දුර පෙනෙන තැනිතලා

මම ඔස්ට්රේලියාවට ඇවිත් දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. තව මාස කීපෙකින් ආපසු ලංකාව දැක ගැනීමට බොහොම ආසාවෙනුයි දැන් ඉන්නේ. අනික් අතට ආපහු යන්න ඉස්සර ඔස්ට්රේලියාවෙත් එහෙ මෙහෙ ටිකක් ඇවිදින්න මට ලොකු ආසාවක් තියෙනවා. ඒ ආයෙ කවදාවත් මෙහෙ එන්න අවස්ථාවක් නොලැබෙන බව මට සහතික නිසා.

ගිය නත්තල් නිවාඩුවට මම බැටළු ගොවිපොලක පොඩි කාලයක් ගෙව්වා. ඒ දවස්වල මට අවස්ථාව ලැබුනා ඒ අක්කර විසිදාහේ ගොවිපොලේ දවස පුරා තනියම මොටෝබයිසිකලේක එහෙ මෙහෙ දුවන්න. ලංකාවේ මගෙ ජීවිතේට වඩා බොහෝම වෙනස් ඒ සති කීපේ. මගෙ ඔස්ට්රේලියා ජීවිතේ හිතට තදින්ම කාවැදුන කාලයක් තමා ඒ.

හිතේ අශාව තිබුනට තවම අත්දකින්න නොහැකිවූ දේ අතරට ‘කඳවුරු’ ජීවිතේ අයිති වෙනවා. මම කඳවුරු කියන්නේ යුද හමුදා හෝ බාලදක්ශ කදවුරු නොව විනෝදය සඳහාම පාවිච්චිවෙන කඳවුරුයි.

හුඟක් ඔස්ට්රේලියානු ජාතිකයෝ නිවාඩු කාලෙට ‘කෑම්පිං’ යනවා කියලා කොහෙ හරි කැලෑ පලාතක, එහෙමත් නැත්නම් ගඟක් හරි වැවක් හරි තියෙන පැත්තක කූඩාරම් ගහගෙන ඉන්නවා, එක්කෝ පවුල් පිටින්, නැත්නම් යාලුවෝ කීපදෙනෙක්. ඒක ඒ අයගෙ සංකෘතියේ වැදගත් කොටසක්. ගිනි ගොඩක් ගහලා ඒකෙන් කෑම බීම හදාගෙන කාල බීල බිම ‘ස්ලීපිං බෑග්’ දාගෙන නිදාගන්නේ හෝටලේක ඉන්නවාට වඩා බොහෝම සතුටෙන්. දවල් වරුවේ කැලේ දුර ගමන් පයින් යෑම, කඳු නැගීම, මාලු ඇල්ලීම වගේ කරන ඔවුන් හවසට ගිනිගොඩ වටේ වාඩි වෙලා බීම පොඩ්ඩකුත් කටගාගෙන නිදා ගන්නතුරු විහිලු කතා, සිංදු වගේ දේ කියලා සංතෝස වෙනවා. පවුල් කීපයක් අවට නැවතිලා ඉන්නවානම් හවසට සියල්ලෝ එක් රැස් වෙන එක සාමන්ය දෙයක්. මේ අය මීට ඉස්සර හඳුනන නොහඳුනන කම් මේ එක් රැස් වීමට අවහිරයක් වෙන්නෙ නෑ. ආංඩුවෙන් හරි ප්රාදේශීය සභා වලින් මෙහෙම කඳවුරු වලට ඉඩම් වෙන්කර තියෙන්නේ වැසිකිලි සහ වතුර පහසුකම් සමගයි. නමුත් නගර වලින් ඈතට යන්න යන්න මේ පහසුකම් අඩු වෙනවා. බොහොම පලාත්වල තමාම තමාට ඕනැ සේවා සපයාගන්න ඕනෑ.

අප්රේල් මාසේ පාස්කු ඉරිදා නිවාඩුව අල්ලලා අපේ විද්යාලය සති දෙකකට වහනවා. ඔස්ට්රේලියාවේ ගෙවන මගෙ අංතිම අප්රේල් නිවාඩුව නිසාත්, අපෙ ප්රාංතයේ අගනුවර වන බ්රිස්බන් නගරයේ ලාංකිකයෝ පවත්වන අවුරුදු උත්සවත් නිසා මම නිවාඩුවට බ්රිස්බන් යන්න තීරනේ කලා. මගෙ පරන යාලුවෙක්වෙන අබේසිංහට ටෙලිෆෝන් කරලා ඒ අයත් එක්ක දවස් කීපයක් නවතින්න සකසා ගත්තා. අබෙයි පවුලයි මෙහෙ පදිංචිවෙලා දැන් අවුරුදු ගානක්. මේ දෙන්නම මම ලංකාවෙදි හොඳට හඳුනනවා. අබේලා නුවර ආ වෙලාවට වැඩිහරියක් නවතින්නේ අපෙ ගෙදර. ඒ නිසාද කොහෙද ඒ අයත් එක්ක දවස් කීපයක් නවතින එක ඒ අයට වැඩි බරක් වෙයි කියලා මම හිතුවෙ නෑ.

…………………

“මේකයි රංජිත් අපෙ ප්ලෑන් එක…උඹට මහංසි නැත්තම්. හෙට රෑ ලලිත් සිල්වා උංගෙ ගෙදර ඩිනර් වලට එන්න කියලා තියෙනවා. උඹට මතකයි නේ ලලිත්? අර ගිය සැරේ එනකොට කොන්ඩේ දිගට වවාගෙන හිටපු එකා?”

“ඔව්… මොකද නැත්තේ?”

“හැබැයි ඌ දැන් තට්ටෙ ගාලා! අනිද්දා අපියි ලලිත්ලයි දවල් පික්නික් එක්කට යනවා ‘මෝටන් බේ’ මුහුදු වෙරලේ තැනකට. එනකොට ටිකක් රෑවෙයි. ඊට පස්සේ දවසේ, ඒ කියන්නේ ඉරිදා තමා අවුරුදු උත්සවේ… සමහරවිට ලංකාවේ පොරවල් තුන් හාර සීයක් එනවා කොල්ලෝ කුරුට්ටොත් එක්ක…”

“එච්චර ඉන්නවද ලංකාවේ කට්ටිය මෙහෙ?”

“අපෝ… දැන් දාස් ගානක් ඉන්නවා… එක එක සංගම් එහෙමත් තියෙනවා!”

“මචං මේසැරේ මං ආවේ නිදහසේ දවසක් දෙකක් ටිකක් එහෙ මෙහෙ ඇවිදලා බ්රිස්බන් ටවුම පැත්ත බලන්න මිස ලාංකික ජනතාව හමුවෙන්නවත් උඹලට කරදර කරන්නවත් නෙවෙයි!”

“අනේ මොන කරදරද රංජිත්” ඒ ලලිතගෙන්.

“ඔවු බං. අපි උඹලගෙ ගෙදර කොච්චර ඇවිත් තියෙනවද? දැන් අපි පොඩී අඩියක් ගහලා කාලා නිදාගමු”

…………………….

අබේලගෙ ගෙදර හිටි දවස් කීපෙදි මම පහුගිය අවුරුද්දටම නොකෑ තරම් බත් ගොඩක් කෑවා. අපි ගිය හැම තැනම පුරුදු විදිහේ ලාංකික ආගන්තුක සත්කාර ලැබුනා. ගමේදී අවුරුද්දකට කීපසැරයක්, ඒ කියන්නේ මගුල් ගෙදරකදී වගේ, ලැබෙන කෑම මට හැමදාම වගේ ලැබුනා. පසුගිය මාස දහඅටේ උදේට පාන් කෑලි කීපයක් බටර් වෙජිමයිට් ජෑම් වගේ දේත් එක්ක කාපු මට මුංඇට කිරිබත්, පිට්ටු වගේ දේ ලැබුනේ ඉස්සරවෙලා දවසේ රෑ ඉතුරු කෑම රත් කරලා ඒකයි, උදේ හදපු සම්බලේකුයි එක්ක. බීම අතිනුත් ඒ වගේ. බීර, විස්කි, වයින් වර්ග එහෙම නිතරම එලියට ආවා. අබේ විතරක් නෙවෙයි අබේගෙ යාලුවොත් ඒ වගේ.

කෑම බීම හැරුනුකොට කීපදෙනෙක් සමග දිගට සිංහලෙන් කතා කිරීමට ලැබීම ලොකු වාසනාවක් හැටියටයි මම දුටුවේ. මාස ගනන් කෙනෙකුගේ මුහුන බලා සිංහල කතා නොකල මට මේ සිංහල සතුටු සාමීචි කතා ගමනේ වැදගත් කොටසක් වුනා. ඒ වගේම මා ගිය ගෙවල් කීපේකින් සිංහල සිංදු විශාල ගනනක් මගේ ටෙලිෆෝනයට දා ගන්නට මට හැකිඋනා. මේවා බලනකොට හැම අතින්ම මගේ බ්රිස්බන් ගමන සාර්තකයි.

නමුත් බ්රිස්බන් ඇවිත් පස්වෙනි දවස වෙනකොට හිත ආයෙත් එක එක අතට දුවන්න පටන් ගත්තා. තව මාස හය හතකින් ලංකාවට ගියාම ඕන තරම් සිංහල කතා කරන්නයි සිංදු අහන්නයි පුලුවන් බව මම දන්නවා. මෙතරම් ඉස්තරම් කෑම බීම අපේ ලංකාවේ ගෙදරදී දිනපතා නොතිබුනත් එහෙ තම්බපු දෙල් වැනි දේවල අගය මට දැන් දැනෙනවා. මගේ පසුගිය මාස කීපේ ගත්ත සරල කෑමට බීමට ආසාවකුත් සමහරවිට මට ඇති වෙනවා. නමුත් අබේලගෙ ආගංතුක සත්කාරෙට නින්දාකරන්න මට හිත දුන්නෙ නෑ. එනිසා තමා මගෙ ඔස්ට්රේලියානු යාලුවෙක් වන පීටර්ගෙන් ආපු ටෙලිෆෝන් පනිවිඩෙන් මම විශාල සතුටක් ලැබුවේ.

“හායි රංජිත්. මට ජෙරී කිව්වා බ්රිස්බන් ආවා කියලා. තව හුඟක් දවස් ඉන්නවද?”

“හලෝ පීටර්… ඇවිත් දැන් දවස් පහක් විතර. පීටර් බ්රිස්බන් ඉඳන්ද මේ කතා කරන්නේ?”

“ඔවු… හැබැයි හෙට යනවා. මං හිතාගෙන හිටියේ ඩොල්බි ගිහින් රංජිත් හම්බුවෙලාම යන්න කියලා - ජෙරීට කතාකරනකම්”

“කොහෙද යන්නේ, ඩොල්බි හරහා?”

“වින්ටන් වල වැඩක් තියෙනවා මාස කීපෙක”

වින්ටන් කියන නගරේ තියෙන්නේ බ්රිස්බන් වල ඉඳන් කිලෝ මීටර් එකදාස් දෙසීයක් ඈත කියලා මම දැනගෙන හිටියා. ජනගහනය දාහකට වඩා අඩු උනත් ඒ පලාත බැටළු සහ ගව පාලනයට ප්රසිද්දයි. වින්ටන් ප්රසිද්ද වෙන්න තව කාරනා දෙකක් තියෙනවා - ඒ ඔස්ට්රේලියාවේ ක්වොන්ටස් ගුවන් සේවය පටන්ගත් තැන හැටියටත් ඔස්ට්රේලියාවේ විශාලම ඩයිනසෝර් පොසිල හමුවුන තැන හැටියටත්ය. මේ සේරටම වඩා මගේ හිතට ආවේ වින්ටන් වලට යන ලෑන්ඩ්ස්බරා මහා මාර්ගය දුවන්නේ ක්වීන්ස්ලංතයේ මද්ය බටහිර පලාතේ මහා තැනිතලා හරහා බවයි.

“මටත් ආසයි ඒ පලාත දකින්න” මේ වචන මගේ කටෙන් පිටවුනේ මගෙ මොලේ ඒ ගැන හිතන්නත් ඉස්සරයි.

“ඒකයි මම කතාකරේ … සමහරවිට රංජිත් කැමතිවෙයි කියලා ඒ පලාත දකින්න…එන්න පුලුවන්ද මාත් එක්ක? ගිහින් දවස් කීපයක් ඉඳලා බස් එකේ කෘෂිකර්ම විද්යාලෙට එන්න පුලුවන් නිවාඩු ඉවරවෙනකොට”

“මං ලඟ තියෙන්නේ ඇඳුම් කීපයක් විතරයි මෙහෙ…. ඔය වගේ ගමන්වලට තව දේ ඕන නේද?”

“මම යන්නේ ඩොල්බි හරහා - එහෙ තියෙන ඕන දෙයක් දාගන්න පුලුවන්. මම තනියම ගියාට දෙන්නෙකුට ඕන තරම් බඩු තියෙනවා ජීප් එකේ”

අංතිමට හෙට උදේ පීටර් මාව දාගන්න උදේ හය වෙනකොට එනවා කිව්වා. එදා රෑ අබේලට නෙසෑහෙන්න ස්තූති කරලා උදේ ගමනට මම ලෑස්තිඋනා.

………………………………..

මේ වගේ කෙලින් පාරක් මම කවදාවත් දැකලා නෑ. ඉස්සරහට පේනතෙක් මානේ, ක්ෂිතිජය දක්වා තාර පාර කෙලින් ඇදී ගියා. පිටිපස්ස බැලුවොත් ඒ පැත්තෙත් අහස පොලව මුනගැසෙනකම් පාර කෙලින්.

“පීටර් පොඩ්ඩක් නවත්තනවද? මේ වගේ තැනක් ලංකාවේ නෑ”

“මොන වගේ?”

“මේ කෙලින් පාර…. කන්දක් තියා ගහක් කොලක්වත් නැති තණබිම…’

‘හ්.ම්.. රට ලොකුවෙන්න ඕනෑ, තැනිතලා වෙන්න ඕනෑ. වැස්ස නැතිවෙන්න ඕනෑ… මෙහෙම පාරවල් හදන්න. වැස්ස තිබුනානම් පලාත මීට වැඩිය බොහෝම සාර වෙන්න තිබුනා”

පීටර් කාර් එක පාරෙන් ඈතට අයින් කරලා ඇන්ජිම නැවැත්තුවා, මට බැහැල බලන්න ආසා බව තේරිලා.

කාර් එකේ ඇන්ජිම නැවතුනාම මුලු රටම නිශ්ශබ්දයි. එක කුරුල්ලෙක්, සතෙක්, වාහනයක් තියා හුලංපොදක් වත් නෑ. මේ නිහඬතාවය මැද ඇන්ජිම සීතල වෙනකොට ඇහෙන ‘ටක් ටක්’ සද්දේ මට දැනුනේ පංසලේ බෙර ගහනවා වගේ සද්දෙට. මම කාර් එකෙන් බහින්න දොර ඇරියේ බොහෝම සීරුවෙන් - ඒ සද්ද පුලුවන් තරම් අඩු කරන්නයි. පීටර් මා දිහා බැලුවේ හිනාමුසු මුහුනින්.

“කිසි සද්දයක් නෑ නේද?”

මම වටේටම හැරිලා බැලුවා - කොයි පැත්ත බැලුවත් පෙනුනේ ලා කහපාට අඩි දෙකක් විතර උස වියලීගිය තණකොල විතරයි. පලසක් එලුවා වගේ මට පෙනුන ලෝකෙම එක පාටයි - කලු ඉරක් වගේ තිබුන තාර පාර ඇරුනකොට. වාහන දෙකකට පලල ඇති තාර පාර කිසිම ඇදක් වංගුවක් නැතුව ඉස්සරහටත් පිටිපස්සටත් ක්ෂිතිජය දක්වා ගියේ යෝදයෙක් පොලවේ ඇඳපු සරල රේකාවක් වගේ. පාරේ කලු පාටත් තණකොල වල කහ පාටත් ඇරුනුකොට තිබුනු එකම පාට අහසේ නිල් පාටයි. එක වලාකුලක්වත් අහසේ නෑ.

පුදුම නිසංසල තැනක්.

“මෙතන හඳ ඇති රෑක ඉන්න තිබුනොත්….” මට ඉබේම කියවුනා.

පීටර් මා දිහා විනාඩියක් බලාගෙන හිටියා.

“නමය වෙනකොට හඳ පායනවා …. දහය විතර වෙනකොට හොඳටම උඩට ඇවිත් …. ඕනනම් රෑ ඉන්න පුලුවන් මෙතන…. රංජිත්ට ඕනනම්”

“ප්ලීස් පීටර්… පුලුවන් නම් නියමයි. ආයෙ කවදා මේ වගේ චාන්ස් එකක් එයිද”

“රයිට්…. එහෙනම් ලෑස්ති වෙමු”

පීටර් ජීප් එක පාරෙන් තව ටිකක් ඈතට ගත්තා.

“නැත්නම් පාරේ වාහනයක් ආවොත් නවත්වනවා අපිට කරදරයක්ද බලන්න… කරුවල වෙන්න ඉස්සර අපිට ඕන දේ ලෑස්ති කරගමු”

පීටර් ජීප් එකෙන් ස්ලීපිං බෑග් දෙකක් එලියට අරගෙන තණකොල අතරට විසිකලා. ඊ ලඟට අකුලලා තිබුන පුටු දෙකකුයි පොඩි මේසෙකුයි එලියට ගත්තා. මගෙමුත් උදව් ඉල්ලාගෙන කෑම බීම අඩුක් කරලා තියෙන පෙට්ටියකුයි පොඩි ගෑස් ලිපකුයි ඊ ලඟට එලියට ගත්තා.

“පීටර් ගමන් යන්නේ ගෙදරම ජීප් එකේ දාගෙනද?”

“මේ මගෙ සාමාන්ය ගමනට සූදානම් වීම. රස්සාව කරන්න සමහරවිට මට මාසයක් විතර එක දිගට මිනිස් වාසයෙන් ඈත්වෙලා ඉන්න වෙනවා. කෑම බීම විතරක් නෙවෙයි වැඩිපුර ඩීසල්, කඹ, විංචි වැනි දේත් නිතරම ජීප් එකේ. සැටලයිට් ෆෝන් එහෙම තිබුනට මොකවත් කරදරයක් උනොත් තමංගෙ උත්සාහෙන් තමයි ගැලවෙන්න පුලුවන් වෙන්නේ…. ඔෆිස් වැඩ වගේ නෙවෙයි රංජිත් භූවිද්යාව ෆීල්ඩ් එකේ. අපි ඉර බහින්න ඉස්සර වැඩ ටික ඉවර කරමු”

“මම කූඩාරම එලියට ගන්නද?”

“හ්ම්…? ආ…. මම කූඩාරම් පාවිච්චි කරන්නෙ නෑ. මේ ස්ලීපිං බෑග් හොඳටම ඇති -වහින්නෙ නැති නිසා. රෑට ටිකක් සීතලයි; තණකොල ටිකක පාගලා ස්ලීපිං බෑග් එක එතන දාන. එතකොට නොපාගපු තණකොල බිත්ති වගේ හුලඟ සැර අඩු කරනවා…. ටොයිලට් ඕනනම් ටිකක් නිදන තැනින් ඈතට යන්න. සීරියස් එකක් නම් අර ශවල අරන් ගිහින් කලදේ වහල දාන්න පස් වලින්….. ආයෙ මොනවද….හ්ම්…. සිගරට් බොනවනම් කොට විසි කරන්න එපා - බිම දාලා පාගලා ගල් කැටේකට යට කරන්න. මේ තණබිම ගිනිගත්තොත් රංජිත් බාබකියු තමයි!”

“උදේට පින්න වැටෙනවද?”

“ඔවු… හැබැයි ඒ තරම් තද නෑ, මේ දවස්වල… මං ලෑස්ති කරන කෑම කනවද?”

“ඕන එකක් කනවා…. බීම වීදුරුවක් ඕනැද? මං ලඟ තියෙනවා”

“අපි කනකොට ගමු”

පීටර් ගෑස් ලිප පත්තුකරලා ඉස්ස්සරවෙලාම පොඩි බාජනේක වතුර උනු කලා. ඒ බාජනේටම නූඩ්ල් පැකට් එකකුත් දාලා බාජනේ මූඩියෙන් වහලා මේසේ උඩ තිබ්බා . ඊ ලඟට පීටර් කෑම පෙට්ටියෙන් ගත් සොසේජ් කීපෙකුයි, පෙති ගහපු ලූනු ටිකකුයි සාස්පානකට දාලා බදින්න පටන් ගත්තා. බාගෙට බැදෙනකොට වතුරෙන් බේරාගත් නූඩ්ල්ස් එකතු කරා. මේ සේරමකලේ වචනයක් වත් කතා නොකර. ටකරන් පිඟන් දෙකකුයි පිහි ගෑරුප්පු එහෙමයි මේසේ උඩින් තියලා මං දිහා බැලුවා.

“මොනවද බොන්න තියෙන්නෙ?”

“විස්කි විතරයි”

“ඔය පෙට්ටියෙන් වීදුරු දෙකක් ගන්නවද? කෑම ලෑස්තියි”

අපි දෙන්නා මේසේ දෙපැත්තේ පුටුවල වාඩි වෙලා පලවෙනි විස්කි උගුර බීපු ගමන් පීටර් ලෑස්ති කරපු කෑම පිගන් දෙකට ගානට බෙදලා දැම්මා.

“රස්නේ පිටින් කන්න ඕනෑ…. සීතල උනොත් තෙල් හයි වෙනවා”

මේ මුලු කෑම ලෑස්ති කිරීමේ වැඩ මාලාවට ගියේ විනාඩි විස්සයි. පීටර්ට මේක හොඳටම පුරුදු බව පැහැදිලියි.

ඉර බැහැගෙන යනකොට අපි කාලා ඉවරයි. පීටර් ආයෙත් වතුර ටිකක් උනුකරලා කෝපි හැදුවා. ඉතුරු උනුවතුරෙන් මම පිඟන් සාස්පාන් සේදුවා.

“ඕවා පිහදාන්න ඕන නෑ. නිකං බිම දාපුවම කූඹි ඇවිත් හොඳටම සුද්ද කරයි… ඒක විහිලුවක් නෙවෙයි, මම හැමදාම කරන්නේ එහෙමයි”

අපි පුටු දෙකේ වාඩි වෙලා බටහිර අහස දිහා බලාගෙන කෝපියි විස්කියි තොලගෑවා. වැඩි කතාවක් තිබුනෙ නෑ. අනික් අතට කතාවක් ඕනත් නෑ කියලා මට හිතුනේ. ලෝකේ දෙකොනකින් ආ යාලුවෝ දෙන්නෙක් කිසි මිනිස් වාසයක් නැති ‘කාන්තාරෙක’ එකට උයාගෙන කාපු බීපු එකත් වචන නැති අදහස් හුවමාරුවක් නොවේද කියලා මට හිතුනා.

………………………..

හරිම හොඳ දවසක නිමාව!

පීටර් නිදාගන්න ගියැයින් පසුවත් මම එතනම නැවතිලා හිටියා මේ අමුතු ලෝකේ තේරුම් ගන්න උත්සාහ කරන්න. වෙන කොහෙද මට පුලුවන් වෙන්නේ තරු එලියෙන් පමනක් අලෝකවූ තැනිතලා ලෝකෙක මැද වාඩිවෙලා ඉන්න. අවට ගහක් කොලක්, සතෙක් සර්පයෙක් තියා පලඟැටියෙක්වත් නෑ අපිට පුරුදු ලෝකෙ වගේ. ඇලක් දොලක්, කන්දක් බෑවුමක් තියා මිනිස්සු හදපු වැටක්වත් නෑ. මට පුදුම පාලුවක් දැනුනා.

කලිසමේ සාක්කුවෙන් මම ටෙලිෆෝන් එක ගත්තේ වෙලාව බලන්නයි. එතකොට මට හිතුනා සිංදුවක් අහන්න, මගේ කාංසිය මකන්නත් එක්ක. හෙඩ්ෆෝන් කනට දාගෙන මම සිංදුවක් නොතෝරා සිංදු තෝරාගැනීම ෆෝනයටම පවරාදී පුටුවේ තවත් පස්සට ඇලවුනා. කනට සම්පූර්න පාලනය බාර දෙන්න මම ඇස්දෙකත් වහගත්තා.

හෙමින් පටන්ගත් ආරම්භක සංගීතෙන් මගෙ ඇඟ වෙවුලලා ගියා. “ටනනා.. ටනනා… ටනනා… ටනනා….” මේ විවියන් බොරැලැස්ස කාන්ති වක්වැල්ලත් එක්ක ගැයූ “දුර පෙනෙන තැනිතලා” සිංදුවයි. පැද්දෙන තොටිල්ලක් සිහියට නංවන ඒ සිංදුව මට මතක් කරන්නේ මාරා ගස් අතරින් පෙරී එන සඳ එලියෙන් නෑවුනු වැවක් කිට්ටුව ඇති තණ පිට්ටෙනියකි. සිංදුවේ වචන කුමක් කිව්වත් ඒ අනුරාදපුරෙයි මම දැන් ඉන්නා තැනයි අතර වෙනසක් මට දැනෙන්නේ නෑ. කොයි තරම් උචිතද මේ සිංදුව දැන් ඇහෙන එක? කොයි තරම් උචිතද බ්රිස්බන් ගිහින් කොපි කරගත්ත සිංදුවලින් එකක් මේක වීම. කොයි තරම් උචිතද මම නොනිදා සිංදුවක් අහන්න හිතු එක….

සමහරවිට ලාංකික මම ඔස්ට්රේලියාවේ කෑම්පිං ගියත් හිත නිදාගන්නේ අනුරාදපුරේ වෙන්න ඇති.