නිරීක්ෂකයෝ

“මචං අර චාලි සමරකෝන් උඹලට ලෙක්චර් කරනවද?”

“ඔවු - දැන් මාස කීපයක්; එංගලන්තෙන් ආපු දවස්වල ඉඳන්. ඇයි උඹ අඳුරනවද?”

“ඕකා මගෙ ක්ලාස්මේට්”

“එහෙනං ඌ කොහොමද ලෙක්චරර් වුනේ උඹ තවම ඩිග්රියට ගාටනකොට?”

“ඌ එංගලන්තේ ගියා ඒ ලෙවල් ඉවරවුන ගමන් - දැන් පී. එච්. ඩී. තීසිස් එකත් සබ්මිට් කරලා ඔය ඇවිත් ඉන්නේ. අපිට තවම පලවෙනි ඩිග්රිය වත් බැරිවුනාට…. කොහෙද, විබහගේ කරලා කොච්චර කාලයක් කුරුවල්වුනාද මෙතෙන්ට එන්න!”

“උඹට අමතකයි වගේ ෆේල් වෙනවා”

“එහෙම වුනත්? අවුරුදු හතර පහක පරතරයක්!”

මම මේ කතාවලට කන්දීගෙන ඉන්නේ පේරාදෙනිය විශ්වවිද්යාලේ කැන්ටිමේ. විශ්රාම අරගෙන කාලයක් ගියාට මගේ මොලේ තවම විශරාම ගිහින් නෑ. ඒකේ පෝෂණයට උදව්වක් හැටියට බුද්ධිමතුන්ගේ හෝ අනාගත පරපුරේ සාකච්චා වලට කන්දීමට හොඳ තැනක් මේක. එක ප්ලේන්ටී එකෙන් පැයකට වැඩිය කයිවාරු අහගෙන ඉන්න පුළුවන්, පොතක් කියවන මුවාවෙන්.

“ඒක නං එහෙමයි. හැබැයි මිනිහගෙ ලෙක්චර්ස් ඉන්ටරස්ටින් - හොඳ විග්රහ ඉදිරිපත් කරනවා එංගලන්තෙයි ලංකාවයි සසඳලා”

“ඒ දවස්වලත් චාලි කතාවට දක්ශයි. අපි කිව්වේ ‘වාචාලි’ කියලා හැබැයි ඔය රස්සාවට නම් හරියනවා ඇති”

මේසේ වටේ හිටපු අනික් තුන්දෙනාගෙන් එක කෙල්ලෙක් ඒ වෙලාවේ සාකච්චාවට ඉස්සරවෙලාම එක්වුනා.

“එංගලන්තේ වෙන දේ ඇත්තටම මෙහාට හරියනවද? අදාලද?”

“කොහෙ උනත් ආර්ථික මූලධර්ම එකයි - ඒවගෙ ක්රියාත්මක කිරීම විතරයි වෙනස්”

“රටේ ආර්ථිකේ හැදෙන්නෙත් නැතිවෙන්නෙත් මූලධර්ම වලට වඩා ක්රියාත්මක කිරීමෙදි නේද? ඔයා කියන්නේ ලංකාවත් එංගලන්තෙත් අතර තියෙන ක්රියාත්මක වෙනස්කම් වැදගත් නැද්ද?”

ඒකට තව කොල්ලෙක් හොට දැම්මා.

“රටක ආර්ථිකයට කෙලවෙන්න හේතු බොහොමයක් තියෙනවා. අර කතාවක් තියෙනවා නේද ‘යන්නේ කොහෙද කියලා නොදන්න කෙනෙකුට කොයි පාරේ ගියත් වෙනසක් නෑ’ කියලා? ඔය මූලධර්ම, ක්රියාත්මක කිරීම වගේ දේ වැදගත් වෙන්නේ ආර්ථික ගමනේ අරමුණ තේරෙන කෙනෙකුට විතරයි ….. නේද? අපෙ අයියලාට… සමාවෙන්න අපෙ අයියලාට සහ අක්කලාට ඕන තමංගෙ බඩ වඩාගන්න විතරයි. එතෙන්ට යන පාරනම් ඒ අය හොඳටම දන්නවා!”

මේසේ ලඟ හිටපු අනික් කෙල්ල මේකට විරුද්දවුනා.

“ඔයා ඔය දූෂණ මාතෘකාව ඇදගන්නේ ආංඩුවට බනින්ට විතරයි. අපි සේරම දන්නවා ආංඩුවේ හොරු ඉන්නවා කියලා - විරුද්ධ පක්ෂෙත් හොරු ඉන්නවා; ඒ වගේම අනික් තැන්වලත් හොරු ඉන්නවා. හැබැයි අපි අපිම තමයි ඒ දේශපාලන හොරු තෝරාගෙන කර උඩ තියාගෙන ඉන්නේ…. දැන් මෙතන කතාව හරියට අපි ලංකාවේ අනික් අයට වඩා වෙනස් කියලා; ඊට වැඩිය සුදනෝ කියලා හිතාගෙන වගේ. ඒක බොරු උඬගුකමක් කියලා මම නම් හිතන්නේ”

ඒකෙන් පොඩි නිහඬ තාවයක් පැතුරුනා. ඒත් විනාඩියකට අඩු.

“ඒක නම් ඇත්ත තමයි! අපි ඕන දෙයක් කියන්නේ… අපි විවාදෙක පැත්තක් ගන්නේ… දන්න තරමින් ඒ පැත්ත හරි කියන විශ්වාසෙට. ‘විශ්වාසය’ තමා මෙතන වැදගත් වචනේ. ඇත්තටම ඒ පැත්ත හරිද නැද්ද කියන එක අදාල නෑ…. ගැඹුරට හිතලා බැලුවොත්, ඇත්තටම ‘හරි’ කියලා පැත්තක් තියෙනවද නැද්ද කියලාවත් නොබලයි අපි විවාදෙක පැත්තක් ගන්නේ ….”

“උඹ පිලිගන්නවද අඩුම ගානේ සමහර අවස්තාවල ඇත්තටම ‘හරි’ කියලා පැත්තක් තියෙනවා කියලා? ‘හරි’ කියන විකල්පයට හැම අවස්ථාවෙම පිළිපදින්නාට කැමති විදිහට මායිම් නියම කරන්න හැකියි කියලා හිතනවානම් උඹලට පිස්සු! ‘උදේට ඉර පායනවා’ කියන එක කොයි විදිහට බැලුවත් වැරදි වෙන්නෙ නෑ! ටිකක් සයන්ස් ඉගෙන ගත්තොත් ඔහොම දේ කියන්නෙ නෑ!”

“ඔයාගෙ හිතේ ලෝකේ ඔක්කම ඇත්ත තියෙන්නේ විද්යාවේ කියලා…. මං හිතන්නේ ඔයා හිතන විදිහ වැරදියි - ඔයාගෙ ඔය අදහස, මං ඉස්සරවෙලා කිව්වා වගේ, ඔයා දන්න තරමින් ඒක විශ්වාස කරනවා! ඒකෙන් ඇත්ත බොරු කියලා ඔප්පු වෙන්නෙ නෑ!”

“නියමයි! මාර ආගියුමන්ට් එක!... ඒක ඔයා විශ්වාස කරන ස්ථාවරයද?”

කීප දෙනෙක් හයියෙන් හිනාවුනා. ටිකින් ටික කතාව ආයෙත් පලවෙනි මාතෘකාවට හැරුනා.

“වාචාලි සෑම් මොකද එංගලන්තේ ගැන කියන්නේ?”

“මට හිතෙන්නේ හොඳට හිතට අල්ලලා! ඒ කියන්නේ ‘සුද්දට දනගහන’ විදිහේ හිතට ඇල්ලීමක් නෙවෙයි - ඇත්තටම ලස්සන රටතොට, මාර නිර්මාණ - පරන/අළුත් දෙකේම, හොඳ ආචාරශීලී මිනිස්සු - මොන රටක/ජාතියක සංකෘතියකට නෑකම් කිව්වත්…. වැරැද්දක් කිව්වේ බොහොම කලාතුරකින්!”

“එයාට ලංකාව එපා වෙලාද? එහෙනං ආපහු යන්නයි තියෙන්නේ!”

එක කෙල්ලෙක් මෙහෙම කිව්වේ බිම බලාගෙන, බොහොම හෙමින්. ලඟම වාඩිවෙලා හිටිය අනික් කෙල්ල ඒ වගේම හෙමින් මැතුරුවේ “එයාට ලංකාව එපා වුනත් ඔයාට එයා ඕන වෙලා වගේ!”.

“කට වහපන්!” කෙල්ලෝ දෙන්නගෙ වචන වත් එයින් නැගුනු හිනා වත් කොල්ලන්ට ඇහුනෙ/දැනුනෙ නෑ.

“චාලි ගමේ හැදිච්ච හොඳ ගමේ කොල්ලෙක් - නම කුල්ට් වුනාට. අර කාලයක් තිබුනානේ ළමයින්ට ඉංග්රීසි නම් දුන්න. චාලි ඉස්කෝලෙදිත් පොතේ පතේ වැඩට හරි දක්ශයි; ඒ වගේම ක්රීඩාවට අංතිමයි! බැට් එකක් බෝලයක් අල්ලන්නවත් දන්නෙ නෑ!”

“’ලොවෙන් එකෙක් එක දේකට වෙයි අංතිම’ කියලා කියමනකුත් තියෙන්නේ ඒ වගේ මිනිස්සු නිසා - මිනිහා මොකද කියන්නේ එංගලන්තෙයි ලංකාවයි අතරේ තියෙන ලොකුම වෙනස් කියලා?”

“එහෙම වෙනස් ඇදලා ගන්නෙ නෑ, තේමාවක් හැටියට… අනික, මිනිහා ‘එංගලන්තේ ජනතාව’ කියන්නේ සුද්දන්ට විතරක් නෙවෙයි - ඒ රටේ පුරවැසි සේරටම; ආසියාවෙන්, අප්රිකාවෙන්, ඇමෙරිකා පැත්තෙන් - කොහෙන් ආවත්. එහෙම බලනකොට ඒ රට ඇතුලේ තියෙන වෙනස්කම් ලොකුයි; පොදුවේ නිගමන ගන්න අමාරුයි කියලා මිනිහාමයි කියන්නේ”

“ඉතින් සුද්දෝ කියන්නෙත් එක ගෝත්රයක් නෙවෙයිනේ …. බ්රිතාන්යේ ජන කොටස් කීයක්ද, වේල්ස්, එංගලන්තේ, ස්කොට්ලන්තේ, උතුරු අයර්ලංතේ වගෙ; වෙන වෙන භාශා එහෙමත් තියෙනවා. ඒ ඇරුනුකොට යුරෝපෙන්, ආපු අය? අපිට විතරයි පෙනෙන්නේ උන් ඔක්කම ‘සුද්දෝ’ ගෝත්රයේ කියලා”

“ඒක තමා චාලි සමරකෝනුත් කියන්නේ! ජන කොටස් ගොඩයි - නමුත් සමාජය සෑහෙන්න එකාකාරයි. උදාහරනයක් හැටියට ඉංග්රීසි උච්චාරණ විධිය ගත්තොත්, ජීවත්වෙන පලාත අනුව පෙන්වන වෙනස ලොකුයි තමාගෙ ජන කොටසෙන් උරුම වෙනසට වැඩිය. ඒ කියන්නේ ලංඩන්හි ජීවත් වෙන කෙනෙක් එක්ක ටෙලිෆෝනෙන් කතා කරපුවම අපිට කියන්න බෑ එයා ඉන්දියානු, අප්රිකානු, එංගලන්ත උරුමයක් තියෙන කෙනෙක්ද කියලා. ග්ලාස්ගෝ නගරේ ගත්තත් එහෙමයි. නමුත් ලංඩන් සහ ග්ලාස්ගෝ උච්චාරණය හරිම වෙනස් - තේරුම් ගන්න අමාරු තරමට…. ඒ නිසා වෙන්න ඇති උන් අපි තරම් ‘ඌට ඉංගිරිසිත් බෑ’ කියලා හිනා නොවෙන්නෙ!”

පොඩි නිශ්බ්ද තාවයක්.

“චාලිට එංගලන්තේ අල්ලන්න ඇත්තේ ඉංග්රීසි බැරි නිසා වෙන්න ඇති! හැබැයි මට තේරුම් ගන්න බැරි - ඔය කියන දේ ආර්ථික විද්යාවට අදාලද?”

“ඒක එන්නේ එංගලන්තේ ආංඩු ක්රමය නිසා, මං හිතන්නේ. මොන ජන කොටසින් ආවත්, ගෙදර මොන භාශාවක් කතා කරත්, මොන ආගම ඇදහුවත් දේශපාලන පක්ෂ බෙදෙන්නේ ඒ අනුව නෙවෙයි. නොවදගත් පොඩි පක්ෂ ඇරුනුකොට, අනික් ඒවගෙ හොඳ/නරක, දක්ශ/අදක්ශ සම්පූර්ණ පැතුරුම තියෙනවා. ලංකාවේ වගේම. ඒ අනුව, මොන පක්ෂේ ආංඩු කළත් වැඩි වෙනසක් නෑ. ලංකාව වගේම…..”

“නමුත් මොකටද එංගලන්තේ ගැන ඔයතරම්ම කියවන්නේ? අපිට ඉගෙනගන්න ඕන ලංකාවේ ආර්ථිකය දියුනු කරන්න නේද?”

“ලංකාව පොඩි දූපතක් කියලා ලෝකේ අනික් රටවල්වලින් අයින්වෙන්න දැන් බෑ. බොහෝම ඉස්සර කාලේ පුළුවන් වෙන්න ඇති නමුත් දැන් බෑ. ගෝලීකරනය. ආනයන අපනයන තත්වය, විනිමය අනුපාතය, ආර්ථික ප්රතිපත්ති, යටිතල පහසුකම්… මේ වගේ බොහෝම හේතු නිසා ලංකාවට අනික් රටවල් වලින් දුරස්තර වෙලා බෑ…. ලංකාවේ අයට හොඳින්ම කිට්ටුව හිටපු රටක් තමා එංගලන්තය - ඒ නිසා එහෙ ප්රතිපත්ති, ආර්ථික කළමනාකරණය වැනි දේ වලින් අපිට සෑහෙන පාඩම් ඉගෙන ගන්න පුළුවන්…. මං හිතන්නේ ඒකයි ලංකාවේ දියුනුවට එංගලන්තය තේරුම් ගැනීම වැදගත් වෙන්නේ”

“ඉතින් අපිට ඉන්දියාව ඊට වඩා කිට්ටුයි නේද? ඉන්දියාවේ අය අපි වගේ, අපෙ භාශා, ආගම් එහෙම ආවේ එහෙන්….”

“ඇත්ත… ඉන්දියාව වැදගත් නමුත් දුප්පත්. ඉන්දියාවටත් අපිට තියෙන ප්රශ්නම තියෙනවා. එහෙම ප්රශ්න අඩු, පොහොසත් රටකින් උපදෙස් ගැනීම හොඳයි කියලා මම හිතන්නේ”

“වාචාලි සෑම් එංගලන්තේ ගැන හොඳින් දැනගත්තට රටේ බහුතරය මොනවද දන්නේ එංගලන්තේ ගැන? එහෙන් එන ප්රතිපත්ති සාමන්ය මිනිස්සුන්ට පහදාදෙන එක ලේසිවෙයිද?”

“ලංකාවට නිදහස ලැබිලා අවුරුදු හැත්තෑවක් ගියත් අපෙ පොඩ්ඩොත් අහලා තියෙනවා ලංඩන් නගරෙයි, එංගලන්තේ මහ රැජිනයි ගැන… ඒ ඇයි? …. අපිට මොකද ඩයැනා කියලා ගෑනියෙක් චාල්ස් කියලා මිනිහෙක් බැන්දා කියලා - හැබැයි අපෙ පත්තර, රේඩියෝ, සඟරා වල එවා ගැන ඒ දවස්වල කියවුනේ හරියට අපේ පවුලේ කෙනෙක් බඳිනවා වගේ!”

“මට මතකයි අපෙ අම්මලා ඒ මගුලේ පින්තූර එහෙමත් තියාගෙන හිටියා!”

“අපේ ගෙදර ඒකේ විඩියෝ එකකුත් තිබුනා! සල්ලි දීලා ඇරගෙන!”

“… ආන්න ඒක තමා චාලි කියන්නේ …. ලංකාව තවම එංගලන්තේ ගැන හිතනවා - යටි හිතෙන්. හැබැයි හුඟක් අය ඒක කට ඇරලා සද්දෙට කියන්න කැමති නෑ නමුත් හිතේ තියෙනවා”

“ඒක වැරදියි කියලද මිනිහා කියන්නේ? …අ ….අ…. මිනිහා විශ්වාස කරන්නේ?”

“පොර එහෙම හිතන්නෙ නෑ - යම් දේක හරි වැරදි ගැන මිනිහා කතා කරන්නෙ නෑ. ඔය ප්රශ්නේ කවුදෝ ඇහුවා දවසක් - මිනිහා කිව්වේ ‘හරි වැරදි ගැන මම දන්නෙ නෑ, නමුත් සමහර දේ වෙන්නේ ඇයි කියලා හිතලා බලන්නත් එහෙම අදහස්වල ප්රතිපල තක්සේරු කරන්නත් වටිනවා - හරිද වැරදිද කියලා පැත්තක් ගන්න එක ඒ තරම්ම වැදගත් නෑ!’ කියලා!”

“ඌට කොයි පැත්තකින්වත් කවදාවත් ඡන්දේ ඉල්ලන්නෙ ලැබෙන්නෙ නෑ ඔහොම කතා කරලා!”

“පැත්තක් නොගත්තට හැම පැත්තක් ගැනම දැනීමක් නම් තියෙනවා”

“විශේෂයෙන්ම පස්ස පැත්ත!”

“චික්!”

“ඔවු… සුමනේ ඔහොම කතා කියනවනම් අඩුම ගානේ ශ්රීමටයි මටයි තේ වත් අරගෙන දෙන්න ඕන!”

“ඒකට මමත් සපෝට් - දැන් උඹෙ පස්ස පැත්තෙන් නැගිටලා ගිහින් අපිටත් තේ ඕඩර් කරපන්… ආ තේ දෙකකට සල්ලි”

තේ මේසෙට එන තුරු වැඩි කතා බහක් සිද්ද්වුනේ නෑ. ඒ හිස්තැන පුරවන්න මමත් ගිහින් තේ කෝපයක් ගත්තා.

“හරි … දැන් චාලි කියන විදිහට ලංකාවේ මිනිස්සු යටි හිතෙන් එංගලන්තෙට කැමතියි - ලැදියි. ඒ වගේම උඹ කිව්වා උන්ගෙ මිනිස්සු පක්ෂ වලට බෙදෙන්නෙත් ලංකාවේ වගේ - හොඳ/නරක, දක්ශ/අදක්ශ නොතකා කියලා; ඒ වගේම කොයි පක්ෂේ දිනුවත් ලංකාවේ වගේම ආංඩුවේ වැඩි වෙනසක් වෙන්නෙ නෑ කියලා. එතකොට අපෙ ආංඩු ක්රමයෙයි එංගලන්ත ආංඩු ක්රමයෙයි වෙනස?”

“අන්න මිනිහගෙ පොයින්ට් එක - රටවල් දෙක සංසන්දනය කරලා පටන්ගත්තේ මාලිනී අහපු තැනට එන්න තමා - ඒකයි මම කිව්වේ මිනිහා මාර විදිහට, තර්කානුකූලව, අදහස් පැහැදිලි කරනවා කියලා. ආංඩු දෙකේ ලොකුම වෙනස තියෙන්නේ ප්රතිපත්තිවලත්, ආර්ථික මූලධර්මවලත්, ක්රියාත්මක කිරීමෙත් නෙවෙයි - ඒක තියෙන්නේ ජනතාවත් ආංඩුවත් අතර ඇතිවෙන කෘත්රිම බාධකයෙයි”

මෙතෙන්දී මිනිහා නාට්යක රඟපාන්නෙක් සේ හෙමින් වටපිට බලා තේ උගුරකුත් බීලයි ආයෙ කතාව පටන් ගත්තේ.

“ලංකාවේ මැති ඇමති වරුන්ට පුදුම බලතල තියෙනවා. ඒවා රටේ ව්යවස්ථාවෙන්වත් රටේ නීති පද්දතියෙන්වත් ලැබුන බලතල නෙවෙයි. ලංකාවේ මංත්රී කෙනෙකුට පුළුවන් නෑදෑ මිත්රයන්ට ආංඩුවේ ලොකු රස්සා දෙන්න; ආංඩුවේ සේවකයෝ ලවා රස්සාවට පිටස්තර වැඩ කරවාගන්න; තමා කැමැති තැන් වලට පාරවල් හදන්න, ලයිට් දෙන්න, කැමති/නොකැමති අයට ඕනම දෙයක් කරන්න අවසර දෙන්න/නොදී ඉන්න; ඕනනම් රජයේ සේවකයෝ හිතේ හැටියට ස්ථානමාරු කරන්න. මේවා රටේ නීති/ප්රතිපත්ති වලට විරුද්ධව වුනත් කළ හැකියි. එහෙම කළා කියලා උද්ඝෝෂණ පවත්වන කෙනෙක් එහෙම කරන්නේ අනාගතේ පරදුවට තියලයි…. චාලි සමරකෝන් කිව්වේ මේ නීති විරෝදී බලතල ඉවත් කරනතුරු රටේ දියුනුවක් බලාපොරොත්තුවෙන්න බෑ කියලා ”

“දවසක් ඔය බලතල වල ප්රතිපලේ මොකද්ද කියලා අර බාලචන්ද්රයා ඇහුවා - චාලි එක උදාහරනයක් ගත්තා - එංගලන්තේ පිටපලාතක මංත්රී කෙනෙක් ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවට ලංඩන් එන්නේ වැඩිපුරම කෝච්චියේ. සමහර ලංඩන් වලට ලඟ ඉන්න අයත් එහෙමයි. ලංකාවේ වගේ කෝච්චි, බස් එහෙම පොල් පටවලා නැතිවුනාට රස්සාවට යන අනික් අය වගේමයි හුඟක් මැති ඇමතිවරු ගමන් යන්නේ. ඒ නිසා ලංකාවේ වගේ කෘත්රිම බාධක ඇටවෙන්න තියෙන චාන්ස් එක අඩුයි… එහෙම කියලා මිනිහා විනාඩි හතරක විඩියෝ එකක් පෙන්නුවා…… ඒකේ තිබුනේ නුවර වැව රවුමේ කවුදෝ ඇමති ආරක්ශක පිරිසකගෙ වේගයෙන් යන රථ පෙරහැරක්. ඉස්සරහ ආමි ජීප් එකේ උන් එලියට අත දාගෙන හෝන් ගහගෙන අනික් වාහන අයින් කරනවා ඇමතියට ඉක්මනට අවහිරයක් නැතුව යන්න. ලොකු වාහන කීපයක් ඊලඟට, ඒ එකක ඇමති තුමා ඉන්න ඇති. පස්සෙන් ආයෙත් ආමි වාහන… මේ අතරට දක්ශ සිනිමා ශිල්පියෙක් කපා තිබුනේ පොල් පටවපු බස් එකක මිරිකිලා ඉන්න පාසැල් සිසුවොයි, වයසක ආච්චිලයි, බස් එනතුරු පාර අයිනේ ඉන්න සෙනගයි, වෙට්ටු දාන ත්රී වීලරුයි. - ඇමති තුමා කොහෙ ගියාද, ගියේ ඇයි කියලා කිව්වෙ නෑ ………. විඩියෝ එක පෙන්නලා චාලි ඇහුවේ එක ප්රශ්නයයි - ‘මේ අය හිතනවද ඇමතිතුමාට පාර ඉඩ දෙන්න අයින් කරපු බස් එකක දාඩිය පෙරාගෙන තෙරපි තෙරපී එල්ලිලා ඉන්න ඉස්කෝලේ ළමයි දකින ලෝකයමයි ඇමති තුමත් දකින්නේ කියලා?’”

කට්ටිය නිශ්ෂබ්දයි - ඇමති රථ පෙරහැර සිතෙන් මවා ගන්නවා වගේ.

එක විහිළුකාරයෙකුට කට වහගන ඉන්න බෑ.

“…. අඩේ මාත් අහුවෙලා තියෙනවා එහෙම ඒවට - චාලිට වගේ නෙවෙයි මට හරි සන්තෝසයක් හිතෙනවා එතකොට - මම කොයි තරම් පෝසත් වෙන්න ඇතිද කියලා මගෙ සර්වන්ට් කෙනෙකුට එහෙම යන්න පුළුවන් වෙන්න කියලා!”