දඹුල්ලේ තලගොයි
හංදියේ කඩේ ඉස්සරහ බංකුවේ ටොම් බංඩා වාඩිවෙලා හිටියේ ගැඹුරු කල්පනාවක වැටිලා ඉන්නවා වගේ.
“මොකද බංඩයියා කල්පනාව?”
මුදලාලිගෙ පවුල මෙහෙම ඇහුවේ කඩේට එන ඕනෑම කෙනෙකුට වචන කීපයක්වත් කතා නොකරන එක වැරදියයි හිතපු නිසා මිස බංඩගෙ හිතේ ඇතිදේ දැනගන්න ආසාවකින් නෙවෙයි.
“නෑ ඩිංගිරිඅම්මා මං හිත හිතා හිටියේ අර දනපාල ඊයේ කියපු කතාව ගැන”
“අනේ…. ඔය දනේ මල්ලී ඔහොම කිව්වට මට විස්වාස නෑ පොලොන්නරුවේ ඔහොම දෙයක් උනා කියලා”
ඒකට මුදලාලිත් හවුල්වුනේ කඩේ ගනුදෙනු කරන කෙනෙකුගෙ වැරදි කියන එක මෝඩ කමක් බව දැනගෙනයි. දනපාල වැඩිය බඩු නොගත්තත් මිනිහා ගමේ බොහොම අයත් එක්ක කිට්ටු නෑකම් තිබුනා. බංඩත් එක්ක බංකුවේ වාඩිවෙලා ඉන්න ඇල් බී කොළුවා දනපාලගෙ අම්මගෙ අයියගෙ මුනුබුරා බව මුදලාලී දන්නවා.
“එහෙම කියන්නේ කොහොමද …. අපි හිටියායෑ එහෙ ඒ වෙලාවේ. ඔය දනපාල බොරු කියන මනුස්සයෙක් කියලා මම හිතන්නෙ නෑ”
ඩිංගිරිඅම්මට තේරුනේ නෑ මුදලාලී එහෙම කිව්වේ ඇයි කියලා. ඒක වෙන්න ඇති තව තව හාරලා ප්රශ්න අහන්න හිතුවේ.
“ඒත් කබරගොයෙක් මිනිහෙකුගෙ කකුලක් කඩාගෙන කන්න!”
කතාව ටිකක් අඩුවුනේ කඩේ ඉන්න සේරම දෙනා ඊයේ ඇහුන කතාව ගැන හිතන්න පටන්ගත්ත නිසා වෙන්න ඇති.
දනපාල ඊයෙ රෑ හංදියේ කඩේට ආවේ වටින් ගොඩින් අඳුර වැටීගෙන එන වෙලාවෙයි. ප්ලේන්ටි උගුරක් බීපු ගමන් දනපාල කතාව පටන් ගත්තේ බංඩගෙ කතාවක් පටන් ගන්න ඉස්සරයි.
අර පල්ලේපංගුවේ සිරිසේන අද මට හම්බවුනා (දනපාල කතාව පටන් ගත්තා). මතකද මාත් එක්ක පොලොන්නරුවේ දෙකේ ඇලේ වැඩකරපු මිනිහා? අපි දෙන්නා එක වාඩියේ හිටියේ. මම ආපහු ගමේ ආවට සිරිසේන එහෙ නැවතුනා. හොඳ වැඩ කාරයා - ඒ දවස්වල. හැබැයි දැන් ඉතින් දනිහෙන් පහලට කකුලක් නැති එකේ දෙල්ගහමුල හංදියේ අබ්බාගාත බයිසිකලේක ලොතරැයි විකුනනවා. අනේ මමත් ටිකෙට් දෙකක් ගත්තා - දිනන්ට හිතාගෙන නෙවෙයි, පවු කියලා හිතිලා…. මට දුක හිතුනේ ඔය කකුල නැතිවුන විදිහට… මං කියන්නේ… යුද්දෙකින්, බිම් බෝම්බෙකින් එහෙම කකුල් නැතිවුනා කිව්වොත් විඳින්ට පුළුවන් - හැබැයි කබරගොයි කාලා? [මෙතෙන්දී දනපාල කතාව නැවැත්තුවා කාගෙන හරි “ඒක කොහොමද උනේ බං?” වගේ ප්රශ්නයක් එනකම්]
උනේ මේකයි. සිරිසේනයා ඒ දවස්වල රෑට හොරෙන් පොල් කඩනවා. අපි කොච්චර එපා කිව්වද? අහන්නෙ නෑ. අනික මිනිහා ඒ දවස්වල බොනවා. හරියට බොනවා. රා, කසිප්පු… ඕන එකක්. අපෙ වාඩියේ තව කීපදෙනෙක් බීමට එකතුවුනත් හොරපොල් කෙලියට ගියෙ නෑ. සිරිසේනයත් හොර පොල් කැඩුවේ ඉඳලා හිටලා - ඒක තමා අහුවුනේ නැත්තේ. කඩාපු පොල් වික්කේ කාටද කියලා අපි තවම දන්නෙ නෑ. මිනිහා ඒ තරම් පරෙස්සමෙන් තමා කරන දෙයක් කරේ. ඕන දවසක රෑ සිරිසේන වාඩියේ නැත්තං අපි දන්නවා ඇයි කියලා. සමහරවිට උදේ වෙලා ආපහු එන්නේ. හැබැයි ඒක ගැන අපි කවුරුත් කතා කෙරුවෙ නෑ.
ඔය කරදරේ දවසෙත් එහෙමයි - හැබැයි එදා සිරිසේන උදේ අවෙත් නෑ. මම වෙනදා වගේ වැඩට ගියාට මගෙ හිතට හරි නෑ. මට හිතුනේ පොලිසියට අහුවෙලා නැත්තම් කවුරුත් පොලිසියට අල්ලල දීලා කියලා. පොලිස්රයෙක් අපෙ වැඩපොලට එනවා දකිනකොට මට හිතූනා වැඩේ කෙලවෙලා හමාරයි කියලා. ඔර්සියල් මහත්තයා පොලිස්කාරයට මං පෙන්නනකොට මට හිතුනේ මාවත් මොකකට හරි ගාවලා ඇති කියලා. ඒත් රාලහාමී මට කිව්වේ සිරිසේන ඉස්පිරිතාලේ කියලා - කකුලක් කපන්න වෙලා කියලත් කිව්වා. සිරිසේනගෙ ගෙදරට පනිවිඩ ඇරියෙත් මම. හැබැයි දවස් කීපෙකට පස්සේ තමා මිනිහට උනේ මොකද කියලා ආරංචිවුනේ - ඒත් පොල්ගහේ අයිතිකාරයගෙන්.
සිරිසේන ගහෙන් වැටිලා තියෙන්නේ කොන්කිරිට් බෝක්කු කනුවක් උඩට - ඒකෙන් දනිස් පොල්කට්ට කුඩු!... සැහෙන වෙලාවකට පස්සේ තමයි හරකා බඳින්ට යන මිනිහෙක් ඌ දැකලා ලඟ ගෙදරකට කතා කරලා ඉස්පිරිතාලටයි පොලිසියටයි දන්නලා තියෙන්නේ. එතකොට මිනිහට සිහිය නෑ …. එක කකුලකුත් නෑ! - කබරයෝ කීප දෙනෙක් ඇලේ මොනවදෝ එකකට පොරකනවා! (දනපාල කතාව ඉවර කරලා බීඩි උගුරක් බිව්වා)
ටොම් බංඩා ඊයේ දනපාල කියපු කතාව මතක්කළේ වැඩි සතුටකින් නෙවෙයි. පලවෙනියට, දනපාලගෙ කතාව විශ්වාස කරන්න අමාරුවුනත් ත්රාස ජනක කතාවක් හැටියට මිනිස්සු රස වින්දා. දෙවෙනියට - ටොම් බංඩට තමාගේ කතාවක් කියන්න අවස්ථාවක් නොලැබුනේ දනපාල නිසයි. නමුත් ටොම් බංඩගෙ කටහඬේ මේ නොසතුට පෙන්වූයේ නෑ.
“නෑ නෑ…. දනපාල කියනවානම් එහෙම සිද්ධවුනා කියලා අපි කොහොමද එහෙම වුනේ නෑ කියන්නේ?”
“ඒක ඇත්ත!” මුදලාලී මේකට එකඟවුනේ දෙපැත්තටම බඩු විකිනීම අවශ්ය බව දන්න නිසයි.
බංඩා තේ උගුරකුත් බීඩි උගුරකුත් අරගෙන හෙමින් කඩේ ඉන්නන් දිහා බැලුවේ පොහොසත් ගොවියෙක් තම කුඹුර යාය පිරික්සා බලනවා වගේ. කඩේ ඉන්න ඈයන්ට දැනුනා වැඩි වෙලා යන්න ඉස්සර කතාවක් පටන්ගන්න බව.
අහලා තියෙනවද ‘දඹුල්ලත් වැඳගෙන තලගොයිත් මරාගෙන එනවා’ කියන කතාව? (ටොම් බංඩා කතාව පටන්ගත්තේ ප්රශ්නයකින්). අපි හුඟක් අය හිතන්නේ මේ කියන්නේ දඹුල්ල වැඳලා පින් පමුනුවාගෙන තලගොයි මරලා පව් පුරවාගැනීම ගැන කියලා. නමුත් ඇත්තටම මෙතන තලගොයි කියන්නේ අර දනපාල්ගෙ කබරගොයින්ගෙ සහෝදර සත්තු නෙවෙයි! (ඇඟට නොදැනී දනපාලට ගහපු පහර ගැන හිතලා බංඩා පොඩි හිනාවක් පෙන්නුවා).
තල ගොයි කියන්නේ තල වගාකරන ගොවියෝ! දුර පලාත්වල ඉඳන් දඹුලු වන්දනාවේ යන මිනිස්සු එහෙ හේන් වලින් තල අරගෙන යනවා ආපහු ගමේ යනකොට. හැබැයි ගෙවන්නේ බොහොම අඩුවෙන් - වන්දනාවේ එනකොට වැඩිය සල්ලි ගේන්නෙ නෑ. හේන් ගොයියොත් පව් කියලා හිතිලද කොහෙදෝ තල විකුනනවා අඩු ගානට…. වන්දනාවේ එන මිනිස්සු වැඩි වෙනකොට ගොයියන්ගෙ පාඩුවත් වැඩියි…. ඒකෙන් තමා ඔය දඹුල්ලත් වැඳගෙන තලගොයිත් මරාගෙන එන කතාව ඇවිල්ලා තියෙන්නේ (තව බීඩි උගුරක්).
හැබැයි හිතන්ට එපා දඹුල්ලේ දනපාලගෙ තලගොයි නෑ කියලා! …. රජකාලේ …. අනුරාදපුරේ වලගම්බා රජ්ජුරුවන්ගෙ කාලේ, දැනට අවුරුදු දෙදාහකටත් වැඩිය ඉස්සර, ඔය දඹුලු ලෙන් විහාරේ හදන කාලේ ඉඳන් අද වෙනකම් තලගොයි ඉන්නවා…. අපෙ ගමේ තලගොයි වගේ නෙවෙයි හරි සත්ත තියෙන රජ කාලෙන් පැවතෙන තලගොයි කාංඩයක් එහෙ ඉන්නවා කියලා මට මගෙ ලොකු අත්තා කිව්වේ! (දිග කතාවක් පටන්ගන්න බව කඩෙ පිරිසට තේරෙනවා - හුලං විස්කෝතු, තේ, බීඩි වෙලඳාමට ලොකු රුකුලක්)
අපෙ ලොකු අත්තා වඩුබාස් කෙනෙක් -අප්පච්චී වඩු වැඩ ඉගෙන ගත්තේ ඒ ලොකු අත්තගෙන් තමා. ඔය දඹුල්ල පැත්තේ පන්සලක වැඩ වගයක් කරන්ට තමා ලොකු අත්තා එහෙ ගිහින් තියෙන්නේ, අපෙ අප්පච්චී කොල්ලා කාලේ.
ලොකු අත්තා වැඩකරේ දඹුලු ගල් ලෙන විහාරේ නෙවෙයි, ඒ ගල පාමුල තියෙන පංසලේ. අත්තා හිතාගන හිටියේ ගල් ලෙන් විහාරේ හීනැටියාවේ පොඩි හාමුදුරුවන්ගෙ පංතියට අපෙ අප්පච්චී බාර දෙන්ට. මං අප්පච්චිත් එක්ක මේ ගමේ ඇවිත් ඉස්කෝලෙත් ගියා වගේ අපෙ අප්පච්චිත් ලොකු අත්තගෙ අත් වැඩකාරයා හැටියට ගිහින් ගිය ගිය තැනින් අකුරු ඉගෙනගන්ට ඇති. ගල් ලෙන් විහාරේ පුතාට පෙන්නලා වැඳ පුදාගෙන එහෙම යන්ටත් හිතාගෙන ඉන්ට ඇති. හැබයි පන්සලේ ලොකු හාමුදුරුවෝ පලවෙනි දවසෙම කීවලු දඹුලු ලෙන් විහාරෙ පිටිපස්සේ පරුවත උඩ නගින්ට යන්ට එපා කියලා. මං හිතන්නේ අපෙ අප්පච්චී පොඩි එකා හින්දා එහෙ මෙහෙ දුවයි කියලා වෙන්ට ඇති ලොකු හාමුදුරුවෝ එහෙම කිව්වේ. මං දන්න තරමට අප්පච්චී තනියම ඒ පරුවතේ උඩ නැග්ගෙ නැතිලු…. හැබැයි ලොකු අත්තා එහෙම කරලා තමා උන්දෑ නහිනකං ආයෙ කවදාවත් ගොම්මං වෙලාවේ ගෙයින් එලියට බැස්සෙ නැත්තේ (ටොම් බංඩා කතාව නවත්තලා තේ උගුරක් බිව්වේ කවුරුහරි ‘ඉතින් මොකද උනේ?’ කියලා අහනතුරුයි. ඒ ප්රශ්නේ ආවෙ නැතිනිසා කතාව ආයෙත් පටන්ගත්තා).
එදා ලොකු අත්තට මොකද උනේ කියලා කවුරුත් හරියටම දන්නෙ නෑ - මමත් දන්නේ ලොකු අත්තා දවසක් මට කියාපු කතාව විතරයි.
පසලොස්වකට දඹුල්ලේ හරි සෙනග. එදාට වැඩත් නැති නිසා ලොකු අත්තා අපෙ අප්පච්චිත් එක ගල් ලෙන් විහාරේ පැත්තට ගියාළු හවස් වේගන එනකොට. ඒ ගියේ හීනැටියාවේ හාමුදුරුවෝ හම්බවෙන්නත් එක්ක - ඒ අපෙ අප්පචිගෙ පංති ගැන කතා කරගන්ට. වැඳ පුදාගෙන ඉවරවෙලා එලියට එනකොට අපෙ අප්පච්චී බඩගිනියි කියලා වාඩියට එන්ට පිටත්වුනා, වාඩියෙන් පංසල් ඇවිත් හිටපු තව කට්ටියක් එක්ක. ලොකු අත්තා ‘එහෙනං පරෙස්සමෙන් පලයං’ කියලා පුතා පිටත් කරලා හාමුදුරුවෝ හොයාගෙන ගියා.
අත්තට හීනැටියාවේ හාමුදුරුවෝ හම්බවුනාද නැද්ද මං දන්නෙ නෑ. ඒ ගැන මට කිව්වෙ නෑ. මට කිව්වේ අර පෙරහැරක් වගේ පහන් අරගෙන පඩිපෙල නැගගෙන එන උපාසකයෝ රැල ඈතට හරිම ලස්සනට පෙනුනා කියලා. ඒ පෙරහැර තවත් හොඳට බලන්ට කියලා උන්දෑ පංසල පිටිපස්සේ ගල උඩට නැග්ගා. (කතාවේ වැදගත් තැනකට ඇවිත් තියෙන බව තේරුන බංඩා ආයෙත් තේ උගුරක් බිව්වා බොහොම කල්පනාවෙන් වගේ)…. ඒකයි ලොකු අත්තා එදා කරපු ලොකුම වැරැද්ද…. (බීඩි උගුරක්)
අර ඇතුල්වෙන ගේට්ටුව ඉස්සරහ ගල් තලාව ලඟින් පරුවතේ උඩට නගින එක අමාරු නෑ - ඒක මමත් කරලා තියෙනවා. හොඳට හඳ එලිය තිබුන නිසා ලොකු අත්තා කරදරයක් නැතුව මීටර් පනහක් හැටක් පරුවතේ උඩට නැග්ගා. එතකොට උපාසක පෙරහැර හොඳට පෙනෙනවා. ඒ එලි වැල අත්තට පෙනුනේ හරියට හොල්මන් පෝලිමක් වගේළු! මොකද ඒ හරියට මිනිස්සු කතා කරන සද්දයක් වත් ඇහෙන්නෙ නෑ. තවත් ඉහලට යන්ට ඕන නෑ කියලා හිතලා ලොකු අත්තා එතන තිබුනු ලොකු ගල් වැටියක් උඩ වාඩිවුනා…. ලොකු අත්තා මට කියපු හැටියට වැඩ කරලා ඇඟේ මහන්සිය නිසාද කොහෙද වාඩිවුන ගල් වැට හරියට මෙට්ටයක් වගේළු දැනුනේ ඒ වෙලාවේ…. අත්තා විනාඩි දහයක් විතර වාඩිවෙලා ඉන්නකොට නිකන් යාන්තමට හිතුනළු වටා පිටාව ටිකෙන් ටික වෙනස් වෙනවා නේද කියලා …. (තව බීඩි උගුරක්)
අත්තට දැනුනළු හුලඟ ටිකක් සැරයි, සීතලයි නේද කියලා …… එතකොට වගේම දැනුනා පසලොස්වක හඳේ එලිය අඩුවේගන යනවා වගේ - එදා අහසේ එක වලාකුලක් වත් නැති රෑ …. ටිකෙන් ටික වටේට කරුවල වෙනවා…. හීතලට ඇඟ එහෙම හිරිවැටිලා …. අත් කකුල් හොල්ලන්ට බෑ…. හුස්ම ගන්ටත් අමාරුයි…. මැරෙන්ට ඔන්න මෙන්න වගේ කියලා අත්තා කිව්වේ…. (පොඩි නිශ්ශබ්දයක්)
…. ටිකකින් තොයිලයක වගේ බෙර පදයක් ඇහෙන්ට පටන්ගත්තා - හිමීන් පටන්ගෙන සද්දෙයි තාල වේගෙයි වැඩිවෙලා පපුව ගිඩි ගිඩි ගාන තාලෙටම ආවා.…. එතකොට ලොකු අත්තට තේරුනා ආයෙ නම් ගෙදර උන් දැකගන්ට හම්බ වෙන්නෙ නෑ කියලා. ලොකු අත්තට එතනින් නැගිටලා යන්ට තියා නැගිටගන්ටත් බෑ - දනිස් දියවෙලා ගිහින් වගේ (තේ උගුරක්). එතකොටයි මහා ගාම්බීර කටහඬක් ඇහුනේ….
‘අප්පුහාමී ….. නැගිට්ටානම්!’
මේ අපායෙද? දිවිය ලෝකෙද? වෙන කොහෙවත්ද? …. කතා කරේ කවුද? මේවා හිතට ආවට අත්තා ඇස් ඇරියෙ නෑ. හැබැයි අමාරුවෙන් ඉතිපිසෝ ගාතාව මතුරන්ට පටන් ගත්තා…. එතකොටළු වාඩිවෙලා හිටිය ගල් වැට හෙල්ලෙන්ට පටන්ගත්තේ.
ලොකු අත්තට මොන අමාරු තිබුනත් එතකොටනම් බස් ගාලා නැගිට්ටුනා…. නැගිට්ටුනා විතරක් නෙවෙයි එහෙම්ම දඩාස් ගාලා ගල්තලාවේ වැටුනා මුනින් අතට…. නහයෙනුයි වැලමිටි වලිනුයි ලේ ගලනවා.
‘අප්පුහාමී…. මෙහෙ බැලුවානම්?’
ඒත් එක්කම රජ කටහඬට වැඩිය තව සද්දයක් ඇහුනා - හරියට ටිපර් එකකින් ගල් බානවා වගේ සද්දේ කියලා අත්තා කිව්වේ - මොක උනත් කමක් නෑ මැරෙන්ට යන එකනේ කියලා අත්තා බිම දිගාවෙලා ඉන්න ගමන් ඔළුව විතරක් හරවලා සද්දේ ආපු පැත්ත බැලුවා (පොඩි නිශ්ශබ්දයක් - තේ උගුරක් - පොඩි කැස්සක්).
බලාපු ගමන් ලොකු අත්තට සිහිය නැතිවුනා. පහුවදා උදේ පහල අත්තා හොයන්ට ගිය වාඩියේ අය තමා උස්සගෙන ඇවිත් පංසලේදිම බේත් හේත් කරලා පොඩි තොයිලෙකුත් කරලා තමා උන්දෑ බේරාගෙන තියෙන්නේ. එදා ඉඳන් ලොකු අත්තා කවදාවත් ඉර බැස්සැන් පස්සේ ගෙදරින් එලියට ගියේම නෑ. (බංඩා කතාව ඉවරබව පෙන්නන්ටද කොහෙද බංකුවෙන් නැගිට්ටා).
“මොකද්ද බංඩයියා ඔහෙගෙ ලොකු අත්තට වෙලා තිබුනේ? යකා ගහලද?”
“අනේ ආරොන්…. මම දන්නේ ලොකු අත්තා කියාපු දේ විතරයි. මට කතා හදන්ට ඕනකමක් නෑ!”
“ඉතින් මොකද උන්දෑ කිව්වේ?”
“මං කිව්වනේද ගල් වැටක් උඩ වාඩිවුනා කියලා? ඒක අඩි පනහක් හැටක් දිග තලගොයෙක්ළු…. අත්තා වාඩිවෙලා හියෙන්නේ උගෙ ඇඟ උඩ - ඒකයි මේටයක් වගේ දැනුනෙත් පස්සේ සද්දෙට හෙල්ලෙන්ට පටන්ගත්තෙත්! අත්තා කිව්වේ රජකාලෙන් පැවතගෙන එන මේ රජ තලගොයින්ට අමුතු දේව බලශක්ති තියෙනවා කියලා… අනේ මං දන්නෙ නෑ ලොකු අත්තා ඇත්ත කිව්වද බොරු කිව්වද කියලා. මටනම් විශ්වාසයි ලොකු අත්තා කියපුදේ…. අ …. ඩිංගිරිඅම්මා … මගෙ බඩු ටික?”
ටොම් බංඩා කඩෙන් ගත්ත බඩු ටිකත් අරගෙන පාරට බැස්සේ පස්ස නොබලයි. බංඩා වංගුව පහුකරගෙන යනතුරු තිබුන නිශ්ශබ්දතාවය බිඳුනේ මුදලාලිගෙ වචනෙනුයි.
“අපෙ බංඩයියත් කතාන්දර කියන්ට ඉගෙනගන්ට ඇත්තේ එයාගෙ ලොකු අත්තගෙන් වෙන්ට ඇති!”