තේරවිලි
ඉස්කෝල නත්තල් නිවාඩු කාලෙට අපෙ ගෙදර හරියට සෙනග. ඈත පලාත්වල වැඩකරන අයියයි අක්කයි මුළු පවුල් පිටින් එන නිසා සතියකට දෙකකට අපෙ ගෙදර හොඳටම පිරිලා.
සාමාන්යෙන් අපෙ ගෙදර ඉන්නේ අම්මයි අප්පච්චියි නංගියි මමයි; වැඩට ඉන්න අය හැර. අයියගෙ පවුලේ වැඩිහිටි දෙන්නයි, ළමයි තුන්දෙනයි, අක්කගෙ පවුලේ වැඩිහිටි දෙන්නයි ළමයි දෙන්නයි එකතු කළාම පරම්පරා තුනක වයස හයේ සිට හැත්තෑව දක්වා 13 දෙනෙක්! අපි දෙන්නා විතරක් නෙවෙයි අප්පච්චියි අම්මයි එහෙමත් නිවාඩු කාලේ ගතකළේ ලොකු හෝටලයක අයිතිකාරයෝ වගේ.
නිවාඩුව අපෙ එදිනෙදා ජීවිත වලට කොයි තරම් බාධා වුනත් නත්තල් නිවාඩු එනතුරු නංගියි මමයි පුල පුලා බලා හිටියේ නෑදෑ පැමිණීම නිසාමයි. බෞද්ධයෝ හැටියට නත්තල් තෑගි නොලබුනත් අයියයි අක්කයි හැම සැරේම අපිට මොනවාහරි තෑග්ගක් ගේනවා. තෑගි වලට වඩා අපි සතුටක් ලැබුවේ පොඩි කාලෙකට හෝ සෙල්ලමට ඕනතරම් බාල වයසේ හවුල්කාරයෝ ඉඳීමයි. නමුත් එලියේ සෙල්ලම් වලට වැඩිය අපේ හිතට හොඳටම අල්ලලා ගියේ රෑ කෑමට ඉස්සර පවත්වන ‘සමිතියයි’.
අපේ සමිති ආදර්ශයට ගත්තේ පාසැලේ තියෙන සමිතියි. මේවා සෑම පාසැලකම, සෑම හයෙන් හතෙන් පහල පංතියකම වගේ පැවැත්වුනා. මේ නිසා එවාගෙ නීති රීති පැහැදිලි කිරීමක් අවශ්යවුනේ නෑ. පැයක් දෙකක් තරම් කාලයක් ගතවෙන සමිති අවසානවුනේ පොඩි ලම්යින්ගෙ රෑ කෑම වෙලාව ආ පසුයි.
ඊයේ පැවැත්වුන සමිතියේ අක්කා සභාපති හැටියට පත්වුනා. ඒ නිසා අක්කා සාලේ කොනේ ලොකු පුටුවේ වාඩිවුන්නේ ඒ පරපුරේ අයට පුටුත් ඊලඟ පරපුරේ අයට බිම එලූ පැදුරේ වාඩිවෙන්නා ඇරයුම් කරමිනුයි. අම්මා කෑම පිලියෙලක් කිරීම කළමනාකරණයට කුස්සියටත් අප්පච්චී විවේකීව පත්තරේ කියවීමට ඉස්සරහ සාලයටත් ගියා.
“ආයුබෝවන්! ඔබ සැමෝම මම ආදරයෙන් පිළිගන්නවා. අද මේ සමිතියට අපෙ පවුලේ සියලු දෙනාම සහභාගී වෙනවා… ගෘහමූලිකයෝ මේ කාමරේ නැතිවුනත් ඕන වෙලාවක මෙතෙන්ට එයි… “
අක්කා විනාඩි දෙකක් අප්පච්චිටයි අම්මටයි ස්තුති කළා සමිතිය පැවැත්වීමට ඉඩ පහසු සපයා දීමට වගේම කෑම බීම සැපයීම ගැනත්. මට හිතෙන්නේ අක්කා එහෙම කිව්වේ පොඩ්ඩෝ පස්දෙනාට ඇහෙන්න - ‘මේක හෝටලයක් නෙවෙයි’ කියන පනිවිඩේ දෙන්න. ඒ වෙලාවේ ලඟම පුටුවේ වාඩිවීසිටි අයියා අක්කට කඩදාසි කෑල්ලක් දුන්නා. කිසිදෙයක් ලියවී නොතිබුනත් අක්කා ඒක බොරුවට කියෙව්වා.
“මගේ ලේකම් තුමා කියනවා බාලම දරුවා තව කෙනෙක් එක්ක සිංදුවක් කියන්න දැන් වෙලාව කියලා - චුටි දුව කවුරු එක්කද සිංදුව කියන්නේ?”
“පොඩි නැන්දා?...”
නංගී නැගිටලා ගිහින් චූටි දුව වඩාගත්තා. ඒ දෙන්නා හරිම යාළුයි.
“මොකද්ද කෙල්ලේ අපි දෙන්නා කියන්නේ?”
“දන්නෑ…”
“හරි…. පායනා කාලෙදී කියමු?”
සිංදුවේ වැඩිහරියක් කිව්වේ නංගී වුනාට පොඩි එකිත් වචන කීපයක් මුමුනා සිංදුවට සම්බන්ධ වුනා. සිංදුවට ලැබුන අත්පොලසන් ඇහිලා තමා කෙල්ල මූන පුරා හිනාවුනේ.
අක්කගෙ මහත්තයා විහිළු කතාවකුත් අයියගෙ දෙවෙනි පුතා කවියකුත් කිව්වා. අයියගෙ පොඩි දුවත් අක්කගෙ ලොකු පුතත් එක්ක මට නාට්යක්රඟපාන්න සිද්ධවුනා. අයියගෙ නෝනා ඊලඟට කතා කරා ඒයාගෙ ලොකුපුතාට.
“ලොක්කා ඇයි තේරවිල්ලක් කියන්නෙ නැත්තේ?”
“මොකද්ද… අර ගහක් උඩ ගෙඩියක් එකද?”
“නෑ… අර කොටියෙකුයි එළුවෙකුයි පලා මිටියකුයි තියෙන කතාව”
ලොකු පුතා නැගිට්ටා.
“සභාවෙන් අවසරයි… (මිනිහට සමිතිවල කතාකරලා පුරුදුයි වගේ!) … මගේ තේරවිල්ල මේකයි:”
“මිනිහෙක් කොටියෙකුයි එළුවෙකුයි පලා මිටියකුයි අරගෙන ගමනක් යනකොට ගඟකින් එගොඩ වෙන්න සිද්ධවුනා. එතන පොඩි බෝට්ටුවක් තිබුනා නමුත් ඒකේ යන්න පුළුවන් මිනිහටයි අරගෙන යන එක දේකුත් විතරයි. ඒ කියන්නේ එක සැරේට එක්කෝ කොටියා, නැත්නම් එළුවා, නැත්නම් පලා මිටිය - දෙකක් ගෙනියන්න බෑ. මිනිහට තවත් ප්රශ්නයක් තියෙනවා. කොටියයි එළුවයි එකට තියලා යන්න බෑ; කොටියා එළුවා කනවා. එළුවයි පලා මිටියයි තියලා යන්න බෑ එළුවා පලා මිටියි කනවා… ප්රශ්නේ මේකයි - හා කියන්න බලන්න කොහොමද මිනිහා සේරම එගොඩට එක්ක ගියේ කියලා”
පුතා වාඩිවුනා. කිසිම සද්දයක් නෑ විනාඩියක් දෙකක්. පොඩි පරපුරේ මොල වැඩකරනවා. අපෙ පරම්පරාවේ සේරම මේක අහලා තියෙනවා බොහෝ සැරයක්. අයියගෙ පොඩි දුව ප්රශ්නයක් ඇහුවා.
“එකසැරේට එකයි නම් තුනක් ගෙනියන්න බෑ!”
“කීප සැරයක් ගඟෙන් එහාට මෙහාට යන්න පුළුවන් - මෝඩ ප්රශ්නේ!”
සභාපතිට මේක ඇල්ලුවේ නෑ.
“ප්රශ්නයක් කවදාවත් මෝඩ නෑ! වහාම නංගිගෙන් සමාව ඉල්ලන්න - වහාම!”
“සොරි…”
ඊට පස්සෙයි අයියා ප්රශ්න අහන්න පටන්ගත්තේ.
“මොකද්ද ඔය මිනිහගෙ නම?”
“කොයි මිනිහගෙද?”
“ඔය පලා මිටියකුයි කොටියෙකුයි එළුවෙකුයි අරගෙන යන ගොනාගෙ?”
“නමක් ඕන නෑ…”
“නමක් නැති කෙනෙක් එක්ක මට බිස්නස් බෑ!”
සභාපති අක්කා මේ කතාවට බාධා කළා.
“මිනිහාගැන ප්රශ්න එතනින් ඉවරයි! ඒ මගේ තීරණේ! තේරවිල්ලට උත්තරයක් සොයමු!”
අක්කා මා දිහා බලලා හිනාවුනේ උදව්වක් ඉල්ලනවා වගේ.
“පුතා ගඟේ එහාටයි මෙහාටයි දෙපැත්තම යන්න පුළුවන් අප්පුහාමිටයි එක දේකටයි විතරද?”
අක්කා මා දිහා බලලා පොඩ්ඩක් හිනාවෙලා කතාකළා.
“දැන් ඔන්න මිනිහට නමක් තියෙනවා… විහිළු නැතුව උත්තරයක් සොයමුද?”
පොඩ්ඩෝ හොඳ ප්රශ්නය කීපයක් ඇහුවා.
“පලා මිටිය බෝට්ටුව පිටිපස්සේ ඇදගන යන්න බැරිද?”
“එළුවන්ට පීනන්ට පුළුවන්ද?”
“මිනිහට පීනන්ට පුළුවන්ද?”
මේවට ලොකු පුතා උත්තර දෙන අතරේ අයියා ආයෙත් ප්රශ්නයක් ඇහුවා.
“මොන ජාතියේ පලාද මිටියේ තිබුනේ?”
“ඒ කියන්නේ?”
“මොනවද - ගොටුකොලද? මුකුනුවැන්නද?... කීර?... සාරන?”
“මොන පලා වුනත් උත්තරේ වෙනස්වෙන්නෙ නෑ!”
පුතා දන්නවා එයාගෙ අප්පච්චිගෙ ප්රශ්නවලට උත්තර දෙන්න. ඒ දෙන්නා එක අච්චුවේ! දෙන්නම දන්නවා මේක විහිළුවක් මිස තරහට කරන විවාදයක් නෙවෙයි කියලා. නමුත් සමහර පොඩි වුන් වගේම අක්කගෙ මහත්තයත් විවාදේ බලාගෙන හිටියේ යම්කිසි අසහනයකින්.
“උත්තරේ වගේද රස! මට තව ප්රශ්නයක් තියෙනවා - ගඟට කිට්ටුවට එන්න ඉස්සර කොහොමද කොටියයි එළුවයි වෙන්කරලා තියාගත්තේ? එළුවයි පලා මිටියයි වෙන් කරලා තියාගත්තේ?”
ලොකු පුතා ටිකක් මේක ගැන හිතලා බැලුවා. වයස දහයේ මොලය තියුනුයි!
“පලා මිටිය කොටියගේ පිටේ බැඳලා ආවේ… එළුවා ඒ කිට්ටුවටවත් ආවෙ නෑ!”
ඒ උත්තරේ අයියගෙ හිතට ඇල්ලුවා - පුතාගෙ බුද්ධිමත් කතාවට. නමුත් ප්රශ්න ඉවරවුනේ නෑ.
“එළුවා කොටියා ලඟට ආවෙ නැතුවට් ඇයි එතකොට කොටියා එළුවා දිහාට පැන්නෙ නැත්තේ?”
පුතා ඒකටත් ලෑස්තියි.
“කොටියා බැඳලා තිබුනේ කොට දම්වැලකින්… එළුවගෙ දිග දම්වැල නිසා ඌ ඇවිද්දේ ටිකක් ඈතින්”
එතකොට අක්කගෙ දුව හයියෙන් කෑගැහුවා.
“මං දන්නවා මං දන්නවා! උත්තරේ … කියන්නද?”
අපි සේරම පුදුමෙන් බැලුවේ අට හැවිරිදි කෙල්ල කොහොම උත්තරේ සොයාගත්තද කියලා.
සභාපතිතුමී එයාගෙ දුවට කතාකරන්න ආරාධනා කළා.
“ටිකක් දිගයි උත්තරේ… ඉස්සරවෙලා එළුවා අරගෙන යනවා… හරිද? (හරි!)… ඊලඟට ඇවිත් කොටියා අරගෙන යනවා… හරිද? (හරි!)… ඊලඟට ඇවිත් පලා මිටිය අරගෙනයනවා… ඉවරයි!”
ලොකු පුතාට මේකේ අඩුපාඩු තේරෙනවා.
“නංගී… තුන්වෙනි සැරේ ආපහු එනකොට කොටියයි එළුවයි ගඟේ අනික් පැත්තේ නේද? එතකොට කොටියා එළුවව මරාගෙන කනවා නේ!”
“නෑ අයියා… එහෙම වෙන්නේ ඒ මිනිහා… මිස්ට අප්පුහාමී හොඳටම මෝඩනම්. මොකද අර දම්වැල් වලින් ඈත ගස් දෙකක සත්තු දෙන්නා බැඳලා නේ පලා මිටිය ගේන්න එන්නේ!”
අපි සේරම අප්පුඩි ගැහුවා පොඩි එකීගෙ දක්ශ කමට. තේරවිල්ල අහපු පුතාටත් ඒ උත්තරේ හොඳයි අප්පච්චිගෙ පිස්සු ප්රශ්න වලට වැඩිය. නමුත් ඒ ප්රශ්න ඉවරවුනේ නෑ. ඊලඟ ප්රශ්නේ ආවේ නංගිගෙන්.
“ලොක්කා… ඔයා කිව්වා නේද කොටියා බැඳගෙන ආවේ කෙටි දම්වැලකින් කියලා… එතකොට ඌ අප්පුහාමී හපන්න බැලුවෙ නැද්ද?”
ඊට පස්සේ මුලු සභාවම ප්රශ්න අවුල් ජාලයක් වුනා.
“කොටියට බඩගිනි නැද්ද?”
“කොටියා උදේට කාලද ගමන ආවේ?
“අප්පුහමී හුඟාක් කෙට්ටුද - ඇට සැකිල්ලක් වාගේ?
“අප්පුහාමී ගඳද?”
“එළුවට අං තිබුනද?”
“පලා මිටියට බෙහෙත් ගහලා තිබුනද දන්නෙ නෑ!”
“කොටියෙකුයි එළුවෙකුයි පලාමිටියකුයි අරගෙන අප්පුහාමී කොහෙද ගියේ?”
“කවුද කොටියොයි එළුවොයි ගෙදර ඇතිකරන්නේ? අප්පුහාමී හොරෙක්ද?”
“ලංකාවේ කොටියෝ ඉන්නේ කොහෙද?”
“කාගෙද බෝට්ටුව?”
“බෝට්ටුව පදින්නේ අයිතිකාරයට හොරෙන්ද?”
“බෝට්ටුව ආපහු ගඟේ මෙහා පැත්ත්ට ගෙනත් දාන්නෙ නැද්ද?”
“ලඟ පාලමක් නැද්ද?”
“අයියා මේ තේරවිල්ල හරියට දන්නෙ නෑ නේද?”
“මේක අයියා හදපු කතාවක් වෙන්න ඇති”
“නෑ දුවලා - අයියා නෙවෙයි කතාව හැදුවේ; මිස්ට අප්පුහාමී තමා ඒක හැදුවේ!”
“ඒක වෙන්න ඇති… මිස්ට අප්පුහාමී ඇවිත් අයියට කිව්වද වුන දේ?”
“නැත්තං අයියා බලාගෙන හිටියද ගඟ ලඟට වෙලා?”
මේ ගාලගෝට්ටිය මැද එක පොඩ්ඩෙක් සිංදුවක් කියන්නත් තව කෙනෙක් හඬන්නත් පටන්ගත්තා. ඒ වෙලාවෙයි අප්පච්චියි අම්මයි කාමරේට ආවේ. ඉස්සරවෙලාම කතාකළේ අම්මා.
“පොඩ්ඩන්ට කෑම ලෑස්තියි!”
අප්පච්චීත් සමිතියට එකතුවුන.
“මට සභාවෙන් අවසරයි. සභාපතිනියගෙන් මම ඉල්ලා සිටිනවා සභාව විසිරයෑමට පෙර පුතාගෙ තේරවිල්ල ගැන යමක් කියන්න”
අක්කා නිවැරදිව අවසර දුන්නා. අප්පච්චී සමිතියේ නිශ්ශබ්ද සාමාජිකයෝ දෙස බලලා කතාව පටන්ගත්තා.
“ඔය තේරවිල්ල මම පොඩි කාලෙත් අහලා තියෙනවා. ඔය කොටියා, එළුවා, පලාමිටිය ගැන මම ඇහුවේ මීට අවුරුදු හැටකටත් ඉස්සර… කතාව ඊටත් වඩා පරණයි කියලා මිනිස්සු කියන්නේ - අවුරුදු සියගානකින් … (පොඩි නිහඩ තාවයක්)… නමුත් දැන් වෙනකොටත් කතාව වෙනස්වෙලා නෑ. ඒක ගැන හිතලා බලන්න වටිනවා. අවුරුදු සියගානකටත් කතාව වෙනස්වෙලා නෑ! නමුත් අපි දන්නවා අපෙ රට කොච්චර වෙනස්වෙලා තියෙනවද ඒ කාලේ ඇතුලත”
අප්පච්චී කට හඬ වෙනස්කරලා ඊලඟට කතාකළේ රහසක් කියනවා වගේ.
“ඒ ගඟ උඩින් දැන් පාලමක් දාලා - බස් එහෙමත් යනවා… අප්පුහාමිත් දැන් යන්නේ ලොරියක!”