ගමේ යන්නෝ
ජයසේනට නිතරම ගම මතක්වෙන්න පටන්ගත්තේ මෑතක ඉඳන්.
මීට අවුරුදු හතකට ඉස්සර එංගලන්තෙට ආවට පස්සේ ජයසේන ආපසු ලංකාවට ගියේ එක සැරයයි. ඒත් දැන් අවුරුදු හතරකට ඉස්සර. ඒ සැරේ ලංකාවේ හිටිය මාස තුනෙන් වැඩි කාලයක් ගෙවුනේ කොළඹ - දවස් තුන හතර බැගින් කීප සැරයක් ගමට ගියත් නවතින්න හේතුවක් හෝ අශාවක් ඒ දිනවල තිබුනෙ නෑ. නමුත් ගම ගැන නැවත මතක්වෙන්න පටන්ගත්තේ අක්කාගේ අංතිම ලියුමෙන් පසුවයි.
සාමාන්යෙන් අක්කගෙ ලියුම් කනගාටුවෙන් තොර, ගම හෝ රැකියාව පිළිබඳ රසවත් අතුරුකථා වලින් පිරි දිග හෑලියි. නමුත් අංතිම ලියුම කෙටියි. එහි තිබුන වැදගත්ම වාක්ය වුනේ “කෝරලේ නිලමේ නැතිවුන එක අප්පච්චිට ඉවසන්ට අමාරුයි. කෝරලේ මැනිකේ නැතිවුනාට පස්සේ අප්පච්චී නිතරම එහෙ ගියා. දැන් නිකම්ම වත්ත දිහා බලාගෙන ඔහේ ඉන්නවා”
තනිකාමර බද්ධනිවසක තනියම ජීවත්වෙන ජයසේනට හුදෙකලා ජීවිතේ දැන් හොඳටම පුරුදුයි. එංගලන්තේ ඇතිකරගත් එකම ප්රේම සම්බන්ධය අවසානවූයේ මීට අවුරුද්දකට ඉස්සර, ප්රීති ආපසු ලංකාවට ගොස් එහිදී වෙනෙකෙක් බැඳගත්තට පසුවයි. ඒ ගැන කලක් විඳි වේදනාව දැන් මතකයක් පමනයි. රැකියාවට මුළු හිතින් කැපවී සිටින නිසා ඇඟටත් නොදැනී කාලය ගෙවී යනවා. උපන් ගමවත් රටවත් හිතට ආවේ රූපවාහිනියෙන් හෝ අංතර්ජාලෙන් ලංකාව ගැන යමක් දුටුවොත් පමනයි. ඒකත් හිතලා සොයලා බලලා නෙවෙයි. අක්කගෙ ලියුම් වලටත් උත්තර ලියවුනේ උඩින් පල්ලෙන්. නමුත් අංතිම ලියුමට පස්සේ ජයසේන අක්කට ටෙලිෆෝනෙන් කතා කළා.
“අප්පේ… කටහඬ ඇහුන කාලයක්! මොකොදෑ අප්පා හදිස්සියේ?”
“… නෑ… නිකං ඔය පැත්තේ…. තොරතුරු කොහොමද කියලා බලන්ට…”
“ඔහේ… තියෙනවා ඉතින්… ඔහෙ කොහොමද?”
ඊලඟ විනාඩි දෙක තුන තේරුමක් නැති වල්පල් වලට ගෙවුනා. ආයෙත් වැදගත් යමක් කියවුනේ ගම ගැනයි.
“අප්පච්චී තවම ඒ වගේමයි… ඇඟපත අමාරුවක් නැතුවට හිතේ තමා ඔක්කොම… මං හිතන්නේ අම්මගෙ හිතේ බලෙන් තමා ගෙදර ගෙනියන්නේ… හා… මං කිව්වා නේද අපෙ කඩේ ටිකිරිබංඩට වික්කා කියලා? අප්පච්චී දැන් කෝරලේ ගෙදරයි ඉඩමයි ගන්ට බලනවා!”
“ඇයි කෝරලේ මහත්තයගෙ පවුලේ කවුරුත් නැද්ද?”
“ගමේ ඉන්ට එන කෙනෙක් නෑ. අනික… කෝරලේ නිලමේ අප්පච්චිට කියලා තිබිලා ඒ අයගෙ පෙරකදෝරුවට කතා කරන්ට කියලා - කෝරලේ ගෙදර නෑදෑයන්ටත් කියලා…”
“ඒ කියන්නේ… අ… අප්පච්චිලාට ඕනද ඒ තරම් ලොකු ගෙයක්?”
“මල්ලී හිතන තරම් ඒක ලොකු නෑ. ලොකුවට පෙනෙන්නේ වටේ සාලෙයි පිටිපස්සේ මඩුවයි හින්දා…අනික… මං හිතන්නේ අප්පච්චී කැමතියි මල්ලී දවසක ගමේ ආවොත්… මගෙන් ඇහුවා ‘මල්ලී ආයෙ එන්නෙම නැතිවෙයිඳ කියලා…”
මීට ඉස්සර අක්කට ටෙලිෆෝන් නොකළේ ඇයි කියලා ජයසේනටමත් පුදුමයි. ඒ වියදම නිසාවත්, ඔර්ලෝසු වෙලාවේ වෙනස නිසාවත්, වැඩ වැඩිකම නිසාවත් නොවෙන බව දෙන්නම දන්නවා. හිතන්න පුළුවන් එකම හේතුව අක්කට කතා කිරීම වැදගත් දෙයක් ලෙස ජයසේන නොසැලකීමයි.
ශීත කාලෙට කිට්ටු මේ දවස්වල ඉක්මනට ඉර බහිනවා. වැඩ ඇරිලා ගෙදර එනකොට ගෙදර අඳුරුයි. රෑ කෑම ගැන සිතන්නත් කලින් ඉස්තෝප්පුවේ වාඩිවෙලා විස්කෝතුවකුත් තේ කෝප්පෙකුත් රස විඳින්න ජයසේන පුරුදුවුනේ ප්රීති ලංකාවට ගියාට පස්සේ. ඒ දවස්වල ප්රීති ගැනත් ඇය නැති පාළුවත් ගැන ඇතිවුනේ දුකත් තරහත් මිශ්ර සිතුවිලි. මේවා මාස ගනනක් පැවතුනා. නමුත් කල් යන්න යන්න ජයසේන ප්රශ්නය ප්රීතිගෙ පැත්තෙන් බලන්න උත්සාහ කළා. ඒකේ ප්රථිපලයක් වශයෙනුයි අංතිමට ජයසේන හිත එකලස් කරගෙන පෙම්කතාවේ අවසාන පරිච්චේදය හැටියට ඇයට සුභපැතුම් ලිපියක් යැව්වේ.
අක්කත් සමග කතාවෙන් පස්සේ තේ වෙලාවේ හිතේ කැරකුනේ දෙමව්පියොත් ගමත් සම්බන්ධ දේමයි. ඒ සිතුවිලි වලින් මතුවුන පාළුව ප්රීති නැතිවූ පාළුවට වඩා වෙනස් -අප්පච්චි අම්මයි දුකෙන් පසුවෙන්නේ තමාගේ වැරැද්දකින් කියලයි දැන් ජයසේනට හිතෙන්නේ. මේ සිතුවිලි මාලාව වඩාම තදින් බලපෑවේ හවස තේ වෙලාවෙයි පාන්දර තුනට විතර ඇඳේ වැතිරී නිදි නැතුව ඉන්න විටයි. ලඟක ඉඳන් මේ සිතුවිලි දිනපතාම වගේ ජයසේනට කරදර කළා.
………………………
ජයසේන තමංගෙ උපන් ගම ගැන කවදාවත් වැඩිය හිතලා නෑ. පොඩි කාලේ මේ ගම ජයසේනගෙ මුළු ලෝකයයි - වෙන තැනක් ගැන හිතන්නවත් අව්ශ්යතාවයක් තිබුනෙ නෑ. නමුත් මධ්යවිද්යාලෙට යෑමෙන් පස්සේ ගමෙන් පිට තව ලෝකයක් ඔහු දැක්කා. ඊට පස්සේ විශ්වවිද්යාලයත්, රැකියාව කළ කොළඹත්, අංතිමට එංගලන්තේ මැන්චෙස්ටර් නගරය අවටත් ඔහුගේ ලෝකයට එකතුවුනා. නමුත් කිසිම දවසක ඒ එක පරිසරයක්වත් උපන් ගමත් සමග සංසන්දනය කරන්න ජයසේන උත්සාහකළේ නෑ. ඇත්තටම කිව්වොත් ‘ගම’ කියන වචනෙන් වැටහෙන්නේ මොකක්ද කියලා ජයසේනට තේරුනේ නෑ.
ජයසේනට උපන් ගම හොඳින් මතකයි. උපන්දා පටන් පහේ පංතිය ඉවරවෙනතුරු ගමෙන් පිට දවස් දෙක තුනකට වැඩිය එක දිගට ඉඳලා නෑ. ඉස්කෝලේ ගියෙත්, සෙල්ලම් කළෙත්, වත්තෙයි කඩෙයි වැඩට උදව් කළෙත් ගමේ අයත් එක්ක. ගමෙන් පිට නෑදෑයෝ යාළුවෝ ජයසේනට හිටියෙ නෑ. ගමේ කුඹුරු, කඩමංඩි, ඇලදොල වගේම සෑම අඩිපාරකුත් හොඳටම හුරුයි. නමුත් මේ දැනුම නිසා ගමත් එක්ක තද බැඳීමක් ඇතිවුන බවක් දැනුනෙ නෑ.
මධ්යවිද්යාලයේදී ඔහු ගම ගැන හිතුවේ වෙනස් විදිහකටයි. ඈත ගම් වලිනුත් කුඩා නගර වලිනුත් ආ සිසුවෝ ජයසේනගේ ගම ගැන නොදත්තෝයි. ඔවුන්ට තමාගේ ගම ගැන යමක් කීමට අවශ්යතාවයක් ඔහු දුටුවේ නෑ. ‘ගොඩයෙක්’ වීමට ඇති අකමැත්ත නිසා තමාගේ ගම් ගැන කතා නොකිරීමට වගබලාගත්තේ ඒ නිසයි.
විශ්වවිද්යාලයේදී ජයසේනගේ ගම ‘මහනුවර’ වුනා. රටේ හතරවටින් එන සිසුවන්ට මහනුවර අවට ගම් ‘මහනුවර’ ලෙස හැඳින්වීම පුදුමයක් නෙවෙයි. තමාටත් වඩා පිටිසර ගම් වලින් පැමිනි අය පිරුනු විශ්වවිද්යාලය තුල ජයසේන ‘නාගරිකයෙක්’ වුනා. ඇඳුමෙනුත් කතාවෙනුත් මේ චරිතය රඟපෑමට ඔහුට අමාරුවුනේ නෑ. අප්පච්චිට ගමේ කඩෙන් ලැබුනු ආදායම නිසා ජයසේනගෙ වියහියදම් කරදරයක් නැතුව පෑහුනා. අප්පච්චිත් වැඩිය වියදම් ගැන ප්රශ්න ඇහුවෙ නෑ. නමුත් අනවශ්ය වියදම් නොකිරීමට ජයසේන වගබලාගත්තා. අක්කා කිවූ හැටියට ‘මුදලාලිගෙ පුතත් ලාවට හරි මුදලාලී!’.
කොළඹ රස්සාව කරන කාලේ ජයසේනගෙ ‘ගම නුවර’ වීම තවත් තහවුරුවුනා. කොළඹ යාළුවෝ ගමේ එක්ක ආවෙ නැතත් නුවර පෙරහැරට සමහර යාළුවෝ ගෙන්න්වාගෙන පේරාදෙනියේ පරන යාළුවෙකුගෙ ගෙදර නැවතුනා. එංගලන්තේ ගමනටත් අම්මයි අප්පච්චියි ගුවන් තොටුපොලට එක්ක ආවේ අක්කගෙ කීම නිසයි.
මේ අඩියෙන් අඩියට ‘නාගරිකයෙක්’ බවට හැරීම වෙනස්වුනේ එංගලන්තෙදියි.
එංගලන්තේ හමුවූ සමහර ලාංකිකයන් ඇරුනුකොට වෙන කිසිම කෙනෙක් ජයසේනගෙ උපන් ගම ගැන ඇහුවෙ නෑ. බොහොම දෙනෙක් තමාගේ රට ගැනවත් ඇහුවෙ නැත්තේ ඒක ඒ අයට වැදගත් නැති නිසා බව තේරුම් ගන්න ටික කාලයක් ගියා. මුළදී තමා ‘අයිති’ රට ඉන්දියාව හෝ පකිස්තානය බව සිතූ ඔවුන් ඒ ගැන ප්රශ්නකළේ නෑ. ඒ අයට ජයසේනගේ රට ගැනවත් කුතුහලයක් නැති එකේ ගම ගැන මොනවා කියන්නද? අනික් අතට, ජයසේන ගම ගැන හිතන්න පටන්ගත්තෙත් මේ කාලෙමයි; කෑම බීම මේ සිතිවිලිවල ඉදිරියෙන්ම හිටියා.
ජයසේන එංගලන්තේ ආ දවස්වල ඉඳන් හිටපු පලාත්වල ඕනෑම වර්ගයක කෑම බීම පහසුවෙන්ම සොයාගත හැකි වුනා. බටහිර කෑම බීමට අමතරව ඉන්දියානු, චීන, ඉතාලි වගේම තමා දන්න නොදන්න කෑම වර්ග සුලබව තිබුනා. ඒක සතුටට කාරණයක් වුනේ වයිවාරන කෑම රස බැලීමට පුළුවන් වීමයි. ඒ වගේම කැමති කෑමක් ගෙදර ලෑස්තිකරගැනීමත් අමාරුවුනේ නෑ. මේ සතුටට අකුල් හෙළුවේ ජයසේනගෙ දෙල් කෑමට ඇති ආශාවයි - ඒ දවස්වල ටින් වල දැමූ දෙල් විකිනීමට තිබුනෙ නෑ. මේ ආශාව විහිළුවක් හැටියට සැලකුවත් ටික කාලෙකින් දෙල් වලින් පටන්ගත්ත කෑම ‘අසහනය’ අනික් කෑම වලටත් ඇදී ගියා. නමුත් පිටට මේ අසහනය පෙන්වන්න ඔහු කැමතිවුනේ නෑ - එය යටපත්කළේ සතියකට වරක් දෙකක් ලංකාවේ කෑම ලෑස්ති කරගැනීමෙනුයි. ප්රීති මුනගැසුනෙත් මේ ‘ලංකා කෑම’ සොයා යෑමෙදී, ලංකා වෙලඳ සැලකදීයි.
එංගලන්තේ ඇවිත් වුරුදු තුනකට පස්සේ ආපසු ලංකාවට යනකොට ජයසේන සෑහෙන දුරට එංගලන්ත ජීවන රටාවට පුරුදුවෙලා. නමුත් එංගලන්තෙත් එක්ක සංසන්දනය කරලා කොළඹ අඩුපාඩු සොයන්න ඔහු කවදාවත් පෙලඹුනේ නෑ. ඒක අශිෂ්ට හැසිරීමක් යයි ඔහු පිළිගත්තා. කොළඹ තමාගෙ ගමත් එක්ක සංසන්දනය නොකලේත් මේ හේතුවෙන්මයි. ඒ ගමනේදී ජයසේනට වැටහුන එක දෙයක්නම් කායික සැපතෙන් ගමක/රටක ‘වටිනාකම’ තක්සේරු කරන්න බැරි බවයි. ඒ වගේම තමා ලංකාව දකින්නේ වෙන දෘෂ්ටිකෝණයකින් බව ජයසේනට වැටහුනා.
නමුත් ඒ දිනවල ලංකාව ඔහු දෙස බැළුවෙත් වෙන දෘෂ්ටිකෝණයකින් බව ඔහුට හොඳින් වැටහුනේ නෑ.
……………………….
උදේ වැඩට යන්න ඉස්සර ජයසේන ආයෙත් අක්කට ටෙලිෆෝන් කරන්න තීරනේ කරගත්තා. ඒක දවල් කෑම වෙලාවේ කරන්න හිතුවේ එතකොට ඒ දෙන්නා වැඩ ඉවරවෙලා ගෙදර ඇවිත් නිසා.
“දවස් දෙකට කෝල් දෙකක්! දැන් වැඩ ටෙලිෆෝ කොම්පැනිකද?... මොකද මල්ලී?”
කමලට දැනුනා මෙතන නිකම්ම තොරතුරු දැනගන්ට කතා කරනවට වැඩිය ලොකු දෙයක් ඇති කියලා.
“නෑ… මට අහන්ට අමතකවුනා සෙනරත් ගැන… “
අක්කගෙ මගුල් ගෙදරට ජයසේනට යන්ට ලැබුනෙ නෑ. දැන් අවුරුදු හතරකට ඉස්සර නිවාඩුවට ලංකාවේ ගිය දවස්වල නම් ප්රසිද්ධ කරලා මාස හයකට පස්සේ මගුල ගත්තේ. අක්කා බැඳපු සෙනරත් හරිම හොඳ මිනිහෙක් - අක්ක වගේම ගුරු වෘත්තියේ. දෙන්නට තවම දරුවෙක් නෑ.
“මේ දවස්වල අධ්යාපන කාර්යාලේ. ඇයි කතා කරන්ට ඕනැද? ඉන්නවා”
“හා”
සෙනරත් පුරුදු විදිහට “ආයුබෝවන් මලයා” කියනකොට ජයසේන තීරනේ කරලා ඉවරයි කොහොමද මේ සාකච්චාව යන්නේ කියලා.
“ලොකු මස්සිනාට කතා කරන්ට පුළුවන්ද… අක්කට ඇහෙන්නෙ නැතිවෙන්ට?”
පොඩි නිශ්ශබ්ද තාවයක්.
“ඉන්ට මල්ලී මං බලන්නං කන්තෝරු කාමරේ… පිටු කීයක් විතර පොතක්ද?”
කතා කරන ගමන් කන්තෝරු කාමරේට ගිහින් දොරත් වහගෙනයි ආයෙත් කතා කරේ.
“මොකද්ද මලයා ප්රශ්නේ… උඹ දන්න්වානේ උඹෙ අක්කා ඔය පොතක් හොයන කතාව විස්වාස නොකරනබව?”
“නෑ අයියා… මට හිතෙනවා දැන් ආපහු ලංකාවට ආවොත් හොඳයි කියලා…”
“නියමයි නේ! ගන්ටම ගන්ට?”
“එහෙම තමා හිතාගෙන ඉන්නේ. තවම අක්කට කියන්ට එපා මොකද කවදා එවෙයිද දන්නෙ නැති නිසා… මට අයියගෙන් අහන්ට ඕන මේකයි… මට ඉන්ජිනේරු කොම්පැනියක රස්සාවක් පොරොන්දුවුනා මෙහෙදී හම්බවුන නුවර පොරක් … ඒ දැන් අවුරුද්දකට විතර ඉස්සර… මං හිතන්නේ මට ඔහෙ රස්සාවක් හොයාගන්ට බැරිවෙන එකක් නෑ කියලා… ප්රශ්නේ මේකයි - මම කාලයක් පිට හිටපු එක කරදරයක් වෙයිද? ලොක්කන්ගෙන් නෙවෙයි වැඩපොලක අනික් අයගෙන්?”
“ඇයි මලයා එහෙම වෙයි කියලා හිතන්නේ?”
“ලංකාවෙන් ඇවිත් මෙහෙ රස්සා හොයාගන්න එක අමාරුයි. මෙහෙ අය කියන්නේ මෙහෙ ඉගෙන ගත්ත මෙහෙ කට්ටියට රස්සා නැති එකේ ඇයි පිටින් එන උන්ට දෙන්නේ කියලා. ලංකාවෙත් ඒක ඇති - ලංකාවේ ඉගෙනගත්ත අයගෙන්”
“එහෙම දේ නෑ කියන්ටම බෑ මට… හැබැයි ඒක පිටරටටම සම්බන්ධ දෙයක් නෙවෙයි - පිට ගමකින් ආවත් එක එක දේ කියනවා කියලා මලයා දන්නවා නේ! ඒක අපෙඋන්ගෙ හැටි”
“මොකද මං කැමති නෑ ලොක්කන්ගෙ මාර්ගෙන් ආවා කියලා මිනිස්සු හිතනවට”
“ඒකත් ප්රශ්නයක් නෙවෙයි - හුඟක් අය ලොක්කන් මාර්ගෙන් එනවා; ලොක්කා කොච්චර ලොකුද කියන එකයි ප්රශ්නේ!”
අපි දෙන්නටම හිනා ගියා.
“මං කියන්ටද මලයා - පලවෙනි දවසේ වැඩට සරම ඇඳලා බුලත්විටක් කාලා ගියොත් කම්මුතුයි! උඹ අපිට හොරෙන් බැඳලා එහෙම නැද්ද?”
“එහෙම එකක් නෑ අයියා - ඇවිල්ලා හොයාගන්ට බැරියෑ!”
“ඉක්මනට හොයා ගනින් අපි නාකිවෙන්ට ඉස්සර”
අයියා එහෙම කිව්වේ අපෙ අප්පච්චී එහෙම ගැන හිතලා බව ජයසේනට සහතිකයි.
“අක්කා ඇහුවොත් කියන්ට මෙහෙ නාට්යකට මාටින් වික්රමසිංහගෙ රෝහිනී පොතේ දොලොස්වෙනි පරිච්ඡේදයේ පළවෙනි වාක්ය සොයාගන්ට කතා කරේ කියලා - මං දන්නවා අක්කා ලඟ පොත තියෙන බව”
“රයිට්… ඕන වෙලාවක කතා කරන්ට”
…………………
ජයසේනට දැනුනා ‘ගම’ කියන වචනේ තේරුම තියෙන්නේ මෙතනයි කියලා.
පොඩි කාලේ වැටිලා කකුල තුවාලවුනොත් අඬාගෙන යන්නේ අම්මා ලඟට. ඇතිවෙන ඕනෑම ප්රශ්නෙකට අම්මයි අප්පච්චියි ලඟ පිළියම් තිබුනා, ගුරුවරුන්ටත් අනික් නෑදෑයන්ටත් නැති තරමට. ටික කාලෙකට පස්සේ අක්කගෙනුත් ප්රශ්න වලට පිළිතුරු ලැබුනා, අම්මයි අප්පච්චියි සැපයූ වර්ගයේ. කොළඹ සිටි කාලේ පවුලේ අය ඒ තරමට පිළියම් සැපයුවේ නැතිවුනත් කොළඹ එක යාළුවෙකුටවත් තමාගේ පවුලේ අයගෙ ගණයේ ‘පිළියම්’ සපයන්න හැකියාවක් තිබුනෙ නෑ. එංගලන්තෙත් ඒ වගෙයි. දැන් සෙනරත් අයියටත් පුළුවන් මට උදව් කරන්ට.
‘ගම’ කියන්නේ සිතියමක ලකුණු කළ නමක් පමනක් නෙවෙයි. කඳු ගැට, ඇල දොල, කුඹුරු, ගස් වැල්, ගේදොර ඇරුනුකොට ගමකට හදවතක් තියෙනවා - ඒක පෝෂ්ණය කරන්නේ පවුලේ අය. තමාගෙ ගමෙත් අනික් ජනවාසවලත් ඇති වෙනස මේකයි.
ජයසේනට ලංකාවේ ගියත් නැතත් වෙනසක් නෑ; නමුත් ගමේ යන්න තියෙන ආශාව කායික සැපත්වලින් යටපත් කරන්න නොහැකිබව දැන් වැටහෙනවා.