ගමා

මම ගාමිනී ඉස්සරවෙලාම දැක්කේ අපෙ කැන්ටිමේදී. කොනේ මේසයක් ලඟ තනියම වාඩිවෙලා තේ බිබී පරන පත්තරයක් කියව කියවා මිනිහා හිටියේ. අලුතෙන් දෙපාර්තමේන්තුවට බැඳුන කෙනෙක් වෙන්න ඇති කියලා මට එතකොටම හිතුනා. මම මේ කංතෝරුවේ මීට අවුරුද්දකට විතර ඉස්සර වැඩ කරනකොට එයා මෙහෙ හිටියෙ නෑ. සේවකයෝ පනහකට අඩු ගානක් ඉන්න කන්තෝරුවේ නාඳුනන කෙනෙක් හොයාගන්න අමාරුයි.

“කවුද අර පොර?”

“ඔය අලුත් ටී ඒ කෙනෙක්” සනත් කිව්වා.

“හරි ගොඩේ කෙනෙක් අනේ” ඒ ශාමලී.

“ඇයි එහෙම කියන්නේ?”

“පේන්නෙ නැද්ද ඇඳුම?”

ඇත්තටම එයා ඇඳගෙන හිටියේ පරන තාලේ කලු කලිසමකුයි සුදු කමිසෙකුයි. කලු සපත්තුත් දාලා හරියට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා වගේ. දැන් අවුරුදු පනහකට ඉස්සර ජනප්රිය වෙලා තිබුනු එයාගෙ කලු රාමු දාපු හතරැස් කන්නාඩි මම කාගෙවත් මූනේ දැක්කේ හුඟ කාලෙකට පස්සේ.

“කෙලින්ම ඉස්කෝලේ ඉඳලද මෙහෙ ආවේ?”

“නැතිලු. මීට ඉස්සර කොහෙද ප්ර්යිවට් කොම්පැනියක වැඩකරාලු”

“කොයි සෙක්ශන් එකේද මිනිහා ඉන්නේ?”

“උඹට අල්ලපු එකේ - අර වීරවර්දනගෙ ගෘප් එකේ” සිල්වා ඒක කිව්වේ ටිකක් තරහෙන්. සිල්වටත් ඕනැවෙලා තිබුනා වීරවර්දනගෙ සෙක්ශන් එකට යන්න, ඒ අයට රටේ එහෙ මෙහෙ වැඩ කරන්න ලැබෙන නිසා.

“නම ගාමිනී බංඩාර. හැබැයි සේරම කියන්නේ ‘ගමා’ කියලා, අමු ගොඩයා නිසා” ඇලෙක්ස් දායක උනා.

“වෙලාවක අහපන් ඉංගිරිසියෙන් මොකවත්. උඹට හිනහ යයි”

අනික් මේස වටේ ඉන්න අය හයියෙන් කතා කරකර හිනා වෙවී හිටියේ. ගාමිනී තමංගෙ මේසෙන් නැගිටලා ගියේ කවුරුවත් දිහා නොබලා, ගිය ඉරිදා සිළුමින පත්තරෙත් කිහිල්ලේ ගහගෙන.

“මිනිහා වැඩිය කතා කරන්නෙ නැද්ද?”

“තවම පොරට සමාජේ පුරුදු නෑ. මොකට මෙහෙ වැඩට ආවද දන්නෙ නෑ, කොහෙ හරි මුල්ලකට නොයා”

මට දැනෙනවා මෙතන ගොඩේ කම ඇරුනකොට තව මොකක් හරි තියෙනවා කියලා.

“කොහොමද පිටින් ඇවිල්ලා කෙලින්ම වීරවර්දනගෙ සෙක්ශන් එකට ගියේ? මෙතන ඉන්නවානේ ඊට වැඩිය එක්ස්පීරියන්ස් තියෙන අය” මම කිව්වේ සිල්වා දිහා නොබලා.

“සෑහෙන සයිස් පංද්මක් අල්ලන්න ඇති”

පංදම මගෙ හිතට අල්ලන්නෙම නැති දෙයක්. මට හිතුනා වෙලාවක මේ මනුස්සයට කතා කරලා බලන්න ඕනෑ කියලා.

“හා අද රීගල් එකේ ශෝ එකට එන්නේ කවුද…?”

“සීතා එනවනම් මාත් එනවා” ශාමලී කිව්වා.

“ඔය දෙන්නා එනවානම් මාත් එනවා” සනත් හිනා උනා.

අන්තිමට පස්දෙනෙක් හා කිව්වා. සිල්වා විතරක් එන්න බෑ කිව්වා ඒ ශෝ එක ගිය සතියේ දැක්කා කියලා.

ඊට දවස් දෙකකට පස්සේ මටත් ගමා එක්ක කතා කරන්න ලැබුනා. උදේ මම අඟලේ සිතියමක කොන්ටුවර් ඇඳ ඇඳ ඉන්න වෙලාවේ මට දැනුනා මට පිටිපස්සෙන් කවුදෝ හිටගෙන ඉන්නවා කියලා. මම පස්ස නොබලා අත උස්සලා “ෆයිව් මිනිට්ස්” කියලා වැඩේ දිගටම කරගෙන ගියා. ලොක්කෙක් හරි යාළුවෙක් හරි නම් මම මොනවා කිව්වත් කතා කරන්න පටන් ගන්නවා. සද්දයක් නැති නිසා මම වැඩේට බාදාවක් නොවී නවත්තන්න පුලුවන් උන ගමන් කොන්ද කෙලින් කරලා පිටිපස්ස බැලුවා. ගමා සද්ද නැතුව ඉන්නවා මගෙ වැඩ ඉවර වෙනකම්.

“මොකද?”

“මිස්ටර් ජයසිංහට අද්යක්ශක වීරවර්දන මහත්තයා එන්න කිව්වා”

වීරවර්දන එන්න කිව්වොත් ඒ කියන්නේ ‘වහාම’ – අනවශ්ය විදිහට එයා කාටවත් එයාගෙ ඔෆිස් එකට එන්න කියන්නෙ නෑ. ඩිරෙක්ටර් වීරවර්දන අනික් අය වගේ නෙවෙයි - මුලු දෙපාරතමේන්තුවේම අය අඳුරනවා විතරක් නෙවෙයි, කෙනෙකුට කතා කරන්න ඕනැනම් එයාම එක්කෝ ටෙලිෆෝන් එකෙන් නැත්තම් ලඟට ඇවිල්ලා කතා කරනවා. මේක ටිකක් වැදගත් වෙන්න ඇති.

“ඇයි ඉතින් ආපු ගමන් කිව්වෙ නැත්තේ?”

“…ෆයිව් මිනිට්ස් කිව්වම මම හිතුවේ විනාඩි පහක් කියලා…” කටහඬේ හිනාවක් වත් වචනේ අනාචාරශීලී බවක් වත් නෑ. මුහුනෙන් කිසි දෙයක් පෙන්වුවෙත් නෑ. මෝඩ කමක් කට්ට කමක් තිබුනානම් හොඳටම හංගලා.

අපි ඩිරෙක්ටර්ගෙ කාමරේට යනකොට එතන තවත් දෙන්නෙක් හිටියා අමාත්යාන්ශයෙන්. දෙන්නම දැකලා තිබුනට මම අඳුරගත්තේ එක්කෙනයි - ටෙක්නිකල් ඇඩ්වයිසර් කෙනෙක්.

“ආ ජයසිංහ වාඩිවෙන්න. අර හුනුගල්පොත්තාවල ප්රොජෙක්ට් එකේ තව සර්වේ එකක් කරන්න ඕනෑ. ඒක ගැනයි අපි සාකච්චා කරන්නේ…”

සාකච්චාව සෑහෙන දිගට ගිහින් තිබුන බවයි පෙනුනේ. ප්රොජෙක්ට් එක ගැන මම දැනගෙන හිටිය නිසා මට ඒක ඒ තරම් ප්රශ්නයක් උනේ නෑ. එකම පුදුමේ මේකට ගමාත් ගෑවිලා හිටපු එක.

පැය බාගෙකින් විතර සාකච්චාව ඉවර වෙලා අමුත්තෝ අපෙන් සමු ගත්තා. ඩිරෙක්ටර් මටයි ගමාටයි තව ටිකක් නවතින්න කිව්වා.

මගෙ පලවෙනි රශ්නේ “සර් ඇයි මම? තව මේ සෙක්ශන් එකේ අය ඉන්නවානේ?”

“මිනිස්ට්රි…රික්වෙස්ට් එක ආවේ එහෙන්, නමත් එක්ක”

“එතකොට මෙයා?”

“ඒත් එහෙමමයි. ගාමිනී බන්ඩාරටත් මිනිස්ට්රි එකෙන් ආවේ ටීම් එකේ ලෝකල් රෙප් හැටියට. ගාමිනී බන්ඩාර ඒ පලාතේ කෙනෙක්. එයාට ලේසියි ගමේ අයට කතා කරන්න. මමත් ඒකට සම්පූර්නයෙන්ම එකඟ වෙනවා”

“සර් මේක ටෙක්නිකල් සර්වේ එකක්. ගමේ අයට කතා කරන එක වැදගත්ද?”

වීරවර්දන මං දිහා බැලුවේ අමුතු විදිහකට.

“ජයසිංහ පිටරට හිටියා බොහොම කාලයක්. ඒ අතරතුරේ රට බොහෝම වෙනස් වෙලා තියෙනවා. ෆීල්ඩ් එකට ගියාම දැන ගත්ත හැකි”

“කවද්ද මේක පටන් ගන්නේ? සර්වේ සීමා ලකුනු කරලා තියෙනවද? පරමාර්තේ මොකද්ද?” මගෙන් ප්රශ්න ගනනාවක් නැගුනා.

“මේවට උත්තර සේරම ෆයිල් එකේ තියෙනවා. ඔපරේශනල් දේ ගාමිනී බන්ඩාරත් එක්ක කතා කරගන්න… මතක තියාගන්න ජයසිංහ යන්නේ ටීම් ලීඩර් හැටියට - අනික් අයගෙන් ඩීටේල්ස් හොයාගන්න…..”

මම් කාමරෙන් එලියට ආවේ සන්තෝසෙන් නෙවෙයි.

“ගාමිනී අපි මේක ගැන කතාකරමු අද එකොලහට. මම ෆයිල් එක කියවලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. එනවද මගෙ මේසේ ලඟට එකොලහට?”

“මම මොනවත් ගේන්න ඕනැද”

“මොලේ විතරයි”

“ඒක නිතරම මං ලඟ” ගමා හිනා නොවී මේක කියලා ගියා එයා වැඩ කරන තැනට, පස්ස නොබලා.

මම ආපහු එනකොට ඇලෙක්ස් සීතත් එක්ක කතා කරකර ඉන්නවා.

“මොකද මචං ලෙඩක්ද?”

“කියන්න බෑ. මම ෆීල්ඩ් එකට යනවා අර ගමත් එක්ක, හුනුගල්පොත්තාවල ප්රොජෙක්ට් එක”

“මොනවා? ඇයි උඹ? ගමා මොකද ඒකට සම්බංද වෙන්නේ?”

“මිනිස්ට්රි එකෙන් අපි දෙන්නා තෝරලා ඉවරයි. මං හිතන්නේ වීරවර්දනයවත් දන්නෙ නෑ ඇයි කියලා”

මේක අහගෙන් හිටපු සිල්වා “මං කිව්වේ ඕකට ලොකු පංදමක් ඇති කියලා!”

සීතා හිනා උනා. “හොඳයි දෙන්නට ගිය සතියේ සිළුමින පත්තරේ ගැන කතා කරන්න පුලුවන්!”

ගමා එකොලහට මං හමුවෙන්න ආවේ කුඩේකුත් ඇරගෙන.

“මොකද කුඩයක්, ගාමිනී?”

“…වැස්සට?...”

“කෝ වැස්ස නෑනේ දැන්”

“මම හිතුවා දොලහට අපි කතා කරලා ඉවරවෙයි කියලා. එතකොට මට කොටුවට යන්න තියෙනවා. අද දවල් වහී කියලා මට හිතෙනවා”

අනාගතේ වැස්ස ගැන මට දැනගන්න ඕනැ නෑ. මගේ හිතේ තිබුනේ තව දවස් තුනකින් කොහෙදෝ කැලේ පලාතකට ගිහින් මාසයක් කුරුවල් වෙන්න කොහොමද කියලා.

“ගාමිනීට පුලුවන්ද ජීප් එකයි ඕනෑ ඉක්විප්මන්ට් ටිකයි ඕගනයිස් කරගන්න?”

“බඩු ඔක්කොම ලෑස්තියි. ලයනල්ගෙ වාහනේ උදේ හතට ලෑස්තියි”

“ඉන්න තැනක්?”

“ලඟම තියෙන හෝටලේ කිලෝමීටර් විස්සක් විතර ඈත. පොඩි ගෙදරක් තියෙනවා කිලෝමීටර් අටක් විතර ඈත හැබැයි ඒකේ තියෙන්නේ පරන තාලේ වැසිකිලියක්. නාන්න මූන සෝදන්න වෙන්නේ ලිඳෙන්. අල්ලපු ගෙදර ඉන්න මිනිස්සු වැඩිය කැමති නෑ පිට මිනිස්සු එහෙ ඉන්නවට”

මට පුදුම හිතුනා ගමා කොහොමද මේ තරම්ම දේ දන්නේ කියලා.

“ඒක හොඳයි දන්න එක. අපි හෝටලේ පලවෙනි රෑ ඉඳලා අනික් ඉන්න තැන් ගැන හොයලා බලමු. අපි ඩ්රයිවර් ඇරුනුකොට කෑම්ප් ඇටෙන්ඩන්ට් කෙනෙක් එක්ක යනවද?”

“පොඩිඅප්පුහාමී ඉන්නවා නමුත් සති දෙකකට විතරයි - ඊට පස්සේ අද්යක්ශක එක්ක සතියකට යන්න පොරොන්දු වෙලා. ජයසුන්දර ඉන්නවා නමුත් එයාගෙ කෑම ඒ තරම් හොඳ නෑ. වයසට ගියාට හැන්ඩිසිංඥෝ හොඳයි මාසෙට. අපිට ඕනැනම් ගමෙන් කෙනෙක් හොයාගන්නත් පුලුවන්”

“මේ සේරම හොයාගත්තේ කවදද?” මට හිතුනේ ගමාට මුලු ප්රොජෙක්ට් එක ගැන මට ඉස්සර තොරතුරු ලැබිලා කියලා.

“අද මීටිමට පස්සේ මම ඕනෑ අය සේරටම කතාකෙරුවා, මිස්ටර් ජයසිංහට මේවා දැනගන්න ඕනෑවෙයි කියලා”

“එහෙනං හෝටලේ කාමර දෙකක් බුක් කරන්න. ඊට පස්සේ බලමු”

“මම අපෙ ගෙදර ඉන්නයි හිතුවේ…”

“කමක් නෑ. බඩු ලෑස්ති කරගන්න, අපි තර්ස්ඩේ උදේ හතට මෙහෙන් පිටත් වෙමු. අපි එහෙන් කුක් කෙනෙක් හොයාගනිමු කෑම්ප් එකට හොඳ තැනක් ලැබුනොත්. නැත්තන් මම හෝටලේම ඉන්නවා”

අපිට ගමනට පැය හතරක් විතර ගියා. දවල්ට මම නවතින හෝටලෙන්ම කාලා අපි ගියා සර්වේ කරන පලාත බලන්න. පුලුවන් නම් නවතින්න ගෙදරකුත් හොයාගන්නයි අපේ අදහස උනේ. ගමාගෙ උපදෙස් අනුව අපි කෙලින්ම ගියේ ග්රාමනිලදාරියගෙ කන්තෝරුවට.

ග්රාමනිලදාරි නෝනගෙන් අපිට ලැබුනේ මම හිතපු විදිහේ පිලිගැනීමක් නෙවෙයි. හඳුනාදීම් අවසාන උනාම ඈ කිව්වේ “මගෙන් මොකද කෙරෙන්න ඕනෑ?” කියලා විතරයි. අපෙ සර්වේ එක ගැනවත් කිසි දෙයක් ඇහුවෙ නෑ.

“අපි මෙතන කරන්න යන්නේ…” මගෙ වාක්ය ඉවර වෙන්න ඉස්සර ගෑනී අතක් ඉස්සුවා.

“ඔය සමීක්ශනය ගැන මම හොඳින් දන්නවා. කීප සැරයක් එක එක අය මෙහෙ ඇවිත් ඕකේ වැඩ කරලා තියෙනවා. මේ ගැන මම කියන්න ඕනෑ එක දෙයක් තියෙනවා. මේ වැඩේට පලාතේ බොහොම අය විරුද්දයි. ආන්ඩුවේ සේවකයෙක් හැටියට මම මට පුලුවන් උදව්වක් දෙන්නම් ඔබතුමාලගෙ සමීක්ශනය ගෙනයන්න. නමුත් පැත්තක් ගන්නෙ නෑ රුකුලට හරි විරුද්දව හරි”

මම එලියට ආවේ ටිකක් තරැහින්, ග්රාමනිලදාරි නෝනගෙ කතා විලාසෙට. බැරි උනාද නිකමට කියන්න “අපිට සන්තෝසයි ඔබතුමාලා මෙහෙ ආවට” හරි “වැඩේ සාර්තක වෙයි කියලා පතනවා” හරි. ගමා කිසි දෙයක් මූනෙන් පෙන්නුවෙ නෑ. අපි වාහනේට නගින්න යනකොට ගෑනී කාමරෙන් එලියට ආවා.

“ගාමිනී, අයියට කියන්ට මම පුලුවන් උනොත් හවස එනවා කියලා අර ඉඩම ගැන කතා කරගන්න”

“හොඳයි නැන්දා”

ගෑනී කට පුරා හිනා වෙලා ආපසු ඇතුලට ගියා.

“ඒ ගාමිනීගෙ නැන්දා!”

“ඔවු. අප්පච්චිගෙ නංගී”

“එහෙනං ඔයතරම් සැර දැම්මේ? මට පෙනුනේ අපිට හරියට හිඟන්නන්ට වගේ සැලකුවේ කියලා” මගෙ අමනාපේ මගෙ වචනෙන් වගේම මූනෙනුත් පෙනෙන්න ඇති.

“ඒ ග්රාමනිලදාරී. නැන්දා වෙනස්”

මේ කතාව මට තේරුම් ගන්න අමාරුයි. ඒක ගැන පස්සේ හිතන්න කල් දාලා මම සර්වේ ඒරියා එකයි ඉන්න තැනයි ගැන හිතුවා. ටික වෙලාවකින් ගාමිනී ඩ්රයිවර්ට වාහනේ නවත්තන්න කිව්වා වෙල්යායක මායිමේ.

“අර එහා කඳුගැට දෙක අතරින් පටන්ගෙන වෙල්යායයි, ඇලයි, අර පෙනෙන ගෙවල් වලට යනකං තමා වැඩ කරන්න තියෙන්නේ”

මම දැනගෙන හිටියා මෙහෙ තියෙන හුනුගල් සිමෙන්ති හදන්න ඉතාම හොඳයි කියලා. අපෙ වැඩකටයුතු වලින් හොයාගන්න තිබුනේ හුනුගල් නිධියේ පරිමාවයි.

“මේකේ රිසර්ව්ස් ඇතිවෙන්න තිබිලා මයින් කලොත් මේ කුඹුරු වලට මොකද වෙන්නේ?”

“කුඹුරු, එලවලු කොරටු වෙනුවට මේක පතලක් වෙනවා”

“කාගෙද මේ ඉඩම්?”

“මේ පලාතේ අයගෙ”

මට තව එකක් මතක් උනා.

“ගාමිනීලටත් මේකේ ඉඩම් තියෙනවද?”

“අර වෙලට එහා පෙනෙන දෙවැනි ගෙදර අපෙ. එතන කුඹුරයි පොල් ඉඩමයිත් අපෙ”

“ඒ කියන්නේ මේ සර්වේ එකේ රිසල්ස් හොඳ වෙන එක ගාමිනීලට පාඩුයි”

“රස්සාවයි පුද්ගලික ජීවිතෙයි දෙකක්”

වෙන කිසි දෙයක් නොකියා ගාමිනී වාහනේට නැග්ගා.

“මෙහෙ තේ එකක් බොන්න තැනක් තියෙනවද?”

“අපෙ ගෙදර?”

“මං හිතුවේ කඩයක් ඇතිද කියලා. ගාමිනීලගෙ ගෙදරට කරදර කරන එක හරිනෑ”

“අපෙ පවුලේ අය ගමේ කඩවලින් කවදාවත් තේ බොන්නේ නෑ. තේ එකක් දෙන එක අපිට කරදරයක් නෙවෙයි”

අපිට කුඹුරු වටේ පාරෙන් ගිහින් වාහනේ නවත්තලා කිලෝ මීටරයක් විතර අඩි පාරක යන්න උනා ගාමිනීලගෙ ගෙදරට. ඩ්ර්යිවර් වාහනෙත් එක්ක නැවතුනා.

“අත වන වනා ගෙදරකට පලවෙනි සැරේට යන එක හොඳද?”

“අරගෙන යනදේට වැඩිය යන්නා වටිනවා”

“ගාමිනී ඔය කතා කරන විදිහ මීට ඉස්සර මට හම්බුවෙලා නෑ. හරියට ෆිලොසොෆර් කෙනෙක් වගේ!”

“පොඩිකාලේ පටන් අහන ප්රශ්නේකට කෙලින් උත්තර දෙන්න අපි පුරුදු උනේ. ඒක දර්ශනයක්ද කියලා මම දන්නෙ නෑ”

ගමාගේ ගෙදරදී බොහොම ප්රවේසමෙන් හැසිරෙන්න මං හිතා ගත්තා. ඉන්ග්රීසි වචන එකක් වත් පාවිච්චි නොකර, අහන එකට විතරක් උත්තර දුන්නොත් වැරැද්දක් වෙන එකක් නෑ.

“හා.. උඹ අද උදේද ආවේ?” ඉස්සරහ සාලේ හාන්සි පුටුවක දිගාවෙලා ඉන්න වයසක මනුස්සයෙක් කිව්වා අපි ගෙදරට කිට්ටු වෙනකොටම. සරමක් ඇඳගෙන කමිසයක් නැතුව පත්තරයක් කියවන එයා අමුත්තෙක් ගෙදරට එන එක අමුතු දෙයක් හැටියට හිතුවෙ නෑ වගේ.

“ඔව් අප්පච්චී” කියලා ගමා මිනිහට දනගහලා වැන්ඳා හරියට හාමුදුරු කෙනෙකුට වගේ.

මමත් ගිහින් ඇඟ ටිකක් නමලා අත් දෙක එකතු කරා.

“දරුවෝ වැන්ඳට අනික් අය එහෙම කරන්න ඕනැ නෑ. මෙතුමා කවුද?” මම අගමැති උනත් මේ මනුස්සයානම් පුටුවෙන් හෝ වචනෙන්වත් හෙල්ලෙන පාටක් නෑ.

“මේ අපෙ දෙපාර්තමේන්තුවේ කෙනෙක්. මෙහෙ කරන වැඩේ ලොක්කා”. එහෙම කියලා මං දිහා බලලා කිව්වා “මිස්ටර් ජයසිංහ වාඩිවෙන්න” කියලා ගේ ඇතුලට ගියා. මමත් ලඟම තිබුන පුටුවක වාඩි උනා ප්රොජෙක්ට් එක ගැන අහන ඕනෑ ප්රශ්නේකට උත්තර දෙන්න ලෑස්තියෙන්.

“ඔබතුමා කොහෙද?”

“මම කොළඹ”

“කොළඹ කොහෙද?”

“කටුබැද්දේ”

ගමාගෙ අප්පච්චි ටිකක් කල්පනා කරා.

“කටුබැද්ද අහුවෙන්නේ මොරටුට නේද? කොළඹ වැල්ලවත්ත දෙහිවල මායිමෙන් ඉවරයි නේද?”

“…කොළඹ කියන එක ලේසියි එහෙන් ටිකක්ට ඈත ගියාම…”

එයා ආයෙත් ටිකක් හිතුවා.

“ඒක ඇත්ත. පිටරට ගියහම ලේසියි ලංකාවෙන් ආවා කියන එක කොළඹින් ආවා කියනවට වැඩිය, මං හිතන්නේ”

“…ඔවු…ඒක ඇත්ත තමයි…” මමත් එහෙම කියලා තියෙනවා කියලා මට මතක් උනා.

“අපිට එහෙම ප්රශන නෑ. හුනුගල්පොත්තාවල කිව්වම දන්න අය දන්නවා; අනික් අය…ඒක ඒ අයගෙ පරශ්නයක්”

මට හිතුනා ගමාත් මේ වගේ තමා කතා කරන්නේ. ඒ අයට මුලු ලෝකෙම එකයි.

ගාමිනියි තව වයසක ගෑනු කෙනෙකුයි ආවා ඉස්සරහට, බංදේසියකුත් අරගෙන. ඒකේ අග්ගලා ගොඩකුයි කෙසෙල් ඇවරියකුයි.

“මේ මගෙ අම්මා. මේ ජයසිංහ මහත්තයා අපෙ දෙපාර්තමේන්තුවේ”

මම පුටුවෙන් නැගිට්ටා. අත් දෙක එකතු කරලා කිව්වා “අපි ඉස් ඉස්සර වෙලාම හිස් අතින් ආවට සමා වෙන්න”

“පුතාගෙ යාලුවෝ නිතරම එහෙමයි” කියලා ගාමිනීගෙ අම්මා හිනා උනා.

“මම…මම මෙහෙ එනබව දන්නවානම් මොනවාහරි ගේනවා. ගාමිනී කිව්වෙ නෑ මෙහෙ එනවා කියලා…අපි අද දවල් ඇවිල්ලා…”

“අපි කිසිදෙයක් බලාපොරොත්තුවෙන්නෙ නෑ. පුතා දකින එක අපිට ඇති”

“මේ අග්ගලයි කෙහෙල් ගෙඩියි විතරයි තියෙන්නේ තේ බොන්න”

ගාමිනීගෙ අප්පච්චී අග්ගලයක් අතට ඇරගෙන කිව්වා “ජීවිතේ කියන්නේ තියෙන දේ - නැති දේ ගැන හිතලා මොකටද ලතවෙන්නේ?”

මට මේ අයගෙ ආගන්තුක සත්කාර ගැන තියා කතා කරන හැටිවත් තේරෙන්නෙ නෑ, නමුත් අග්ගලා එක්ක කෙසෙල්ගෙඩි නියමයි ප්ලේන්ටි එකට ඉස්සර. දවල්ට කෑවට පස්සේ සෑහෙන වෙලාවක් ගිහින් නිසා ඒක බඩට ගානට වැටෙනවා. එතකොට තමා මට අපෙ ඩ්රයිවර් මතක් උනේ.

“ලයනල් බලාගෙන ඇති…අපි ගියොත් හොඳයි නේද?”

“ලයනල්ට අපි තේ ඇරියා…හබැයි ගියොත් හොඳයි, හෙට උදේ වැඩට මිනිස්සු හොයාගන්න ඕනැ නිසා. හය දෙනෙක් හෝටලේට එනවා සම්මුක පරීක්ශනේට හත හමාරට”

“හෝටලේම ඉන්ටද අදහස?” ඒ අම්මගෙ පරශ්නෙ. ගාමිනී මං දිහා බැලුවා.

“අද රෑට මම එහෙ ඉන්නවා. හෙට තැනක් හොයාගත්තොත් එතෙන්ට යන්නයි අදහස”

අම්මා ගාමිනීගෙ අප්පච්චී දිහා බැලුවා. අප්පච්චී මා දිහා ටිකක්වෙලා බලාගෙන හිටියා. නමුත් කතාකලේ ගාමිනීට.

“උඹෙ පුංචි මාමගෙ ගෙදර තියෙනවා. ඒ ගොල්ල දඹදිව ගොහින් මාස දෙකකට. බලාගන්ටයි උයන්ටයි ගුනපාල කොල්ලා විතරයි ඉන්නේ…”

ගාමිනී මා දිහා බැලුවා.

“ඒක බලාගෙනම යමුද? මේ යන පාරේ තියෙන්නේ”

වාහනේ නවත්තපු තැනට මීටර් සීයක් විතර ඈතින් තිබුන ඒ ගෙදර පොඩියි. මම ඉස්සෙල්ලම දැක්කේ වහලේ උඩ තිබුනු වතුර ටැන්කිය.

“මේකේ ටැප් වතුර තියෙනවද?”

“ඔවු. ලිඳෙන් ඇදලා දාන්ට අත් පොම්පයක් තමා තියෙන්නේ, විදුලිය තවම නැති නිසා”

වයස විස්සක විතර තරුනයෙක් එලියට ඇවිත් ගාමිනී එක්ක හිනා උනා.

“ගාමිනී මහත්තයා අදද ආවේ?”

“ගුනපාල අපිට ගෙදර බලන්ට ඕනෑ, මාසෙයක් විතර මෙහෙ නවතින්ට තැනක් හොයන්නේ”

“අනේ මහත්තයා වෙන කොහෙවත් යන්ට එපා. මටත් මේකේ පාලුයි. හැබැයි මම ඇඳවල් එහෙම නං හදලා නෑ - ඒකට වැඩි වෙලාවක් යන්නෙ නෑ”

නිදන කාමර දෙකටත් වැඩිය මම බැලුවේ වැසිකිලිය දිහා. මැද සාලෙන් යන වැසිකිලියේ අලුත් කොමෝඩ්, බේසින් එහම තිබුනා. ටොයිලට් එකත් හොඳට ෆ්ලශ් උනා. ඇඳ මේස පුටු අපිට හොඳටම ඇතිවෙන්න තිබුනා. ලයනල්ට ඉන්න පිටිපස්සේ කාමරේකුත් තිබුනා.

“මේකට කීයක් කියනවද?” මම ගමාගෙන් හෙමින් ඇහුවා.

“මේක අපේම ගෙදරක්. කෑම බීමටයි රෙදි සෝදන්ට වගේ වියදම් ඇරුනුකොට වෙන දෙන්ට ඕනැ නෑ. යන්ට ඉස්සර ගුනපාලට ගානක් දුන්නට කමක් නෑ”

“මට හිතෙනවා අදම මෙහෙ එන්න”

“එහෙනං ගිහින් මිස්ටර් ජයසිංහගෙ බඩුයි, කෑමට ඕනැ කෑම බීමයි අරගෙන එමු”

මම එලියේ වැරැන්ඩා එකේ පුටුවක වාඩි උනා. “මෙතන නියමයි නේ ගමා…”

“එහෙනං මම ගුනපාල අතේ පනිවිඩ යවන්නං සම්මුක පරීක්ශනේට එන අයට මෙහාට එන්ට කියලා”

“ශහ්…මට ඒක අමතකම උනා”

“ඒ අය මේ ගමේ - මෙහාට එන එක ඒ අයටත් ලේසියි”

“ගමා. අද හරිම ප්රඩක්ටිව් දවසක්, තෑන්ක්ස් ටු යූ. ෆීල්ඩ් එකේ මට ජයන්ත කියලා කතා කරනවනම් මම කැමතියි”



සිකුරාදා මුලු දවසම වැඩ කරලා මූලික වැඩ ටික ඉවර කලා. එදා හවස මම බස් එකේ කොළඹ ගියා ආයෙත් ඉරිදා ආපහු එන්න. සෙනසුරාදා උදේම ඇලෙක්ස්ට ටෙලිෆෝන් කරලා එදා හවස හමු වෙන්න සැලසුම් කෙරුවා.

“උඹට එක දවසෙන්ම ගමාගෙ ගම එපා උනාද” අලෙක්ස් හිනා උනා මාව දැකපු ගමන්.

“එකක් තියෙන්නේ ඌ හරිම එෆිශන්ට්. මං කියන්නත් ඉස්සර වැඩේ කෙරිලා”

“ඌත් එක්ක කතා කරන්න දෙයක් තිබුනද ඔය දවස් දෙකට?

“ගමා වැඩිය කතා නෑ. අහන එකට උත්තරයක් මිසක් වෙන මොනවත් නෑ”

“මේ සැරේ ලොකු පොත් කීපයක් අරගෙන පලයන්. නැත්තං පිස්සු හැදෙයි”

“පුලුවන්නම් වරෙන්කෝ එහාට මේ වීකෙන්ඩ් එකට. කෑම්ප් එක නරක නෑ - කුක් නියමයි”

“බලමුකෝ…”

“වෙලාව කිව්වොත් මම ජීප් එක එවන්නම් - හරි ක්වායට් පලාත බං”

අපි පැය කීපයක්ම කතා කරකර හිටියා. අලෙක්ස් එක්ක කතා කරන එක බොහොම ලේසියි - වැඩිපුරම කතා කරේ අලෙක්ස්ම නිසා.

ඉරිදා දවල් අම්මා බැඳලා දීපු කේක් ගෙඩියකුත්, පොත් කීපෙකුත් මල්ලේ දාගෙන මම හුනුගල්පොත්තාවල ගියා. හවස හය උනා කෑම්ප් එකට එනකොට. හොදටම මහන්සියි. ලිඳෙන් වතුර ඇදගෙන ඇඟ සෝදාගෙන ගුනපාල දීපු තේ එකකුත් බිව්වා.

කොළඹ වගේ නෙවෙයි මෙහෙ බොහොම පාලුයි. හවස් වෙනකොට ඉක්මනට කරුවල වැටෙනවා, වටේට කිසි සද්දයක් නෑ. ප්රෙශර්ලැම්ප් එකෙන් පොත් කියවනවට වැඩිය හොඳයි කියලා හිතුනා ගමා හමුවෙලා හෙට වැඩ ගැන කතා කරගත්තොත් කියලා. එදා වගේ නෙවෙයි මම අම්මා දීපු කේක් ගෙඩියත් මල්ලක දාගත්තා. ටෝච් එකත් අරගෙන එලියට බහිනකොට ගුනපාල ඇහුවා මම කෑමට එනවද කියලා. ඒකට ඔවු කියලා මම පිටත් උනා.

ගමාලගෙ ගෙදර ඉස්සරහ ඉස්තෝප්පුවේ ලංතෑරුමක් පත්තු වෙනවා. එතන ගමා එයාගෙ අප්පච්චිත් එක්ක කතා කරකර ඉන්නවා, බොහොම සීරියස් පිට. මගෙ ටෝච් එලිය දැකපු ගමන් ගමා ඉස්සරහට ආවා.

“මිස්ටර් ජයසිංහ…ජයන්ත…කොයි වෙලාවෙද ආවේ?”

“හයට විතර. මට හිතුනා හෙට වැඩ ගැන අදම කතා කර ගත්තොත් හොඳයි කියලා. මේක අපෙ අම්මගෙ කේක් එකක්. අම්මට දෙන්න, හැබැයි හොඳද නැද්ද කියලා දන්නෙ නෑ. එදා වගේ අත වන වනා එන එක හරිනෑ කියලා හිතුනා”

“වාඩිවෙන්ට. මම සිතියම ගේන්නං” ගාමිනී කේක් එකත් අරන් ගේ ඇතුලට ගියා.

“එහෙනං කොළඹ ගියා සති අන්තෙට?”

“ඔවු…අප්ප..ලොකු උන්නැහේ…”

“මට ගමේ අය කියන්නේ රාලහාමී කියලා, ඔබතුමත් එහෙම කිව්වට කමක් නෑ” ඉස්තෝප්පුව අඳුරු උනාට මට ‘රාලහාමි’ගෙ මූනේ පොඩි හිනහවක් පෙනෙනවා.

“…මගෙ නම ජයන්ත”

“හොඳයි. ඒක ‘මිස්ටර් ජයසිංහ’ට වැඩිය හොඳ නමක්”

ගාමිනී එලියට ආවේ සිතියමත් කෙසෙල් ඇවයකුත් ඇරගෙන - මම සිකුරාදා වැඩ සිතියම් ගතකරා; හෙට කරනදේ බලමු”

එලියට ආ ගාමිනීගෙ අම්ම කියනවා “ඕක මොකොවත් කාලා ඉවරවෙලා කෙරුවොත් නරකද?”

“නෑ නෑ, මම යන්න ඕනෑ ආපහු කෑම්ප් එකට”

ගාමිනී මා දිහා බැලුවා. “කාලා ගියොත් හොඳයි - ගුනපාල දන්නවා මේ වෙලාවට ආවොත් නොකා එන්නෙ නැති බව”

මම වටපිට බැලුවා වැරදි දෙයක් කල කෙනෙක් වගේ. මම දැනගෙන හිටියෙ නෑ මේ වෙලාවට අනුංගෙ ගෙවල් වලට නොයන්න. විශේශයෙන්ම මේ ගමේ ගෙවල් වලට.

“මට සමාවෙන්න ඕනෑ. ඕක දැනගෙන හිටියානම් මම මේ රෑවෙලා එන්නැ නෑ”

“සමාව ඉල්ලන්ට දෙයක් මෙතන වෙලා නෑනේ” ඒ ගාමිනීගෙ අම්මා. “දුව….”

“අම්මා?” ගේ ඇතුලෙන් කටහඬක් ඇහුනා.

“කෑම ලෑස්තිද කෙල්ලේ”

“තව විනාඩියයි”

මම දැනගෙන හිටියෙ නෑ තව කෙනෙක් ගෙදර ඉන්නවා කියලා.

“ගාමිනීට සහෝදරියක් ඉන්නවා කියලා මම දන්නෙ නෑ නේ”

“නංගී, ලතා. විබාග ඉවරවෙලා ඊයේ ගෙදර ආවේ”

ගාමිනියි, එයාගෙ අප්පච්චියි මමයි කෑම මේසේ ලඟට යනකොට ගාමිනීගෙ නංගී මේසෙට පිගන් තියනවා. අපි එනවා දැකලා අපි දිහා බලලා හිනා උනා.

“සමාවෙන්න කරදර කරනවට” මම මෙහෙම කිව්වේ වෙන කියන්න දෙයක් හිතාගන්න බැරි උන නිසා.

“අයියා ගෙදර ආපුවම නිතරම මෙහෙමයි - කරදරයක් නෙවෙයි”

රෑ කෑමෙන් පස්සේ මාව කෑම්ප් එකට දාල එන්න යන ගමන් මම ගමාට කිව්වා ඇලෙක්ස් සිකුරාදා එන එක ගැන. ගමාට ඒ ප්රවුර්තිය ඒතරම් වැදගත් දෙයක් හැටියට හිතුන බවක් මට දැනුනෙ නෑ. ගමත් එක්ක කතා නොකර ඇලෙක්ස් මෙහෙ ගෙන්නා ගන්න එක වැරැද්දක්ද කියලත් මට හිතුනා. නමුත් මේ ෆීල්ඩ් එකේ ලොක්කා මම - ඒ කියන්නේ මම කාගෙන්වත් අහන්න ඕනැ නෑ යාළුවෝ මෙහෙ එක්ක එන්න.

“ගමා ඇලෙක්ස් එක්ක වැඩිය හොඳ නැද්ද?”

“මං ඒ මහත්තයා අඳුනන්නේ නෑ, දැකලා තිබුනට”

ඇත්ත තමයි. ගමා ගැන කතා කෙරුවට කී දෙනෙක් ගමා එක්ක කතා කරලා තියෙනවද? මේ ප්ෆ්රොජෙක්ට් එක නොවෙන්න මමත් එහෙම නේද කියලා මට හිතුනා.



සිකුරාදා දවල් වෙනකොට මගෙ හිත සතුටුවෙන තරමට වැඩ වෙලා තිබුනා. මං හිතුවටත් වැඩි ප්රමානයක් ඒ සිතියේ සිතියම් ගත කරලා තිබුනා. එකතුකරගත්ත සාම්පල මලු වලට දාලා ලේබල් ලියන්න තව පැයක් දෙකක් විතර ගියා. මම හිතුවේ හවසට වාහනේ ඇරගෙන ටවුමට ගිහින් ඉන්ධන පුරවාගෙන, එන සතියට අවශ්ය කෑම එහෙමත් අරගෙන ඇලෙක්සුත් දාගෙන රෑ වෙනකොට ගෙදර එන්නයි.

ටවුමේ වැඩ ඉවර වෙනකොට තව පැයකට වැඩිය ගියා. මගෙ පුදුමෙට ගමාම ගිහින් අරක්කු බෝතලේකුයි මස් ටිකකුයි ගත්තා.

“මං හිතුවේ ගමා ඕවගේ දේ පාවිච්චි කරන්නෙ නෑ කියලා”

“නෑ. එහෙම එකක් නෑ. කොහොමටත් ඇලෙක්ස් මහත්තයා එනවත්නේ…තව එකක්, කමක් නැද්ද ලයනල් ගෙදර ගියාට? මම වාහනේ එලවන්නම් ඕනෑ තැනක යන්න”

“ඇයි ලයනල් යන්න ඕනෑ කියනවද?”

ගමා ටිකක් වෙලා හිතුවා, හරියට නියම වචන ටික සොයනවා වගේ.

“හෙටයි අනිද්දයි අපි වාහනේ ටිකක් එහෙ මෙහෙ දුවයි. ලයනල් හිටියොත් එලවන්නේ එයා - කරදරයක් උනොත් වෙන්නේ ලයනල්ට. මං කියන්නේ අනතුරක් එහෙම නෙවෙයි - පෙස්සමක් එහෙම ගැහුවොත්”

“කවුද එහෙම පෙස්සම් ගහන්නේ, මේ ගමේ?”

“අපි වැඩෙන් පිටත වාහනේ පාවිච්චි කරන එක වැරැද්දක් නම්, කවුරු පෙස්සම් ගැහුවද කියන එක අන්තිමේ වැදගත් වෙන්නෙ නෑ”

“එතකොට ගාමිනීට ගෝරි වැටෙන්නේ නැද්ද එලවනවට”

“…අඩුගානේ එතකොට ලයනල්ට නෑ නේ…”

ඇලෙක්ස් වාහනේ ලඟට ආපු ගමන් කිව්වේ “අඩේ… ඩ්ර්යිවර් නැත්තං මං එලවන්නම්” කියලා. ගාමිනී මා දිහා බැලුවේ, “උඹයි ලොක්කා…” කියනවා වගේ.

“නෑ ගමා එලවපුවයි - උඹ කියපං කොළඹ තොරතුරු”

ගාමිනී පොඩි හිනාවක් පෙන්නලා වාහනේ හෙමින් පාරට ගත්තා.

“උඹ මොනවද බං හවසට කරන්නේ?” අපි තුන්දෙනා ගේ පිටිපස්සේ මිදුලේ අඹගහ යට පුටුවල වාඩි වෙලා අරක්කු උගුරක් තොල ගෑවා ගුනපාල බැදපු වැව්මාලු කෑලකුත් හප හප. මේක ඇහුවේ ගාමිනී හවසට එයාලගෙ ගෙදර යන බව ඇහුවම.

අපි බොහොම වෙලාවක් කන්තෝරුවේ ඕප දූප කතා කර කර හිටියේ. ආයෙ කොළඹ තිබුන මැච් එකක් ගැන ඇලෙක්ස් පැය බාගයක් විතර කතා කෙරුවා. අවට හොඳටම අඳුරු වෙනකොට තමා ඇලෙක්ස්ට දැනුනේ මෙහෙ කොළඹ වගේ නෙවෙයි කියලා.

“හොඳටම මහන්සියි රෑ වෙනකොට. නාලා, පොඩි ශොට් එකක් දාගෙන කාලා නිදා ගන්නවා. සමහරවිට ගමාලගෙ ගෙදර යනවා”

“බංඩාර මේ පොර වැද්ද්ගන්න එපා ගෙදරට. ආයෙ එලවන්නම බැරිවෙයි!” තවම ගමා හරි ගාමිනී හරි මිස්ටර් බංඩාර කියන්න ඇලෙක්ස්ට්ස් පුරුදු නෑ.

“තවම නම් එහෙම එකක් වෙලා නෑ…”

“ඇලෙක්ස් පරෙස්සමෙන් හිටපං. ගමාගෙ අප්පච්චිත් එක්ක කතා කරලා බේරෙන්න බෑ. හැබැයි ගියේ කොයි වෙලාවේ උනත් කෑමෙන් බීමෙන් නම් කිසි අඩුවක් නෑ”

“අලෙක්ස් මහත්තයා හෙට රෑ එන්ට ගෙදර බත් කටක් කාලා යන්ට වීරසිංහ මහත්තයත් එක්ක”

මට ‘ජයන්ත’ කියලා හඳුන්වපු නැති එක ගැන පස්සේ කතා කර ගන්න ඕනෑ කියලා මට හිතුනා. වෙනස ඇලෙක්ස් ඉන්න එක වෙන්න ඇති.

ඇලෙක්ස් බොහෝම පරෙස්සමෙන් හැසුරුනත් ගමාලගෙ ගෙදර රෑ කෑම ඒ තරම්ම සතුටුදායක උනේ නෑ. මගෙ හිතේ එයාගෙ ඇඟේ මහන්සිය ඒකට එක හේතුවක් වෙන්න ඇති. මුලු දවසම එහෙ මෙහෙ දාඩිය දාගෙන ඇවිදලා, ඇලෙන් නාලා කෑම්ප් එකට එනකොට තුනත් පහුවෙලා. වතුර බීලා මදි කමයි කෑමට ඉස්සර ගත්ත අරක්කු අඩියයි නිසාද කොහෙද ඇලෙක්ස්ට නරක හිසේ කැක්කුමක් හවස් වරුවේ. මං හිතන්නේ ගමාලගෙ ගෙදර යනකොටත් ඒක සම්පූර්නෙන්ම සුව වෙලා නෑ.

ග්රාමනිලදාරී නෝනා එදා රෑ කෑමට හිටපු එකත් හේතුවක් වෙන්න ඇති.

ගමාගෙ අප්පච්චිට ඇලෙක්ස්ව හඳුනා දෙන්න උනේ මට, ගමා ඉස්තෝප්පුවේ නොහිටපු නිසා.

“රාලහාමී…මේ ඇලෙක්ස් පෙරේරා අපෙ කන්තෝරුවේ. එයා තිඹිරිගස්යායේ”

“…කොළඹ…” ඇලෙක්ස් උදව් දෙන්න උත්සාහ කරා.

රාලහාමී “වාඩිවෙන්න…” කියලා ආයෙත් පත්තරේ අතට ගත්තා. පත්තරේ උඩින් අපි දෙන්නා දිහා බලලා හිමින්, තමාටම කතාකරනවා වගේ මෙහෙම කියනවා:

“තිඹිරි ගෙඩියි පොත්තයි දෙකම බෙහෙතට ගන්නවා. හැබැයි මං අහලා නෑ දැන් නම් තිඹිරිගස් යායක් තියෙන තැනක්. ඉස්සර කාලේ තියෙන්ට ඇති…හැබැයි මොන ලෙඩකට හොඳද කියලා මං දන්නෙ නෑ…ජයන්ත මහත්තයගෙ මෙහෙ වැඩ කටයුතු හොඳට කෙරෙනවද?”

“ඔවු රාලහාමී - ගාමිනිත් එක්ක වැඩ කරන එක සන්තෝසයක්…. මට අමතක වෙනදේත් බලනකොට ගාමිනී කරලා”

“ජයන්ත මහත්තයා ටිකක් පරෙස්සන් වෙන්ට එහෙනං - කොලුවා සමහරවිට ගිලින්ට බැරි තරම් කටට ගන්නවා…”

“ඒ කිව්වේ?”

“එයාගෙ තනතුරේ හැටියට ජයන්තගෙන් උපදෙස් ගන්නවා මිසක් උපදෙස් දෙන එක එයාට අයිති නෑ. ඒක එයාට බාර දෙන එක දෙන්නටම නරකයි”

“ඒක ඇත්ත…” ඇලෙක්ස් රාලහාමිගෙ පැත්ත ගන්නවා, සමහරවිට ටික වෙලාවක් කට වහගන ඉන්න උන නිසා.

හොඳ වෙලාවට ඒ කතාව දික් ගැස්සෙන්න ඉස්සර ගමායි අම්මයි ඉස්සරහට ආවා. ආයෙත් හැඳිනීම් කරලා, ආගිය තොරතුරු කතා කරලා ඉවර වෙනකොට කෑමට වෙලාව හරි.

ඇලෙක්ස් ග්රාමනිලදාරී නෝනට අපේ වැඩ ගැන කියලාදෙන්න ගිය එක ඒ තරම් හොඳට ගියෙත් නෑ.

“මේ ගමේ තියෙන හුනුගල් විශේෂයි. රටේ සිමෙන්ති නිශ්පාදනයට මේවා නැතුව අමාරුයි”

“…හරියට ගොයම් හැදෙන්ට කුඹුරු නැතුව අමාරුයි වගේ…” ඒ ගමාගෙ අප්පච්චී.

මම ඇලෙක්ස් දිහා බලලා ඔලුව පොඩ්ඩක් එහාට මෙහාට හෙලෙව්වට ඒක දැනුනේ ගමාට විතරයි - ඇලෙක්ස්ට ගානක්වත් නෑ.

“කුඹුරුනම් ඕනෑ තැනක හදාගන්න පුලුවන් නමුත් මේ වගේ හුනුගල් හොයාගන්න අමාරුයි”

“ඒක මහත්තයාලගෙ කන්තෝරුවට අයිති වැඩක්. අපි දන්නේ අපිට පරම්පරාවෙන් ආපු කුඹුරුවල වගා කරන එක ගැන විතරයි”

වාතාවරනය තවත් උනුසුම් වෙන්න ඉස්සර මට කතා කරන්න හිතුනා.

“අපෙ වැඩේ නිදියේ වපසරිය මනින එක විතරයි. ඊට පස්සේ වෙන දේ තීරනේ කරන්නේ වෙන අය, තවත් කරුනු බොහොමයක් සලකා බලලා”

ගමාගෙ නංගියි නැන්දයි දෙන්නම පලමුවෙනි සරේට මා දිහා බලලා කට පුරා හිනා උනා. මට සන්තෝස හිතුනේ එතැනින් ඇලෙක්ස්ගෙ කතාව නැවතුන නිසා. අපි කෑමට පස්සේ වැඩි වෙලා නොඉඳ ආපහු කෑම්ප් එකට ආවා.

ඉරිදා උදේ අපි ඇලේ නාන්න ඇරුනුකොට වෙන කොහෙවත් නොයා ගෙදරම ඉන්න හිතා ගත්තා. අපි දෙන්නම ගේ පිටිපස මිදුලේ තේ බිබී නිදි කිරුවා.

“මචං ගමාලගෙ තාත්තා කට කාරයා නේද? ගමා වගේ නෙවෙයි”

“මට පෙනෙන විදිහට දෙන්නම එක වගේ. දෙයක් කියන්නේ ඒක ගැන හොඳට හිතලා බලලා - කට තිබුනට කියවන්නෙ නෑ. හැබැයි එක වෙනසක් - ගමාගෙ අප්පච්චිට ලෝකේ සේරම එකයි; ගමා තවම දෙටුවන්ට, වැඩිහිටියන්ට එහෙම තවම ගරුහරු පෙන්නනවා”

“මටනම් පෙනෙන්නේ ගමා ටිකක් සිම්පල් වගේ - ගමේ පවුලේ ගොංපුතා!”

“මචං ගමාට තියෙනවා අපි දෙන්නටම වැඩිය මොලේ. හැබැයි ඒක පෙන්නන්න උත්සාහ කරන්නෙ නෑ”

“ඒකත් ගොං කමක්නේ බං - එතකොට පන්දමක් නැතුව රස්සා හොයා ගන්නේ කොහොමද?”

“ගමා ආවේ පන්දමකින් නෙවෙයිලු. වීරවර්දන විබහග දෙකක් දුන්නලු - රියල් ලයිෆ් සිටුවේශන් පාවිච්චි කරලා. මෑන් පලවෙනියලු වෙන එකෙක්වත් කිට්ටුවෙන් වත් නැතුව”

“…වරෙන් නාන්න…අපි බෝතලෙත් ඇලට අරන් යමුද?”

“නෑ…ඒක හරි නෑ මේ ගමට. අපි අවිල්ලා දෙකක් දාගමු”

“උඹත් ගමෙක් වෙලානේ බං!”

………..

මේ සිද්දි උනේ දැන් අවුරුදු දෙකකට ඉස්සර. අපේ වැඩ අපි හොඳින් කරාලා දිග වාර්තාවක් අමාත්යාන්ශයට දුන්නට තවම හුනුගල් නිදිය කනින්න තීරනයක් නෑ. තව අවුරුදු කීයක් යයිද කියලා කියන්නත් බෑ. හුනුගල්පොත්තාවල මිනිස්සු තවම පරන පුරුදු විදිහටම ජීවිතේ ගෙවනවා.

නමුත් ගමේ එක වෙනස්කමක් තමා මාසෙකට දෙකකට සැරයක් සති අන්තෙට මම හුනුගල්පොත්තාවල යන එක. දැන් නම් ගමා නැතුවත් මට එහෙ ගිහින් ඉන්න පුලුවන්. මොකද, එන මාසේ ලතාව බඳින්න පවුල් දෙකෙන්මයි ලතාගෙනුයි කැමැත්ත ලැබිලා තියෙන නිසා.