ඡන්ද විමසීම

දියගම පාසැල විශාල නොවුනත් එහි හෝඩියේ පංතියේ පටන් සාමාන්ය පෙල දක්වා පංති පැවැත්වුනා. දියගමින් පමනක් නොව අවට ගම්වල දෙමව්පියොත් හෝඩියේ පංතියට තම ළමයි බාරදුන්න නිසා පහළ පංතිවල ශිෂ්ය සංඛ්යාවඅවුරුද්දෙන් අවුරුද්දට වැඩි වෙමින් පැවතුනා. නමුත් හයෙන් ඉහල පංතිවල හිටියේ ළමයි කීපදෙනෙක් පමනයි. මෙසේ වීමට වෙන වෙන හේතු බොහොමයක් ගුරුදෙගුරු සමිති වලදී ඉදිරිපත් වුනා. දෙමව්පියෝ ළමයින්ගේ අද්යාපනය ගැන සැලකිල්ලක් නොපෙන්වීමත්, ගැමියන්ගේ දුප්පත් කමත් නිතර සාකච්චාවට භාජනයවුනා. නමුත් මේ විෂමතවයේ සැබෑ හේතු ජයසේකර මුල්ගුරු තුමියට පැහැදිලිව පෙනුනා. පහල පංතිවලට ඉතා දක්ශ ගුරුවරු සිටි නිසා බොහෝ දෙමව්පියෝ ළමයි දියගම පාසැලට ඇතුල් කලා. අනික් අතට, ලොකු පංතිවලට අත්යාවශ්ය පුස්ථකාල, රසායනාගාර, පරිගනක පහසුකම් පාසැලේ තිබුනෙ නෑ. ඒ නිසා දෙමව්පියෝ පහේ හෝ හයේ පංතියෙන් පසු තම ළමයි ඒ පහසුකම් අතින් වඩා දියුනු, මීට කිලෝමීටර් දහයකට දුරින් පිහිටි මහා විද්යාලයට හෝ ඊටත් ඈත නගරයේ පාසැලකට යැවීමට පෙලඹූනා. එසේ වුවත් ගුරුදෙගුරු සංගමයේ අදහස් වලට විරුද්ධව එතුමී ප්රසිද්දියේ කථා නොකලේ වර්තමාන තත්වය අනුව පාසැලෙන් පලාතට දියහැකි උපරිම සේවය දැනට සිදුවන බව ඈ හොඳින්ම දන්න නිසයි.

පාසැලේ දරුවන්ට අකුරු ඉලක්කම් ඇරුනුකොට හොඳ නරක, වැඩිහිටි - දෙමාපිය ගෞරවය, විනීත හැසිරීම වැනි දේත් විෂයමාලාවට එක්වුනා. ශිෂ්යන්ට ආදර්ශයක් ලෙස තමාත්, තම ගුරුමඩුල්ලත් ක්රියාකළයුතු බව ජයසේකර මැතිනිය තදින්ම විශ්වාස කළා. ඒ වගේම, ගමෙත්, රටෙත්, ලෝකයෙත් එදිනෙදා සිදුවීම් ගැන යම්කිසි හැඟීමක්/කුතුහලයක් ශිෂ්යයන් තුල ඇතිකිරීමට එතුමී උත්සාහ කළා. මේ අරමුන ඉටුකිරීම පිනිස ඈ ශිෂ්ය ඡන්ද විමසීමක් පැවැත්වීමට ගුරු දෙගුරු සමිතියට යෝජනා කළා.

“මම හිතුවේ මෙහෙමයි… අපිට පුළුවන් හයේ පංතියත් ඉන් පහල පංතිවලත් ළමයින්ට ඡන්ද දායකයෝ වෙන්න අවස්තාව දීලා, ලොකු පංතිවල ළමයි ඡන්ද නිලධාරියෝ කරන්න. ඒ විදිහට ඡන්දයක් වෙන විදිහ ළමයින්ට තේරුම් ගන්න ලේසිවෙයි. මේ ගැන අදහස්…?”

“ඇයි හයේ පංතියෙන් කාන්ඩ දෙක වෙන් කරන්නේ?”

“අපිට හයෙන් උඩ ළමයි ගාන වගේ හය ගුනයක් ඉන්නවා ඉන් පහල. අනික, හෝඩියේ එකේ දෙකේ ළමයි එක්ක ඡන්දේ ඉල්ලන්න ලොකු අය කැමැති වෙන්නෙ නෑ - මදිකම කියලා හිතයි. නමුත් ඡන්දේ දුවන නිලධාරියෝ වීම මදිකමක් නෙවෙයි”

“ඡන්දේ ඉල්ලන්නේ?”

“මං හිතුවේ එක එක පංතියේ ළමයි එකතුවෙලා පංතියකින් දෙන්නෙක් යෝජනා කරොත් ඡන්දේ ඉල්ලන්න…?”

“එතකොට අපේක්ෂකයෝ වැඩි නැද්ද?”

“දිනන අය මොකද කරන්නේ? මොකද්ද ලැබෙන පදවිය?”

“ඕක දුවන්න කොච්චර කල් යයිද?”

“ළමයි ඡන්ද වැඩ ඉස්කෝලේ වෙලාවේ කරනකොට අනික් වැඩ අතපසු වෙනවා නේද?”

“මං හිතන්නේ අකුරු ඉලක්කම් ඉගැන්නුවොත් මදිද, පොඩි පංතිවල උන්ට?”

ජයසේකර මැතිනියත් ගුරුවරු කීපදෙනෙකුත් මේ ප්රශ්න සේරටම උත්තර සැපයුවා. තුන්වෙනි වාරය පුරාම ඡන්ද කටයුතු ගෙනයෑමටත් ක්රීඩා උලෙල දින ඡන්ද පවත්වන්නත් තීරනයවුනා. හැම පංතියෙන්ම පිරිමි ළමයෙකුත් ගැහැනු ළමයෙකුත් අපේක්ෂකයෝ හැටියට තෝරා ගැනීමට පංතිභාර ගුරුවරු එකඟවුනා. සමහර පංතිවලින්, විශේෂයෙන්ම තුනෙන් පහල පංතිවලින්, අපේක්ෂකයෝ ඉදිරිපත් නොවුනොත් ඔවුන්ට බලකිරීමක් නොකරන්න සභාව පිලිගත්තා. ජයසේකර මැතිනියත් අටේ පංතිය බාර උක්කුබන්ඩා මහතාත් ඡන්දයට අදාල කරුණු එකතුවක් පංති භාර ගුරුවරුන්ට බෙදා දෙන්න භාර ගත්තා. ළමයින්ට මේ කරුණු පැහැදිලි කිරීම්, ඡන්ද රැස්වීම් වැනි කටයුතු ප්රධාන වශයෙන් විවේක කාලයේ සිදුවියයුතුයයි සියල්ලෝ එකඟවුනා.

සමහර ගුරුවරු සහ දෙමාපියෝ මෙන්ම ජයසේකර මැතිනියටත් මේ ව්යායාමයේ යම්කිසි වටිනාකමක් ඇතිද නැතිද යන ප්රශ්නය සිහියට නැගුනා. සභාව තුළ මේ අදහස් ඉදිරියට නොආවත් උක්කුබන්ඩා මහතා මුල්ගුරුතුමියගෙන් මේවා මතුකළේ පහුවදා උදේ එතුමියගේ කංතෝරුවේදියි.

“ඇයි අපි මේක කරන්නේ කියලා මට ආයෙත් කියනවද නෝනමහත්තයා?”

උක්කුබන්ඩා මහතා හිනා මුහුනින් හිටියත් මේක ඇසුවේ බර කල්පනාවෙන් බව ජයසේකර මැතිනියට දැනුනා.

“කිව්වට මොකද මහත්තයා මමත් දිගටම හිතලා නෙවෙයි ඕක සභාවට ඉදිරිපත්කළේ ……… නමුත් ඒ අදහස සභාව ඉදිරියට ගෙනෙන්න හේතු දෙකක් මට කෙලින්ම කියන්න පුළුවන්. එක - අපෙ කාලේ වගේ නෙවෙයි දැන් අකුරුයි ඉලක්කනුයි විතරක් ඉගෙනගන මදි; එහෙම කළොත් ළමයි ඡන්දයක් ගැන ඉගෙන ගන්නේ ගෙදර අය කතාවෙන දේ වලිනුයි, කමකට නැති මාධ්යය වලිනුයි, සමහරවිට ඊටත් වැඩිය භයානක - අපේම දේශපාලකයන්ගෙනුයි. මහත්තයා දන්නවා ඒක අපෙ ළමයි නරක් කරනවා මිස යමක් පැහැදිලිව උන්ගන්වන්නෙ නෑ. ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි, මේ දවස්වල; ඒ නිසා ඒකට ඉඩදෙන්න බෑ……….. දෙවෙනි හේතුව ………… ඒකත් වැදගත් හේතුවක් ……… අර ‘පරමානු නෝනා’ ආයෙත් ඉස්කෝලේ බුදුගෙයක් හදන්න සල්පිලක කතාව ඇදලා ගන්න එක නවත්වන්න!”.

‘පරමානු නෝනා’ ලෙස හැදින්වුන සුමනා පරනමාන මැතිනිය ගැමියන් අතර නායකයෙක් හැටියට තමා විසින්ම පත්කරගත් විශ්රාමලත් පරණතාලේ මුල්ගුරුවරියකි. ජයසේකර මැතිනිය නව අදහස් වලින් නොමග ගිය කෙනෙක් ලෙසයි ඈ දුටුවේ.

දෙන්නටම හිනා ගියා මේ කතාවට.

“නෝනමහත්තයා දන්නවා නේද ඔය කියපු එක මේ කාමරෙන් පිට ගියොත් අපි දෙන්නම වහාම බකමූනේ ඉස්කෝලෙට මාරු කියලා!”

“බකමූන නරක තැනක් නෙවෙයි - මම ඉපදුනේ අපෙ තාත්තා ඒ කිට්ටු ඇලහැර උගන්වන කාලේ! අනික - ගියොත් යන්නේ මම විතරක් නෙවෙයි නේ? මහත්තයා මට ඉස්සරත් කියලා තියෙනවා, ගමේ කෙනෙක් හැටියට, මෙහෙ දේශපාලනේ වැඩකරන හැටි - මහත්තයාමයි කිව්වේ මේවා වෙනස් නොකරොත් ගම හැමදාම මෙහෙමයි කියලා. ඔන්න දැන් චාන්ස් එක!”

“නෝනමහත්තයා - ඔය වැඩේ කෙරෙන්ට ඕන කියලා මම දන්නවා. ඒකයි මම උදේම ආවේ. මම ඊයෙ රෑ ටිකක් හිතලා බැළුවා ඊයේ නොකියවුනු දේ - දේශපාලන පක්ෂ වලට සම්බන්දය වගේ; ‘පරමානු නෝනා’ විතරක් නෙවෙයි අපෙ සභාපති තුමා එහෙමත් මේකට ඇඟිලි ගහන එක නවත්වන්න බැරිනම් මේක කරලා වැඩක් නෑ!”

“හරියටම හරි! ඒකයි මහත්තයයි මායි මේ සතිය පුරා යෝජනාව හැම පැත්තෙන්ම විග්රහ කරලා, තියෙන හිස්තැන් පුළුවන් තරමින් පුරවලා සඳුදා රැස්වීමෙදි ගුරුවරුන්ටයි ළමයින්ටයි දන්වන්නේ ”

……………………….

ජයසේකර මැතිනිය සඳුදා උදේ රැස්වීමට මිදුලේ පෙලගැසී තමා දෙස බලා සිටින ශිෂ්ය ශිෂ්යාවන් දෙස බැලුවේ සිනාමුසු මුහුනින්. තට්ටු දෙකේ ‘ලොකු’ පාසැල් ගොඩනැගිල්ලේ මිදුලේ බාලයෝ ඉදිරියටත් උසස් පංතිවල ළමයි පිටිපසටත් වී සිටියේ ශිෂ්ය නිවාස අනුවයි. මේ නිසා තමාගේ වචන සියල්ලන්ට ඇසෙන්නත්, අවශ්යලෙස ශිෂ්ය කොටසක් දෙස යොමු කරන්නත් ඇයට පහසුවුනා. තමා දෙපස විවෘත ඉස්තෝප්පුවේ සිටි ගුරුමන්ඩලය තම තමාට භාර නිවාසවල සිසුන් ඉදිරියේ සිටීම මෙයට රුකුලක්වුනා.

ජාතික ගීය අවසානයේ විදුලපති තුමිය පුරුදු ආකාරයට තම කථාව පටන් ගත්තේ පසුගිය සතියේ පාසැලෙත් ගමෙත් සිදුවූ විශේෂ සිද්දි වටා ගෙතූ කෙටි විග්රහයකින්. ගමත් පාසැලත් අතර ඇති කිට්ටු බැඳීම නිතරම මතකේ රැඳීසිටීම වැදගත් යයි ඈ සිතුවා. කථාවේ දෙවනි භාගය අද දිනෙන් පසු බලාපොරොත්තු වියහැකි කාර්ය ගැන නිවේදන ව්ලින් සමන්විතවූවා.

“ආයිබෝවන්!”

“ආයුබෝවන්!”

මුල්ගුරුතුමිය දුන් ආචාරය මෙන් දසගුනයක හඬක් සිසුවන්ගෙන් ලැබුනා.

“මේ වගේ සතුටු මුහුනු සමූහයක් සඳුදා උදේ දකින්න ලැබීම මගෙ වාසනාවක්! …. මම හැම සඳුදම මේ වගේ දෙයක් කියන්නේ ඒක ඇත්තටම ඇත්ත නිසා…. නමුත් අද මට ඉස්සරවෙලාම කියන්න තියෙනදේ කනගාටු දායකයි…. අපේ පහේ පංතියේ ඩිංගිරි එතනගෙ වැඩිමහල් සහෝදරයා අප අතරින් වෙන්වී ගියා. අපේ පාසැලේම උගත් යුධහමුදාවේ සේවයකළ, රටවෙනුවෙන් දිවිදුන් සැරයන් සමරකෝන් බංඩා මහතාට අපි නිවන් සුව පතනවා…”

පොඩි නිශ්ෂබ්දයක්.

“ගිය සතියේ අපේ උසස් පංතිවල ළමයි කීප දෙනක් බදාදත් බ්රහස්පතින්දත් පාසැලට ආවෙ නෑ…. මම මෙතනදී ඒ ළමයින්ගෙ නම් කියන්නෙ නෑ - ඒ අය දන්නවා ඒ කවුද කියලා. මම දන්නවා කුඹුරු වැඩ කාලේ ළමයි දෙම්ව්පියන්ට උදව් කරන බව. මම කැමතියි ඒ ළමයි පංති ගුරුවරයට දැනුම් දෙනවානම්, පාසැල් නොඑන දවසට පෙර… තේරුනාද?”

“සතුටුදායක ප්රවුර්තියක්…. හතරේ පංතියේ කුසල් විජේසිංහත් හයේ පංතියේ සීතා විතාරනත් ගිය සතියේ ගණිතයටත් ඉතිහාසෙටත් සියයට සියය බැගින් ලබා ගත්තා…. අපි අත්පුඩියකින් සුභ පතමු ඒ දෙන්නට!”

“අපි මේ අවුරුද්දේ මීට ඉස්සර කරලා නැති කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා…. අපි ඉස්කෝලේ ඡන්දයක් විමසනවා!”

ජයසේකර මැතිනිය විනාඩියක් සද්ද නැතුව හිටියා ළමයින්ගේ කසුකුසුව අඩුවෙන තුරු.

“මේ ඡන්දයෙන් අපි ශිෂ්ය නායකයෝ තෝරනවා - ඡන්දේ ඉල්ලනෙත් මේ ළමයි, ඡන්දේ දෙන්නෙත් මේ ළමයිමයි. හයෙන් ඉහල පංතිවල ළමයි ඡන්ද නිලධාරියෝ. අපේ උක්කුබංඩා මහත්තයා මේ ඡන්දෙට අවශ්ය කාරණා සේරම එකතු කරලා ළමයින්ගෙ පංතිභාර ගුරුවරුන්ට දීලා තියෙන්නේ. අද හෙටම ළමයින්ට මේ තොරතුරු ලැබෙයි….. තම තමාගෙ පංති ගුරුවරු කියන දේ හොඳින් අහගන්න - නොතේරෙන දෙයක් තියෙනවානම් බය නැතුව කියන්න “මට තේරුනේ නෑ” කියලා….. මම බලාපොරොත්තු වෙනවා ඊලඟ සති දෙක ඇතුලත ඡන්දේ ඉල්ලන්ගේ නම් දැන්වීම් පුවරුවේ දාන්න….”

“මතක තියා ගන්න - අපිට ඡන්ද අපෙක්ෂකයෝ දහයක් විතර ඉඳියි; එක පංතියකින් එක පිරිමි ළමයෙකුත් එක ගැහැනු ළමයෙකුත් බැගින්. මේ අපේක්ෂකයන් අතරින් හතර දෙනෙක් (ගැ. 2යි, පි. 2යි) තෝරා ගැනීමට ඡන්දේ දෙන්න හෝඩියේ පටන් හයේ පංතිය දක්වා ළමයි එකසිය හැටක් ඉන්නවා…. හිතන්න එපා පොඩි පංතිවල අයට ඡන්දේ ඉල්ලන්නත් දෙන්නත් බෑ කියලා වයස හරි ඉගෙනීම හරි අඩු නිසා - ඒ අයටත් අයිතියක් තියෙනවා ඒ අයගෙ නායකයෝ තෝරගන්න. ඡන්දෙන් තේරෙන ළමයි හතරදෙනාගෙ යුතුකම් සහ අයිතිවාසිකම් ගැන සම්පූර්න විස්තරයක් අපේක්ෂකයන්ගේ නම් සමග දැන්වීම් පුවරුවෙන් දැනගත හැකියි….”

ජයසේකර මැතිනිය ඉතා සෙමින් තම ඔළුව හරවා මුළු ගුරු/ශිෂ්ය සභාව වෙතම ඇස් යොමුකළා.

“………….. දැන් පංති වලට යන්න වෙලාව. සීරුවෙන්…. පිලිවෙලින්…. ආයුබෝවන්!”

“ආයුබෝවන්!”

……………………………..

පංති තුල අපේක්ෂකයෝ තෝරා ගැනීම සතියකින් අවසන්වුනා. මේ නම් දැන්වීම් පුවරුවේ පළවීමෙන් දින කීපයකට පසු පළමු ඡන්ද රැස්වීම පැවැත්වුනා. එහි කථිකයෝ වුනේ පහේ පංතියෙන් ඉදිරිපත්වූ ළමයි දෙදෙනයි. පංති ගුරුතුමාගෙ උපදෙස් අනුව කරුනාවතියි ජයතිලකයි විවේක කාලේ පිට්ටෙනියේ අඹ ගහ යට තමාගෙ රැස්වීම තියෙන බව කල්තියා ප්රසිද්ධ කරන්න උත්සාහ කළා. පහේ පංතියේ ‘කටකාර’ කුමාර රැස්වීම් ප්රකාශය දක්ශ ලෙස ඉටුකළේ විවේක කාලය පටන්ගත් වහාම පංති ඉදිරිපිටට ගොස් “ඡන්ද රැස්වීම විනාඩි පහකින් - නොමිලේ බනිස්!” යයි කෑගැසීමෙනි. පංති ගුරුතුමාගෙන් පසුව බැනුම් ඇසුවත් රැස්වීමට සිසුන් සීයකට කිට්ටුවත් ගුරුමංඩලයෙන් කිහිප දෙනෙකුත් ගෙන්වාගන්න හැකිවූයේ කුමාරගෙ ආරාධනය නිසයි.

“මම ඉහල ගෙදර ජයතිලක. මම පහේ පංතියෙන් ඡන්දේ ඉල්ලනවා. මම ඉපදුනේ දියගම, මගෙ අම්මයි අප්පච්චියිත් දියගම ඉපදුනේ. මම ඡන්දේ ඉල්ලන්නේ මේ අපෙ ඉස්කෝලේ තවත් දියුනු කරන බලාපොරොත්තුවෙන්. මම කැමතියි ඉස්කෝලේ පිරිසිදුව තියෙනවට - ඒක එහෙම තියෙන්ට මම කටයුතු කරනවා…. මං කැමතියි අපෙ පුස්තකාල අල්මාරියේ තව පොත් තියෙනවානම් - ඒකෙන් පොත් ගන්න ලේසි කරන්ට මම බලාපොරොත්තු වෙනවා…. අ… අ… දැන් කරුනාවතී කතා කරනවා…. …අ … මට ඡන්දේ දෙන්ට…”

“මම කරුනාවතී. මට සේරම කියන්නේ ‘කරුනා’ කියලා…. කියනවා වගේම මට කරන්නත් පුළුවන්…. එතකොට ‘කරුනා කරළා’ කියන්න පුළුවන්… මටයි ජයතිලකටයි ඡන්දේ දුන්නොත් …. අපි ගොඩක් වැඩ කරන්න උත්සාහ කරනවා…. ස්තූතියි!”

කුමාරගේ “ජයවේවා!” හඬින් රැස්වීම අවසන්වුනා.

දිනපතාම වගේ ඡන්ද රැස්වීම් පැවැත්වුනා වගේම දිනෙන් දින ළමයින්ගේ කතා විලාසයත් අන්තර්ගතයත් වෙනස්වුනා. මුලදී ප්රසිද්දියේ කතාවට අකැමැති වුනත්, අදක්ශ වුනත් හැම අපේක්ෂකයගෙම භාශා පාවිච්චිය සති කීපයකින් දියුනු බවක් පෙන්වුවා. ඒ වගේම කථාවට භාජනයවූ විෂ්යයන්ගේ පළල් බවක් පෙනෙන්න තිබුනා. තම ඡන්ද ඉල්ලීමේ කථා වලට විහිළු මෙන්ම (අනවශ්යය) සමච්චල් කථාද එකතු වෙන්න පටන් ගත්තා. කථා වල උචිතත්වයත් විනීතබාවයත් නැවත පිහිටන්න සඳුදා උදේ පාසැල් රැස්වීමේ උක්කුබංඩා මහතාගෙන් වචන කීපයක් අවශ්යවුනා.

කවුරුත් නොකියාම ‘නිල නොලත් රැස්වීම් ස්ථානය’ වූ අඹ ගහ යටට විවේක කාලයේ ළමයි එකතුවුනා. මුලදී අපේක්ෂකයෝ පංති අනුව රැස්වීම් ඇමතුවත් ටික කාලෙකින් ලිහිල් ‘සංධාන’ සකස් වෙන්න පටන් ගත්තා. නමුත් නෑදෑයෝ, අවට ගෙවල්වල වසන්නෝ, ආංඩුවේ රැකියා කරන්නන්ගේ දරුවෝ වැනි හේතු අනුව සෑදුන මේ සංධාන වැඩිකල් වෙනස් නොවී නොපැවතුන නිසා ගුරුවරු ඒවා වැදගත් යයි සැලකුවේ නෑ. ඉඳ හිට ගමේ අයත් මේ රැස්වීම් බලන්න පැමිනියත් ගුරුවරුන්ගේ අවවාද අනුව ඔවුන් වැඩි වෙලාවක් රැස්වීම් වල නැවතී හිටියේ නෑ.

පාසැලේ ක්රීඩෝත්සවය දිනයේ ප්රකාශවූ ‘ඡන්ද ප්රතිපල’ වලට ලැබූ අත්පොලසන් වලින් පෙන්වූයේ පාසැල් ඡන්දය ඉතා සාර්ථක බවයි.

……………………...

ක්රීඩෝත්සවය අවසානේ සිසුවෝ වෙනදා වෙලාවට කලින් ගෙවල් බලා පිටත්වී ගියේ ගුරු රැසිවීමක් සඳහා පාසැල ඉක්මනින් වැසූ නිසයි. ඒ වසරේ අවසාන ගුරු මංඩල රැස්වීම පටන්ගත්තේ තේ පැන් සංග්රහයකිනුයි. වෙහෙසවී සිටි ගුරුවරු ජයසේකර මැතිනිය සැපයූ තේ, වඩේ, කෙසෙල් ගෙඩි සහ බනිස් බුක්ති වින්ඳේ ඉමහත් සතුටිනි.

තේපැන් සංග්රහය අවසානේ ජයසේකර මැතිනිය සභාව ඇමතුවේ සමහර ගුරුවරු ඉක්මනින් තම ගෙවල් බලා යෑමට අපේක්ෂාවෙන් සිටින බව දැන දැනයි.

“මේක සම්පූර්න ගුරුමංඩලය එකට එකතුවෙන අංතිම අවස්තාව, මේ අවුරුද්දට. ඒ නිසා මම පළමුවෙන්ම ස්තුති කරනවා ඔබ හැමෝටම කළ වැඩ කොටසට. මම විශේෂයෙන් මතක්කළයුතු කාරනා කීපයක් පළමුවෙන්….”

ජයසේකර මැතිනී පංතියෙන් පංතියට ළමයින්ගේ ජයග්රහණ කෙටියෙන් මතක් කළා. එක එක ළමයාගේ පංතියත්, නමත්, දක්ෂ ලෙස ඉටුකළ ක්රියාත් ගැන කථා කළේ කිසිම සටහනක් නොබලයි. ඈ ශිෂ්යත්ව ලැබුවන් හා ඒ පංති ගුරුවරු විශේෂයෙන් මතක් කළා.

“අපි පලමුවරට පැවැත්වූ ‘ජන ඡන්දය’ ඉතා සාර්තකයි - මා හිතන හැටියට. නමුත් ඒ ගැන යමක් කීමට අනික් ගුරුවරුන්ටත් වැඩිය මහංසිවූ උක්කුබංඩා මහතාගෙන් මම ඉල්ලා සිටිනවා”

උක්කුබංඩා මහතා පුටුවෙන් නැගිට්ටේ මේ ආරාධනය බලාපොරොත්තුවූවෙක් ලෙසයි.

“මේ ඡන්දේ ගැන ඉස්සරවෙලාම ඇහුනම මට හිතුනේ අපෙ ලොකු නෝනමහත්තයට පිස්සු කියලා!”

ගුරුවරු ටිකක් ගැස්සිලා හිටියත් හිනාව නවත්තාගන්න බැරිවුනා. ජයසේකර මැතිනියත් හිනාවට එකතුවුනා.

“දැන් මට තේරෙනවා මං එදා හිතූ දේ හරි කියලා!”

ඒ සැරේ ගැස්සිම විතරයි - හිනාව තවම තිබුනේ ජයසේකර මැතිනියගේ මුහුනේ පමනයි.

“මම මේ ගමේ මනුස්සයා - උපන්නෙත් මෙහෙ, මැරෙන්නෙත් මෙහෙ. මේ ගමේ වෙන දේ ගැන මම බලන්නේ අපෙ ගෙදර වෙන දෙයක් වගේ….. මේ ඉස්කෝලෙත්, මගෙ ගෙදරත්, ගමත් - සේරම මට එකයි….. මේ වාරේ අපෙ…. මගෙ …. ඉස්කෝලේ පැවැත්වුන ඡන්දේ වගේ …. වගකීම රහිත ….පිස්සු ….. වැඩක් මම අංතිමට දැක්කේ මම විශ්වවිද්යාලේ හිටපු දවස්වල…. වැඩ වර්ජනයක් …. අපෙ ලොකුම ඉල්ලීම ගෑනු පිරිමි භේදයක් නැතුව නේවාසිකාගාරවල නවතින්ට ඉඩ සලසන්න කියලා…. අපිට පිස්සු!”

උක්කුබංඩා තව තේ උගුරක් බිව්වා. සමහර ගුරුවරු, විශේෂයෙන්ම තරුන වයසේ අය, මැදි වයසේ උක්කුබංඩා දිහා බැළුවේ අමුතු ඇස් වලින්. ජයසේකර මැතිනියගෙ මුහුනේ ඇඳී තිබුන අඩ සිනහව විතරක් වෙනස්වුනේ නෑ.

“ඔවු…. අපි කළේ දිනන්න බැරි යුද්ධයක්! හැබැයි අපි මහා සංග්රාමය දිනුවෙ නැති වුනාට සුළු සටන් කීපයක්ම දිනුවා. ගැහැනු ළමයින්ට තිබුන තද අඳුරු නීති ලිහිල් කිරීම, නවකයන්ගේ ගමන් රෙගුලාසි අක්රමිකතා ඉවත්කිරීම, ස්ත්රී ආරක්ෂක නිලදාරි බඳවා ගැනීම, පිරිමි/ගැහැනු නේවාසිකාගාර ගමන් අක්රමිකතා අඩු කිරීම ….. බොහොම හොඳ දේ - අපිට දැනුන විදිහට හොඳ දේ - බොහොමයක් සිද්දවුනේ අපි දිනන්ට බැරි සටනකට සහභාගි වෙන්න තරම් පිස්සෝ නිසා”

තවත් තේ උගුරක්.

“අපෙ ඉස්කෝලේ ඡන්දෙත් එහෙම සටනක් තමා සිද්දවුනේ. අපෙ ගමේ ඡන්ද යන්නේ කාටද? මම නම් කිව්වෙ නැතුවත් අපි දන්නවා. ඇයි අපි ඒ දෙන්නටම හැමදාම ඡන්දේ දෙන්නේ? …. හොඳම උත්තරේ ‘පුරුද්ද’! ‘හැමදාම ඒ පැත්තට දුන්නේ - අපෙ අප්පච්චිත් එහෙමයි ලොකු අත්තත් එහෙමයි…..’. ඒ මහ ඡන්දේ - ප්රාදේශීය සභා උනත් එහෙමමයි. එකම අඩුව අර පහේ පංතියේ කටකාර කුමාර වගේ ‘නොමිලේ බනිස් දෙනවා’ කියන්ට වත් ඕන නෑ”

“නමුත් ඉස්කෝලේ ඡන්දේ පටන්ගත්තේ පලවෙනි සැරේට වොලිබෝල් ගහන අය වගේ. දිනන්ට ඕන බව දන්නවා නමුත් ක්රම සහ විධි දන්නෙ නෑ. හැබැයි වැඩි කාළයක් ගියේ නෑ ළමයින්ගෙ අදහසුත් භාශාවත් දියුණු වෙන්න. පංතියක කරන්ට බැරි දෙයක් එතන සිද්දවුනේ…… මම කියන්නෙ නෑ මේ දියුණුව කල් පවතියි කියලා - නමුත් හොඳ පටන්ගැනීමක්….”

“…. පංති වලින් පටන්ගත්ත ඡන්ද ඇමතීම් ටිකින් ටික කල්ලි වලට බෙදුනා - අපේම ‘සන්ධාන’!. හැබැයි ඒවා වැඩිකල් පැවතුනේ නෑ. සන්ධාන වගේ බලය එකතුකිරීම වලින් ඉස්කෝලේ ඡන්දේ වෙනස් කරන්ට බෑ කියලා අපෙ ළමයින්ටම තේරෙන්ට ඇති. ඒ නිසාමද කොහෙද අපෙ රටේ දේශපාලකයෝ වගේ ළමයි අපිට පගා දෙන්න උත්සාහකළේ නැත්තේ - එක් කෙනෙක් ‘අපි පිට්ටෙනිය ලොකු කරනවා’ කියනකොට අනික් පැත්තෙන් ‘පිට්ටෙනි දෙකක් දෙනවා’ කියලා කිව්වෙ නෑ …. ඒ ගැන මට සන්තෝසයි….”

“……… සමහර කථා වලින් කියවුන දේ ඇත්තටම අපිට ලේසියෙන් කරන්න පුළුවන්, දැනටම. ‘පුස්ථකාල පොත් ගැනීම ලේසි කරනවා’ , ‘ටැන්කියට තව ටැප් කීපයක් හයි කරනවා’ …. මේ වගේ අදහස් ගොඩාක් ඉදිරියට ආවා. මම ඒ සේරම සටහන් කර ගත්තා”

“සමහරවිත් අපි සේරම දැක්කෙ නෑ අපෙ ගමේ අය කීපදෙනෙක් රැස්වීම් වලට ආවා. මම දැනුවත්ව ඒ ගමේ අය දෙවරක් අපේක්ෂකයන්ගෙන් ප්රශ්න අහන්න උත්සාහ කළා. මම ඒක වහාම නැවැත්වුවා. ඒ ඇරුනුකොට, දෙමව්පියෝ දහ පහලොවක් පුද්ගලිකව තමාගේ ළමයි දිනවන්න ක්රම මගෙන් ඇහුවා!”

උක්කුබංඩා මහතා මහන්සියෙන් වගේ වටපිට බැළුවා.

“මට ආයෙ පොඩ්ඩයි කියන්න තියෙන්නේ - ළමයින්ගේ අදහස් ලැයිස්තුවක් මම ලොකු නෝනමහත්තයට දුන්නා. මම කැමතියි අපි ඒවගෙන් කරන්ට පුළුවන් දේ කරළා, ඒ අදහස් ඉදිරිපත්කළ ළමයින්ට ප්රසිද්දියේ ස්තුති කරන්ට. ඊ ලඟට තේරුන ශිෂ්ය නායක්යෝ මුළු ඉස්කෝලෙටම හඳුනා දීලා, ඒ ළමයින්ගෙ යුතුකම් සහ අයිතිවාසිකම් සේරටම තේරෙන විදිහට කියන්න. ඒකේ කොටසක් හැටියට මම යෝජනා කරන්ට කැමතියි හැම අවුරුද්දෙම ශිෂ්ය නායක්යෝ තෝරන ඡන්දයක් පවත්තන්ට….”

“අංතිමට…. මම කැමතියි ජයසේකර මැතිනිට ස්තුති කරන්ට, මගෙ පවුලේ අය වෙනුවෙන්, මගෙ ඉස්කෝලේ වෙනුවෙන්, මගෙ ගම වෙනුවෙන්, මගෙ රට වෙනුවෙන් …. මෙහෙම ගොං…. පිස්සු… විකාර ඡන්දේ පැවැත්තුවෙ නැත්තන් අපෙ ගමට එන අවුරුද්දත් ගිය අවුරුද්ද වගේම තමා!”