කියවන්නා කියවීම

ඔස්ට්රේලියාවේ ජීවත්වෙන මම මහනුවර පදිංචි නංගිට ගිය සතියේ කතාකළේ පුරුදු විදිහට තොරතුරු හුවමාරු කරගන්නයි. අපිට ‘වටිනා’ තොරතුරු නැතිවුනත් විනාඩි කිහිපයක් කතාකිරීමේ වටිනාකමක් මට දැනෙනවා.

“අන්න ඔයා දන්න අර කපිල කුමාර පොරට තෑග්ගක් හම්බවෙලා”

“මොකටද?”

“අළුත් පොතට - ස්වර්ණ පුස්තක තෑග්ග; පළවෙනියා”

“මොකද්ද පොත?”

“මට මතක නෑ…. ඒක නෙවෙයි… ආරංචිද අර ඔයාගෙ යාළුවෙකුත් මැරිලා….”

අපෙ කතාවෙන් පස්සේ කපිලට සුබපැතුම් ඊමේල් පනිවිඩයක් යව්වා. ඒ අනතුරුව තෑගි ලැබූ පොත ‘අදිසි නදිය’ බව අංතර්ජාලෙන් සොයාගත්තා. මේ අවුරුද්දේ මම ඒ පොත මහනුවරින් අරගෙන තිබුනා. මම ඒක නැවතත් කියවන්න පටන්ගත්තේ එය තෑග්ගක් දිනූ නිසාමයි කියලා මට හිතෙන්නේ. නමුත් දෙවැනි කියවීමෙන් මා දුටු “අදිසි නදිය’ පළමු කියවීමත් දුටු එකට වඩා හාත්පසින්ම වෙනස්.

මේ වෙනස මගේ එදිනෙදා සිතුවිලි වලට තදින්ම බලපෑවා. පහත සඳහන් වන්නේ මේ වෙනස ගැන මා විග්රහ කළ ආකාරයයි.

………………………

පොඩි කාලේ පටන් මම පොතපත කියවීමට කැමතියි. අපෙ පවුලේ අනික් අයත් මේ වගේම ‘කියවන්නෝ’ නිසා ‘කියවීම’ මම දුටුවේ හැමෝම කරන ස්වාභාවික මිනිස් ක්රියාවක් ලෙසයි. පාඩම් පොත්වලින් පිට අනිකුත් පොත් කියවීම සතුට ගෙනදෙන කටයුත්තක් බව මට දැනුනේ මගේ පළමුවෙනි ‘ලොකු පොත’ – මාටින් වික්රමසිංහයන්ගේ ‘මඩොල් දූව’ – කියවීමෙන් පසුවයි. ගෙදර ඇඳක වැතිරී ලෝකේ වෙන තැනක ජීවිතයක් රසවිඳින්න මම ඉගෙනගත්තේ එදායි.

ඒ රසවිඳීමේ හැකියාව මා ලඟ තවමත් ඒ ලෙසටම පිහිටා තියෙනවා. පසුගිය හැට වසරකට වැඩි කාලයක මා කියවූ පොත් අනේකප්‍රකාරයි. මගේ කියවීමේ යම්කිසි රටාවක් ඇතිනම් එය හඳුනාගත හැක්කේ පළමුවෙන්ම කියවූ පොතපත වර්ගකිරීමෙන් යයි මට හිතුනා.

මගෙ ‘පාඩම් පොත්’ ගැන වැඩිය යමක් කියන්න අවශ්ය නෑ. ප්රාතමික පාසැල් කාලේ පටන් විශ්වවිද්යාල අවසන් කරනතුරු ඉගෙනීමට අදාල පොත්පත්, විඩියෝ, විද්යා ප්රකාශන, වෙබ් අඩවි වැනි කී නොකී සම්පත් පාවිච්චිවුනේ එකම පරමාර්තයක් ඉටුකිරීමටයි - යමක් ඉගෙන ගැනීමට. මේ අධ්යාපනික සම්පත් බෞද්ධාගම ගැන වුවත් භූවිද්යාව ගැනවුවත් ඒවා පාවිච්චිවුනේ නියත ඉලක්කයක් වෙත ඇස් යොමුකරගෙනයි. අරමුණ ඉටුකර ගැනීමෙන් පසු මේවාගෙන් බහුතරයක් අමතක කර දැමීම සුලභ දෙයක් - අනාගත පාවිච්චියට මතකයේ රඳවා පෝෂණය කර රැකබලා ගන්නේ ඉදිරි අද්යාපනේට හෝ රැකියාවකට අදාල කියවීම් පමනයි.

ඉගෙනීමේ කියවීම් වලට පසු (සමහරවිට සමකාලීනව) ඊලඟ අදියර වෙන්නේ රැකියා සම්බන්ධ කියවීමුයි. මගේ අත්දැකීම අනුව මේවා රැකියාවට අදාල පටු විෂය ක්ෂේත්‍ර වලට සීමා වෙනවා. එහිදී පළල් දැනීමෙන් ඈත්වී විශේෂත්වය ගැඹුරට වැළඳ ගන්නවා. මේ අනුව කියවීම් වලට අයිති වන්නේ වාර්තා, විශේෂඥ අදහස් අයිති සඟරා වැනි දේ. බොහෝවිට මේවා පවුලේ අනික් අයටත් කිට්ටු මිත්රයන්ටත් නොතේරෙනවා වගේම ඔවුන් ඉමහත් සතුටින් නොසලකා හරින තරමට නීරසයි. මේ නිසා මෙවැනි කියවීම් මෙන්ම රැකියාවට අදාල අනික් කටයුතුත් එම රැකියාවෙම නොයෙදෙන්නෙක් සමග සකච්චා කිරීමට තැත් කිරීමත් මෝඩකමක් හැටියටයි මම දැක්කේ. “ඔයාගෙ රස්සාව මට ඉන්ටරස්ටිං නෑ - මගෙ රස්සාව ඔයාට වගේ!”. මේ හේතුව නිසා රැකියාවට අදාල කියවීම් ගැන දිග දුරටසොයා බැලීම අනවශ්ය බවයි මට හිතෙන්නේ.

මගේ කියවීම් වලින් හතරෙන් එකකට අඩු කොටසකුයි ඉගෙනීම සහ රැකියාවට කෙලින්ම අදාලවන්නේ. ඉතිරි හතරෙන් තුන ‘විනෝදයට’ කියවන පොතපතයි.

මම විනෝදයට නානාප්රකාර පොතපත කියවනවා. අංතර්ජාලයෙන් නොමිලේ පුවත්පත් කියවීමට හැකිවීම මට ලොකු උදව්වක්. කඩදාසි පුවත්පතක් දැන් කියවෙන්නේ සතියේ එකම දවසක විතරයි. ඒ සෙනසුරාදා උදේ කෑමට පැයක් පමණ ගෙවීමේ ආශාව නිසා සිද්ධවෙන දෙයක්. අනික් දිනවල අංතර්ජාලෙන් පුවත්පත් කියවෙන්නේ උඩින් පල්ලෙන් - දේශපාලන, ක්රීඩා, රිය අනතුරු වැනි ප්රවුර්ති කියවීම මට විනෝදයක් නෙවෙයි. ඊට වඩා විනෝදයක් නවතම විද්යා සහ තාක්ෂණ තොරතුරු වලින් මම ලබනවා. ඒ වගේම විකට චිත්ර කතා වලිනුත් මම ලොකු ආස්වාදයක් ලබනවා. මගේ ‘ආස්වාද පිළිවෙලේ’ කවි, කෙටිකතා සහ නවකතා වැටෙන්නේ මේ සියල්ලට පහතිනුයි.

සමහරවිට මගේ කියවීමට ඇති කැපවීම මා හිතූ තරම් විධිමත් නැතුව ඇති. මෙය හොඳින් පෙන්නුම් කරන්නේ නවකතාවක් කියවීමේදියි.

…………………………..

මීට අවුරුදු පනස් පහකට විතර ඉස්සර මම කියවපු ජී බී සේනානායකගෙ කෙටි කතා එකතුවක තිබූ එක කතාවක මෙහෙම දර්ශනයක් අඩංගුවුනා. ගමෙන් ගමට ගොස් වෙළදාමේ යෙදෙන කරවල වෙළෙන්දෙක් හවස අඳුර වැටෙන වෙලාවේ හඳුන්කූරු සදන්නෙකුගේ පැලක නවාතැන් ගන්නවා. පැලේ එලියේ මඩුවේ වැතිරී නිදාගැනීමට කොයිතරම් උත්සාහ කළත් වෙළෙන්දට නින්ද ගියේ නෑ - සැර සුවඳකූරු ‘ගඳ’ නිසා. ඔහුගේ විසඳුම - වතුරට කරවල මිශ්රකොට මඩුවේ ඉසීමයි. ඉන් පසු කරවල ‘සුවඳ’ මැද ඔහුට හොඳින් නින්ද ගියා. මේ කතාවේ මට තාමත් මතකයි සේනානායකගෙ අවසාන වාක්ය - ‘හොඳ නරක පිලිබඳ න්යායත් මෙසේයි’’.

මේ පොත ඊට පස්සේ මට හම්බවුනේ නෑ. මේ කතාවේ අනික් විස්තර මට මතකත් නෑ. වෙන එකක් තියා මම මෙතන ලියපු වචන කොයිතරම් නිවැරදිද කියලා කියන්නත් බෑ. නමුත් මේ කතාවේ කොටසක් මගේ මතකේ නොමැකී ඇඳී ඇති බව මුළුමනින්ම නිවැරදියි. මීට හේතුව සැඟවී ඇත්තේ මා කියවූ පොතේද නැතිනම් මගෙ මනසේද යන ප්රශ්නය මට වැදගත්.

ජී බී සේනානායකගෙ කරවල කතාව ලෝකයා මවිත කරන තරම් විශේෂ කෘතියක්යයි මම හිතන්නෙ නෑ. ඊට වඩා සිත් අලවන, ත්යාග දිනූ කතා සිංහලෙනුත් ඉංග්රීසියෙනුත් මම කියවා තියෙනවා. මගේ මතකේ ඇලී සිටීමට උපකාරී මූලික හේතුව කතාව (තේමාව, භාශාව වැනි අංග එකතුව) නොවේ නම් එය මගේ මනසින් නැගී එන්නක් විය හැකියි. නමුත් මෑත කියවූ කල්පිත රචනා වලින් ඉතාම සුළු කොටසක් හෝ දැනටත් මගේ මතකේ රැඳෙනවා. එයින් දැක්වෙන්නේ යමක් දිගු කාලීන මතකයට එකතු කිරීමේ හැකියාව මට තවමත් ඇති බවයි.

අපේ ගෙදර දෙමව්පියන්ගෙත් සහෝදර සහෝදරියන්ගෙත් පොත් තිබුනත් ඒවා මට ගැලපුනේ නෑ. දැන් කාලේ වගේ පොඩි ලමයින්ට පාඩම් පොත් හැර වෙන පොත් මිලදී ගැනීම අපෙ පවුලේ පුරුද්දක්ව තිබුනෙ නෑ. මේ නිසා මම පොඩි කාලේ කියවන්න ඇත්තේ පොත් කිහිපයක් පමණයි. දැන් අවුරුද්දකට අළුත් පොත් දහයක් විස්සක් පමණ කියවන මම ඒ දිනවල අවුරුද්දකට පොත් දෙක තුනකට වඩා කියවන්න නැතුව ඇති. නමුත් ඒ පොත් දෙක තුන කීප වාරයක් කියවූ බව මට තවම මතකයි.

අවට ලෝකය ගැන අත්දැකීම් අඩු මනසකින් යුතු බාල වයසේ කියවූ සෑම කතාවක්ම මා අළුත් ලෝකයකට ගෙනගියා. මෙලෙස හැඳුන්වාදුන් අළුත් රට රාජ්ය, සිරිත් විරිත්, අදහස් උදහස් මුළුමනින්ම නොතේරුනත් ඒවා මොලේට කාවැදුනා. නැවත නැවත කියවීම දීර්ඝ කාලීන මතකේ ගබඩා වීමට රුකුලක්වූ බව මට විශ්වාසයි.

දැන් මගේ කියවීම සම්පූර්ණ වෙනස් මුහුනුවර ගන්නවා; හේතු දෙකක් නිසා. පළමු හේතුව මා කියවන සෑම දෙයක්ම මගේ පුද්ගලික අත්දැකීම් වලට හෝ දැනුමට ඈඳීමට තැත් කිරීමයි. දෙවැනි හේතුව මගෙ ‘උඩින් පල්ලෙන්’ කියවීමේ නරක පුරුද්දයි. මේ හේතු දෙක නිසා බොහෝවිට මා කියවන පොත් වල ගැබ්වී ඇති වටිනා ‘සාරය’ අහුවෙන්නෙ නෑ.

මට කැවෙන්නේ පොල් ලෙලි සහ කටු මිස පොල් මද නොවෙයි.

………………………..

‘අදිසි නදිය’ පළමු කියවීමේදී මම නිතර පාවිච්චි කළ මෝඩ නීතියක් පිළිපැද්දා - ‘ඡේදයක මුල් වැකියෙන් මුළු ඡේදයේම අඩංගුව දැනගත හැකියි’. මේ ‘නීතිය’ විද්යා වාර්තා ලිවීමෙන් ආ එකක් බව මට විශ්වාසයි; නමුත් එය තැනක හෝ කෙනෙකුගේ හෝ සිද්ධියක විස්තරය කිරීමකදී වලංගු නෑ. මෙවැනි විස්තර පිටුවක් දෙකක් දිග අවස්ථා වලදී මම තණකොළ පෙත්තෙක් වගේ තැනින් තැනට පැන්නා මිස දිගටම වචන වැල කියෙව්වෙ නෑ. බොහෝවිට මගේ මනසේ ඇඳුන චිත්රය පොතේ විස්තරකළ දර්ශනයට වඩා බෙහෙවින් වෙනස්වුනා. නමුත් වෙනසක් ඇති බවවත් මට ඒ වෙලාවේ දැනෙන්නෙ නෑ (සමහරවිට අවුල් සහගත යමක් නොතේරී ආපසු ගොස් නැවත කියවීමෙන් මේ ව්යාකූලතවය නැති කරගන්න සිදු වෙනවා)

පළමු මෝඩ නීතියෙන් ලැබුන ‘දායාදය’ ඉක්මනින් පොතක් කියවා ඉවර කිරීමට හැකි වීමයි. ‘ඔවු… මං ඒක කියවලා තියෙනවා!’ කියන කී දෙනෙක් ඇත්තටම පොත කියෙව්වද කියන එක ප්රශ්නයක්. [1988 ස්ටීවන් හෝකිං ලිවූ ‘අ බ්රීෆ් හිස්ට්රි ඔෆ් ටයිම්’ යන පොත කෝටියකට වැඩිය ගනනක් විකිනී තියෙනවා. නමුත් මිලදී ගත්ත අයගෙන් පොත සම්පූර්නෙන්ම කියවා ඇත්තේ සියයට තුනක් පමණ යයි විචාරකයෝ කියනවා.] කියන්න කනගාටුයි නමුත් මමත් මේ ගණයට අයිතියි.

පොතක් ‘උඩින් පල්ලෙන්’ කියෙව්වත් ඒකෙන් වැදගත් අදහස් කීපයක් අහුළා ගැනීම අමාරු නෑ.

‘අර බිම්මල් වසංගතේ නියමයි… ඒකේ මුළ්ම පහළවීම කියවනකොට මගෙ ඇඟ හිරිවැටිලා ගියා!’.

‘හා… අර පුරපති ගැන කියවනකොට කවුද මතක් වෙන්නේ?’

මේ වගේ වචන වලින් සමහරවිට පොත හොඳින් කියවූ අයත් රවටන්න පුළුවන්, එ අය වැඩි ප්රශ්න අහුවෙ නැතිනම්. නමුත් මේ ක්රියාමාර්ගයෙන් තමා රවටන්නේ තමා මයි කියලා මට හිතෙනවා.

කතාවක් හිතට කාවැදීමට බාධා කරන තව කාරණයක් සමහර අදහස්/ක්රියා/පසුබිම් වලට ඇති තද බැඳියාවයි. ‘අදිසි නදිය’ මගේ හිතට කාවැදීමට බාධාවක් ලෙස භූවිද්යාව ක්රියා කළා. නගරයක් යටින් ගඟක් ඇතියයි කියවූ වහාම මගේ හිතට ආවේ ‘හුනුගල්’ යන්නයි; හුනුගල් වතුරට දියවී සෑදුනු ගුහා/බිංගෙවල් මම දැකලා තියෙනවා.

මැක්ස් එක්සෙල් පොලව හාරා දත්ත එකතු කිරීම ගැන කියවූ මට නැගුන ප්රශ්න අතර ‘පාවිච්චි කළ උපකර මොනවද?’, ‘මැන්නේ කුමක්ද?’, ‘යෙදුවේ මොන විද්යාවද/තාක්ෂණද?’ ගැන මම සෑහෙන්න කල්පනා කළා. මගේ කියවීම තවත් කැඩී බොඳී ගියේ මේ නිසයි.

මගේ පළමු කියවීමේදී ඇත්තම මම කියෙව්වේ කපිල ලියූ පොතට හාත්පසින්ම වෙනස් පොතක් කියලා මට හිතුනේ දෙවැනි කියවීමෙන් පසුවයි. ඒ අවස්ථාවෙයි මගේ කියවීමේ ස්වභාවය ගැන හිතන්න පටන් ගත්තේ. ඒකෙන් එක ප්රශ්නයක් ඉදිරියට ආවා:

“මම ‘අදිසි නදිය’ කියෙව්වද, නැත්නම් ‘අදිසි නදිය’ මාව කියෙව්වද?”