහගන්න කියනවා! නමුත් මහලියද්ද ගෙදර ජයනේරිස් කාටවත් නොකියා කැලේට ගියාලු”

“ඒක තමා කොච්චිවත්තෙ මාමත් කිව්වේ!”

“ඒ කතාව පටන්ගත්තේ කොච්චිවත්තේ උන්දෑ….බලාගෙන යනකොට දේවාලේ ගැන කතා හුඟක් පටන්ගත්තේ එතනින්….” සුනිල් මෙහෙම කියලා බිම බලාගත්තා.

“මම කවදාවත් හිතුවෙ නෑ කොච්චිවත්තේ මාමා බොරු ගොතන මනුස්සයෙක් කියලා…අපෙ අම්මගෙ අයියා…උන්දෑ මොකද එහෙම බොරු ගොඩක් පැතුරුවේ?”

සුනිලුයි සරතුයි දෙන්නම මං දිහා බැලුවේ කනගාටුවෙන්.

“ගංජා වවන අයට බොරු කියන්න වෙනවා ලකී….මම පොලිසියේ අයත් එක්ක හේන වටලන්න ඉස්සර සරත් අතේ උන්දැට පනිවිඩයක් ඇරියා….ලකීගෙ නෑදෑකම නිසාම. දඩයමේ ගිහින් වැටිලා තුවක්කුව පත්තුවෙලා වෙඩි වැදුනා කියන එක අපියි ප්‍රසිද්ද කලේ. එයා තුවක්කුවෙන් සිය දිවි නසා ගත්තා…”

මට මේක අදහාගන්නත් අමාරුයි. අපෙ මාමා ගංජා වවන්නෙක් කියලා.

“එතකොට ජයනේරිස්ලට මොකොද උනේ?....අපෙ මාමා මිනී මරුවෙක් කියලද ඔය කියන්නේ?”

“නෑ…නෑ…උන්දෑ එහෙම කෙනෙක්නම් මම කවදාවත් උන්දැගෙ නම බේරන්න වැඩ කරන්නෙ නෑ, කාගෙ නෑදෑයෝ උනත්. අපිට ජයනේරිස් හොයාගන්න පුලුවන් උනා, රාජාංගනේ. ඊට ඉස්සර ගිය අය ගැනත් ආරංචි හම්බු උනා. ජයනේරිස්ට හොඳට ගෙවලා තියෙනවා - රාජාංගනෙන් ඉඩමුත් හොයල දීල තියෙනවා….”

අපි ඊට පස්සේ දේවාලේ බලන්න ගියේ නෑ. කොච්චිවත්තේ ගෙදර ගියෙත් නෑ. අන්තිමට මම සුනිල්ලට ස්තුති කරලා ගෙදර ගියේ පුංචි අයියට මේ ගැන කිසි දෙයක් නොකියන්න හිතාගෙන.