දෙගංමෝය
“මම ආවෙ නැත්තම් වැඩිය හොඳයි, මට හිතෙන්නේ”
ගමා මට මෙහෙම කිව්වේ පාටිය තියෙන සෙනසුරාදා උදේ.
“ඒක හරි වැඩක්නේ! මගෙ ගෙදර, මගෙ කසාදේ ගැන, මගෙ සන්තෝසෙට තියෙන පාටියට, මගෙ මස්සිනා එන්නෙ නෑ?”
“එහෙම එකක් නෙවෙයි ජයන්ත. ජයන්තයි ලතා නංගියි බොහොම සන්තෝසෙන් ඉන්නේ කියලා මම දන්නවා. ඒක මට ලොකු සැනසීමක්. නමුත් අද හවස කන්තෝරුවේ අය ඉස්සරවෙලාම ජයන්තලාගෙ ගෙදරට එන්නේ. අපි දෙන්නම දන්නවා ඒ අය මා ගැන කියන දේ”.
ගමාගෙ හිනහව නැත්තම් මම හිතන්න ඉඩ තිබුනා මිනිහට තරහ ගිහිල්ලා කියලා. මට ලොකුම කනගාටුව උනේ එයා කියන එකේ ඇත්තක් තියෙනවා.
“ගමාට මතක ඇතිනේ මමත් ඒ අය වගේම කෙනෙක් කියලා…ඒ දවස් වල”
ගමා ඒකට නෑ කිව්වෙ නෑ. මිනිහව හොඳට දන්න නිසා මිසක් නැත්තම් ඒකට මගෙ හිත නරක් වෙන්න ඉඩ තිබුනා. නමුත් මම දන්නවා ගමා බොරු කියලා අනිකුන්ගෙ පිට කසන්නෙ නෑ.
“ඒ දවස්වල ජයන්තත් මට ගෙදරට කතා කරේ නෑ. කන්තෝරුවේ අනික් අය තාමත් ඉන්නේ ජයන්ත ඒ දවස් වල හිටි හැටියට. ජයන්තයි, ඒ අයයි, විශේශයෙන්ම මගෙ නංගියි ගැන හිතලා තමා නොඑන්ට තීරනේ කලේ…ඕනෑනම් මම ගාල්ලේ ගියා කියන්ට…”
“නෑ. කොහෙවත් ගියා කියන්න ඕනැ නෑ. මං කියන්නම් ගමාට එන්ට බෑ කියලා හිතුනා කියලා”
“ඒක වඩා හොඳයි…. කන්ට මොනවත් ඉතුරුවෙලා තියෙනවද බලන්ට මම හෙට ආවට කමක් නැද්ද?”
ලතයි මමයි බැන්ඳට පස්සේ කන්තෝරුවේ අයට දෙන පලවෙනි පාටිය මේක. ගමා කංතෝරුවේ අනික් අයත් එක්ක කිට්ටු සම්බංදයක් තිබුනෙ නෑ - ඇත්තටම කිව්වොත් කිසිම සම්බංදයක් තිබුනෙ නෑ. හුඟක් අය ගමා අමු ගොඩයෙක් කියලා කොන් කරලා හිටියේ. මමත් ගමාගෙ හැබෑ ගතිගුන දැනගත්තේ හුනුගල්පොත්තාවල ෆීල්ඩ් කෑම්ප් එකේ හිටපු කාලේ. මේ පාටියට එයා නොඑන්න තීරනය කලේ ආවොත් අනික් අයට අපහසුවක් දැනෙයි කියලා, විශේශයෙන්ම එයා ගෘහමූලිකාවගෙ අයියා හැටියට. ගමා, මගෙ මස්සිනාගෙ හැටි එහෙමයි.
“එහෙනං දවල්ට කෑමට එනවද? බීර එකක් වත් ඉතුරු වෙලා තියෙයිද බලමු”
පාටියට බඩු ගන්න එකයි ගෙදර අස්කරන එකයි මටයි බාර වෙලා තිබුනේ; කෑම බීම ලෑස්ති කරලා අමුත්තන්ට සංග්රහ කරන එක ලතාට. හවසට ඕනෑ වෙන බඩු, විශේශයෙන්ම බීම වර්ග, ගන්නත් ගෙදර ගෙනෙන්නත් උදව්වට මම ඇලෙක්ස් අල්ල ගත්තා. අපෙ මගුල දවසේ දෙවෙනි මනමාලයා හැටියට හිටිය ඇලෙක්ස් විතරයි මුලු කන්තෝරුවෙන්ම මීට ඉස්සර අපෙ ගෙදර ඇවිත් තියෙන්නේ. කන්තෝරුවේ උන් කොච්චර කෑ ගැහුවත් මේ පාටිය ලෑස්ති කරන්න මාසයක් විතර ගියා.
ගිය මාසේ අපෙ මගුල් උත්සවේට ආවේ පවුල් දෙකේ අය විතරයි. බොහොම චාම්, ගමේ විදිහට අපි හුනුගල්පොත්තාවල මගුල ගත්තා. කොළඹින් ගියේ මගෙ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි ඇරුනුකොට ඇලෙක්ස් විතරයි. අපෙ පුදුමෙට ලතාලගෙ පැත්තෙන් හිටියේ ලතාගෙ දෙමව්පියොයි ගමයි ගමාගෙ ග්රාමනිලදාරී නැංදයි, අපෙ කෑම්ප් එක තියපු ගෙදර අයිති ‘පුංචි මාමයි’ ඒ නැන්දයි විතරයි. මම හිතුවේ ගමේ සේරම ඉඳී කියලා. ගමා කියපු හැටියට “ගම් පලාතුත් දැන් වෙනස්”.
“මචං රෑට කන්නේ ඉඳිආප්ප. ලතා හිතුවේ ගෙදර හදමු කියලා හැබැයි මම බොහෝම අමාරුවෙන් ඇලිස්ලගෙ ගෙදරට ඕඩරේ දුන්නා. ඕව ගෙදර හදන්න ගියොත් ලතා මුලු හවසම කුස්සියේ”
“ඒක හොඳයි. අපෙ උන්ට, වැඩියෙන්ම කන්තෝරුවේ කෙල්ලන්ට, ලතා දකිනකම් ඉවසන්න බෑ”
“ඒ ඉරිසියාව!”
“නොදකින්! උඹ පුලුවන් නම් මස්සිනාගෙන් ඔලුව ඉදිමෙනවට තෙල් ටිකක් ඉල්ල ගනින්”
“ඒක නෙවෙයි. මොනවද බයිට් එකට උඹලට ඕන?”
“චිප්ස්, මුරුක්කු වගේ ටිකක් ගත්තොත් ඇති බං”
අපි බඩු අරන් ගෙදර යනකොට දවල් දොලහට කිට්ටුයි. ලතයි රුක්මනී නංගියි එලියේ වාඩි වෙලා තේ බොනවා. අපිත් කෑම එහෙම කුස්සියේ තියලා බීම බෝතල් කාමරෙයි ෆ්රිජ් එකෙයි තියලා තේ බොන්න වාඩි උනා.
“ඇලෙක්ස්, බොහොම ස්තූතියි ජයන්තට උදව් කරාට. මේ රුක්මනී ගෙනාපු කේක් කෑල්ලක් කන්ට තේ එක්ක”
“උදව් කරා නෙවෙයි ලතා මම තමා ඔක්කොම වැඩ කරේ. ජයන්ත නිකන් මහත්තයා වගේ ඉස්සරැහින් ගියා. මට එයාට ‘හාමු මහත්තයා’ කියලා කතා කරන්නත් හිතුනා”
“අයියා වෙනස්වෙලා නෑ එහෙනං බැන්දා කියලා. ලතා ටිකක් පරෙස්සමෙන්…” ඒ රුක්මනීගෙ කටින්.
“හේ… හේ…මගෙ පැත්තට කතා කරන්න කවුරුත් නැද්ද?”
ලලිතා හිනාවෙලා මට කේක් පිඟාන ඇල්ලුවා වචනයක්වත් නොකියා. යමක් කියනවට වැඩිය ප්රබල දෙයක් එතන උනේ කියලා මට හිතුනා.
“කීයටද කන්තෝරුවේ උන් එන්නේ?
“මං කිව්වේ මචං පහට විතර එන්න කියල. සමහරු එනකොට හය හමාරවත් වෙයි”
“ඇලෙක්ස් පුලුවන් නම් පහට එන්ට, අපිට උදව්වටත් එක්ක” ලතා දන්නවා මං ඇලෙක්ස්ට කැමතියි කියලා.
“බලන්නං”
“මොකවත් කාල යන්ට”
“නෑ ලතා. රෑටත් මෙහෙන් නේ කන්නේ”
ඇලෙක්ස් ගියාට පස්සේ අපි හවසට කරන්න තියෙන දේ ගැන කතා කරා, දවල්ට කන ගමන්.
“මං කිව්වා ඉඳිආප්ප හත හමාරට එවන්ට කියලා. ඒවට ගෙවලා තියෙන්නේ. කරි දෙක තුන ඇරුනකොට තව මොනවත් ලෑස්ති කරන්න තියෙනවද?”
“ලතා මෙන්න කට්ලට් හදන්න ලෑස්ති කරලා”
“ඒක කරදර වැඩක්නේද?”
“මම කැමතිනෑ අපෙ ගෙදර ඇවිත් කඩේ කෑම විතරක් කනවට…අනික බොන අයට හපන්ට යමක් තියෙන්ට ඕනැනේ”
“බොන්නන්ට බංබු ගහගන්න කියමු අක්කා; හැබැයි කට්ලට් හදලා අපි දෙන්නා විතරක් හරි කමු” රුක්මනී ලතා එක්ක හොඳටම යාලුවෙලා වගේ.
“කුකුල්මස් උයන්නේ නංගිනේ. අපි දෙන්නට පුලුවන් මේක කරගන්ට. ජයන්ත පුටු එහෙම එලියට දාලා එලියේ ලයිට් එහෙම බලන්ට”
“ඔවු, හාමු මහත්තයා අක්කගෙයි මගෙයි වැඩ වලට උදැල්ල නොදා ගියොත් සේරටම හොදයි”
……..
“ලතා මේ තමා නිහාල් ජයතිස්ස, මේ ශාමලී, සීතා, සනත් ඔක්කොම අපෙ කන්තෝරුවේ. සරත් සිල්වා ඇලෙක්ස් එක්ක වැඩ කරන්නේ”
“මං අහල තියෙනවා; සන්තෝසයි දකින්ට ලැබුන එක. එන්ට ඇතුලට…” ලතාගෙ මූනේ හිනාව අඩුවක් නෑ.
“ආයුබෝවන්”, “හලෝ”, “තෑන්ක්යූ”, “ඇති ජයන්තට හිතුනා අපිට අඬගහන්න”, “වෙල්කම් ටු කලම්බෝ…”. එක එක්කනා පොඩි පොඩි තෑගිත් ගෙනත්. “බොහොම ස්තුතියි” ලතා ඒවා පරෙස්සමෙන් ගිහින් මේසේ උඩ අඩුක් කරා.
රුක්මනී බීම බංදේසියකුත් අරගෙන ඉස්සරහට ආවම අඳුන්නලා දීම ආයෙත් පටන් ගත්තා. ටිකින් ටික ආපු අය කංඩායම් දෙකකට බෙදුනා, පිරිමියෝ එලියේ තිබුන පුටු වලටත් ගෑනු ඇතුලේ සාලෙටත්. ඇලෙක්ස් විතරක් තේ කෝපෙකුත් අතේ තියාගෙන කන්ංඩායම් දෙක අතරේ එහාට මෙහාට ගියා.
ශාමලී ලතා දිහා බලාගෙන හිටියා.
“ලතාට මෙහෙ පාලුත් ඇති නේද? කවුරුත් නෑ නේ ජයන්ත වැඩට ගියාම”
“නෑ, ඕන තරම් කරන්ට දේ තියෙනවා. තවම මේ ගෙදරට ඇවිත් මාසෙයයි නේ”
“ගෙදර වැඩ විතරක්ම කරලා බෑනේ” ඒ සීතගෙන්.
“සමහරවිට රුක්මනී නංගිත් එක්ක එහෙ මෙහෙ යනවා”
“හොඳයි මේ දවස්වල වැස්ස නැති එක. වැස්ස කාලෙට ගෙදරින් එලියට බහින්න හිතෙන්නෙ නෑ මට නම්”
“එහෙම දවසට ලතා අක්කා කවි ලියනවා!”
“සිංහලෙන්?”
“ඔවු. ඒක මම පොඩිකාලේ ඉඳන් කරපු දෙයක්” ලතා හිනා වෙනවා, ටිකක් ලැජ්ජාවෙන් වගේ.
“රුක්මනී මොකද කරන්නේ?”
“රිසල්ට්ස් එනකං ඉන්නේ. ඊට පස්සේ බලනවා මොනවත් කරන්න”
“හේ සීතා දැක්කද මිනිස්ට්රි එකේ සොයිය ගත්ත කාරෙක?”
“මං දැක්කා එදා එකේ මිලී යනවා”
“නෑ!”
කතා එක එක පැත්තට ඇදිලා යනකොට ලතා හෙමින්ම නැගිටලා එලියේ වාඩිවෙලා ඉන්න අය ලඟට ගියා.
“ජයන්ත පරෙස්සමෙන්! ඔන්න ලොක්කා එනවා!” ඒ ඇලෙක්ස්.
“ඇලෙක්ස්ලට හපන්න මොනවත් තියෙනවද බලන්ට ආවේ. අර ඇතුලේ අයට මොනවත් බොන්ට දෙන්නෙ නැද්ද ජයන්ත?”
“අර කෝක්, ලෙමනේඩ් එහෙම තියෙනවානේද ෆ්රිජ් එකේ?”
“ඇයි ඒ අයට අරක්කු බීර හොඳ නැද්ද?”
“ඒ අය ඒවා බොන්නෙ නෑ” සනත් හිනා වෙනවා.
“ඒ අයගෙන් ඇහුවද?” ලතාගෙ හිනාව අඩු උනේ නෑ. සනත්ගෙ කට වැහුනා. නිහාල් බිම බලා ගත්තා. ඇලෙක්ස් නැගිට්ටා “මම අහලා බලන්නං” කියාගෙන. මම බාගෙට හිනාවෙලා “මොකවත් හපමුද?” කිව්වා.
“මම ගේන්නං” කියලා ලතා ඇතුලට ගියා.
“ජයන්ත උඹෙ ගෑනී බොනවද?”
“මං දන්න තරමින් නෑ”
“ඒක හරි කෙලියක්නෙ. කෙල්ලන්ට බොන්න දීලා අපිටත් එක්ක ගෝරි වැටෙයි”
“ඇයි බං උමුත් ඇඩල්ට්ස් නේ”
“ගෑනු බොන එක හරි නෑ කියලා මම නම් හිතන්නේ”
ඇලෙක්ස් එතකොට එලියට ආවා කට්ලට් දීසියක් අරන්. ඒක ටීපෝව උඩ තියලා ඇරල තිබුන බීර බෝතලයක් අරන් ආපහු ගේ ඇතුලට ගියා කිසි දෙයක් නොකියා. එයා විනාඩි පහකින් විතර එලියට ඇවිත් වාඩි උනේ අලුත් බීර බෝතලේකුත් අතේ තියාගෙන.
සනත් තව අරක්කු ටිකක් බිව්වට ඊට පස්සේ වැඩිය කතා කරේ නෑ. හැබැයි හොඳට ගේ ඇතුලෙන් එන හිනහවෙයි කතාවෙයි සද්දෙට කන් දුන්නා. කෑමට කතා කරනකම් අපි අපෙ දෙපාර්තමේන්තුවේ වැඩයි එක එක මිනිසුන්ගෙ ඇදයි ගැන කතා කරා. ගමාගෙ නමත් යන්තන් උඩට ඇවිත් වහාම පහලට ගියා.
රෑ කෑම ඉතාම සාර්තක උනා. ලතයි රුක්මනියි ලෑස්ති කරපු කෑම හොඳටම නැගලා ගියා. වැඩිපුරම ලතාගෙ පොල් සම්බලෙයි බිත්තර කිරි හොද්දයි සෑහෙන්න වර්නනා උනා.
කෑමටත් බීමටත් වැඩිය මගෙ හිතට අල්ලලා ගියේ කෑම වෙලාවේ කතා බතා. එක්කෙනෙක් වත් තනියම කතාවෙන් තම ආධිපත්ය පතුරුවන්න බැලුවෙ නෑ. එක්කෙනෙක් වත් අනික් අයට සබාව බාර දීලා අයින් උනෙත් නෑ. පිරිමි වැඩ ගැනයි බීම ගැනයිද ගෑනු ඇඳුම් ගැනයි බබාලා ගැනයිද වගේ කතාව සීමා උනෙත් නෑ. රස්සාව, ගේදොර, දේශපාලනේ, අලුත් චිත්රපටි, පොත පත, සංගීතය වගේ බොහොම දේ ගැන කතා කරා.
අන්තිමට කෝපි කෝපයක් බොනකොට රෑ එකොලහත් පහුවෙලා. සෑහෙන්ට අරක්කු බීර බීලා තිබුනත් කිසි කෙනෙක් ඒක ලෝකෙට පෙන්නුවෙ නෑ. ඒ වගේම කෝපි බොන්න ඉස්සර මේසේ අස්කරන්න හුඟක් අය උදව් උනා. මේක සාමාන්යෙන් වෙන දෙයක් නෙවෙයි.
ඉස්සරවෙලා කතා කරගෙන තිබුන ටැක්සි දෙකේ කට්ටිය ගියාම ඉතුරු උනේ රුක්මනියි අපි දෙන්නයි විතරයි. රුක්මනිත් “මට නිදි මතයි…ගුඩ් නයිට්” කියලා පස්සා කාමරේට ගියා. ලතයි මමයි ඉස්සරහ සාලේ එක ලඟ පුටු දෙකක වාඩි වෙලා ලයිට් නිමලා අඳුරු මිදුල දිහා බලාගෙන හිටියා.
“ලතා…අද නියමෙට වැඩේ කෙරුනා…මම කවදාවත් හිතපු නැති තරම් හොඳට”
“මිනිස්සු ඇත්තටම ජයන්ත හිතන තරම් නරක නෑ … සමහරවිට නරකට හැසිරෙනවා වෙන්ට පුලුවන් නමුත් ඒ පරිසරයේ හැටියට තමයි ඒක වැඩිපුරම වෙන්නේ”
“නෑ කෙල්ලේ. අපි දෙන්නා හැදුනේ බොහොම වෙනස් පරිසරවල. නමුත් අද අපි හැසිරුනේ එකම විදිහට, හරියට එකම පරිසරේ හැදුනා වගේ”
“ජයන්ත හිතන්ට කන්දකින් පහලට ගලන ගඟක් තැනිතලාවේ ගලන ගඟකට එකතු වෙන එක ගැන. සංදියෙන් පස්සේ මොන පරිසරයක් හරහා ගියත් ආයෙ වතුර වෙන්කරන්ට බෑ - මොකද ඒක එක ගඟක් නිසා”
මෙහෙම කියලා ලතා මගෙ අත අල්ලාගෙන හෙමින් කවියක් කිව්වා.
“දෙගංමෝය පසු කරලා අලුත් නිම්න කපා පසේ
දුවන ගඟේ ආරම්භය ජලයට දැන් මයාසේ
පිටාර ගැලුවත් නොහැකියි ආපසු යන්නට මෙලෙසේ
හැඩගැහෙන්න දිවිගෙවන්න අලුත් නාළිකා ඔස්සේ”
මට එතකොට දැනුනා අපේ අනාගත ගමනට නාළිකා ගැඹුරටම කැපිලා ඇති බව - මට ආපසු යන්නට කිසි අශාවක් නෑ. මේ ඉන්න විදිහට මුලු අනාගතේම ගෙවන්න පුලුවන් උනොත් මට ඒ ඇති කියලා හිතුනා.