කෑමේ බීමේ සංස්කෘති
මම ඔස්ට්‍රේලියාවට ආවේ එකදාස් නවසිය හැත්තෑව දසවසේ. ඒ මම ලංකාවෙන් පිට ගිය පළමුවෙනි වතාවයි. මගේ පළමු නවාතැන වූයේ විශාල විශ්වවිද්‍යාලයකට ඉතා ආසන්නව පිහිටි නිදන කාමර තුනකින් යුතු ගෙදරකි. ඔස්ට්‍රේලියානු සිසුවෝ දෙදෙනෙක් මා එනවිටත් එහි නැවතී සිටියා. මේ පලාත තරුණ සිසුවන්ගෙන් පිරීගිය එකක් වීමත්, මේ කාලයේ රටේ තිබූ දේශපාලන/ආර්ථික වාතාවරණයත් නිසා මා මෙහි ලියන සටහන් මුලු ඔස්ට්‍රේලියාවටවත් ඕනෑම කාල පරිච්ඡේදයකටවත් යොදා ගත නොහැකි බව මුලින්ම කිවයුතුයි. එමෙන්ම මගේ සටහන් මා එදා දුටු දේ, මා ඒ දිනවල තේරුම් ගත් ලෙස ලියන නිසා සමහර සිද්ධි මම සම්පූර්නෙන් හෝ අඩවශයෙන් වරදවා තේරුම් ගත්තා වියහැකියි. මම හැකිතරම් අවංකව මගේ අදහස් සටහන් කරන්නේ ඒවාගේ වටිනාකම තක්සේරු කිරීම ඔබටම බාර දීලයි.
ලංකාවේ උදේටත් බත් කාපු මට ඔස්ට්රේලියාවේ කෑමට පුරුදු වෙන්න ටිකක් කල් ගියා. ඒ කෑමේ කිසි අඩුවක් නිසා නෙවෙයි - කෑම වර්ග ඕනෑ තරම් තිබුනා - කෑමේ සිරිත් විරිත් නිසාමයි පුරුදු වෙන්න කල් ගියේ. ලංකාවේ අපි උදේ ඇඳෙන් නැගිටලා මූන කට සෝදාගෙන, සමහරවිට වැඩට යන්න ඇඳුමත් ඇඳගෙනයි උදේට මොනවත් කෑවේ. මෙහෙ එහෙම නෑ - නැගිටපු ගමන්ම වගේ උදේට කනවා. ඊට පස්සෙයි මූන කට සෝදාගෙන දවසේ වැඩවලට ලෑස්තිවුනේ.
අපිට අම්මලා කොයි තරම් කියන්න ඇතිද “දැන් මූන සෝදාගෙන ඇවිත් කෑවොත් නරකද?” කියලා. ඒ වැකියෙන් උදේ කෑමට වෙලාව ඇවිත් බවත් කෑමට පෙර කළයුතු දේත් කියවුනා. උදේ කෑමට පෙර දත් මැද මුහුන සෝදන නීතිය එදා පටන් අපි දිගටම පිළිපැද්දා - ඒක පුරුද්දක් කරගත්තා. ඔස්ට්රේලියාවේ මම නැවතිලා හිටපු ගෙදරදී තමා ඒ නීතියට පටහැනිව වැඩකරන්න පටන් ගත්තේ. මම නැවතුන ගෙදර මා ඇරුනුකොට හිටියේ පශ්චාත් උපාදි වලට ලෑස්තිවෙන ජෝන් සහ ටෙරී යන ඔස්ට්රේලියානු ශිෂ්යයෝ දෙදෙනෙක් පමනයි. ඔවුන් දෙදෙනා අනුගමනය කිරීමෙනුයි මම මෙහෙ ජීවිතයට පුරුදුවුනේ. ඒ ගැන ඔවුන්ට මම තාමත් ස්තුතිවන්තයි.
ඒ කෙසේ වෙතත් මගේ පොල්සම්බල් කෑමට ඇති ආසාව නැතිකරන්න ඒ දෙදෙනටවත් ඊට පසු ආශ්රය කරපු දහසක් ඔස්ට්රේලියානුවන්ටත් බැරිවුනා.
පොත්පත් වලත්, චිත්රපටි වලත් ‘සුද්දන්ගේ‘ උදේ කෑම හැටියට අපි දැක්කේ බේකන්, බිත්තර, සොසේජ් වගේ ජාතියි. නමුත් මම නැවතුන ගෙදර උදේට තේ හෝ කෝපි සමග ‘ටෝස්ට්’ කරපු පාන් පෙති දෙකක් චීස්, වෙජිමයිට්, ජෑම් වගේ දේ සමග කනවා හැරුනුකොට සමහරවිට වෙන කෑවේ කෝන්ෆ්ලේක්ස් වගේ කිසි කමකට නැති කෑමයි. ජෝන් සමහර විට කෝන්ෆ්ලේක්ස් වගේ කෑමට කිව්වේ ‘ටෝස්ටඩ් කාඩ්බෝඩ්’ කියලයි. මං හිතන්නේ මේක ඒ කාලේ සිසුවන්ගෙ කියමනක් මිස මුලු රටේම ඇති ආකල්පයක් නොවෙයි - සුපර්මාකට් වල මේවායින් පිරී තිබුන කඩ රාක්කි මේ කියමන පොදු එකක් නොවන බවට සාක්ෂි කිව්වා.
උදේට කන්නේ ටෝස්ට් කෑලි දෙකක් කියලා මම කිව්වේ ඇත්තටම. ජෝනුයි ටෙරියි කෑවේ පෙති දෙක බැගින් - සමහරවිට ඊට වැඩිය කන්න හිතුනත් මමත් පෙති දෙකකින් නැවැත්තුවා. නමුත් මම ඇඳෙන් නැගිටිනකොට ඒ දෙන්නම ගෙදරින් පිටවෙලා නම් එදාට මම සමහරවිට පෙති තුනකුත් කෑවා - ඒත් මගෙ හිතට පොඩී අපහසුවක් දැනුනා එහෙම කාපු වෙලාවට. මේ කෑම පුරුදු වෙන්න මට කාලයක් ගියා. දැන් නම් මමත් උදේට කන්නේ ටෝස්ට් කෑලි දෙකයි.
මට වඩාම අමුතු විදිහට පෙනුනේ දවල් කෑමයි. ලංකාවෙදි බත් පාර්සලේ දිග ඇරගෙන කන්තෝරුවේ අනික් අයත් එක්ක කයිවාරු ගහ ගහ අපි දවල් කෑමට පැයක් විතර ගත්තා. මට දැනුනේ ඔස්ට්රේලියාවේ ශිෂ්යයෝ දවල්ට නොකන බවයි - සැන්ඩ්විච් එකක් ඇපල් ගෙඩියක් කන එක දවල් කෑම හැටියට පිලිගන්න මට කාලයක් ගියා. ඒ වගේම මම වැදගත් පාඩම් ඉගෙනගත්තා දවල් කෑම ගැන.
තමාගෙ දවල් කෑමේ වගකීම තමාටම අයිතියි. ගෙදර කවුරුවත් ‘කෑම පැකට්’ හදලා දෙන්නෙ නෑ, ඉස්කෝලේ යන ළමයින්ට හැර. ඒ වගේම තමා තමා ගෙනා කෑම කනවා මිස අනික් අයගෙ කෑම ගැන කුතුහලයක් පෙන්වන්නෙ නෑ - ඒක ටිකක් අශිෂ්ට හැසිරීමක් හැටියටයි මෙහෙ අය හිතන්නේ. මගෙ පරන කන්තෝරුවේ එහෙම නෑ.
“මොනවද මචං අද?”, “උඹට අල කෑල්ලක් ඕනද?”, “අදත් පරිප්පු!”, “සලාක එකේ බත් එක නරක නෑ නේද?”. අපෙ කන්තෝරුවේ කෑම වෙලාව ගෙදර වගේ. වැඩ ගැනයි, කෑම ගැනයි, දේශපාලනෙයි - මේ සේරම ගැන කතා වෙනවා - එක එක්කෙනා කන කෑම ගැනත් යමක් කියවෙනවා.
මෙහෙ ඒවා නෑ - දවල් කෑම වෙලාවට (එහෙම වෙලාවක් තිබුනොත්) කන අය කනවා, අනික් අය තමා කරන දෙයක් කරනවා. සමහරවිට කීප දෙනෙක් එකට කෑවත් කෑම ගැන යමක් කියවෙන්නේ කලාතුරකින්. මට පස්සේ කාලෙකදීයි තේරුනේ සමහරවිට කන කෑම තමාගේ වත්කමට සම්බන්දයක් තියෙන්න පුළුවන් නිසයි ඒ ගැන කතා නොකරන්නේ කියලා. (“කෑම ගන්න සල්ලි නෑ”, “කෑම ගෙනාවෙ නෑ” කියන එක ලජ්ජාවට කාරනයක් හැටියට මේ අය සලකන්නෙ නෑ. සල්ලි ඇතිවුනත් නැතිවුනත් පංතියේ සියල්ලොම එකවගේ කියලයි ඔවුන් සලකන්නේ. නමුත් සල්ලි හෝ කෑම නැති අය සාමාන්යෙන් අනික් අය කන තැන ඉන්නෙ නෑ).
…………………..
කෑමටත් වැඩිය නීති රීති (මේවා හිතන්න පුළුවන් නීති රීති හැටියටමයි) ගොඩාක් බීමට තියෙනවා. කිසි කෙනෙකුට කඩ කරන්න බැරි එක නීතියක් තමා ‘ශෞට්’ කියන්නේ. අපි මේ වචනේ පාවිච්චි කරන්නේ කෑ ගහනවට - හයියෙන් කෑගහනවට. නමුත් ඔස්ටේලියාවේ හැමෝම දන්නවා බීම හලකදී, ඒ කියන්නේ සාමාන්යෙන් ‘පබ්’ එකකදී, ශෞට් කියන්නේ කන්ඩායමේ අයට බීම රවුමක් මිලට ගැනීමයි. ‘මයි ශෞට්’, ‘යුවර් ශෞට්’ වගේ දේ නිතරම පාවිච්චි වෙනවා. මේක මම ඉගෙනගත්තේ පබ් එකකට ගිය පලවෙනි දවසේමයි.
මගෙ පංතියේ හතර දෙනෙක් සිකුරදා දවසක හවස ලඟ පබ් එකකට යන්න ලෑස්තිවෙලා මටත් කතා කරා. ඒ දවස්වල පබ් කියන වචනේ ලංකාවේ වැඩිය පාවිච්චි නොවුනත් මම දන්නවා කරන්න යන්නේ මොකද්ද කියලා. මම යන්න එකඟවුනේ ඉංග්රීසි පොත්වල (විශේශයෙන් පී ජී වුඩ්හෞස් පොත්වල) විස්තරකර තිබුන අවුරුදු සීයකටත් වැඩිය පරන, ඇතුලේ ලී පනෙල් අල්ලා ඇති ගනකම බිත්ති වලින් සැදූ, විශාල, අඳුරු කාමරයක් බලාපොරොත්තුවෙනුයි. නමුත් අපි ගිහින් වාඩිවුනේ හෝටලේ මිදුලක මේස වටා තිබූ පුටු කීපයකයි. වැලි පොලවත් මේස වලට සවිකල කුඩත් සැර ඉර එලියත් නිසා මගේ හිතේ ඇඳී තිබුන ‘පබ්‘ පින්තූරේ සම්පූනෙන් වෙනස්වුනා. ඒ අපි ගියේ ‘බියර් ගාඩන්’ එකටලු.
ජිම් වාඩි නොවී අපි දිහා බලලා ‘පොට්ස්?’ කියලා ඇහුවා. අනික් අයත් ඔවු කියපු නිසා මමත් එහෙම කිව්වා - වෙන මොනවා කරන්නද? නමුත් අහපු ප්රශ්නෙත් දීපු උත්තරේ ප්රතිපලත් මට තේරුනේ ටික වෙලාවකට පස්සෙයි. ඒ එක ප්රශ්නේ බොහොම කරුණු ගැබ්වී තිබුනා. අපි පිළිගෙන තුබුනා (තිබුනළු!) බොන්නේ බීර කියලා - විස්කි, වයින් වගේ දේ නෙවෙයි. ‘පොට්’ කිව්වේ බීර දෙන වීදුරුවේ දාරිතාවයි - පොට් එකක් අවුංස 10යි. අනික, ජිම් බාර් එක ලඟට ගිහින් අපි පස්දෙනාටම බීර අරගෙන අපෙ මේසෙට ගෙනාවා - වේටර්ලා නෑ.
ලංකාවේ වගේම අපි ‘චියර්ස්’ කියලා බොන්න පටන්ගත්තා. ඔස්ට්රේලියාවෙයි ලංකාවෙයි මත්පැන් බොන තැනක කතා මාතෘකා එක වගේමයි; ක්රීඩා, දේශපාලනේ, රස්සාව/ඉගෙනීම සම්බන්ද පුද්ගලයන්ගේ වැරැදි/අමුතු ගතිගුන…. නිතරම විහිළු කතා කියවෙනවා. බීමත්කම වැඩිවෙනකොට කතා වල උපහාසාත්මක ගතිය අඩුවුනාට හිනාව වැඩි වෙනවා. මේක ලෝකේ හැම තැනම සිදුවෙන දෙයක් වෙන්න ඇති.
“යුවර් ශෞට් ටෝනී!”
ටෝනි වටේට බලලා ඇහුවේ “සේම් එගේන්?” කියලා විතරයි, බාර් එකට ගිහින් බීර ගේන්න ඉස්සර. මම මේ වචන හොඳට මතක තියා ගත්තා අනාගත පාවිච්චියට.
ලංකාවේ කවදාවත් නොදැකපු දෙයක් මම ඒ පබ් එකේදී දැක්කා වෙන දවසක. එදා අපි හතරදෙනෙක් හිටියා. දැන් ‘පබ් භාශාව’ දන්න නිසා මේ සැරේ මම ඉස්සරවෙලාම ඇහුවා “පොට්ස්?” කියලා. එතන හිටපු එක්කෙනෙක් කිව්වා එයාට බීර ගන්න එපා - එයාගෙ බීර එයාම ගන්නවා කියලා. මට මේක දැක්කේ අමුතු දෙයක් හැටියට. නික් (මිනිහගෙ නම නික්) මගෙන් නොබී මට කළේ නින්දාවක්ද, එහෙමත් නැතිනම් කාගෙන්වත් නොබොන්න හේතුවක් තියෙනවද වගේ අදහස් මගේ හිතට ආවා. නමුත් මම මේ ගැන කිසිම ප්රශ්නයක් ප්රසිද්දියේ ඇහුවෙ නෑ. අපි ආපහු ගෙදර එන වෙලාවේ නික් එයාගේ හැසිරීමේ හේතුව මට කියලා දුන්නා.
“අපි හතර දෙනෙක් හිටිය නිසා ශෞට් එකට බීර හතරක් ගන්න ඕනෑ. මා ලඟ තිබුනේ බීර දෙකකට සල්ලි විතරයි. ඒ නිසා මම බීර දෙකක් බිව්වා - ඔය තුන් දෙනා බීර තුන බැගින් බොන වෙලාවේ”
ලංකාවේ නම් ඒ වෙලාවේ අතේ සල්ලි තියෙන මිනිහා බීම ගන්නවා - ඔස්ට්රේලියවේ වගේ හැමෝම එක බීම වට ගනනක් ගන්න ඕන කියලා නීතියක් නෑ වගේ. මට හිතෙන්නේ දෙපැත්තෙම ස්ථාවර තහවුරු කරන තර්ක තියෙනවා - අවස්ථාවේ හැටියට.
………………
පබ් එකේ බීමයි ගෙදර බීමයි සම්පූර්නෙන්ම වෙනස්. ශිෂ්යයෝ හැටියට අපි මත්පැන් බිව්වේ මාසෙකට සැරයක් දෙකක් පමනයි - ඒ අපේ වත්කමෙන් පාලනයවූ දෙයක්. පබ් එකේ බිව්වේ වැඩිපුරම මගේ පංතියේ සිසුන් සමගයි - විභාගයක්, වාර අවසානයක් වැනි විශේෂ අවස්ථවකදියි. මා නැවතී සිටි ගෙදර මත්පැන් පාවිච්චිවුනේ ගෙදර පාටියක් තිබුන රැයකයි. පාටියක් නැති දවසක මත්පැන් බිව්ව අවස්ථාවක් මට මතක නෑ.
මේ පාටි වලට අපිට කැමති තරම් මිත්රයන්ට ආරාධනා කළ හැකියි. මේ ‘සීමා රහිත’ මිත්රයන්ට ආරාධනා කිරීමට හැකිවෙන්නේ එකම හේතුවක් නිසයි - මිත්රයෝ කීදෙනෙක් ගෙදර අයගෙ වියදම වැඩිවුනේ නෑ. ආරාධිතයෝම තම තමාගේ අවශ්යතාවයන් සපුරාගත්තා.
සාමාන්යෙන් පාටි වර්ග දෙකයි - රෑ කෑම සමග හෝ රෑ කෑමට පසුව.
රෑ කෑමට සාමාන්යෙන් බාබකියු තහඩුවක මස්, සොසේජ්, ලූනු වැනි දේ ගින්නෙන් රත්කරන ලද ගන යකඩ තහඩුවක දමා බැදගෙන (පැනිරස නැති) බනිසයක් මැදට දමා කෑම රෑ කෑමයි. මෙවැනි රෑ කෑමක් දෙන්නෝ ගෙදරින් සපයන්නේ බාබකියු උපකරනත්, බැදීමට අවශ්ය තෙල්, ලූනු, සෝස් වර්ග සහ බනිස් පමනයි - සමහරවිට සලාදයකුත් එකතුවෙන්න පුළුවන්. අවශ්ය මස්, බීම වැනි දේ ආරධිතයොම සපයනවා. මේ අනුව මිල වැඩි දේ තම තමා සපයා ගන්න අතර මිල අඩු දේ ආගන්තුක සත්කාර කරන්නා සපයනවා. සාමාන්යෙන් තෙල්, ලූනු, සෝස් වැනි දේ හැම ගෙදරකම තියෙන නිසා බාබකියු පාටියක් දාන එක වැඩි වියදමක් යන දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම කෑම කෑමට ‘පාටි ප්ලේට්ස්’ කියන ගන කඩදාසි පිගනුයි කාඩ්බෝඩ් හරිප්ලාස්ටික් හරි ‘වීදුරු’ තිබුනොත් පසුවදා උදේ ගේ පිරිසිදු කිරීමත් ලේසියි - සේරම එකතුකරලා කුනු බක්කියේ දානවා!
ආරාධිතයෝ කෑම (මස්, සොසේජ් වගේ) සහ බීම (බීර, වයින් වගේ) ගෙනෙන්නේ තමාට ඕනෑ ප්රමානයටයි. තමා ගෙනා කෑම තමාම කෑවත් බීම එහෙම නෑ. – කාගෙ වුනත් විවෘත බෝතලයක් ඇතොත් ඒකෙන් බීම සාමාන්ය සිරිතයි - අවශ්ය ප්රමානයට ගෙනත් ඒ ප්රමානයට බොන නිසා මෙයින් කාටවත් ‘පාඩුවක්’ වුනේ නෑ.
රෑ කෑම නොදෙන පාටි පටන්ගන්නේ හතෙන් පස්සේ. ආරාධිතයෝ එන්නේ රෑ ආහාරෙන් පස්සේ, 7.30ට විතර. ලංකාවේ වගේ නෙවෙයි මෙහෙ මත්පැන් වැඩිපුරම පාවිච්චි වෙන්නේ රෑ කෑමෙන් පස්සේ. හපන්න රටකජු, චිප්ස් වගේ දේ ඇරුනුකොට වෙන යමක් තියෙන්නේ කලාතුරකින්. එහෙම ලැබුනත් ලැබෙන්නේ කඩෙන් ගෙනා දෙයක් ගෙදරදී රත් කරලයි. ලංකාවේ වගේ පැටිස් කටලිස් එහෙම නෑ.
මම දැක්ක හැටියට ඔස්ට්රේලියාවේ පිරිමි වැඩියම බොන්නේ බීර. ඒකත් තමා කැමති බීර වර්ගය විතරයි. තමාගේ බීර වර්ගයට පක්ෂපාත බව කොයි තරම් බලවත්ද කිව්වොත් ඔවුන් අකැමැති බීර වර්ග ‘නොබී ඉන්නවටත් වඩා නරක’ බීර ලෙසයි හැඳින්වුයේ.
සමහර ගැහනු අය බීර බීවත් (විශේෂයෙන්ම දහඩිය දාලා මහංන්සියෙන් ඉන්න දවල් වරුවේ) ඔවුන් වැඩිපුර බිව්වේ වයින් නැත්නම් මිශ්ර බීම (‘බ්රැන්ඩි ලයිම් ඇන්ඩ් සෝඩා’ වගේ). මේවා තමාම සපයන නිසා ගෙහිමියට මේක කරදරයක් නෙවෙයි.
බීම දැමීමට ගෙදර ශීතකරණයේ ඉඩ නැතිවෙන තරමට ආරාධිතයෝ බලාපොරොත්තුවෙන දිනවල නාන කාමරේ ‘බාත්ටබ්’ එකට අයිස් කැට පුරවා තිබීමත් සුලබ දෙයක්. (අයිස් කැට බෑග් ලාබෙට ගත හැකියි)
……………..
ආරාධිතයෝ නැති, පාටි නොවන දවසක රෑ කෑම ගෙදර සදාගන්න එකම උනු උනු කෑමයි. උදේට ටෝස්ට් කාලා දවල්ට සැන්ඩ්විච් එකක් කාලා හවස ගෙදර එන වෙලාවට අපිට බඩගින්න තියෙනවා. ඒ නිසා රෑ කෑමට පෙර, රෑ කෑම පිලියෙල කරන වෙලාවෙත්, අපි කෝපි එකක් බොනවා, විස්කෝතුවක් හපමින්.
අපෙ ගෙදර ඉන්න තුන්දෙනා (ජෝන්, ටෙරී, මම) රෑ කෑම ලෑස්තිය බෙදාගෙන හිටිය විදිහට එක් කෙනෙක් කෑම ලෑස්ති කළේ දවස් තුනකට සැරයක්. අනික් දෙදෙනට පිඟන් සාස්පාන් සේදීම වැනි කුස්සි අස්පස් වැඩත්, ගේ අතුගා පිරිසිදු කිරීමත් අයිතියි. මම මෙහෙ ඇවිත් පළවෙනි මාස දෙකේ කෑම ලෑස්තිය බාරගත්තෙ නෑ - මෙහෙ කෑම හොදින් නොදත් නිසා. ඒ වෙනුවට කුස්සි අස්පස් කිරීමේ වැඩ දෙගුනයක් කළා. ඒ මාස දෙකේ මම ස්ටේක්, චොප්ස්, චිකන්, එළවලු, බේකෙඩ් ෆිශ්, ස්ටූ, ස්පැගෙටි වැනි බොහොම දේ උයා පිහා ගන්න ඉගෙනගත්තා. ඇත්තටම ඒක හිතපු තරම් අමාරුවුනේ නෑ. මෙහෙ කෑමට පාවිච්චි වෙන කුළුබඩු අඩුයි - ලුණු ගම්මිරිස් ඇරුනුකොට සුදුලූනු වැනි දේ සුලු වශයෙන් පාවිච්චිවුනා. කුළුබඩු වලට ලොකු තැනක් නොලැබුනත් කෑම ‘පදමට’ පිසීම වැදගත්වුනා. උදාහරනයක් වශයෙන් ගත්තොත්, හරක් මස් පෙත්තක් ‘ස්ටේක්’ හැටියට දෙපැත්ත හොඳට පිලිස්සුන පසු වැඩි වෙලාවක් කබලේ නොතියා එලියට ගෙන කන විට මැද තවම රතු ලේ පාට තිබීම හොඳ දෙයක් මිස ‘අමු මස් කෑමක්’ ලෙස හිතුවෙ නෑ. සම්පූර්නෙන් (ලේ පාට නැතිවෙන තුරු) කබලේ පිසූ මස් ගැන ඔවුන් කීවේ ‘සපත්තු හම් කනවා වගේ’ කියලයි.
බත් කෑවේ සති දෙක තුනකට වරක්. බත් එක්ක එක මස් කරියක් විතරයි තිබුනේ (පොල්සම්බලයක් ගැන අහලාවත් නෑ!). ලංකාවේ වගේ මගෙ යාළුවෝ දෙන්නා කෑවේ ‘රයිස් ඇන්ඩ් කරි’ නෙවෙයි - ඒ දෙන්නා කෑවේ ‘කරි ඇන්ඩ් රයිස්’. පිඟාන මැදට මස් කරිය බෙදාගෙන පැත්තකින් බත් හැන්දකුත් බෙදාගෙනයි කන්න පටන්ගත්තේ.
අනික් දෙදෙනාගේ ප්රමානයටම මමත් කෑම පිසීම පටන් ගත්ත දවසේ තමා මට හිතුනේ දැන් මමත් ගෙදර සම අයිතිකාරයෙක් කියලා.
මම පලමු වරට ලාංකික ආහාර වේලක් ජෝන් සහ ටෙරීට දීපු දවස මට තවමත් මතකයි. මම පරිප්පුයි හරක් මසුයි පොල් සමබලේකුයි බතුයි ඉව්වේ බොහෝම පරෙස්සමෙන්. අපි කෑම කන්න වාඩිවුනේ බීර වීදුරුවකුත් බීලයි.
“මේ පරිප්පු එක හරියට මගෙ අම්මා හදපු එකක් වගේනේ!”
“තැන්ක්යූ ටෙරී!”
මේකේ ඇත්තම කතාව ටෙරී මට කිව්වේ අවුරුද්දකට පස්සේ.
“එදා මම කිව්වේ ඇත්තම ඇත්ත … මට ඒ දවස්වල අම්ම හදපු පරිප්පුත් පෙන්නන්න බෑ!”
…………………
ගෙදර පිලියෙල නොකර පිට තැනකින් රෑ කෑම ගැනීමත් වැදගත් තැනක් ගන්නවා. මේකේ වර්ග දෙකක් හඳුනගන්න හැකියි - ‘ෆාස්ට් ෆූඩ්’ සහ ‘ගොයිං අවුට්’. මේකෙන් ෆාස්ට් ෆූඩ් කියන්නේ දැන් කාලේ ලංකාවේ කෙරෙන විදිහට කඩෙන් කොත්තු රොටී, ආප්ප, තෝසේ, පීට්සා, ෆ්රයිඩ් රයිස් (තව බොහොම දේ) ගෙනත් ගෙදරදී කෑමයි. මං මේ කියන කාලේ (1970 ගනන්) ලංකාවේ මේ වගේ කෑම දැන් වගේ සුලබ නෑ.
ඔස්ට්රේලියාවේ මේ ගනයට අයිතිවුන වැදගත්ම කෑම වශයෙන් ‘ෆිශ් ඇන්ඩ් චිප්ස්’ බොහොම අය පිලිගත්තා. මේ ඉතා ජනප්රිය කෑම එංගලන්තෙන් ආපු එකක්. [විශාල (ග්රෑම් 200) විතර මාලු කෑල්ලක් වතුර මුසු පිටිවල ඔබා ගැඹුරු තෙලෙන් බැද ඒ සමග අර්තාපල් අල ග්රෑම් 200ක් විතර ‘චිප්ස්’ හැටියට කපා ඒ තෙලෙන්ම බැදගෙන දෙකටම ලුනු කුඩු ඉස දෙන මේ ආහාරය ලාබයි, කන්න අමාරු තරම් ලොකුයි (ඒ වගේම පුරුදුවුනාම රසයි). [මම මේ තරම් විස්තර ලියුවේ කෑමේ විශාලත්වය පෙන්වන්නයි - මට ලංකාවේ ඒ තරම් මාළු හෝ අල ගොඩක් එකවර කාලා නොතිබුන නිසයි]. මේ ඇරුනුකොට හැම්බර්ගර්, පීට්සා වැනි දේත් ජනප්රියයි.
‘ගොයිං අවුට්’ යනුවෙන් හැඳින්වෙන්නේ මීට වැඩිය බොහොම විධිමත් දෙයක් - මෙහිදී කෑමට වඩා අවස්ථාව වැදගත්. බොහෝවිට මේ කාර්යට සහභාගි වෙන්නේ ජෝඩුවක් - කොල්ලෙකුයි ඔහුගේ පෙම්වතියයි. ජැන්ඩියට ඇඳ පැලැඳගෙන මිල අධික ආපණශාලාවකට ඔවුන් යන්නේ කෑමට වඩා ඒ ‘අවශ්ථාව’ ප්රීතියෙන් භුක්ති විඳින්නයි. [මේ ගැන මට වැඩිය කියන්න බැරි එකම හේතුව 1970 දශකයේ මම එහෙම තැනකට නොගිය නිසයි!] කෙල්ලෝ මෙවැනි ‘උත්සව’ වලට ඉතා කැමතියි - දින ගනන් ඒ ගැන මතක් කරමින් සතුටු වෙනවා. කොල්ලෙක් හැටියට මෙයට හේතුව මට තේරුනේ නෑ. නමුත් මා දන්න කොල්ලෝ මට කියා තියෙන්නේ කෙල්ලන්ගේ ඕනෑකම නිසා ඔවුනුත් ගිය බවයි.
ඔස්ට්රේලියානුවන්ටත් ලාංකිකයන්ටත් කෑම සහ බීම වැදගත් - ලෝකේ සියළුදෙනාට වගේ. නමුත් ඔස්ට්රේලියානුවන්ට ඒවා වැදගත් වෙන්නේ ලාංකිකයන්ට වැදගත් වෙන විදිහටම නොවෙයි කියලා මට හිතුනා.
මම දුටු ලොකුම වෙනස ඔස්ට්රේලියාවේ කෑමේ විවිධත්වයයි. ඒ කාලෙත් ඔස්ට්රේලියාවේ විශ්වවිද්යාල සිසුවෝ බොහොම රටවල් වලට ආවේනික කෑම වලට පුරුදුයි - ඉතාලි, ග්රීක, ප්රන්ස, ඉන්දියානු,චීන, ජපන්, නගෙනහිර යුරෝප කෑම සිසුන්ගේ වත්කමෙන් භුක්ති විඳින්න හැකිවුනා. ඒ දිනවල ලංකාවේ සිසුන්ටත් තරුණ ආංඩුවේ සේවකයන්ටත් භුක්ති විඳීමට හැකිවූයේ ලාංකික කෑම ඇරුනුකොට චීන සහ ඉන්දියානු කෑම පමනයි. නමුත් මේ පළල් විවිධත්වයේ අඩුපාඩුව නැති කිරීමට ලංකාව කෑමේ විවිධත්වය පෙන්වූයේ සූපශාස්ත්රය ඇසුරිනි. සාමාන්යෙන් ඔස්ට්රේලියාවේ එළවලු වතුරෙන් තම්බා කන අතර ලංකාවේ ඒ එළවලුම කිරට, මිරිසට, ඇඹුලට, මැල්ලුමට, බැදුමට, සලාදෙට… මෙවැනි ක්රමවලට කෑමට ලෑස්ති කිරීම ඕනෑම ගෙදරක කළ හැකියි.
මට ඒ දවස්වල හිතුනේ ඔස්ට්රේලියාවේ තරම් ලාබෙට මස් මාළු එළවලු පලතුරු වගේම හොඳ මුළුතැන්ගේ පහසුකම් ලංකාවෙත් තිබුනානම් රසවත් කෑම අතින් ලෝකේ උසස් තැනක් ගන්න අපේ ගමේ ගෙදරකට වුනත් පුළුවන්කම තියෙයි කියලා. අනික් අතට, ඒ කාලේ එහෙම පහසුකම් තිබුනානම් අද ලංකාවේ කෑමත් ඔස්ට්රේලියාවේ කෑමත් අතර වෙනසක් තියෙයිද කියන එක මට ප්රශ්නයක්.
මොන රටේ ජීවත්වුනත්, අපිට කෑම බීම අවශ්යයි. ඒවා සපයාගන්නේ පදිංචි රටේ අමුද්රව්ය/තාක්ශන ඇති ඇති හැටියට වගේම රටේ පරිසරයත් ආවේනික සංස්කෘතියත් අනුව කියලයි මට හිතෙන්නේ / මම බලාපොරොත්තුවෙන්නේ.
පොල් සම්බල් වලට දීර්ඝායුෂ ප්රාර්ථනා කිරීම වැරදි දෙයක් හැටියට මට පෙනෙන්නෙ නෑ!