නැකැත්

‘සිංහල අළුත් අවුරුදු නැකැත් ලිත - 2020’

අන්තර්ජාලේ මේ වගේ දේත් තියෙයි කියලා අපි කවදාවත් හිතුවද?

ඈපා පඤ්චාංග ලිත තමා අපිට ඒ දවස්වල් තිබුනේ. ඈපා මහත්තයා කවුද කියලා දන්නෙ නැති වුනාට එයාගෙ ලිත අපිට හොඳට මතකයි. ඒක එක පිටුවක ලිතක් නෙවෙයි - සම්පූර්ණ පොතක්! අවුරුදු කාලෙට පත්තර වලින්, කඩ සාප්පු වලින් එහෙම තනි පිටුවේ ලිත් ලැබුන බව ඇත්ත. නමුත් ඒවා විශාලයි - බිතියේ එල්ලලා තමා ඒවා කියෙව්වේ. නමුත් ඈපා මහත්තයගෙ පොත හැමදාම තිබුනේ අප්පච්චිගෙ ලියන මේසේ උඩ.

ලිත කියෙව්වේ ගෙදර වැඩිහිටියෝ. ඒ අය තමා අළුත් අවුරුදු චාරිත්ර වල වටිනාකම දන්නේ. පොඩිකාලේ අපිට වැදගත්වුනේ ‘ආහාර අනුභව’ නැකත විතරයි.

අද 2020 අවුරුද්දේ අප්රේල් 13.

අළුත් අවුරුදු උදාව අද අපරභාග 8.23ට. ඒ කියන්නේ, අද රෑ අට හමාරට විතර තමා අවුරුද්ද පටන් ගන්නේ. නමුත් ඒ නැකතට ඉස්සර අපිට තව ඉතාම වැදගත් නැකතක් තියෙනවා - ඒ අද දවල් 1.59ට පටන් ගෙන අද රෑ 2.47 (ඇත්තටම හෙට පාන්දර) දක්වා තියෙන ‘පුණ්ය කාලයයි’.

මම පොඩිකාලේ හිතුවේ ‘පුණ්ය කාලය’ කිව්වොත් පින් අතේ වැඩ පමණක් කරන කාලයක් කියලා. පංසල් යෑමයි, මල් පූජා කිරීමයි විතරයි ඒ වෙලාවේ කළ හැක්කේ කියලා. හැබැයි ඒක ඒ තරම්ම සීමා සහිත වුනේ නෑ, හේතු කීපයක් නිසා.

පළවෙනි දේ - පුණ්ය කාලේ පටන්ගන්න ඉස්සර කෑම කන්න ඕන. අද දවල් 1.59ට ඉස්සර කාලා, ආයෙ කන්නේ අළුත් අවුරුද්දේ - රෑ 10.43ට. පැය නමයකට කිට්ටු කාලයක් කෑම නෑ! හැබැයි පොඩි කාලේ වුනත් මේක අපිට අමාරු වුනේ නෑ. අළුත් අවුරුද්ද සම්බන්ධයෙන් ‘කෑම’ කියන වචනේ තේරුම එදා කුස්සියේ ලෑස්ති කරපු කෑම මිස ගෙදර තියෙන ඕනම කෑමක් නෙවෙයි. දවස් කීපෙකට ඉස්සර සෑදූ කවුම්, කොකිස්, වැලිතලප, අළුවා වගේම කෙසෙල් ගෙඩි වගේ දේ මේ අනුව ‘කෑම’ නෙවෙයි - ජීවිතේ බේරගන්න අර්ථ විග්රහයක්! [මේකේ ඇත්ත නැත්ත මට නිසැකව කියන්න බෑ. මට මතකයි අයියගෙ ගෙදර හිටපු අවුරුදු දවසක උදේම නැගිටලා කොම්පියුටර් වැඩක් කරන අතරේ මම කෙසෙල් ගෙඩියක් කෑවා. ඒකේ ලෙල්ල විසිකරන්න අමතක වෙලා මේසේ උඩ; අක්කා උදේ ඒක දැකලා කිව්වේ “කෑවා නේද 7.37ට කිරි උතුරන්න ඉස්සර?” කියලා. ඒ කියන්නේ ඊට ඉස්සර මොකවත් කන්න හොඳ නැද්ද? පොඩිකාලේ අපිට වෙනම නීති තිබුනද? මේවට උත්තර මාලඟ නෑ]

දෙවෙනියට - අපේ මිදුලෙයි, ගේ වටෙයි වත්තෙයි සෙල්ලම් වලට කිසිම බාධාවක් නෑ. ඒ වගේම, වැඩිහිටියෝ අපිට කෑ ගැහුවෙත් නෑ. අවුරුදු කාලෙට අප් ගෙදර සෙනග ගොඩයි; ඈත පලාත්වල වැඩකරන සහෝදර සහෝදරියෝ, ඔවුන්ගෙ දරුවෝ, ගමේ නෑදෑයෝ… මේ අය අවුරුදු කාලෙට අපෙ ගෙදර. වෙනදා බෝලයක් උඩදාලා අල්ලන්නවත් කෙනෙක් නැතිවුනාට අවුරුද්දට ක්රිකට් මැච් ගහන්න තරම් සෙනග ඉන්නවා.

තුන්වෙනි විශේෂ දේ - රතිඤ්ඤ. අවුරුද්දේ වෙන කවදාවත් නැති රතිඤ්ඤ වලට අවුරුද්දට අපෙ ගෙදරට එන්න අවසර තියෙනවා. සද්දේ වගේම තමා ලඟ රතිඤ්ඤ කීයක් තියෙනවද කියන එකත් වැදගත්. මං හිතන්නේ ඒවගෙ අයිතියෙන් අපි සෑහෙන තෘප්තියක් ලැබුවා - සමහරවිට/සමහර අය රතිඤ්ඤ සද්දෙන් ලැබුන ආස්වාදයටත් වැඩිය. [මම අද කියෙව්වා රතිඤ්ඤ කියන වචනේ ඇවිත් තියෙන්නේ පෘතුගීසි ratinha (මී පැටියා) වචනෙන් කියලා. අපෙ කාලේ ‘අලිඩොං’ රතිඤ්ඤ වල කිසි පෘතුගීසි ගතියක් මම දැක්කෙ නෑ].

අද පුණ්ය කාලය ඇතුළත තව ලොකු නැකැත් දෙකක් තියෙනවා; රෑ 10.05ට කෑම පිසීමත් 10.43ට ආහාර අනුභවයත් අපිට වැදගත්. කෑම පිසීම දෙස බලාගෙන් සිටීමටත් අනුභවයට සම්පූණෙන්ම සහභාගි වීමටත් මම එක පයින්ම කැමතියි.

මේ අවුරුද්දේ කෑම පිසීමට විනාඩි 40කට අඩු කාලයක් ලැබෙන්නේ; 10.05 සිට 10.43 දක්වා. කෑම පිසින්නන්ට ඉක්මනින් ඒ ක්රියාව කරන්න වෙනවා. නමුත් මේ හදිස්සිය නිසාම වෙන්න ඇති කෑම පිසීමටත් අනුභවයටත් ඇත්තේ ‘සුදු ඇඳුමෙන් සැරසී, නැගෙනහිර බලා’ කියලා - පිසීමයි කෑමයි එක පිම්මේ ඉවර කරන්න පුළුවන්.

මගෙ පොඩිකාලේ මතක මීට හාත්පසින්ම වෙනස්. කෑම පිසීමේ චාරිත්රය දැක්කද කියලත් මට මතක නෑ. සමහරවිට ඒ මගේ මතකේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. කෑම අනුභවය ගැන කිසිම අඩුපාඩුවක් නෑ. පෙළගැහිලා අපි අප්පච්චී ලඟට ගියේ කෑම කටක් කවාගන්න. ඒක ගෙදර ඉස්සරහ ඉස්තෝප්පුවේ නැතිනම් කෑම මේසේ අසල සිද්ධවුනා කියලයි මගේ මතක. සාමාන්යෙන් මේ චාරිත්ර සිද්ධවුනේ දවල් වරුවේ කියලයි මගේ මතකය. රෑ 10.43ට කිරිබත් කාලා මට පුරුදු නෑ.

ඒ චාරිත්ර අනුව පළමු කෑම කටක් කෑමට පස්සේ අපි තව කටවල් සීයක් කන්න පෙළඹුනා. වෙනදා නැති එක කැමක් මට හොඳටම මතකයි - ඒ තමා ‘හත්මාළුව’. සාමාන්ය ‘ගමේ’ එළවලු වගේම වෙනදා නොකන කහට ගෙඩිත් මේ වෑංජනේට එකතුවුනා. ලා කහට ගෙඩි ගහක් යටින් ඇහිඳගෙන ආව්වේ අපි වගේ පොඩි අය. මට මතක විදිහට තිබ්බටු, වට්ටක්කා රිකිලි, ‘දේසි’ අල (ස්වදේශී අල කියලා අපි ඒවට කිව්වේ), හාල්මැස්සෝ දැම්මා කියලා මතකයි. ආයෙ දැම්මේ මොනවද කියලා මට මතක නෑ. නමුත් ඒ හත් මාළුවේ රස නම් තාම අමතක වෙලා නෑ, කෑවේ අවුරුද්දකට එක සැරයක් වුනත්!

මේ කිසිම දෙයක් මේ අවුරුද්දේ වෙන්නෙ නැතිවෙයි. රෑ 10.43ට කෑම අනුභව චාරිත්ර ඉවර වෙලා තවත් මොනවත් කන්න පුළුවන්ද? රෑ කෑම යන්තම් වෙලා ගියත් මැසිවිලි කිවූ අපේ අය රෑ දහයට කොහොමද කන්නේ?

ඇත්තටම අද10.05ට කිරි උතුරවයිද? ගෘහමූලිකයා 10.43ට ගෙදර අයට බත් කට බැගින් කවයිද? ඒ වගේම දවල් 1.50යේ පටන් පින් අතේ කටයුතු වල නිරතවෙයිද?

මට අද මේවා ප්රශ්න නෙවෙයි. කෝවිඩ්-19 නිරෝධායනය සඳහා හෝටල් කාමරයක ලගින මට 2020 අළුත් අවුරුද්ද ඇත්තේ මගෙ මතකෙයි අන්තර්ජාලෙයි පමණයි.