කේ පී

“හෙට ටීබි අයියා එනවා කියන්නේ…”

අම්මා මෙහෙම කිව්වේ අප්පච්චී දිහා බලාගෙනයි. අයියයි මමයි අම්මට නොපෙනෙන විදිහට මුහුනෙන් මුහුන බලලා යන්තම් හිනාඋනා. මීට ඉස්සර සැරේ අපෙ ගෙදර ආපු වෙලාවේ ඒ මාමා අම්මගෙන් සෑහෙන්න බැනුම් ඇහුවා, ගමේ ජයසේන ඩ්රයිවර් උන්නැහෙත් එක්ක රා බීලා අහුවෙලා.

“එහෙනං ගෙදරින් එලවලා ඇති…” අප්පච්චී කතා කරාට පත්තරෙන් ඇස්දෙක ඈත් කලේ නෑ.

“අනේ එහෙම කියන්ට එපා… ටීබි අයියා හැම අවුරුද්දෙම මේ කාලෙට ඇවිත් යනවනේ”

“ඒ හැම අවුරුද්දෙම ගෙදරින් එලවන නිසා…” අප්පච්චී අයියා දිහා බලලා කට කොනකින් හිනාඋනා.

ටී බී මාමා අපෙ ගෙදර කීප සැරයක් ඇවිත් තිබුන නිසා එයාගෙ මූන මට මතකයි. රා බීලා අම්මගෙන් බැනුම් අහනවත් මතකයි. නමුත් මිනිහා ගැන මම දන්නේ බොහෝම ටිකයි; අම්මගෙ ඥාති සහෝදරයෙක් උනාට.

“අම්මා ටීබී ටීබී කිව්වට ඇත්තටම ඒ මාමගෙ හරි නම මොකද්ද? ටිකිරි බංඩද?”

“අපෝ නෑ…පිස්සුද?..... තොමස් බැබිංටන් රත්නායක!” අයියට තවත් හිනා. “නැත්තම් ටෙරන්ස් බ්රැඩ්මන්… තුවාන් බදිඋද්දීන්?…. තම්බිරාජා බාලසිංහම්?….”

“ඇති! ඒ ඇති! අනික් අයගෙ නම් ගැන විහිලු කරන්න හොඳනෑ ළමයි!” අම්මා අපිට “ළමයි” කියලා කතා කරන්නේ හොඳකට නෙවෙයි. ඒත් මටත් එක නමක්වත් කියන්න ඕනැ උනා.

“අයියා ඔය විදිහට ඉංගිරිසි, මුස්ලිම්, දෙමළ නම් අමුතුයි කියලා හිනා වෙන එක වැරදියි. අර මගෙ යාලුවෙක් කිව්ව වගේ මාරෙට අමුතු සිංහල නමුත් තියෙනවා… කුරුප්පු…. බුලංකුලම…වගේ. මං හිතුවේ ඊට වැඩිය හොඳ නමක් මාමට දෙන්න…. තේ බඩා රත්නායක… තාලෙට බෙරගහන රත්නායක! තවමත් බංකොලොත්….”

අප්පච්චිටත් ටිකක් හිනා ගියා, නමුත් අම්මගෙ හිත නරක්වෙන විදිහට කතාව දිගට යනවට කැමැති නෑ. වෙන මාතෘකාවක් ඇදගන්නද කොහෙද අයියගෙන් අලුත් රස්සාව ගැන ඇහුවේ.

“ඔය කොම්පැනියේ කංතෝරුවක් තියෙනවා නේද ගම්පොල?”

“ඔවු… හැබැයි ඒක ඔෆිස් එකක් විතරයි; ඉංජිනියරින් වැඩ කරන වැඩපොලක් මේ පැත්තේ නෑ”

අයියගෙ පලවෙනි රස්සාව පටන්ගෙන තවම මාස අටයි. රස්සාවට ගියාට පස්සේ ආ පලවෙනි සිංහල අවුරුද්ද මේකයි. ඒ නිසා මේ සැරේ අවුරුද්ද අපිට විශේෂයි.

අයියා පුද්ගලික සමාගමක ඔය රස්සාව සොයාගත්තේ කාර්මික විද්යාලෙන් එලියට ඇවිත් අවුරුද්දකට පස්සේ - අයියගේම උත්සාහෙන්. මං හිතන විදිහට ආංඩුවේ කර්මාන්තශාලා ඇරුනුකොට පුද්ගලික ආයතනවලටත් හැම සතියෙම වගේ කතා කරලා බැලුවා, පුරප්පාඩු ගැන. අංතිමට රස්සාවක් දුන්නේ අයියා හතර පස් සැරයක් කතා කරලා තිබුන කොම්පැනියකුයි - සමහරවිට කනක් අහෙන්න වෙන්න ඇති. පලවෙනි මාස හයේ අයියා බොහොම හොඳට වැඩ කල නිසා රස්සාව ස්ථිර වෙලා මේ සැරේ ගෙදර ආවේ. අම්මට අප්පච්චිට විතරක් නෙවෙයි මටත් ඒක ගැන හරිම ආඩම්බරයි.

මගෙ එකම සහෝදරයා හැටියටත් වයසින් අවුරුදු හයක වැඩිමහලෙක් හැටියටත් මම අයියට ගරු කරා. පොඩි කාලේ පටන් අයියා කල ඕනැම දෙයකට මමයි ‘අත්වැඩකාරයා’ හැටියට හිටියේ. මාලුවෝ ඇතිකරන්නත්, උඩවැඩියා හිටවන්නත්, විදුලි මෝටරයක් දුවන්නත්, කරත්ත හදන්නත් මම ඉගෙනගත්තේ අයියගෙන්. අත්වැඩකාරයෙක් හැටියට මාලු ටැන්කි සේදීම, මෝටර දිවීමට බැටරි අල්ලා සිටීම, කරත්ත තල්ලු කිරීම වගේ දේ මගේ රාජකාරි වුනා. දිසාපාමොක් ආචාර්යාගෙ ගෙදර මෙහෙකම් කරන අතරේ ඉගනුම ලබනවා වගේ මමත් යම් යම් දේ ඉගෙන ගත්තා. විද්යාවට මගෙ හිත ගියේ අයියගෙ අත්වැඩකාරයා වීමෙන් බවට මගෙ කිසිම සැකයක් නෑ. තරහ ගිය වෙලාවට හිටපු ගමන් මට කනට පාරක් ගැහුවට අයියයි මමයි කවදාවත් ඇත්තටම තරහ වෙලා නෑ. මම උසස්පෙල විභාගේ හොඳින් කලබව ආරංචිවූ වහාම අයියා මට අත් ඔර්ලෝසුවකුත් කලු කලිසමකුත් තෑගි දුන්නා. අප්පච්චී අම්මලා තෑග්ගක් ගැන හිතන්නත් ඉස්සරයි අයියගෙන් තෑගි ලැබුනේ.

කොයි තරම් කිට්ටුවෙන් හිටියත්, කොපමන දේ සහයෝගෙන් කෙරුවත් අයියයි මමයි අතර වෙනස්කම් තිබුනා. බාසාවට ඇති/නැති ලැදිකම එයින් එක වෙනසක්. මම සිංහල වචන වල අයියා නොදකින දේ දැක්කා. වචනවල තේරුම වගේම ඒවාගේ උච්චාරණයෙත් සැඟැවී තිබුනු විහිලු මම පැහැදිලිව දැක්කා. “මස් කඩ හිමියෝ” ගැන පත්තරේ යමක් තිබුනොත් මගෙ හිතේ කෙලින්ම “මස්කඩ” නැමැති හාමුදුරු නමකගේ රූපයක් ඇඳුනා. “පාසැල” වචනෙන් ඉස්කෝලයක් වගේම කකුල් විකුනන කඩයක් ලෙසත් මම දැක්කා.

සමහර වෙලාවට අයියට මේ වචන සෙල්ලම් විහිලු හැටියට පෙනුනෙ නෑ. අයියා හිතුවේ මම ඉතා අදක්ශ ලෙස විකටයෙක් වෙන්න තැත් කරනවා කියලා වෙන්න ඇති. මගෙ වචන සෙල්ලම් වලින් යන්තමටවත් අයියා සහභාගි වුනේ සිංහල වචන වෙනුවට ඉංග්රීසි මුල් අකුරු පාවිච්චියටයි. ඒ නිසා ටී බී මාමට “තොමස් බැබිංටන්" වගේ මුල් නම් කීපයක්ම දුන්නේ. අයියා ඒ වගේවත් විහිලුකලේ ඉඳලා හිටලා.

සමහරවිට අප්පච්චී ටිකක් මගෙ වචන සෙල්ලම් වලට එකතු වුනා. ඒකත් හැබැයි අර වැඩිහිටියෙක් පොඩි එකෙකුගෙ විහිලු වලට සහභාගි වෙනවා වගේ; දෙමව්පියන්ගෙ රාජකාරි වලට අයිති ක්රියාවක් හැටියට. අම්මානම් එහෙම විහිලු වලට කිසි කැමැත්තක් දැක්වුවේ නෑ - ඒක මිනිසුන්ට අපහාස කිරීමක් හැටියටයි අම්මා දැක්කේ.

ටී බී මාමා වචන සෙල්ලමට කැමති බව මට දැනුනේ අපෙ ගෙදර ආපු දවසෙමයි.

……………………

රෑ කෑමෙන් පස්සේ අපි එලියේ ඉස්තෝප්පුවේ වාඩිවෙලා ඉන්න වෙලාවේ මාමා අයියගෙ රස්සාව ගැන ඇහුවා.

“ලොක්කා, ‘එන්ජිනියරින් ඩිසයින්’ කියලා මොනවද ඔය රස්සාවේ වෙන්නේ”

අයියා ප්ර්ශ්නේ ගැන ටිකක් හිතලා බැලුවා.

“මාමා අපෙ කොම්පැනිය ලංකාවේ තියෙන කර්මාන්තශාලා සෑහෙන ගනනක මැසින් මේන්ටේන් කරනවා. ඒ කියන්නේ, යමක් කැඩිලා ගියාම විතරක් නෙවෙයි සාමාන්යෙන් හැම ෆැක්ටරියෙම අවුරුද්දකට දෙකකට සැරයක්වත් මැසින් සේරම චෙක් කරලා බලනවා. ඒ වැඩ වලට මම අත ගහන්නෙ නෑ. ඒකට වෙනම කට්ටියක් ඉන්නවා, ඒ ෆැක්ටරීස් එක්ක කාලයක් වැඩකරලා තියෙන අය. අපෙ කොම්පැනියේ මිනිස්සු උනාට ඒ අය ක්ලයන්ට්ස් ලගෙ ෆැක්ටරීස් වල තමා අවුරුද්දේ වැඩි කාලයක් ඉන්නේ ….. අපෙ සෙක්ශන් එක කරන්නේ මැසින් වලට අලුතෙන් ඕනෑ වෙන කැලි, ස්පෙයා පාට් වගේ දේ, ඩිසයින් කරලා අපෙ වර්ක්ශොප් එකේම හදන එක … ඒකෙමුත් මම ඔය කෑලි හදන මැසිමක් අත ගහන්නෙවත් නෑ…. මගෙ වැඩේ, කවුරුහරි ඉන්ජිනේරුවෙක් ස්පෙසිෆිකේශන් දීපුවම කැඩ් කෑම් සොෆ්ට්වෙයා පාවිච්චිකරලා කෙලින්ම ඩිසයින් එක පාට් එක හදන මැසිමට ප්රෝග්රෑම් කරනවා…. එච්චරයි…”

අපි තුන් දෙනෙක් අයියා දිහා බලාගෙන හිටියේ හදිස්සියෙම එයා චීන බාසාවෙන් කතා කෙරුවා වගේ. අප්පච්චිගෙයි අම්මගෙයි මූනේ පොඩි හිනහවක් තිබුනට කියපුදේ තේරුන බවක් පෙනුනෙ නෑ. මාමා විතරක් නිකටේ අත තියාගෙන කල්පනා කරනවා. මම දන්නවා ප්රශ්නයක් තිබුනොත් ඒක එන්නේ මාමගෙන් කියලා. නමුත් ආවේ ප්රශ්නයක් නෙවෙයි.

“මම අද මෙහෙ එන්න බස් එකේ වාඩිවෙලා ඉන්නකොට බේසමක් ඔලුවේ තියාගත්ත මිනිහෙක් බස් එකට නැගලා “එන් බී එස් බී…..එන් බී එස් බී …. දෙන්නද නෝනා ලාබයි…. එන් බී එස් බී….’ කියලා කෑ ගහනවා. මම බැලුවා මොනවද පොර විකුනන්නේ කියලා”

අපි සද්ද නෑ මේ කතාව කොහෙ යනවද කියලා හිතාගන්න අමාරුයි.

“මාමා මිනිහා පැන්සල් ද වික්කේ? එච් බී වගේ එන් බී හරි එස් බී හරි කියලා පැන්සල් තියෙනවද?”

“නෑ…. මම ලොක්කගෙ කතාව අහනකොටයි මේක මතක් උනේ… අර කෑඩ් කෑම් සොෆ්ට්වෙයා වලින් මැසිම ප්රෝග්රෑම් කරනවා වගේ…. මට දෙකෙන් එකක් වත් තේරුනේ නෑ!”

“ඉතින් මොනවද අයියා මිනිහා වික්කේ?” අප්පච්චිගෙ මූනේ පොඩි හිනාවක් තිබුනා එහෙම අහනකොට.

“නාරම් බික් සීනි බෝල!”

අයියට හොඳටම ලැජ්ජයි මාමා ඇඟට පතට නොදැනී දීපු පාර.

“වැඩේ තියෙන්නේ මාමා ටෙක්නිකල් වචන නැතුව මගෙ රස්සාව ගැන කතා කරන එක අමාරුයි”

“අපෝ ගානක් ගන්න එපා… ලොක්කට අනින්න නෙවෙයි මං ඔය කතාව කිව්වේ. ඔය ප්රශ්නේ සේරටම තියෙනවා - ඉංග්රීසි වචන පාවිච්චිය විතරක් නෙවෙයි බර සිංහල වචන පාවිච්චියේදිත්. කියවලා බලන්න පත්තරයක් - ඒවා ලියන උන්, කියවන්නන්ගෙ තේරෙන/නොතේරෙන බෞන්ඩ්රි එක (ඕන්න මමත් කාගත්තා වැඩේ!) ගැන හිතලද වචන පාවිච්චි කරන්නේ - ‘අඛණ්ඩ’, ‘සක්රියව’ වගේ වචන අපි පොඩි කාලේ තිබුනෙ නෑ!”

අම්මා විතරයි මේකට උත්තරයක් දුන්නේ - ඒ උත්තරෙන් එදා රෑ කතා ඉවර බව අපි සේරටම තේරෙන විදිහට.

“සමහරවිට දැන්කාලේ පොඩිඋන්ට ඕවා තේරෙනවා ඇති අයියා, අපිට බැරි උනාට. ඒ අයියා අපි දැන් නාකි නිසා…. ඒ කියන්නේ දැන් අපි නිදාගන්න වෙලාව!”

……………………

පහුවදා හවස අයියයි මායි ටවුමට යන්න හිතාගෙනයි හිටියේ. මං හිතුවේ අයියා මට ඉස්සරව්වෙලාම බීර වීදුරුවක් අරගෙන දෙයි කියලා, රස්සාව ස්ථීර වීමට සංභාශනයක් වගේ. ඉස්කෝලේ ඉවර කරලා අංතිම විභාගේ ප්රතිපල බලාපොරොත්තුවෙන් ඉන්න මමත් දැන් “වැඩිහිටියෙක්” හැටියට සැලකෙයි කියලා මට හිතුනේ.

“හා පුතාලා මේ මාමටත් ටවුමට යන්න ඕනැලු. ඇයි තුන්දෙනාම එකට ගිහින් එන්නෙ නැත්තේ… මට බඩු ටිකකුත් ගෙන්න ගන්ට තියෙනවා, සතොසෙන්?”

මගෙ බීර බොන ප්ලෑන එතනින්ම ඉවරයි කියලා මට හිතුනා. අයියට නම් ගානක් නෑ - මං හිතන්නෙ මට බීර අරගෙනදෙන්න අදහසක්වත් තියෙන්නත් නැතුව ඇති.

අපි ටවුමට ඇවිත් බස් එකෙන් බහිනකොට හතර පහුවෙලා. අයියා අම්මා දීපු බඩු ලැයිස්තුවත් සල්ලි ටිකකුත් මට දුන්නා.

“ගිහින් මේ බඩු ටික ඇරගෙන හය වෙනකොට බස් එකට ආවොත් ඇති - අපි හිටියෙ නැත්තන් හයේ බස් එකේ ගෙදර ගියාට කමක් නෑ”

“ඇයි මම විතරක් බඩු ගන්න යන්නේ? අයියලා මොකද්ද කරන්න යන්නේ?”

ඒ ප්රශ්නෙට මාමයි උත්තර දුන්නේ.

“පුතා, අර ඉංගිරිසි කතාවක් තියෙනවා නේද ‘අලියාස් ඇන් වටුවාස් කාන්ට් පුට් සේම් සයිස් බෙටීස්’ කියලා…හ්ම්? මම ලොක්කට මම හඳුනන පරන කඩෙයක් පෙන්නනයි යන්නේ - පුතාට එතෙන්ට යන්න වයස මදි…”

මට හිනා ගියා මාමගෙ ඉංගිරිසියට. නමුත් මටත් ඕනෑවුනේ මේ අය මොනවගේ තැනකට යනවද බලන්න. මමත් උසස්පෙල කරලා ඉන්න කොල්ලෙක් මිස පොඩි එකෙක් නෙවෙයි කියලා මට හිතුනා. අයියට මේක දැනුනා. ඒ නිසාද කොහෙද එයා මාමට පිටිපස්සෙන් ඉඳන්, මාමට නොපෙනෙන විදිහට, ‘මම පස්සේ කියන්නම්’ කියලා ඉඟියෙන් කිව්වේ ,

ටවුමේ පොත් සාප්පුවක වැඩ කරන මගෙ යාලුවෙක් එක්ක අම්මා කියපු බඩු එහෙමත් අරගෙන තේ එහෙමත් බීලා මම බස් නැවතුම් පොලට එනකොට හයට තව විනාඩි දහයක් විතර තිබුනා.

මාමයි අයියයි පෙනෙන්න හිටියෙ නෑ. නමුත් බස් එක පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී දෙන්නා ඇවිත් බස් එකේ එල්ලුනා. මම මාමට මගෙ ආසනේ දීලා අයියත් එක්ක බස් එකේ පිටිපස්සට ගියා.

“කොහෙද දෙන්නා ගියේ?”

අයියා හිනා උනා.

“මාරයි…. රා කඩයක්! දිග බංකුවල වාඩිවෙලයි බොන්නේ. බයිට් එක මොකද්ද දන්නවද? තම්බපු මයියොක්කා! ටකරං බේසමක දාලා අල්ලාගෙන යනවා. මාමත් මාරෙට කෑවා”

“අපිට කොහෙද ඔව්වා. මම අර සරත් එක්ක ගිහින් බඩු ගත්තා. යන්තන් ප්ලේන්ටි එකක් බිව්වා උගෙ සාප්පුවේ”

අයියට පව් කියලා හිතෙන්න ඇති.

“අපි යමුකෝ එතෙන්ට මාමා ආපහු ගියාට පස්සේ”

මට හරි සන්තෝසයි, බීර නැතිඋනත් අඩුම ගානේ මම එකට රා කෝප්පයක් බොන්නවත් වටින වැඩිහිටියෙක් හැටියට අයියා මාව දැකීම ගැන.

“දැන් මාමත් එක්ක බීපු නිසා අයියා අප්පච්චී එක්කත් බොනවද? රස්සාවකුත් කරනවානේ”

“අපෝ නෑ…. උඹට පිස්සු! පස්සේ කාලෙක අප්පච්චී ඔෆර් කෙරුවොත් ගන්නවා මිසක්…. හිතලා බලන්න අම්මා මොනවා කියයිද?”

“ඒක නම් ඇත්ත. අම්මා කන පලයි!”

“උඹ මම බීපු කතාවක් මතක් කරොත් ඒ අය ඉස්සරහ උඹට මම දෙනවා කනේ පාරක් චූ වෙන්න!”

හිනහවෙලා මේක කිව්වත් අයියා ටිකක් සීරියස් වගේ.

……………………….

එදා රෑ කෑමට ඉස්සර අප්පච්චීයි ටීබි මාමයි අරක්කු පොඩ්ඩක් බිව්වා, හවස ඉස්තෝප්පුවේ අපි සේරම කතා කර කර ඉන්න වෙලාවේ. මේක අලුත් දෙයක් නෙවෙයි - ඉස්සරත් මේ දෙන්නා කෑමට ඉස්සර පොඩි “ශොට්” එකක් දැම්මා. මං හිතුවේ අයියත් ඒකට එකතුවෙයි කියලා. නමුත් එහෙම පාටක් පෙනෙන්න තිබුනෙ නෑ.

අම්මා අපිට කන්න කතාකලේ අප්පච්චියි මාමයි දෙවෙනි වීදුරුව ගන්නකොටයි.

“අනේ නංගී මටනම් තවම බඩගිනි නෑ” මාමා මෙහෙම කිව්වේ බඩට තට්ටු කරමින්.

අයියත් කිව්වේ “මටත් වැඩි බඩගින්නක් තවම නෑ” කියලයි.

“තම්බපු මයියොක්කා දිරවන්න වෙලා යනවනේ” මට ඉබේම කියවුනා.

“මොන මයියොක්කද?” අම්මා මා දිහා බැලුවා.

මම උත්තර දෙන්නත් ඉස්සර අයිය මට කතා කලා.

“චුට්ටට මම පෙන්නුවෙ නෑ නේද අද හවස කියපු එක?”

මෙහෙම කියලා මාවත් ඇදගෙන එයාගෙ කාමරේට ගියා.

“මොනවද හවස කිව්වේ…” මගෙ ප්රශ්නේ ඉවර කරන්නත් ඉස්සර “චටාස්!”ගාල මට කනේ පාරක් වැදුනා.

“මම කිව්වනෙ බීපු කතා මතක් කලොත් කනේ පාරක් දෙනවා කියලා!”

එතකොටයි මට මම කරපු වැරැද්ද මතක් උනේ.

අපි දෙන්න ආයෙත් ඉස්තෝපුවට එනකොට අම්මා තමා ඉස්සරවෙලාම කතාකලේ.

“මොකද්ද අද හවස කියපු එක? මොකද්ද ඒ සද්දේ?”

ඒකට උත්තරේ ආවේ ටීබි මාමගෙන්.

“කේ පී!”

ඒකට අප්පච්චිත් රුකුල් දුන්නා පොඩි හිනහවකුත් එක්ක.

“ඔවු. මටත් ඇහුනේ කේ පී වගේ තමයි!”