ගුරුවරු සහ සිසුවෝ
මට ලියුමක් එන්නේ කලාතුරකින්. දැනට අවුරුද්දකට විතර ඉස්සර මල්ලී ලියුමක් එවලා තිබුනා එයා ඉඩකඩම් විකුනලා රට යනවා කියලා, එයාගෙ දුවත් එක්ක ජීවත්වෙන්න. රට ගියාට පස්සේ ආයෙ මල්ලිගෙන්වත් ලියුමක් නෑ. පවුලක් කියන්න වෙන කවුරුත් නැති මට පිටින් එන්නේ වතුර බිලයි විදුලි බිලයි විතරයි. මගෙ තනි නිදන කාමරයේ යානිවසට ගෙදර අයිතිකාරයෝ වෙනම බිල් ලැබෙන්න සලසලා තියෙන්නේ. ඒක අපි දෙගොල්ලටම හොඳයි, වැඩිය ආශ්රයක් අනවශ්ය නිසා.
අද ආපු ලියුම තිබුනේ රතු පාට කවරේක - කාගෙන්ද කියලා හිතා ගන්න බැරිවුනා කඩලා බලනකම්. ඒකයි මම ඉස්සරවෙලාම ලියුමේ අත්සන දිහා බැළුවේ. ‘සමන් රත්නසේකර’ - මේ නමින් කිසි කෙනෙක් මම හඳුනන්නෙත් නෑ. කන්නාඩිය සොයාගෙන මුළු ලියුමම කියෙව්වට පස්සෙයි මට තේරුනේ මේක ආරාධන පත්රිකාවක් කියලා - මම උගන්නපු ඉස්කෝලේ මගෙ වසර දොලහේ පංතියේ ළමයින්ගේ සුහද හමුවකටයි ආරාධනය. ඒ වෙලාවේ මට යන්තමට මතක්වුනා සමන් රත්නසේකර කියලා මගෙ පංතියේ හිටපු කොල්ලෙක් - ලියුම ඒ කොල්ලයි ලියලා තිබුනේ.
වයස 80ක් වන මම විශ්රාම ගිහින් දැනට අවුරුදු විසි දෙකක් වෙනවා. මගෙ වසර දොලහේ ළමයි දැන් වයස හතලිහකට කිට්ටුයි - සමහරවිට වැදගත් රස්සා කරන, දරුවෝ එහෙම ඉන්න හොඳ පුරවැසියෝ වෙන්න ඇති. අනික් අතට සමහරු හිරේ ලගිනවා කිව්වොත් මම වැඩිය පුදුම වෙන්නෙ නෑ. ඒ දවස්වල හොඳ අනාගතයක් තියෙයි කියලා හිතූ අයගෙන් කී දෙනෙක් ඒවා ඉෂ්ට කරගත්තද? කොයි වෙලාවෙත් දහංගලේ දුවපු අය දැන්වත් ටිකක් තැන්පත් වෙලා ඇතිද? විශ්වවිද්යාලෙට ගිය කීදෙනෙක් තෝරාගත්ත ක්ෂේත්ර වල රස්සා සොයාගත්තද? මට මතක විදිහට විස්සක් විතර හිටපු පංතියෙන් විශ්වවිද්යාලෙට ගියේ හතර දෙනයි. අනික් අය මොනවා කරාද මම දන්නෙ නෑ - හොයලා බැළුවෙත් නෑ.
ඇඳේ නිදි නැතුව ඉන්න බොහෝ වෙලාවට මට හිතෙනවා මගෙ ඉස්කෝලේ ගුරුවරු සමගවත් හිතවත්ව හිටියානම් මේ තොරතුරු කොහොමහරි මට දැනගන්න ලැබෙයි කියලා. නමුත් මම කිසිම ගුරුවරයෙකු සමගවත් ගෝලයෙකු සමගවත් මිත්රකම් ඇතිකරගන්නවත් ඇති මිත්රකම් පෝෂණයකරන්නවත් හිතා මතා උත්සාහ කළේ නෑ. එහෙම කළානම් මට මෙහෙම දැන් වගේ පොත පත සමග පමණක් අදහස් හුවමාරු කරගන්න වෙන්නෙ නෑ.
දැන් මගෙ ජීවිතේ ගෙවෙන්නේ කියවීමෙන් සහ ලිවීමෙන්. කියවන්නේ කාලයක් තිස්සේ එකතුවුන පරණ පොත පතයි, මම ෆුල්ස්කැප් පොත්වල ලියපු කතන්දරයි, ගෙදර තියෙන එකම හාන්සිපුටුවේ ඇලවෙලා. හැමදාම ලිව්වෙත්, දැන් ලියන්නේ පෑනෙන් - පරිගණකයි අන්තර්ජාලයි මට නෑ. එදිනෙදා තොරතුරු දැනගන්නේ රේඩියෝ එකෙන්; මුහුනෙන් මුහුනට නැති කථාබස් ජංගම දුරකතනෙන්. දැන් මගෙ ජීවිතේ බොහොම සරලයි - මිල අධික තාක්ෂ්ණයෙන් තොරයි.
ඉඳහිට බස් එකේ මහනුවර ටවුමට යනවා හැරුනුකොට මට වෙන ගමන් බිමන් නෑ, මේ දවස්වල. ගමන් නොගියත් ව්යායාමෙන් නම් අඩුවක් නෑ - උදේ හවස ඇවිදීමටත් කිලෝමීටරක් ඇතුලත තියෙන කඩ වලට නිතර යෑමටත් දවසෙන් පැය දෙක හමාරක් විතර ගෙවෙනවා. ගෙදර අතුපතු ගාන්න, රෙදි සෝදන්න, කෑම ලෑස්ති කරගන්න, දීසි සාස්පාන් අස්කරන්නත් යන වෙලා එකතු කළොත් මට ‘නිකම් ඉන්න’ වෙලාවක් කියලා දෙයක් නෑ. නමුත් මට හිතෙනවා මේ වැඩ වලින් බාගයක් විතරක් කළත් ‘නිකම් ඉන්න’ වෙලාවක් නැතිවෙයි කියලා - ඇති වෙලාව පිරෙන්න තියෙන වැඩ ‘ප්රසාරණය’ වෙනවා කියලා මම අහලා තියෙනවා.
ලියුමේ සඳහන් සුහද හමුවට තව සති තුනක් තිබුනත් මම මගෙ ‘හොඳ’ නිල් කොටු කමිසෙත් කළු කලිසමත් එලියට ගත්තේ කපුරු බෝල සුවඳ නැතිවෙන්න අව්වට දාන්නයි. දැන් සපත්තු දාන්න බැරි නිසා කකුල් දෙකට මගෙ ‘හොඳ’ සෙරෙප්පු කුට්ටම හොඳටම ඇතිවෙයි කියලා මට හිතුනා.
………………………..
“ආයුබෝවන්! මේ දේවේන්ද්ර ගුනරත්න මහත්තයාද?”
ගැහැනු කටහඬක් මගෙ මෝබයිල් එකෙන් - හැබැයි හඳුනන කෙනෙක් නෙවෙයි.
“ඔවු. කවුද කතා කරන්නේ?”
“ඉන්න පොඩ්ඩක් මිස්ට ගුනරත්න… මම මංත්රී තුමාට සම්බන්ධ කරනවා…”
ඊලඟ විනාඩි තුනේ කිසිම සද්දයක් ඇහුනෙ නෑ. මං දන්න මංත්රීලා නැතිනිසා මෝබයිල් එක නිවන්න යනකොට හෙමින් සද්දයක් ඇහුනා “කවුද මේ?” කියලා. ඊට පස්සේ ආවේ බොහොම ගාම්භීර “හලෝ?” සද්දයක්. මම සද්ද නැතුව හිටියා - එයාටනේ කතා කරන්න ඕනවුනේ කියලා.
“මේ මිස්ට ගුනරත්නද? අර ග්රේඩ් ට්වෙල්වෙ එකේ මැත්ස් උගන්නපු?”
“ඔවු… ඔබ තුමා කවුද?”
“මම සර්ගෙ ගෝලයෙක්… වැඩිය හොඳට ඉගෙනගත්තෙ නැති ගෝලයෙක් හඃ හා! මම සමන් රත්නසේකර…”
“අර කතා කරපු ළමයා කිව්වේ මංත්රී කෙනෙක් කියලා”
“හඃ හා හා! ඒ මම තමයි සර්… මම දැන් ආණ්ඩු පක්ෂේ මංත්රී කෙනෙක්… මගෙ ලියුම හම්බවුනාද?”
“ලියුම?... ආ… අර පංතියේ සුහද හමුවක් ගැන එක හම්බවුනා”
“අන්න ඒක තමා… සර් එනවා නේද?”
“එහෙම තමා හිතුවේ”
“එක්සලන්ට්! … එදාට හම්බවෙමු… බුදුසරනයි සර්!”
මම මොනවත් කියන්න ඉස්සර අපි විසන්ධිවුනා. රත්නසේකර මංත්රී කෙනෙක්! මට යාන්තමට මතක විදිහට රත්නසේකර ඉගෙනීමටවත් ක්රීඩාවටවත් වැඩි දක්ෂතාවයක් පෙන්නුවේ නෑ. අනික් අතට පංතියේ කරදරකාරයෙක් වුනෙත් නෑ. ලේසියෙන්ම අමතකවෙන සාමාන්ය කොල්ලෙක් - පතෝල වගේ; හොඳකුත් නෑ නරකකුත් නෑ! මගෙ පංතියේ හිටපු රත්නසේකරගෙ මුහුණ යන්තම් මතකයි. කොයි වෙලාවෙත් අනික් අය සමග එකඟ වෙන කොල්ලෙක් හැටියටයි මට මිනිහා මතක. අද මෝබයිල් එකේ ඇහුන ගාම්භීර කටහඬ වෙනුවට ඒ දවස්වල තිබුනේ ‘මොකක් කිව්වොත්ද ගුටි නොකා ඉන්න පුළුවන්?’ කියන කුලෑටි කටහඬක්. සමහරවිට දේශපාලනේ මිනිහට අල්ලනවා ඇති!
වෙනදා සතියකට එකකට දෙකකට වැඩිය ඇමතුම් නොඑන මට ඊලඟ ඇමතුම ආවේ විනාඩි විස්සකට විතර පස්සේ.
“මචං ගුනේ? මේ සෙල්වරාජා. අර රත්නසේකරගෙන් නොම්බරේ ඉල්ලාගත්තේ. එනවද අපෙ පාටියට?”
“හේ සෙල්වා! කොහොමද දැන්? මටත් ආවා ඒ කොල්ලගෙන් කෝල් එකක් - ඌ දැන් මංත්රී කෙනෙක් කියලා දන්නවද?”
“අපොයි ඔවු… නිතරම එක එක බම්බු පත්තරේට එහෙම ලියනවා - ටී වී එකෙත් කෑ ගහනවා. ඉස්සර වගේ නෙවෙයි - හරිම පවර්ෆුල් පාටි එකේ!”
“අනේ බං… මොකද්ද මචං අපි කරපු වැරැද්ද, ඌව පාර්ලිමේන්තු යවන්න?”
“එහෙම කියන්න එපා - මොනවාහරි කරගත්තනෙ… ඒක නෙවෙයි, මොනවද මේ දවස්වල කරන්නේ?”
ඊලඟ විනාඩි විස්සේ අපි අවුරුදු විස්සක තොරතුරු බෙදා හදා ගත්තා. ඉඳලා හිටලාවත් සම අදහස් තියෙන කෙනෙක් එක්ක කතා කරන එකේ වටිනාකම මට ඒ වෙලාවේ දැනුනා.
එදාම ජීවවිද්යා උගන්නපු ජෝසෆ් ගෙනුයි සිසුවන් අතරින් සුනිල් විතානගෙනුයි ඇමතුම් ආවා. අපේ සුහද හමුව කොයිවගේ වෙයිද කියලා හිතමිනුයි මම ඊලඟ දවස් කීපය ගෙව්වේ.
…………………………….
අපේ සුහද හමුව දවසේ උදේ වැස්සා. හමුව යෙදී තිබුනේ හවසට නිසා මම තෙමි තෙමී වෙනදා වගේ ඇවිද්දා. ගෙදර ඇවිත් වෙනදා නොකරන විදිහට දවල් කෑමට ඉස්සර නෑවා. මට හිතුනේ කෑමෙන් පස්සේ ටිකක් ඇලවෙන්නයි - හවසට අප්‍රමත්තව ඉන්න. කඩෙන් ගෙනා රෝල් දෙකක් කාලා තේ එකක් බීලා මම ඇඳේ හාන්සිවුනේ පොතකුත් අරගෙනයි. නමුත් බලාපොරොත්තු නින්ද ආවෙ නෑ - හවස හමුව ගැන මං හිතුවට වඩා කලබලයක්/නොසන්සුන්කමක් මගේ හිතේ ඇති බව මට තේරුනා.
ලෝකේ තනිවී, අපෝසත් චාම් ජීවිතයක් ගෙවන මම මගේ සහෝදර ගුරුවරුන් සහ සිසුන් ඉදිරියේ කෙසේ පෙනෙයිද? මොන වගේ සංසන්දනයකට භාජන වෙයිද? ඒ කාලේ ඔවුන්ට අණදුන් මට දැන් ඔවුන්ගේ අණ පිළිපදින්න වෙයිද? ගුරුවරයෙක් - හොඳ ගුරුවරයෙක් - හැටියට මට ඒ කාලේ තිබුන සැලකිලි/බුහුමන් කොයි විදිහට වෙනස් වෙයිද? මම සම්පූර්ණ පරාජිතයෙක් හැටියට හංවඩු ගැසෙයිද? මම හමුවට ගියා/නොගියා කියලා කිසිම වෙනසක් වෙයිද?
අනික් අතට, මම මගේ සිසුවන්ට නිතරම කිව්වේ තමාගෙ වටිනාකම මනින්නේ අනික් අය සමග සංසන්දනයෙන් නෙවෙයි කියලා. මගේම උපදෙස් මටම පිළිපදින්න බැරිද? ගුරුවරුන් අතර මාව හැඳින්වුනේ ‘පිස්සු සමාජවාදියා’ කියලා. ඒ මම යාන වාහන, ගෙවල් දොරවල්, ඇඳුම් පැලඳුම් ගැන ආශාවක් නොපෙන්වීමත් දේශපාලන හෝ ආගමික පැති නොගැනීමක් නිසා. ගුරුවරුත් සිසුවොත් දැනගෙන හිටියා මම නිවාඩුවට කළ එකම දේ පයින් ඇවිදීම බව - ඒක සියල්ලන්ගෙ උපහාසෙට ලක්වුනා. නමුත් මගෙ පැත්තෙන් බලනකොට මේ පුරුදුවලින් මට හානියක් වෙලා නෑ. මගෙ සෞක්ය නරක නෑ - මගෙ දවසෙන් දවස ජීවිතේ සම්පූර්ණෙන්ම පාලනය කරන්නේ මම. මේක සේරටම කියන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මම යන්නේ යම්කිසි ‘සංසන්දන පාටියකට’ නෙවෙයි. මම, මගේ තනි කැමැත්තෙන් යන්නේ, මගේ සිසුවන්ගෙ අභිවෘද්ධිය දැක ගැනීමට මිස කිසිදෙයක් මැනගැනීමට නොවෙයි. නමුත් මේ තොරතුරු ඔවුන් ස්වෙච්ඡාවෙන් මා සමග බෙදා හදා ගත්තොත් මිස ඒ ගැන හරස් ප්රශ්න නොඅසන්න මම තීරණය කරගත්තා.
මට නින්ද ගියේ මේ විදිහට හිත හදා ගත්තැයින් පස්සේ.
……………………….
“ආයුබෝවන් සර්… ග්ලෑඩ් යූ කුඩ් මේක් ඉට්! මම රත්නසේකර - සර්ට මතකත් නැතුව ඇති!”
ටයි කෝට් ඇඳගත්ත උස මහත මිනිහෙක් අපේ පංතිය තිබුන ගොඩනැගිල්ල ඉස්සරහ අමුත්තෝ පිළිගන්නවා. මිනිහගෙ ඔළුවට උඩින්, උඩු මහලේ ලොකු බැනරයක “අවුරුදු 20 සිසුගුරු හමුව - සාදරෙන් පිළිගනිමු” පාසලේ පාටින් ලියවී තිබුනා. රත්නසේකර පැළඳගෙන හිටියෙත් පාසැල් ටයි පටියක්.
“ආයුබෝවන් සමන්! නැත්නම් මංත්රී තුමා කියලා අමතන්න ඕනද? ස්තුතියි නාකි අපි මතක්වුනාටත්!”
“සර් මම මේක හුඟාක් කල් හිතපු දෙයක් - මම දැන් ඔළුව උස්සගෙන ඉන්නේ සර්ලා නිසාමයි… සර් මම ප්රින්සිපල්ට කතා කරලා අපෙ පරණ ක්ලාස්රූම් එක ඉල්ලා ගත්තා… අසංග...! මේ සර් කාමරේට එක්ක යනවද? … අනික් සර්ලා එනකම් මම මෙතන ඉන්න ඕන සර්…”
“නෝ ප්රොබ්ලම්… මේ අසංග පෙරේරා නේද? කොහොමද තවම හාවෝ ඇතිකරනවද?”
රත්නසේකරගේ ආරාධනයෙන් මාව පංතියට එක්ක යන්න ආ අසංග පෙරේරා හිනාවුනා.
“සර්ට තවම මතකයි! නෑ සර් හාවෝ තියා බල්ලෝවත් දැන් නෑ… සර් මොකේද ආවේ?”
“ඇයි බස් තියෙන්නේ?”
“මං හිතුවා පයින් ආවද කියලා! මං ඉස්සර දකිනවා සර් කොට කලිසමක් ඇඳගෙන ඇවිදිනවා … නුවරින් හුඟක් ඈතත්”
“දැන් දුර ගමන් නෑ - හැබැයි තවම ඇවිදිනවා. අසංගගෙ මතකත් නරක නෑ!”
ළමයින් එක්ක කතා කිරීම හිතපු තරම් මට අපහසු වුනේ නෑ. සමහරවිට මේ කොල්ලන්ට නාකි අපි ගැන පවු කියලා හිතෙනවා ඇති. නමුත් පංතියට යන ගමන් නිශ්ශබ්ද වෙන එක හොඳ නෑ කියලා මට හිතුනා.
“මට සුනිල් විතාන කෝල් එකක් දුන්නා ගිය සතියේ”
“දැන් ටිකකට ඉස්සර ආවා සර්… පංතියේ ඇති සර්… හුඟක් අය දැනටම ඇවිත් පංතියේ තේ බොනවා… මිස්ට ජෝසෆ් එහෙමත් ඇවිත් ඉන්නේ…”
“ආපහු පිළිගන්න තැනට යන්න ඕනනම් ගියාට කමක් නෑ - මට පංතිය මතකයි… තැන්ක්යූ”
මගෙ පරණ පංතිය පැත්තට මම ඇවිද්දේ හෙමින්, වට පිට බල බලා. මේ ගොඩනැගිල්ලට පිටුපස ගොඩනැගී තිබුන අළුත් තට්ටු දෙකේ ගොඩනැගිල්ල මම දැක්කේ අද. නමුත් දැන් පසුකරපු පංතිවලයි ශාලාවෙයි පහුගිය අවුරුදු විස්සේ සිදුවූ වෙනසක් පෙනෙන්න තිබුනෙ නෑ.
පංතියට කිට්ටුවෙනකොට එතන ඉස්තෝප්පුවේ හිටි කොල්ලෙක් වහාම පංතිය ඇතුලට දුවලා දොර වහගත්තා. ඒ පැත්තෙන් ආ සද්දෙත් හොදටම අඩුවුනා. මම දොරට අත තිබ්බේ ‘දොර ඇරියොත් උඩින් වතුර බාල්දියක් මගෙ ඔළුවට වැටෙයිද?’ හිතමින්.
“ගුඩ් ආෆ්ටනූන්, මිස්ට ගුනරත්න!”
ළමයි පහලවක් එක හඬින් තාලෙට මෙහෙම කිව්වේ ප්රාථමික පාසැලේ ගුරුවරයෙක් පිළිගන්න විදිහටයි. සීරුවෙන් හිටගෙන සිටි තරුණයෝ දැකලා මට හිනා ගියා. මම ගුරු මේසේ ලඟට ගොස්, සිසුවෝ දෙසට හැරෙන තුරු වචනයක්වත් කිව්වෙ නෑ.
“ගුඩ් ආෆ්ටනූන්, බෝයිස්!”
නමුත් මමත් සිසුවොත් එක වෙලාවට වාඩිවෙනවා වෙනුවට මුළු පංතියම මහ හයියෙන් හිනා වෙලා පුටු පස්සට තල්ලු කරගෙන ඇවිත් මාව වටකරගත්තා. කාලෙකින් මගෙ ඇස් වලට කඳුලක් ආවේ ඒ මොහොතේ.
මා වටේට හිටියේ පොඩි කොල්ලෝ නෙවෙයි, තරුණ මිනිස්සු. සමහරු ටයි කෝට් දාලා, තව සමහරු ටයි විතරක්, කීප දෙනෙක් මං වගේ පාට කමිස ඇඳගෙන - එකෙක් දෙන්නෙක් ජාතික ඇඳුමෙන් සැරසිලත්. ඒ වෙලාවේ ඇවිත් හිටි ගුරුවරු දෙන්නා සෙල්වරාජයි ජෝසෆුයි ටයි ඇඳලා නැතිවුනාට හොඳට මැදපු අත් දිග කමිස ඇඳලා හිටියේ. ඇඳුම්වල වෙනස මගෙ හිතට වැටුන වහාම මට හිතුනේ ‘සංසන්දන නෑ කිව්වේ බොරුවටද?’ කියලා. වහාම ඇඳුම් අමතක කරලා මගේ සිසුවොත් එක්ක කතාව පටන්ගත්තේ බොහොම සන්තෝසෙන් වගේම පහසුවෙන්.
“පංති වල කිසි වෙනසක් නැතුවට අළුත් ගොඩනැගිලි තියෙනවා නේද? මං මේ ආවේ අවුරුදු විස්සකට පස්සේ!”
“අළුත් බිල්ඩිං තුනක් තියෙනවා සර්… ෆිසික්ස් ලැබ් එකත් අළුත්”
ඒ භෞතික විද්යාවට දක්ශ වීරසිංහ.
“තවම ෆිසික්ස් මයි හිතේ?”
“ඔවු සර් - දන්න බම්බුව කරන්න එපැයි… මම වැඩකරන කොම්පැනියෙන් ලැබ් එක හදන්න උදව් කළ නිසා මම කීප සැරයක් මෙහෙ ඇවිත් තියෙනවා”
“අළුත් කොම්පියුටර් කාමරෙත් නියමයි සර්”
“මට ඔය තාක්ෂණ තේරුනෙත් නෑ - තේරෙන්නෙත් නෑ!”
“අපෙ ටීම් එක නියමයි මේ සරේ”
ඒ ක්රිකට් ගහපු එකෙක්. මට නම හරියට මතක නෑ - රනිල් නැත්නම් විමල්…
“තවම ක්රිකට් එහෙම ගහනවද?”
“කාලයක් ක්ලුබ් එකකට ගැහුවා - බැංකුවේ වැඩට ගියාට පස්සේ අඩුවෙලා ගියා…”
කොල්ලෝ විස්සක් විතර, ගුරුවරු තුන්දෙනයි, කතා මාතෘකා සීයයි. තේ කෝප්පත්, හප්පන්න යමකුත් අරගෙන මම පංතියේ වටේ ඇවිද්දා. වරින්වර නැවති නැවතී එක එක්කනත් එක්ක කතා කෙරුවත් මගෙ හිත ගියේ පංතියේ එල්ලා තිබුන පිංතූරයි. විශාල ආවර්තිතා චක්‍රයක් මෙන්ම ප්රසිද්ධ විද්‍යාඥයෝ කිහිපදෙනෙකුගෙ පිංතූරත් ගිනිකඳු, වැදගත් පැලෑටි හා සතුන් වැනි ඉගෙනීමට අධාර චිත්ර ගොන්නකුත් බිත්තියේ එල්ලා තිබුනා. මට කනගාටුවක් දැනුනේ මගේ ගනිත විෂ්යෙන් කිසි චිත්රයක් නොතිබීමයි.
“හලෝ ගුනේ!”
අපෙ රසායන විද්යාව ඉගැන්වූ වීරවංස මා දිහාට ආවා.
“හලෝ වීරේ… මං හිතුවා එන්නෙ නෑ කියලා, වෙලා යනකොට”
“නෑ… මගෙ ඉස්කෝලේ වැඩ වගේකට අහුවුනා”
“ආ… තවම කෙමිස්ට්රි පංති කරනවා එහෙනං?”
“දැන් කැම්පස් තුනක් තියෙනවා - කෙමිස්ට්රි විතරක් නෙවෙයි!”
වීරවංස ඒ කාලෙත් අතිරේක පංති පැවැත්තුවා. මම විශ්රාම ගත්ත අවුරුද්දෙම අස්වෙලා පංති පටන්ගත්තා - එතකොට වයස තිහක් වත් නෑ, මට මතක විදිහට. සල්ලි හොයන්න හරිම දක්ශයා!
“වෙල් ඩන්!”
“මම දන්නවා උඹ මේවට කැමති නෑ කියලා. නමුත් මට නරකක් වෙලා නෑ!”
“ලොවෙන් එකෙක්… දන්නවානේ!”
මිනිහගෙන් ඈත් වෙලා යන්න විදිහක් බලනකොටයි රත්නසේකර මේසෙට තට්ටු කරලා සභාවට නිශ්ශබ්ද වෙන්න ආරාධනා කළේ.
“ගුනරත්න මහතා ඇතුළු ගරු ගුරුවරුන්ගෙන් අවසරයි! පංතියේ සහෝදර වරුනි…”
රත්නසේකර දේශපාලනේ කරන බව පැහැදිලියි. ඔහුගේ කතාවට එතන හිටිය සියළු දෙන්නම යම් විදිහකට ගාවා ගත්තා. පළමුව ගුරුවරුත් (“යතුකැටෙන් ලී ගානවා වගේ අපේ තිබුන ඇද පලුදු ගාලා යම්කිසි හැඩයකට ගත්…”), ඊලඟට සිසුවොත් (“හතර අතින් ආ කොල්ලෝ රැලක්, ජාති, ආගම්, භාශා, ආර්ථික, හැකියා වෙනස්කම් නොසලකා එක පවුලක්…”) පාසැලත් (“පහසුකම් සහ පරිසරය සාදාදුන් මෑනියෝ…”) වර්ණනා සහිත ස්තූතියට භාජනය කොට, අනාගතයට සුභ ප්රාර්ථනාකළේ අත්පොලසන් මැදයි.
“…මම වැඩිය කතා කරන්න අදහසක් නෑ… (හිනා)… නමුත් කැමතියි අවසාන වශයෙන් අපේ පංතිභාර ගුරුතුමා වශයෙන් ගුනරත්න මහතාට ආරාධනා කරන්න වචන ස්වල්පයක් කතා කරන්න… සර්?”
“ස්තුතියි… මංත්රී තුමා (හිනා)… සහ අනික් ඡන්ද දායකයන්ට (හිනා - ‘අපි දුන්නෙ නෑ ඕකට!’). මම ඇත්තටම බලාපොරොත්තුවුනේ නෑ මෙච්චර කාලෙකට පස්සේ මේ අයට මාව මතක තියෙයි කියලා. නැවතත් ස්තුතියි! මට කියන්න තියෙන්නේ බොහොම පොඩ්ඩයි - කාරනා දෙකයි. එක - තමා කවුද කියලා හඳුනාගන්නේ අනික් අය සමග සසඳලා නෙවෙයි; තමා දිහාම බලලයි. ‘උගෙ කාරෙක මගෙ බයිසිකලේට වඩා ගනං’ – ඉතිං මට මැරෙන්නද කියන්නේ?’ (හිනා). දෙක - අනාගතේ දිහා මිස අතීතේ දිහා හිත යොමු කරලා වැඩක් නෑ. පස්සා බලන කන්නාඩියෙන් බලාගෙන කාර් එලවන එකා වැඩිකල් එලවන්නෙ නෑ! (හිනා). ඇති දෙයින් තෘප්තියට පත්වෙන්න - නීඩ් සහ වෝන්ට් අතර වෙනස දැනගෙන… සමාවෙන්න… එතකොට කාරනා තුනයි; අංතිම එක අමතක කරලා දාන්න… ගුඩ් ලක් එව්රිබොඩි … ඇන්ඩ් තෑන්ක්ස්”
පැය බාගයක් ගියා සේරගෙන්ම සමුගන්න. සංචාරක ක්ෂේත්රයේ වැඩකරන නවාස් මාව ගෙදර ගිහින් දමන්න එයාගෙ කාරෙකට දාගත්තා. නමුත් මම ගෙදරට කිට්ටු කඩමංඩියේ වාහනෙන් බැස්සේ මගේ ගෙදර තත්වය සිසුවෙකුට පෙන්වන්න අකැමැති නිසයි. කාලයක් ටුක් ටුක් එලවපු නවාස්ට තේරෙන්න ඇති මම කඩමංඩියේ බැස්සේ ඇයි කියලා. නමුත් හැදිච්චි කෙනෙක් හැටියට මිනිහා මගෙන් ප්රශ්න ඇහුවෙ නෑ.
………………………..
මම පොතක් අරගෙන ඇඳේ වැතිරුනත් වචන දහයකට වඩා කියවන්න බැරිවුනා. මගේ එකාකාර ජීවිතේට අද හවස් වරුව අඳුරු රැයක ආ ලොව එලිකරන උල්කාපාතයක් වගෙයි මට දැනුනේ. මා ගෙවන ජීවිතේ මගේ මානසිකත්වයට කොයිතරම් උචිත වුවත්, එයින් මම කොයිතරම් තෘප්තියක් ලැබුවත්, ඉඳ හිට මෙවැනි ‘උල්කාපාතයකින්’ ජීවිතේ එලිය කළහැකි, උනුසුම් කළහැකි බව මට දැනුනා. එවැනි උල්කාපාත අත්දකීමෙන් තොරව ප්රතික්ෂේප කිරීම මෝඩ කමක් හැටියට මට දැනුනේ ඒ මොහොතෙයි.
මම මගේ විදුලිපහන නිවා දැමුවේ අද හවස දුටු එලියත් දැනුන උනුසුමත් හෙට උදේ වෙනතුරු ආරක්ෂා කරගැනීමට හැකිවේදෝ යයි සිතමින්.