පඩියට වැඩ කරන්නෝ

“සෙනරත් ඔය කොම්පැනියේ දැන් කොච්චර කල්ද?”

ඔපිසර නිලමේ තාත්තත් එක්ක ඉස්තෝප්පුවේ කතාව. අම්මා පෙනෙන්න නෑ. මමත් තේ කෝප්පෙකුත් අරගෙන ඇවිත් වාඩිවුනේ අදත් හොඳ කතාවක් අහන බලාපොරොත්තුවෙන්. ඔපිසර නිලමේ කතාවට දක්ශ විතරක් නෙවෙයි කතා කරන මාතෘකාත් හරිම සිත්ගන්නා සුළුයි. අද සිකුරාදා නිසා කතා අහගන්න ඕන තරම් වෙලා තියෙනවා.

තාත්තයි ඔපිසර නිලමෙයි මා දුටු ගමන්ම මාත් එක්ක හිනාවුනත් ඒ දෙන්නගෙ සාකච්චාව ටිකක් වෙලා දුවපු එකක් වගෙයි පෙනුනේ. තාත්තා ප්රශ්නෙට උත්තර දුන්නේ කල්පනා සහිත මුහුනින්.

“… තව මාස දෙකකින් අවුරුදු තිහ සම්පූර්ණයි!... දැන් ඇති වෙලා හැබැයි”

“වැඩ නිසාද කොම්පැනිය නිසාද?”

“දෙකෙන් එකක්වත් නෙවෙයි. වැඩ හැමදාම ටිකක් එක වගේ වුනාට කොම්පැනිය හොඳයි… තව අමිතා එක්කවත් කතා කරලා නෑ හැබැයි විශ්රාම ගැනත් හිතලා බලන්න කාලේ නරක නෑ!”

“දන්මම?”

“ඔවු ඔපිසර නිලමේ… ආයෙ අපි පොහොසත්තු නෙවෙයිනේ! පෙන්ෂන් එකකින් විතරක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා හිතලා බලන්නත් ඕනෑ”

මේ සේරම මට අළුත්. මම කවදාවත් හිතලා නෑ දෙමව්පියෝ විශ්රාම යන ජාතියක් කියලා! තාත්තා ටයි ඇඳලා වැඩට යන පුද්ගලික කොම්පැනියක කළමනාකාරයෙක්. අම්මා ආන්ඩුවේ කන්තෝරුවක ලිපිකාරියක්. මෙයින් එහාට මම දෙන්නගෙ රස්සා ගැන දන්නෙ නෑ. සමහරවිට මම හිතන්න ඇති හැම අම්මයි තාත්තයිම මේ වගේ කියලා. මම කිසිම දවසක ඇහිලා නෑ අම්මයි තාත්තයි සල්ලි අඩුපාඩුවක් ගැන කතා කරනවා. මගෙ හිතේ තිබුනේ අපිට කරදරයක් නැතුව ජීවත්වෙන්න සල්ලි ඇති කියලා - ඉන් එහාට මම හිතුවෙ නෑ, මට කිසි අඩුපාඩුවක් නොවුන නිසා.

මේ විශ්රාම කතාව වෙනදා කතා වලට වඩා වෙනස් වෙන්න ඉඩ තියෙන බව මට දැනුනා.

“අම්ම කෝ?”

අම්මට පුළුවන් මේවා මට තේරෙන විදිහට පැහැදිලි කරලා දෙන්න.

“එන්න ටිකක් වෙලා යයි කිව්වා… මොකද්ද රිපෝට් එකක් ඉවර කරලා එන්න වෙලා”

“අම්මා දන්නවද ඔපිසර නිලමේ ඇවිත් ඉන්නවා කියලා?”

ඔපිසර නිලමේ හිනාවුනා.

“උපුල්ගෙ හිතේ අම්මට නොකියා මෙහෙ ඉන්න එක හොඳ නෑ කියලද? මට කන්න නොලැබෙයි කියලද?”

මට ලජ්ජා හිතුනා. ඇත්තටම මම හිතුවේ ඔපිසර නිලමෙගෙ රෑ කෑම ගැන.

“… නෑ…. වෙලා යන නිසා… “

“නෑ …. වීරසේකර මලයා ගෙනත් දානවා කිව්වා”

…………………………………

“තාත්තා පඩි ගන්නකොට අතට සල්ලි දෙනවද බැංකුවට කෙලින්ම යනවද?”

අපි රෑ කෑමෙන් පස්සේ ආයෙත් ඉස්තෝප්පුවේ කතාව. ‘පඩි’ මාතෘකාව මම ඇදලා ගත්තේ විශ්රාම කතාව ආයෙත් එලියට එයිද බලන්න.

“කෙලින්ම බැංකුවට. හැබයි මට මතකයි අතට සල්ලි දීපු කාලේ! රස්සාව පටන්ගත්ත කාලේ නියමයි අතට සල්ලි ලැබුනාම!”

“ඔවු ඉතින් ඔයගොල්ල කෙලින්ම බ්ලූ ස්ටා එකට යන්න ඇති!” ඒ බව දැන් නොපෙන්නුවට මාත් දන්නවා බ්ලූ ස්ටා කියන්නේ මත්පැන් කඩයක් බව.

“ඒ දවස්වල බොන එක ලාබයි! බීම බෝතලේක මිල අඩු කම නෙවෙයි - එක ඩ්රින්ක් එකක් ගත්තම හොඳටම කට්!”

අම්මත් ඒ විහිළුවට හිනාවුනේ බඳින්න ඉස්සර කරපුදේ වලට කණස්සල් වෙලා වැඩක් නැති නිසා වෙන්න ඇති. ඔපිසර නිලමෙටත් හිනා ගියා.

“අපෙ කාලේ කිව්වේ ‘පඩියට වැඩ නම් වැඩියට පඩ’ කියලා - ඒ අපෙ වැඩපොලේ අයිස් ගහපු ආන්ඩුවේ සේවකයෝ ගැන!”

ඔපිසර නිලමේ ඒ දවස්වල ආන්ඩුවේ කොන්තරක් කෙරුවලු.

“පඩියට වැඩ කරන නිසා අයිස් ගහපු කාලේ ගිහින්… අඩුම ගානේ සමහර තැන්වල”

මට තවමත් හරියට තේරෙන්නෙ නෑ පඩියට වැඩ කිරීමවත්, ‘අයිස් ගැසීම’ වත්. පඩි නැත්නම් වැඩ කරන්නෙ ඇයි කියලා හිතුනා ඒ වෙලාවේ. සමහරවිට ඔපිසර නිලමෙට මේක දැනෙන්න ඇති.

“උපුල්… පඩියට වැඩ කරනවා කියන්නේ ලැබෙන පඩියට සමාන වැඩ කොටසක් කරන්න පොරොන්දු වෙන එකයි. පඩිය අරගෙන වැඩකොටස නොකරනවට අපි කිව්වේ අයිස් ගහනවා කියලා - අපි ඉස්කෝලේ යන කාලේ අයිස් ගහන ගුරුවරුත් හිටියා!”

“මට හිතාගන්න පුළුවන්! හැබැයි අපෙ සමහර ගුරුවරු ඉන්නවා විභාග කාලෙට සෙනසුරාදා ඉරිදත් ප්රැක්ටිකල් පංති තියනවා”

“ඒ හොඳ ගුරුවරු, ළමයි ගැන හිතන අය. ඔය වීකෙන්ඩ් වැඩවලට සල්ලි හම්බ වෙන්නෙත් නෑ”

මම කිව්වා සල්ලි නොලැබී වැඩ කරන එක මෝඩ කමක් නේද කියලා. අම්මා එහෙම හිතුවෙ නෑ.

“පුතාට අමතකයි වගේ කුස්සි අම්ම එන්න ඉස්සර කෑම ලෑස්තිවුනේ කොහොමද කියලා!”

“… ගෙදර වැඩ - මට අමතකවුනා අපි නිතරම කරන දේ!”

“අමිතගෙ කතාව හරියටම හරි. අපි නොමිලේ කරන වැඩ ගොඩයි - විශේෂයෙන්ම අපෙ ගැහැනු උදවිය, පඩි ලැබෙන රැකියා කළත් නැතත්… ඒ වැඩටත් මුදලින් අගයක් නියම කරන්න වටින බව පිළිගන්න කාලේ … “

අපි හතරදෙනාම ටිකක් හිතුවා. අඩු ගානේ මම හිතුවා; අනික් අය සද්ද නැතුව හිටියා විනාඩියක්. ඔපිසර නිලමේ ඉන්න තැනක විනාඩියක් සද්ද නැති එක සාමාන්ය දෙයක් නෙවෙයි.

තාත්තා යමක් කිව්වේ සෑහෙන වෙලාවකට පස්සේ.

“කොම්පැනියක වුනත් ආන්ඩුවේ උනත් පඩියට වැඩ කරනවානම් යම් දවසක ඒකෙන් අයින් අයින්වුනාම - ඒ කියන්නේ විශ්රාම ගත්තම කියලා හිතමු - ලැබෙන විශ්රාම වැටුප අන්තිම ගත්ත පඩියට අඩුයි - ආයෙ කවදා වැඩි වීමක් ලැබෙයිද දන්නෙත් නෑ. ඒ නිසා විශ්රාමෙට කල් තියා ලෑස්ති වෙන එක හොඳයි. මේක පඩියට වැඩ කරන සේරටම මුහුනපාන්න වෙන දෙයක්”

අම්මත් කතාවට සම්බන්ධ වුනා.

“අපිටත් බලන්න වෙයි මොන මොනවාහරි කරන්න, විශ්රාමෙන් පස්සේ… මට ඇත්තටම හිතෙනවා පොඩි ඉංග්රීසි පංතියක්වත් පටන්ගන්න… ටික ටික රස්සාවෙන් අයින් වෙන්න ඉස්සරම පටන්ගත්තොත් …”

“මාත් හිතුවේ ඒකයි! මං අමිතත් එක්ක ඩිස්කස් කරපු නැතිනිසා මොනවත්කළේ නෑ. කොහොමද දන්නේ මාත් එහෙම හිතාගෙන ඉන්නේ කියලා?”

“අමාරු නෑ හිතේ තියෙන දේ දැනගන්න - බැඳලා අවුරුදු විස්සකට වැඩීනේ!”

මට හිතුනා දෙන්නා ගැඹුරට සාකච්චා කරලා ඉවරවෙලා තමා ආයෙ මේ ගැන යමක් ඇහෙන්නේ කියලා. කතාවත් එතනින් නැවතුනා. කතාවේ කිසිම අවසානයක් අද නොදකින බව මට සහතිකයි. රෑ අන්තිම වචනේ ආවේ ඔපිසර නිලමෙගෙන්.

“හෙට උදේ අර මීටිමටත් යන්න තියෙන නිසා මම නම් නිදාගන්නවා… දැන් බෑ ඉස්සර වගේ නිදි මරන්න”

…………………………….

සෙනසුරාදා උදේ අම්මයි තාත්තයි එළවලු පලතුරු ගෙනෙන්න යනවා, උදේ කෑමෙන් පස්සේ. මේක හැම සතියෙම වෙන දෙයක්. මම සාමාන්යෙන් ටිකක් වැඩියෙන් නිදාගන්නවා එදාට. නමුත් අද ඔපිසර නිලමේ ඉන්න නිසා මමත් උදේ නැගිටලා අනික් අයත් එක්කම උදේට කිරිබත් කෑවා. ඔපිසර නිලමෙයි මමයි ඉස්තෝප්පුවේ වාඩිවුනා, තේ කෝප්ප දෙකකුත් අරගෙන.

“ඔපිසර නිලමෙගෙන් ප්රශ්නයක් ඇහුවට කමක් නැද්ද?”

“තව එකක්?”

“හ්ම්?”

“දැන් ඔය අහපු ප්රශ්නෙට අමතරව තව එකක්… නෑ … කමක් නෑ…. අමතක කරලා දාන්න මං කියපු එක …. මොකද්ද දැනගන්න ඕනෑ?”

“… ම්… තාත්තට එහෙම සල්ලි අමාරු තියෙනවා වෙන්න පුළුවන්ද?... මං කියන්නේ ඔය තව විශ්රාමෙන් පස්සේ රස්සා ගැන හිතන්නේ?”

පොඩි නිහඬතාවයක්.

“උපුල්… ඕක මගෙන් අහලා බෑ. අම්ම තාත්තගෙන් අහන්න ඕන ප්රශ්නයක්. මම ඕකට උත්තරේ දන්නෙත් නෑ, දැනගත්තත් කියන්නෙ නෑ. උපුල් දැනුවත් කරන්න ඕන කියලා හිතුන වහාම ඒ දෙන්නම කියයි…. ඇයි එහෙම ඇහුවේ?”

“නෑ ඊයෙ රෑ දෙන්නම විශ්රාම ගැන කතා කළා. අම්මා විශ්රාමෙට ඉස්සරත් පංතියක් දාන කතාවක් කිව්වා”

ආයෙත් සද්දයක් නෑ, ඔපිසර නිලමෙගෙ මොලේ වැඩකරන සද්දේ ඇරුනුකොට.

“උපුල්… මම ජීවිතේ වැඩි කාලයක් පඩි ගන්න වැඩ කරලා නැතිවුනත් හුඟාක් කාලයක් පඩි දීලා තියෙනවා මගේ වැඩපොලේ අයට. නමුත් මට අන්ඩුවෙන්වත් වෙන කොහෙන්වත් ‘විශ්රාම වැටුපක්’ කියලා දෙයක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා මම විශ්රාම ගැන වැඩිය දන්නෙ නෑ…. අනික් අතට ‘පඩියට වැඩ’ ගැන මම හුඟක් හිතලා තියෙනවා… ඇත්තටම ‘හදාරලා තියෙනවා’ කියන්නත් වටින තරම්…. මෙන්න මගේ යෝජනාව: මම පඩි ගැන යමක් කියලා දෙන්නම් - උපුල් දෙමව්පියන්ගෙන් විශ්රාම ගැන අහගන්න කැමතිනම්. එහෙම ගිවිසුමක් අස්සන් කරන්න කැමතිද?”

දැන් තමා නියම ‘ඔපිසර නිලමේ ජාතියේ’ මාතෘකාවක් එලියට එන්නේ - එහෙම වෙලාවක මම ඕන ගිවිසුමකට ලෑස්තියි!

“රයිට්! දැන් හිතලා බලන්න මිනිස්සුන්ට පඩි ඕනෑ ඇයි කියලා”

“කාලා බීලා ජීවත් වෙන්න?”

“හරි… කෑම බීම, ගේ දොර, ඇඳුම් පැළඳුම්, ළමයි ඉස්කෝලේ යැවීම… මේ සේරම කරන්නේ පඩියෙන් - වෙන ආදායමක් නැත්නම්. හරිද? මේ සේරම කරන්න පඩිය මදිනම් මොකද කරන්නේ? අපි තව ආදායම් මාර්ගයක් සොයාගන්නවා… තේරෙනවද?”

“ඒ කියන්නේ රස්සා දෙකක් කරන්නද?”

“ඔවු එහෙම අය ඉන්නවා අපි හිතනවට වැඩිය. හවසට පංති දාන ගුරුවරු; යාළුවන්ගෙ ගෙවල් වලට ප්ලෑන් අඳින ඉන්ජිනේරුවෝ; නිවාඩු දවස්වල කාර් ලොරි එහෙම එලවන බස් ඩ්රයිවර්ලා; ප්රයිවට් ක්ලිනික් දාන දොස්තරලා; ගෙදර වත්තේ එළවලු වවලා විකුනන පොලිස්කාරයෝ…. මේ සේරම පඩියට වැඩකරනවා වගේම තව ව්යාපාරෙකුත් කරනවා”

“ඔය අයගෙන් දොස්තරලා එහෙම ප්රයිවට් ක්ලිනික් දාන්නේ ඉස්පිරිතාල වල තදබදේ අඩුකරන්න නෙවෙයිද?”

“හිත හොඳ කමටම නම් නොමිලේ කරන්න බැරියෑ! අඩුම ගානේ ඉස්පිරිතාලේ ගානටම කරන්න බැරියෑ. ඒක නෙවෙයි හේතුව… මං හිතන්නේ පඩියෙන් කාලා බීලා ඉන්න මදි නිසාම නෙවෙයි සමහරු තව රස්සාවක් කරන්නේ - වැඩි වැඩියෙන් සල්ලි සොයාගන්න! - තණ්හාව”

“ටියුෂන් පංතිත් එහෙමද?”

“සේරම වගේ!”



“ඒ කියන්නේ සමහරු කාලා බීලා ජීවත් වෙන්න පඩියට පිටින් ආදායමක් හොයනවා; සමහරු තමංගෙ වත්කම වැඩි කරගන්න එහෙම කරනවා… ඒක වැරදිද?”

“නෑ…. නීතිය අනුව වැඩ කරනවානම් වැරැද්දක් නෑ! නමුත් සමහරු දෙවෙනි රස්සාවක් නොකර ලේසියෙන් සල්ලි හොයනවා නීතියෙන් පිට පැනලා - පගා ගහලා!”

අපෙ තාත්තා එහෙමත් කියලා තියෙනවා පගා ගන්න පොලිස් කාරයොයි, ග්රාම සේවකයොයි, මැති ඇමතියි ගැන. දොස්තර කෙනෙකුට ඖෂධ කොම්පැනියකින් කාරෙකක් දීපු කතාවකුත් මම අහලා තියෙනවා. පගාව මට අළුත් දෙයක් නෙවෙයි.

“මම ඕනෑවට වැඩිය වේගෙන් කාරෙක එලවනකොට පොලිස්කාරයෙක් මාව නවත්තනවා. මේ කරදරෙන් බේරෙන්න මම පොලිස්කාරයට ගානක් දෙනවා - මිනිහා ඒක ගන්නවා. අන්න නීති විරෝදී විදිහට සල්ලි ඉපැයුම… පගාව”

“උපුල් හිතන්න එපා පඩියයි පගාවයි අතර සම්බන්ධයක් නෑ කියලා.? සමහරවිට අඩු පඩි ලබන පොලිස් කාරයත් කළේ ඒක වෙන්න ඇති… කාලා බීලා ජීවත් වෙන්න මර්ගයක් සොයාගැනීම. මං කියන්නෙ නෑ ඒක හරි කියලා; නමුත් හේතුව තේරුම් ගන්න පුළුවන් …. දැන් මේක බයිස්කෝප් එකක් නම් මේ වෙලාවේ තමයි ළමයි බඩගින්නේ අඬනවා පෙන්වන්නේ! අමතක කරන්න එපා මාධ්යවල බලය, අපෙ හැඟීම් වෙනස් කරන්න”

මට හිනා ගියා.

“ඔය බයිස්කෝප් එක දොස්තර කෙනෙක්, ගුරුවරයෙක්, මංත්රී කෙනෙක් ගැන නම් ළමයි බඩගින්නේ අඬන්නෙ නෑ. බයිස්කෝප් අධ්යක්ෂකයෝ ඒ තරම් මෝඩ වෙන්නෙ නෑ. ඒ වෙනුවට පෙන්වන්නේ මොනවද?... දොස්තර කෙනෙක් නම් ඉතා දක්ෂ විදිහට පොඩි ළමයෙකුගෙ ජීවිතේ බේර ගන්නවා… ලස්සන පොඩි ළමයෙකුගෙ… අනික් දොස්තරලා බේරගන්න බෑ කියපු ළමයෙක්… ළමයගෙ දෙමව්පියෝ හඬනවා… වටිනා රිදී බන්දේසියක් දොස්තරට තෑගි දෙන වෙලාවේ…”

“මංත්රී කෙනෙක් ඔය බයිස්කෝප් එකේ ඉන්නවද?”

ඔපිසර නිලමේ ටිකක් කල්පනා කළා - සාමාන්යෙන් උත්තරයක් දෙන්න කල්පනා කරන වෙලාවටත් වැඩිය.

“උපුල් අද උදේට මොනවත් පලෑන් දාලා තියෙනවද?”

“නෑ”

“මාත් එක්ක මීටිමකට එනවද, බයිස්කෝප් එකකට වැඩිය හොඳට මංත්රී පගා ගන්න හැටි කෙලින්ම දැකගන්න?”

“අම්මලා හා කිව්වොත් එන්නම්… කවුරුවත් ඇත්තටම පගා ගන්නවා මම දැකලම නෑ!”

……………………..

අපි දෙන්නා බස් එකෙන් ඇවිත් ලේවැල්ල හන්දියෙන් බැස්සා. එතනින් එහාට වාහන යෑම පොලිසියෙන් නවතා තිබුන නිසා අපි මීටිම තියෙන පිට්ටෙනියට ගියේ පයින්; හැතැක්මක් විතර. වැඩිහිටියෝ ඇරුනුකොට පාසැල් නිල ඇඳුම් වලින් සැරසුන ළමයි සීයක් විතරත් පයින් ගමනට එක්වෙලා හිටියා.

“මොකද්ද මේ මීටිම?”

“ඔය පිට්ටෙනියේ ලඟදී හදලා ඉවර ක්රීඩා මණ්ඩපය අද විවෘත කරන්න අපෙ මංත්රී තුමී එනවා. දන්නෙ නැද්ද ඉතින් කතා පවත්වලා, අත්පුඩි ගහලා, තේ බීලා ගියෙ නැත්නම් ඕක පාවිච්චි කරන්න බෑ නේ!”

“ඉතින් ඔපිසර නිලමෙගෙ සම්බන්ධේ?”

“කොන්තරක්කුවේ කොටසක් මමත් කරපු නිසා වෙන්න ඇති ආරාධනේ ආවේ”

ඔපිසර නිලමෙයි මමයි සෙනග අතරෙන් ක්රීඩා මණ්ඩපයේ පිටිපස පඩි පෙල ලඟට ගියා. එතන හිටි ටයි කෝට් දාපු මහත්තයෙක් අපිට කතා කළා.

“එන්න එන්න නිලමේ - උඩට යං. තේ මේසේ එහෙම ලෑස්තියි; මංත්රී තුමිය එනකොට තව පැයක්වත් යයි!”

“නෑ සෙනේ! මම මගෙ මුනුබුරාට මේක පෙන්නන්ට විතරයි ආවේ - අද උඩට එන්නෙ නෑ; සෙනේ හිටියොත් මදෑ?”

“තේ එකක්වත්?”

“නෑ … හෙට අනිද්දා ආයෙ හම්බවෙයි නේ. අපි යනවා!”

“ඔය සේනාරත්න තමා මං කරපු කොන්තරක් වැඩ දැන් කරන්නේ. හොඳ වැඩ කාරයා - මට වඩා දක්ශයි මැති ඇමතින්ට කතා කරන්න! අපිට තව සෑහෙන කාලයක් මෙතන ඉන්න වෙයි අපෙ පොර එනකම් - ගිහින් තැඹිලි එකක් බීලා එමුද?”

අපි දෙන්නා තැඹිලි බීලා ඇවිත් පිට්ටෙනියේ කොනේ ගහක් යට හෙවනේ නැවතුනා.

“ඔපිසර නිලමේ? කොහොමද මංත්රී අද පගා ගන්නේ? මිනිස්සු වේදිකාවට ඇවිත් සල්ලි දෙනවද?”

“පරෙස්සමෙන්! සෙනග ඉන්න තැන ඔහොම කතා කරන්න එපා! අහපු ප්රශ්නෙට උත්තරයක: නෑ, මිනිස්සු සල්ලි දෙන්නෙ නෑ. නමුත් පගාව දැනටම පටන්ගෙන!”

“කෝ? මංත්රී ඇවිතුත් නෑ නේ!”

“ඇයි අපි හැතැක්මක් පයින් ආවේ, බස් එකේ නොඇවිත්? මෙතන ඉන්න තුන් හාරසීයක් මිනිස්සු එහෙම කළේ ඇයි? ඉස්කෝල ළමයි සෙනසුරාදත් ඇයි අව්වේ කරවෙන්නේ, ගෙදර ඉඳන් සෙල්ලම් නොකර? ඇයි ඒ ගුරුවරු - ඒ අයට වෙන වැඩ නැද්ද? පොලිස්කාරයෝ කී දෙනෙක් දැක්කද හන්දියෙයි, පිට්ටෙනියෙයි? සද්ද නැතුව ඒක ගැන හිතලා බලනවද මංත්රී තුමී එනකම් හ්ම්?”

තව විනාඩි පනහක් ගියා ශබ්ද විකාශකයේ දේශාභිමානී සිංදු නැවතිලා දැන්වීමක් එන්න.

“ආයුබෝවන්! අපේ ගරු මංත්රී තුමිය තව විනාඩි දහයකින් මෙතෙන්ට එනවා. ගුරුවරු - කරුනා කරලා පාසැල් සිසුන් වහාම පේලි ගස්සන්න. පිළිගැනීමේ ගීතය ගයන අය මේ උඩට එන්න… හරි… ඔවු ඒ පඩි පෙලෙන්… ආරාධිත අය තම තමාගේ ආසන වලට ආවොත් හොඳයි… මංත්රී කතාවත් ස්තුති කතාවත් ඉවරවුනාම අපේ දිවීමේ තරඟයට සහභාගිවෙන පිරිමි සහ ගැහැනු ළමයි පිට්ටෙනියේ උතුරු කොනට එකතුවෙන්න….”

මේ කතාව දිගට දිගට ගියා. ඔපිසර නිලමේ සිනා මුහුනින් අහගෙන හිටියා - මට තේරෙනවා මමත් මේ සේරම අහගන්න ඕන බව, අන්තිමට ඔපිසර නිලමේ දෙන තක්සේරුව තේරුම් ගන්න නම්.

යුද හමුදා ජීප් දෙකක් අතර ලොකු වාහනේ මංත්රී තුමිය පැමිනියේ නලාව ගහගෙන. වාහන නැවතූ වහාම පොලිස් භටයන්ගේ ආරක්ෂාවෙන් ක්රීඩා මණ්ඩපයට ගොඩවැදුනේ මහත් අත්පොලසන් මැද්දෙයි.

ඔපිසර නිලමේ අත්පුඩි ගැසුවේවත් සිනාවුනේවත් නෑ - මමත් ඔපිසර නිලමේ අනුගමනය කළා.

“දැන් අපි හෙමින් හෙමින් පාර පැත්තට යමුද?”

මම කතාවක් නැතුව පස්සෙන් ගියා. සෙනග අතරින් ඇවිත් පාරට ගොඩවෙනකොට මංත්රී තුමිය කතාව පටන්ගෙන.

ඇගේ කතාව ඉතාම කෙටියි. මේ පිට්ටෙනිය රජයේ විශාල වැඩ ලේඛනයේ වැදගත් කොටසක් බව ඈ සඳහන් කළා. පාසැල් සිසුන් සමග මෙතරම් සෙනගක් රැස්වී සිටීම පිට්ටෙනියේ අනාගත දියුනුවට නිමිත්තක් බවත් ඈ ප්රකාශ කළා. ඇයට ආරධනා කිරීම ගැන ඇගේ ස්තුතිය හෘදයාංගම භාවයක් පෙන්වුවා. තමාට මෙතන මීට වඩා දිගු කාලයක් රැඳී සිටීමට කොයි තරම් ආශාව තිබුනත් තව කටයුත්තකට සහභාගි වීමට ඇති බව ඈ ප්රකාශ කළේ ශෝකයෙන්.

මම බස් තියෙන හන්දියට ආවේ ඔපිසර නිලමෙගෙ කතාව නිශ්ෂබ්දව අසාගෙනයි.

“මගෙ හිතට අමාරුයි මේ වගේ නාඩගම් දකිනකොට… ඔය මංත්රී තුමිය පඩියට වැඩ කරන කෙනෙක්. මාසෙට රුපියල් ලක්ෂ දෙක හමාරකට වැඩියි, පඩියයි අනික් දීමනයි ගත්තම. ඊට උඩින් පාර්ලිමේන්තු රැස්වෙන දවස්වලට ලැබෙන දීමනා. මේ සේරම ගන්න අවම සුදුසුකමක් නෑ - ඡන්දේ දිනන ඕන ගොනෙකුට මේවා ලැබෙනවා. ඒ නීතියට අනුව. නීතියට පටහැනිව පගා ගැනීම, නෑදෑයන්ට රස්සා දීම, වට්ටම් ගැනීම වගේ දේ වලට අපි බනිනවා, ඒ ගැන කෑ ගහනවා… නමුත් අපෙ ඇස් ඉදිරියේ වෙන නාස්තිය අපි අමතක කරනවා…”

සද්ද නැතුව තව විනාඩි ගනනක් ඇවිදිනවා.

“… ඔය අද මීටිමෙන් කීදෙනෙක් දුක් වින්දද? ඉස්කෝල ළමයි, ගුරුවරු, ක්රීඩාවට සම්බන්ධ අය - පුහුනුකරුවෝ වගේ… කොච්චර අයට පයින් යන්න වුනාද? අපි නොදැනම කී දෙනෙකුගෙ හදිසි ගමන් අතපසුවුනාද? පොලිසියට හමුදාවට කොයි තරම් වියදමක් ගියාද… කරදරයි සල්ලි වියදමුයි එකතු කළොත් ලක්ෂ දෙකක් වත් යන්න ඇති ඔය නාඩගමට… මොකද්ද ඒ මුදලට සිද්ධවුන යහපත? …. මංත්රී තුමියගෙයි තව එකෙක් දෙන්නෙකුගෙයි තත්වය/රූපාකාරය/ජනප්රසාදය ටිකක් ඉහල යන්න ඇති. මංත්රිට තව ඡන්ද කීපෙකුත් ලැබෙයි ඊ ලඟ සැරේ… මේවා ලබාගත්තේ එයාගෙ මාසේ පඩියෙන් වියදම් කරලද? හරියට පොලිස් කාරයටයි මංත්රීටයි තියෙන නීති වෙනස් වගේ! පොලිස්කාරයෙක් පගා ගත්තොත් හයියෙන් කෑගහන අයමයි මෙතන ඇවිත් මංත්රිට අත්පුඩි ගැහුවේ!”

තවත් වින්නඩි කීපයක්, සද්ද නැතුව. ඊට පස්සේ ඔපිසර නිලමේ මා දිහා බැලුවේ යන්තමට හිනා වෙලයි.

“... අ … උපුල් තනියම ගෙදර යනවද?... මට බීර එකක් වත් බොන්න ඕන, හිතේ කහට ඇරගන්න!”