තිරික්කලේ

කිලෝමීටර් හයක් නොනැවතී අව්වේ පයින් ඇවිත් මට හොඳටම මහන්සියි - දාඩියට කමිසේ ඇඟේ ඇලිලා, පිපාසෙට උගුර කට වේලිලා. ආපහු ගෙදර එන්න තව කිලෝමීටර් හයක් ඇවිදින්න බෑ කියලා හිතුනොත් බස් එකේ යන්න හිතාගෙනයි මම තේ එකක් බොන්න කැන්ටිමට ගොඩවුනේ.

පේරාදෙනි විශ්වවිද්යාලේ කැන්ටිම මට හොඳට පුරුදුයි. මීට අවුරුදු පනහකට විතර ඉස්සර ශිෂ්යයෙක් ලෙස නිතර මෙතන තේ බීපු මම දැන් මෙතෙන්ට එන්නේ කොන්ඩේ සුදු විශ්රාමික නාකියෙක් ලෙසයි. දැන් කාළේ තේ කෝප්පෙටත් වඩා මගේ ආශාව වටේට ඉන්න වයස විස්සේ විතර කොල්ලෝ කෙල්ලෝ කියන දේ අසා සිටින්නයි. ඒ මගේ නැතිවීගිය අතීතය නැවත රසවිඳින අදහස්කින් නොවෙයි. මගේ සමවයසේ අය සමග සසඳා බැලුවොත් ශිෂ්යයන්ගේ අදහස් උදහස් මම දැක්කේ අනිකුන්ගේ පසුතල ගිගුරුම අතර පිපිරෙන දීප්තිමත් අකුණු ලෙසයි.

මම වාඩිවුන මේසයට අල්ලපු මේසේ සිසුන් හයදෙනා අතර එකට වාඩිවෙලා ඉන්න කෙල්ලෝ දෙන්නා එක සැරේම හයියෙන් හිනාවුනා.

“නෑ ඇත්තමයි! මට අපෙ ආච්චිඅම්මා කිව්වේ!”

හිනා සද්දේ ආයෙත් නැගලා ගියා.

“මොකද්ද ඔය අපිට නොකියන විහිළුව? ඕන ඔට්ටුවක් කොල්ලෙක් ගැන!”

“අප්පේ …. වැඩේ මයි!

“ඉතින් මොකද්ද විහිළුව, අපිට කියන්න බැරි එකක්ද?”

“ඕගොල්ලට තේරෙන්නෙ නෑ! අර තිරික්කල් රේස් එක ගැන කියනකොට මතක්වුන කතාවක්!”

කෙල්ලෝ දෙන්නා ආයෙත් හයියෙන් හිනාවුනා.

හිටපු පිරිමි හතරදෙනා කතා නොකරම තීරණේ කරගත්තා කෙල්ලන්ගෙ හිනාව නොසලකා හරින්න. පරණ කතාව ආයෙත් පටන්ගත්තේ ඒකට කිසි බාධාවක් නොවුනා වගේ.

“මං හිතලා බැලුවේ රෝදේ උස අනුව තිරික්කලේ කාර්යක්ෂමතාව අඩු වැඩි වෙන හැටි…. ඒක ගැන මොකවත් ලියවිලා තියෙනවද?”

“මම ලඟදී කියෙව්වා එක අතකින් එෆිශන්සි වැඩිකරනකොට අනික් අතින් අඩුවෙනවා කියලා - මොමෙන්ටම් එකයි ඉනර්ශියා එකයි බලපුවම මේ අඩුව වැඩිය එකම ගානයි; කිසි කාර්යක්ෂ්මතා උන්නතියක් නෑ…”

එක කෙල්ලෙක් තව අදහසක් දුන්නා.

“කාර්යක්ෂමතාව විතරක් බලලා බෑ…. ලොකු රෝද දාපුවම පොඩි පොඩි වලවල් වලට එහෙම ගැස්සෙන්නෙ නෑ … නමුත් කරත්තේ තියෙන්නේ පොලවට ඉස්සරට වැඩිය උඩින් නිසා පෙරලෙන්න චාන්ස් එක වැඩියි. ඒ වගේම නගින්න බහින්නත් අමාරුයි”

“ඒ කියන්නේ බඩු අදින්න මිස ගමන් යන්නවත් රේස් දුවන්නවත් ලොකු රෝද හරියන්නෙ නෑ!”

“බඩු අදින්න උස තිර්ක්කල හරි නෑ - පටවන්නයි බාන්නයි අමාරු නිසා. අනික, මිනිස්සු නැතිනම් පෙරලෙන එක කමක් නැද්ද?”

“දැනට වඩා පොඩි රෝද දැම්මොත්?”

“කාර්යක්ෂ්මතා තර්ක රෝද ලොකු කරා වගේමයි - කිසි වෙනසක් නෑ. හැබැයි කාන්තී කියපු කාරණා අනුව මිනිස්සුන්ට යන්න ඒක හරි නෑ - කම්ෆටබල් නෑ. බඩු අදින්න නම් හොඳයි”

“උඹලා කියන්නේ අපෙ රේස් තිරික්කල් කාරයෝ උපරීම රෝද විෂ්කම්භය සොයාගෙනද කිසි විද්යාවක් නැතුව?”

“කවුද කිව්වේ විද්යාවක් නැතුව කියලා? උසස් ගනිතයයි පරිගනකයි පාවිච්චි නොකලට විද්යාවේ අඩුවක් නෑ; බටහිර විද්යාවේ වගේ හැම එකම පිලිවෙලට වර්ගීකරනය නොකෙරුවට”

“තැත් වරද ක්රමයට යමක් සොයාගන්නවා කියන්නේ විද්යාව?”

“ඇත්තටම ඔවු…. නවීන වෛද්ය විද්යාව කී දෙනෙක් මරන්න ඇතිද ශල්යකර්මය හරියට කරන්න ඉගෙනගන්න!”

“වෛද්ය විද්යාව තිරික්කල් හදනවා වගේ නෙවෙයි!”

“මොකද නැත්තේ? හදාරපු තාක්ශනයෙන් බඩ පුරවා ගන්නවා දෙගොල්ලම. අපි එක කට්ටියකට වැඩි උසස් තැනක් දීලා තිබුනට ඒක යුක්ති සහගතයි කියලා කවුරුත් පෙන්වා දීලා නෑ - පෙන්වා දෙන්නත් බෑ!”

“දොස්තරලා කොච්චර ජීවිත බේරාගන්නවද? ලෙඩ සුව කරනවද?”

“එක බස් ඩ්රයිවර් කෙනෙක් රැකීරක්ෂා කරන කී දෙනෙක් දිනපතා වැඩට ගිහින් දානවද? ඒ වගේම අපෙ අනාගත පරපුර, අනාගත දොස්තරලත් එක්ක, සියයට කීයක් ඉස්කෝලවලට ගිහින් දානවද? කවුරුත් බස් ඩ්රයිවර්ලගෙ හොඳ කියන්නෙ නෑ - ඒ අයගෙ ළමයින්ට හොඳ ඉස්කෝල ඉල්ලුවොත් කොහොම තියෙයිද!”

“පොඩ්ඩක් හෙමින් ගියානම්? මේක දොස්තරලා ගැන කතාවක් නෙවෙයි. තිරික්කල් වලින් උපරිම කාර්යක්ෂමතාවය ලබා ගැනීම ගැනයි”

“හරි හරී…. හැබැයි මගෙ පොයින්ට් එක; තිරික්කල හදන අයට විද්යා දැනුමක් නෑ කියන එක වැරදි”

“මට සමාවෙන්න මහරජ තුමනි - ඔබ තුමාගේ ගම්සභා විද්යාව වෙනුවෙන් මගේ …. අ… අ… මගේ මස්සිනාගෙ … ජීවිතය පවා කැප කරන්න මම ඉදිරිපත් වෙනවා!”

“…. තිරික්කල් රෝද හරියටම කවාකාර නැතුව …. ඉලිප්සයක් … යාන්තම් උත්කේන්ද්රීය ඉලිප්සයක්…?”

මේසේ කොනේ හිටපු ළමයා මෙහෙම කිව්වේ බොහොම හෙමින් - හරියට තමාටම යමක් කියාගන්නවා වගේ. ඒ ළමයා මේසේඋඩ තිබුන පරන පත්තර කෑල්ලක පැන්සලකින් ඉලිප්ස රෝද දෙකක් සහ ඇක්සලයක් අඳින්න පටන්ගත්තා. මේසේ නිශ්ෂබ්ද වුනා. අළුත් අදහස නිසා.

“මොකද්ද සුනිල් කිව්වේ? ඉලිප්ස් රෝද?..”

සුනිල් කියන ළමයා ප්ර්ශනේ අහපු ගෑනු ලමයා දිහා බැළුවේ නින්දෙන් ඇහැරෙන්නෙක් වගේ.

“හ්ම්…? නෑ පද්මා… මං බැළුවේ…. රේස් තිරික්කලවත් බඩු කරත්තවත් නෙවෙයි… රෝද දෙකේ කරත්තයක ඉලිප්ස රෝද හයි කෙරුවොත් කරත්තේ පැද්දෙන හැටි… ප්රායෝගික දෙයක් නෙවෙයි…”

“සේරටම ඉස්සර කියපං මොකද්ද යාන්තම් මොනවදෝ කේන්ද්රීය කියන්නෙ?”

“මට අමතවුනා උඹ ඉස්කෝලේ ගිහින් නැතිබව ජෙරා… ඉලිපසයක් කියන්නේ චප්ප කරපු වෘත්තයක් - උඹෙ බාසාවෙන් චප්ප රෝදයක්. හැබැයි චප්ප කියන්නේ එක විෂ්කම්භයක් තෝරාගෙන ඒක කෙටි කරන එක. ඒ කෙටිම විෂ්කම්භෙට අංශක 90කට තමා දිගම විෂ්කම්භය. ඊට වැඩිය ලේසියට කියන්න විදිහක් මම දන්නෙ නෑ - ඕන නම් මේ මං ඇඳපු රෝදේ බලපං…. උත්කේන්ද්රීයතාව කියන්නේ කොච්චර චප්පද කියන එක - උත්කේන්ද්රීයතාව වැඩියි කියන්න හොඳටම චප්පයි. උත්කේන්ද්රීයතාව බිංදුවයි කියන්න චප්ප වෙලාම නෑ - ඒ කියන්නේ ඒක වෘත්තයක්… දැන්වත් තේරුනාද?”

“අඩේ උඹ අපෙ ඉස්කෝලේ ඉගැන්නුවානම් මටත් යමක් ඉගෙන ගන්න තිබුනා … තෑන්ක්යූ”

පද්මා නමැති ළමයා ගනිත පාඩමට ඉස්සර කියවූ අදහස ආයෙත් මතු කළා.

“සුනිල් කියපු ප්රායෝගිකද නැද්ද කතාව පස්සේ බලමු…. උත්කේන්ද්රීය රෝද අක්ෂදණ්ඩට හයි කරන්නේ දිග විෂ්කම්භ එක කෙළින්, සමාන්තරව, තියලද?”

“ඒක තමා සිම්පල්ම සැකසීම… එතකොට කරත්තේ ඉස්සරහට යනකොට තට්ටුව ඉහල පහලත් යනවා… රෝද චප්පේ වැඩි වෙන්න වැඩි වෙන්න උඩ පහල ගමනත් වැඩී…”

“ඒක හරියට වලවල් තියෙන පාරක යනවා වගේ!”

“උඹෙ ගමේ පාරවල් වගේ නෙවෙයි රටේ හැමතැනම…. මගෙ තිරික්කලේ උඩ පහල යන්නේ සයින් වේව් එකක් වගේ - සිම්පල් හාමොනික් මෝශන් - උඹට තේරෙන විදිහට කිව්වොත්… රැලි තියෙන ටකරමක හරහට කූඹියෙක් යනවා වගේ…. වෙනස තිරික්කලේ බක්කිය ඉහල පහල යන්නේ රෝදේ හැඩේ නිසා මිස පාරේ වලවල් නිසා නෙවෙයි…”

“වැඩිය හයියෙන් ගියොත් උඩ පැන පැන යනවා වගේ තියෙයි නේද?”

“ඇත්ත තමා කාන්තී… රෝද ලොකු වෙන්න වෙන්න ගමන පහසුයි… සයිස් එකත් බලන්න ඕන උත්කේන්ද්රීතාවයත් බලන්න ඕන…. තිරික්කලේ නිර්මාණය කරන කාලේ. ඒ දෙක හරි නැත්නම් තිරික්කලේ හදලා වැඩක් නෑ!”

“ඒකත් ට්රයල් ඇන්ඩ් එරර්, ඔයා කියපු තැත් වරද ක්රමය, පාවිච්චි කරලද ඒවා සොයාගන්න ඕන?”

“අපෝ නෑ! ඒක මට පුළුවන් පැන්සලකුයි කඩදාසියකුයි දුන්නොත් ගණනය කරන්න. දැනගන්න ඕනෑ කොපමන ඉහල පහල යන්න ඕනද කියලා තැනිතලාවේ යන දුරට සාපේක්ශව. ඒ කියන්නේ මීටර් පහක දුර යනකොට මීටරයක් උඩ/පහල යන්න ඕන කිව්වොත් මට කියන්න පුළුවන් රෝදේ මිනුම්. නමුත් ඒ රෝද තිරික්කලේ යන අයට සැප පහසුද කියලා කියන්න පුළුවන් ඒ යන මිනිස්සුන්ට විතරයි… අනික් අතට, කාර් එකක සීට් හදන්නේ ඒකේ යන හැම මිනිහගෙන්ම අහලා නෙවෙයි…”

මේසේ වටේ සද්දේ අඩුයි - ළමයි හිතන සද්දේ විතරයි.

“අර…. රෝදෙක චප්ප කම …. රෝද දෙකේ දිග විෂ්කම්භ දෙක පෙලට නොතිබුනොත්… මං කියන්නේ තිරික්කලේ නවත්තලා තියෙනකොට දිගම විෂ්කම්භ දෙකම හරියට පොලවට සමාන්තරව නොතිබුනොත්…?”

“හැබෑටම මූට යමක් තේරිලා! ඇත්තටම නියම ප්රශ්නේ! දැන් හිතලා බැළුවොත් තිරික්කලේ එක පැත්තක් උඩින්ම තියෙනකොට, ඒ කියනේ ඒ පැත්තේ රෝදේ දිගම විෂ්කම්භේ කෙලින් උඩට තියෙනකොට අනික් රෝදේ කෙලින් උඩට නෑ - ඒ කියන්නේ ඒ පැත්ත පාතයි. රෝද අංශක අනූවක් කැරකෙනකොට, ඉස්සරවෙලා උඩින්ම තිබුන පැත්ත දැන් පාතම තැන තියෙන්නේ - අංශක අනූවෙන් අනූවට මේ අපවර්තනය වෙනවා. ඒ කියන්නේ, තිරික්කලේ ඉන්න අය ඉස්සරහට ගමන යන අතරේ ඉහලට පහලටත් යනවා, පැත්තෙන් පැත්තට නැලවෙනවා!”

“සුනිල්ගෙ තිරික්කලේ හොඳයි දරුවෝ නලවන්න අදින්න හොඳ ගොනෙක් සොයාගත්තොත්!”

හයදෙනාම කෙල්ලගෙ කතාවට හයියෙන් හිනාවුනා.

“පද්මට වෙන ගොන්නු හොයන්න ඕන නෑ මේ ජයේ ඉන්නේ!”

හිනාව ආයෙත් වැඩිවුනා.

“අනේ නිකං ඉඳින්…. පද්මා එයාට ඕන ගොනෙක් හොයාගනියි - ඒකට අපි කරදර වෙන්න ඕන නෑ. මං හිතුවේ නියමයි කියලා බයිසිකලේකට චප්ප රෝද හයි කෙරුවොත්…. අශ්වයා පිටේ යනවා වගේ තියෙයි! ඈ සුනිල්?”

“ඒකේ තව අවුල් තියෙනවා…. හිතලා බලන්න වටින. ඒ කියන්නේ, ගොනෙක් අදිනවා වගේ නෙවෙයි පෙඩල් පාගනකොට. අංශක වලින් රෝදේ හැරෙන තරමත්, බිම දුවන දුරත් වෙනස් නොවී තියෙන්නෙ නෑ, සාමාන්ය බයිසිකලේක වගේ. වැඩේ තියෙන්නේ මේක විසඳන්න ලේසි ගනිත ප්රශ්නයක් නෙවෙයි…. අනික…. මට දැන් හිතුනේ… රෝද දෙකම කැරකෙන්නේ එක ගානට නමුත් යන දුර වෙනස්…. දැන් හිතන්න බෑ - අද රෑ මේක කරලා බලන්න ඕනෑ…”

සුනිල් ගේ කටහඬ ටික ටික අඩුවුනා, මෙහෙම කියනකොට. මට හිතුනේ කටින් පටන්ගත්ත කතාව මොලෙන් හොරකම් කරගත්තා කියලයි. නමුත් පද්මා එයාගෙ ප්රෑම් කතාව නිකම්ම අතහරින්න කැමතිවුනේ නෑ.

“බයිසිකල් කෙසේ වෙතත් … ප්රෑම් එක නම් නරක අදහසක් නෙවෙයි… මං කිව්වේ ජයේ ඒක අදිනවා කියලා නෙවෙයි…. සමහරවිට ප්රෑම් එකකට වැඩ කරන්න පුළුවන්… රෝද දෙකේ ප්රෑම් තියෙනවද?”

“මම දැකලා නෑ එහෙම ප්රෑම්. නවත්තලා තියෙනකොට පාවිච්චියට කකුලක් ඕනවෙයි… කකුල වෙනුවට රෝද තුනක ප්රෑම් එකක් හැදුවොත්? ඉස්සරහට පොඩි සාමාන්ය රවුම් රෝදයක් දාලා අනික් දෙක ඇදේට හයි කරපු ලොකු චප්ප රෝද දානවා. සුනිල්ට කියන්න පුළුවන්ද එහෙම වාහනයක් යන හැටි?”

“මට හිතෙන්නේ තිරික්කලේට වඩා වැඩි වෙනසක් නෑ - ගොනා වෙනුවට පොඩි රෝදේ…. ඔවු … උඩට පාතටයි ගමනයි පැත්තෙන් පැත්තට ඇලවීමයි එහෙමම වෙයි…. හැබැයි ඉස්සරහ පස්සටත් ඇලවෙයි … නේද? ඉස්සරහ රෝදයි පස්සේ රෝද දෙකයි උස වෙනස් නිසා…. හැබැයි බයිසිකලේට වඩා ලේසියි හිතාගන්න - ජෙරා… උඹට තේරෙනවද මේකේ ගණිතය?””

ජෙරා කියන ළමයා ටිකක් හිතුවා.

“මචං ඔය ප්රෑම් එක ගැන උඹ කියනකොට මට මතක්වුනේ මගෙ ලයනල් මාමා…. මිනිහා හවස ගෙදර එනකොටත් ඒ වගේ - හැම පැත්තටම තාලෙට ඇලවෙනවා නමුත් කොහොම හරි ගෙදර එනවා රෑ වෙනකොට!”