ටෙලි නාට්‍යක්

විශ්රාම අරගෙන අවුරුදු පහකට විතර පස්සේ තමා මගෙ සෞක්ය ටික ටික නරක අතට හැරෙන්න පටන් ගත්තේ. ඉස් ඉස්සරවෙලා උදේට පොඩි කැස්සක් තිබුනට මම ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. ඇඟපත කැක්කුම් ආවේ ඊට මාස කීපෙකට පස්සේ. හුස්ම ගැනීමේ අමාරුවකුත් පපුවේ කකියන ගතියකුත් දැනුනාට පස්සෙයි මම දොස්තර කෙනෙක් ලඟට ගියේ. ඒකත් පවුලගෙයි දුවගෙයි කරදරේ නිසාමයි. එදා පටන්ම වගේ මගෙ ඇඟේ අබල දුබල කම වැඩිවීමක් මිස අඩුවීමක් පෙනුනෙ නෑ. මේ සැරේ මම ඉස්පිරිතාලෙට ඇතුල්උනේ මේ අවුරුද්දේ දෙවෙනි වරට. දුවටයි බෑනටයි පින්සිද්ද වෙන්න තමා මෙදා මම පුද්ගලික රෝහලක තනි කාමරේක ඉන්නේ.

ඉස්පිරිතාලෙක කොච්චර සැරයක් නැවතිලා ඉඳලා තිබුනත් ඒක විවේක සුවයෙන් ඉන්න පුලුවන් තැනක් නෙවෙයි. මා බලන්න එන නෑදෑයෝ, යාලුවෝ නිසා දවල් වරුව අමාරුවක් නැතුව ගෙවුනත් රෑ යාමේනම් පැය දොලහකට වැඩිය දිග බවයි මට දැනෙන්නේ. රෑ කෑමෙන් පස්සේ (මෙහෙ දෙන කෑම ගැන කියන්න ගියොත් මට වෙන දෙයක් ගැන ලියන්න වෙලාවක් නැතිවෙයි) මම සුලු වෙලාවක් පොතක් කියවනවා. නමුත් ඒකටත් මට සම්පූර්නෙන් හිත යොමු කරන්න අමාරුයි. අවට කාමරවලින් එන කෙඳිරි සද්ද, වෙද හෙදකම් කරන අයගෙ කතාව, හිනහව, ඉඳ හිට ඇහෙන බේසමක හෝ බාල්දියක ටකරං සද්ද වගේ දේ වලින් පාලුව වැඩි වෙනවා මිස අඩු වෙන්නෙ නෑ. කාමරේ ටෙලිවිශන් එකක් තිබුනත් ඒක බලන්න මට පිරියක් නෑ. ගෙදරදී උනත් ක්රිකට් මැච් එකක් වගේ දෙයක් බැලුවොත් මිස පවුලයි දුවයි කැමති ටෙලි නාට්ය වගේ දේ මට ඇල්ලුවෙම නෑ.

මගෙ දුව මට කිව්වේ මේ වගේ වෙලාව භාවනාවට නම් බොහෝම හොඳයි කියලා. නමුත් මම භාවනා කරන ජාතියේ මනුස්සයෙක් නෙවෙයි. මගෙ යාලුවෝ, නෑදෑයෝ එහෙම සෑහෙන්න හිනාවෙයි මම භාවනා කරන්න පටන්ගත්තා කිව්වොත්. මේ කතාව දොස්තරටත් ඇහිලා - අද උදේ මිනිහා මට ලොකු කන්නාඩියක් ගෙනත් දුන්නේ මගෙ කොන්ඩේ පීරගන්න නෙවෙයි. දොස්තර මහත්තයා කිව්වේ, වාට්ටුවේ අනික් අය නිදාගත්තට පස්සේ මේ කන්නාඩිය දිහා බලාගෙන භාවනා කලොත් අනාගතය කෙසේවෙතත් අතීතය නම් තේරුම් ගන්න පුලුවන්වෙයි කියලා. මම කවදාවත් අහලා නෑ කන්නාඩි දිහා බලාගෙන භාවනා කරන විදිහක්. නමුත් භාවනා ගැන මා නොදන්න දේ අප්රමාන නිසා මම සද්ද නැතුව කන්නාඩිය පිලිගත්තට ඒක භාවනාවකට පාවිච්චි කරන්න මගෙ කිසි අදහසක් තිබුනෙ නෑ.

“බාගෙට නින්ද යනවා” කියන කතාව මට හොඳටම තේරෙන්න පටන්ගත්තේ ඉස්පිරිතාලෙදි. ඇඳේ දිගාවෙලා පොතක් කියවනකොට සමහරවිට මම එක පිටුව කීප සැරයක් කියවනවා. තව සමහරවිට පොතේ තියෙන දේම නෙවෙයි කියවෙන්නේ. හැම වෙලේම වගේ කතාව නවතපු තැන පහුවදාට මතක නෑ. මේ සේරම ‘බාගෙට නින්ද’ ගිය නිසා වෙන්න ඇති.

……………..

මම ටෙලිවිශන් එක දැම්මේ නින්ද යන්න ඒක වත් උදව්වෙයි කියලයි. බාගෙට වැහුන ඇස් අතරින් මට පෙනුනේ ඒකේ මොකද්දෝ ටෙලි නාටකයක් පෙන්වන්නේ. ඉස්සරවෙලාම මට පෙනුනේ මිනිස්සු කීපදෙනෙක් කතා කර කර කංතෝරුවකින් එලියට බහින දර්ශනයක්. මම ඇස්දෙක සම්පූර්නෙන්ම ඇරලා ඒක දිහා බැලුවේ මමත් කංතෝරුවක වැඩ කරලා තියෙන බව මතක් උන නිසයි. සමහරවිට ටෙලි නාටකත් ඇත්ත ජීවිතේ වගේ ඇතිද කියලා මට හිතුනා. මේ නාටකේ නම් කොල්ලො කෙල්ලො සිංදු කිය කියා මල්වත්තක නටන දර්ශන පෙන්වන පාටක් පෙනෙන්න නෑ. නළුවන්ගේ කතාව ඇත්තටම මම රස්සාව කරපු කාලේ කතාව වගේමයි.

“මචං උඹ අර වැඩේ ඉවර කරාද?”

“නෑ බං, හිතුවට වැඩිය වෙලා ගියා - හැබැයි හෙට ඉවරකරලා මම කොහොමහරි ලොක්කගෙන් අස්සනක් ගන්නවා”

“ඒක කරගත්තොත් හොඳයි. නැත්තම් මගෙ ඉන්ක්රිමන්ට් එකට කෙලවෙයි”

“නෑ….එහෙම වෙන්න දෙන්නෙ නෑ…කෝච්චියටද යන්නෙ?”

“ඔවු…කොල්ලුපිටියෙන් ගියොත් ලේසියි”

“මාත් අද එහෙන් යන්නේ…ප්රින්සස් එකෙන් බීර වීදුරුවකුත් බීලා යමු…කෝච්චියේ සෙනග අඩුවෙනකම්”

[ඔවු ආයෙ තොපි දෙන්නා ඔතනින් එලියට එන්නේ රෑ වෙලා!]

“අර අසේලයා නේද? කවුද උගෙ සගයෝ දෙන්නා?”

“උගෙ ක්ලාස්මේට්ලා. එකෙක් සනත් - ස්ටේට් එන්ජිනියරිං. අනික් එකත් මේ හරියේමයි වැඩ…මට නම මතක නෑ….හලෝ අසේල!”

“අඩෝ අජිත්….සුනිල්…වරෙල්ලා මේ මේසෙට. උඹලා දන්නවානේ සනතුයි ටෝනියි? සනත් මේ කිය කියා හිටියේ එයාට දවසක් අපෙ අලුත් ඇමතියා හම්බුන හැටි… උඹලා මොනවද බොන්නේ?”

[තොපිට අමතකද කට්ටිය වැඩිවෙනකොට කොන්ට්රෝල් අඩුවෙනවා කියලා? ගෙදරක් කියලා එකකුත් තියෙනවා නේද?]

“…අජිත්ට මතකද අර දවසක් අපිට ක්ලබ් එකේදී හම්බ උනා ජයසේකර කියලා ලොංත පොරක්? අර කස්ටම්ස්ද කොහෙදෝ වැඩ කරන කලු උස මිනිහා? නිතරම කාඩ් ගහන්න බලාගෙනම ක්ලබ් එන පොර? දැන් සති තුනකට විතර ඉස්සර දවසක් මිනිහා මටයි අපෙ ඔෆිස් එකේ බාලේන්ද්රන්ටයි උගෙ ගෙදර එන්න කිව්වා මුලු සෙනසුරාදා දවසක්ම කාඩ් ගහන්න කියලා. උගෙ ගෑනී සතියකට ගමේ ගිහින්. අපෙ ගෙවල් කිට්ටු නිසා වෙන්න ඇති අපිට කතාකලේ…අසේල…පීරිස්ට කියලා චිප්ස් ටිකක්වත් ගමුද - අමුවෙන් බොන්න බෑ බං….”

[අද නම් හොඳටම බොන්නයි මුංගෙ අදහස]

“…සෙනසුරාදා උදේ එකොලහට විතර බාලයි මායි එහෙ යනකොට ජයසේකරගෙ මස්සිනත් ඇවිත් හිටියා…රත්නපුරේ පැත්තේ කෙනෙක්…මිනිහා - මතක හැටියට නම අබේ කියලා තමා අපිට හඳුන්නලා දුන්නේ - … මිනිහා බොන්නයි සිංදු කියන්නයි මාරයි…හැබැයි කාඩ් වලට ඒතරම්ම මාර නෑ…

“අපි ලන්ච් කාල … ඇත්තටම කිව්වොත් ලන්ච් බීලා… කාඩ් මේසේ වාඩි උනා. ගැහුවේ තුන්සිය හතර. හැබැයි හතර පහ වෙනකොට අපිට කාඩ් හරියට පෙනෙන්නෙත් නෑ, මේසෙත් ටිකක් ඇදයි වගේ…”

සනත් මේ මතකේ ගැන පොඩ්ඩක් යංතම් තනියම හිනා උනා.

[ඔවු දැන් ඉතින් හිනහ වෙයන්! කුනු වෙන්න බීලා…හිතේ මහා වීරකමක් කරලා කියලා…මුං කාඩ් ගහන්නද බොන්නද එහෙ ගියේ?]

“…මචං ජීප් දෙකක් ආවා…මං හිතුවේ පොලිසියෙන් පැන්නා කියලා…ක්රීස් ගාලා බ්රේක් ගහගෙන ගේට්ටුව ලඟ නවත්තපු ගමන්ම පලවෙනි ජීප් එකෙන් බැහැපු පොලිස් කාරයෙක් ගේට්ටුව ඇරියා දෙවනි ජීප් එක විතරක් ඇතුලට එන්න…”

“ජයසේකරයා විතරක් කාඩ් මේසෙන් නැගිටලා ඉස්සරහට ගියා…අපි අරක්කු බෝතලේ මේසේ යටින් තියලා වීදුරුවල ඉතුරු වෙලා තිබුන ඒවා එක උගුරට ඉවර කරා…”

“'…කෝ මේ ගෙදර කොල්ලා?' මුලු ගෙදර දෙදරවන කටහඬක්. ජයසේකරයගෙ මස්සිනා ඔලුවේ අතගහගත්තා ‘මල කෙලිය…සේකර මාමා!’ කියලා”.

“අපෙ ඇමතියයි, උගෙ හෙන්චයියලා දෙන්නෙකුයි අපි හිටපු කාමරේට ආවේ හරියට ගෙදර අයිතිකාරයෝ වගේ. ජයසේකර පස්සෙන් ආවේ ගෙදර හිටපු හීලෑ බල්ලෙක් වගේ බිම බලාගෙන”

“'දෙමස්සිනාලා ගෑනු ගෙදර ඇරලා පාටි දානවා වගේ…මේ යාලුවොද?' මචං ඇමතියගෙ කටහඬ ඩ්රිල් සාජන්ට් කෙනෙක්ගෙ වගේ. ජයසේකර අපි හඳුන්නලා දුන්නේ ලඟපාත නැවතිලා ඉන්න අය හැටියට මිසක් ආංඩුවේ සේවකයෝ හැටියට නෙවෙයි. ඒක කරන්න තරම් ඌට මොලේ තිබුනා”

“’මාමා තේ එකක් බොනවද?’ ජයසේකර ඇහුවේ ඔවු කියන උත්තරේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. ‘කොල්ලෝ ඉර බහින්න කිට්ටු වෙලා තේ බොන එක පාපයක්…සොයියා…. අර කාරෙකේ ජොනි වෝකර් පිරිත් පැන් ඇති…’ ඇමතියත් හෙන්චයියොත් ඒ විහිලුවට හයියෙන්ම හිනා උනා….අපිත් පොඩ්ඩක් හිනා උනා, නැත්තම් අපෙ යාලුවට ගෝරි වැටෙයි කියලා”

සනත් බීර උගුරක් බිව්වේ තද සිතුවිල්ලේ, කිසිම හිනාවක් නොපෙන්වායි.

“මචං අපි රෑ නමය වෙනකම් එතන…ආයෙ කාඩ් ගහන කතාවක්වත් නෑ…හොඳටම වැදිලා…ජයසේකර පුටුවේ නිදි…උගෙ මස්සිනා සිංදු කියනවා ඇමතියගෙ සගයෙක් එක්ක…උං දෙන්නා ගේ ඇතුලෙම සිගරැට් බිව්වේ ජයසේකරයා දාලා තිබුන නීති ගැන කිසි ගානක්වත් නැතුව…අලුයි සිගරට් කොටයි වීදුරු වලයි, බිමයි…ඩ්රයිවර් යවලා ගෙන්නගත්ත කෑමත් අපි කෑවා එක එක තැන ඉඳගෙන. අංතිමේ මම වැරදිලා ඇමතියට මචං කියලත් කතාකරා. කොහොමහරි බාලයි මමයි එතනින් එලියට එනකොට දහයත් පහුවෙලා…මචං ආයෙ නම් එහෙම සීන් එක්කට අහුවෙන්නෙ නෑ කියලා මම එතෙන්දී හිතා ගත්තා”

“ඊට පස්සේ ජයසේකර හම්බු උනාද?”

“ඔවු, ක්ලබ් එකේ…ඒ සෙනසුරාදා දවස ගැන කිසිම දෙයක් කියවුනේ නෑ. අපි දෙන්නටම ටිකක ලැජ්ජයි…දැනුත් එකට ඩ්රින්ක් එකක් එහෙම ගත්තට අපි ඇමතියා ගැන කතා කරන්නෙ නෑ….මචං බීර බිව්වා ඇති…අරක්කු බාගයක් ගමුද?”

“මාත් හිතුවේ ඒකයි….පීරීස්….?”

“සනත් උඹට මතකද අර නිහාල් කාරෙක හප්පාගෙන ගෙදර ගිහින් කියපු කතාව….?”

[දැන් මුංටික සැට් වෙලා ඉවරයි…කෝච්චි අමතකයි නේද? මතකද අර ගෙදර කියලා තැනක් තොපිටත් තියෙනවා නේද?]

………..

උදේ දුවයි පවුලයි මං බලන්න ආවේ දොස්තර ආපු වෙලාවෙමයි.

“කොහොමද ඊයෙ රෑවත් හොඳට නින්ද ගියාද?” පවුල මගෙන් ඇහුවේ ඉස්පිරිතාලේ නිදාගන්න මට අමාරු බව දන්න නිසා.

“ඇත්තටම නියමෙට නින්ද ගියා…අර මොකද්ද ටෙලිඩ්රාමා එකක් බල බලා ඉන්න ගමං එහෙම්ම නින්ද ගියා - ආයෙ උදේ තමා ඇහැරුනේ!”

“ශහඃ….අනේ මාරයි... මොකද්ද ටෙලිඩ්රාමා එක? රෙකෝඩ් කර ගත්තොත් හැමදාම රෑට බලලා නිදාගන්න පුලුවන්” දුව හිනහවෙලා එහෙම කිව්වට මුහුනෙන් පෙනුනේ එයා ඒක හොඳ අදහසක් කියලා හිතන බවයි.

“අනේ මං දන්නෙ නෑ මොන බම්බුවක්ද කියලා…කොල්ලෝ කට්ටියක් වැඩ ඇරිලා කයිවාරු ගහ ගහ ඉන්න එකක්…”

පවුලයි දුවයි මූනෙන් මූන බැලුවා. “එහෙම එකක් අපිනම් දැකලා නෑ”

දොස්තරට ටෙලිඩ්රාමා ගැන ඕනැකමක් නෑ.

“කොහොමද භාවනාව ටිකක්වත් පටන්ගත්තද?”

“ටෙලිඩ්රාමා බලලා නින්ද ගියා ඩොක්ටර්…භාවනා පටන්ගන්න ඉස්සර…”

“නෑ මම හිතුවේ මේ කන්නාඩිය මෙහෙම තියලා තියෙන්නේ භවනා කරලා කියලා”

ඇත්තටම දොස්තර ගෙනා කන්නාඩිය ටෙලිවිශන් එක වහගෙන ඒක ඉස්සරහින්. ඒකේ මගෙ මූන පෙනෙනවා.

“නෑ…කවුරුහරි ඒක එතන තියන්න ඇති මට නින්ද ගියාට පස්සේ…”

“සර් මම රෑ කෑම දීසි අස් කරනකොටත් කන්නාඩිය තිබුනේ ටෙලිවිශන් එක ඉස්සරහ…” ඒ න්ර්ස් නෝනා.

…………..

ආයෙත් රෑ වෙලා දැන් - කාමරේ පාලුයි. අදත් ටෙලිඩ්රාමා බලනවද? ඊයේ බැලුවේ ටෙලිඩ්රාමද නැත්තම් මගේම ජීවිතේ අලලා ගෙතූ කතාවක්ද? කන්නාඩියෙන් පෙනෙන්නේ කොට්ටේ උඩ තියෙන මගෙ මුහුනයි. කොයි වෙලාවේ කන්නාඩිය ටෙලිවිශන් එකකට හැරෙයිද කියලා හිතමිනුයි මම ඇස් වහගත්තේ.