නායකයෙක්
පොඩි කාලේ මම ක්‍රීඩාවට කිසිම දක්ශකමක් පෙන්වුවේ නෑ. දුවන්න, පනින්න, බෝලයක් පස්සේ එලවන්න, බෝලේකට පිත්තකින් ගහන්න වැනි වැඩ වලට මගෙ පංතියේ අනික් අය මට වඩා හුඟක් ඉහලින් හිටියේ. මේ නිසා පංතියේ කංඩායමකට බැඳෙන්න ආරාධනයක් මට ලැබුනේ ඉතාම කලාතුරකින් - ඒකත් ළමයි මදි උනොත් විතරයි. නමුත් මේ අඩුපාඩුව නිසා මට යාලුවෝ අඩුඋනේ නෑ. සමහරවිට පොත පතේ වැඩට මම ටිකක් හොඳ නිසා වෙන්න ඇති. ක්‍රීඩාවලට දක්ශ නොවුනත් ඒවට ඇති ආදරය, ආශාව අඩු නැතුව මට පිහිටලා තිබුනා. ක්‍රීඩා වාර්තා, ක්‍රීඩකයන්ගේ වතගොත ගැන මට පැහැදිලි මතකයක් තිබුනා. ඒ නිසාමද කොහෙද ඕනෑම තරඟයක් බලන්න මාත් එක්ක යන්න මගෙ යාලුවෝ කැමැති උනා.
මගේ පලවෙනි ආදරය තිබුනේ පාපංදු ක්‍රීඩාවටයි. පාපංදු ක්‍රීඩාවේ මම දුටුව හැටියට ක්‍රීඩකයාගෙ සහජ දක්ශතාවයි පුහුනුවෙන් ලබන නිපුනත්වයයි විතරයි වැදගත් උනේ. අනික් ක්‍රීඩාවල වගේ නෙවෙයි පාපංදු වල ක්‍රීඩා උපකරනවල හොඳ නරකේ බලපෑම බොහෝම අඩුයි. කංඩායමකට බැඳෙන්න සහජයෙන් දක්ශ නොවුනත් මම පුහුනුවීම් වලට සහභාගි උනා, යම් දවසක කංඩායමකට එකතුවෙන්න හැකි වෙයි කියන බලාපොරොත්තුවෙන්. හයේ හතේ පංති වලදී මම බොහෝම මහංසි උනා ඉස්කෝලේ වයස 14න් පහල කංඩායමට තේරෙන්න. නමුත් ඒ දවස්වල මට වඩා පාපංදුට දක්ශ අය හුඟක් හිටියා මගේම පංතියෙත්. දවල් කෑම වෙලාවේ යාලුවොත් එක්ක සෙල්ලම් කරනවා ඇරුනුකොට මම සහභාගි උන ලොකුම එක අංතර් නිවාස තරඟයයි. අපි ඒකත් පැරදුනේ මගෙ නොහැකියාව නිසා කියලා සමහරු කිව්වා. මේ නිසාමයි මම අපෙ නාගරික සභා කොට්ඨාසයේ පිට්ටෙනියේ පාපංදු ගහන්න පටන්ගත්තේ. ඒක උනෙත් අහම්බෙන් වගේ.
දවසක් එහා ගෙදර නිශාන් මට කතා කරා “අපෙ පිට්ටෙනියේ” තියෙන පාපංදු තරඟයක් බලන්න යන්න. අවුරුදු උත්සව කාලෙට ඒ පිට්ටෙනියේ නිතරම මිනිස්සු ඉන්නවා එක එක සෙල්ලම් පුරුදු වෙවී. අපි ගිය දවසේ තිබුනේ අපේ කොට්ඨාසෙයි අල්ලපු එකයි අතර පලවෙනි වටයේ පාපංදු තරඟයක්. කංඩායම් හයක් සභගිවෙලා අවුරුද්දට දවස් දෙකකට ඉස්සර අංතිම තරඟය තියන්නයි සංවිධායකයෝ බලාපොරොත්තු උනේ. අපේ කංඩායමේ නායකයා උනේ “සුමනෙ අයියා”යි.
පහල හංදියේ “සුමනෙ අයියා” ටිකක් ප්‍රසිද්ධ කෙනෙක්. දැන් වයස පනහක් විතර උනත් මිනිහා හරිම කඩිසරයි, සෞඛ්‍ය සම්පන්නයි. කොට කලිසමකුත් බැනියමකුත් ඇඳගෙන මේස් නැතුව රබර් සපත්තු දෙකක් දාගෙන උදේට හවසට බොහොම වේගෙන් පාරේ ඇවිදිනවා පලාතේ සේරම වගේ දැකලා තියෙන දෙයක්. පොඩි කාලේ තමාගෙ ඉස්කෝලෙටත් පස්සේ දිස්තිරික්ක කංඩායම් වලටත් පාපංදු සෙල්ලම් කල මහකන්දේ ගෙදර සුමනසේකර ගැන පත්තරවලත් කීප සැරයක් ලියවිලා තිබුනා. පොතේ නම මොකක් උනත් එයාගෙන් පාපංදු ක්‍රීඩාව ඉගෙනගන්න පොඩි ළමයි පවා එයාට කතා කරන්නේ “සුමනෙ අයියා” කියලා. අපිට ඒ දවස්වල හිටපු ලොකුම වීරයෙක් තමා සුමනෙ අයියා.
එදා තරඟෙන් පස්සේ නිශානයයි මමයි දිනපු අපෙ කංඩායම වටකරගෙන අප්පුඩි ගහන කට්ටියට එකතු උනා. කවුද මනුස්සයෙක්, සමහරවිට ලොක්කෙක් වෙන්න ඇති, නැගිටලා කතාවකුත් පැවැත්තුවා, සුමනෙ අයියා ඇතුලු කංඩායමට සුබ පතලා, ස්තුති කරලා. කතාවේ අංතිමට අලුතෙන් පුහුනුවීම් වලට එන්න කැමති අයට ආරාධනා කලා ඇවිත් නම් දෙන්න. නිශානුයි මමයි නම් දෙන පෝලිමේ ඉස්සරැහින්ම හිටියා.
‘ගමේ’ කංඩායමක් එක්ක පුහුනුවෙන්න ඉස්සර අපි දෙන්නටම ගෙදරින් අවසර ගන්න ඕනෑ. මගෙ තාත්තා වැඩිය කැමැති නැති උනත් අම්මා නිසා මට අවසර ලැබුනා. දෙන්නා අතර කතාව බොහොම ඉක්මනට ඉවරයි.
“ඔය හංදියේ රස්තියාදු කාරයොත් එක්ක සෙල්ලමට යවන එක හොඳද?”
“නිකම්ම රස්තියාදුවට පුරුදු වෙනවට වඩා හොඳයි නේද මොනවා හරි සෙල්ලමක්වත් කරනවානම්”
“සෙල්ලම නම් හොඳයි - මිනිස්සුයි විස්වාස නැත්තේ….”
“කවදා හරි ඒ විදිහේ මිනිස්සු එක්කත් ඉන්න වෙනවනේ - දැම්මම අඳුනාගත්තොත් මොකද”
පුහුනු කරුවෙක් හැටියට සුමනෙ අයියා ඉස්කෝලේ අයට වැඩිය සියගුනයක් හොඳයි.
“මට සේරම කියන්නේ සුමනෙ අයියා කියලා. මේ ළමයිත් එහෙම කිව්වට කමක් නෑ….අපි මෙතෙන්ට ඇවිත් ඉන්නේ පාපංදු ගැන ඉගෙනගන්න නෙවෙයි…(අලුතෙන් බැඳුන ළමයි හොරෙන් වට පිට බලනවා)…ඒකට පොත් තියෙනවා….කියවන්න පුලුවන් අයට (හිනා)…මට මෙතෙන්දී පුලුවන් එකම දේ හොඳ පාපංදු ක්‍රීඩකයෙකුත් දුර්වල ක්‍රීඩකයෙකුත් අතර වෙනස පෙන්නලා දෙන්න… ඊට පස්සේ වෙනදේ මේ ළමයි අතේ….දැන් සේරම පිට්ටෙනිය වටේ දෙසැරයක් දුවන වෙලාව…….ඇහුනෙ නැද්ද මම කියපු දේ?....දැන්!”
අපෙ පලමුවෙනි පුහුනුවීම පටංගත්තේ මේ විදිහට. ඉස්කෝලේ පුහුනුකරුවා නම් ඉස්සරවෙලාම සහභාගිවන සෑම ළමයටම තමා ගැන යමක් කියන්න ආරාධනා කලා. මේ නිසා විනාඩි දහයක් ඇතුලත අපි සේරම එකිනෙකා හඳුනාගත්තා. සුමනෙ අයියා අපෙ නම් ඇහුවෙත් නෑ අපිගැන යමක් දැනගන්නවත් ඕනැ කමක් පෙන්නුවෙත් නෑ. එයා දැක්කේ පාපංදු පුහුනුවට ආ ළමයි කට්ටියක් - එක එක්කෙනා වෙන්කරලා හඳුනාගන්න එයාට ඕනෑ උනේ නෑ.
“අනික් කංඩායමට බෝලේ නොදෙන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමාම බෝලේ හසුරුවනවා, අනික තමාගෙ පිලේ කෙනෙකුට බෝලේ දෙනවා….මේ දෙකෙන් කරන්නේ කෝකද කියලා තීරණේ කරන්නේ කවුද?...තමාමයි….ඒ තීරනේ ගන්නේ මොන මොන දේ සලකා බලලද?..”
පාපංදු වලට විතරක් නෙවෙයි ජීවිතේ හුඟාක් දේ වලට අදාලයි සුමනෙ අයියා අපිට කියපු දේ. කවදාවත් නොහිතපු හැටියට මම පාපංදු ගැන හිතන්න පටංගත්තා. මීට ඉස්සර මට ලැබුන උපදෙස් සම්පූර්නයෙන්ම වෙනස්…”පාස් කරන්න…වීරසිංහට….අරයා කවර් කරන්න….පස්සට….පස්සට….”. මේවා මට ඒ තරම් උදව් උනේ නෑ. පුහුනුකරුවා කියනදේ අහගෙන ඉන්නයි, කංඩායමේ අනික් අයගෙ උපදෙස් අහන්නයි සෙල්ලම් කරන්නයි මට බෑ. කිසිම සන්තෝසෙකුත් නෑ ඒ විදිහට සෙල්ලම් කරලා. සුමනෙ අයියා කිව්වේ සෙල්ලම් කරන වෙලාවේ පිටින් උපදෙස් ගන්න ඕනැනම් ඒකෙන් පෙනෙන්නේ තවම පුහුනුවෙලා මදි කියලයි. “උපදෙස් දෙන මිනිහට මේක නොතේරෙනවනම් එයා පුහුනුකාරයෙක් නෙවෙයි” කියලා සුමනෙ අයියා හෙමින් කිව්වා වැඩිය කාටවත් ඇහෙන්නෙ නැතිවෙන්න.
“බෝලේ අනික් කංඩායම ලඟනම් අපි මොකද කරන්නේ?....ඔවු… අපි ඒක අපේ පැත්තට උදුරා ගන්න ඕනෑ….මේක කියන්න ලේසියි නමුත් කරන්න ඊට වඩා ටිකක් අමාරුයි….ඇයි අමාරු? ඒ කංඩායමේ අය දන්නවා අපි කරන්න යන්නේ මොකද්ද කියලා. ඒ වගේම බොහෝවිට අපි ඒක කරන්න බලන්නේ කොහොමද කියලත් දන්නවා….මතක තියාගන්න…විරුද්ධ පැත්තේ කංඩායමත් අපෙ කට්ටිය වගේමයි - ඒ අයත් කරන්නේ අපි කරන්නයන දේමයි……ඒ අය අපිට වඩා මෝඩයි, එහෙම නැත්තම් අදක්ශයි කියලා හිතනවානම් මේ කංඩායමෙන් අස්වෙන්න හොඳ කාලේ, තමංගෙ කංඩායමේ අනික් අය ගැන සලකලා….ඇඟට මහංසියි කියලා උත්සාහය අඩුකරන්න හිතනවානම්…ඒකත් අස්වෙන්න පෙරනිමිත්තක්…”
“දිනන්න පුලුවන් කියලා හිතලා මදි….දිනන බව දැනගනයි තරඟේ පටන්ගන්නේ….”
මාස කීපෙකින් මගෙ පාපංදු ක්‍රීඩාවත් සෑහෙන්න දියුනු උනා. නමුත් ඉස්කෝලේ කංඩායමකට බැඳෙන්න තිබුන ආසාව ඒ තරමින්ම වගේ පිරිහුනා. ආයෙත් “වීරසිංහට පාස් කරන්න” වගේ දේ අහන්න කිසි පිරියක් නෑ. ඉස්සරට වැඩිය ඇඟත් ශක්තිමත්ව වැඩුනත් ඉස්කෝලෙදි පාඩමට මිස ක්‍රීඩාවට කාලේ මිඩංගු කරේ නෑ.
නිශානුත් මමත් සුමනෙ අයියගෙ දෙවනි කංඩායමේ තරඟ දෙකකට සහභාගි උනා. වැඩිකල් යන්න ඉස්සර අපි දෙන්නටම පලවෙනි කංඩායමට බැඳෙන්න පුලුවන්වෙයි කියලා අපි දෙන්නම හිතුවා. අපෙ ක්‍රීඩාව දියුනුවීම වගේම කීප දෙනෙක් කංඩායමෙන් අස්වීම මේකට මුල් උනා. මේ දවස්වලමයි මට අන්සාර්ගෙ කංඩායමට බැඳෙන්න ආරාධනයක් ආවේ.
අන්සාර් අපෙ ඉස්කෝලේදී හඳුනාගත්ත කෙනෙක්. අපිට අවුරුදු කීපයක් ඉහලින් හිටියත් හොඳ පාපංදු කාරයෙක් නිසා ඉස්කෝලේ පුහුනුවීම් වලදී මට හමුවෙලා තිබුනා. දහවෙනි වසරෙන් පස්සේ එයාගෙ තාත්තගෙ සාප්පුවේ වැඩ පටංගන්න ඉස්කෝලෙන් අස් උනත් තවම ඉස්කෝලේ පාපංදු තරඟ බලන්න එනවා. දැන් අන්සාරුත් වෙන නගරසභා කොට්ඨාසයකින් කංඩායමක් හදාගෙන අපි සහභාගිවෙන තරඟාවලියටම තරඟ කරන්නයි ලෑස්ති වෙන්නේ. අපෙ දෙවනි කංඩායමේ සෙල්ලම් කරනවා දැකලයි මිනිහා මට කතා කරේ. නමුත් සුමනෙ අයියගෙ කංඩායමෙන් කිසිම දවසක මම අස්වෙයි කියලා මට හිතන්නත් අමාරුයි.
මම පලවෙනි කංඩායමේ සෙල්ලම්කල දෙවනි තරඟෙන් පස්සේ සුමනෙ අයියගෙ ගෙදර දැකගන්න අවස්තාවක් ලැබුනා. එදා පාපංදු බෝල දාගත්ත මල්ලයි ගෝල් දැලුයි ගෙනියන්න වෙනදා වගේ ත්‍රීවීල් වාහනේ ආවෙ නෑ. ඒ නිසා නිශානුයි මමයි ඒවා ගෙනියන්න උදව් කරන්න කැමති උනා.
සුමනෙ අයියා හිටියේ අපෙ ගෙවල් වලට හැතැක්මක් විතර ඈතින්. හවස් වේගන එන නිසා අපි ආම්පන්න ටික සුමනෙ අයියගෙ ගෙදර ඉස්සරහ ඉස්තෝප්පුවේ තියලා යන්නයි ලෑස්ති උනේ.
“නෑ…නෑ….උදව් කරාට තේ එකක් වත් බොන්න ඕනෑ….කුමාරී….කුමාරී….කෝ කොල්ලා ආවෙ නැද්ද?...තේ දෙකක්….” කියාගෙන සුමනෙ අයියා ගේ ඇතුලට ගියා.
අපි දෙන්නා පුටු දෙකක වාඩි වෙලා මූනෙන් මූන බල බලා හිටියා. විනාඩි පහකට විතර පස්සේ අපෙ අම්මගෙ වයසේ කෙනෙක් එලියට ඇවිත් තේ කෝප්ප දෙකක් අපිට ඇල්ලුවා. අපි අපෙ හොඳම හැසිරීම පෙන්නලා “බොහොම් ස්තුතියි” කිව්වට ඒ උන්දැගෙන් කිසිම හිනහවක් වත් නොපෙන්නා කෙලින්ම ගේ ඇතුලට ගියා.
අපෙ හිස් තේ කෝප්ප කනප්පුව උඩ තියෙන වෙලාවෙයි සුමනෙ අයියා එලියට ආවේ. සරමකුයි බැනියමකුයි ඇඳගෙන අතේ වීදුරුවකුත් ඇරගෙන ඇවිත් හාන්සි පුටුවේ දිගා උනා. වීදුරුවේ මොනවද කියලා දැනගන්න අමාරු නෑ - මම දන්නවා අරක්කු සුවඳ.
“මිනිහෙකුගේ ගෙදරත් පාපංදු තරඟයක් වගේ….අනික් අයට ඕනෑ විදිහට දිව්වොත් පැරැදෙනවා….පරදින්න වටිනවා….දිනන එක ගැනයි අපි නිතරම හිතන්න ඕනෑ”
මට හිතුනේ සුමනෙ අයියා ගේ ඇතුලෙදි වීදුරු එකක් දෙකක් ඉවර කරලයි එන්න ඇත්තේ. අපිත් යන්න හොඳ වෙලාව කියලා පුටුවෙන් නැගිටිනකොට සුමනෙ අයියගෙ පුතා ආවා පාර පැත්තේ ඉඳන්.
“උඹ කොහෙද මෙච්චර වෙලා…?”
“මැච් එකක් තිබුනා”
“දිනුවද?”
“නෑ….”
සුමනෙ අයියගෙ මූනෙන් පෙනුනේ තරහ පාටක්.
“කොහෙද ඉතින් තම්බියගෙ ටීම් එකේ උන් දිනන්නේ? උඹට මං කොච්චර කිව්වද අපෙත් එක්ක ගහන්න. මේ දෙන්නා අදත් දිනලා ඉන්නේ”
“අනේ ඔය කොල්ලට කැගහන්නේ මොකටද?” සුමනෙ අයියගෙ පවුලගෙ කටහඬ ගේ ඇතුලෙන්.
“ඔවු ඉතින් තම්බියෝ මට වඩා හොඳයි නේ…මුන් දෙන්නම එකයි…”
අපි දෙන්නටම ඉවසන්න බෑ ලජ්ජාව. සුනිල් මහකන්ද අපිට වඩා දක්ශයි. අපෙ ඉස්කෝලෙට ගියෙ නැතත් අපි එයා ගැන දන්නවා. දැන් අන්සාර්ගෙ කංඩායමේ.
නිශානුයි මායි “අපි එන්නං - ඉස්තූතියි” මතුරලා වහාම පාරට බැස්සා. ගෙදර එනකම් අපි වචනයක්වත් කතා කරේ නැ. මම ඇඟ සෝදාගෙන මිදුලේ එහෙ මෙහෙ ඇවිද්දා අද මොකද්ද සිද්ද උනේ කියලා හිත හිතා. සුමනෙ අයියා එක සැරේම වෙනස් උනේ කොහොමද? දක්ශ පාපංදු කාරයෙක්. පුදුමාකර පුහුනුකරුවෙක්. නමුත් ගෙදරට යකෙක්. මිදුලේ බංකුවේ වාඩිවෙලා ඉන්න්කොටයි අම්මා එලියට ආවේ.
“මොකද? කුස්සිය පැත්තේ ආවෙ නැත්තේ කන්න මොකවත් හොයාගෙන? මම මුරුක්කු හැදුවා. ඇයි පැරදුනාද?”
අම්මට මුලු හවස සිද්දියම මම කිව්වේ ඇහේ කඳුලු පුරවාගෙන.
“මං සුමනෙ අයියා දෙවි කෙනෙක් වගේ හිතුවේ. කිසි කෙනෙකුට බැරි විදිහට මට ඉගැන්නුවා. පාපංදු විතරක් නෙවෙයි, ජීවත්වෙන හැටි ගැනත්…”
අම්මා මගෙ ඔලුව උඩ අතක් තිබ්බා.
“ජීවිතේ ගැන තව පාඩමක් අද හවස ලැබුනේ…එක දෙයකින් දක්ශයි කියලා කෙනෙක් හැම දෙයින්ම දක්ශ වෙන්නෙ නෑ. ඒක අමතක උනාම තමයි අපි එක එකාට බාල්දු වෙන්නේ කිසිම හේතුවක් නැතුව. හොඳ ගායකයෙක්, නලුවෙක්, විද්‍යාඥයෙක් උන පලියට කෙනෙක් හොඳ ක්‍රීඩකයෙක් හරි දේශපාලකයෙක් හරි වෙන්නෙ නෑ. අපි මිම්මක් ගන්නවනම් මනින්නේ මොකද්ද කියලා බලලා ඒකට හරි මාපකයක් ගන්න ඕනෑ…..මම දැන් විද්‍යා ගුරුවරියක් වගේ කතා කරනවා කියලා හිතෙනවානම් ඒ ඇයි කියලා දන්නවද?”
“…අම්මා විද්‍යා ගුරුවරියක් නිසා….?”
“හරියට හරි….දැන් ඕන නම් අන්සාර්ට කතා කරාට කමක් නෑ. නමුත් අන්සාරුත් අනික් කට්ටිය වගේමයි - සාමන්‍ය මනුස්සයෙක්. පුතත්, මමත්, තාත්තත්, සුමනෙ අයියත්, අන්සාරුත් ඔක්කොම එකයි - සමහර දේ වලට හොඳයි, අනික් දේ වලට හොඳ මදි”
එතකොට තමයි මට ඉස්සරවෙලාම හිනහවක් ආවේ මුලු හවස් වරුවෙම.
“අම්මා මුරුකු හදන්න දක්ශද නැද්ද බලමුද?”